20 April, 2024

Blog

ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව බලයට, පැමිණ වසරක් ගතව තිබේ. සාමාන්‍යයෙන් එබඳු පදවිප්‍රාප්තියක් සැමරීම යනු ශ්‍රී ලංකාව වැනි රටක සැණකෙළි සිරි ගන්නා මුත්, රට මේ මොහොතේ ආර්ථිකව පසුවන රෝගී තත්ත්වය තුළ, එවැනි විසූක දස්සනයන් කරා රජය ගමන් නොකිරීම, වඩාත් සාධනීය තත්ත්වයකි. එය ආරම්භයේ දීම ලියා තැබිය යුතුමය. 2015 ජනවාරි අට වැනිදා සිදුවූ නිහඬ විප්ලවය, අගෝස්තු 17 දා දෙවැනි වතාවටත් ජනතාව අනුමත කිරීමෙන් පසු සම්මුතිවාදී රජයට භාර ගැන්මට සිදු වූයේ ප්‍රශ්න රැසක් මත පීනමින් සිටි රටක් බව රහසක් නොවේ.

ආශ්චර්යයේ බෝඩ් ලෑලි පෙන්වමින් මාතෘ භූමිය, දේශප්‍රේමය ගැන පැය විසි හතරේම නන්දොඩවමින් රාජපක්ෂ නඩය ඉන්දියන් සාගරයේ මුතු ඇටය, අලි බබාගේ කතාවේ එන හොර තිප්පොළ බවට පත්කර තිබු අතර ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය වල්වැදී දූෂණය, නාස්තිය, වංචාව, ඥාති සංග්‍රහය, විලාසිතාවක් කර තිබිණි. ජාත්‍යන්තර වශයෙන් රට හුදෙකලාව තිබු අතර, තක්කඩිකම ජඩකම නීතිගතව තිබූ තත්ත්වයක් තුළ රට ආර්ථික වශයෙන් පසු වූයේ ගිනි කන්දක් මතය. අනෙක් අතට උතුරේ නිම කළ යුද්ධය රාජපක්ෂවරුන් දකුණට ගෙනවිත් තිබු අතර ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් නැඟි සිටි සැම තැනකදීම කුල්ල, පොල්ල, තුවක්කුව පාවිච්චි කරමින්, ඒවා මර්දනය කිරීමට කටයුතු කරන ලදී. කුප්‍රකට කටුනායක, හලාවත, රතුපස්වල උද්ඝෝෂණයන් අරභයා සිදුකළ අනිසි මැදිහත්වීම් පමණක් අප ඔබට මෙහිදී සිහිපත් කරනුයේ, ඊට අදාළ සම්පූර්ණ සිදුවීම් ලැයිස්තුව සඳහන් කළෝතින්, මෙම සටහන සෑහෙන දීර්ඝ එකක් වන බැවිනි. සම්මුතිවාදී රජයේ පළමු වසර සැමරුම පිළිබඳ ඇගැයීමක් සිදුකිරීමේදී අප එය සිදුකළ යුත්තේ ඒ සියල්ල සමඟ බලමිනි.Maithri Ranil

රාජපක්ෂවරුන් ගෙදර යවා වත්මන් රජය බලයට රැගෙන ඒමේදී ඉරහඳ තාරකා ජනතාව ඉල්ලා සිටියේ නැත. ඔවුන් තුළ වූයේ ඊට වඩා සාධාරණ වූත් අහිංසක වූත් බලාපොරොත්තු පමණි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, දූෂණය නාස්තියට වැට බැඳීම දූෂිතයන්ට දඬුවම් ලබාදීම ඥාති සංග්‍රහයට තිත තැබීම, නීතියේ ආධිපත්‍යය සහතික කිරීම වැනි දේශපාලනික කාරණා මෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතා මත දිගින් දිගටම ජීවත්වීමට සිදුවීම තුළ “සහන” අපේක්ෂාවක් ද ඒ තුළ වැඩ කළේය. යුද්ධය වෙනුවෙන් පටි බැඳගත් ජනතාවට එය නිමවූ පසු සහන ලබා දෙන බවට, රාජපක්ෂවරුන් මන්තරයක් මෙන් මැතුරුවද එය කිසිදා ඇත්තක් නොවිණි. රටේ 41% කගේ දෛනික ආදායම ඇමෙරිකන් ඩොලර් 02ක් පමණ වෙද්දී, අයවැයෙන් වෙන් කරන මුදලින් 62%ක් පාලනය කිරීමේ බලය රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එදා තමන් සන්තක කරගත්තේය. “වෙනස” සිදුකිරීමේදී ඉහත කී අසමානතා දුරලමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ ගැඹුරු අදහසක් ද රටේ සාතිශය බහුතරයක් තුළ විය. සම්මුතිවාදී රජයේ පළමු වසර සැමරුමට අදාළ ලාභ අලාභ ගිණුම සැකසිය යුත්තේ, මේ සියලු කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයෙන් බලන කල, පෙර පැවැති තත්ත්වයට සාපේක්ෂව සෑහෙන දියුණුවක් මේ වන විට රට තුළ සිදුව තිබේ. සැබැවින්ම මෙම කාලය තුළ වත්මන් රජය වැඩිපුරම ‘ලකුණු’ රැස්කර ඇත්තේ එම පෙරමුණ තුළදීය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, මුළුමනින්ම කඩා වැටි දැඩි අධිපතිවාදයක් මතුව තිබූ තත්ත්වයක් තුළ මේ වන විට සිදුව ඇති පරිවර්තනය සෑහෙන ඉදිරිගාමිය. එය ප්‍රශ්න විරහිතය. ආර්ථික බලය පමණක් නොව දේශපාලන බලය ද රාජපක්ෂ සමයේ එක් පවුලක් වටා කේන්ද්‍රගතව පැවැති තත්ත්වයක් තුළ සමාජ යහපත වෙනුවෙන්, බලය අත්හැරීමට සූදානම් නායකයන් ද රටේ සිටින බව වත්මන් යහපාලන වෙනසේ මානුෂිය මුහුණුවර වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වන ලදී. ඒ තමන් සතු බලතල කප්පාදු කරගනිමිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා, විධායකය වටා ගොනුව තිබුණු අත්තනෝමතික බලතල සීමා කිරීම සිදුවූ අතර, 18 වන සංශෝධනය හරහා සිදු වූ ඓතිහාසික වරද නිවැරැදි කිරීමක් ඒ යටතේ සිදුවිණි. අගෝස්තු 17 දා පැවැති මැතිවරණයට පෙර පැවැති අන්තර්කාලීන රජය සමයේ ඒ සියල්ල සිදුවූ මුත් යහපත් ආණ්ඩුකරණයකට අවශ්‍ය මාර්ගය, එය විවර කරන ලදී. නීතියේ ආධිපත්‍යය මේ වන විට තහවුරු වී ඇති අතර රටේ අධිකරණ පද්ධතිය තුළ සිදු ව ඇති වෙනස ප්‍රශංසනීයය. රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ කැලෑ නීතිය තුළ පොලීසිය, අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය බින්දුවට වැටි තිබුණු සන්දර්භයක බලපෑමකින් තොරව, අද නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතීම සුබදායි තත්ත්වයකි. රජයට එරෙහිව තීරණාත්මක තීන්දු කිහිපයක් පසුගිය මාස කිහිපයේ ලැබීම අධිකරණයේ ස්වාධීනතාව පෙන්වන කැඩපතක් බඳුය. එසේ තීන්දු ලබාදීම නිසා ඒ අදාළ විනිසුරුවන්ට අනර්ථයක් සිදුවූවා යැයි අසන්නට නොලැබිණි. බෙහෙවින්ම දේශපාලනීකරණය වූ සමාජයක රටේ අධිකරණ පද්ධති ස්වාධීනව පැවැතීම වැදගත් වනුයේ ජනතාව සහන පතා යන අවසන් ස්ථානය එය බැවිනි.

මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව වත්මන් රජය දමා ගැසු ප්‍රධාන තුරුම්පුවක් වූ වංචාව, දූෂණය, නාස්තිය, ඥාති සංග්‍රහයට තිත තැබීම වැනි කාරණා පිළිබඳ පසුගිය වසරක කාලයට අදාළව ගෙන කියවද්දී, මුළුමනින්ම නොවූවත් තරමක සතුටුදායක මට්ටමක් දැකගත හැකිය. එය 50 : 50 මට්ටමේ පවතින කාරණයකි. බෙහෙවින් ජරාජීර්ණ වූ කිලිටු වූ සමාජයක ඒ ඇවතුම් පැවතුම් වෙනස් කිරීමට, වසරක කාලයක් ප්‍රමාණවත් යැයි පැවසීම තාර්කික නොවුණ ද ඊට අදාළව රෝද අපේක්ෂා කළ වේගයෙන්ම කැරකෙන්නේ නැති බව සඳහන් කළ යුතුය. වත්මන් රජයේ දේශපාලන පාරිශුද්ධභාවය ප්‍රශ්න කළ සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලයේ අසන්නට ලැබුණ අතර එබැවින් මෙය වහා ආමන්ත්‍රණය කළ යුතු තත්ත්වයකි. එසේ නොකළහොත්, එය රජයේ දේශපාලන ශරීර සෞඛ්‍යයට ඒ හැටි සුවදායි නොවේ. විශේෂයෙන්ම රාජපක්ෂ සමයේ දූෂිත ක්‍රියාවන්හි නිරත වූවන්ට දඬුවම් ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ, ඒ හැටි ප්‍රසාදයක් නොවේ. කෝඳුරුවන් වෙනුවට ගිජුලිහිණියන් ද නීතිය ඉදිරියට පැමිණ වීම වැදගත් අතර ඊට අදාළ කටයුතු ශීඝ්‍ර ද විය යුතුය. නීතියේ පාලනය තහවුරු වී ඇති තත්ත්වයක් තුළ කැලෑ නීතිය පැවැති සමයේ මෙන් කලබල වී නීතිය අද ක්‍රියාත්මක කළ නොහැකි වුවද මීට වඩා නම් වේගයක් ඒ පිළිබඳ පැවැතිය යුතුය. අනෙක් අතට වඩාත් වැදගත් වනුයේ සර්ව සාධාරණව දේශපාලනික සම්බන්ධතා සැලකිල්ලට නොගනිමින්, එය සිදු කෙරුමය. රාජපක්ෂ යුගයේ විවිධ නොපනත්කම් සිදුකළ දූෂණයට නාස්තියට කප් ගැසූ දූෂිත යැයි සමාජගත වූ නිලධාරීන් දේශපාලනඥයන් රැසක් මේ වන විට වත්මන් රජය සමඟ සම්බන්ධ වී සිටින අතර, ඒ නිසාම ඔවුන්ට මුක්තියක් ලබා දෙන්නේ නම් එය ජනතාව අපේක්ෂා කළ යහපාලනය අවභාවිතාවේ යෙදවීමකි.

ජනතාව අපේක්ෂා කළේ තෝරා බේරාගෙන දූෂිතයන්ට සැලකීමක් නොවේ. ශ්‍රීලනිපයේ නායකයා ලෙස ඒ තුළ තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණවලට යෑමට ජනාධිපතිවරයාට සිදුව ඇතිමුත්, තමන්ව බලයට ගෙනා ජනතා අභිලාෂයන්ට පිටුනොපෑමේ වගකීම ද ඔහු ඇතුළු රජයට පවතී. විශේෂයෙන්ම බලය සදාකාලික නොවන බව වගකිව යුත්තන් තේරුම් ගත යුතු අතර, වීරයකු හා ද්‍රෝහියකු අතර ඇති තෝරා ගැනීම තුළ තමනට හිමි තැන තෝරා ගැන්ම සියලු දෙනාගේ වගකීමකි. ජනවාරි අට වැනිදා විප්ලවයට පෙර පැත්ත පළාතක නොසිටි අලුත් මිත්‍රයන් රැසක් මේ වන විට වත්මන් රජයට හේත්තු වී සිටින අතර මේ ප්‍රශස්ති ගායකයන්ගෙන් පරිස්සම් වීම වැදගත්ය. යහපාලනය, ඥාති සංග්‍රහය දූෂණය නාස්තියට තිත තැබීම යනු ඔවුනට කටගැස්මකට වැඩි දෙයක් නොවන අතර, දීර්ඝ කාලයක් තිස්සේ තමන් අනුගතව සිටි ක්‍රමයේම ඉදිරියට යෑම ඔවුන්ගේ කුල සිරිත වී ඇත.

මේ අතර, ජාත්‍යන්තර පෙරමුණ තුළ රජය මේ වන විට තම තැන තහවුරු කරගෙන ඇති අතර, ඉදිරිය බලා යෑමට රටට එය ප්‍රයෝජනවත් වනු ඇත. නොදියුණු, අශිෂ්ට රටවල් කුලකයක් අතර ස්ථානගතව තිබු අපේ විදේශ සම්බන්ධතා සෑහෙන ශක්තිමත් තැනකට මේ වන විට පැමිණ තිබීම ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට ඇති රජයේ උනන්දුවට විශාල ශක්තියක් සපයනු නිසැකය. අන්තර් පරායත්තාව වැඩි ලෝකයක් තුළ හුදෙකලා ගමනක් තවදුරටත් රටකට නොමැති අතර එම තත්ත්වය නිසි ලෙස අප කළමනාකරණය කරගත යුතුය. විශේෂයෙන්ම රජය අපේක්ෂා කරන ආකාරයට GSP+ සහනය ලබාගත හැකි වුවහොත් එය මරණ තුනක් මැද පැණි කන රෝගී ආර්ථිකයට විශාල උත්තේජනයක් සැපයීම ස්ථිරය. මෙම සහනය අහිමි වීම තුළ පසුගිය අට වසර තුළ රුපියල් බිලියන 700ක පමණ මුදලක් රටට අහිමි විණි. එබැවින් මෙම සහනය යළි ලබා ගැනීමට හැකි වුවහොත් අත මිට සරු රටක් බිහි කරන බවට ශපථ වූ වත්මන් රජයේ උනන්දුවට එය විශාල ශක්තියක් ගෙන එනු ඇත. ඉන්ධන මිල අඩු කරමින් එදාට සාපේක්ෂව අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ රැසක මිල අඩු කරමින්, සුබසාධන වියදම්, ඉහළ දමමින් යම් වෙනසක් රජය පසුගිය මාස 12 තුළ සිදුකර ඇති මුත්, රැකී රක්ෂා උත්පාදනය වැනි කාරණා සම්බන්ධයෙන් පෙන්වා ඇති ප්‍රගතිය අවශ්‍යතාවේ තරම හා ප්‍රමාණවත් නොවේ. රැකියා දස ලක්ෂයක් ලබා දෙන බවට දුන් ආකර්ෂණීය පොරොන්දුව මහ පොළොවේ ඇත්තක් බවට පත්කිරීමේ යුතුකමක් රජයට ඇති අතර, එය රජයේ ඉදිරි පැවැත්මට අවශ්‍ය දේශපාලන විශ්වාසය නිර්මාණය කරනු ඇත. රාජපක්ෂ යුගයේ සිදුවූ හොර මැරකම් වංචා දූෂණ පෙන්වමින් ඔවුන්ට අත දිගු කරමින් කාලය කා දැමීම වෙනුවට වැඩ පෙන්වීමට රජය දැන් කටයුතු කළ යුතුය. ජනතාව අපේක්ෂා කළ බොහෝ දෑ කිරීමට වසරක කාලය ප්‍රමාණවත් නොවුණද වසරක් යනු සුළුපටු කාලයක් ද නොවේ. එබැවින් දේශපාලනික පෙරමුණ තුළ ලැබු දිනුම ආර්ථික පෙරමුණ කරා ද ව්‍යාප්ත කිරීමට රජය වහා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි දේශපාලන සදාචාරය මැනවින් සංවර්ධනය නොවු රටක බොහෝ විට ජනතාව තීන්දු තීරණ ගන්නේ හැඟුම්බරවය. දේශපාලනික කාරණාවලට වඩා, “බඩ” ගැන සැලකිලිමත් වෙමින් තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් බව අපේ ජනතාව පෙන්වා ඇත්තේ වරකදී දෙකකදී නොවේ. ජනතාව ආර්ථිකව බලගැන්වීමට රජය වැඩි බරක් යෙදවිය යුත්තේ එබැවිනි.

පිම්මේ වර්ධනය වෙමින් පැවැති ජාතිවාදී ප්‍රවණතාවන්ට තිත තබමින්, සියලු ජාතීන් අතර අත්‍යන්තයෙන්ම පැවතිය යුතු සංහිඳියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය මුල පුරා තිබේ. ඊටත් අමතරව තොරතුරු දැනගැනීමේ පනත සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත, ජාතික විගණන පනත වැනි වැදගත් පනත් කිහිපයක්ම පසුගිය කාල පරාසයේ සම්මත කරගනිමින් යහපත් ආණ්ඩුකරණයකට ඇති තම සූදානම රජය පෙන්වා ඇත. ශිෂ්ට වූ රටක් බිහි කිරීමේ දී මේ සියල්ල වැදගත් ප්‍රතිසංස්කරණය. වෙනස්කම්ය. නමුත් සම්මුතිවාදී රජය පැමිණි මඟ කෙටිය. යා යුතු මඟ තව බොහෝය. තවත් එක් කාරණයක් පමණක් සිහිපත් කරමින් මේ සටහන නිම කෙරුමට කැමැත්තෙමි. කුමන ප්‍රශ්න තිබුණද තවමත් ජනතාව ආණ්ඩුව සමඟ සිටිනවා ය කියා ඇතැම්හු ගණන් බලමින් සිටිති. නමුත් සැමදා එය ඒ ආකාරයට පවතී යැයි කල්පනා කරන්නේ නම් එය ඔවුන් සිදුකරගන්නා බරපතළ අත්වැරැද්දක්මය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.