26 April, 2024

Blog

මහින්දගේ නුගේගොඩ වින්දනය

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව යළි බලයට රැගෙන ඒම වෙනුවෙන් මරාගෙන මැරීමට වුවත්, සූදානමින් සිටින ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම, නුගේගොඩ දී රැලියක් සිකුරාදා සංවිධානය කර තිබිණි. ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව සෑම වසරකදීම, මෙසේ නුගේගොඩ හෝ ඒ අවට මෙබඳු කස්තිරමක් අල්ලමින්, වැඩ පටන්ගැනුම එම කණ්ඩායමේ “පුරුද්දක්” වී තිබේ. 2015 පෙබරවාරියේදී “මහින්ද සමඟ නැගිටිමු” කියමින් නුගේගොඩ දී රැලියක් පවත්වමින් දේශපාලන බලය යළි අත්පත් කරගැනුම වෙනුවෙන් වූ ගමන මහින්ද හිතවාදීහු ඇරඹූ අතර, පසුගිය මාස 23 ක කාලය තුළ මේ මාදිලියේ උත්සාහයන් රැසක් ඒ සඳහා දැකගත හැකිවිය. මාස හය-හතකට වරක් විශාල ප්‍රසිද්ධියක් සහිතව මහා පරිමාණයේ “දේශපාලන සංදර්ශනයක්” පැවැත්වීම පිටුපස වැඩ කරන රාජපක්ෂ හිතවාදින්ගේ “දේශපාලනය” තේරුම් ගැනීම අපහසු නොමැත. තම බල තණ්හාව මහජන ඉල්ලීමක් බව පෙන්වීමට ඔවුහු නොනවත්වා උත්සාහ දරමින් සිටිති.

‘බලය’ ඉල්ලමින් මේ සිඟමන් යදිනුයේ කවරෙක්ද? දෙවතාවක් මේ රටේ ජනාධිපති ධුරයට පත්වූ, යුද්ධය අවසන් කළ බව තමන් ම කියන නායකයා ය. මහින්ද රාජපක්ෂව විකුණමින් සිටින එම බලවේගය මෙහිදී අමතක කරන ප්‍රධානතම කරුණ වනුයේ, 2015 ජනවාරි අටවැනිදා ඔහු පරාජය වූයේ ඇයි ද යන කාරණය ය. ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධති විනාශ කරමින් ඒවාට කිසිදු ඉඩක් නොතබමින් දූෂණය, වංචාව නීතිගත කරමින් භීෂණය පෙරදැරිව රාජපක්ෂලා ගෙනගිය පාලනය එදා ජනතාව ප්‍රතික්ෂේප කළේ ඊට තවත් ඉඩක් නොමැති බව ට වූ ප්‍රබල පණිවිඩය ලබාදෙමිනි. “ජනරජයක්” ලෙස හැඳින්නුවද රාජපක්ෂ සමයේ මෙරට ක්‍රියාත්මක වූයේ පවුල් පාලනය් බව රහසක් නොවේ. එම ඥාති සංග්‍රහයේ තරම කෙතරම් ද කියතොත් ඒ යුගයේ රටේ ජාතික අයවැය ලේඛනයෙන් 62%කට වඩා කේන්ද්‍රගතව පැවතියේ රාජපක්ෂවරුන් යටතේ වූ ආයතන වටාය. 2015 ජනවාරි අටවැනිදා “නිහඬ විප්ලවයක්” රටේ සිදුවූයේ මේ “කැත” සංස්කෘතිය ආපසු හැරවීම වෙනුවෙනී.

දේශපාලන සදාචාරය මැනවින් වර්ධනය නොවූ ශ්‍රී ලංකාව වැනි රටක උපතේ සිට මරණය තෙක් තනතුරු වරදාන හෙබවීමේ නොනිමි පිපාසාවක් අපේ දේශපාලනඥයන්ට ඇත. සාමාන්‍යයෙන්, බලය ඇතිවිට මෙය නොතේරීම පුදුමයක් නොවුනත් බලය ගිලිහුණු පසු මේ යථාර්ථය නොතේරීම සාමාන්‍ය බුද්ධිය පිළිබඳ ගැටලුවකි. දේශපාලන වශයෙන් ඉහළට පැමිණීමෙන් අනතුරුව, වසර නවයක් පමණ එම බලතල භුක්තිවිඳීමෙන් පසු ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී, යළි දේශපාලනයේ අනාගතයක් ගැන සිතීම විහිළුවක්මය. ඒ වග, 2015 අගෝස්තුවේ පැවති මහා මැතිවරණයේදී මේ රටේ ජනතාව ඔප්පු කර පෙන්නුවේය.

මැදමුලනට වී විශ්‍රාම සුවයෙන් සිටීමට ඉඩ නොදී හිටපු ජනාධිපතිවරයාව තවදුරටත් අන්දමින් සිටිනුයේ බලය නොමැතිව හුස්ම ගැනීමට අසීරු කණ්ඩායමකි. රාජපක්ෂ සමයේ වාහන අවභාවිත කළ බවට, රාජ්‍ය දේපොළ මහදහවලේ මංකොල්ලකෑ බවට චෝදනා ‍ෙගඩි පිටින් එල්ල වී ඇති මේ කණ්ඩායම තම පැවැත්ම වෙනුවෙන් වසර 50කට අධික දේශපාලන ඉතිහාසයක් සහිත මහින්ද රාජපක්ෂව “කඩේ” යවමින් සිටිති. සැබවින්ම මහින්දගේ පරාජය ඉක්මන් කළේ ඔහු වෙනුවෙන්, අද කිඹුල් කඳුළු හෙළන මේ කණ්ඩායමය. මේ නාටකය තුළ “ගරු රඟපෑමක” යෙදෙන මහින්ද රාජපක්ෂ දැන්වත් මෙය අව‍බෝධ කරගැනුම වැදගත්ය.

සමාජ සේවය, නොඑසේ නම් ජනතා සේවය සඳහා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම ම අවශ්‍ය නොවේ. දේශපාලනයෙන් සමුගැන්මෙන් පසු පෙරටත් වඩා සමාජ සේවාවන්හි නිරත වූ පුද්ගලයෝ අනන්තවත් ලෝක දේශපාලනය තුළ සිටිති. ජිමි කාටර්, ජෙරල්ඩ් පෝර්ඩ්, බිල් ක්ලින්ටන් වැනි හිටපු ඇමරිකානු ජනාධිපතිවරු ධුර කාලයෙන් අනතුරුව තම නමින් පදනම් ගොඩනඟා ගනිමින් සමාජ සේවයට පිවිසියහ. හිටපු ජනාධිපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම තුළ මේ රට ඉදිරියට ගෙන යෑමට තරම් සාධනීය වැඩපිළිවෙළක් නොතිබීම ද ගැටලු සහගතය. තවමත් ඔවුන් ප්‍රවර්ධනය කරමින් සිටිනුයේ ජාතිවාදය, දේශප්‍රේමය වැනි පිළුණු වූ යල්පැනගිය භාවෝන්මාදී සටන්පාඨය. එසේ නොමැතිව අනාගත දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වූ ශක්තිමත් වැඩපිළිවෙළක් ඒ තුළ නැත. හිස් බව එහි පිරී පවතී.

සීමිත ප්‍රදේශයක් පුරවමින් එය තමනට හිතවත් මාධ්‍ය අවකාශයන් ඔස්සේ, විකුණමින් තාවකාලික වින්දනයක් ලබාගැනීම හැර අන් කිසිවක් “නුගේගොඩ රැලිය” හරහා සිදුවන්නේ නැත. අවශ්‍ය නම් ගීතා කුමාරසිංහ වැනි අදේශපාලනික කෝලම් ලවා තුන්කෝටියක් ජනතාව රැලියට පැමිණි බවට “ගොන් කථාවක්” කියා ගත හැකිය. රැස්වීම් නැරඹීමට පැමිණෙන, සෙනඟ දෙස බලමින් තම දේශපාලන ශක්තිය පිළිබඳ යමෙකු විනිශ්චයකට යෑම යනු ඔහු කරගන්නා බරපතළ අත්වැරැද්දක්මය. රැස්වීම්වලට ආ සෙනඟ දෙස බැලුවේ නම් තවමත් මේ රටේ ජනාධිපති විය යුත්තේ මහින්දය. ආණ්ඩු කළ යුත්තේ ජවිපෙය. මාස හය, හතකට වරක්, නුගේගොඩ හෝ හයිඩ් පිටියේ රැලියක් පවත්වමින් තාවකාලික වින්දනයක් ගන්නා මහින්ද ඇතුළු නඩය එය වටහා ගත යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    1

    ෙනා නිමි බල ෙප ෙර්ත කම. කා ෙවනු ෙවන් ද? අවංකවම ජනතාව ෙවනු ෙවන් ෙනා ෙව්. තමා සහ තම සහචරයින් ෙග් අාරක්ෂාව තකා ෙගනයි.
    ෙමය ජනතාව ෙත්රැම් ෙගන අැත. තව දුරටත් ජනතාව රැවටීම පහසු නැත.

    ජනතාවට ද අැමක් ෙපන්වයි. ඒය ජාතිවාදී සහ අාගම් වාදයයි. ෙම්වාට කට හැකරයින් කීප ෙද ෙනක් ද අැත. ගම්මන්පිල සහ වීමල් වීරවංශ වැනි.
    අනාගත ෙය්දී වත් සුදුවෑන් නැති කරන බව ෙපා ෙරාන්දු ෙවනවාද? දූෂන වලට ඒ ෙරහි වනව ද? පවුල්පාලනය තවදුරටත් පවත්වා ෙගන යනවා ද? ඒ වා ගැන කියන් ෙන් නෑ. පවතින අාන්ඩු ෙ‍ව් වැරදි හා අඩුපාඩු කියව කියවා ජාතිවාදී සහ අාගම් වාදී අැම ෙපන්වීම පමණකි බලය ගැනීමට ප්‍රමාණවත් ද?

    • 3
      0

      බුදුබැතිමතුන් පිරි අපේ රටේ බහුතරයක් සරල භාෂාවෙන් කියනවානම් ඉතාමත්ම පහසුවෙන් රැවටෙන සුලුය. ඒ රැවටීමට කුරුමානම් අල්ලගෙන සිටින, යන්ත්‍ර මන්ත්‍ර වන්චනිකයින් හා දේශපාලයකින් අද සමාජයේ ප්‍රමානයෙන් වැඩිවෙමින් පවතී. මේ භයානක ඉරණමට අඩිතාලම දැම්මෙ පසුගිය රජය ගෙනගිය දේශපාලකයින් හා ඒ අයට කත් ඇදපු තිරිසන්නු වගේ බඩවඩාගැනීම පමනක් හිතන කියන අමානුෂිකයින්ය. ඒ වගේම ජනගහනයෙන් 40% ක් පමන 2 අමෙරිකානු ඩොලරයට වඩා අඩුවෙන් දිනකට ආදායමක් වත් නැති තරම් දුප්පත්ය-. මේ රැවටීම කාලයක් තිස්සේ දේශපලකයන් විසින්ම ගොඩනගපු දෙයකි. මිනිසුන් දුප්පත්ව – අන්ධ භවයෙන් හිටියොත් තමයි – බලලෝබී රාජපක්ෂවරුන්ට හා එවැනි අනිත් නායකයින්ගේ ග්‍රහනයට ලේසියෙන් අහුවෙන්නේ. මෙවුන් රටජාතිය විනාස කරන්න මේ දේශයේ ඉපඩුනු මකරුන්ට වඩා අන්ත අමානුශික මිනිසුන්ය. බැලූ බැල්මට අපිට පෙනුන විදියට, නුගේගොඩට ආපු මිනිසුන් අතර වැඩිකොටසක් පිටපලාත්වලින් ප්‍රවාහනය කොරපු මිනිසුන්ය. මෙවැනිමිනිසුන් බත්පැකට් එකට අරක්කුබෝතලයට ඕනෑම දෙයකට ගැතිවෙන අහින්සක ජනකොටස්ය. ඒ දුප්පත් මිනිසාගේ, සම්පත – සරවජනචන්දබලයයි ඒක එලෙස චාටු කොර ඩැහැගැනීමයි මේ මකරන්ගේ අරමුන. ඒ වගෙ මිනිසුන්ව මෙලෙස දිගටම රැවටීම පාපයක් නොවේද ? එදා සන්ද්යාභාගයේ මෙවැනි මිනිසුන් නුගේගොඩ පාරේ අහුමුලුවල බීමත්ව ඇඩවටී සිටි ආකාරය අපි කවුරුත් වීඑඩිඔ වලින් දැකගත්තා. උන්ට ජොලිය ඒ උනත් සමාජය තවඩුරත් ප්‍රපාතයට ඇද වැටීමක් තමයි ඊලන්ගට වෙන්නේ – එතකොටත් ජයගන්නේ මේ මකරුන් වැනි දේශමාමකයින්ය.

      • 0
        2

        ගමේ මිනිහා අර්ක්කු බෝතලේටයි බත් පැකට් එකටයි ගැති වන පිරිසක් බවට කරන වාචාල කතාවට ඔහේට සාප වේවා! ඉතා සුලු සිහිකැදවීමක් තකතරැ ලීලා! ශ්රී ලංකාව යනු එහි ජීවත් වන ගැමියා බව සිහි තබා ගන්න. ශ්රී ලංකා ලිව්ස් ඉන් හර් විලේජස්!

  • 1
    3

    නුගේගොඩ රැලිය හරහා චාමර ලක්ෂාන් වැනි යහපාලන කපුටන් සහ සට්ටැඹියන් පත් වී ඇති අපහසුතාවයේ තරම පෙන්වන කදිම ලිපියකි. දැන් මෙවැනි රැලි පවත්වන්න එපා ද? කිසිම දැක්මක් නැති මේ ආණ්ඩුව යන පාර හරි ද? මිනිසුන්ට දුන් පොරොන්දු ඉටු කළා ද මේ හාදයො? රට රැයිතෙට ගෙන යන මෝඩ යහපාලන නඩේට හුරේ දාන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නෑ. චාමර ලක්ෂාන්ලාට ලැබෙනවා යැයි සිතිය හැකි කුට්ටිය නිසා ඉතිං මොනවා හරි ලියන්නත් එපැයි!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.