20 April, 2024

Blog

මහින්ද රාජපක්ෂ විශ්‍රාම ගියානම් මේ ප්‍රශ්න එකක්වත් ඇති වන්නේ නෑ

රනිල් වික්‍රමසිංහ

ජනවාරි මාසයේ දී අගමැතිකම ගෙන ආණ්ඩුව භාරගන්නා බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ඒකාබද්ධ කල්ලිය ප්‍රකාශ කළා. මම විදේශ ගතවීමට නියමිත දිනවල ආණ්ඩුව බාරගන්නැයි එහිදි මහින්ද රාජපක්ෂ මහතාට පැවසුවා. ආණ්ඩු බාර ගැනීම අවශ්‍ය නැහැ. අපි බලාගෙන ඉන්නම් යැයි දැන් ඔවුන් පවසනවා. එසේ නම් ආණ්ඩුවක් ගන්න බලාගෙන ඉන්නේ කුමකටද ?

යහපාලන රජයේ ඇමතිවරුන් නුගේගොඩ රැස්වීමකට එන බවම පැවසුවා. නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුයෙකුවත් ආවේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තරඟයට ආවේ නැතිනම් තමා විශ්‍රාම යාමට සූදානමින් සිටි බව නුගේගොඩ රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණා. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කරන්නට හැකියාවක් නැහැ. මම ඒ ගැන කථා කරන්නෙත් නැහැ. මා එම පක්ෂයේ සාමාජිකයෙකු නොවේ. ඒවා පක්ෂය ඇතුලේ විසදාගත යුතුයි. මා කථා කරන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාව ගැනයි.

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ වාර දෙකකින් පසුව විශ්‍රාම යෑම සඳහායි. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා වාර දෙකක් ජනාධිපති ධූරයේ සිට විශ්‍රාම ගියා. ඩී. බී. විජේතුංග මැතිතුමා එක් වාරයක් ජනාධිපති ධූරයේ විශ්‍රාම ගියා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වාර දෙකක් සේවය කොට විශ්‍රාම ගියා. අප ව්‍යවස්ථාව නිර්මාණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ වුවත් වාර දෙකක් ධූරයේ කටයුතු කොට විශ්‍රාම ගැනීම සඳහායි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් වාර දෙකේ ක්‍රමය සංශෝධනය කලේ ඇයි? එම ව්‍යවස්ථාව එහෙමම ගෙන තබාගෙන විශ්‍රාම ගියානම් මේ ප්‍රශ්න එකක්වත් ඇති වන්නේ නැහැනේ.

හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම නොගිය නිසා අප පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළා. ඉන්පසුව එතුමා ජනතාව විසින් විශ්‍රාම යැවුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන දේ මම දන්නේ නැහැ. එය ඒ අය විසින් කළ යුතුයි. මගේ කාර්යයක් නොවේ.

ආණ්ඩු මාරු කළේ හොද වෙලාවටයි. මහින්ද රාජපක්ෂ මේ රටේ ආර්ථිකය විනාශ කළා. යුද්ධයෙන් පසුව මෙරට විශාල දියුණුවක් ඇතිවේවි යැයි ජනතාව බලාපොරොත්තු වුණා. අවසානයේ සිදුවුනේ කුමක්ද? රටේ ආර්ථිකය විනාශ කොට දැඩි සත්කාර ඒකකයට යැවීමයි. එලෙස දැඩි සත්කාර ඒකකයට දැම්මේ ලෙඩාට සාත්තු කර ගැනීමට නොහැකි වූ විටයි. අසනීපයට බෙහෙත් දැමීමට දැනගෙන හිටියේ නැහැ. අඩුගානේ තුවාලය සුද්ද කරලාවත් නැහැ.

ඔවුන් හිතාගෙන හිටියේ ජනාධිපතිවරණයක් පවත්වා බලය ලබා ගෙන ජනතා නැගිටීමක් ආවොත් රතු පස්වල වගේ මර්ධනය කිරීමටයි. වෙඩි තබමින් බඩු මිල වැඩි කරමින් ආණ්ඩුවගෙන යාම ඔවුන්ගේ අරමුණ වුණා. අවසානයේ ලෙඩා අමාරුවේ දොස්තර පැනලා ගියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මටත් ඒ ලෙඩා භාරගන්න සිදුවුණා.

අප රට භාරගත්තේ ජනතාවට බරපටවන්න නොවේ. අප 2015 වසරේ රට බාරගන්නා විට මෙරට ආදායම එදිනෙදා වියදම් සඳහාවත් ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් මිනිසෙකුගේ මාසික ආදායම ඔහුට ජීවත්වීමට ප්‍රමාණවත් නැතිනම් තවත් වියදම් කර ගෙවල් ටිකක් හදන්න උත්සාහ කළ ආකාරයේ කටයුතු රාජපක්ෂ රෙජිමය විසින් සිදුකළා. එකල රටේ ලැබූ ආදායමෙන් අමාත්‍යාංශවල වියදම්වත් පියවා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.

2026 වසර වන තෙක් අපට ණය ගෙවීමට තිබෙනවා. රට වැටී තිබූ ආර්ථික අවපාතය දුටු විට රාජපක්ෂ රෙජිමයට බඩ ගියා. අපට බඩ යන්නේ නැහැ. ආර්ථිකය හදන හැටි අපි දන්නවා. අපි නොබියව ආර්ථිකය භාර ගත්තේ ඒ නිසයි. එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා රටේ ආර්ථිකය සුභවාදී කරගන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. මේ වසරේ දී අපට ඩොලර් කෝටි සියයක මුදලක තවත් ණය මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා. නමුත් අප බදු මුදල් වැඩි කරන්නේ නැහැ. කෙසේ හෝ මෙම ණය ගෙවා දැමීමට අපි කටයුතු කරනවා.

2019 සිට විදේශ විනිමයෙන් කෝටි හාරසියයක් වැඩිපුර ගෙවීමට සිදුවී තිබෙනවා. ඒ අය පැනලා දිව්වත් අපි කෙසේ හෝ ලෙඩා භාරගෙන දැඩිසත්කාර ඒකකයෙන් ඉවත් කර ගෙන තියෙනවා. ආර්ථික තුවාල සුද්ධ කොට බෙහෙත් දමා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාත් මමත් කැබිනට් මණ්ඩලයත් ඒ වගකීම භාර ගත්තා. අප රට භාර ගත්තේ ජනතාවගේ බර වැඩි කරන්න නොවෙයි.

ජාතික ආණ්ඩුව භාර ගත් පසු අපට යුතුකම් දෙකක් තිබෙනවා. ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම එම මූලික යුතුකම් දෙකයි.

ජාතික ආණ්ඩුවේ අගමැති ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් මා තව වගකීමක් භාර ගත්තා. ඒ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප්‍රශ්න විසදීමයි. පසුගිය වසරේදීම ඒ වගකීම නොකළේ ඇයි දැයි බොහෝ අය අහනවා. අපට රැකියා නොදුන්නේ ඇයි දැයි අහනවා. ආදායම වැඩි නොකෙළේ ඇයි රටේ ප්‍රශ්න සියල්ල විසදුවේ නැත්තේ ඇයි දැයි කියා අහනවා.

පළමුවෙන්ම රටේ මූලික ප්‍රශ්නවලට අතගැසුවේ නැතිනම් ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවක් කඩා වැටෙනවා. ඒ නිසා අප කළේ පළමුවෙන්ම ආර්ථිකය හදා ගැනීමටයි. දැන් අප ඉදිරියට යන්න සූදානම්. රටේ ප්‍රශ්න විසදීම සඳහා අප ඉදිරියට යනවා.

අප රට භාර ගත්තේ ඇයි ? මේ අය රට භාර ගෙන වසරකින් අනාගත් පසු නැවත බලයට එන්නට හැකිවේ යැයි රාජපක්ෂ කල්ලිය සිතුවා. නමුත් අප අනාගත්තේ නැහැ. අප ආර්ථික කඩා වැටීම පාලනය කර ගත්තා. දැන් අපේ අරමුණ රට ඉදිරියට ගෙන යාමයි.

අප රට භාර ගත්තේ අමාරු අවස්ථාවකයි. මැරෙන්න සිටි ලෙඩා අප විසින් භාර ගත්තා. මේ උදාවී ඇත්තේ අපේ රටට තිබෙන අන්තිම අවස්ථාවයි. 1977 වසරේ දී විශාල සංවර්ධනයක් පටන් ගත්තා. යුද්ධය නිසා ඒ සංවර්ධනය කල් ගියා. 2009, 2010 වසරවල රටට අවස්ථාවක් තිබුණා. ඒ කිසි දෙයක් කළේ නැහැ. ඒ වෙනුවට රට කාලා ගියා. ඒ අපතේ ගිය කාලය දෙස කල්පනා කොට සීඝ්‍රයෙන් ඉදිරියට නොගියහොත් ලෝකයේ සියළුමන රටවල් අප පසු කර යාවී.

මීට වසර කිහිපයකට පෙර ආසියාවේ රටවල් බොහොමයක් සිටියේ ලංකාවට පසුපසිනි. දැන් අපේ පිටුපසින් ඉන්නේ කවුද? බංගලාදේශය පවා අප පසු කර ඉදිරියට ගොස් සිටිනවා. අපේ පිටුපසින් ඉන්නේ ලාඕසය, කාම්බෝජය සහ ඇෆ්ගනිස්ථානය පමණයි. රාජපක්ෂ රෙජිමය තව අවුරුදු පහක් රට පාලනය කළා නම් ඇෆ්ගනිස්ථානය අප පසු කර යනවා. ලෝකයේ තිබෙන්නේ එවැනි තත්වයක්.

මෙරට තරුණ තරුණියන්ට රැකියා බිහිකොට ආදායම වැඩි කිරීම සඳහා උදා වූ අවසන් අවස්ථාව මෙයයි. එම කාර්යය හරියට සිදු කර අපගේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහි කර රට ශක්තිමත් කරන වැඩසටහන අප විසින් ආරම්භ කර තිබෙනවා.

අවුරුදු පහක් දහයක් තිස්සේ කල්මරමින් ඉන්නට අපට අවශ්‍ය නැහැ. එක්වරම කළයුතු සියළුම කාර්යයන් ඇරඹිම අපේ අරමුණයි. එක් කර්මාන්ත කලාපයක් හෝ එක් හෝටලයක් ඉදි කිරීමෙන් නතර වීමට අප සූදානම් නැහැ. තරුණ තරුණියන්ට අවශ්‍ය වන්නේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගැනීමයි. හොඳට අඳින්න පළඳින්න අළුත් පන්නයේ විලාසිතා ඇඳුම් ගන්න තරුණ තරුණියන් කැමතියි. කිසිවෙකුත් නිවසට ඇවිත් ජනතාවට මැණික් පසුම්බි දෙන්නේ නැහැ. ජනතාව උත්සාහයෙන් හරිහම්බ කරගත යුතුයි. හැම තරුණ තරුණියකටම අනාගතයේ බලාපොරොත්තුවක් තිබෙනවා. හොඳ රැකියාවක් කරන්න, ගෙයක් ෙදාරක් හදාගන්න හැම කෙනෙකුටම සිහින තිබෙනවා. දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ සිහින තිබෙනවා.

රාජපක්ෂ රජය අපට භාර දුන්නේ මොනවාද? ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය භාර දුන්නා. මත්තල ලොකුම මොරණ කලාපය භාර දුන්නා. ඒ සඳහා ගත් ණය ගෙවන්නට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. අප චීනයට ගොස් චීන ජනාධිපතිතුමා සමඟ කථා කළා. අද හම්බන්තොට ශ්‍රී ලංකා රජය සහ චීන සමාගමක් එකතු වී සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරනවා. එමෙන්ම ජාත්‍යන්තර කන්ටේනර් වරායක් ඉදි කරනවා. වසර 10ක් ඇතුළත මත්තල ගුවන් තොටුපළට මගීන් ලක්ෂ දහයක් ගෙන එන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

හම්බන්තොට මෙන්ම සෙසු ප්‍රදේශවලත් කර්මාන්ත කලාප ඉදි කරනවා. අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල තරුණ තරුණියන්ටත් එහි ගොස් රැකියා ලබාගත හැකියි.

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට නැව් තටාකාංගනයක් ඉදි කිරීමට අප කටයුතු කරනවා. රටට ණයක් වී තිබූ එම ව්‍යාපෘති රැකියා ඉල්ලමක් බවට පත්කිරීම අපේ අරමුණයි. මේ ව්‍යාපෘති පටන් ගත් අයම ඒවා දියුණු කරනවාට විරුද්ධ වන්නේ ඇයි ? මෙතරම් විරුද්ධ නම් මේවා පටන් ගත්තේ ඇයි ? දැවැන්ත රැකියා ව්‍යාපෘති සඳහා මෙතරම් විරුද්ධ වන්නේ ඇයි ? අප සියළු දෙනා එක්වී එකට වැඩ කරනවා. කොළඹත් විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. රාජපක්ෂ රජය ඇරඹූ පෝර්ට් සිටි සිටිය අප මූල්‍ය නඟරයක් බවට පත් කර තිබෙනවා. මුළු බස්නාහිරම මහා නගරයක් ලෙස සංවර්ධනය කරනවා. එමෙන්ම ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීම සඳහා ද අප සැලසුම් සකසා තිබෙනවා. ඒ සදහා ජපන් රජය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා. හොරොව්පතාන, අනුරාධපුර තරුණයන්ට එහි ගොස් ලේසියෙන්ම රැකියා ලබා ගත හැකියි.

වයඹපළාතේ විශාල කර්මාන්ත ශාලා අරඹනවා. කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කම්හලක් ආරම් කළා. ලංකාවේ වාහන නිෂ්පාදනය කිරීම සදහා තවත් සමාගමක් ඉල්ලූම් කර තිබෙනවා. ඔබට මුදල් තිබෙනවා නම් එවිට ලේසියෙන්ම වාහනයක් මිලදි ගත හැකියි.

නැගෙනහිර වෙරළ ආශි්‍රතව විශාල වශයෙන් සංචාරක කර්මාන්තය දියුණු කරනවා. සංස්කෘතික ත්‍රිකෝණයේ මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුරය දියුණු කරනවා.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අප විසින් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම දැන් මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කරන්න යනවා. ගමේ ස්වයං රැකියා බිහි කරන වැඩසටහන්ද අප විසින් ක්‍රියාත්මක කරනවා. මේ උදාවී ඇත්තේ තරුණ තරුණියන් සදහා අන්තිම අවස්ථාවයි. රට දියුණු වීම සඳහා ඇති අන්තිම අවස්ථාවයි. මෙම අපගේ සංවර්ධන වැඩ සටහන හරියට කරනවා නම් අපගේ දියුණුව සදහා ඇති ගමන කිසිවෙකුටවත් නතර කිරීමට හැකියාවක් නැහැ. වසර 13ක අධ්‍යාපනය අප විසින් අනිවාර්ය කර තිබෙනවා. සමාන්‍ය පෙළ අසමත් වූවත් ඉගෙනීම නතර කළ යුතු නැහැ. වසර 13ක් වෘත්තීය පුහුණුව සහ සෙසු අධ්‍යාපනය ලැබීමට ප්‍රතිපත්ති සකසා තිබෙනවා.

වාද භේද දුරලා සියළු දෙනාටම එක් වන්න යැයි අප ආරාධනා කරන්නේ රට ඉදිරියට ගෙන යාම සදහා වන අවසන් අවස්ථාව උදා වී ඇති නිසයි. ඒ සදහා අප එකතු වෙමු.

එක්සත් ජාතික පක්ෂයේ අය වින්ද දුක මට අමතක වෙලා නැහැ. ඒ අයට අප උපකාර කළ යුතුයි. ඒ අයට රැකියා සොයා දිය යුතුයි. දේශපාලන පළිගැනීම් සම්බන්ධ වැඩ කටයුතු පළමුවෙන් අවසන් කරන්නැයි මහ ලේකම් කබීර් හෂීම් මහතාට මා උපදෙස් දුන්නා. කුඩා ව්‍යාපාර පටන් ගැනීමට සූදානමින් සිටින අයට අප ණය ලබාදිය යුතුයි. බොහෝ තරුණයන්ට අප රැකියා පුහුණුව ලබා දිය යුතුයි.

මේ වැඩසටහන් සියල්ල කරන අතර කාටවත් මේ වැඩ සටහන් කඩා කප්පල් කිරීම සදහා නටන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමේ වැඩ කටයුතු අරඹන ලෙස පක්ෂ සභාපතිතුමාටත් මහ ලේකම් තුමාටත් උපදෙස් දුන්නා. කවුරු හරි නටන්න ආවොත් එක්සත් ජාතික පක්ෂය සමග නටන්නට සිදුවන ලෙස වැඩ කටයුතු කරන ලෙස මා උපදෙස් දුන්නා. මෙරට සංවර්ධන ආරක්ෂාව කළ යුතුයි. ජාතික සමගිය ආරක්ෂා කළ යුතුයි. සංවර්ධනය ඇති කළ යුතුයි. තරුණයන්ගේ අනාගතය ශක්තිමත් කළ යුතුයි. එමෙන්ම සාමාන්‍ය ජනතාව ශක්තිමත් කළ යුතුයි.

*2017 ජනවාරි මස 28 වන දින සාලියපුර යුධ හමුදා කදවුර ඉදිරිපිට පැවති ජනහමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    බුදුබැතිමතුන් පිරි අපේ රටේ බහුතරයක් සරල භාෂාවෙන් කියනවානම් ඉතාමත්ම පහසුවෙන් රැවටෙන සුලුය. ඒ රැවටීමට කුරුමානම් අල්ලගෙන සිටින, යන්ත්‍ර මන්ත්‍ර වන්චනිකයින් හා දේශපාලයකින් අද සමාජයේ ප්‍රමානයෙන් වැඩිවෙමින් පවතී. මේ භයානක ඉරණමට අඩිතාලම දැම්මෙ පසුගිය රජය ගෙනගිය දේශපාලකයින් හා ඒ අයට කත් ඇදපු තිරිසන්නු වගේ බඩවඩාගැනීම පමනක් හිතන කියන අමානුෂිකයින්ය. ඒ වගේම ජනගහනයෙන් 40% ක් පමන 2 අමෙරිකානු ඩොලරයට වඩා අඩුවෙන් දිනකට ආදායමක් වත් නැති තරම් දුප්පත්ය-. මේ රැවටීම කාලයක් තිස්සේ දේශපලකයන් විසින්ම ගොඩනගපු දෙයකි. මිනිසුන් දුප්පත්ව – අන්ධ භවයෙන් හිටියොත් තමයි – බලලෝබී රාජපක්ෂවරුන්ට හා එවැනි අනිත් නායකයින්ගේ ග්‍රහනයට ලේසියෙන් අහුවෙන්නේ. මෙවුන් රටජාතිය විනාස කරන්න මේ දේශයේ ඉපඩුනු මකරුන්ට වඩා අන්ත අමානුශික මිනිසුන්ය. බැලූ බැල්මට අපිට පෙනුන විදියට, නුගේගොඩට ආපු මිනිසුන් අතර වැඩිකොටසක් පිටපලාත්වලින් ප්‍රවාහනය කොරපු මිනිසුන්ය. මෙවැනිමිනිසුන් බත්පැකට් එකට අරක්කුබෝතලයට ඕනෑම දෙයකට ගැතිවෙන අහින්සක ජනකොටස්ය. ඒ දුප්පත් මිනිසාගේ, සම්පත – සරවජනචන්දබලයයි ඒක එලෙස චාටු කොර ඩැහැගැනීමයි මේ මකරන්ගේ අරමුන. ඒ වගෙ මිනිසුන්ව මෙලෙස දිගටම රැවටීම පාපයක් නොවේද ? එදා සන්ද්යාභාගයේ මෙවැනි මිනිසුන් නුගේගොඩ පාරේ අහුමුලුවල බීමත්ව ඇඩවටී සිටි ආකාරය අපි කවුරුත් වීඑඩිඔ වලින් දැකගත්තා. උන්ට ජොලිය ඒ උනත් සමාජය තවඩුරත් ප්‍රපාතයට ඇද වැටීමක් තමයි ඊලන්ගට වෙන්නේ – එතකොටත් ජයගන්නේ මේ මකරුන් වැනි දේශමාමකයින්ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.