27 April, 2024

Blog

“නිහඬ විප්ලවයේ” ඇතුළත කථාව

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මේ රටේ ඉතිහාසය ලියත්දී 2015 ජනවාරි අටවැනිදා යනු සුවිශේෂි, ඉහළ වැදගත්කමක් සහිත දිනයක් වන්නේ කරුණු කාරණා කිහිපයක් නිසාවෙනි. මූලිකවම ගත්විට, අන්ත දූෂිත ඒකාධිපති පවුල් පාලනයකට තිත තබමින්, ඓතිහාසික බල හුවමාරුවක් සිදු වූ දිනයක් ලෙස එය ඉතිහාසයට එක්වෙයි. එය, ධන බලය, මැර බලය, දේශපාලන බලය යන මේ සෑම බලයකට ම වඩා ජන බලය, බලවත් බව පෙන්වූ දිනයක් විය. රටේ ජනතාව ස්වේච්ඡාවෙන්, බලමුළුගැන්වී, අන්ත දූෂිත පවුල් පාලනයකට එරෙහිව, මහපොළොවේ ඇත්තක් බවට පත්කළ නිහඬ විප්ලවය සිදුව අදට වසර දෙකකි. “වෙනස” සිදු වූ දිනය නිසාවෙන්, ජනවාරි අටවැනිදාට සුවිශේෂී සංකේතාත්ක වටිනාකමක්, හිමිව ඇති මුත් එම නිහඬ විප්ලවය එක් රැයකින් ඇත්තක් බවට පත්වූවක් නොවේ. වසර කිහිපයක් මාස ගණනාවක් පුරා සිදුවුණු අඛණ්ඩ අරගලයක කූඨප්‍රාප්තිය සටහන් වීම පමණක් එදින සිදුවිණි.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරදවමින් ලැබූ යුද ජයග්‍රහණයෙන් මත්ව එය තම දේශපාලන “සැපත” බවට පත් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස තඹයකට මායිම් නොකරමින් ඊට සිනහ සෙමින් වංචාව, දූෂණය, නාස්තිය නීතිගත කරමින් ගෙන ගිය රාජපක්ෂ පාලනයට එරෙහිව සැලකිය යුතු මට්ටමේ විරෝධයක් 2012 වසර එලඹෙද්දී මතුව තිබුණ ද එය ශක්තිමත් දේශපාලන බලවේගයක් ලෙස ප්‍රකාශයට පත් නොවූ තරම්ය. එවැන්නකට අවශ්‍ය දේශපාලන නායකත්වය නොලැබීම එසේ වීමට බලපෑ එක් හේතුවක් වූ අතර, රාජපක්ෂ පාලනයේ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තිය එය තවත් සංකීර්ණ කර තිබිණි. අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් ඇතුළු විකල්ප දහරාවේ මාධ්‍ය එම සටන ඉදිරියට ගෙන යෑමට උත්සාහ කළමුත් කිසිසේත්ම එය අවශ්‍යතාවේ තරම හා නොගැලපුණි. විශේෂයෙන්ම රාජපක්ෂ රෙජිමයේ මර්දනය හමුවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මර නින්දකට වැටී තිබූ පසුබිමක් තුළ ඉඳහිට මතු වූ විරෝධයන්, කැටපෝලයක් රැගෙන යුද ටැංකියක් ඉදිරියට යෑමට වඩා වැඩි දෙයක් නොවීය. නමුත් ඒ හුදෙකලා වි‍රෝධයන් අඩු ලංසුවක ලා බැහැර කළ යුතු බව අපගේ අදහස නොවේ. අවසන් ප්‍රහාරය වෙනුවෙන් ඒ සියල්ල ම අඩු වැඩි වශයෙන් දායක වූ බව අපගේ විශ්වාසයයි.

2009 න් පසු කාලයේ පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව රටේ සෙසු දේශපාලන පක්ෂ අතරින් අති බහුතරයක් ද නිල හා නොනිල මට්ටමින් රාජපක්ෂවරු පාලනය කළ අතර මාධ්‍ය සම්බන්ධයෙන් ද තත්ත්වය ඊට දෙවැනි නොවීය. එබඳු “සංස්කෘතියක්” තුළ ප්‍රාතිහාර්යයක් අපේක්ෂා කළ නොහැකි තරම් විය. විශේෂයෙන්ම යුද ජයග්‍රහණයෙන් අනතුරුව සමස්ථ සමාජයම, මර නින්දක පැටලි සිටි අතර බොරදියේ මාළු බෑමේ උපන් හැකියාවක් සහිත රාජපක්ෂවරු එම නිෂේධනාත්මක තත්ත්වය තම සැපත බවට හරවා ගත්තේය.

කෙසේ වෙතත් සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටි එම “අවාසිදායක” තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. ර‍ෙට් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලසෙ ඉල්ලමින් “ඇකඩමියාව” තුළින් මතු වූ අරගලය මෙන්ම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියව නිත්‍යනුකූල නොවන ලෙස ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රටේ නීතිඥ ප්‍රජාව වෙතින් මතු වූ අරගලය, “රාජපක්ෂවරුන්ගේ” සැබෑ තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බැලීමේ අවස්ථාවක් රටේ ජනතාවට ලබා දෙන ලදි. සිවිල් සමාජය බලමුළු ගන්වමින් සිදු වූ එම අරගල “දේශපාලනික” එකක් වූයේ ඊට අවශ්‍යයෙන් ම හිමි විය යුතු දේශපාලන සහයෝගය ලැබුණු බැවිනි. මෙම අරගලයන් ද්විත්වය මතවාදී තලයේදී රාජපක්ෂ විරෝධය කුළුගැන්වූ අතර ඌව පළාත් සභා මැතිවරණයේදී ඊට සැලකිය යුතු ජනතා අනුමැතියක් ද හිමිව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට විය.

කඩින් කඩ පළාත් සභා මැතිවරණ පවත්වමින්, පළාත් සභා කාඩ් කුට්ටම ඇනු රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණයට පෙර පවත්වන්නා වූ අවසන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තෝරා ගත්තේ ඌව පළාත ය. එම තෝරා ගැනීම කෙරෙහි බලපෑ කරුණු කාරණා ගණනාවක් විය. ඌව සාම්ප්‍රදායිකව එක්සත් ජනතා නිදහස් සන්ධානයට “ජය භූමියක්” වූ අතර, ඊට පෙර පැවැති පළාත් සභා මැතිවරණයේදී ඌවෙන් හිමි වූ දැවැන්ත ජයග්‍රහණය, ඉහත කී විශ්වාසය දෙගුණ තෙගුණ කර තිබිණි. යුද ජයග්‍රහණයෙන් මාස කිහිපයක් ඇතුළත පැවැති 2009 ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පළාත ජයග්‍රහණය කළේ 72.39%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු මහා ඇමැති අපේක්ෂකත්වයට තරග කෙරුම හරහා යළි ඒ මාදිලියේ දිනුමක් ලබාගත හැකි වනු ඇතැයි එක්සත් ජනතා සන්ධානයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ අනුමානය විය. ඌවේදී ලබාගන්නා දිනුම ජනාධිපතිවරණයේදී “අලෙවි” කිරීමට ඔවුන් ගණන් හදා තිබිණි. කෙසේ වෙතත් එය අවදානම් සහගත තීරණයක් විය. මැතිවරණ දෙකක් අතරතුර කාලයේ වෙනස් වන්නා වූ ජනමතය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුනට නොතිබුණා සේම රාජපක්ෂ කෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව අසාර්ථක වීම තුළ සිදුවන “අවදානම” පිළිබඳ ඇගැයීමක් ද ඒ තීරණය ගැනීමේදී ඔවුනට නොවුණි.

ඌව පළාත් සභා මැතිවරණය කැඳවත්දී ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මතුව තිබූ මත ගැටුම් සෑහෙන දුරට ඔවුන් විසඳාගෙන තිබූ අතර, කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් නායකත්ව මණ්ඩලය නමැති ව්‍යුවහයක් පක්ෂ බල ධූරාවලියට අලුතින් එකතු වී තිබිණි. එම අභ්‍යන්තර සමගිය තුළ හොඳින් දිවිය හැකි ශක්තිමත් අපේක්ෂකයකු ඌවේ මහ ඇමැති තරගයට එවීමට එජාපය කටයුතු කරන ලදී. ඒ වන විට එජාප පාක්ෂිකයන් අතර ඉහළ ජනප්‍රසාදයක් හිමි කරගනිමින් සිටි හරින් ප්‍රනාන්දු එම අ‍ෙප්ක්ෂකයා විය. රාජපක්ෂවරු “තනි අශ්වයකුගේ” තරගයක් ඌවේ දී අ‍ෙප්ක්ෂා කළ ද එය “ගල උඩ සටනක්” බවට පත්කිරීමට එජාපය අවසානයේ සමත් විය.

මොනරාගල දී ලැබූ “වාසිය” සමඟින් යන්තමින් ඌවේ බලය හිමි කරගැනුමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වුවද එය කිසිසේත්ම ඔවුන් අපේක්ෂා කළ දිනුම නොවීය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට පමණක් නොව, රාජපක්ෂවරුනට ද මරු පහරක් එල්ල කළ ඌවේ ජනතාව ශෂින්ද්‍ර රාජපක්ෂගේ මනාප ගණන 2009 ට වඩා ඡන්ද 40078 කින් අඩු කර තිබිණි. හරින් ප්‍රනාන්දු මනාප ඡන්ද 173993ක් ලබද්දී ශෂින්ද්‍රට හිමිව තිබුණේ මනාප 96619ක් පමණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා නීතිඥ ප්‍රජාවගේ සටන් සමඟින් ක්‍රමයෙන් “පියවි සිහියට” පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා සමාජය රාජපක්ෂවරුන්ව දේශපාලනිකව පැරදවිය හැකි බව බැරෑරුම්ව විශ්වාස කිරීම ඇරැඹුවේ 2014 ඌය පළාත් සභා මැතිවරණයෙන් අනතුරුවය.

ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු කුමන හෝ මොහොතක් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණය කැඳවන බව විපක්ෂය හොඳාකාරවම දැන සිටියේය. ජ්‍යොතිෂ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින්නකු ‍වන රාජපක්ෂ ජනාධිපතිවරයා තමනට ලැබී තිබූ එම උපදෙස් අනුව 2015 ජනවාරියේ හෝ 2015 මාර්තුවේ ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවට විශ්වාසදායී “ඔත්තුවක්” ආණ්ඩුව ඇතුළින්ම විපක්ෂයට ලැබුණේ මේ අතරය. එබැවින් තවත් “කල් මැරීමේ” හැකියාවක් නොවීය.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට තරගයක් දීමට නම් විපක්ෂය තුළ සමගියක් ගොඩනැඟීම මෙන්ම සිවිල් සමාජය ඊට ගොනු කිරීම ද අත්‍යවශ්‍ය වී තිබිණි. මෙරට මධ්‍යස්ථ භික්ෂු නායකත්වයේ ඉදිරි පෙළ නියමුවෙකු වූ මාදුළුවාවේ සෝභිත හිමි ඒ වන විටත් එම භාරධූර කටයුත්තට අත ගසා තිබිණි. උන්වහන්සේගේ මූලිකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඒ වන විට කලඑළි බැස තිබූ අතර, 2014 වසරේ තුන්වැනි කාර්තුව එළඹෙද්දී ඒ සමඟ තවත් සිවිල් සංවිධාන රැසක් අත්වැල් බැඳගෙන තිබිණි. රාජපක්ෂ පාලනයට එරෙහි වීම සඳහා අනන්තවත් කරුණු කාරණා තිබුණ ද සියල්ලටම මුල වූ “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” එසේ සංවිධානගත වීමේ දී බලපෑ මහා පොදු සාධකය විය. සිවිල් සමාජය ඒ වෙනුවෙන් ඒකමතියකට ගෙන ඒමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කණ්ඩායම් හා බලවේග රැසක් සමඟ සෝභිත හිමි ඇතුළු කණ්ඩායම අදහස් හුවමාරු කරගත් අතර ඒ සෑම විටෙකදීම “කොළ” පැහැති සංඥා හිමි වීම විශේෂත්වයක් විය. රාජපක්ෂ පාලනයට එරෙහිව රට තුළ මතුව තිබූ විරෝධය ඒ තරම් ප්‍රබල මට්ටමකට පැමිණ තිබිණි. විධායක ජනාධිපති ක්‍රමය අ‍හෝසි කිරීමේ සටන් පාඨය පෙරදැරිව මීළඟ ජනාධිපතිවරණය ජයගත හැකි දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම ඉහත සාකච්ඡාවන්හි අවසන් නිගමනය වූ අතර, “පොදු අපේක්ෂකයා” පිළිබඳ සංවාදය කරළියට පැමිණියේ ඉන් අනතුරුවය. උතුරු, දකුණු භේදයකින් තොරව රටේ සෑම කොනකින්ම ඡන්ද ආකර්ෂණය කරගත හැකි එමෙන්ම සුළු වාර්ගික සහාය ලබාගත හැකි පොදු අපේක්ෂකයකු හට පාවෙන ඡන්දවලින් 70%ක් ආකර්ෂණය කරගත හැකි බවට සෝභිත හිමි සමඟ වැඩ කළ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඒ වන විට උපකල්පනය කර තිබිණි. පොදු අපේක්ෂක යන මුද්‍රාව යටතේ කවුරුන් හෝ තරග පිටියට එවීම වෙනුවට මහින්ද රාජපක්ෂව පැරදවිය හැකි ප්‍රබල අපේක්ෂකයකු සටනට එවීම ඔවුනට අවශ්‍ය කර තිබිණි.

පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට, පොදු අදහසක් ඒ වන විට සමාජගතව තිබුණ ද ඒ පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් එම මතවාදය ප්‍රවර්ධනයකළ සිවිල් සමාජ කණ්ඩායම් අතර නොතිබිණි. ඒ නිසාම ඒ වෙනුවෙන් නම් කිහිපයක් කියවෙන්නට විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මාදුළුවාවේ සෝභිත හිමි, රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය යන නම් එහිදී ඉදිරියෙන් ම කියැවුණි.

මේ අතර, රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස තරග කළහොත්, තම පක්ෂය ඊට වෙනම තරග කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, එජාප නායකයා සමඟ පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී කියා තිබූ අතර නොවැම්බර් 07 වැනිදා රනිල් හා පැවැති සාකච්ඡාවකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, රනිල්ට පවසා තිබුණේ කරු හෝ චන්ද්‍රිකා ජනාධිපති තරගයට එන්නේ නම් තම සහාය ඔවුනට නොලැබෙන බවය. ෆොන්සේකාගේ වැඩි මනාපය තිබුණේ රනිල් වෙතය. තමන් ඉදිරිපත් නොවී, කරු ජයසූරිය පොදු අපේක්ෂකයා ලෙස තරග කළහොත් එවැනි පසුබිමකදී පක්ෂය දෙකඩ වනු ඇතැයි බියක් එජාප නායකයාට ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. රනිල් තරග නොකරන්නේ නම් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව සජිත් ඒ වන විටත් ප්‍රකාශයට පත් කර තිබිණි. කෙසේ වෙතත් ජාතික‍ හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ කරුගේ අපේක්ෂකත්වය වෙනුවෙන් දැක්වූයේ ධනාත්මක ප්‍රතිචාරයකි. තම දරුවන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මැළිකමක් දැක්වූ තත්ත්වය තුළ හා තමන් වහන්සේ ඊට තරග නොකරන බව සෝභිත හිමි පවසා තිබූ පසුබිමක් තුළ කාගෙත් අනුමැතිය සහිතව සියලු දෙනා පිනවමින් පොදු අපේක්ෂකයකු සොයා ගැන්ම සෑහෙන දුෂ්කර කටයුත්තක් වී තිබිණි. මෙම පසුබිම තුළ විපක්ෂයේ අනෙක් පක්ෂවලට ද පිළිගත හැකි පුද්ගලයකු ශ්‍රීලනිපයෙන් පිටතට පැමිණෙන්නේ නම් එවැන්නෙකුට ජනාධිපතිවරණය ජයගත හැකි බවට අදහසක් මතු වන්නට විය. එම පුද්ගලයා සෙවීමේ රාජකාරිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග වෙත පැවරුණේ ඇය ඒ වන විටත් ඊට අත ගසා තිබූ බැවිනි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ගවලින් මහින්ද රාජපක්ෂ මහතාට දැනගැන්මට ලැබී තිබුණේ තමන් සමඟ තරගයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ස්ථිරවම ඉදිරිපත් වන බවය. නොවැම්බර් අට වැනිදා දුරකථන ඇමතුමක් ගත් රාජපක්ෂ මහතා ජයසූරිය මහතාට සුබ පැතුවේය. “මම කතා කළේ සුබ පතන්න” අදාළ කාරණාව කියමින් විස්තරයක් කරද්දි “ඒ ගැන පක්ෂය තවම තීරණයක් අරන් නැහැ” යනුවෙන් ජයසූරිය මහතා පැවසුවේය.

රටේ දේශපාලන උණුසුම ක්‍රමයෙන් ඉහළ නැ‍ඟෙමින් තිබූ මොහොතක නොවැම්බර් දොළොස් වැනිදා රාජපක්ෂ මහතා හා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අතර හමුවක් විණි. ටිරාන් අලස් එය සම්බන්ධීකරණය කළේය. අංක 345/33 දරන කුරුප්පු පටුමගේ පිහිටි ටිරාන්ගේ “මහගෙදර” දී සිදුවූ එම හමුවට මහින්දට අමතරව, ගෝඨාභය රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා ද එක්ව සිටියහ.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් තමන් ගෙන ඇති පියවර සෝභිත හිමිට විස්තර කරමින්, රාජපක්ෂ මහතා පැවසුවේ ඒ වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇති බවය. එබැවින් ජනාධිපතිවරණය සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යනුවෙන් අලුත් සටන් පාඨයක් අවශ්‍ය නොවන බව සෝභිත හිමිට පැවසූ රාජපක්ෂ මහතා උන්වහන්සේගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ විපක්ෂ ව්‍යාපාරයේ කටයුතුවලින් ඈත්වී සිටින ලෙසය. පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂය තුළ පොදු අදහසක් නොමැති වීමත්, ඉදිරිපත් වූ මෙම යෝජනාවත් තුළ සෝභිත හිමි පත්වූයේ දැඩි ආතතියකටය. ඒ නිසාම ගිලන් වූ උන්වහන්සේව වැඩිදුර ප්‍රතිකාර සඳහා නොවැම්බර් දාහතර වැනිදා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කරන ලදී.

පොදු අපේක්ෂකයා පිළිබඳ අවසන් එකඟතාවක් නොමැති වුවද පොදු වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර ගැටුමක් නොමැති තරම් විය. කෙටුම්පත් කළ එම වැඩපිළිවෙළට අස්සන් තැබීමේ උලෙළ පැවැත්වීම සඳහා හැව්ලොක් ටවුන්හි “පාක් ස්ට්‍රිව්” හෝටලය තෝරාගෙන අවශ්‍ය වෙන් කිරීම් සිදුකර තිබුණ ද අවසාන මොහොතේ ඊට තම හෝටලය ලබාදීමට, එහි පාලන අධිකාරිය අදිමදි කළේය. එක් අතකින් එය රට තුළ ඒ මොහොතේ පැවැති තත්ත්වය පෙන්වන කැඩපතක් බඳු විය. පසු දිනෙක ගලධාරි හෝටලයේ එය පැවැත්වීමට සැලසුම් කෙරුණ ද සෝභිත හිමි හදිසියේ ගිලන් වීම නිසා එය ද අත්හැර දමන ලදී.

පොදු අපේක්ෂකයකු විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළ මේ වන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය තම අතට ගෙන තිබූ අතර ඒ වෙනුවෙන් ඇය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර නොවැම්බර් 20 වැනිදා පැවැති සාකච්ඡාව තීරණාත්මක එකක් විය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිනිය ස්ථිර කර ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවේදීය. එසේ දැනුම් දී ඇය සිරිසේන මහතා ජනාධිපති වූ පසු වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන බවට ලියවිල්ලක් ද භාර දුන්නාය. මේ අතර නොවැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විණි. සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවෙන් පසු පැවැති එම රැස්වීමේදී ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට ඒ.එච්.එම්. ෆවුසි මහතා යෝජනා කළ අතර, නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ස්ථිර කළේය. මූලිකවම මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබුණේ මහින්දගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙනි. පක්ෂ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා එම නාම යෝජනා ස්ථිර කිරීමට හවුල් නොවීම අනාගත පෙරළියක් පිළිබඳ ලැබුණු පූර්ව සංඥාවක් බඳු විය. නමුත් එදින පවා මෛත්‍රි කිසිඳු වෙනසක් පිටතට පෙන්වූයේ නැත. රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඔහු රාජපක්ෂ සමඟ ආප්ප ද කෑවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවැරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනයට රාජපක්ෂ මහතා අත්සන් කළේ නොවැම්බර් විසි වැනිදා ප.ව. 1.02 ට යෙදුණු සුබ මොහොතිනි.

මෛත්‍රී ඇතුළු කණ්ඩායමත් රාජපක්ෂ පාලනයෙන් ගැලවී පිටතට පැමිණෙන බව ස්ථිරවම තහවුරු කරගත් පසු එය තම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දීම වෙනුවෙන් විසිඑක් වැනිදා විශේෂ රැස්වීමක් “සිරිකොත” පක්ෂ මූලස්ථානයේදී එජාපය කැඳවා තිබිණි. එහිදී සිරිසේන මහතාට සහාය දැක්වීමේ වැදගත්කම පිළිබඳ දීර්ඝ මෙන්ම තර්කානුකූල වූත් දේශනයක් රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළේය.

කරු ජයසූරිය මහතා ද එහිදී වඩාත් හැඟුම්බර කතාවක් පවත්වමින් අවධාරණය කළේ පුද්ගලයන්ට වඩා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නමැති ප්‍රස්තුතය වැදගත් බැවින් පක්ෂයක් ලෙස මෙම තීරණයට සියලු දෙනා සහාය දිය යුතු බවය. එදින සන්ධ්‍යාවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වූ අතර එහිදී මෛත්‍රිගේ අපේක්ෂකත්වයට සහාය ලබාදිය යුතු බවට යෝජනාව සම්මත කරගන්නා ලදී. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතේ පැවැත් වෙද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේ මාධ්‍ය හමුවක් ආමන්ත්‍රණය කළේය. කිසිවෙකුට සැක නොසිතන සේ වෙනත් පුද්ගලයකුගේ නමින් මාධ්‍ය හමුව සඳහා නව නගර ශාලාව කල් තියා වෙන් කරගෙන තිබූ අතර, එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රීලනිප මහා ලේකම්වරයා සමඟ ශ්‍රීලනිප මැති ඇමැතිවරු තිස් දෙදෙ‍නකු එක්වන බවට සහතිකයක් ලැබී තිබිණි. නමුත් අවසානයේ ඒ සඳහා එක්වීමට ධෛර්යයක් තිබුණේ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, රජිව් විජේසිංහ, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන හා අර්ජුන රණතුංගට පමණි. එදින සන්ධ්‍යාවේ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැති අතර ඊට මාදුළුවාවේ සෝභිත හිමි ද වැඩම කර සිටීම විශේෂත්වයක් විය.

මේ අතර, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කළ යුතු පක්ෂය පිළිබඳ මත දෙකක් පැවැතිණි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා අපේ ජාතික පෙරමුණ යටතේ තරග කිරීම සම්බන්ධව අදහස් ඉදිරිපත් වූ මුත්, නීති මණ්ඩලයක උපදෙස් මත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ “හංසයා” ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට අවසානයේ තීරණය විණි. කෙසේ වෙතත් ඡන්ද ව්‍යාපාරය පහසු එකක් නොවීය. රාජපක්ෂ පාලනය තම පැවැත්ම වෙනුවෙන් සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම නින්දිත ලෙස භාවිතා කරමින් සිටියේය. සිරිසේන මහතාගේ ඡන්ද සටන වෙනුවෙන් අවශ්‍ය පරිදි මාධ්‍ය සහායක් හිමි නොවූ අතර ඒ තුළ පෙනෙන්නට වූයේ රාජපක්ෂ ඒකාධිකාරයකි. නමුත් සයිබර් අවකාශය තුළ වැඩි සහායක් හිමිව තිබුණේ මෛත්‍රීපාලටය. එජාපයේ සහාය හිමි වීම සිරිසේන මහතාට දැවැන්ත ශක්තියක් වූ අතර ඔවුන් නිර්ලෝභීව තමන් සතු සියලු සම්පත් ඔහු වෙනුවෙන් මුදා හරින ලදී. තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කැප කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීම ඉහළම මට්ටමක පැවැති අතර සිවිල් සමාජය කණ්ඩායම් සම්බන්ධීකරණය කරමින් කරු ජයසූරිය මහතා කැපී පෙනෙන කාර්යභාරයක් එහදී ඉටු කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද සටන තුළ දී ඍජු සහයෝගයක් පොදු අපේක්ෂකයාට ලබා නොදුන්න ද රාජපක්ෂ පාලනයට ප්‍රබල ප්‍රහාර හා මතවාද සමාජගත කරමින් ඔවුන් වක්‍රාකාරයෙන් ලබාදුන් සහාය මැතිවරණ ව්‍යාපාරයේ ගලා යෑමට අතිශය වැදගත් විය. අපේක්ෂා කළ යුතු ආකාරයට දෙමළ, මුස්ලිම්, ජන කොටස් නියෝජනය කරන සුළු වාර්ගික දේශපාලන පක්ෂ, සිරිසේන මහතා සමඟ පෙළ ගැසී සිටි අතර සිංහල ජාතිකවාදී දහරාව නියෝජනය කරමින් ඔහුට ප්‍රසිද්ධියේ සහාය දැක්වූයේ ජාතික හෙළ උරුමය පමණි. එම තීරුව ආමන්ත්‍රණය කිරීමේදී සෝභිත හිමිගේ සහාය හිමි වීම ද තීරණාත්මක වූ බව ලියා තැබිය යුතුමය. පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි සමූහ සන්නිවේදනයේ දක්ෂ කථිකයන් දෙදෙනකුගේ සේවාව ලැබුණු පොදු අපේක්ෂකයාගේ කඳවුරට සමස්ත විපක්ෂයේ සහාය හිමි වූ අතර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද සටනට සිවිල් සමාජ ක්‍රියාධරයන් හා එම කණ්ඩායම් වෙතින් හිමි වූ සහාය අතිමහත් වූවක් විය.

තම ජීවිත පිළිබඳ ආශාව පවා අත්හරිමින් පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඔවුන් කළ කැපවීම මෙවැනි කෙටි සටහනකින් විස්තර කළ නොහැකි තරම්ය. ඡන්ද ව්‍යාපාරයේ විවිධ අවස්ථාවන්හිදී පොදු අපෙක්ෂකයාට සහාය පළ කරමින් රාජපක්ෂ කඳවුර වෙතින් පිටත ඒම් වරින් වර සිදුවූ අතර එය සිරිසේන මහතාගේ ඡන්ද සටන තවත් ශක්තිමත් කළේය. නමුත් ඊ‍ට සාපේක්ෂව රාජපක්ෂ මහතා වෙනුවෙන් අලුත් එකතු වීම් සිදු වූයේ අඩු වශයෙනි. ඒ එකතු වීම්හි දේශපාලන බලපෑම ද අඩු විය. නිදර්ශනයක් ලෙස නාමයෝජනා භාරගැනීම සිදුවූ විගසම එජාප මහලේකම්වරයාව සිටි තිස්ස අත්තනායක, රාජපක්ෂ කඳවුර හා එක්වූ අතර එසේ නොකර ඔහුට උපක්‍රමික ලෙසින් ඡන්ද සටනේ අවසන් අදියරේ දී තම පිලට එක්කර ගත්තේ නම් එය අවම තරමින් ඊට වඩා උපායශීලී විය හැකිව තිබිණි. තිස්ස සමඟ රාජපක්ෂ කඳවුරට එකතු වූයේ, කිසිඳු වැදගම්මකට නැති එජාප ආසන සංවිධායකවරු දෙතුන් දෙනෙකු පමණි. තිස්සගේ ආගමනය මහින්දට ශක්තියක් නොසැපයුවද එය හිටපු එජාප මහාලේකම්වරයාට ඇමති පුටුවක හිඳ ගැනීමේ වාසනාව රැගෙන ආවේය. නාමයෝජනා දිනයේදී තම පිළට එක්වූ තිස්සට සෞඛ්‍ය ඇමතිකම පිරිනැමූ මහින්ද පැය කිහිපයකට පසු තිරුපති වන්දනාවේ යත්දී අත්තනායකව ද එහි රැගෙන යන ලදි. චෙන්නායි නුවර සිට කිලෝමීටර් 138ක් ඈතින් පිහිටි තිරුවලා වෙන්කතේෂ්වර් කෝවිලේ පැවති එම පූජාව සඳහා මහින්ද සමඟ පනස්හය දෙනෙකු මෙරටින් එක්ව සිටියහ. ගාමිණි සෙනරත්, ගාමිණි අබේරත්න (ටැක්සි අබේ) ති‍රුකුමාර් නඩ්සන් ඇතුළු පිරිසක් ගමන සඳහා එක්ව සිටි අතර රෙසිගුන්ටා ගුවන්තොටුපළ කරා එම ගමන වෙනුවෙන් විශේෂ ගුවන් යානාවක් වෙන්කර ගෙන තිබිණි. ඒ සඳහා වූ රුපියල් 3916836ක බිල පවා නොගෙවූ බව පසුව හෙළිව තිබිණි.

ඡන්ද සටනේ අවසානය වඩාත් විචිත්‍රවත් කරගැන්මට විපක්ෂයෙන් ප්‍රබලයකු තම පිලට එකතු කරගැනීම දුෂ්කර බව පෙනෙද්දි රාජපක්ෂවරු කළේ තම හිතවාදී කීකරු මාධ්‍ය හරහා ව්‍යාජ මත පතුරුවා හැරීම පමණි. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වූ බව ඔවුන් ගැසූ බේගලය එවැන්නකි. අවසානයේ එය නිවැරැදි කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට රූපවාහිනී සංස්ථාවට පැමිණීමට සිදුවන ලදී.

ඡන්ද විමසීම පැවැති ජනවාරි අට වැනිදා මතුපිටින් සාමකාමී බවක් දිස්වුවද පොදුවේ ගත් විට මැතිවරණය අන්ත දූෂිත එකක් විය. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම විලාසිතාවක් වී තිබූ අතර ඉතිහාසයේ පෙර කිසි කලෙක නොවුණ ලෙස ජාතිවාදය ප්‍රවර්ධනය කිරීමක් ද රාජපක්ෂවරු සිදුකරන ලදී.

මෙම සියලු තත්ත්වයන්ට එරෙහි සියලු සමාජ බලවේග පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරට පැමිණීම විශේෂත්වයක් විය. මේ අතර මැතිවරණ දිනට දින කිහිපයකට පෙර දේශපාලන වාසි ලබා ගැන්මේ අරමුණින් හමුදාව යොදා ගනිමින් යමක් සිදු කිරීමට සූදානම් වන බවට ලැබුණු ලිඛිත සාක්ෂි අනුව ඒ පිළිබඳව දැනුවත් කිරීමට පොදු විපක්ෂයේ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයාව මුණගැසුණු අතර, එම ඉක්මන් මැදිහත්වීම තුළ එය ආපසු හැරවීමේ හැකියාව ලැබිණි. විශේෂයෙන්ම සමස්ත මැතිවරණය පුරාවටම මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රදර්ශනය කළ කාර්යක්ෂමතාව හා නීතිගරුක භාවය නොවන්නට අවසාන ප්‍රතිඵලය වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එය ද ලියා තැබිය යුතුමය.

2015 ජනවාරි අට වැනිදා වන විට නිර්මාණය වී තිබූ තත්ත්වය තුළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සැකයක් නොවුණ තරම්ය. බුද්ධි අංශ වාර්තා මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය මඟින් සිදුකළ ස්වාධීන සමීක්ෂණය මඟින් ද හෙළිව තිබුණේ ඔහු පැහැදිලිව ම ඉදිරියෙන් සිටින බවය. නමුත් ඡන්ද මංකොල්ලයක් හරහා ඕනෑම මොහොතක අවසාන ප්‍රතිඵලයට බලපෑමක් විය හැකි බව පොදු අපේක්ෂකයාගේ කඳවුර හොඳාකාරවම දැන සිටියේය. එබැවින් එවැන්නක් නොවීමට වග බලාගැන්ම වෙනුවෙන් තමනට ගත හැකි සෑම පියවරක්ම ඔවුන් ගන්නා ලදී.

තම ඡන්ද බලකොටුව වන පොලොන්නරුවේ දී ඡන්දය ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන මහතා එදින රාත්‍රිය ගත කිරීම සඳහා සිය පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රකට ව්‍යාපාරික කිරාන් අතපත්තු මහතාට අයත් කුරුණෑගල දොඩම්ගස්ලන්දේ පිහිටි වතු බංගලාවකට පැමිණීමට තීරණය කළේ ඊ‍ට පෙර දිනයේය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනවාරි 07 වැනිදා පොළොන්නරුව බලා යෑමට සිරිසේන මහතා පිටත්වූයේ අතපත්තු මහතා සමඟය. ගමන අතරතුරදී දඹුල්ලේදී තේ පානය කරමින් සිටියදී තමන් අතපත්තුගේ බංගලාවට පැමිණෙන බව සිරිසේන මහතා ක්ෂණිකව දැනුම් දුන්නේය. ආරක්ෂිත පියවරක් ලෙස එය රහසක් ලෙස තබා ගැනීමට ද දෙදෙනාම පො‍රොන්දු විය. ඒ නිසාම මෙම තීරණය ගැන දැන සිටියේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු පමණි. මැතිවරණ දිනයේ අඳුරු වැටුණු පසු සිරිසේන මහතා රැගත් කළු පැහැති බී.එම්.ඩබ්ලිව්. රථය ඇතුළු තවත් රථ කිහිපයක් පොළොන්නරුවේ සිට ගමන ඇරැඹූ අතර දඹුල්ල හරහා දොඩම්ගස්ලන්දට ඔවුන් ළංවෙද්දී සෑහෙන රෑ බෝ වී තිබිණි. සිරිසේන මහතා අතපත්තුගේ බංගලාවට පැමිණෙද්දී අවට ගම්වාසීන් ඡන්ද ප්‍රතිඵල ඇසීමේ බලාපොරොත්තුවෙන් කල්තියා නින්දට වැටී තිබිණි. ගමනේ රහස්‍ය භාවය වෙනුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස රථ පෙළ බංගලාවට ඇතුළු වූයේ එකවර නොව වරින්වරය. වෙනදාට විදුලි බුබුළු 200 ක් පමණ අතපත්තු බංගලාවේ දැල්වෙන මුත් ඒ සියල්ල එදින නිවාදමා තිබිණි. ඊට අමතරව නිවසේ සේවක සේවිකාවන් ද පිටත් කර යවා තිබුණි. ඒ සියල්ල රහස්‍ය භාවය රැකීම වෙනුවෙන් ගත් තීරණ විය. අතිශය තීරණාත්මක මොහොතක් වුවද ඒ අවස්ථාවේ සිරිසේන මහතා තුළින් පළවූයේ සැහැල්ලු ස්වභාවයකි. තම ජයග්‍රහණය ගැන සෑහෙන විශ්වාසයක් ඔහුට විය. සෙස්සන් ඡන්ද ප්‍රතිඵළ අසන්නට සැරසෙත්දි ඔහු රෑ නවයහමාරට පමණ නින්දට ගියේය. ඊට පෙර දුරකථන ඇමතුම් රැසකට පිළිතුරු දීමට සිරිසේන මහතාට සිදුවිණි. ඒ බොහෝ ඇමතුම් සිරිසේන මහතා සිටින ස්ථානය පිළිබඳව කළ විමසීම් විය. හිතවතුන්ගෙන් මෙන්ම ඔහු පිළිබඳ වෙනත් අරමුණු පෙරදැරිව පරික්ෂාවෙන් සිටින්නන්ගෙන් ද එසේ ඇමතුම් ලැබුණි. “කොහේද ඉන්නේ” කියා විමසූ සෑම අවස්ථාවකම “පොළොන්නරුවේ” යනුවෙන් පිළිතුරු දීමට ඔහු වගබලා ගත්තේය. මධ්‍යම රාත්‍රිය එළඹෙත්දි සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ස්ථිරවම තහවුරුව තිබුණි. සිරිකොත එජාප මූලස්ථානයේ විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබූ අතර ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල සිට ඊට ලැබුණු ප්‍රතිචාර සුබදායි විය.

අරලියගහ මන්දිරයේ ද එබඳු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබූ අතර නිකුත් වෙමින් ඇති ප්‍රතිඵල පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා තුළ වූයේ පහන් හැඟීමක් නොවේ. සෑහෙන කලකට පසු මැතිවරණ පරාජයක ලකුණු ඔහු හා පරිවාර සගයන්ගෙන් විද්‍යමාන වන්නට විය. කළු කෝපි කෝප්ප 04ක් පැය කිහිපයක් තුළ හිස් කිරීමෙන්ම ඔහු ඒ මොහොතේ පසුවූ තත්ත්වය පැහැදිලි වෙයි. පසුව වාර්තා වූ තොරතුරුවලට අනුව අගවිනිසුරු, නීතිපති, පොලිස්පති, යුද හමුදාපතිවරයා යන ඉහළ නිලධාරීන්ව කැඳවමින් හදිසි නීතිය පැනවීම මඟින් මැතිවරණ ප්‍රතිඵල නතර කළ හැකි ද යන්න හිටපු ජනාධිපතිවරයා විමසා ඇතිමුත්, එසේ කළ නොහැකි බව නීතිපතිවරයා තම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද විමසමින් පවසා ඇත. පරාජය භාර ගැනීමට මහින්ද රාජපක්ෂ තීරණය කළේ ඉන් පසුවය. ඡන්ද ප්‍රතිඵල එකින් එක නිකුත් වෙමින් තිබියදී පාන්දර හතරහමාරට පමණ රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ගත්තේය. දුරකථනයෙන් කතා කිරීම වෙනුවට තමන් අරලියගහ මන්දිරයට පැමිණෙන බව වික්‍රමසිංහ මහතා එවිට දැනුම් දුන්නේ මැතිවරණ පරාජය තුළ හිටපු ජනාධිපතිවරයා පසුවන තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඔහුට තිබුණ නිසා විය හැකිය. මෙම බල හුවමාරුව සුමට ආකාරයෙන් සිදුවීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉතා බුද්ධිමත් ලෙස වගබලා ගත්තේ ඒ ආකාරයටය.

අරලියගහ මන්දිරයට පැමිණ වික්‍රමසිංහ මහතා කළ පැහැදිලි කිරීම්වලින් අනතුරුව අවශ්‍ය ‘සහතිකය’ ලැබුණු පසු බලය අත්හැරීමට රාජපක්ෂ මහතා කැමැත්ත පළ කළේය. එම සියලු කටයුතු නිමකර වික්‍රමසිංහ මහතා තම මෝටර් රථයට නැඟීමට සූදානම් වූ‍ අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා දුරකථන මාර්ගයේ මඳක් රැඳී සිටින ලෙස කියමින් යළි අරලියගහ මන්දිරයට පිය මැන දුරකථනය රාජපක්ෂ මහතා අතට පත් කළේය. අපේක්ෂා කළ යුතු ආකාරයටම එය දෙදෙනාටම හැඟීම්බර මොහොතක් වූ අතර රාජපක්ෂ මහතා ජයග්‍රහණය වෙනුවෙන් සිරිසේන මහතාට සුබ පැතුවේය. එසේ සුබ පතමින් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ දී තම කටයුතු සඳහා ‘විසුම්පාය’ මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළමුත්, එය වෙනත් දෙයකට යොදා ගැනීමට තීරණය කර ඇති බව කියමින් සුදුසු වෙනත් නිවසක් ලබාදෙන බවත් සිරිසේන මහතා පැවසුවේය. නම වැනිදා පෙ.ව. 6.30 ට පමණ රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් පිටව ගිය අතර එය සංවේදී මොහොතක් විය. ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් හුළුගල්ල, බන්දුල පද්මකුමාර, ගාමිණි සෙනරත්, උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළු පිරිසක් ඒ වන විට එහි රැඳී සිටි අතර සෑම කෙනෙකු තුළම වූයේ බලාපොරොත්තු කඩවූ ශෝකාකූල හැඟීමකි. ශ්‍රී ලංකා හමුදාවට අයත් MI-17 ගුවන් යානා දෙකක් රාජපක්ෂ මහතාව තංගල්ලට ගෙන යෑම වෙනුවෙන් ගාලු මුවදොර ආරක්ෂක අමාත්‍යාංශ භූමිය අසල ක්‍රීඩාංගණයේ ඒ වන විටත් සූදානම්ව තිබුණි.

ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵළය නිකුත් වෙද්දී ජයග්‍රාහී සිරිසේන මහතාට 51.48%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබූ අතර රාජපක්ෂ මහතාට ලැබී තිබුණේ 47.58%ක සහයෝගයක් පමණි. දෙදෙනා අතර ඡන්ද පරතරය 449,072ක් විය. පොදුවේ ගත් විට මැතිවරණ දිස්ත්‍රික්ක 12ක ජය සිරිසේන මහතාට හිමි වෙද්දී හිටපු ජනාධිපතිවරයාට ජයගෙන තිබුණේ දිස්ත්‍රික්ක 10 කදී පමණි. සුළු ජාතික ඡන්ද හා පාවෙන ඡන්ද ආකර්ශණය කර ගැන්මට නොහැකිවීම මහින්ද රාජපක්ෂගේ පරාජයට බලපෑ ප්‍රධානතම හේතුව විය. විශේෂයෙන් ම වාර්ගික විභේදනය වැඩි ප්‍රදේශවලදි ඔහුට අත්වූයේ දරුණු පරාජයකි. තරුණ ඡන්දදායකයන් අතර ද තත්ත්වය ඒ ආකාරම විණි. රාජපක්ෂ පාලනය කිසිදා සෙලවිය නොහැකි යැයි ඇතමුන් වහසි බස් දොඩද්දි ධන බලය, මැර බලය, දේශපාලන බලය, මාධ්‍ය බලය යන කිසිවක් නොමැතිව එය කළ හැකි බව මේ රටේ ජනතාව 2015 ජනවාරි අටවැනි දින ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන ලදි.

පවතින සන්දර්භය තුළ ජනමතය නිර්මාණය කිරීමේදී මාධ්‍යයට කළ හැකි බලපෑම අතිමහත් බව තර්ක විරහිතය. සමස්ථ ජනාධිපතිවරණ ක්‍රියාවලිය පුරාවටම මාධ්‍ය බලය කේන්ද්‍රගතව පැවතියේ රාජපක්ෂවරු වටාය. නිල හා නොනිල මට්ටමින් මාධ්‍ය තම පාලනය යටතේ තබා ගැනීමට ඔවුහු කටයුතු කළෝය. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් පසු රටේ සෑම පුවත්පතකම ව්‍යාජ මුල් පිටුවක් (False Cover) ලෙස මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද දැන්වීම් පළ කරමින් සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය දියත් කරන ලදි. කෙසේ නමුත් මැතිවරණයේ අවසන් සතියේ ර‍ෙට් ඉහළ අලෙවියක් සහිත සතිඅන්ත පුවත්පත් හි, සියළු මුල්පිටටු ආක්‍රමණය කිරීමට පොදු අපේක්ෂකයාගේ කඳවුර සමත් ව තිබිණි. පොදු අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරය තුළ ප්‍රචාරක කටයුතු තැන් කිහිපයකින් සිදු වූ අතර සිරිසේන මහතා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් පළකිරීමේ දි සහ ඒ සඳහා ප්‍රමුඛතාව ලබා ගැනීමේ කටයුත්තේ දී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළේය. රාජපක්ෂ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවන්නන්ට සිතන්නටවත් ඉඩක් නොතබමින් පොදු අපේක්ෂකයා වෙනුවෙන් රටේ ඉහළ ම අලෙවියක් සහිත පුවත්පත් කිහිපයක “ව්‍යාජ මුල්පිට කවර” කල්තියා වෙන්කර ගත් කු‍රේ මහතා ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දිනයේ ද ඒ වාසිය තම පිළට ලබා ගත්තේය. කලින් වෙන්කර ගත්තද මේ දැන්වීම් සඳහා මුදල් සොයා ගැනීම පහසු කටයුත්තක් නොවීය. තම හිතමිතුරන්ගේ සහාය පවා ඒ වෙනුවෙන් ලබා ගැනීමට ඔහුට සිදු වූ අතර එක් තීරණාත්මක ප්‍රචාරක දැන්වීමක් සතිඅන්ත පුවත්පතක පළකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක පමණ අනුග්‍රහයක් වත්මන් කැබිනට් ඇමතිවරයකුගෙන් හිමිවිණි.

අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පැමිණීම රාජපක්ෂ කඳවුරේ සැලසුම් සියල්ල අවුල් කිරීමට සමත් විය. ඔවුන් තම සැලසුම් සකස් කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වන තරගයක් වෙනුවෙනි. ජනාධිපතිවරණය ගැන කථා කරමින් ඔක්තෝබර් මුලදි එවකට සන්ධාන මහා ලේකම්වරයා වූ සුසිල් ප්‍රේම්ජයන්ත පවසා තිබුණේ තමන් දැනටමත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලින් 50%ක් සම්පූර්ණ කර ඇති බවය. මෛත්‍රිපාල සිරිසේන මහතා කරළියට පැමිණීමත් සමඟ ඒ පූර්ව සැලසුම් සියල්ල වතුරේ ගියේය. සිදුවූ අවුලේ තරම කෙතරම් ද කියා පැවසුවහොත් තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට අවසන් සති දෙක වනතෙක් බලා සිටීමට මහින්ද රාජපක්ෂට සිදුවිණි.

කෙසේ වෙතත් අවසන් මොහොත තෙක්ම, තමන් පරාජය වෙතැයි මහින්ද විශ්වාස නොකළේය. උතුරේ 50%ට වඩා අඩු ඡන්ද භාවිතාවක් සිදු වුවහොත් දිනුම ඒකාන්ත බව මහින්දගේ උපදේශකයන්ගේ ගණන් බැලීම විය. ජනාධිපතිවරණයට පෙර තම අවසන් සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කළ මහින්ද වෙනුවෙන් සෑම මැතිවරණයකදිම සමීක්ෂණ පැවැත්වූ, ජනමාධ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ කණ්ඩායම පුරෝකථනය කර තිබුණේ බදුල්ල හැර උතුරු නැගෙනහිරින් පිට සෑම දිස්ත්‍රික්කයකම රාජපක්ෂ ගේ දිනුම ඒකාන්ත බවය. ඔවුහු ඇතැම් දිස්ත්‍රික්ක සඳහා මහින්දට වාසි ලෙස බර තබා තිබුණේ ඡන්ද ලක්ෂ ගණනිනි. නමුත් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙද්දි මේ සියල්ල වෙනස් වී තිබිණි. මෙය “නිහඬ විප්ලවයක්” බව අප කියනුයේ ඒ නිසා ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.