24 October, 2017

සංහිඳියාව අගයන ලෞකික රාජ්‍යයක් කරා

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායෙහි අවසන් වාර්ථාව මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කොට තිබේ. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකි මෙය බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කර ගැනීමේ අරමුණ සමග සැසඳීමේදී ඉතා සාධනීය වාර්තාවකි. මෙම වාර්තාව සකසා ඇත්තේ කාලයක් තිස්සේ සිවිල් පුරවැසියන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, ආගමික කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව රැසකගේ අදහස් සුපරීක්ෂාකාරීව විමසා තුලනය කිරීමෙනි. මේ නිසා, විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දැනටමත් සිදු කර ඇති පරිදි එහි නිර්දේශ පහසුවෙන් බැහැර කළ හැකි ඒවා නොවන බව අවධාරණය විය යුතුය.

රට තුළ ජීවත් වන සියලු වාර්ගික/ආගමික කණ්ඩායම්වලට එක සමාන අභිමානයකින් හා පුරවැසිභාවයකින් ජීවත් වීමට ඉඩ සලසන අනාගමික ලෞකික රාජ්‍යයක් (secular state) බිහි කර ගැනීම කොතෙක් දුෂ්කර හා අභියෝගකර කාර්යයක් වුවද ඒ වෙනුවෙන් කැප වීම දිගින් දිගටම කළ යුතු වන්නේ රාජ්‍යය සහ ආගම් අතර පවතින මේ අශ්ශීල අනියම් සබඳතාව නොවන්නට ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන බොහෝ සිදුවීම් සිදු නොවන්නට ඉඩ තිබුණු හෙයිනි. මේ ගැන දිගින් දිගටම ලිවීම අනවශ්‍ය වන්නේ සෑම ජනවර්ගයකටම සංහිඳියාවෙන් ජීවත් වීමට ඇති අයිතිය වළකාලන අවාසනාවන්ත සිදුවීම් රැසක්ම පසුගිය කාලයේ සිදු වූ බවට නිදසුන් ඉතිරි කර හමාර නිසාය. අනාගතයේ හෝ ගැටුම් ඇති නොවන, තවත් යුධ වාතාවරණයක් වෙත පාර නොකපන පොදු රාජ්‍යයක් බිහිකර ගැනීම වෙනුවෙන් කැප වීම අප මේ මොහොතේ ඉහළින්ම ගරු කළ යුතු අරමුණකි. ආගම සහ රාජ්‍යය එකිනෙකින් දික්කසාද කිරීම නිසා ලබාගත් දේශපාලනික ජයග්‍රහණ රැසකින් ලෝක ඉතිහාසය පිරී පවතින බව අපි දනිමු.

මෙම වාර්තාවෙහිම සඳහන් පරිදි “විවිධත්වය යන්න ශක්තියක් මෙන්ම වත්කමක් ලෙස” පිළිගැනීමටත්, “පුරවැසිභාවය යන්න ස්ථිරසාර ලෙස අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වන බහුත්වවාදී, බහු ආගමික සහ බහු වාර්ගික ශ‍්‍රී ලංකාවක් පිළිබඳ දැක්ම” සැබෑවක් කර ගැනීමටත් අවශ්‍ය නම් පළමුව කළ යුත්තේ එක් ප්‍රධාන වාර්ගික කණ්ඩායමක බූදලයක් බවට මෙරට පත් වීම ව්‍යවස්ථාමය වශයෙන්ම වැළැක්වීමට කටයුතු කිරීමය. උප්පැන්නසහතික සිංහල-වාර්ගික-බෞද්ධයන්ගේ (බුදු දහමට වාර්ගික පදනමක් නොමැත) දැඩි විරෝධයක් එවැනි ප්‍රයත්නයකට එරෙහිව එල්ල වීමට ඉඩ ඇති නමුදු වඩා මානුෂීය හා ප්‍රජාතන්ත්‍රීය රාජ්‍ය යාන්ත්‍රණයක් පිළිබඳව සිදු කරන නිරන්තර සහ සබුද්ධික මැදහත්වීම් ඒ හමුවේ අඩපණ නොවනු ඇත. විවිධ විවිධ වාර්ගික ප්‍රජාවන් පුරවැසියන් වන බව පිළිගන්නා අතරම එක් සුවිශේෂී ආගමක් දිවි හිමියෙන් රැකීම පරම ව්‍යවස්ථාමය අරමුණක් කරගත් පරස්පර විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනසකට බඳුන් නොකර ඇතිකර ගත හැකි සංහිඳියාවක් තිබේද? අප පිළිගන්නා ආකාරයට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පදනම් විය යුත්තේ ආගමික අරමුණු නොව දේශපාලනික අරමුණුය. අනෙක් අතට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් විශේෂ අධිකාරීත්වයක් නොපැවරුවා කියා ලොව කිසිම ආගමක් විනාශ වන්නේ යැයි සිතීමද මේ වාර්ගිකාගමික ජාතිකවාදී ෆැන්ටසියේම හිතළුවක් පමණි.

මේ අතරම සිදු කළ යුතු තවත් කාර්යයක් වන්නේ තම වාර්ගික අන්‍යයාව ඉවසීමේ පුරුද්ද පුරවැසියන් අතර ඇති කිරීමයි. සිංහල බෞද්ධ හෙජමොනික දෘෂ්ටිවාදයේ පදනම් මූලධර්මය වන්නේ ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධයන්ගෙන් පැහැර ගෙන සිංහලයා අවතැන් කිරීමට නිරන්තරයෙන් මාන බලමින් සිටින සුළු ජාතීන් මෙරට සිටින්නේය යන ප්‍රවාදය ජනප්‍රිය කිරීමයි. මේ දෘෂ්ටිවාදය සමාජගත කිරීමද අති සූක්ෂ්ම ලෙස සිදු කරන ලද්දක් වන අතර එය ඓතිහාසික වශයෙන් විකාසනය වූවක්ද වේ. විශේෂයෙන්ම, යටත්විජිතකරණයෙහි එක් අතුරු ඵලයක් වූයේ මෙම දෘෂ්ටිවාදය වෙනම ස්වරූපයකින් ඉස්මතු වීමට පටන් ගැනීම වන අතර එහි උච්ඡාවස්ථා රැසක් පසුගිය මහින්ද රෙජීමය යටතේ දක්නට ලැබුණි. ආගමික ආයතන, පාසල් ඇතුළු සමාජානුයෝජනයට බලපෑම් කරන ආයතන හරහා කුඩා කාලයේ සිටම මෙම දෘෂ්ටිවාදය සියුම් ලෙස මනසට ඇතුළු කරනු ලැබේ. විශේෂයෙන්ම, නූතන පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සාක්ෂි සහිතවම ඔප්පු කර ඇති ඇතැම් කරුණු අනුව බලන කල මහාවංසය නමැති ආඛ්‍යානය පාදක කර ගනිමින් අප කුඩා කාලයේ පාසල් විෂයමාලා තුළින් උගන්වන ලද පට්ටපල් බොරු කොතෙක්ද යන්න සිහි කළ මනාය. මෙවැනි ෆැන්ටසි හරහා ඉදිරි පරම්පරාද ලෙඩුන් බවට පත් වීම වැළැක්වීමට නම් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම සමබර හා විචාරශීලී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කළ යුතුය. සංහිඳියාව වෙනුවෙන් මිනිසුන් හුරු පුරුදු කිරීම හුදෙක් ව්‍යවස්ථාමය කරුණු හා නීතිමය විධිවිධාන හරහා පමණක් සිදු කළ නොහැක. ඒ සඳහා සවිමත් දෘෂ්ටිවාදීමය පදනමක්ද අත්‍යවශ්‍ය වන බව අවධාරණය විය යුතුය.

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාවෙහි 1.33 වන නිර්දේශය මේ අනුව ඉතාම සාධනීය හා වැදගත් එකක් බව අපට සිතේ: “වඩා බහුත්වවාදී සහ අන් මත ඉවසන සමාජයක් ප‍්‍රවර්ධනයට අවශ්‍ය වන්නාවූ අධ්‍යාපන විෂයමාලාවන් සහ අවකාශ නිර්මාණය කළ යුත්තේය. ඉතා ඉහළ මට්ටමින් අන් දෑ ඇතුළු කර ගැනීමට, පොදුභාවය සහ පොදු ඉතිහාසයක් පිලිගැනීමට හැකිවන සේ ඉතිහාස සහ අනෙක් විෂයන්ගේ විෂ්‍යමාලාවන් සමාලෝචනය සහ නැවත සැකසීම සංහිඳියාව සඳහා මූලික අවශ්‍යතාවකි. ජාතිකවාදය, බහුතරමතය පිලිගැනීම, ගෝත‍්‍රවාදය සහ පරතන්ත‍්‍රවාදය වැනි සම්මත අච්චු ප‍්‍රශ්න කිරීමට සිසුන් දිරිමත් කෙරෙනා බුද්ධිමය අවකාශයන් පවත්වා ගැනීමට සහ පර්යේෂණ සිදු කිරීමට ශ‍්‍රී ලංකාවේ සරසවි කටයුතු කල යුත්තේය. එසේම සෑම ආකාරයකම අසාධාරණයන් සහ අසමානතාවන්ට එරෙහිව කටයුතු කිරීමට ඔවුන් දිරිමත් කළ යුත්තේය. කාන්තාවන්, සුළු ජාතීන් (ජාතික සහ ප‍්‍රාදේශීය වශයෙන්) ස්ත‍්‍රී පැරුෂ සමාජභාවය අනුව සුළුතරය, පීඩිත පංති, ආන්තිකකරනයට ලක්වූ ජනතාව, ආබාධිත සහ මානසිකව බෙලහීන පුද්ගලයන්ට ගරු කිරීමේ වටිනාකම ක‍්‍රමාණුකූලව පාසල් විෂය මාලාවන්ට ඇතුළු කළ යුතු අතර මාධ්‍ය සහ සමාජ ආයතනවලටද ඒ හඳුන්වා දිය යුතුය.”

ඇතැම් අය මෙවැනි ප්‍රකාශ හුදෙක්ම “වසර දහස් ගණනක අභීත ඉතිහාසය” විනාශ කර දැමීමේ ප්‍රයත්න ලෙස ඉතාම පටු ලෙස අර්ථ ගන්වා ගැනීමට ඉක්මන් වීම සාමාන්‍ය සිරිතකි. කෙසේ වෙතත්, මිථ්‍යා දෘෂ්ටිය වෙනුවට විද්‍යා දෘෂ්ටිය උගන්වන, ගෝත්‍රිකවාදය ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් බව පිළිගැනීමට හුරු කරන, එහෙයියන් වෙනුවට විචාරාත්මක මනසකින් යුතු සැබෑ පුරවැසියන් නිර්මාණය කිරීම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට හැකි නම් එවැනි බොහෝ භීතිකාවන් අවම වශයෙන් ඉදිරි පරම්පරාවලින්වත් තුරන් කිරීමට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, සෑම වාර්ගික කණ්ඩායමකටම එක සමාන පුරවැසිභායකින් යුතුව ජීවත් විය හැකි බහුත්ව ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීම අරමුණු කරගෙන එවැනි වැදගත් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම අඩුම තරමින් කරුණු දෙකක් නිසාවත් අසීරු වනු ඇත. එදා සිට මේ දක්වාම පාලකයන් තම බලාධිකාරිය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවනතිය (consent) පාලිත සමාජයෙන් ලබා ගැනීම සඳහා භාවිත කළ වැදගත්ම උපක්‍රමය වන්නේ වහල් මානසිකත්වයක් නිර්මාණය කිරීමයි. අදටත් අප සමාජයේ අති බහුතරය වෙළී සිටින වහල් මානසිකත්වයේ තරම මැතිවරණ හා මැයි දින සැමරුම් වැනි අවස්ථාවලදී උදාහරණ සහිතව දැකබලා ගත හැක. අන්තෝනියෝ ග්‍රාම්ෂි කීවාක් මෙන් මෙය පුරවැසියන් ඍජුව බියවැද්දීමෙන් පමණක් ලබා ගන්නා අවනතභාවයක් නොවේ. එය ආගම, අධ්‍යාපනය, මාධ්‍ය වැනි තීරණාත්මක ආයතන හරහා සියුම් දෘෂ්ටිවාද පතුරුවා හැරීමෙහිද ප්‍රතිඵලයකි. මේ නිසා, එවැනි වහල්භාවයකින් මිදී, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන, මිථ්‍යාට හා බොරුව පිළිකුල් කරන, විවේචනාත්මක ‘පුරවැසි සමාජයක්’ බිහි කිරීමට පාලකයන් තුළ ඇති කැමැත්තේ තරම මත එම නිර්දේශ ක්‍රියාත්මක වීම තීරණය වනු ඇත.

එම දෙවන කරුණ මනාව පැහැදිලි කරන සඳහන් යුනිසෙෆ් ඉනොසෙන්ටි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පළ කරන ලද වාර්තාවක මෙලෙස හමු වේ:

“අධ්‍යාපනය වනාහි අසමානතාව ආරක්ෂා කිරීමට මෙන්ම එය තුරන් කිරීමටද භාවිත කළ හැකි උපක්‍රමයකි. අසමානතාව සවිගැන්වීම හෝ විනාශ කිරීම එයට කළ හැකිය. මේ නිසා, අසමානතාව තුරන් කිරීමට නම් ඉතාම සූක්ෂ්ම රාජ්‍ය උපායමාර්ග අවශ්‍ය වේ. මන්ද, එවැනි උපායමාර්ග ක්‍රියාත්මක නොවන රටක සමාජයේ පවුලක් සතු සංස්කෘතික, සංස්කෘතික හා ආර්ථික ඉතිහාසය, එම පවුලේ දරුවෙකු අධ්‍යාපනය හරහා අත්හැර දැමිය යුතු ගමන් මග වළකාලන බාධකයක් ලෙස ක්‍රියාත්මක වීමේ නැඹුරුවක් ඇති හෙයිනි” (A League Table of Educational Disadvantage in Rich Nations, UNICEF Innocenti Research Centre, Florence, November 2002, p. 21.).

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.