30 October, 2020

Blog

විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

චාමර ලක්‍ෂාන්

මහින්ද රාජපක්ෂ පාලන සමයේ “අප්‍රකාශිත අගමැතිවරයා” ලෙස පෙනී සිටි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ සැබෑ වැඩ කිඩ එකින් එක මේ වන විට රටට අනාවරණය වෙමින් පවතී. දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂයට අදාළ ලිත මුද්‍රණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 204ක මුදලක් ලබා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමත් සමඟ මුල් වරට රට හමුවේ දිග හැරුණු “වංචාව හා හොරකම පිළිබඳ බැසිල් නාටකයේ” තවත් කොටසක් දැකගැනීමේ අවස්ථාව බ්‍රහස්පතින්දා, රටවැසියනට හිමි විණි. ඒ මාස 13කට පසු යළි ඔහු අත්අඩංගුවට පත්වීමත් සමඟය. බැසිල් මෙවර අත්අඩංගුවට ගෙන තිබුණේ අයථා අන්දමින් මාතර, බ්‍රවුන්සි හීල් ප්‍රදේශයේ අක්කරයක පොල් ඉඩමක් හා නිවසක් මිලදී ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේය.

Basil Rබැසිල් ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටියදී ඔහුගේ මස්සිනා කෙනෙකු වන කැනඩාවේ පදිංචි පශු වෛද්‍ය තිස්ස ගලප්පත්තිගේ නමින් මෙම ඉඩම මිලදීගෙන තිබිණි. තිස්ස බැසිල්ගේ බිරිය වන පුෂ්පා රාජපක්ෂගේ නැඟණිය වන පුණ්‍යකාන්තිගේ සැමියාය. රුපියල් මිලියන 50ක මුදලකට එම මිලදී ගැනීම සිදුකර තිබුණේ ගොඩ්ෆ්‍රී කෙලර් නම් ජර්මානු ජාතිකයකුගෙනි. ඉන්දියන් සාගරයට මුහුණ ලා අතිශය රමණීය භූමි භාගයක පිහිටි මෙම ඉඩම මාතර නගරයේ ඇති වටිනා ඉඩම්වලින් එකකි. ඉඩම මිලදී ගැනුමෙන් පසු වර්ග අඩි 12000ක් පුරා පැතිරුණ සිවුමහල් මන්දිරයක් ඉදිකිරීමට ගලප්පත්ති යුවළ මාතර මහ නගර සභාවට ඉදිරිපත් කළ අයදුම් පත්‍රයේ අස්සන් එකිනෙකට නොගැළපීම මෙහි අයිතිය පිළිබඳ සැකයක් මතු වූ පළමු අවස්ථාව විය. බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසය තිස්ස ගලප්පත්තිගෙන් ද ප්‍රශ්න කර තිබිණි. ඒ මෙම ආන්දෝලනාත්මක ඉඩම මිලදී ගැනීමට ඔහුට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ සොයා බැලීමටය. එහිදී ඔහු ලබා දුන් පිළිතුරු කිසිසේත්ම සතුටුදායක මට්ටමක නොවූ බැවින්, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පරීක්ෂකයන් කටයුතු කරන ලදී. ඉඩම මිලදී ගැනීම සඳහා මිලියන 16ක් හොංකොං හරහා “ආරි අංකල්” නමැති පුද්ගලයකුගෙන් ලැබු බව තිස්ස ගලප්පත්ති කියා සිටි මුත් එම මුදල සැබැවින්ම හොංකොං වෙත පැමිණ තිබුණේ කැනඩාව හරහාය. මේ කියන “ආරි අංකල්” නම් පුද්ගලයා මේ වන විට මියගොස් ඇති අතර වලස්මුල්ලේ පදිංචි අංශභාග රෝගියකු වූ එම පුද්ගලයා අවසන් වරට විදේශ ගතව ඇත්තේ වසර 07කට පමණ ඉහතදිය. ඒ සියලු තත්ත්වයන් තුළ දැනට ජීවතුන් අතර නොමැති “ආරි මාමා” කෙනෙකු මෙයට ගාවා ගැනීමම යනු පැහැදිලි තක්කඩිකමකි.

මේ අතර මෙම ඉඩම් ගනුදෙනුවට සම්බන්ධ වූ බව කියන ගෘහ නිර්මාණ ශිල්පියකු වන මුදිත ජයකොඩිව ද මීට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අප්‍රේල් 06 වන දින අත්අඩංගුවට ගෙන මුදල් හා ශරීර ඇප මත මුදා හැර තිබු අතර ඔහු ද මේ සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇති බව කියවෙයි. බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගනු ලැබුවේ, ඒ සියලු තොරතුරු තහවුරු කරගැනීම්වලින් පසුය.

මීට පෙර ද මල්වානේ මාපිටිගම ගඟබඩ පාරෙහි රුපියල් මිලියන 101ක් වැය කරමින් “රිවර් සයිඩ් වීලා” නමැති සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකිරීම පිළිබඳව බැසිල් රාජපක්ෂ වෙත ඇඟිල්ල දිගු වූ අතර රුපියල් මිලියන 200ක් වැය කරමින් ගම්පහ ඔරුතොට පාරේ පක්ෂ කාර්යාලයක් ඉදිකිරීම පිටුපස ද බැසිල් ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළේය. අප එය සඳහන් කළේ බැසිල්ගේ ජේත්තුකාර ජීවිතය පිළිබඳ පාඨක ඔබට යම් අවබෝධයක් ලබා දීමටය. එදා ගාමිණි දිසානායක හිටපු ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාසික වැටුප් ලාභියකු බැසිල්, සහතිකවම අද ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් අතර සිටින ධනවත්ම දේශපාලනඥයෙකි. මෙරට පමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ද ඔහුට දේපළ ඇති බව කියවෙන අතර කැලිෆෝනියාහි, නිවාස 04ක් බැසිල්ගේ බිරිය වන පුෂ්පා රාජපක්ෂගේ නමින් ඇති බව වාර්තා වේ. 2007 වන විට ඔවුනට එහි තිබුණේ ෆොන්ටානාහි පිහිටි නිවස පමණි. ෆොන්ටානාහි නිවාස දෙකක් මිරාලොමා හා කොවිනා හි නිවාසයක් බැගින් පුෂ්පා රාජපක්ෂගේ නමට ඇති බව දැනගන්නට ඇත.

බැසිල් රෝහණ රාජපක්ෂගේ දේශපාලන ඉතිහාසය ගත් විට එය රසවත් කතාන්දරයක් මය. අවුරුදුවලින් පැවසුවහොත් වසර 40කට වඩා ඔබ්බට එනම් නවසිය හැත්තෑව දශකය තෙක් එය විහිදෙයි. ඩී. ඒ. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු වීම තුළ කුඩා කල සිටම බැසිල්ට දේශපාලනය යනු කිසිසේත්ම “ආගන්තුක” දෙයක් නොවූ අතර සමඟි පෙරමුණු රජය සමයේ ඔහු ශ්‍රීලනිප තරුණ අංශයේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලැබු නවසිය හැත්තෑ හත මැතිවරණයට බැසිල් ද මුල්කිරිගල අසුනින් තරග කළ මුත් එහිදී ඔහුට අත්වූයේ පරාජයය. 77 දී ලද දැවැන්ත පසුබැස්මත් සමඟ පාර්ලිමේන්තු ආසන 08කට සීමා වීමෙන් පසු ශ්‍රීලනිපයට “දේශපාලනය” කිරීම පහසු කටයුත්තක් නොවූ අතර, අපේක්ෂා කළ යුතු ආකාරයෙන්ම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් කෙටි කලකින් කරළියට පැමිණියේය. 1981 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසු හිස්වූ අත්තනගල්ල ආසනයට මන්ත්‍රීවරයකු තෝරා ගැනීමේ අවස්ථාවේදී එය තීරණාත්මක තැනකට පැමිණි අතර එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රීපාල සේනානයක මහතා ඇතුළු කණ්ඩායමක් පක්ෂය හැර යාමය. අනුර බණ්ඩාරනායක, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ස්ටැන්ලි තිලකරත්න ආදි පුද්ගල චරිත රැසක් ඒ වටා ගොනු වී සිටි අතර බැසිල් ද එහි ඉදිරිපෙළ සාමාජිකයකු විය. කෙසේ වෙතත් එම වෙනසත් සමඟ බැසිල්ගේ දේශපාලන ස්ථාවර දෝලනය වන්නට වැඩි කාලයක් ගත නොවීය. ආන්දෝලනාත්මක 1982 ජනමත විචාරණයේදී බැසිල් සහාය දැක්වූයේ එජාපය පෙනී සිටි ස්ථාවරයටය. එහිදී “ලාම්පුව” ලකුණ ලැබු දිනුමෙන් පසු තවත් වසර හයකට පාර්ලිමේන්තු බලය තහවුරු වීමත් සමඟ බැසිල් එජාපය සමඟ “දීග” කෑම නිල වශයෙන් ඇරැඹුවේය. ජනමත විචාරණයේදී පරාජයට පත්වූ මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් “අතුරු මැතිවරණ” පැවැත්වීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගනු ලැබු තීරණය අනුව මුල්කිරිගල ආසනය වෙනුවෙන් ද අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු විය. බැසිල් තවදුරටත් පක්ෂයේ නොසිටි පසුබිමක ශ්‍රීලනිපය එම අතුරු මැතිවරණය සඳහා නම් කළේ නිරූපමා රාජපක්ෂවය. නිරූපමා, ජෝර්ජ් රාජපක්ෂගේ දියණියක වූවාය. නෑකමට බැසිල් ඇගේ මාමා විය. එජාපය මුල්කිරිගලට නම් කළේ ආනන්ද කුලරත්නවය. රාජපක්ෂ කෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වූ පසුබිමක බැසිල් එම මැතිවරණයේදී “නිහඬව” සිටිනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ ද ඔහු ආනන්දගේ ජයග්‍රහණය වෙනුවෙන් පැල් බැඳගෙන වැඩ කළේය. වෙනකක් තියා එජාප අපේක්ෂකයාගේ ඡන්ද පොළ නියෝජිතයා වූයේ ද බැසිල්ය. මැතිවරණයෙන් ආනන්ද කුලරත්න ජය ලැබු මුත් එහි ආයුෂ කෙටි විය. එම ප්‍රතිඵලය අභියෝගයට ලක්කරමින් නිරූපමා රාජපක්ෂ ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් සලකා බැලු ගරු අධිකරණය තීරණය කළේ කුලරත්නගේ ඡන්ද පොළ නියෝජිතයා වූ බැසිල්, නිරූපමාගේ පෞද්ගලික චරිතය හා හැසිරීම සම්බන්ධ අසත්‍ය ප්‍රකාශයක් සිදු කරමින් මැතිවරණ නීතිය අවභාවිත කර ඇති බවය. අද මෙන් නොව එකල මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මක වූ අතර ඒ තුළ පුද්ගල චරිත ඝාතනවලට කිසිඳු ඉඩක් නොවීය. බැසිල් එජාපය සමඟ වැඩ ඇල්ලුවේම එසේ වැරැදි ආකාරයටය.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා අනුව මිද්දෙනියේ පැවැති ප්‍රචාරක රැස්වීමක් අමතමින් බැසිල් සඳහන් කර තිබුණේ නිරූපමා ඇගේ පියාට කිසිඳු ආදරයක් සැලකිල්ලක් නොදැක්වූ තැනැත්තියක බැවින් ජෝර්ජ් රාජපක්ෂ මහතාට කරන ගෞරවයක් ලෙස තමනට ඡන්දය ලබාදෙන ලෙස ඇය කරන ඉල්ලීම වංචා සහගත රැවටිලිකාර එකක් බවය. ඡන්ද පෙත්සමින් පරාජයට පත්වීම තුළ යළි මුල්කිරිගල අසුන වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වීමට සිදුවූ අතර බැසිල්ව සම්බන්ධ කර නොගනිමින් එය ජය ගැනුමට කුලරත්න සමත් විය. ඉන් අනතුරුව ඒ යුගයේ එජාප ප්‍රබලයකු වූ ගාමිණි දිසානායකට, බැසිල් සමීප විය. ඒ වන විට රැකියා විරහිතව සිටි බැසිල්ට අනුර බණ්ඩාරනායකගේ ඉල්ලීම මත මහවැලි අමාත්‍යාංශයේ රැකියාවක් ලබාදීමට ගාමිණි කටයුතු කළේය. කඩිනම් මහවැලි ව්‍යාපාරය හා සම්බන්ධ ව සිටි ජපාන ඉදිකිරීම් සමාගමක් වූ හසාමා ටෝඩා සඳහා පරිවාර නිලධාරියකු සේ කටයුතු කිරීමේ අවස්ථාව බැසිල්ට ලැබුණේ එසේය. එතැන් සිට අසාර්ථක දෝෂාභියෝග ක්‍රියාවලිය තෙක්ම බැසිල් සේවය කළේ දිසානායක වෙනුවෙනි. එය විවිධ හැඩතල ඔස්සේ දිගහැරුණි.

දෝෂාභියෝග ක්‍රියාවලිය අසාර්ථක වී ගාමිණි දිසානායකගේ “බලය” දුර්වල වීමෙන් අනතුරුව, මිරිහානේ පිහිටි තම නිවස කුලියට දුන් බැසිල් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් විය. ඇමෙරිකාවට ගිය බැසිල් කැලිෆෝනියාහි ෆොන්ටානාහි ප්‍රෙස්ටන් ඩ්‍රයිව්හි පදිංචි විය.

බැසිල්ගේ තවත් සොයුරෙකු වූ ගෝඨාභය ද හමුදාවෙන් ඉවත් වී ඇමෙරිකාවේ පදිංචියට ඒ වන විටත් පැමිණ සිටියේය. ලොස් ඇන්ජලීස්හි සැන්ඩීමාස්හි ඔහුගේ නිවස පිහිටා තිබිණි.

චන්ද්‍රිකා කුමාරණතුංගගේ පොදු පෙරමුණු රජයේ කම්කරු ඇමැති ධුරයට තම සොයුරු මහින්ද රාජපක්ෂ පත්වූ පසු අනූව දශකයේ අගභාගයේ බැසිල් වරින්වර යළි මෙරටට පැමිණියේය. “10% මහත්මයා” යන ලේබලය ඔහුට ඇලවුණේ එසේ පැමිණි අවස්ථාවකය. චන්ද්‍රිකාගේ සමයේ ලුණු සංස්ථාව පෞද්ගලීකරණය කරද්දි එහි කොටස්වලින් 30%ක් කම්කරු අමාත්‍යාංශය යටතේ වන සේවක භාරකාර අරමුදල මිලදී ගත්තේය. කම්කරු ඇමැතිවරයා වූ මහින්ද තම සොයුරා වන බැසිල්ව ලුණු සංස්ථාවේ උපදේශකයෙකු බවට අනතුරුව පත් කළ අතර තවදුරටත් ඇමෙරිකාවේ රැඳී සිටිමින් බැසිල් එම රාජකාරි කළේය. බැසිල් වෙනුවෙන් “සමාගම් ක්‍රෙඩිට් කාඩ් පතක්” ලුණු සංස්ථාව නිකුත් කළ අතර, ඇමෙරිකාව බලා යද්දි ඔහු එය රැගෙන ගියේය. එරටදී ඔහුගේ සැප දිවිය තවත් ඔපමට්ටම් කිරීමට එය හේතුවක් විය. තම සොයුරාගේ ක්‍රියාකාරකම් සම්බන්ධව මහින්ද නොදැන සිටින්නට හේතුවක් නොවූ මුත්, ඒ ගැන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු නිරුත්ත වූ ගතියක් පෙන්නන්නට විය. පසුව මහින්දව කම්කරු ඇමැති ධුරයෙන් ඉවත් කළ අතර, ඒ පිටුපස වැඩ කළ ප්‍රධානතම කාරණා අතර බැසිල්ගේ හැසිරීම ද ප්‍රබල හේතුවක් විය. බැසිල් කෙතරම් උන්නතිකාමී ආශාවන් සහිත පුද්ගලයකු යන්න පෙන්වීමට ලුණු සංස්ථාවේ සිද්ධිය හොඳ සාක්ෂියක්මය. ලාභය ඔහුට ප්‍රමුඛ වූ අතර නිරතුරුවම ඔහු සැලකිලිමත් වූයේ තමනට ලැබෙන ලාභ කොටස පිළිබඳවය.

2005 ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වූ පසු තම සොහොයුරාගේ ජයග්‍රහණය වෙනුවෙන් බැසිල් උපරීමයෙන් වැඩ කළේය. ඔහුට අවශ්‍ය වූයේ කෙක්කෙන් හෝ කොක්කෙන් මහින්දව ජනාධිපති කිරීමටය. මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය භාර කළමනාකරුවා ලෙස කටයුතු කළ බැසිල් එදා ඉටුකළ එම තීරණාත්මක කාර්යභාරය නොවන්නට, ‘මහින්ද’ ජනාධිපති පුටුවට පැමිණෙන්නේ නැති බව පැවසීම අතිශයෝක්ති වාර්තාවක් නොවේ. එම ජනාධිපතිවරණයේදී අතිශය තීරණාත්මක වූ “උතුරේ ඡන්ද වර්ජනය”ට අවශ්‍ය එල්ටීටීඊයේ සහාය ලබාගැන්ම වෙනුවෙන් වූ මෙහෙයුමේ මහා මොළකරු වූයේ බැසිල්ය. රුපියල් මිලියන 180ක කප්පම් මුදලක් ඇතුළු තවත් වරදාන රැසක් කොටි ත්‍රස්තවාදීන්ට ලබා දෙමින් සිදුකර ගත් එම ඡන්ද වර්ජනයේ “තෝම්බුව” පිළිබඳ ප්‍රසිද්ධ “පාපොච්චාරණයක්” ඒ ක්‍රියාවලියේදී බැසිල්ගේ සහායකයා වූ ටිරාන් අලස් පසුව සිදු කළේය. මහින්ද බලයට පැමිණි පසු බැසිල් ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා බවට පත් විය. ඇමැතිවරයකු නොවුවද බොහෝ මැති ඇමැතිවරු එකල බැසිල්ව ආමන්ත්‍රණය කළේ “සර්” යන ගරු ආමන්ත්‍රණය පෙරදැරිවය. සහතිකවම ඒ යුගයේ මහින්දගෙන් පසු ආණ්ඩුව තුළ සිටි “කෙරුමා” බැසිල් විය. මේ අතර වාරිමාර්ග අමාත්‍ය අන්වර් ඉස්මයිල්ගේ හදිසි අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස බැසිල්ව නම් කරන ලදී. නව මන්ත්‍රී බැසිල් දිවරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙද්දී “10% මහත්තයා” ලෙස සඳහන් කර තිබු පුවරු ඉහළට ඔසවමින්, විපක්ෂ මන්ත්‍රීවරු ඔහුව “සාදරයෙන්” පිළිගත්තෝය. තමන් අත වූ පුවරුව එසවීමෙන් නතර නොවූ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න, බැසිල්ගේ දූෂිත ගනුදෙනු ගැන කියමින් එදින මහා හඬින් කෑගසන්නට ද විය. එසේ තමන්ට එරෙහිව කෑගසු ලක්ෂ්මන්ව වැඩි කලක් ගතවීමට පෙර තම “වසඟය”ට ගැනීමට බැසිල් සමත් විය. “දේශපාලන දීග” නිර්මාණයෙහිලා ඔහු එතරම් දක්ෂයකු විය.

මහින්ද රාජපක්ෂ පාලනය තහවුරු කිරීම වෙනුවෙන් උපරීම කැපවීමක් කළ ද එහි අවසාන භාගය එළඹෙද්දී බැසිල්ගේ ජනප්‍රියතාව ක්‍රමයෙන් අඩු වන්නට විය. සන්ධානයේ කොටස්කරුවන් වූ ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, සාම්ප්‍රදායික වමේ පක්ෂ ඔහුව දැඩිව විවේචනය කරන තත්ත්වයට එය වර්ධනය වී තිබිණි. වෙනකක් තියා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට පවා බැසිල් “ඇණයක්” වී තිබිණි. එතැන් සිට රාජපක්ෂ පරාජයෙන් පසු සිදුවූ දෑ යළි යළි ඔබට සිහිපත් කිරීම අනවශ්‍යය.

අත්අඩංගුවට ගත් දිනම මාතර දී බැසිල්ට ඇප ලැබුණ ද ඉදිරි කාලය ඔහුට සුබදායී එකක් වෙතැයි අනුමාන කළ නොහැකි තරම්ය. කොළඹ මහාධිකරණ අංක 06 8122/15 යටතේ දැනටමත් විභාග වන දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධ නඩුවට අමතරව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති තවත් විමර්ශන ගොණු කිහිපයකම බැසිල්ගේ නම සඳහන්ව ඇත. දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රජා මූල බැංකුවල තිබු රු. 11777355125.87 ක මුදලක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ඉවත් වූ සේවකයන් හට වන්දි හා පාරිතෝෂික ලෙස ගෙවීම සම්බන්ධව දැනටමත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 9577/15 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති මුත්, එහි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් තවමත් නීතිපතිවරයාගෙන් ලැබී නොමැත. මීට වසරකටත් පෙර එන 2015 අප්‍රේල් 07 වැනි දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය, මෙම විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යවා ඇති බව දැනගන්නට ඇත. දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධ බිලියන 2.99 ක මුදලක් අනිසි ලෙස පරිහරණය කරමින්, ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂකයන් අංක 9556/15 යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණා වාර්තා කර ඇති මුත්, එය ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය උපදෙස් ද තවමත් නීතිපතිවරයාගෙන් ලැබී නොමැත. එය ද නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇත්තේ 2015 අප්‍රේල් 07 වැනිදාය. සේවයට කැපවුණු, ඉහළම වෘත්තියමය භාවයක් සහිත, අවංක යැයි පොදුවේ පිළිගැනෙන ජයන්ත ජයසූරිය, යසන්ත කෝදාගොඩ, කපිල වෛද්‍යරත්න වැනි දක්ෂ කාර්යශූර නිලධාරිහු කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවේ “මුල් පුටු” හොබවන පරිසරයක මේ ප්‍රමාදය පිටුපස ඇති “දේශපාලනය” තේරුම් ගත නොහැකි තරම්ය.

බැසිල්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන වගකීමෙන් මිදීමට ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපතිවරයාට කිසිඳු සදාචාරාත්මක හැකියාවක් නොමැති බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. පාසලක තීන්ත ආලේප කිරීමට මුදල් සොයා ගැනීමට පොල් ගෙඩි කිහිපයක් සොරකම් කළ ළාබාල ශිෂ්‍යාවක ඒ වරද මත උසාවි ගෙන ගිය රටක, ප්‍රාථමික පාසලක මුල් ගුරුවරයකු ළමයෙකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා පිඟන් කෝප්ප කට්ටලයක්, සන්තෝසමක් වශයෙන් භාරගැනීමේ වරද මත හිරේට ඇදගෙන ගිය රටක, රාජ්‍ය නායකයා තම ඇමැතිවරු දූෂණ වංචාවන්හි නිරත වන බව දැන දැන කිසඳු පියවරක් නොගෙන සිටීම තුළ රටට පෙනෙනුයේ දූෂිත හිටපු ජනාධිපතිවරයකුගේ කෙරුවාවේ තරම මිස වෙනකක් නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    ඒකාබද්ධ යේ අය බැසිලට අකමැති ඇයි ?

    බැසිල් මහින්දගේ කාලයේ ප්‍රබලයෙකි. ශංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය ලංකාවට ගෙන අවස්තාවේදී පවුලේ යම් ආරවුලක් පැවති බව කසු කූසුවක් තිබිනි. එහෙත් ඉන් පසුව සියල්ල පවුලට වාසි වන අයුරින් ඔහු සමස්ත රාජ්‍ය පරිපාලනයම අතට ගත්හ්තේය.

    මහින්ද රට පාලනය කළේ නැත. ඔහු කළේ උදේට උදේට මිනිසුන්ට උපන් දින සුභ පැතුම් කිරීමය. එයම අපේක්ශාවෙන් බලා සිටි කලා කරුවන් එමටය. අනේ අපේ රට හා එහි නායකයා.

    බැසිල් රටේ පාලනය විශේශයෙන් යුද්දයෙන් පසුව සිය අතට ගත්තේය.

    යුද්දය අවසන් වූ වහාම දෙමල පෙදෙස්වලට සින්හල නිලඩාරීන් දිසාපති ලෙස පත් කර ජාතිවාඩීන්ගේ පූර්ණ සහය ලබා ගත්තේය.

    ආයතන ප්‍රඩානීන් ද පත් කළේය

    එකල් වැඩියෙන්ම ප්‍රතික්ශේප වූ කැබිනෙට් සංශේශ තිබුනා නම් එය අධ්යාපන අමාත්‍යා
    න්සයේ ඒවාය

    මහින්දෝදය පාසල් වල ඉදිකිරීමේ වගකීම දැරුවේ බැසිල්ය.

    අඩි 90 X 25 X 3 මහින්දෝදය තාක්ශනිකගාර ගොඩනැගිල්ලේ වියදම් ඇස්තමේන්තුව රු මිලියන 65 කි. එය නියම ලෙස රි මිලියන 30 ට අඩුවෙන් ඉදි කළ හැකිය

    එහෙත් ටෙන්ඩෙර් කැඳවීමකින් තොරව එහි ඉදිකිරීම් වැඩ බාරදීමට බැසිල් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේය. මෙහි ගසාම ගැන ගන හැදූ අමාත්‍යවරුන්ද සිටියහ.

    එවගේම රටේ මහා මාර්ග, පළාත් මාර්ග ග්‍රාමීය මාර්ග සියල්ල හැදීමේ වගකීම තිබුනේ බැසිල් අතේය

    වසරක් පාසා පළාත් පාලන ආයතන වල මන්ත්‍රිවරුන්ට කෙනෙකුට කි මී 5- 6 ක් ග්‍රාමීය මාර්ග ඉති කිරීමේ වගකීම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට පවරන ලදී. ලක්ශ 5 ක් යන පාරකට ලක්ශ 30 පමණ ඇස්තමේන්තු නිසා පොඩි මන්ත්‍රිවරුන්ට ත් කල්ල මරේ.

    මහින්ද රැල්ල උනුසුම් වූයේ බැසිල් එක් වුනාට පස්සේය. බසිල් ගෙන් සැලකිලි ලැබූ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් ඔහු වටා එක් වූයේ පරන ආදායම් මාර්ගය ලඟා කරගන්නය.

    එවිට මහින්ද පස්සෙන් සිටින මන්ත්‍රිවරුන්ට නැවතත් සුල්ංය

    එනිසා ඔවුන් බැසිල්ට විරුද්දය

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.