31 October, 2020

Blog

‘දුටුගැමුණු බුද්ධාගම’ සහ යුධ සැමරුම් උභතෝකෝටිකය

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන ඊනියා චීවරධාරීන්ගෙන් බුද්ධාගම ගලවා ගැනීම බව අවධාරණය විය යුතුය. සාමාන්‍යයෙන් අප බෞද්ධ ඉගැන්වීම්වල හඳුනාගන්නා බෞද්ධකමට ඉඳුරාම පටහැනි හැසිරීමක් ප්‍රකට කරමින් ප්‍රචණ්ඩත්වය වැපිරීමට මේ අයට හැකි වී ඇත්තේම ‘දුටුගැමුණු බුද්ධාගම’ තම ලෝක දෘෂ්ටිය ලෙස හිස් මුදුනින් පිළිගන්නා වාර්ගිකාගමික බෞද්ධයින් බහුතරයක් බිහි කිරීමට මොවුන් දක්ෂ වී ඇති නිසාය. දුටුගැමුණු බුද්ධාගම මුළුමනින්ම පාහේ බුද්ධාගමේ විකෘතියක් වන්නේ බෞද්ධ ඉගැන්වීම්වල ප්‍රතික්ෂේප කර තිබෙන යුද්ධය, මනුෂ්‍ය ඝාතන, ප්‍රචණ්ඩත්වය හා හිංසනය වැනි අමානුෂික සංසිද්ධීන් බුද්ධාගමේ නාමයෙන් සාධාරණීකරණය කළ හැකි දෘෂ්ටිවාදයක් එය විසින් දායාද කර ඇති නිසාය. මෙය අදටද යහමින් ක්‍රියාත්මකව පවතින්නකි.

මේ යටතේ බෞද්ධකම ගැන දිය හැකි ප්‍රකාශය අති සරල එකකි: “පළමුව මිනී මරා හෝ රට බේරාගත යුතු අතර බෞද්ධයන් ලෙස නිදහසේ නිවන් යා හැක්කේ එවිටය”. මහාවංසයේ දැක්වෙන පරිදි එළාරට එරෙහි දුටුගැමුණුගේ යුද්ධයේදී මිනිස් ජීවිත රැසක් අහිමි වීමට නියමිත යුද්ධයක පෙරමුණ ගන්නා බලඇණිය බවට ‘සඟඇණිය’ පත් වන්නේ මේ සාමාන්‍යකරණය තුළ වන අතර අඩු වැඩි වශයෙන් අද පවා බිහිවෙමින් පවතින බෞද්ධ විරෝධී සඟඇණි මහත් ආදරයෙන් වැළඳගෙන අනුගමනය කරන තැනට බහුතර සිංහල සමාජය සූදානම් කිරීම සඳහා මෙයින් ලැබී ඇති දායකත්වය අතිශය තීරණාත්මකය. විශේෂයෙන්ම, වසර තිහකට අධික කාලයක් මෙරට ක්‍රියාත්මක වුණු වාර්ගික අරගලය විසින් මෙවැනි ආගමික ත්‍රස්ත කල්ලිවල පැවැත්ම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දැනටමත් උපයා දී ඇති බවද පිළිගැනීමට සිදු වේ.

මීට කලකට ඉහතදී ගලගොඩඅත්තේ ඥානසාර ප්‍රමුඛ බොදුබල සේනා ජාතිවාදී නඩය බහුතර සිංහල සමාජය විසින් පිළිගනු ලැබුවේ සිංහලකමත් බුද්ධාගමක් ආරක්ෂා කරගෙන මෙරට ධර්මද්වීපයක් බව සහතික කරනු වස් කලඑළි බට ගැලවුම්කාර හමුදාවක් ලෙස වුවද වැඩි කලක් යන්නට මත්තෙන් ඔවුන්ගේ ආත්මාර්ථකාමී යථාර්ථය බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට හැකි වීම ගැන අප සතුටු විය යුතුය. බොදුබල සේනාවේ ම්ලේච්ඡ ජාතිවාදය හමුවේ එය ජනතාවගේ අවධානයෙන් ගිලිහී යාමත් සමග ‘සිංහ ලේ’ නමින් තවත් මූලධර්මවාදී කල්ලයක් ඊටම නොදෙවෙනි ජාතිවාදී ව්‍යාපෘතියක් දියත් කිරීම ඇරඹූ බව අපි දනිමු. මේ වන විට එහි මහ ලේකම් යැයි කියාගන්නා මැඬිල්ලේ පඤ්ඤාලෝක නම් චීවරධාරියෙකු විසින් “ජන සංහාර සැමරුම වහාම සංහාරය කළ යුතුය” යන හිසින් නිකුත් කර ඇති ලිපියක් මගින් උතුරේ දමිළ ජනතාව යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන් ආදීන් ස්මරණය කිරීම ‘වහාම නතර කළ යුතු’ බව අවධාරණය කර ඇති නමුදු යුද්ධය සැමරීම උතුරට තහනම් නම් එහිම පාර්ශවකරුවෙකු වූ දකුණේ සිංහලයාට මිනීමරු යුද්ධයක් සැමරීමට ඇති අයිතිය ගැන පැහැදිලි කිරීමක් කර නොමැත. පුදුමයක් නොවන පරිදිම විමල් වීරවංසගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය ඊට අතිශයෝක්තිකර ප්‍රචාරයක් දෙමින් පවතී.

මා පෞද්ගලිකව පිළිගන්නා ආකාරයට නම් යුද්ධයකට හවුල් වූ පාර්ශ්වකරුවන් කිසිවෙකුට පුරාජේරු ගසමින් සමරන්නට අභිමානයක් ඉතිරි විය නොහැක. යුද්ධය යනුම මිනිසා බුද්ධියට මා මනුෂ්‍යත්වයට වඩා ම්ලේච්ඡත්වය තෝරා ගැනීමෙහි ප්‍රතිඵලයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. බෞද්ධ යැයි කියා ගන්නා සන්දර්භයක මේ තත්ත්වය විමසා බැලූ කල මේ කාරණයේ ඇති පරස්පරය වඩා හොඳින් ඉස්මතු වෙයි. අප දන්නා බුදු දහමට අනුව මිනිසා සටන් කළ යුත්තේ සංසාර චක්‍රයට එරෙහිව මිස රටක්, ආගමක්, ජාතියක් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තමාට වඩා වෙනස් මිනිසුන්ට එරෙහිව නොවේ. බුද්ධාගම මුළුමනින්ම ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිටු දකින දාර්ශනික පද්ධතියක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර මිනිසුන් ඇවිස්සීම වෙනුවට නිවා සැනහීම වෙනුවෙන් කැප වන ලෙස බුදුන්වහන්සේ භික්ෂූන්ට උපදෙස් දුන් සේක. දැන් මේ පසුබිම තුළ බෞද්ධ රටක සංඝයාට යුද්ධයකට පක්ෂව පෙරමුණ ගැනීමේ අපහසුවක් පවතී. දුටුගැමුණු බුද්ධාගම අද සිටින ඊනියා චීවරධාරීන්ගේ මනදොළ සපුරන්නේ මෙතැනදීය. මේ යටතේ රට ඉතා බරපතල තර්ජනයකට මුහුණ පා ඇති අතර බුද්ධාගමට පැවැත්මක් වේ නම් ඒ ශ්‍රී ලංකාව තුළ පමණි. මේ නිසාම, බුද්ධාගම පැවතීමට නම් ශ්‍රී ලංකාව බේරා ගත යුතුය. ඒ සඳහා අවශ්‍ය නම් අන්‍ය ජාතීන් සමූලඝාතනය කිරීමට වුව ඉදිරිපත් වීම හැර අන් විකල්පයක් නොමැත. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙමින් සංසාරෙන් එගෙඩ වීම ගැන කතා කරන්නට ඉඩ ලැබෙන්නේ ඉන් පසුවය. මේ දෘෂ්ටිවාදය යහමින් සමාජගත කරන්නට මේ අය සමත්ව ඇති නිසාම චීවරය ඇඟ ලා ගත් භික්ෂුවක යුද්ධයකට පක්ෂව ප්‍රකෝපකාරී මත පළ කරන විට බෞද්ධ ඉගැන්වීම් ඇසුරින් එය ප්‍රශ්න කරන්නට ‘අහිංසක සිංහල-බෞද්ධ’ මනසට සිතෙන්නේ නැත. වසර ගණනාවක් තිස්සේම පැවැත්වෙන ‘විරු සැමරුම්’ වලදී මිනීමරු යුද්ධයක ම්ලේච්ඡ මතක සටහන් මළකුණු තුළින් ඇද තළු මරන ඊනියා චීවරධාරීන් පෙරමුණ ගැනීම මේ තර්කය යටතේ අරුමයක් නොවේ.

කිසිම යුද්ධයක් යනු සැමරීමට මතක සටහන් ඉතිරි කර අවසන් වන දෙයක් නොව අමතක කර දැමීම සදහා කුණු ගොඩවල් ඉතිරි කරන ඛේදවාචකයක් බව මේ දුටුගැමුණු බෞද්ධයන් තමන්ගේ අනුගාමික සිංහල-බෞද්ධ බහුතරට කියා දී නැත (ක්‍රියාකලාපය දෙස බලන විට එසේ කියා දීමට හෘද සාක්ෂියක් ඔවුනට ඇති බවක් පෙනෙන්නේද නැත). උතුරේ දමිළ හෘද සාක්ෂියට වඩා දකුණට අදාළ චරිතයක් වන විග්නේශ්වරන් වැන්නන්ද යුද්ධයේ කුණු අමතක කොට පවතින කටුක යථාර්ථය ජය ගැනීමේ වැදගත්කම තමන් නියෝජනය කරන (බව පෙන්වන) දමිළ ප්‍රජාවට සාර්ථකව ඒත්තු ගන්වා නැත.

ඇත්තය. මැඬිල්ලේ පඤ්ඤාලෝක නම් භික්ෂුව තම ආවේගශීලී නිවේදනයේ පැහැදිලිවම සඳහන් කර ඇති පරිදි යුද්ධයක් සැමරීම යනුම ‘ජන සංහාර සැමරුමක්’ වුවද ඒ කාරණය ඒ පරිද්දෙන්ම දකුණේ සිංහලයාටද අදාළ විය යුතුය. දකුණේ සිංහලයාට ජාතික මට්ටමේ උත්සව පවත්වමින්, දුටුගැමුණු බෞද්ධ සඟඇණියේ නන්විධ සරඹ සන්දර්ශන මධ්‍යයේ ආරක්ෂක අංශවල සේවය කර මිය ගිය තම ඥාතීන් සිහිපත් කිරීමටත් අයිතියක් ඇති බව පිළිගන්නේ නම්, ඒ අතරම, එම යුද්ධයෙහිම ගොදුරු බවට පත් වූ තමන්ගේ ඥාතීන් වෙනුවෙන් පහනක් දැල්වීමට උතුරේ දමිළ ජනතාවට ඇති අයිතිය පාගා දැමීමද නොකළ යුතුය. සාමාන්‍යයෙන් ඥාතීන්, පවුලේ සාමාජිකයන්, හිත මිතුරන් මරණයට පත් වූ පසුව වසරින් වසර එම දිනය සිහිපත් කිරීම මනුෂ්‍ය වර්ගයා ආරම්භ කළේ අද ඊයේ සිට නොවේ. පඤ්ඤාලෝකලාගේ මේ තර්ක පද්ධතියෙන් ගම්‍ය වන්නේ මිනී මැරුම් නඩුවකින් වැරදිකරුවෙකු බවට පත් වූ අයෙකු එල්ලා මැරූ පසුව එම දිනය සිහි කරමින් ජීවත්ව සිටින ඔහුගේ ඥාතීන් පන්සලට ගොස් හාමුදුරුවන්ට දානයක් දීම පවා තහනම් කළ යුතු බවද?

කෙනෙකු මානව සබඳතා පැත්තෙන් තමන්ට වඩා සමීප තවත් අයෙකු සිහි කරමින් පහනක් දැල්වූ පමණින් රට දෙකඩ වීමක් හෝ සිංහල-බෞද්ධයා වඳ වී යාමක් හෝ සිදු නොවේ. ඇත්තෙන්ම එසේ සිදු වන්නේ තිස් වසරකට අධික කාලයක් පුරාවට අමිහිරි මතක රැසක් උරුම කළ යුද්ධය වැනි ඛේදවාචකයක් ඉදිරියේදී නැවත උදා විය හැකි වාතාවරණයක් දැන් සිටම නිර්මාණය කිරීමට කැප වන, ව්‍යාජ ආගමිකත්වයක් මවා පාමින් තම අභිලාෂ ඉටු කර ගැනීම සඳහා ජනතාව අවුස්සන ජාතිවාදී උන්මත්තකයන් නිසාය. හරි බෞද්ධකමක් ගැන මේ කියන කැක්කුමක් ඇත්නම් පඤ්ඤාලෝකලා කළ යුත්තේ බෞද්ධ හර පද්ධතිය මිනිසුන් අතරට ගෙන යමින් එකිනෙකාට ආදරය කරන, ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරන රටක් නිර්මාණය කිරීමට කැප වීමයි. වාර්ගික යුද්ධයක් ඇති වන්නේම වාර්ගික කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් අතර අන්‍යොන්‍ය වෛරයක් හා එදිරිවාදීකමක් වැපිරීම තුළ බව බහුතර සමාජයටද ඒත්තු යා යුතුය.

අපට තවත් යුද්ධයක් දරා සිටීමේ ධාරිතාවක් නොමැත!

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.