26 April, 2024

Blog

කැතයි ලැජ්ජයි සම සමාජ එන්.එම්.ගේ බෑනෝ

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

ශ්‍රී ලංකාවේ පළමු නූතන දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ලංකා සම සමාජ පක්ෂය, ලබන මාසයේදී තම අසූඑක් වන සංවත්සරය සමරයි. සාමාන්‍යයෙන් ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂයක ඉතිහාසය පුළුල් වෙත්ම, වඩාත් පරිණත බවක්, දියුණුවක් අපේක්ෂා කළ හැකි වුවද, ඒ වෙනුවට ලංකා සම සමාජ පක්ෂය තුළින් නොනවත්වා පෙනෙන්නට ඇත්තේ අවසානය, කරා යන ගමන වේගවත් වී ඇති බවකී. සැබැවින්ම ඔවුන් මේ මොහොතේ තම දේශපාලන උපාය උපමාරු තෝරමින්, සිටින ආකාරය දෙස බලද්දී පෙනෙන්නට ඇත්තේ අතිශයින්ම, දියාරු ගතියකි. අපගේ ඉහත තර්කය ඔප්පු කිරීමට පෙන්විය හැකි ආසන්නතම උදාහරණය වනුයේ පසුගියදා පිහිටුවා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ වීමට ලංකා සම සමාජ පක්ෂය ගත් තීරණයයි. දේශපාලනික වශයෙන් නන්නත්තාර වී සිටින ජී. එල්. පීරිස් මහාචාර්යවරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස පුළුල් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් හෝ තවම එළිදක්වා නොමැත. අනෙක් අතට එහි සභාපතිවරයා ලෙස නම්කර ඇති ජී. එල්. පීරිස් ද මාධ්‍ය ඉදිරියේ ඒ පිළිබඳ අදහස් දක්වා තිබුණේ තමන්ගේ සම්පූර්ණ සම්බන්ධයක් ඊට නොමැති ගානට කකුල දෙපැත්තේ තබා ගනිමිනි. එබඳු පසුබිමක් තුළ නව පක්ෂය හා හවුල් වීමට “සම සමාජය” ගත් තීරණය සාධාරණීකරණය කළ හැක්කේ කෙසේ ද කියා රටට පැහැදිලි කිරීමේ යුතුකමක් එහි නායකයන්ට ඇත. නමුත් ඒ සඳහා ධෛර්යයක් ඔවුනට ඇත්ද යන්න නම් ප්‍රශ්නාර්ථයකි. ඒ එබඳු හෘදය සාක්ෂියක් තමනට නොමැති බව තිස්ස විතාරණ ප්‍රමුඛ සම සමාජ නායකයින්, පසුගිය කාලයේ අනන්තවත් පෙන්වා ඇති බැවිනි.

ජාතින් අතර එක්සත්කම, සමාජ සාධාරණත්වය යන පක්ෂයේ මුඛ්‍ය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට සම සමාජ නායකයින් පසුගිය කාලයේ සම්පූර්ණ අවධානය යොමු කළේ තම පැවැත්ම රැකගැන්ම කෙරෙහි පමණි. ඇමැති ධුර, මන්ත්‍රී ධුර ලබා ගනිමින් ජීවිතයේ සැඳෑ කාලය, සුවසේ ගෙවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැන්ම හැර, අවධානය යොමු වූ කිසිවක් තිස්ස විතාරණ ඇතුළු සමසමාජ නඩය, පසුගිය වසර කිහිපයේ රට වෙනුවෙන් සිදු නොකළ තරම්ය. සැබෑ සමාජවාදීන් ලෙස පවතින ක්‍රමයට, අභියෝග කිරීම වෙනුවට ඒවාට අනුගත වීමට තිස්ස විතාරණලා කටයුතු කළේ කිසිදු හිරිකිතයකින් තොරවය. මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවූ සැම අකටයුත්තක්ම සාධාරණීකරණය කරමින් ඊට සුජාතභාවයක් ලබාදීමට කටයුතු කළ තිස්ස විතාරණලාට ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ද තිබුණේ ගෝත්‍රික ස්ථාවරයකි. පක්ෂයක් ලෙස ලංකා සම සමාජ පක්ෂය, බරපතළ මූලධාර්මික සහ උපාය මාර්ගික අවුලක පැටලී සිටිය ද වඩාත් හාස්‍යජනක කාරණය වනුයේ ඒ බව පිටතට පෙන්වීමට ඔවුන් දක්වන අකැමැත්තය. තමන් මාක්ස් – ලෙනින්වාදීන් බව කියමින් සමාජවාදය වෙනුවෙන් වැඩ කරන බව තිස්ස විතාරණලා, නිතරම අවධාරණය කරනමුත්, ප්‍රායෝගික යථාර්ථය ඊට ඉඳුරාම වෙනස්ය.tissa-vitharana-colombo-telegraph

අද, “විහිළුවක්” බවට පත්ව තිබුණ ද තම ඉතිහාසයේ මුල් කාලයේ දී ලංකා සම සමාජ පක්ෂය යනු දැවැන්ත දේශපාලන පෞරුෂයක් ම විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබාගැන්ම වෙනුවෙන්, සුවිශේෂ වැඩ කොටසක් සමසමාජ නායකයන් විසින් සිදු කරන ලදී. සූරියමල් ව්‍යාපාරය වැනි සැබෑ ප්‍රගතිශීලී නිර්මාණශීලී වැඩ සටහන් ඉදිරිපත් කළ ලංකා සමසමාජ පක්ෂය මුල් කාලයේදී දේශපාලනිකව ශක්තිමත්ව සිටියේය. එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන බඳු දේශපාලන දැනුමෙන් හොඳින් පොහොසත්ව සිටි නායකයන් රැසකගේ සේවාව හිමි වීම පක්ෂයක් ලෙස ලංකා සමසමාජ පක්ෂයේ දීප්තිය ඉහළ නැඟීමට බලපෑ ප්‍රධාන කාරණයක් විය. 1934 – 1935 සමයේ පැතිර ගිය මැලේරියා වසංගතය මැඬලීම වෙනුවෙන් සක්‍රීය මැදිහත් වීමක් වාමාංශිකයන් සිදු කරන ලදී. මෙරට වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව ඉහළින්ම සටහන් කළ සමසමාජ පක්ෂය එහිදී තම මුද්‍රාව ඉතිහාසයට එකතු කළේ 1953 අගෝස්තු 12 වැනිදා සිදු වූ හර්තාලයේදීය.

හර්තාලය කෙතරම් සමාජ බලපෑමක් සිදු කළා ද කිවහොත් ආණ්ඩුවක් නැවකට එළවීමට තරම් එය ප්‍රබල එකක් විය. වඩාත් සංවිධානාත්මක මුහුණුවරක් ගත් එම හර්තාලය හමුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නොහැකි වූ අතර එය වරායේ නවතා තිබූ රාජකීය හමුදාවට අයත් එච්.එම්.එස්. ‘නිව් පවුන්ඩ්ලන්ඩ්’ නෞකාව වෙත ගෙන යෑමට එදා සිදු විණි. එජාප ආණ්ඩු සම්බන්ධයෙන් නිරතුරුවම අසුබවාදී ලෙස බැලීම තුළ අනුගමනය කළ වැරැදි තීන්දු තීරණ හැරුණු විට රටේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් සමසමාජ නායකයන් වෙතින් ඉටු වූ බව පැවැසීම අතිශයෝක්ති වර්ණනාවක් නොවේ. විශේෂයෙන්ම, අනාගතයේ මතු විය හැකි දේශපාලන ගැටලු හඳුනා ගැනීමට තරම් ඉහළ බුද්ධිමය වපසරියක් ආරම්භක සමසමාජ නායකයන්ට විය. විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව පිළිබඳව පළමුව ප්‍රබල විවේචනයක් සමාජගත කළ පුද්ගලයා වූයේ ආචාර්ය එන්. එම්. පෙරේරාය.

විධායක ජනාධිපති ක්‍රමයේ ඇති අධිකාරිවාදී ස්වරූපය හා ඒ ඔස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැකි තර්ජනය ගැන එන්. එම්. කතා කළේ 1979 තරම් ඈත කාලයේදීය. “1978 ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්” නමින් කළ එම ලියවිල්ල සාරගර්භ එකක්ම විය. එන්.එම්.ගෙන් පසුව කොල්වින් හා බර්නාඩ් සොයිසා යම් තරමක දුරට පක්ෂය ඉදිරියට ඇදගෙන ආ මුත්, ඔවුනගේ වියෝවෙන් අනතුරුව ඍජු සමාජ දැක්මක් සහිතව පක්ෂය ඉදිරියට ගෙන යෑමට තරම් හැකියාවක් තිබු “හිසක්” සම සමාජ පාක්ෂිකයන්ට හමු නොවිණි. තිස්ස විතාරණලා අද බඩ පිනුම් ගසනුයේ එසේ පුරන් වූ භූමියකය. පක්ෂයේ ශක්තීන් තර කර ගැනීම වෙනුවෙන් සැලකිය යුතු කිසි දෙයක් තිස්සගෙන් සිදු නොවූ තරම්ය. ඔහු පක්ෂ ලේකම් වූ පසු තරුණ කොටස් පක්ෂයෙන් ශීඝ්‍රයෙන් ඈත් වූ අතර වාමාංශික පක්ෂයකට සෑහෙන තීරණාත්මක වැඩ බිම්වල සටන්වලදී ද පක්ෂයේ මැදිහත් වීම දිනෙන් දින සීමා වන්නට විය. නමුත් ඒ කිසිවක් තිස්ස විතාරණලාට වැදගත් නොවීය. ඇමැති කටු සූප්පු කිරීම වෙනුවෙන් බෝඩ් ලෑල්ලකට සීමා වූ පක්ෂයක නායකයා වීම පමණක් ඔහුට හොඳටම ප්‍රමාණවත් විය.

රාජපක්ෂ සමයේ දී තම පැවැත්ම උදෙසා පවරන ඕනෑම රාජකාරියක් ඉටු කිරීමට තිස්ස විතාරණ සැදී පැහැදී සිටියේය. ජාතික ප්‍රශ්නය විසඳීමට යැයි කියමින් මහින්ද රාජපක්ෂ පත් කළ ඊනියා සර්ව පාක්ෂික කමිටුවේ සභාපති වූයේ තිස්ස විතාරණය. “ස්වස්ථානික” ව්‍යවස්ථාවක් නිර්මාණය කරමින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් යෝජනා කිරීම වෙනුවෙන් පිහිටුවූ මෙම කමිටුව 2006 වසරේ සිට 2009 ජුනි දක්වා රැස්වුමුත් ඉන් අත්වූ කිසිදු ප්‍රතිඵලයක් නොවූ තරම්ය. පසුව එම කාරණය වෙනුවෙන්ම 2013 වසරේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට මහින්ද කටයුතු කළ මුත් තිස්සව ඊට සාමාජිකයෙකු ලෙස හෝ ඇතුළු කිරීමට කටයුතු කළේ නැත.

2010 වසරේදී තිස්ස විතාරණ දැරූ විද්‍යා හා තාක්ෂණ ඇමැති ධුරයෙන් ඔහුව ඉවත් කරමින් ජ්‍යෙෂ්ඨ ඇමැති ධුරයක් තෙක් ඔහුව පහළට දැමීමට මහින්ද කටයුතු කළේය. කිසිදු ආයතනයක් දෙපාර්තමේන්තුවක් නොතිබුණු ඒ ඇමැති ධුරය පවා ප්‍රතිවිරෝධයක් නොදක්වමින් භාර ගැනීමට තරම් තිස්ස දේශපාලන වශයෙන් බංකොලොත්ව සිටියේය.

තිස්ස විතාරණ යනු එන්. එම්. පෙරේරාගේ සහෝදරියක වූ එන්. පී. මැගී පෙරේරාගේ පුත්‍රයාය. 1975 වසරේදී තම ඇමැති ධුරය වෙනස් කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සූදානම් වූ අවස්ථාවේදී එන්. එම්. ඊට ප්‍රතික්‍රියා දැක්වූයේ තිස්ස මෙන් බකංනිලාගෙන සිටිමින් නොවේ. මුදල් ඇමැතිකම අතහැර වෙළෙඳ හා වාණිජ ඇමැති ධුරය බාරගන්නා ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට තරම් පිටකොන්දක් එන්. එම්. පෙරේරාට තිබිණි.

කෙසේ වෙතත් තිස්ස තම මාමාව පාවා දුන් ලොකුම අවස්ථාව වූයේ 2010 සැප්තැම්බරයේදී 18 වැනි සංශෝධනය රැගෙන ආ අවස්ථාවේදීය. එම අවස්ථාවේදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය සමසමාජ පාර්ලිමේන්තු නියෝජිතයන්ට දැනුම් දුන්නේ, විධායක ජනාධිපති ධුරය තවත් ශක්තිමත් කරන, එන්. එම්. 1979 දී මතු කළ සමසමාජය දිගින් දිගටම පෙනී සිටි අරමුණට මුළුමනින්ම පටහැනි එම යෝජනාවට විරුද්ධ වන ලෙසය. පක්ෂයේ ඉහළම දේශපාලන මණ්ඩලයෙන් එසේ උපදෙස් ලැබුණ ද මහින්ද රාජපක්ෂව වන්දනාමාන කරමින් සිටි තිස්ස විතාරණට එය වගක් නොවීය. ඒ තරමටම ඔහුගේ දෑස් අන්ධ වී තිබිණි. තිස්ස එන්. එම්. ගේ මතයට හා පක්ෂයේ මතයට පිටින් ගියේය. ලංකා සමසමාජ පක්ෂය තුළ බරපතළ අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට තිස්ස විතාරණගේ එම අත්තනෝමතික තීරණය හේතු විය.

18 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ වුවද එහි ආදීනව පිළිගැනීමට තරම් ධෛර්යයක් ඩිව් ගුණසේකරගේ කොමියුනිස්ට් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පසුව තිබුණ ද ඇමැතිකම නමැති මස් කට්ටු සූප්පු කරමින් සිටි තිස්ස විතාරණට ඒ අවබෝධය ලබා ගැනීමට සෑහෙන කලක් අවශ්‍ය විය. තිස්ස විතාරණලාගේ සැබෑ ගති ස්වභා ප්‍රදර්ශනය වූ තවත් අවස්ථාවක් වූයේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව අයුක්ති සහගත ලෙස දෝෂාභියෝගයක් රැගෙන ආ අවස්ථාවේය. 2012 දෙසැම්බරයේදී එම දෝෂාභියෝගය ඉදිරිපත් වූ අවස්ථාවේදී පක්ෂයේ තීරණයට පිටින් යමින් තිස්සගේ ගෝලයකු වූ කෑගල්ලේ පද්මසිරි හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

පක්ෂව තීන්දුවකට පිටින් යෑම විනය විරෝධි වුවද ඒ පිළිබඳව කටයුතු කිරීමේ හැකියාවක් සමසමාජ ලේකම්වරයා ලෙස තිස්සට නොවිණි. ඒ ඔහු ද මීට පෙර කිහිප වරක් පක්ෂයේ තීන්දු මායිම් නොකර කටයුතු කළ බැවිනි. 2014 ජනවාරි 25 වැනි දින රැස්වූ ලංකා සමසමාජ පක්ෂ මධ්‍යම කාරක සභාව වැදගත් තීන්දුවක් ගන්නා ලදී. එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් හා පාර්ලිමේන්තුවාදි රජයක් පිහිටුවීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව තිස්ස විතාරණ ද සහභාගි වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම යෝජනාව සම්මත වූයේ ඒකමතික අනුමැතියෙනි. එක් අතකින් එය පව් සමා කිරීමට ලැබුණු අවස්ථාවක් විය. 18 වැනි සංශෝධනයට අත ඔසවමින් එන්. එම්. පෙරේරාට කළ අපහාසය ආපසු හැරවීමේ අවස්ථාවක් ඒ ඔස්සේ ලබාගත හැකිව තිබිණි.

2014 මැයි රැලියේ ප්‍රධාන සටන් පාඨය වූයේ ජනවාරියේදී සම්මත වූ ඉහත යෝජනාවයි. නමුත් මාස 5ක් ඇතුළත පක්ෂයේ ඉදිරි උපාය මාර්ගික වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට ඔක්තෝබරයේ කැඳවූ මධ්‍යම කාරක සභා රැස්වීමකදී කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව තිස්ස විතාරණ අපූරු යෝජනාවක් රැගෙන ආවේය. ඒ ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහාය මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බව කියමිනි. සහතිකවම එය අරුම පුදුම යෝජනාවක් විය. ඒ වන විට ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොතිබූ අතර අවම තරමින් මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකත්වය ද තහවුරු කර නොතිබිණි. ජනවාරියේදී ගත් තීරණයට මුළුමනින්ම පිටින් යමින් අලුතින් ගෙන ආ මෙම යෝජනාව සම්බන්ධයෙන් ප්‍රබල විරෝධයක් මධ්‍යම කාරක සභාවේ මතුවූ මුත් තිස්ස එය ගාණකට ගත්තේ නැත. ඒ වෙනුවට ජයම්පති වික්‍රමරත්න, කීර්ති කාරියවසම්, චමීර පෙරේරා, ලාල් විජේනායක, මහාචාර්ය විජේ කුමාර් ඇතුළු කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීමට ඔහු ක්‍රමානුකූලව කටයුතු කළේය. සමසමාජ පක්ෂයේ විකල්ප බුද්ධිමය දහරාව නියෝජනය කළ එම කණ්ඩායම ඈත් කිරීම බැලු බැල්මට පක්ෂයට අවාසියක් වුවද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවය එය අධිනිශ්චය කර තිබිණි.

සමසමාජ පක්ෂ සාමාජිකයකු වීම මුල් යුගයේදී අති දුෂ්කර කටයුත්තක් විය. පළමුව ඒ වෙනුවෙන් පක්ෂයේ පරිධියට අයත් සංවිධානවල කටයුතු කළ යුතුය. අනතුරුව මාස කිහිපයක් ආධුනික කාලසීමාව පසු කරමින් සම්පූර්ණ කාලසීමාව දක්වා පැමිණිය යුතු විය. පක්ෂ සාමාජිකත්වය ලැබුණේ ඒ ආකාරයේ විධිමත් අධ්‍යාපනික ක්‍රියාවලියක් ඔස්සේය. පවතින දේශපාලන පරිසරය තුළ එය ඒ ආකාරයටම පවත්වාගෙන යෑම අසීරු බව ඇත්තය. නමුත් එහිදී යම් විනයක් පවත්වාගෙන යෑම වමේ යැයි කියාගන්නා පක්ෂයකට පාඩු නොවේ. අපේක්ෂිත ලැයිස්තුවල සමසමාජයට වෙන් කර ඇති “කෝටාවෙන්” නාමයෝජනා ලබා ගැනීම වෙනුවෙන් පක්ෂයට ඇතුළු කරගන්නන් මිසක එහි දර්ශනය පිළිගෙන පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නත් වර්තමානයේ හමු නොවන තරම්ය. පක්ෂයක් ලෙස ලංකා සමසමාජ පක්ෂය මුහුණ දෙමින් සිටින අර්බුදයේ තරම එය මනාව පෙන්වයි.

මහින්ද සමඟ සන්ධානගත වීම හැර වෙන විකල්පයක් පවතින තත්ත්වය තුළ තමන්ට නොමැති බව තිස්ස විතාරණලා පවසනුයේ එජාප විරෝධය ඉදිරියට දමමිනි.

මේ රෝගය තිස්ස විතාරණලාගේ පූර්වගාමීන්ට ද අඩු වැඩි වශයෙන් තිබිණි. රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස එදා ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම කරළියට ආ අවස්ථාවේදී “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” කියමින් එය ආපසු හැරවීමට කටයුතු කළේ ජාතීන් අතර සමානත්වය වෙනුවෙන් පෙනී සිටින මේ ඊනියා වාම වාදීන්ය. අද එජාපය හා රාජපක්ෂලා අතර ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නොමැති තරම්ය. වෙනසක් ඇත්නම් ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරයේදී පමණි. එවැනි තත්ත්වයක් තුළ ව්‍යාජ එජාප විරෝධයක් මතු කරමින් තම නිර්ලජ්ජිත දේශපාලන හැසිරීමට සුජාත භාවයක් ලබාගැන්මට තිස්ස විතාරණලා ගන්නා උත්සාහය මුළුමනින්ම හාස්‍යජනකය. එජාපයට විරුද්ධ වන තිස්ස විතාරණලා අන්ත ජාතිවාදී ගම්මන්පිලලා, වීරවංශලා සමඟ එක පෙළට සිට ගැනීමට කිසිදු අකැමැත්තක් නොදක්වයි. එන්.එම්.ලාගේ කොල්වින්ලාගේ ඡායාරූප බිත්තිවල තිබියදී අද විමල්ලා, උදයලා බොරැල්ලේ එන්.එම්.ගේ ගෙදර බදු ගෙන සිටිති. ඔවුන් එහි සතිපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ගෝත්‍රවාදය ජාතිවාදය, ද්වේෂය වපුරවමින් සිටිති. එන්.එම්.ගේ ඥාති පුතකු ලෙස තිස්ස විතාරණ අවම තරමින් ඒ ගැන හෝ ලජ්ජා විය යුතුය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    To my knowledge, Dr. Wickramabahu Karunaratne who is a break away faction of the Samasamaja party because of differences opinions on policy matters formed the Nava Samasamaja party. In my opinion he is the one man who up to now maintains his valued policies and I think you should have mentioned this. Strangely I also saw no mention of Mr. Pieter Keuneman.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.