26 April, 2024

Blog

වාචාල ඩිලාන්ගේ සිවිල් සමාජයට තඩිබෑම

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

සංකල්පීය වශයෙන් සම්මුති බද්ධ දේශපාලනය යනු කනට මී පැණි වත්කිරීමක් වුවද එබඳු උත්සාහයක් මුළුමනින්ම සාර්ථක වීමට තරම් අපේ දේශපාලන සංස්කෘතිය තවමත් පොහොසත්ව නැති බව මේ වනවිට රටේ දේශපලානය තුළ සිදුවන දෑ හරහා පෙනෙන්නට තිබේ. විශාල කතන්දර පැවසීම අවශ්‍ය නැත. සැබවින් ම මේ මොහොතේ රටේ පවතින තත්ත්වය “යහපාලන” වෙනසට ක්‍රියාකාරීව සම්මාදම් වූ ජනතාව වෙත ගෙන දී ඇතතේ කලකිරීමකට වඩා වැඩි දෙයක් නොවේ. ජනවාරි 8 වැනිදා නිහඬ විප්ලවය සිදු වී එහි දෙවැනි සංවත්සරයට දින හැත්තෑවකට අඩු කාලයක් ඉතිරිව තිබියදී රටේ නිර්මාණය වී ඇති තත්ත්වය යහපාලන ප්‍රේමීන් තුළ ඇති කර ඇත්තේ අනාගතය පිළිබඳ සුවදායී හැඟීමක් වෙනුවට අවිනිශ්චිතතාව පිළිබඳ අදහසකි. කෙසේ වෙතත් එක් දෙයක් නම් සුපැහැදිලිය. ආකල්ප අතර ගැටුමක් තිබුණ ද විශාල අවුලක් නිර්මාණය වනු ඇතැයි යන්න කල්පනා කිරීම අසීරු බවය. ඒ, රාජපක්ෂවරුනට රට යළි භාර දී‍ෙම් උනන්දුවක් එ.ජා.පයට හා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී.ල.නි.පයට තවමත් නොමැති බැවිනි. කළු වලාව තුළ ඇති එකම රිදී රේඛාව එයයි. වඩා වැදගත් වනුයේ අසීරුවෙන් ගොඩනඟාගත් මේ එකඟතාව රටේ මතු ‍පැවැත්ව වෙනුවෙන් වඩා ධනාත්මක හා ප්‍රයෝජනවත් ආකාරයෙන් ඉදිරියට ‍රැගෙන යාමය. නමුත් එය පහසු කටයුත්තක් නොවනුයේ එය බොරදියේ මාළු බෑමට ඇතමුන් උත්සාහ දරන බැවිනි.

dilan perera

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ සිදුවූ නිහඬ විප්ලවය තුළ සිවිල් සමාජ ක්‍රියාකාරින් රඟපෑ භූමිකාව ඉහළ එකක් විය. රාජපක්ෂ විරෝධි මත වාදයන් සමාජගත කරමින් පොදු වැඩපිළිවෙළක් සඳහා එකට ගොනුවිය යුතුය යන විශ්වාසය සමාජය තුළ තහවුරු කළේ ඔවුන්ය. ජනතාව රොද බැඳුණේ එසේ සමජගත කළ පොදු වැඩපිළිවෙළ වටාය. සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය වැනි සංවිධාන එම කටයුත්තේදි ඉදිරියෙන්ම විය. මර්දනකාරි පාලනයකට එරෙහිව අභීතව පෙනී සිටීම් කරමින් අතිශය දුෂ්කර කාලපරාසයක ඔවුන් ඉටු කළ කාර්යභාරය කිසිසේත් ම අඩු ලංසුවක ලා බැහැර කළ නොහැකිය. ඔවුන් කළ කාර්යභාරය අමතක කළ හැක්කේ ‍ෙද්ශපාලන අඳබාලයෙකුට පමණි. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු වත්මන් රජයේ බොහෝ දෙනකුට එම ඉතිහාසය හොඳට මතක ඇති බව තවමත් අප විශ්වාස කරන මුත් එය පිළිගැනීමට අකමැති කොටස් ද ආණ්ඩුව තුළ සිටින බව පෙනෙන්නට ඇත. ඇමති ඩිලාන් පෙරේරා යනු එවැන්නෙකි. ජනාධිපතිවරයා පදනම් ආයතනයේ කළ කථාව ගැන ඔහුව බලයට ‍රැගෙන ඒමට මුල්වූ සිවිල් සමාජ ක්‍රියාකාරීහු දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ඇමති ඩිලාන් කර තිබූ අදහස් දැක්වීම “සාහසික” එකක්ම විය. යහපාලන වෙනස සිදුවෙද්දි ඊට දශමයකින් හෝ දායක නොවූ හා පසුව පැවති මහමැතිවරණයේදි පවා ප්‍රසිද්ධියේ, අග්‍රාමාත්‍යවරයාට වස බීමට ආරාධන කළ රාජපක්ෂ හැර අන් සරණක් නොපැතූ ඩිලාන් පෙරේරා වැන්නෙකු පවසන කථා ඒ හැටි බැරෑරුම්ව භාර නොගත යුතු වුවද වත්මන් රජයේ වගකීම් උසුලමින් ඔහු එම ප්‍රකාශය සිදු කිරීම තුළ එය සරලව අමතක කිරී‍ෙම් හැකියාවක් ද නොමැත. “සාධාරණ සමාජ ව්‍යාපාරයේ මහාචාරියට කන පැළෙන්න ගහන්න ඕනෑ” යැයි කියමින් ඩිලාන් අවධාරනය කරනුයේ “සිවිල් සංවිධානවලට ආණ්ඩුව මෙහෙය වීමේ අයිතියක් නොමැති” බවය. සැබවින්ම මෙය හාස්‍යජනක තත්වයකි. ජනාධිපතිවරයා හා වත්මන් රජය බලයට ගෙන ඒමට වැඩිම වැඩ කොටසක් ඉටු කළ ඒ සඳහා පාර කැපූ සිවිල් සංවිධානවලට එවැනි අයිතියක් නොමැති නම් ඊට දශමයකින් හෝ දායක නොවුණු ඩිලාන්ට ඒ හැකියාව ‍ලැබුණේ කෙසේ දැයි ඔහු රට හමුවේ පැහැදිලි කළ යුතුය. දේශපාලන ස්ථාවර මාරු කිරීම අතින් ඩිලාන් සතු වාර්තාව අද්විතීය එකක්මය. තම බලය හා පැවැත්ම වෙනුවෙන් තමන්ම දරමින් සිටි දේශපාලන ස්ථාවරය නැමීමේ ශූර හැකියාවක් තිබූ ඩිලාන් මාදිලියේ වෙනත් දේශපාලනඥයකු සමකාලීන දේශපාලනය තුළ රටේ හමු නොවන තරම්ය.

1988 වසරේදී මහජන පක්ෂය නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරී පත්වූ ඩිලාන් පෙරේරාගේ පාර්ලිමේන්තු ඉතිහාසය දැන් දශක දෙකකට වඩා වැඩිය. දිගු කලක් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ ඇමති වගකීම් පවා දරමිනි. සාමාන්‍යයෙන් ඒ සහ දිගු නියෝජන හිමිකමක් ඇත්තෙකු වෙතින් විශාල සේවාවක් අපේක්ෂා කළ හැකි වුවද බදුල්ලේ ජනතාවගේ හදවත් තුළ මැකී නොයන සේ තැන්පත්ව ඇති එබඳු එකඳු හෝ වැඩක් ඩිලාන්ගේ පසුගිය දේශපාලන ඉතිහාසය තුළ හමුනොවන තරම්ය. වැඩ නොකළද තම පක්ෂය ඇතුළු සෙසු පක්ෂවල දේශපාලනඥයන් සමඟ මත ගැටුම්වල නිරත වීම ඔහු සැමදා සිදු කළේය. ආසන සංවිධායකවරයකු ලෙස මැතිවරණ කොට්ඨාස ඔහු වෙනස් කළේ ඇඳුම් මාරු කරන්නාක් මෙනි. ප්‍රතිපත්ති ගරුක වීම වෙනුවට ඔහු හැමවිටම ප්‍රිය කළේ දේශපාලන බලය සමඟ ඉදිරියට යෑමටය.

හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් උපරිමයට පෙනී සිටි ඔහු තම පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කිට්ටු වූයේ චන්ද්‍රිකාව පතුරු ගසමිනි. මහින්ද පිනවීම වෙනුවෙන් චන්ද්‍රිකාව පතුරු ගැසුවද හිටපු ජනාධිපතිවරයාගේ සමීප කවයට පිවිසීම ඩිලාන්ට පහසු කටයුත්තක් නොවීය. ඒ නිසාම ඩිලාන් නාමල් රාජපක්ෂට කිට්ටු විය. දේශපාලන වශයෙන් තමන්ට වඩා වසර ගණනාවක් පසුපසින් සිටි නාමල්ගේ අණ ඩිලාන්, හිස් මුදුනෙන් පිළිගත්තේ ඔහු කියන ඕනෑම දෙයක් කරමිනි. නායකයන් කෙරෙහි ඇති පක්ෂපාතීත්වය පමණක් නොව තම දේශපාලන ස්ථාවරය ද ඔහු නිර්ලජ්ජිතව වෙනස් කළේය. සුදු නෙළුම් රැගෙන සාම තවලමේ ගිය ඩිලාන් රාජපක්ෂ යුගයේදි ඊට ගැලපෙන සේ ජාතිවාදියකු ලෙස පෙනී සිටියේය. තම හොඳම මිතුරා බව කියන නාලන්ද එල්ලාවලගේ පිළිරුව පාර්ලිමේන්තු පාරෙන් ඉවත් කරද්දී ඩිලාන් කිසිවක් කීවේ නැත. ඉන් නොනැවතී නාලන්ද ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුසන්ත පුංචි නිලමේ සමඟ ඔහු එකම ආණ්ඩුවක ඇමතිවරුන් ලෙස කටයුතු කළේය. අප ඒ සියල්ල පෙන්වා දුන්නේ තම පැවැත්ම වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් සිදු කිරීමට සැදීපැහැදී සිටින දේශපාලනඥයකු බව පෙන්වා දීමටය.

රාජපක්ෂ යුගයේ සිදුවූ සෑම නොපනත්කමකදීම ඩිලාන් එවා සාධාරණීකරණය කරමින් එක පෙළට සිට ගත්තේය. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියව 2012 දෙසැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ඩිලාන් ද එම නඩු ඇසුව “නඩුකාරයන්” අතර විය. “නඩුකාරයකු” ලෙස පෙනී සිටියද එදින ඔහුගේ භාෂාව ඉතා ග්‍රාම්‍ය මට්ටමක පැවතුණි. “පිස්සු ගෑනි, බේබි, බේබි නෝනා නාඩගම් නටනවා” වැනි නොසරුප් වදන් භාවිතා කරමින් ඉතා පහත් ආකාරයට ඩිලාන් බණ්ඩාරනායක මහත්මියට සැලකූ අතර එම විනිසුරු මණ්ඩලය තුළ හැසිරීම අතින් යම් සටනක් ඔහුට තිබුණා නම් තිබුණේ විමල් වීරවංශ සමඟ පමණි. ඒ තරමට ම ඔහුගේ භාෂාව හැසිරවීම එදින පහත් තත්ත්වයකට වැටී තිබිණි.

අනිත් අතට ඇමැතිවරයකු ලෙස කටයුතු කරද්දී ඩිලාන්ගේ කෙරුවාව රාජපක්ෂවරුනට දෙවැනි නොවීය. ශ්‍රී ලංකා විදේශීය සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ IS/INV/PC/GDE/2015/04 හා 2015 / ජුනි 16 දින නිකුත් කරන ලද විගණන විමසුම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා විදේශීය සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමසූරිය මහතා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. ඒ මීට මාස දහසයකට ඉහතදීය. ඉහත විගණන විමසුමේ තිබූ විස්තරාත්මක පැහැදිලි කිරීම් අනුව මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කිරීම, මැතිවරණ සමයේ රාජ්‍ය දේශපාලන අවභාවිතය, ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් යොදා ගැනීම, කූට ලේඛන පිළියෙල කර මුදල් වංචා කිරීම ව්‍යාජ වැඩසටහන් නමින් රජයේ මුදල් අවභාවිත කිරීම යන කාරණා පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා ඇතුළු කිහිපදෙනකුට චෝදනා එල්ල වී තිබුණි. රටවිරු පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් බත් පැකට්ටුවෙන් පවා ඒ යුගයේ ගසා කා තිබූ අතර ඒ අතරින් වඩාත් අමානුෂික සිදුවීමක් වූයේ මීරියබැද්ද නාය යෑමෙන් විපතට පත් රටවිරු පවුල්වල සාමාජිකයන්ට වියළි ආහාර සහනාධාර හා අනෙකුත් සහනාධාර සැපයීමට යැයි කියමින් ලබා ගත් රුපියල් දශලක්ෂයක මුදල අවභාවිතයේ යෙදවීමය. එය “හෙල්පින් හම්බන්තොට” පන්නයේ මුදල් කොල්ලයක් විය. විගණකාධිපතිවරයාගේ විගණන විමසුවට අනුව එය මහා දවාලයේ එළිපිට කළ මංකොල්ලයක් බවට තොරතුරු හෙළිවිණි. එම මුදලින් රුපියල් 169,190ක මුදලක් වැය කොට භාණ්ඩ මිලදී ගනෙ ඇති බව ඉන්ධන සඳහා රුපියල් 10,000 ක් වැය කර ඇති බවත් ඉතිරි මුදල් දේශපාලන කටයුතු සඳහා නිලධාරීන් විසින් ලබාගත් බවට හෙළිව තිබිණි. එම සියළු කටයුතු සඳහා වෙළෙඳ ආයතනයක නම සඳහන් නොවන රුපියල් 1000350 ක බිලක් ඉදිරිපත් කර තිබුණි.

රටවිරුවන් යැයි ලේබල් ගසමින් සංදර්ශන පැවැත්වුවද ඔවුන් ගැන කිසිඳු ඇගයීමක් විෂයභාර ඇමතිවරයා ලෙස ඩිලාන්ලාට කිසිවිටෙක නොතිබිණි. රිසානා නාෆික් හට මරණ දඬුවම නියම කළ අවස්ථාවේදි මෙරට සිටියේ එය නොදැන සිටි බලධාරිහුය. විදෙස්ගත ශ්‍රමිකයන් තම දහඩිය කඳුළු වගුරවමින් ‍ෙඩාලර් මේ රටට එවද්දි පාලකයන් කළේ ඒ මත පිනුම් ගැසීමය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 6.5ක පමණ ආදායමක් මෙරටට එවනු ලබයි. රුපියල් බිලියන එකොළහකට වැඩි මට්ටමක ඇති වෙළෙඳ හිඟය පියවත්දී තීරණාත්මක පංගුව වනුයේ විදෙස්ගත ශ්‍රමිකයන් හරහා ශුද්ධ ඉපයීම් ලෙස ලැබෙන එම ඩොලර් බිලියන 6.5 ක පංගුවය. එතරම් සේවාවක් රට වෙනුවෙන් කරන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ඩිලාන්ලා කළේ ඔවුන්ට තව තවත් රැවටීම පමණි.

රටේ සිවිල් සමාජයට හිනැහෙන ඊට අභියෝග කරන පුද්ගලයකුගේ ඉතිහාසය මෙයයි. දූෂණයට වංචාවට හොරකමට එරෙහි වන්නේ නම් ඒ පිළිබඳ වන යටගිය ඉතිහාසය පිළිබඳව ද සොයා බැලීම වැදගත්ය. අද සිදු වන හොරකම් ගැන පමණක් නොව මීට පෙර සිදු වූ හොරකම් ගැනද සොයා බැලීම වැදගත්ය. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දරන සමයේ සිදුවූවා යැයි කියන බැඳුම්කර නිකුතුවක් පිළිබඳව හඬා වැලපෙන මහත්වරුනට අප යෝජනා කරනුයේ අජිත් නිවාඩ් කබ්රාල් සමයේ සිදුවූ භාණ්ඩාගාර නිකුතු පිළිබඳව ද සොයා බලන ලෙසය. මහේන්ද්‍රන්ගේ සමයේ යම් සිදුවීමක් අනර්ථයක් සිදුවූයේ නම් ඒ පිළිබඳව සොයා බැලීම ප්‍රශ්න විරහිතය. එය සිදුවිය යුත්තකි. නමුත් ඒ සමඟම අජිත් නිවාඩ්ලාගේ සමයේ සිදුවූ මහබැංකු ගනුදෙනු පිළිබඳව සොයා බැලීමද සිදුවිය යුත්තකි. දූෂණයට එරෙහිවීම යනු අඛණ්ඩව පැවතිය යුත්තකි. සිදුවිය යුත්තකි. අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ධුරය දරන සමයේ 2013 මැයි 30, 2013 ජුනි 13 හා 2013 ජූලි 30 නිකුත් කර තිබෙන තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙනුවෙන් 12.50% පොලියක් ගෙවා තිබේ.

එම බැඳුම්කර නිකුත් කිරීම මඟින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 18.5කි. මාස තුනෙන් මාස හයෙන් කල්පිරෙන භාණ්ඩාගර බිල්පත්වලට පවා 12%ක පමණ පොලී ඒ සමයෙහි ගෙවා ඇත. ඒ අර්ථයෙන් ගෙන බැලුවොත් කබ්රාල් සමයේ වැඩි පොලියට සිදුවූ බැඳුම්කර නිකුත් කිරීම නිසා සිදුව ඇති පාඩුව අතිමහත්ය. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලොසියස් අතර ඇති සම්බන්ධය කතා කරන්නන් මෙහිදි වුවමනාවෙන්ම අමතක කරන තවත් කාරණයක් වනුයේ අජිත් නිවාඩ් මහ බැංකු මුල් පුටුවේ සිටි සමයෙහි ඔහුගේ සොහොයුරිය ද පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ බවය. ප‍ර්පෙචුවල් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කටයුතු කිරීමට අවැසි බලපත්‍රය ලැබ‍ුණේ කබ්රාල් සමයේය. ඒ කාලයෙහි ළබැඳියාවන් අතර ගැටුමක් නොතිබුණේ යැයි අනුමාන කළ හැකිද?

දූෂණයට එරෙහි වීම අඛණ්ඩ ක්‍රියාවලියක් වීම වැදගත් බව අප පවසනුයේ එබැවිනි. සියලු කාලයන්හි සිදුවූ දූෂණයන්ට එරෙහි වීම වැදගත්ය. අකැමැති වුවද සිදුවිය යුත්තේ එයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.