20 April, 2024

Blog

කීත් නොයාර් පැහැර ගැනීමේ ඇතුළත කථාව

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මාධ්‍යවේදීන්ගේ හිතවතෙකු ලෙස පෙනී සිටියද මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ධුරය හෙබවූ වසර දහය, “සිවුවැනි ආණ්ඩුව” ලෙස සැලැකෙන ජනමාධ්‍යවේදයට ඒ හැටි සුවදායි කාල පරාසයක් නොවීය. දුසිම් දෙකකට වඩා වැඩි ගණනක් මාධ්‍යවේදීන් ඝාතනය වූ තවත් එවැනිම වූ ගණනක් පැහැර ගැනීම්, ශාරිරික පීඩාවනට ලක්වූ ඒ සමය, මාධ්‍යවේදීන්ට “භීම” සමයක්ම විය. රාජපක්ෂ පාලනය යටතේ, මාධ්‍යවේදින් අරභයා දියත් වූ එම මාධ්‍ය මර්දනයට අදාළ සිදුවීම් මාලාව පෙළගස්වත්දී කීත් නොයාර්ව හා සම්බන්ධ සිදුවීමට හිමි වනුයේ වැදගත් ස්ථානයකි. දෙහිවල වෛද්‍ය පාරෙහි පිහිටි තම නිවෙස ඉදිරිපිට දී 2008 මැයි 22 වැනිදා පැහැර ගැනීමට ලක්වූ මාධ්‍යවේදී කීත් නොයාර්ව ඉන් පැය කිහිපයකට පසු යළි හමුවෙත්දී දරුණු වධ බන්ධන රැසකට ලක්ව තිබිණි. පැහැර ගැනීම සිදුවෙත්දී කීත්, සේවය කළේ “ද නේෂන්” පුවත්පතේ සම කර්තෘවරයා ලෙසිනි. සම කර්තෘවරයා ලෙස පැවරී ඇති පරිපාලන වගකීම් ඉටුකරන අතරතුර කීත් “ද නේෂන්” වෙනුවෙන් “සෙන්පති” යන ආරූඪ නාමය යටතේ “මිලිටරි මැටර්ස්” හිසින් ආරක්ෂක ලිපියක් ද සතිපතා ලීවේය. සමකාලීන ආරක්ෂක ලිපි අතර එය ඉදිරියෙන්ම වූයේ වඩාත් විශ්වසනීය ලෙස කීත් එය අපූරුවට පෙළ ගැස්වූ බැවිනි. යහපත් මාධ්‍යකරණයේ සැම සිද්ධාන්තයක්ම තම ලිපිය සැකසීමේදී අනුගමනය කළ කීත්, දැනුම අතින් ද අතිශය පොහොසත් මාධ්‍යවේදියෙක් විය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ඉදිරියට ඇදෙමින් තිබූ නිසා යුද උන්මාදයෙන් රට වෙළී ගොස් තිබූ මොහොතක වුවද ආරක්ෂක අංශ තුළ සිදු වන දූෂණ හා ඉහළ නිලධාරීන්ගේ අකටයුතුකම් කීත් නිර්භයව විවේචනය කළේය. රණවිරුවන් උත්කර්ෂයට පමණක් නංවමින් සිටි සංස්කෘතියක් තුළ එය උඩුගං බලා පිහිනීමක් විය. පැහැර ගැනීමට දින කිහිපයකට පෙර 2008 මැයි 11 වන දින “ද නේෂන්” පුවත්පතට ලියු තම ආරක්ෂක කොලම වෙනුවෙන් කීත් භාවිත කර තිබූ ශීර්ෂ පාඨයේ සිංහල තේරුම වූයේ “යුද හමුදාව, එහි ප්‍රධානියාගේ පෞද්ගලික නින්දගමක් නොවේ” යන්නය.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වූ කීත් ලෙරොයී නොයාර් තම වෘත්තිය මාධ්‍ය දිවිය ඇරැඹුවේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමඟය. එහි පුස්තකාලාධිපතිවරයා ලෙස වැඩ ඇරැඹු කීත් අනතුරුව එහි වාර්තාකරුවකු බවට පත්ව ක්‍රමයෙන් වෘත්තියමය වශයෙන් ඉහළට නැංගේය. ද නේෂන් හා එක්වීමට පෙර කීත් ඩේලී මිරර් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කළේය. ශාරීරිකව ගත් කල කීත් පාංශු දේහධාරියකු නොවීය. අඩි පහකට වඩා මඳක් උස්වූ ඔහු වෙතින් පිටතට පෙනුණේ පූජකවරයකුගේ ස්වභාවයකි. මෘදු වචන කථා කළ හෙතෙම සන්සුන් මනසක් ඇත්තෙක් විය. ඒ නිසාම සහෝදර මාධ්‍යවේදීන් අතර ඔහුට තිබුණේ ඉහළ පිළිගැනීමකි. නමුත් ඔහුගේ භාෂා හැසිරවීම අතිශය ප්‍රවේගකාරී එකක්ම විය. සතිපතා ආරක්ෂක ලිපිය රචනා කිරීම ඇරැඹීමෙන් පසු සහෝදර මාධ්‍යවේදීන් අතර “කර්නල්” නමින් කීත් ප්‍රචලිත වන්නට විය. “කර්නල්” ගේ මාධ්‍ය භාවිතාව “ද නේෂන්” හි පාඨකයන් ඉහළින් වැලඳ ගත්ත ද එය වහකදුරු වූ මෙන් පිරිසක් ද සිටි බව 2008 මැයි 22 වැනිදා රාත්‍රියේ සිදු වූ පැහැර ගැනීමෙන් පෙනී ගියේය. රටේ ප්‍රධාන සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක “දෙවැන්නා” පැහැර ගැනීම හා ඔහුව දරුණු වද බන්ධනයනට ලක් කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතු මුත් රාජපක්ෂ සමයේ දී එය “වචනයක”ට පමණක් සීමා විණි. “කීත් ව හම්බ වුණානේ” කියමින් ආරක්ෂක අංශ ද ඒ ගැන සෙවීමට වැඩි උනන්දුවක් නොදැක්වූහ. ඒ ආකාරයට 2015 ජනවාරි 08 වැනි දින “යහපාලන” වෙනස සිදු වන තෙක්ම කාලයේ වැලිතලා මතින් මේ සිදුවීමේ සුලමුල වැසී තිබිණි. සැබැවින්ම කීත් නොයාර්ව පැහැර ගැනීම හා ඔහුව ශාරීරික පීඩාවනට ලක්කිරීම සම්බන්ධව සැබෑ පරීක්ෂණය ඇරැඹුණේ මේ අපකීර්තිමත් සිදුවීම වී වසර 07කට පමණ පසුවය. සිදුකරන ලද ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙස මේ සිදුවීමට අදාළව ලොමු ඩැහැගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණය කරගැන්මට පරීක්ෂකයන් මේ වන විට සමත්ව ඇත. ඒ අනුව කීත් පැහැරගත් බව කියමින් යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ නිලධාරීන් කිහිපදෙනකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සිදුවීම වූ සමයේ බුද්ධි අංශ භාරව කටයුතු කළ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුවද වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය කැඳවා ඇති බව දැනගන්නට ඇත. අතිශය සියුම් ආකාරයට දුරකථන දත්ත විශ්ලේෂණය කරමින් මේ මහා “අපරාධය” පිළිබඳ තොරතුරු අනාවරණය කරගැන්මට පරීක්ෂකයන් සමත්ව ඇති අතර මේ සිද්ධියට අදාළ සමස්ත සිදුවීම් ජාලය අපට ත්‍රාසජනක බටහිර චිත්‍රපටයක් සිහිගන්වයි. කීත් නොයාර්ව පැහැර ගැනීම හා සම්බන්ධ වගකිවයුත්තන් කොටු කරගත් ආකාරය පිළිබඳ විස්තර කිරීමට මත්තෙන් එම අවාසනාවන්ත සිදුවීම වූ දිනය වෙත පාඨක ඔබව රැගෙන යෑමට කැමැත්තෙමු.

පැහැර ගැනීමට ලක්වීමට පැය කිහිපයකට පෙර කීත්, “රිවිර මීඩියෝ කෝපරේෂන්” හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ හා “ද නේෂන්” හි ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් සමඟ තම රාත්‍රී භෝජනය ගෙන තිබේ. ඩුප්ලිකේෂන් පාරෙහි පිහිටි ක්වින්ස් කැෆේහිදී එදින රාත්‍රී ආහාරය ගනිත්දී කථා කිරීමට බොහෝ දෑ තිදෙනාට විය. පෙර දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට තෝරා ගැන්ම වෙනුවෙන් වූ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව, පාකිස්තානය හමුවේ පරාජයට පත්වීම ඇතුළු යුද්ධය, දේශපාලනය හා තම ආයතනය සම්බන්ධ කාරණා යනාදී ලෙස කථා කිරීමට බොහෝ මාතෘකා තිබුණ ද ඒ අතරින් ඔවුන් වැඩි අවධානයක් දැක්වූයේ තම ආයතනය සම්බන්ධව මතුව ඇති නවතම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරුමටය.

“රිවිර මීඩියා කෝපරේෂන්” මඟින් ප්‍රකාශයට පත් කරන “රිවිර” හා “‍ද නේෂන්” පුවත්පත් එම සති අන්තයේදී තම දෙවැනි සංවත්සරය සැමරීමට සූදානමින් සිටි මුත්, ආයතනික “වෙනස්වීම්” සිදුවීම ඒ වන විට ඇරැඹී තිබිණි. ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් සිදුකරමින් අතිවිශාල මූල්‍ය ආයෝජනයක් සහිතව “දැඩි ස්වාධීන” පුවත්පත් ආයතනයක් ලෙස ආරම්භ කළ “රිවිර මීඩියා කෝපරේෂන්” හි අයිතිය හිමිව තිබුණේ ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු රිචඩ් පීරිස් සමාගමටය. දීර්ඝ කාලීන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ නමුත් හේතුන් ගණනාවක් මත “රිවිර මීඩියා කෝපරේෂන්” හි අයිතිය විකිණීමට යද්දෙහිගේ මහතා තීරණය කර තිබිණි. නව ආයෝජකයා ලෙස සමාගම භාරගැන්මට කැමැත්ත පළ කර තිබුණේ ලන්ඩනයේ සිටි දේපොළ වෙළෙඳාම් තැරැව්කරුවකු වූ නිලංක රාජපක්ෂය. රාජපක්ෂ කෙනෙකු වීම තුළ ඔහු මහින්ද රාජපක්ෂගේ ඥාතියකු නොවුවද නිලංක හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු විය. මේ සිදුවීම සිදුවන විට ඒ ගනුදෙනුව සිදුව තිබුමුත් ඒ පිළිබඳ වැඩි විස්තර පිටතට පැමිණියේ නැත. කෙසේ වෙතත් 2008 වසරේ මාර්තු මාසයේ තුන්වැනි සතියේ පැවැති පාර්ලිමේන්තු විවාදයක් අතරතුර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා “රිවිර විකිණීමේ ගනුදෙනුවේ” තෝම්බුව දිගහැර තිබුණේ ගණන් හිලවු ද සමඟිනි. “ස්වාධීන මාධ්‍ය අත්පත් කරගැනීමේ අලුත්ම රාජපක්ෂ ක්‍රමය” ලෙස එය ඔහු විස්තර කර තිබිණි. සෙලාන් බැංකුවේ මිලේනියම් ශාඛාව නිකුත් කළ, සුජිත් රාජපක්ෂ නම් පුද්ගලයකු අත්සන් කළ 574484 අංක දරන චෙක්පත මඟින් රුපියල් මිලියන 100ක මුදලක් ජාතික සංවර්ධන බැංකුවෙහි “රිවිර මීඩියා කෝපරේෂන්” සතු ගිණුමට බැර කර ඇති බව කිරිඇල්ල මන්ත්‍රීවරයා හෙළි කළේය.

ලන්ඩනයේ සෑහෙන කලක් ජීවත් වූවකු ලෙස නිලංක රාජපක්ෂව, ක්‍රිෂාන්ත හොඳින් දැන සිටියේය. නිලංක ද තමා සමඟ වැඩ කරන ලෙස ක්‍රිෂාන්තගෙන් ඉල්ලා සිටිමුත්, නව පාලනය සමඟ කටයුතු කිරීමේ අදහසක් ඔහුට නොවීය. පෞද්ගලික ප්‍රශ්නයකට වඩා එය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් විය. දැඩි රාජපක්ෂ හිතවාදියකු වන නිලංකගේ කළමනාකාරිත්වය යටතේ පෙර මෙන් නිදහසක්, නොලැබෙන බව ක්‍රිෂාන්ත හොඳාකාරවම දැන සිටියේය. ඔහු සිටියේ තීන්දුවක් ගැනීමට සැරසෙමිනි. “රිවිර” හා ද නේෂන් හි අනාගතය පිළිබඳ ලලිත්, කීත් හා ක්‍රිෂාන්ත රෑ කෑම ගනිමින් බොහෝ දෑ කථා කළෝය. පිරිස පිටව යෑමට සැරසෙත්දී හෝරා යන්ත්‍රයේ වේලාව රාත්‍රී දහයට ආසන්න වී තිබිණි.

තිදෙනා වෙන වෙනම පිටත් වූ අතර කීත් තමන් පරිහරණය කළ මෝටර් රථයෙන් දෙහිවල වෛද්‍ය පාරෙහි පිහිටි නිවෙස බලා පිටත්ව යන ලදී. ගමන අතරතුරදී ඔහු තම බිරිය වූ රෝෂිණීට ඇමතුමක් ගත්තේය. තමා නිවෙස බලා පැමිණෙමින් සිටින බවත්, ඉදිරි දොර අඩවල් කර තබන ලෙසත් කීත් දැනුම් දුන්නේය. ඒ අනුව දොර අඩවල් කර තැබූ රෝෂිණී නිවෙස තුළට පිවිසියාය. එසේ කර සෑහෙන වේලාවක් ගත වූ මුත් කීත් නිවසට පැමිණියේ නැත. මේ අතරවාරයේ නිවස ඉදිරිපිට මෝටර් රථයක එන්ජිම නොනවත්වා ධාවනය වන හඬ රෝෂිණිට ඇසිණි. ඒ පිළිබඳ සොයා බැලීමට පිටතට පැමිණෙත්දී තම සැමියාගේ මෝටර් රථය ගේට්ටුව ඉදිරිපස නතර කර ඇති ආකාරය ඇය දුටුවාය. මෝටර් රථයේ එන්ජිම නිවා දමා නොතිබූ අතර විදුලි බුබුළු ද දැල්වෙමින් පැවැතිණි. රියැදුරු අසුන පැත්තෙහි ඇති දොර ද විවෘත කර තිබිණි. එහෙත් කීත් එහි සිටින බවට කිසිඳු ලකුණක් නොවීය. එම දර්ශනයෙන් බෙහෙවින් තැතිගැන්මට පත් රෝෂිණි වහා නිවෙස තුළට පැමිණ තමන් දුටු දේ “ද නේෂන්” හි නියෝජ්‍ය කර්තෘ ගාමිණි අබේවර්ධන හට දැනුම් දුන්නාය. ගාමිණි, ඒ බව ලලිත්ට දැනුම් දුන් අතර ඔහු එය ක්‍රිෂාන්තට දැනුම් දුන්නේය. සුළු මොහොතක් ඇතුළත සියලු දෙනා කීත්ගේ නිවෙසට එකතු විය. වැඩි වේලාවක් ගතවන්නට පෙර පවුලේ ඥාතිහු, රිවිරේ හිතවතුන්ගෙන් වෛද්‍ය පාරේ නිවෙස පිරී යන්නට විය.

කීත් ව පැහැරගෙන ගොස් ඇති බව සැකයකින් තොරව තහවුරු කරගැන්මට ක්‍රිෂාන්ත ලලිත් ඇතුළු පිරිසට වැඩි වේලාවක් අවශ්‍ය නොවීය. ඒ මොහොතේ කීත්ගේ නිවෙස මළගෙදරක සිරි ගත්තේය. රෝෂිණි නෝයර් පමණක් නොව කුඩා දියණිය හා පුත්‍රයා ද පියා නැති ශෝකයෙන් ගෙය දෙවනත් කරන්නට වූහ. “තාත්තා කොහේද? එයාව ගෙදර එක්කන් එන්න අන්කල්” කියමින් කීත්ගේ කුඩා දියණිය ක්‍රිෂාන්ත කුරේගේ දෑතේ එල්ලී හඬන ආකාරය රැස්ව සිටියවුන්ගේ දෙනෙතට කඳුළු ගෙන ආවේ නිරායාසයෙනි.

මේ අතරවාරයේ සිදුව ඇති දේ පිළිබඳ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව දැනුවත් කිරීමට ලලිත් අලහකෝන් මහතා කටයුතු කළේය. ඉන් නොනැවතී සිද්ධිය පිළිබඳ දේශපාලනඥයන්, රාජ්‍ය නොවන සංවිධාන, විදෙස් තානාපති කාර්යාල, දෙස් විදෙස් මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට ද පිරිස කටයුතු කළහ. ක්‍රිෂාන්ත ඇමැති කරු ජයසූරියට දුරකථන ඇමතුමක් ගනිත්දී රෑ එකොළහ පසුව තිබුණ මුත්, එවකට රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කළ, ඒ මහතා දුරකථනයට එකවර පැමිණියේය. කරූ ජයසූරිය හා ක්‍රිෂාන්ත සමීප හිතවතුන් වනමුත්, රිවිර ප්‍රධාන විධායක නිලධාරියාගේ හඬ තුළ වූයේ සෑහෙන වේගවත් බවකි. “සර්, වගේ ශිෂ්ටසම්පන්න මිනිහෙක්, මේ වගේ ආණ්ඩුවක ඇමැතිකමක් දරන්නෙ කොහොමද?” කියමින් සිදුවීම පැහැදිලි කළ ක්‍රිෂාන්ත වහා මේ පිළිබඳ මැදිහත් වීමක් සිදුකරන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ක්‍රිෂාන්ත ඇමතුම විසන්ධි කළ වහාම ජයසූරිය මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇමතුමක් ගත්තේය. “ජනාධිපතිතුමා නින්දට ගිහින් ඉන්නෙ. ඇයි සර් හදිස්සියක්ද” දුරකථනය ගත් පුද්ගලයා විමසුවේය. හදිසි කාරණයක් දැනුම් දීමට ජනාධිපතිවරයාට කථා කිරීමට අවශ්‍ය බවත් ඒ නිසා වහා ඔහුව සම්බන්ධ කරන ලෙසත් ඇමැතිවරයා දැනුම් දුන් පසු සම්බන්ධතාව සකසන ලදී. “මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදිහට ඇත්තටම මටත් මේ ගැන ලැජ්ජයි. මේ ගැන විවිධ ආරංචි යනවා. වහාම මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් අරන් මේ මනුස්සයව හොයලා දෙන්න මැදිහත් වෙන්න” ජයසූරිය මහතා පවසත්දී සියල්ල නිහඬව අසා සිටි රාජපක්ෂ මහතා මේ ගැන වහා සොයා බලන බවට පොරොන්දු විය.

ජයසූරිය මහතාගේ ඇමතුම ලැබුණු පසු රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ මේ සිදුවීම පිළිබඳ කථා කළේය. ඔහු ලලිත් අලහකෝන්ට ද ඇමතුමක් ගත්තේය. එවකට කොළඹ අපරාධ කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර සේනානායක සුළු මොහොතක් ඇතුළත දෙහිවල පොලිස් ස්ථානයට පැමිණෙනු ඇති බව රාජපක්ෂ “ද නේෂන්” ප්‍රධාන කර්තෘවරයාට දැනුම් දුන්නේය.

මේ සිද්ධිය පිළිබඳ තමන්ගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ක්‍රිෂාන්ත කුරේ දෙහිවල පොලිස් ස්ථානයේ සිටි ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමුත්, ඒ සඳහා අවසර ලැබුණේ නැත. එවකට දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ රන්ජිත් කොට්ටච්චිය. තනි තීරණයක් නොගත් ඔහු සෑම දේකටම ඉහළින් උපදෙස් පැතුවේය. අනුර සේනානායක එහි ළඟා වූයේ “කවුද මේ මිස්ටර් කුරේ කියන්නෙ” යැයි විමසමිනි. ඉන් අනතුරුව ක්‍රිෂාන්ත සහ අනුර සේනානායක අතර සිදුවූ සංවාදය සෑහෙන උණුසුම් එකක් විය. පැය කිහිපයකට පෙර තමන් සමඟ රාත්‍රී ආහාරය ගත් කීත්ව පැහැර ගැනුම ක්‍රිෂාන්තව වඩාත් නොඉවසුම් කර තිබිණි. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ හැකි ඉක්මනින් කීත්ව යළි ජීවග්‍රහයෙන් සොයා ගැනීමය. පැහැර ගැනීමක් බව පැහැදිලිව ඇස් පනාපිට පෙනෙන්නට තිබියදී අනුර සේනානායක ඇඟවීමට උත්සාහ කළේ මෙය පැහැර ගැනීමක් නොවන බවය. “පවුලේ ප්‍රශ්නයක් එහෙම තිබුණද” ආදි ඒ මොහොතට කිසිසේත්ම නොගැළපෙන ප්‍රශ්න අසමින් විකාර සහගත රංගනයක නිරත වූ අනුර සේනානායකගේ හැසිරීම ක්‍රිෂාන්ත ඇතුළු පිරිසව තවත් නොසන්සුන් කළේය.

කීත්ව සොයා ගැන්ම වෙනුවෙන් පොලීසියේ උනන්දුව, අඩු බව දුටු ක්‍රිෂාන්ත ඇතුළු පිරිස ඒ වෙනුවෙන් “වෙනම මෙහෙයුමක්” දියත් කළේය. පැහැර ගැනීම දැනගත් මොහොතේ කීත්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ගණනාවක් ක්‍රිෂාන්ත, ලලිත් ඇතුළු හිතවතුන් ගත් මුත් දුරකථනය විසන්ධි කර තිබිණි. කෙසේ වෙතත් දුරකථනයේ ඇති දත්ත පිළිබඳ සොයා බැලීමට පැහැර ගැනීම සිදුකළ එහි මහමොළකරුවන් කිසියම් හෝ අවස්ථාවක එය යළි ක්‍රියාත්මක කරන බව ඔව්හු දැන සිටියෝය. ඒ නිසාවෙන් ඊට නොනවත්වා ඇමතුම් දෙන අතරතුර කෙටි පණිවිඩ කිහිපයක් කීත්ගේ දුරකථනයට යැවීමට ද ක්‍රිෂාන්තලා කටයුතු කරන ලදී. සංඥා හුවමාරු වන කුලුන හරහා දුරකථනය ඇති ප්‍රදේශය සොයා ගැන්ම එහි අරමුණ විය. මේ අතර රිවිර මීඩියා කෝපරේෂන්හි බෙදාහැරීම් කළමනාකරු ගාමිණි නුකුලසේකර තම ජංගම දුරකථනයෙන් කීත්ගේ දුරකථනයට ඇමතුමක් ගත් අවස්ථාවේදී එය නාද වූමුත් එහා කෙළවරින් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ සමඟ ක්‍රිෂාන්තලා යැවු කෙටි පණිවිඩ ද කීත්ගේ දුරකථනයට ගමන් කළ බව තහවුරු කරමින් ප්‍රති පණිවිඩ ලැබිණි. ඒ අවස්ථාවේදී ක්‍රිෂාන්ත මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා සැපයුම්කරුවකු වන සමාගමක ප්‍රධානියාට ඇමතුමක් ගනිමින් උදවුවක් ඉල්ලුවේය. පෞද්ගලික අංශයේ සිටි දක්ෂතම පාලකයකු වූ ඔහු මේ වන විට එම සමාගමේ ආසියානු කලාපයේ රටවල් ගණනාවක් භාර ප්‍රධානියාය. ක්‍රිෂාන්තගේ සමීපතම මිතුරකු වූ හෙතෙම මධ්‍යම රාත්‍රියේ වුවද දුරකථනයට පැමිණියේය. දුෂ්කර තත්ත්වයක් මැද වුවද කීත් සමඟ වාසනාව දිගටම රැඳී සිටි බවට එය සාක්ෂියකි. “මේක ජීවිතයක් පිළිබඳ ප්‍රශ්නයක්. මේ වෙලාවේ මේ උදවුව කරලා දෙන්න” කියමින් අදාළ පණිවිඩ හුවමාරු වූ දුරකථන කුලුන පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ක්‍රිෂාන්ත ඉල්ලා සිටියේය. ප්‍රමාදයකින් තොරව ඉල්ලා සිටි විස්තර ලැබුණු අතර ඒ අනුව දුරකථන සංඥා හුවමාරු වී තිබුණේ දොම්පේ, දෙකටන ප්‍රදේශයේ කුලුනක් හරහාය. එම විස්තර අනුව ක්‍රිෂාන්ත ඇතුළු පිරිස එම ප්‍රදේශය බලා පිටත් විය. පොලීසියෙන් ගමන සඳහා ඒ හැටි සහායක් නොලැබුණ ද එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි සිසිර මෙන්ඩිස් හරහා කුමාරසිංහ නමැති නිලධාරියකුව තමන් සමඟ යෑමට ක්‍රිෂාන්ත එකතු කර ගත්තේය. දොම්පෙ බලා ගියමුත්, එහි විශේෂයෙන් සොයා බැලිය යුතු ස්ථාන පිළිබඳ අදහසක් ක්‍රිෂාන්තලාට නොවීය. ඈත ගම් පීරු මුත් ඔවුනට හෝඩුවාවක් සොයාගත නොහැකි විය. මේ අතර ක්‍රිෂාන්තලා දොම්පේ බලා පිටත්වූ බව පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන්ට දැනගැන්මට ලැබිණි. මේ වන විට හෙළිව ඇති තොරතුරුවලට අනුව එය ඇතුළින්ම ලැබුණු ‘ටිප්’ එකක් විය හැකිය. ඒ අනුව වහා “කීත්” ව පැහැර ගැනීම කරන ලද ස්ථානයට ආසන්න ප්‍රදේශයකට ගෙනත් දමන ලෙසට “ඉහළින් අණක්” ලැබිණි. මේ අතර කීත්ව ආපසු ගෙනත් දමා ඇති බව පණිවිඩය ක්‍රිෂාන්තලාට ලැබෙන විට උදෑසන පහ පමණ වී තිබිණි. එම පණිවිඩයත් සමඟ ඉක්මනින්ම දෙහිවල බලා පැමිණි ඔවුන් ඒ වන විට ශාරීරිකව හොඳ තත්ත්වයක නොසිටි කීත්ව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කරන ලදී.

පැහැර ගැන්මට ලක්වූ කීත් නෝයාර් යළි පැය කිහිපයකට පසු හමුවූ කථාවේ “ඇතුළත කථාව” එයයි. මේ වන විට හෙළිව ඇති තොරතුරු මත පදනම්ව මෙම අපකීර්තිමත් සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරදාන ට්‍රිපොලි යුද්ධ හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනු ඛණ්යකට අයත් භට පිරිසකි. ඔවුන් වෙනුවෙන් යුද හමුදාව නිකුත් කර තිබු රාජකාරි දුරකථන සම්බන්ධ විශ්ලේෂණයක් සිදුකළ අවස්ථාවේදී හෙළිව ඇත්තේ, කීත් නොයාර් මහතාගේ ජංගම දුරකථනයට සමගාමීව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩයට අයත් දුරකථන අංක පහක් ගමන් කර ඇති බවය. අතිශය සියුම් ආකාරයට සිදුකරන ලද වැඩිදුර විශ්ලේෂණයන්හිදී හෙළිව ඇත්තේ නොයාර් මහතාගේ මරදානේ පිහිටි කාර්යාලයේ සිට හා ඒ මහතාගේ නිවෙස පිහිටි දෙහිවල වෛද්‍ය පාර අවට ද පැහැර ගැනීමෙන් පසු දොම්පේ දෙකටන ප්‍රදේශයේ ද “ද නේෂන්” හිටපු සම කර්තෘවරයාගේ ජංගම දුරකථනයට සමගාමීව ඉහථ කී දුරකථන අංක පහ ක්‍රියාත්මක වී ඇති බවය. නොයාර් මහතා පැහැරගත් සමයේ එම දුරකථන භාවිත කළ පුද්ගලයන් පිළිබඳ සියලු විස්තර රහස් පොලීසිය අනතුරුව හෙළි කරගෙන ඇත්තේ ඒවායින් ඇමතුම් ගත් වෙනත් දුරකථන දත්ත පිළිබඳව ද විශ්ලේෂණය කරමිනි. මේ අතර, නොයාර්ව පැහැර ගැනීමට ලක්වූ සමයේ දොම්පෙ බදුවත්ත වලව්ව නම් ස්ථානය යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් කුලී පදනම මත පරිහරණය කර ඇති බවට ද පරීක්ෂකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇත. එය භාවිත කර ඇත්තේ මරදාන ට්‍රිපොලි හමුදා කඳවුරේ බුද්ධි අනු කණ්ඩය යටතේ රාජකාරි කළ පිරිසක් බව හෙළිව තිබේ. බොහෝ දුරට පැහැර ගැනීමෙන් පසු කීත් නොයාර්ව රැගෙන යන්නට ඇත්තේ එම ස්ථානයට විය හැකිය. මේ අනාවරණය වී ඇති තොරතුරු ලොමුඩැහැගන්වන බව අප මුලින් පැවසූයේ එබැවිනි. මෙම පැහැර ගැනීම හා පහරදීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්ව ඇති “කල්ලිය” දෙස බලන විට ඔවුනගේ අවශ්‍යතාවට මේ දේ කළ බවට කිසිසේත්ම අනුමාන කළ නොහැකිය. මේ සමස්ත සිදුවීම් මාලාව දෙස ප්‍රවේශමෙන් බලන විට පෙනී යන වැදගත්ම කාරණය වනුයේ, “බලගතු හස්තයන්” රැසක් මේ පසුපස අනිවාර්යයෙන්ම ඇති බවය. දැනට මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ දුරකථන දත්ත විශ්ලේෂණයේදී පවා ඒ බව හෙළිව ඇති අතර, හාල්මැස්සන් පමණක් නොව එම තෝරු මෝරු කොටුකර ගැනීමට තරම් ධෛර්යයක් උනන්දුවක් අපරාධ පරීක්ෂකයන්ට තිබිය යුතුය.

 

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    මේ ලිපිය චාමරගේ මාධ්‍ය අභ්‍යාසය පිළිබද විශිෂ්ඨ මතකයක් විය හැකිය. කිත් නොයාර් ඛේදවාචකය ගැන බොහෝ දේ ලියැවී ඇත. තවම ලියැවෙමින් පවතී. ඒ අතර චාමර පැරණි සිද්ධිය ඒ ලෙසින්ම වාර්තා කරයි. ඒ හරහා එ දවස මාධ්‍ය වේදින්ට සාමාන්‍ය ජනතාවට එරෙහි පැවති තර්ජනය වචන වලින් නොලියා හිතා ගැනිමට පහසු ආකාරයට මේ ලිපිය සැකසි ඇත. සැබෑ රණවිරවන් සිටිති. ඒ කිසිවෙකු රටේ කිසිවෙකු නමන් නොදනිති. අද රණවිරැවන් යනු මිනි මරැවන් හොරැන්ය. දේශයට හිතැති සැබෑ රණ විරැවන් කළ යුත්තේ රණවිරැ පඩංගුවෙන් මේ හොරැන් තක්කඩින් වසා තැබිම නොවේ. නිතියට කොටුකර යුධ ජයග්‍රහණයේ ශුද්ධවූ සත්‍ය ආරක්ෂා කර ගැනිමය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.