19 April, 2024

Blog

සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත

ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

ලංකාවේ අලුත්ම පෞද්ගලික විශ්ව විද්‍යාලය වන ‘තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යා පිළිබඳ දකුණු ආසියාතික ආයතනය’ හෙවත් සයිටම් යන්න ලංකාවේ වර්තමාන වහර තුළ පාවිච්චියට ගැනෙන්නේ බාල්දු අර්ථයකිනි. එය වෛද්‍ය අධ්‍යාපනයට අදාළව ලංකාවේ අද පවතින බරපතල අර්බුදයකට විසඳුමක් වශයෙන් පෞද්ගලික වියදමින් ඇති කර ගත් පෞද්ගලික මුල පිරීමකි. ඒ අර්බුදය වන්නේ, රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයක අධ්‍යාපනය අපේක්ෂා කරන සියලූ සිසුන්ට අවස්ථාව සලසාලීමට ආණ්ඩුවේ ඇති අපොහොසත් බවයි.

සාමාන්‍යයෙන් නම්, මෙවැනි බරපතල ගැටළුවක් සඳහා පෞද්ගලික අංශයෙන් විසඳුමක් ලැබෙන විට එය පිළිගත යුතුය. අගේ කළ යුතුය. නොවලහා භාර ගත යුතුය. එහෙත් සමාජයෙන් විශාල පිරිසක් එය ප‍්‍රතික්ෂේප කරති. බාල මට්ටමේ උපාධිධාරීන් බිහි කරන, විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනයට අදාළ, ‘උපාධි කඩයක්’ වශයෙන් ඔවුහූ ඊට චෝදනා කරති.

රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල ශිෂ්‍යයෝ මුල පටන්ම ඊට එරෙහිව නැගී සිටියහ. ශ‍්‍රී ලාංකිකයන්ට රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සපයන වෘත්තිකයන් කෙරෙහි ඒකාධිකාරී බලයක් අභ්‍යාස කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වැඩිමහල් සහෝදරයෙකු සේ, වචනයෙන් මෙන්ම ක‍්‍රියාවෙන්ද, මෙම විරෝධය සඳහා සහායත්, ආරක්ෂාවත් සපයයි. එම සංගමයේ වෙඞ් අඩවියේ පළවෙන විවිධ වාර්තා මගින් මේ ආයතනය හඳුන්වන්නේ ‘දූෂිත ආයතනයක්’ සහ ‘නීති විරෝධී ආයතනයක්’ වශයෙනි. එයාකාරයෙන් තම සංගමයේ ස්ථාවරය ඔවුන් ස්වකීය සාමාජිකයන්ට මෙන්ම රටේ ජනතාවටත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටී.

ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද උසස් අධ්‍යාපන ආයතනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන පරිදි, සයිටම් ආයතනය විසින් ආයෝජන මණ්ඩලයත්, ආණ්ඩුවත්, ජනතාවත් රවටා තිබේ. මේ සංගමය කියන පරිදි, සයිටම් ආයතනය ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත්තේ, ‘තාක්ෂණ සහ කළමණාකරන දකුණු ආසියාතික ආයතනය’ යන නමට ය.

ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ මුල් අයදුම්පතේ ශ‍්‍රී ලංකාවේ පිරිනැමෙන වෛද්‍ය උපාධියක් ගැන සඳහන් නොවේ. එහි සඳහන් වන්නේ හෙද සහ සුවසේවා ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක පුහුණු පාඨමාලා පවත්වන බව පමණි. එහෙත් පසුව, ‘කළමණාකරන’ යන වචනය වෙනුවට ‘වෛද්‍ය’ යන වචනය හොරට ඇතුළු කොට, ‘සයිටම්’ යන කෙටි නාමය යටතේම, වෛද්‍ය උපාධි සඳහා සිසුන් බඳවා ගැනීමට පටන්ගෙන ඇති බවට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. (මේ නාමයේ අගට එන ‘එම්’ අකුර, ඉංග‍්‍රීසියෙන් කළමණාකරනය යන වචනයට මෙන්ම වෛද්‍ය විද්‍යාව යන වචනයටත් පොදු ය).

වෛද්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව වෛද්‍ය උපාධි පිරිනැමීම

මේ චෝදනාව ගැන සයිටම් මුනිවත රකී. එහෙත් එහි වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, සයිටම් ආයතනය, රුසියාවේ ‘නිෂ්නි නොව්ගොරොඞ්’ නැමැති රාජ්‍ය වෛද්‍ය විද්‍යා පීඨයට අනුබද්ධ වී තිබේ. මෙය 1920 පටන් පැවත එන වෛද්‍ය විද්‍යාලයක් වන අතර, වර්තමානයේ රුසියාවේ පවතින වෛද්‍ය විද්‍යාල 46 අතරින් හත්වැනි ස්ථානයේ තිබේ. කෙසේ වෙතත්, ලෝකයේ උසස්ම වෛද්‍ය විද්‍යාල ලැයිස්තුවේ එය නැත. රුසියාවේ ගුණාත්මක තත්වය අනුව බලන කල, වෛද්‍ය උපාධි පිරිනමන එරට උසස් අධ්‍යාපනික ආයතනවලට සාපේක්ෂව මේ වෛද්‍ය විද්‍යාලයේ කිසි අඩුවක් ඇති බවක් පෙනෙන්ට නැත.

ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ස්වකීය වෙඞ් අඩවියේ පළ කොට ඇති ලැයිස්තුව තුළ, එම සභාව විසින් පිළිගන්නා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල අතර මේ රුසියානු වෛද්‍ය ආයතනය නැත. එහෙත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේකම්වරයා විසින් 2009 දී නිකුත් කළා යැයි කියන ලිපියක, අවුරුදු හයක අධ්‍යාපනයකින් පසු මෙකී ආයතනයෙන් පිරිනමනු ලබන වෛද්‍ය උපාධිය සුදුසුකමක් වශයෙන් තමන් පිළිගන්නා බව එකල කියා තිබේ. එම ලිපිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සකසන ලද වාර්තාවකත් අඩංගු වෙයි.

මෙම අනුමැතිය දැන් ඉල්ලා අස්කරගෙන ඇති බවක් පෙනේ. එබැවින් එම රුසියානු ආයතනයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට ලංකාවේ වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කළ නොහැක. එය, එම ආයතනයට පමණක් නොව, එම ආයතනයට අනුබද්ධ සයිටම් උපාධිධාරීන් සම්බන්ධයෙන්ද බලපවත්වයි. මේ අනුව, සයිටම් ආයතනයෙන් කර ඇති පළමු වරද වන්නේ, තවම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නොලද විදේශ වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධ වීමයි. ඒ අනුව, වෛද්‍ය උපාධිය සඳහා සයිටම් ආයතනයට ඇතුලූ වන ශිෂ්‍යයන් ඔවුන්ගේ අවසාන වසරේදී රුසියාවේ වෛද්‍ය ආයතනයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව උපාධිය ලබා ගත්තත්, ලංකාවේ වෛද්‍ය සභාව මගින් ඔවුන්ව පිළිනොගැනීමේ අවදානමට පාත‍්‍ර වෙයි.

දේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිගනු ලැබීමේ බලයක් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට නැත

පෙනෙන්ට ඇති පරිදි, මේ ප‍්‍රශ්නයෙන් ගැලවීමේ මගක් වශයෙන් සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මගහැර යාමේ මගක් වශයෙන්, පසු අවස්ථාවක සයිටම් ආයතනය ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පිරිනැමිය හැකි වන ආකාරයේ ආයතනයක් වශයෙන් කටයුතු කිරීමේ අවසරයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇත. ඒ අනුව, රුසියානු විශ්ව විද්‍යාලයේ නිර්දේශිත පාඨමාලාව අනුගමනය නොකර පවා සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධි පිරිනැමීමේ හැකියාව සයිටම් ආයතනයට තිබේ.

සයිටම් ආයතනය දේශීය වශයෙන් අනුමැතිය ලද ආයතනයක් වුවද, එය 1966 උසස් අධ්‍යාපන පනත යටතේ ස්ථාපිත කළ ආයතනයක් නොවන නිසා, ඒ මගින් ප‍්‍රදානය කරනු ලබන වෛද්‍ය උපාධි අනුමත කිරීමේ රාජකාරියක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නැත. එහෙත් ව්‍යවස්ථා අණපනත් අනුව, සෑම වෛද්‍ය උපාධිධාරියෙකුම පොදු යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය. දැනට ඒ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධිධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දැනට ක‍්‍රියාත්මක වන, ගාස්තු අය කරන වෛද්‍ය පීඨයක් වන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ උපාධිධාරීන් පෙනී සිටින්නා සේ එකී පොදු යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව සයිටම් උපාධිධාරීන්ටත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සපයා දිය යුතු බව දන්වා තිබේ.

සයිටම් ආයතනයේ සායනික පුහුණු පහසුකම් පිළිබඳව සොයා බැලීමෙන් පසු, අවශ්‍ය ප‍්‍රමිතියට එහි තත්වය නොගැළපෙන බව කියමින් මෙකී වෛද්‍ය ශිෂ්‍යයන්ව ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය සඳහා සුදුස්සන් වශයෙන් ලියාපදිංචි කිරීම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කොට ඇත. එහෙත්, සයිටම් ආයතනය සේම, 1966 උසස් අධ්‍යාපන පනත යටතේ ලියාපදිංචි වී නැති තවත් වෛද්‍ය පීඨයක් වන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන් සම්බන්ධයෙනුත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මේ මිම්ම ම පාවිච්චි කරත්දැ යි සොයා බැලීම වැදගත් ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ආයතනයට විරුද්ධ වෙතත් කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ නැත

සයිටම් ආයතනය වෛද්‍ය පීඨයක් වශයෙන් ක‍්‍රියාත්මක වීමට එරෙහිව මුල පටන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතා දැක්වූහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉහත සඳහන් වෙබ් අඩවිය, සයිටම් ආයතනය වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ කරන අවස්ථාවේ, ‘නීති විරෝධී ආයතනයක්’ වශයෙන් තමන් දකින මේ ආයතනයට එරෙහිව ප‍්‍රමාණවත් පරිද්දෙන් එදා විරෝධයක් දැක්වූයේ නැති බව කියා සිටී. මුල් අවස්ථාවේදීම ඊට එරෙහිව හඬ නොනැගීම තමන්ගේ ‘අවාසියට’ කාරණයක් වී ඇති බව කණගාටුවෙන් මුත් එය අද පිළිගනී.

එහෙත් එම වෙබ් අඩවිය දක්වා සිටින පරිදි, එහි වර්තමාන සභාපති දොස්තර අනුරුද්ධ පාදෙනිය විදේශ පුහුණුව අවසන් කොට පැමිණ නැවත වෛද්‍ය සංගමයේ නායකත්වය භාර ගැනීමෙන් පසු ඒ තත්වය වෙනස් වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන පරිදි, ‘මේ ප‍්‍රශ්නය පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් ගත යුතු බව’ වෘත්තීය සමිතියට ඒත්තු ගන්වා ඇත්තේ දොස්තර පාදෙනියයි. එහි අදහස වන්නේ, දොස්තර පාදෙනිය නොවන්නට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොතලාවල වෛද්‍ය පීඨය පිළිගත් පරිද්දෙන්ම සයිටම් වෛද්‍ය පීඨයත් පිළිගැනීමට ඉඩ තිබූ බවකි. එම කොතලාවල වෛද්‍ය පීඨයට එරෙහිව මෙකී වෛද්‍ය සංගමය මොන විදිහක හෝ විරෝධයක් දැක් වූ බවකට කිසි සාක්ෂියක් ඔවුන්ගේ වෙඞ් අඩවියෙන් සොයා ගැනීමට නොහැකි වීම අපූරු ය. ඒ අනුව බලන විට, සයිටම් ආයතනයට එරෙහිව සිය සාමාජිකයන්ට බලපෑම් කිරීමට තනි පුද්ගලයෙකුට අවස්ථාව ලැබී තිබීම, රටේ උසස් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කීර්තිමත් සංවිධානයක පාලන ව්‍යුහය පිළිබඳ බරපතල ගැටළු මතු කරවයි.

සයිටම් ගැන වෛද්‍ය සංගමයේ සොයා බැලීම

කෙසේ වෙතත්, 2010 දී එදා ‘මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය’ නමින් හැඳින්වුණු මේ සයිටම් ආයතනයෙන් දෙනු ලබන වෛද්‍ය උපාධි ගැන සොයා බැලීම සඳහා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර පාදෙනිය යටතේ පරීක්ෂණ කමිටුවක් පත්කොට තිබේ. මේ පාදෙනිය වාර්තාව ජනතාවගේ දැන ගැනීම සඳහා ඔවුන්ගේ වෙඞ් අඩවියේ පළකොට තිබේ.

සයිටම් නිර්මාතෘ දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අතරත්, ආයෝජන මණ්ඩලය සහ වෛද්‍ය සභාව අතරත් හුවමාරු වූ ලියුම් පාදෙනිය වාර්තාවේ අඩංගු වෙයි. ඒවාට අනුව, එකල සයිටම් ආයතනය හඳුන්වා ඇත්තේ එහි මුල් නම වන ‘තාක්ෂණය හා කළමණාකරනය පිළිබඳ දකුණු ආසියාතික ආයතනය’ වශයෙනි. ඒ අනුව, ‘තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියාතික ආයතනය’ යන නාමය ඒ මගින් පවරාගෙන ඇත්තේ ඉන් පසුව විය යුතුය.

2009 දී දොස්තර නෙවිල් ප‍්‍රනාන්දුට ලියන ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම අරභයා රුසියානු වෛද්‍ය පීඨය මගින් ප‍්‍රදානය කරනු ලබන සය අවුරුදු වෛද්‍ය උපාධිය සුදුසුකමක් වශයෙන් පිළිගන්නේ වී නමුත්, 1966 උසස් අධ්‍යාපන පනත යටතේ ලියාපදිංචි වී නැති ආයතනයක් මගින් දෙනු ලබන උපාධියක් පිළිගැනීමට තමන්ට බලයක් නැති බව කියා සිටී. එහි අරුත වන්නේ, අදාළ පනත යටතේ ලියාපදිංචි වී නැති නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිළිගැනීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පුලූවන් කමක් නැති බවයි. ඒ අනුව, තමන්ගේ උපාධිධාරීන්ට පවතින නීතිය යටතේ ලංකාවේ වෘත්තීය වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි වීමේ හැකියාවක් නැති බව, 2009 තරම් ඈතක සිටම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරය දැන සිට ඇත. එසේ වෙතත්, වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඉදිරිපත් වන ශිෂ්‍යයන්ට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට මේ පාලනාධිකාරිය මගින් ඒ කාරණය දන්වා නැත. ඊටත් වඩා, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් මේ කියන වෛද්‍ය විද්‍යාලය අධීක්ෂණය කරන බවට වැරදි තොරතුරක්ද ඔවුන් විසින් ශිෂ්‍යයන්ට සහ දෙමාපියන්ට සපයා තිබේ. එය ප‍්‍රතික්ෂේප කොට ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමටත් ඒ අනුව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදු විය.

ඉතිරි කොටස ඊළඟට..

*2017 පෙබරවාරි 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “SAITM & Private Medical Schools: One Bad Start Should Not Lead To Throwing Away A Good Idea” නැමැති ලිපියේ පළමු කොටස – සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.