19 April, 2024

Blog

පාද යාත්‍රාව “අහිංසක” ද?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

බල දේශපාලනය යනු පැහැදිලිවම ගණිතයකි. එහි නියැළී සිටින සත්ත්වයන්, නිශ්චිත සමීකරණ පද්ධතියක අඩංගු විචල්‍යයන්ට නිශ්චිත වටිනාකම් ආදේශ කර ඒ ඒ මොහොතේ ඒ ඒ ක්‍රියාදාමයන්ගේ හැසිරීම නිශ්චය කර ගනිති. නිරතුරුවම ඒ තුළ වැදගත් වනුයේ මතවාදී කාරණා හෝ සදාචාරමය විනිශ්චයන් නොවේ. ඒවා හුදෙක්, කටගැස්ම සඳහා පමණි. එහිදී වඩාත් තීරණාත්මක වනුයේ තම පටු දේශපාලන න්‍යාය පත්‍ර සාධනය කරගැන්මට ඇති උනන්දුව පමණි. මහනුවර සිට කොළඹ දක්වා වූ පා ගමනක් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය යැයි, තමන්ම කියාගන්නා කණ්ඩායම මෙහෙයවූ ප්‍රධාන කාරණය වූයේ, ඉහත අප කී “ගණිතය” බව තර්ක විරහිතය. ආණ්ඩුවකට එරෙහිව විරෝධතා පා ගමන් සංවිධානය කිරීමට රටක විපක්ෂයට ඇති අයිතිය ප්‍රශ්න විරහිත වනමුත්, එහි යම් යුක්ති සහගත බවක් තිබිය යුතු බව පොදුවේ ඇති පිළිගැනීමයි. මෙම විරෝධතා පා ගමනට එවැනි සුජාතභාවයක් ලබාදිය හැකි ද? දිය හැකි කෙටි පිළිතුර නැත යන්නය.

මූලිකවම මේ පාගමන ප්‍රශ්න රැසක් මතු කරයි. ඒ මෙහි අරමුණ පැහැදිලි නැති බැවිනි. මෙය සිදු කරනුයේ ජනාධිපතිවරයාව ගෙදර යැවීමට ද? ආණ්ඩුව ගෙදර යැවීමට ද? තවත් වසර හතරක් ගතවන තෙක් එවැන්නකට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නොමැත. එවැනි පසුබිමක් තුළ මේ පිටුපස වැඩ කරන ‘දේශපාලනය’ කුමක් ද? එය තේරුම් ගැනීම වැදගත්ය.

ඒ සමඟම අද දින ගණන් පාද යාත්‍රා සංවිධානය කරන මේ “මහත්වරු” මීට වසර දෙක තුනකට පෙර, වීදි සටන්වලට සැලකූ ආකාරය අමතක වීමට තරම් ජනතාවට හේතුවක් නොමැත. රතුපස්වල දී පානීය ජලය ඉල්ලු ජනතාවට මෙන්ම කටුනායක රෝෂේන් චානකලට, හලාවත ඇන්ටනීලට එදා ගිනි බටයෙන් සැලකුවේ වීදි බැසීමට සැරසෙන මේ මහත්වරුය. මේ පාද යාත්‍රාව දෛවයේ සරදමක් බව අප පවසනුයේ එබැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ බලය ලබාගැන්මට මත්තෙන් තමන් කළ කී දෑ “ඇත්තක්” කිරීමට රජයකට සාධාරණ කාලයක් ලබාදීම සිදු වෙයි. විශේෂිත තත්ත්වයකදී එය වෙනස් වන මුත්, සාමාන්‍ය ක්‍රමය එයයි. පැහැදිලිවම ඒ සඳහා යම් සාධාරණ කාලයක්, වත්මන් පාලකයන්ට ලබාදිය යුතුය. ඒ, සාධාරණ කාලය, අවුරුදු පහක් හයක් යැයි අප නොපවසන මුත් මීට වඩා වැඩි කාලයක් ඒ සඳහා ඔවුනට ලබාදිය යුතුය.

අපේක්ෂා කරන වේගයෙන්ම නොවුණ ද ජනවාරි 08 දා පාලන වෙනස සිදු කිරීමේදී ඒ වෙනුවෙන් පෙළගැසුණු බලවේගයේ, ප්‍රධාන අපේක්ෂාවන් ක්‍රමයෙන් ඉටුවෙමින් පවතී. රාජ්‍ය දේපළ අවභාවිතයේ යෙදවූ ඒවා සොරා කෑ තක්කඩීන්ට එරෙහි පරීක්ෂණ රැසක් මේ වන විට ආරම්භ වී ඇති අතර, ඉන් සමහරක් අවසානය කරා පැමිණ තිබේ. හොරකම් පිළිබඳ පමණක් නොව රට කැලඹු ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන පිළිබඳව ද ඇත්ත නැත්ත දැන් දැන් රටට හෙළි වෙමින් පවතී. පොදුවේ ගත් විට එම ක්‍රියාවලීන්හි මන්දගාමිත්වය නොඑසේනම් වේගය පිළිබඳ බොහෝ දෙනා තුළ කලකිරීම් ඇතිමුත්, සූක්ෂ්මව සිදුකළ අපරාධ හෙළිකර ගැනීම යනු දුෂ්කර කටයුත්තක් බව, අප මෙහිදී අවබෝධ කරගැන්ම වැදගත්ය. කිසිසේත්ම එය කෙසෙල් කැනක් කැපු සොරෙකු අල්ලනවා මෙන් පහසු වැඩක් නොවේ.

සොරකම, මිනීමැරීම වැනි අපරාධ පිළිබඳ පරීක්ෂණ වේගවත් වීම, යහපාලන රජය බලයට ගෙනා සමාජ තීරුවේ උනන්දුව වැඩි කිරීමට සමත් වුවද ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමට නම් එය වහකදුරු වී ඇති බවක් පෙනී යයි. අපරාධ පරීක්ෂණ පමා වෙද්දී “හොරුන් ඇල්ලුවා ද” යැයි, කියමින්, සමච්චල් කළ ඔවුන් “රෝද” නිසි ලෙස කැරකෙද්දී දේශපාලන පළිගැනීම් සිදුකරන බවට විලාප නඟති. රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ අන්තේවාසීකයන් තුළ නොඅඩුව දැකගත හැකි “දෙබිඩිකම” මේ කාරණයට අදාළව ද මනාව පෙනෙන්නට ඇත. හොරුන්, මිනීමරුවන් පසුපස පැන්නීම, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමට මහා බරක් වී ඇති තරම අල්ලන්නට සැරසෙන මේ නවතම “කස්තිරමේ”දී ද දැකගත හැකිය. සැබැවින්ම මේ කිසිඳු දෙයක් පිළිබඳව අප කෝප විය යුතු හෝ පුදුම විය යුතු නැත. බල දේශපාලනය බාලම තැන් තම ‘වාස භූමි’ ලෙස සලකන පිරිසකගෙන් මීට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැකි තරම්ය.

මහනුවර – කොළඹ, පා ගමනේ ප්‍රධාන සංවිධායකයන් ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන්නන්ගේ ඉතිහාසය අමුතුවෙන් රටට විස්තර කර දිය යුතු නැති තරම්ය. සොරකම නීතිගත කර තිබු රාජපක්ෂ යුගයේ ඔවුන්ගේ අතීත වැඩ වාර්තාව දේශපාලනය පිළිබඳ සංවේදී සියලු දෙනා හොඳින් දනී. ඉහත නම් සඳහන් කළ සැම කෙනෙකුටම එරෙහිව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති අතර, ඒවා තීරණාත්මක අවසානයක් කරා එළඹෙමින් ඇති වගක් පෙනෙන්නට ඇත. එම තත්ත්වය තුළ එය ආපසු හැරවීම වෙනුවෙන් “මරාගෙන මැරෙන” සටනක් කරා මේ කණ්ඩායම පියවර තැබීම පිළිබඳ එක් අතකින් පුදුම නොවිය යුතු තරම්ය. සුපැහැදිලිවම මෙය ඔවුනට තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. මෙහිදී වඩා වැදගත් වනුයේ මේ “දෙබිඩි බව” ජනතාව, විවේක බුද්ධියෙන් යුතුව අවබෝධය කරගැනීමය. දේශපාලනඥයන් නිරතුරුවම තම පුද්ගල ඉලක්ක වෙනුවෙන් වංකකම්වලට අනුරූපව එම සීමා තුළ හැසිරෙන බව, ජනතාව වටහා ගත යුතු අතර එම දේශපාලනික භූමිය ඔවුන්ගේ දැක්ම හා දුෂ්ට අරමුණු තරමටම පටු බව ද අප තේරුම් ගත යුතුය.

සිංහල භාෂාවේ ඇති අලංකාරතම වචන යොදා ගනිමින් මෙම පාගමන සාධාරණීකරණය කිරීමට එහි සංවිධායකයන් කටයුතු කළ ද මේ තුළ ඇත්තේ පිටතට නොපෙන්වන සැඟවුණු අරමුණුය. හොරු ඇල්ලීම නතර කරගැන්මට නොඑසේනම් එම ක්‍රියාවලියේ වේගවත් බව අඩුකර ගැන්මට සමාන්තරව තවත් අරමුණු කිහිපයක් මෙහිදී වැඩ කරන ගතියක් පෙනෙන්නට ඇත. ඒ පිළිබඳ සුළුවෙන් හෝ අවධානය යොමු කිරීම වැදගත්ය.

රාජපක්ෂ යුගයේ දී දැකගත නොහැකි වූ ජාත්‍යන්තරයේ විශ්වාසය මේ වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රමයෙන් තහවුරු වෙමින් පවතී. ශ්‍රී ලංකාවට පිටතින් දියුණු ලෝකයක් ඇති බව කිසිදා විශ්වාස නොකළ රාජපක්ෂවරුන් ජාත්‍යන්තරය සමඟ නිතරම “ගේමට” ගිය ද එම කාරණය රටට වාසිදායක ලෙස කළමනාකරණය කරගැනීම විෂයෙහි ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජය සමත්කම් දක්වා තිබේ.

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීම පමණක් නොව, ඉදිරියේදී ජී.එස්.පී + සහනය ද මෙරටට ඉඩ ලැබීමට වැඩි හැකියාවක් පවතී. ඒ සියල්ල හිමිව රජය ජාත්‍යන්තරය සමඟ වන සම්බන්ධතා තවත් ශක්තිමත් කරගනිමින් ආර්ථිකය යහපත් වුවහොත් ඉදිරි කාලය දේශපාලනිකව තමන්ට අසීරු එකක් වීම නොවැළැක්විය හැකි බව, රාජපක්ෂවරුන්ගේ ගණන් බැලීම වී ඇත. එබැවින් ඊට ඉඩ නොතබමින් මෙවැනි දෑ හරහා රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැඟීම තම දේශපාලන ව්‍යාපෘතියට වඩාත් පෑහෙන බව ඔවුන් කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ. බල දේශපාලනය යනු “අහිංසක” නොවන දෙයක් බව අප ඉහත සඳහන් කළේ එබැවිනි. දියුණුව, යහපත වැනි සදාචාරමය කාරණාවලට වඩා ඒ තුළ වඩා වැදගත් වනුයේ දේශපාලනික අවශ්‍යතාය. එය සාධාරණිකරණය කිරීම වෙනුවෙන් වැට් බදු ඉහළ නැංවීම වැනි සටන් පාඨ ද ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මෙම කණ්ඩායම ඉදිරියට දමා ඇතත්, ඒවා හුදු “අලංකාරික” පමණි. වැට් බදු ඉහළ නැංවීම පිළිබඳ ඔවුන් නඟන ඝෝෂාව පැහැදිලිවම ව්‍යාජයකි. අද වැට් පිළිබඳ කිඹුල් කඳුළු හෙළන රාජපක්ෂ සමයේ, එනම් 2006 වසරේදී වැට් බදු අනුපාතය 20% ක අගයකට ගෙන ආ බව අප අමතක නොකළ යුතුය.

රජය පසුගිය දා හඳුන්වා දුන් වැට් සහ වෙනත් බදු ඇතුළත් සංශෝධන සම්බන්ධයෙන් විවිධ විවේචන සමාජගතව ඇත. එය සැබෑවකි. එබඳු බදු සංශෝධනයක් සිදු කිරීමට ප්‍රධාන හේතුව වූයේ රාජපක්ෂ රෙජිමයෙන් උරුම වී ඇති අසීමිත ණය බරින් රට මුදා ගැනීමට අවශ්‍ය ආදායම්වලින් යම් ප්‍රමාණයක් උපයා ගැනීම මිස වෙනකක් නොවේ.

පසුගිය රජයේ අවිචාරවත් ණය ගැනීම හේතුවෙන් අද වන විට රුපියල් බිලියන 8,475ක් වන මහා ණය උගුලක රට හිර වී තිබේ. මේ ණය ප්‍රමාණය රටේ මුළු ජාතික ආදායමෙන් සියයට 75කට සමානය.

මේ තත්ත්වය උදා වූයේ රාජපක්ෂ රෙජිමයේ අසීමිත නාස්තිය, කොමිස් හා වංචා දූෂණ නිසා පමණක් ම නොවේ. ඉවක් බවක් නැතිව විශාල වශයෙන් ණය ලබාගෙන ඒවා ආදායම් නොලැබෙන සුදු අලි ව්‍යාපෘතිවල යෙදවීම තත්ත්වය උග්‍ර කළේය. හම්බන්තොට, වරාය, මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ඊට උදාහරණ කීපයකි. ගත් ණය ගෙවීමට තබා ඒවා නඩත්තු කිරීමට තරම්වත් ආදායමක් මේවායින් නොලැබේ. රට ණය මර උගුලක සිර වූයේ ඒ ආකාරයටය.

මේ ණය මර උගුලින් රට මුදා ගැනීමටත් මේ ණය බර මතු පරපුරට උරුම කර නොදීමටත් රජය අද ක්‍රියාත්මක වී සිටී. වැට් බදු සංශෝධනය යනු එහි එක් පියවරකි. එසේ වුවත් මේ වැට් බදු පැනවීමේදී අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන වියදමට බලපෑමක් සිදු නොවන පරිදි එම සංශෝධන සිදු කිරීමට ද රජය වග බලාගෙන ඇත.

විශේෂයෙන්ම ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා නව වැට් බදු සංශෝධන මඟින් බලපෑමක් නොකිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කිරිපිටි, නැවුම් කිරි, සහල්, තිරිඟු පිටි, පාන්, අල, පරිප්පු, හාල්මැස්සන්, ලූනු, මුංඇට, ටින් මාළු, සීනි සඳහා නව වැට් බද්ද අදාළ නොවේ. එසේම පොදු ජනතාවට බලපාන පොදු ප්‍රවාහන අධ්‍යාපන හා විදුලි බලය ඇතුළු සේවාවන් සඳහා නව වැට් බදු බලපාන්නේ ද නැත. සාමාන්‍ය ජනජීවිතයට බලපාන පෙට්‍රල්, භූමිතෙල්, පොහොර, ඖෂධ, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සඳහා ද නව වැට් බදු අදාළ නොවේ. ඒ අනුව බලන විට නව වැට් බදු ඉහළ නැංවීම් සිදු කර ඇත්තේ පොදු ජනතාවගේ ජීවන වියදමට බලපෑමක් නොවන ලෙසය.

අනෙක් අතට මේ නව සංශෝධන මඟින් රජය උපයා ගැනීමට උත්සාහ කරන්නේ රුපියල් බිලියන 100ක අමතර ආදායමක් පමණි. රාජපක්ෂ රෙජිමය විසින් ලබාගෙන ඇති ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් බිලියන 1,303ක් ආපසු ගෙවිය යුතු සන්දර්භයක නව වැට් බදු සංශෝධන මඟින් ලැබෙන්නේ ඉන් 8%ක් පමණ වන සොච්චමකි. ඇත්ත එයය. මේ සියලු තත්ත්වයන් තුළ තම පටු දේශපාලන න්‍යාය පත්‍ර මුදුන් පමුණුවා ගැන්ම වෙනුවෙන් දියත් කරන මේ දුෂ්ට ක්‍රියාන්විතය පිළිබඳ ජනතාව බුද්ධිමත්ව තේරුම් ගැනීම වැදගත්ය. තමන්ගේ බල සිහින සැබෑ කරගැන්ම වෙනුවෙන් රාජපක්ෂ කල්ලිය, තවත් වතාවක් ජනතාව හප කරමින් සිටින බව අපි නොබියව පවසන්නෙමු. එබැවින් මේ විෂ ආහාර අනුභවයෙන් හෝ අඝ්‍රාහනයෙන් ජනතාව වැළකී සිටිය යුතුය. දේශපාලනඥයන් අන්ධ වූ පළියට ජනතාව ද අන්ධ විය යුතු නැත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.