19 April, 2024

Blog

“සරදියෙල්” රාජතාන්ත්‍රිකයෙක් ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

රජය විසින් එකතු කළ අගය මත අය කරන බදු පැනවීමත් සමග රට තුළ ඇතිවූ නොසන්සුන්තාව සම්මුතික ආණ්ඩුව අභ්‍යන්තරයේ ද ඇතිවී තිබේ. පිටත සිට නිරීක්ෂණය කරන්නෙකුට තේරුම් යන්නේ අදාළ බදු යෝජනා සැලසුම් කර අය කිරීමට පියවර ගන්නා තෙක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නොදන්නා බවයි. විවිධ මහජන රැස්වීම් වල දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අදහස් අනුව ඔහුට නොකියා හෝ ඔහු නොමග යවා හෝ වෙනත් ක්‍රමයකින් එකතු කළ අගය මත බද්ද අය කිරීමට පටන් ගෙන ඇත. එහෙත් සත්‍ය වන්නේ ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු වීමයි. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නීති සංශෝධනයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව ලවා අවශ්‍ය සංශෝධනයන් අනුමත කර ඒවා ක්‍රියාත්මක කළ යුතුය. එවැනි වාතාවරණයක දී ජනාධිපතිවරයාගේ දැනුවත්භාවකින් තොරව අදාළ බදු යෝජනා ක්‍රියාත්මක කර ඇතැයි පැවසීම සත්‍යයෙන් තොරය.

එහෙත් විශේෂයෙන් ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළ කරන්නේ එවැනි දෑ ඔහුගේ දැනුවත්භාවයකින් තොරව ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමිනි.එක්කෝ අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් කරන කරුණු කාරණා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන්නේ නැත. නො එසේනම් ජනාධිපතිවරයාට කොලේ වසා යම් යම් තීන්දු තීරණ අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් විසින් ගැනෙති. සිදුවන්නේ මේ කුමක් වුවත් ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල දී ආර්ථිකමය කාරණා සදහා මෙලෙස මැදිහත්වීම යම්කිසි ප්‍රගතිශීලී වටිනාකමකින් ද යුක්තය.

Maithripala Sirisena 2016 04 13ආර්ථික කාරණා වැනි මහජනයාට ඉතා සංවේදී විෂයන් වල දී “සරදියෙල්” පන්නයේ මැදිහත්වීම් වලට මහජනතාව දක්වන්නේ මහත් අභිරුචියකි. ආර්ථික වශයෙන් පීඩාවට පත්වන ජනකොටස් කාගේ හෝ මැදිහත්වීමකින් ලබාගන්නා සහන නිසා ඉස්පාසුවකට පත්වන අතර ඒ සහන ලබාදෙන්නා ඔවුන් අතර වීරයකු බවට පත්වේ. නමුත් එවැනි සරදියෙල් පන්නයේ මැදිහත්වීම් නිසා සමස්ත ආර්ථිකයටත් ආණ්ඩුවේ යාන්ත්‍රණයටත් යම්කිසි හානියක් ඇතිවිය හැකිබව ද තේරුම් ගත යුතුය. සැලසුමකින් පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ක්‍රියාත්මක කරන ඕනෑම කාරණාවක දී මහජන හිතසුව පිණිස සංශෝධන කළ යුතු වුවත් දිගින් දිගටම සැලසුමට බාහිරව සරදියෙල් පන්නයේ මැදිහත්වීම් නිසා ඇතිවන ආර්ථිකයේ ආදායම් අඩුවීම නැවත පියවීම සදහා වන්දි ගෙවන්නට සිදුවන්නේ ද ඒ මහජනතාවටමයි. ජනාධිපතිවරයා සත්භාවයෙන් කරන මැදිහත්වීමට වඩා වැඩි වටිනාකමක් ලැබීමට නම් එම මැදිහත්වීම වඩා නිවැරදි ක්‍රමවේදයකින් සිදුවිය යුතුව තිබේ. ඉන් කියන්නේ ජනාධිපතිවරයා මෙවැනි කටයුතු වලට අත්පෙවීමෙන් වැළැකීම නොව එම අත පෙවීම වඩා ක්‍රමවත් පරිදි සිදුවිය යුතු බවය.

දේශපාලකයන්ට මහජන විශ්වාසය හා මහජන ආකර්ශනය අවශ්‍ය බව විවාදයක් නොමැත. ඒ සදහා ජන විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කර ආකර්ශනයක් ගොඩනගා ගැනීම තාර්කික ක්‍රමයයි. පක්ෂ දේශපාලනය ශ්‍රී ලංකා සමාජයට කර ඇති හානිය අපමණය. ඉතිහාසයේ ප්‍රථමවරට සම්මුතික ආණ්ඩු සංකල්පය ඇතිවූයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් අත්දැකීමක් එක් කරමිනි. එය පහසු ගමන් මගක් නොවන බව සත්‍යයකි. එය වෙනම දේශපාලනික සංස්කෘතියක් බවත් සත්‍යයකි. එහෙත් යා යුතුව ඇත්තේ ඒ මග මිස අන් මගක නොවේ. ඒ මගින් බැහැරව අන්මගක යෑමට ජනවරම අනුව ද නොහැකිය.

2015 ජනවාරී 08 වන දා ජනාධිපතිවරයාට ජනවරම ලැබුනේ එක්තරා සුවිශේෂී අන්දමකිනි. ඒ ජනවරම ලබාදුන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පමණක් නොවේ. එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නොවේ. වෙනත් පක්ෂයන්ට අයත් පාක්ෂිකයන් පමණක් නොවේ. ඒ තුළ දේදුනු වර්ණ දේශපාලන පක්ෂ නියෝජනය කළ ජනතාවක් සිටියහ. ඒ අනුව පැහැදිලි වන්නේ ඒ ජනවරම සම්මුතික ආණ්ඩුවේ ව්‍යුහයට අනුව ලැබුනු ජනවරමක් බවය. එසේම 2015 අගෝස්තු මහාමැතිවරණ ජනවරම ද ඊටම නොදෙවෙනි එකකි. කිසිම පක්ෂයකට තනි ආණ්ඩුවක් බිහිකිරීමට නොහැකි අන්දමේ ප්‍රතිපලයක් ලබාදුන් ඒ මහා මැතිවරණය නිහඩව ප්‍රකාශ කළේ සම්මුතික ආණ්ඩුවක ව්‍යුහයට ගරු කරන ලෙසය. ඒ සංස්කෘතිය කොපමණ අලුත් වුවත් හැඩගැසෙන්නට කොපමණ අපහසු වුවත් යන්නට වෙන මගක් ජනතාව විසින් ලබාදී නොමැත.

සම්මුතික ආණ්ඩු ව්‍යුහය ඉක්මවා වෙනත් මගක යන්නට ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට හෝ අවශ්‍ය වූ අවස්ථාවක වුවද ඒ සදහා ලැබී ඇති ජනවරමෙන් මෙන්ම පවතින දේශපාලන සන්දර්භයෙන් ද ඊට ඉඩක් නොමැත. එහෙත් තත්ත්වය ඉක්මවා යෑමට නායකයන් දෙපලටම බල කරන දේශපාලන ප්‍රවනතා පවතින බව රහසක් නොවේ. ඒ ප්‍රවනතා වලට උඩගෙඩි දෙමින් ඒවා මෝරන පරිදි උපදෙස් දෙන අපාය සහායක හිත මිතුරන් මේ දෙපලටම සිටිති. ඒ නිසා වරින් වර වෙනත් මගක යෑමේ අවශ්‍යතාවන් මේ දෙපලටම ඇතිවිය හැකිය. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන ජනාධිපතිවරයා මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය වන්නේ තමන් තවමත් “තද ශ්‍රී ලංකාකාරයකු” බව සමාජයේ පතුලටම ඒත්තු ගන්වන්නේ කෙසේද යන අභියෝගයයි. සම්ප්‍රදයික යූඑන්පී විරෝධී පදනමකින් දේශපාලනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට යූඑන්පී විරෝධය අවශ්‍යම කරුණකි. ඒ නිසා එහෙව් යූඑන්පිය හා දේශපාලන සහවාසයක සිටීම බලය තහවුරු කරගැනීමේ දී ජනාධිපතිවරයාට බරපතල ගැටළුවක් යැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත.

බැලූ බැල්මට තාර්කික ගැටළු යැයි හැගෙන එවැනි අභියෝගයන් ජය ගත හැක්කේ දේශපාලනිකව තුන්කල් දකින බුද්ධිමත් උපදේශකයන් ජනාධිපතිවරයාට සිටින්නේ නම් පමණි. දේශපාලන අභියෝගයන් ජය ගැනීමට සම්ප්‍රදායි මගෙහි ගොස් අමාරුවේ වැටීමට වඩා විකල්ප හා නිර්මාණශීලි මගක ගොස් බෙල්ලත් තැල්ලත් දෙකම බේරා ගත හැක්කේ එවැනි බුද්ධිමතුන්ගේ ගුරු උපදේශයන් ලැබෙන්නේ නම් පමණි. ජනවරමට පිටින් ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කරගත්තත් ඒ බලය රදා පවතින්නේ ජනාධිපතිවරයා තනතුරේ රැදී සිටින තාක් පමණි. ජනාධිපති ධූරයට පත්වූ පදනම බිදදමා ඉදිරියට යෑමට තැත් කිරීම තාර්කික මෙන්ම ප්‍රායෝගික නොවීම ඊට හේතුවයි. ඒ නිසා වඩා තාර්කික හා ප්‍රායෝගික වන්නේ ලැබූ ජනවරමට අනුව කටයුතු කරමින් පක්ෂයේ බලය රැක ගැනීමේ නිර්මාණශීලී පියවරයන් හා උපාය උපක්‍රම අනුගමනය කිරීමයි.

ජනාධිපතිවරයා රාජ්‍ය පාලනයේ දී දක්වන සිදුනොවිය යුතු මැදිහත්වීම් කාගේ උපදෙස් මත සිදුවුවද එනිසා ඇති කරන ප්‍රතිපල මිහිරි නොවන බව තේරුම් ගත යුත්තකි. ආර්ථිකමය සංශෝධන මහජනතාවට අමිහිරි බව ඒත්තු යන්නේ නම් කළ යුත්තේ එවැනි සංශෝධන සැලසුම් කරන හා අමාත්‍ය මණ්ඩලයේ දී අනුමත කරන අවස්ථාවන් ධනාත්මකව යොදා ගනිමින් අදාළ සංශෝධන මහජන හිතසුව පිනිස සකස් කිරීමට මැදිහත්වීමයි. ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ කැමැති වුවත් නැතත් අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව ඒ යෝජනා ආණ්ඩුවේ යෝජනා මිස එක් පාර්ශ්වයක යෝජනා නොවන්නේ ය. යමෙක් යම් අමිහිරි සංශෝධන ආණ්ඩුවේ වෙනත් පාර්ශ්වයක් මත පවරා අත සෝදා ගැනීමට තැත් කිරීම දේශපාලන වශයෙන් පරිනත කටයුත්තක් නොවේ. ඒ නිසා මහජන හිතසුව පිණිස යම් මැදිහත්වීමක් කරන්නට නම් අවශ්‍ය අවස්ථාවේ දී ඒ මැදිහත්වීම කළ යුතුය. එහෙත් ඒ මැදිහත්වීමට වඩා වැඩි වටිනාකමක් ලැබෙන්නේ එය ක්‍රමවත් අන්දමින් සිදු කරන විට ය. එවිට ජනාධිපතිවරයාට සමාජය තුළ ගෞරවයක් හා පිළිගැනීමක් ඇතිවේ. ඒ සදහා ඔහුව යොමු කිරීම උපදේශකයන්ගේ වගකීමයි.

එක්සත් ජාතික පක්ෂය තම ආර්ථික පදනම ලෙස තෝරාගෙන ඇත්තේ නව ලිබරල්වාදී ව්‍යුහයකි. විපක්ෂයේ සිටිය දී අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා ප්‍රතික්ශේප කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ගැන සිහින දැක්ක ද අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික දැක්ම නව ලිබරල්වාදය ඉක්මවන තත්ත්වයක නොමැත. අග්‍රාමාත්‍යවරයා නව ලිබරල්වාදී අර්ථික ප්‍රතිසංස්කරණ වලින් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දුන් 2002-2004 පාලන කාලය තුළ මෙන් නොවූවද සියුම් හා සංවේදී ලෙස කැපවී ඇත්තේ නව ලිබරල්වාදය වෙනුවෙන් බව පැහැදිලිව දක්නට ඇත.

2002 වර්ෂය වනවිට නව ලිබරල්වාදය ගෝලීය මට්ටමෙන් එහි මුදුනේ පැවතුනේ ය. එහෙත් 2008 දී එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපය ආර්ථික වශයෙන් කඩා වැටීමත් සමග නව ලිබරල්වාදය පසුබැසීමකට ලක්වුණි. අග්‍රාමාත්‍යවරයා තම දෙවැනි පාලන කාලය තුළ මුහුණ දෙන්නේ ගෝලීය වශයෙන් ඒ තරම් ප්‍රබල නොවූ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රවාහයකට ය. ඒ නිසා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව සිදුකිරීමට තරම් ගෝලීය හයියක් ඔහුට ලැබෙන්නේ නැත. සම්මුතික ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ ගෝලීය අවශ්‍යතාව වන්නේ බාධාවකින් තොරව අවශ්‍ය සංශෝධන සදහා ජාතික දේශපාලනය ශක්තිමත් කිරීම වුවද බලාපොරොත්තු වන තරම් ඒ උපක්‍රමය සාර්ථක නොවන බව පෙලගැස්වෙන ජාතික දේශපාලන කරුණු කාරණාවන්ගේ හරය පැහැදිලි කරයි.

නව ලිබරල් ආර්ථික සංශෝධන මල් වට්ටියට අත නොගසන්නේ නම් ධනපති පක්ෂ දෙකටම ආණ්ඩු කිරීමේ දුෂ්කරතා ඇතිවන බව නොරහසකි. ගෝලීය ප්‍රාග්ධනයේ ද තේරීම වී ඇත්තේ “සම්මුතික” ව්‍යුහයේ ආණ්ඩු මාදිලියක් වන අතර ඉන් බාහිරව පිරිසිදු යූඑන්පියක හෝ පිරිසිදු ශ්‍රීලනිපයක හෝ ආණ්ඩු සදහා ඉඩක් නොපවතී. යම් හෙයකින් සම්මුතික ව්‍යුහයේ පැවැත්ම බරපතල ලෙස අහෝසි වන මොහොතක ගෝලීය ප්‍රාග්ධනය තනි පක්ෂ ආණ්ඩුවකට විතැන් විය හැකි වුවත් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් බැහැරව සිටීමට ඒ කිසිම ආණ්ඩුවකට ඉඩක් නොලැබේ.

නව ලිබරල් ආර්ථික ප්‍රතිසංකරණ කටුක අත්දැකීම් නිර්මාණය කරන බව අසත්‍යයක් නොවේ. එහෙත් ආණ්ඩු නිර්මාණය වන්නේ ඒ කටුක ප්‍රතිසංස්කරණ සදහා ජාතික දේශපාලනය ශක්තිමත් කර ගැනීමටයි. අප කැමැති වුවත් නැතත් ඒ ගෝලීය යථාර්තය තේරුම් ගැනීමෙන් තොරව දේශපාලනය කිරීම තාර්කික නොවේ. එහෙත් මේ මොහොතේ කළ යුත්තේ සියල්ල ගෝලීය ප්‍රාග්ධනයට පවරා අත්දෙක බැදගෙන සිටීම හෝ සරදියෙල් පන්නයේ ආකර්ශනීය මැදිහත්වීම් සිදු කිරීම හෝ නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ මොහොතේ පැවරී ඇති වගකීම ඊට වඩා සංකීර්ණ හා මෝරා ගිය එකකි.

එක්සත් ජාතික පක්ෂය නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ එක් නියෝජිතයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද නියෝජිතත්වයක් ලැබී ඇතත් මේ මොහොත තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනිකව හැසිරිය යුත්තේ වගකීමකිනි. ඊට ප්‍රාග්ධන ගෝලීයකරණයේ නියෝජිත භූමිකාවෙන් ඉවත් විය නොහැකි බව ඇත්තකි. එහෙත් තම කාර්යභාරය වඩා ශක්තිමත්ව පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගත යුතුය. ඒ සදහා ප්‍රබල හා වියත් අත්දැකීම් බහුල බුද්ධිමත් කණ්ඩායමක් ජනාධිපතිවරයාට අවශ්‍යව තිබේ. ආර්ථික විෂයට අදාළව ඒ බුද්ධි මණ්ඩලය මහජන විශ්වාසය දිනාගත් හා කීර්තිමත් ප්‍රවීනයන්ගෙන් සමන්විය යුතු අතර ඔවුන්ට ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ද පිළිගැනීමක් තිබේ නම් කාර්ය වඩා පහසු වන්නේය.

එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කිරීමට කැස කවන නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ බරපතල සාකච්ඡාවකට ලක් කරන හා විවේචනයකට ලක් කරන ක්‍රමවේදයක් සකස් කර ගැනීම අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවේ ඇති බරපතල අභියෝගයයි. එම අභියෝගයට මුහුණදීම සදහා පෙරකී බුද්ධි මණ්ඩලයේ උපදේශනයන් ලබා ගත යුතු අතර ඔවුන් ආර්ථික ක්ෂේත්‍රය පිළිබද කරන්න වූ පර්යේෂණ මගින් ජනාධිපතිවරයාට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතුය. ඒ මගින් වඩා නිවැරදි හා ජනතාවට හිතසුව පිණිස වූ සංශෝධනයන් සදහා යෝජනා ලබාගත හැකිය. ජනාධිපතිවරයා ජනප්‍රිය මැදිහත්වීම් කරන්නේ හිස් අතින් වුවත් යම්කිසි ආර්ථික වශයෙන් ප්‍රවීන බුද්ධි මණ්ඩලයක යෝජනාවක් අත ඇතිව ඔහුට මැදිහත්විය හැකි වන්නේ නම් ඒ මැදිහත්වීම ශක්තිමත් ය. වටිනාකමකින් යුක්තය. ඒ යෝජනා බුද්ධිමය පරිචයක් සහිත පිරිසකගේ මැදිහත්වීමක් නිසා ජනාධිපතිවරයාට ද මහත් අභිමානයකින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට ශක්තියක් ලැබෙන්නේ ය. එක්සත් ජාතික පක්ෂයට ද ඒ යෝජනා වලින් බැහැරට යා නොහැක්කේ ඒවා සකස් කිරීම ගෝලීය දේශපාලනික පරිසරයක සිදුවන බැවිනි.

විධායක ජනාධිපති ක්‍රමය මූලික වූ ආණ්ඩුවක් බලයට පත්වූ පසුව මහජන අවශ්‍යතා වලට සංවේදී නොවීම සාමාන්‍ය ලක්ෂණයකි. බලයට පත්වූ පසුව කරන්නේ ප්‍රාග්ධනය හා අත්වැල් අල්ලා ගනිමින් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් ශක්තිමත් කිරීමයි. එහෙත් මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ආණ්ඩුවක සාමාන්‍ය ස්වරූපයෙන් මිදී මහජනතාවට සංවේදීවීම ප්‍රශස්ත කටයුත්තකි. ඒ නැඹුරුව අගය කළ යුතු අතර එය වඩා ක්‍රමවත් කර ගැනීම ජනාධිපතිවරයා හා කරන අදහස් හුවමාරුවකින් කළ යුත්තකි. ඒ සදහා සමාජ මැදිහත්වීමක් මෙන්ම ජනමාධ්‍ය හා සිවිල් සමාජයේ දායකත්වය අවශ්‍ය වේ.

ජනාධිපතිවරයා එවැනි නිර්මාණශීලී කටයුත්තකට අත ගසන්නේ නම් එය ඔහුගේත් ආණ්ඩුවේත් දේශපාලන පෞර්ෂය ශක්තිමත් කිරීමට හේතු වෙනවා නො අනුමානය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.