26 April, 2024

Blog

විමල්ගේ ඉල්ලන් කෑම හා මහින්දානන්ද ඇතුළට යෑම​

චාමර ‍ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මෙවර මා ලිවීමට අපේක්ෂා කරනුයේ දින කිහිපයකට පෙර සිදු වූ සිදුවීම් දෙකක් පිළිබඳවය. පළමුවැන්න වනුයේ: යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය ගැන ගතු කීමට මල්වතු නාහිමි බැහැ දැකීමට ගිය මන්ත්‍රි විමල් වීරවංශට උන්වහ‍න්සේ කල අවවාදාත්මක අනුශාසනාව පිළිබඳවය. අනෙක මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳවය.

මහ නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා තීන්දු තීරණ ගැනීමේදී තුට්ටුවකට මායිම් නොකළද අපේ බොහෝ දේශපාලනඥයන් උන්වහන්සේලා බැහැ දැකීමට යෑම මේ වන විට පුරුද්දක් කර ගෙන ඇත. ඒ හරහා මහා සංඝයාට ගරු කරන බව පිටතට පෙන්වීමට උත්සාහ කළද ඒ තුළ ඇත්තේ ජනතාව නොමඟ යවමින් හුදු ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමේ උත්සාහයක් පමණි. අටපිරිකර රැගෙන මහානාහිමි වන්දනාවේ යන බොහෝ දේශපාලනඥයන් එසේ කරනුයේ මාධ්‍යවේදීන් රොත්තක් ද පිරිවරාගෙනය. තම ගමන මාධ්‍යයට විකිණීම ඔවුන්ගේ එකම අරමුණය. පසුගිය සතියේ මන්ත්‍රි විමල් වීරවංශ ද මහනුවර ගියේ එවැනි මාධ්‍ය සන්දර්ශනයක් සිදු කරමින් ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමේ අරමුණෙන් මිස වෙ‍ෙනකක් සඳහා නොවේ.

මල්වතු මහා නාහිමියන් බැහැදුටු වීරවංශ මන්ත්‍රිවරයා උන්වහන්සේට මූලිකවම අවධාරණය කර තිබුණේ යෝජිත නව ව්‍යවස්ථාවේ ආදීනව පිළිබඳවය. ඊට උන්වහන්සේ දුන් පිළිතුර පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මේ වන විට පසුවන තත්ත්වය පිළිබඳව සු‍ළුවෙන් හෝ අවධානය යොමු කිරීම වැදගත්ය.Wimal Namal Ranga Mahindananda Jonston

රජයේ අපේක්ෂාව වී ඇත්තේ තවත් මාස හයකින් පමණ එම ක්‍රියාවලිය සැබෑවක් බවට පත් කිරීමය. දැන් ව්‍යවස්ථාදායකය තුළ වෙනම කමිටු පත් කර සිදුවනුයේ එහි මූලික රාමුව සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවකි. ඒ වෙනුවෙන් වන ප්‍රධාන මෙහෙයුම් කමිටුව තුළ දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන විමල්ගේ සමීපතම හිතවත්තුද සිටිති. යෝජිත නව ව්‍යවස්ථාවේ සැකිල්ල හෝ නිර්මාණය නොවී ඇති පසුබිමක විමල්ලා තර්ක කරනුයේ බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් ඒ හරහා සිදුවන බවය. කොරහේ කිඹුලන් දකින විමල්ගේ මේ කතාව ඇත්තක් නම් දිනේෂ්ලා ඉටු කරමින් සිටිනුයේ ද බෙදුම්වාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් වන ව්‍යාපෘතියකට සහාය දීමකි. හීනෙකින් හෝ දැක නොමැති ව්‍යවස්ථාවක් පිළිබඳ කන්කෙඳිරිගාමින් තැන තැන යන විමල්ට ඒ ගැන නියම පිළිතුර ලැබුණේ මල්වතු මහානාහිමි බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය. ජනප්‍රිය භාෂාවෙන් කියතොත් එය “ඉල්ලන් කෑමක්ම” විය. විමල්ගේ බෙදුම්වාදි කතාව සාවධානව අසා සිටි මල්වතු නාහිමියන් මන්ත්‍රිවරයාට අවවාද කරමින් සඳහන් කර තිබුණේ නව ව්‍යවස්ථාව ගැන කිසිදු වැදගත් සඳහනක් ඒ පිළිබඳව වගකීම සහිත කිසිදු ආයතනයකින් නිකුත් කර නොමැති පසුබිමක එබඳු ප්‍රකාශ සිදු කිරීම යෝග්‍ය නොවන බවය. අනෙක් අතට යෝජිත නව ව්‍යවස්ථාවට බෙදුම්වාදය ශක්තිමත් කරන කිසිදු වගන්තියක් ඇතුළත් නොකරන බවට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා පුන පුනා පවසා ඇති පසුබිමක මෙසේ ජනතාව තුළ බොරු බියක් නිර්මාණය කිරීම යෝග්‍ය නොවන බව උන්වහන්සේ මන්ත්‍රිවරයාට ප්‍රකාශ කර සිටියහ.

බෞද්ධාගමේ ප්‍රධාන නායකයෙකු ලෙස මල්වතු මහානාහිමි දක්වන අදහස් ඉතා වැදගත්ය. දේශපාලනඥයන්ගේ ආමිස පූජාවලට ගිජුව පිටකොඳු බිඳගත් බවට සංඝ සමාජයට චෝදනා එල්ල වන පසුබිමක දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පොදු ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් මල්වතු මහානාහිමියන් පෙන්වන උජුපටිපන්න ගුණය රටට සමාජයට පමණක් නොව සම්බුද්ධ ශාසනයේ චිරස්තථියට අතිශයින් ම තීරණාත්මක බලපෑමක් ගෙන දෙන බව ප්‍රශ්න විරහිතය. මල්වතු, අස්ගිරි මහානාහිමිවරුන්ගේ මතයට අවුරුදු සිය ගණනක් තිස්සේ ලැබී තිබුණේ ඉහළ පිළිගැනීමකි. විශේෂයෙන් ම මහනුවර නගරය ගත් විට එහි සියල්ල තීරණය වූයේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුමැතියට යටත්වය. උන් වහන්සේලාගේ අවසරය නොමැතිව කිසිවක් කන්ද උඩරට සිදු නොවූ තරම්ය. එය උන් වහන්සේලා දරා සිටි නිල බලයක් නිසා සිදු වූවක් නොව, ගරුත්වය හා පිළිගැනීම තුළ සිදු වූවකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධුරයේ සිටියදි සිදු වූ සිදුවීමක් පිළිබඳව මේ ලියුම්කරු අසා ඇත. එකල චීන දළදා වහන්සේ මෙරටට වැඩමවා ඇත. බෞද්ධ සාහිත්‍යයේ දළදා වහන්සේලා සිව් නමක් පිළිබඳව චිරප්‍රසිද්ධ අදහස් සමාජගතව ඇති පසුබිමක ඊට අයත් නොවන චීන දළදා වහන්සේව මෙරටට වැඩමවීම සම්බන්ධයෙන් රටවැසි බෞද්ධ ප්‍රජාව තුළ වූයේ පහන් හැඟීමක් නොවේ. ඔවුන් එය ප්‍රසිද්ධියේ පිට කරන්නට විය. නමුත් ඒ විරෝධය මධ්‍යයේ වුවද දළදා වහන්සේ මෙරටට වැඩමවාලීමට මැතිනියගේ රජය විසින් කටයුතු කරන ලදි. පළමුව අනුරාධපුරයට වැඩම කරවන ලද චීන දන්ත ධාතූන් වහන්සේලා අනතුරුව මහනුවරට රැගෙන විත් ප්‍රදර්ශනය කිරීමට බලධාරීන් කටයුතු කළ මුත් මල්වතු – අස්ගිරි මහානාහිමිවරු ඒ පිළිබඳව දැක්ව‍ූයේ දැඩි විරෝධයකි. ඒ සමයෙහි මහමළුවේ අයිතිය පැවතියේ දළදා මාළිගාව භාරයේ නොව රජය යටතේය. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් රජය චීන දළදා වහන්සේව මහමළුවේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලදි. පසුව බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මහතා එම අවුල්සහගත තත්ත්වය මැනවින් දුටු අතර මහමළුවේ අයිතිය දළදා මාළිගාවට ලබා දීමට ඔහු අනතුරුව තීරණය කළේය. 1977 න් පසු බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන රජය දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුරට වැඩම කරන බවට ආරංචියක් පැතිර ගිය මොහොතේ මහානාහිමිවරු ඊට දැඩි විරෝධය පළ කර සිටියහ. ඒ නිසාම එවැනි යෝජනාවක් පිළිබඳව යළි අසන්නටවත් ලැබුණේ නැත. එසේ දැවැන්ත සමාජ බලයක් මහා නාහිමිවරුන් වටා ගොඩනැඟී තිබුණ ද පසුගිය වසර දහයක කාලය තුළ උන්වහන්සේලා දැරූ මතයට මෙරට තුළ ඒ හැටි තැනක් හිමි නොවූ තරම්ය. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශ පාලකයන්ට කිසිදු වැදගත්කමකට නැති හිස් ලියකියවිලි බවට පත්විය.

ලෝක උරුම භූමියක් ලෙස සැලකෙන දළදා මාළිගාව අසල නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු කාල්ටන් ක්‍රීඩා සමාජය රාත්‍රි මෝටර් රථ ධාවන තරග පවත්වද්දී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නිකුත් කළ ඒකාබද්ධ ලියවිල්ල දෙස එදා සිටි පාලකයන් අවධානය යොමු කළේ නැත. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රිමාන්ඩ් කළ මොහොතේ මල්වතු මහා නාහිමි ඊට එරෙහිව මහමළුවේ සංඝායනාවක් පැවැත්වීමට සැරසෙද්දී එසේ කළහොත් අලුත් නිකායක් පිහිටුවන බවට තර්ජනය කරමින් කොළඹින් “පණිවුඩයක්” මහනුවරට ලැබුණි. කොළඹ සිට එම පණිවුඩය රැගෙන ආවේ උඩුවේ ධම්මාලෝක හා කඹුරුගමුවේ වජිර යන රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මුළු ඇ‍ඟෙන් ම පෙනී සිටි භික්ෂූන් වහන්සේ ‍ෙදනමය. දළදා මාළිගාව අසල ඇති A – 26 පාර විවෘත කළ යුතු බව කියමින් මල්වතු නාහිමි මහනුවර නගර සභාව හා එක්ව යම් ක්‍රියා මාර්ගයක් ගනිමින් සිටියදී එය නතර කිරීමට මහනුවරට එවනු ලැබුවේ රාජපක්ෂවරුන්ගේ සුරතලා වූ මර්වින් සිල්වාවය. 2011 දී ත්‍රෛනිකායික භික්ෂූන්වහන්සේ එක්ව ථෙරවාදී පනත රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී සංඝයා වහන්සේ භේද කරමින් එය ආපසු හැරවූයේ ජාති ප්‍රේමය, දේශප්‍රේමය, බෞද්ධාගම ගැන කථා කරන මේ මහත්වරුය. තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් “කහසිවුර” දඩමීමා කර ගෙන සිටින ‍රාජපක්ෂලා මහානායකහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට සැලකුවේ ඒ ආකාරයෙනි. විමල් වීරවංශලා එදා කළේ ඒ කටයුතුවලට උඩගෙඩි දීමය.

බුද්ධාගම මුල් කර ගනිමින් රට තුළ දේශපාලන පෙරළියකට අර ඇඳීමට හිටපු ජනාධිපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇත. උතුරේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන බව කියමින් ප්‍රචාරක ව්‍යාපෘතියක ඔවුන් පැටලී සිටින බව මේ දිනවල සයිබර් අවකාශයේ සැරිස‍රන්නෙකුට දැක ගත හැකිය. තිස් අවුරුදු යුද සමයේ පැවතියාටත් වඩා දැන් තත්ත්වය බරපතළ බව පෙන්වීමට ප්‍රචාරක යුද්ධයක් දියත් කර ඇත. මේ ප්‍රවණතාවට වර්ධනය වීමට ඉඩ දීම ඉදිරිය ගැන කල්පනා කරද්දි ඒ හැටි හොඳ දෙයක් නොවේ. සැබැවින්ම රජය මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාර ඒ වෙනුවෙන් පැවතිය යුතු අවධානයේ තරම සමඟ කිසිසේත් ම සමපාත නොවේ. එබැවින් ඒ පිළිබඳ රජයේ අවධානය යොමු වීම වැදගත් ය.

‘ඒකාබද්ධ විපක්ෂය’ ලෙස පෙනී සිටින කණ්ඩායමේ ප්‍රධානියකු වන මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත. කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නි‍ෙවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකණෙ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය බ්‍රහස්පතින්දා ය. මුදල් විශුද්ධිකරණ පනතේ 03 හා 04 වගන්ති ප්‍රකාරව නීතිවිරෝධී ආකාරයෙන් ධනය රැස් කිරීම, එම ධනය රැස් කළ ආකාරය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට අපොහොසත් වීම වත්කම් ප්‍රකාශනයක් ලබාදීමට අපොහොසත් වීම ප්‍රකාරව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි. වංචා දූෂණ පිළිබඳව පසුගිය සමයේ දැඩි හඬක් නැඟු විපක්ෂ මන්ත්‍රීවරයකු වන මහින්දානන්දගේ සමස්ත ඉතිහාසයම පිරී ඇත්තේ එබඳු සිදුවීම්වලින් ම වීම දෛවයේ සරදමකට වඩා වැඩි දෙයක් නොවේ. ගඟසිරිපුර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූයේ මන්ත්‍රීවරයකු වූ තම පියාගේ වරප්‍රසාද භාවිත කරමිනි. මහින්දානන්දගේ පියා වූ මීතලාවේ සයිමන් අලුත්ගමගේ කලක් නාවලපිටියේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ ය. රාජකීය විද්‍යාලයට ඇතුළත් වුව ද මහින්දානන්ද අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ හැටි දක්ෂතා පළ කළේ නම් නැත. පියාගෙන් පසු මහින්දානන්දගේ සොහොයුරු විජයානන්ද නාවලපිටියේ ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වූ මුත් ඔහු වැඩි කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නැඟිටීම තීරණාත්මක කඩඉමකට පැමිණ තිබූ ඒ සමයේ ශ්‍රී.ල.නි.ප. වෙනුවෙන් දේශපාලනය කිරීම පහසු කටයුත්තක් නොවූ අතර ඒ නිසා ම විජයානන්ද ආසන සංවිධායක ධූරයෙන් ඉවත්ව රටින් පිටවීමට තීරණය කළේ ය. මහින්දානන්දව ක්‍රියාකාරී දේශපාලනයට කැඳවූයේ විජයානන්ද රටින් පිටව යෑමය. 1993 වසරේ පළාත් සභා මැතිවරණය කැඳවූ අවස්ථාවේ ඊට අලුත්ගමගේ පවුලේ සාමාජිකයෙකුට ඉදිරිපත් වන ලෙස ඇරියුමක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් ඉදිරිපත් විය. මහින්දානන්ද ඒ වනවිට සිටියේ ආර්ථික වශයෙන් එතරම් සුවපහසු තැනක නොවේ. නාමධාරී මූල්‍ය ආයතනයක රුපියල් 1250/= ක වැනි වැටුපකට වසර ගණනාවක් සේවය කළ ඔහු කෑගල්ලේ හා මහනුවර ජයබිම හා ඒ ඇන්ඩ් ආර් යනුවෙන් දේපළ සමාගම් දෙකක් ආරම්භ කළ ද ඒ හැටි සාර්ථකත්වයක් ඔහුට එහිදී ලබා ගත නොහැකි විය. ආර්ථික වශයෙන් නන්නත්තාරව සිටි මහින්දානන්දට බණ්ඩාරනායක මැතිනියගෙන් ලැබුණු ඉල්ලීම මහමෙරක්ම විය. දෙවරක් නොසිතමින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට හෙතෙම තීරණය කළේ ය. එම මැතිවරණයේදී මහනුවරට පොදු පෙරමුණෙන් තරග වැදුණු කණ්ඩායමේ නායකත්වය දැරුවේ ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්නය. ගාමිණී දිසානායක මහතා ද ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් 93 මධ්‍යම පළාත් සභා මැතිවරණයට නුවරින් තරග කළේ ය. මහින්දානන්ද වැඩි අපහසුවකින් තොරව කෙටි කාලයකින් දේශපාලනයේ ඉහළට ගියේ ය. 1995 වසරේදී මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ 2000 වසරේදී පාර්ලිමේන්තු‍වට තේරී පත්වූයේ මනාප ඡන්ද 71653ක් ලබමිනි. ඉන් වසරකට පමණ පසුව පැවැති මහා මැතිවරණයේදී එම ඡන්ද ගණන 21000 කින් පමණ අඩු වුව ද ඔහු අඛණ්ඩව මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

දූෂණ වංචා සම්බන්ධයෙන් මහින්දානන්දට විවිධ චෝදනා එල්ල වුව ද ඔහුගේ සුඛෝපභෝගි ජීවිතය හා ඉහළ ආදායම් ඉපයීම පිළිබඳව තොරතුරු පළමු වරට හෙළිවූයේ ඔහුගේ බිරිඳ වූ ආශා විජයන්ති දික්කසාද නඩුවක් පැවරූ අවස්ථාවේදී ය. එහිදී ඇය ඉහළ වන්දියක් ලබා ගැනීම සඳහා අලුත්ගමගේ ගේ වත්කම් හා දේපළ පිළිබඳව විස්තර රැසක් අධිකරණයට ලබාදී තිබුණි. පසුව එම වත්කම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට ද පැමිණිල්ලක් ලෙස ලැබී තිබුණි. රුපියල් එක්දහස් දෙසිය පනහක මාසික වැටුපකින් සෑහෙන කලක් ජීවත්වූ අලුත්ගමගේ ඒ සා විශාල ධනයකට හා දේපළකට උරුමකම් කීම අදහා ගත නොහැකි තරම් විය. අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබුණ ද රාජපක්ෂ හිතවතෙකු වූ ජගත් බාලපටබැඳිගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කොමිසම ඒ ගැන කිසිවක් කළේ නැත. එසේ යට ගසා තිබූ මහින්දානන්දගේ ලිපි ගොනුව යළි උඩට ආවේ යහපාලන වෙනස සිදුවූ පසු ය. ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 22467/1/2015 යටතේ B වාර්තාවක් අලුත්ගමගේට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගොනු කරන ලදී. එම ගොනු කිරීමේ සඳහන්ව තිබූ තොරතුරුවලට අනුව 1987 වසරේදී මූල්‍ය සමාගමක ණය එකතු කරන්නෙකු ලෙස සේවය කරමින් රුපියල් එක් දහස් දෙසිය පනහක පමණ මාසික වැටුපක් ලැබූ මහින්දානන්ද කෙටි කාල පරාසයක් තුළ පහත දේපළ අත්පත් කර ගෙන තිබුණි.

බොරැල්ල, කුරුප්පු පාරේ, අංක 66 දරන පර්චස් 20.85ක නි‍ෙවස, නුවර ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ, අංක 309 බී දරන නි‍ෙවස හා එම ලිපිනයේ ම සඳහන් පර්චස් 18.03ක ඉඩම, රාජගිරිය, නාවල පාරේ, චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ අංක 15/1 දරන පර්චස් 15.05ක ඉඩම, ඇල්විටිගල මාවතේ, ට්‍රිලියම් රෙසිඩන්ස් හි අංක 159/9/2 දරන නි‍ෙවස, (රු. ලක්ෂ 285කට මිල දී ගෙන ඇත) කොළඹ 07, කිංසි පාරේ අංක 70/3/1 දරන නි‍ෙවස ලක්ෂ 270කට මිලදී ගෙන ඇත. මේවාට අමතරව එංගලන්තයේ නි‍ෙවසක් ද, සිංගප්පූරුවේ ඩොලර් ලක්ෂ 5.05ක තැන්පතුවක් ද මහින්දානන්දට ඇත.

ඉතා කෙටි කාලයක් තුළදී ඔහු උපයාගෙන ඇති මේ වත්කම් වාර්ෂික වත්කම්, බැරකම් ප්‍රකාශ තුළ ඇතුළත් කර නැත. එසේම විදේශයන්හි ඇති බැංකු ගිණුම් ද ප්‍රකාශයට පත් කර නොමැත.

මීට අමතරව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තීරුබදු රහිත සංකීර්ණයේ ඇති චේම්බර් ඔෆ් ගිෆ්ට් හා විඩු ලංකා (V – DOOLANKA) ආයතනයෙහි හිමිකරු ද මහින්දානන්දය.

මෙයින් පමණක් මහින්දානන්දට එරෙහිව එල්ල වී ඇති චෝදනා නතර නොවේ. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පවා ඔහුට එරෙහිව බරපතළ චෝදනා අවස්ථා ගණනාවකදී එල්ල විණි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ කොන්ත්‍රාත්තු මත තමනට හිතවත් කවිඳු බිල්ඩර්ස් ආයතනයට ලබාදී ඇති මහින්දානන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ සංචාරයන්හි නිරත වෙද්දී ගුවන් ටිකට් පත් ලබාගෙන ඇත්තේ රත්වත්තේ කෙනෙකුට අයත් සමාගමකිනි. ඔහු ඒ සියල්ල සිදුකර ඇත්තේ තම අභිමතයට ය.

පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී කැරම් පුවරු 14000ක් හා දාම් පුවරු 14000ක් මිල දී ගෙන ඇති මුත් ඒවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩාවලට ලැබී නොමැත. පසුව කැරම් පුවරු 14000ක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාණ්ඩ බෙදා හරින ලද ගබඩාවක තිබී සොයාගන්නා ලදී. එම ගබඩාවේ තිබී මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ පුත්‍රයාගේ ඡායාරූප සහිත බිත්ති ඔරලෝසු ලක්ෂයක් ද සොයාගන්නා ලදී. ලක් සතොස හරහා කැරම් පුවරු හා දාම් පුවරු මිල දී ගැනීම කර ඇති අතර ඉන් එම ආයතනයට සිදුවූ අලාභය රුපියල් ලක්ෂ 390 කි.

අප ඒ සියලු විස්තර දිගහැරියේ දේශප්‍රේමය, දූෂණ වංචා ගැන පැය විසි හතරේම දොඩවන දේශපාලනඥයකු ගේ සැබෑ කෙරුවාව පෙන්වීමට ය.

මහින්දානන්ද විසින් අයථා දේපළ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 2013 වසරේ පරීක්ෂණයක් පැවැතෙත්දී ඔහු ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රීවරයකු ලෙස තමන්ට හිමි වූ වාහන බලපත්‍ර 5ක් විකුණා රුපියල් මිලියන 50ක මුදලක් උපයාගත් බව ය. එම ප්‍රකාශය ඇත්තක් නම් එහිදී ද මහින්දානන්ද සිදු කර ඇත්තේ වරදකි. ඒ මන්ත්‍රීවරුන්ට තම වාහන බලපත්‍ර අලෙවි කිරීමේ හැකියාව හිමි වූයේ 2013 වසරේ අය වැයෙන් පසුව වීම නිසා ය. ඒ අනුව එහිදී ද රජයට විශාල බදු වංචාවක් ඔහු සිදු කර ඇති බව පෙනී යයි. තම දේපළවලින් රුපියල් මිලියන අනූවක පමණ දේපළක් සිය බිරියගේ නමින් මිල දී ගත් බව මහින්දානන්ද පැවසුව ද එය ද පිළිගත ‍හැකි කාරණයක් නොවේ. ඒ පෞද්ගලික ආයතනයක සේවය කළ සෑහෙන කාලයක් රුපියල් දහසකට අඩු වැටුපක් ලැබූ තැනැත්තියකට එසේ දැවැන්ත ආයෝජනයක් තාර්කිකව සිදු කළ නොහැකි බැවිනි. ජපානයේ සිටින සොහොයුරා මුදල් එවූ බව කියමින් ඔහුව ද තම ‘ගැලවිජ්ජාව’ වෙනුවෙන් අලුත්ගමගේ භාවිතා කර ඇති මුත්, නීතියෙන් ගැලවීමට තරම් එය ප්‍රමාණවත් දැයි ඉදිරි කාලයේදී අපට දැක බලාගත හැකි වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.