Colombo Telegraph

පක්ෂය නොකඩා ආණ්ඩුව කැඩීම

චරිත හේරත්

චරිත හේරත්

ශී‍්‍රලනීපයේ අනාගතය ගැන අපි සිදුකරමින් යන සාකච්ජාව තීරණාත්මක අධියරකට මෙම මොහොත වන විට පැමිණ ඇත. පසුගිය දිනක පැවති හයිඩ් පාර්ක් රුස්වීමත් සමග මේ තත්වය තවත් සංකීර්ණ සහ නිශ්චිත වී ඇති බව බැලූ බැල්මටම පෙනී යයි. එම රුස්වීමට පැමිණි මහා ජනතාව දැකීමෙන් අධික ප‍්‍රීතියට පත් වූවෝ කියන්නේ පක්ෂය තමන් අතටම ගැනීමට හෝ වෙනත් පක්ෂයක් හැදිමට කාලය උද වෙමින් තිබෙන බවය. ඒ අයට අනුව ‘වැඩේ හරියටම පත්තු වී’ ඇත. ඒත් මහින්ද පිළේම තවත් සමහරුන් කියන්නේ සෙනෙගගෙන් උද්දමයට පත් වන්නේ නැතිව දේශපාලන සංවිධානය දිගටම කළ යුතු බවයි. ඔවුන්ට අනුව විපක්ෂයේ දේශපාලන සංවිධානය යනු රැස්වීම්වලින් ඔබ්බට ගෙන යා යුතු වූ පළල් කළාපයකි. වැඩ සටහනකි.

අනෙක් අතට මෙම රුස්වීමට පෙර සිටම එයට එරෙහිව කටයුතු කළ පිරිස නිහඩතාවයකට ගමන් කර තිබීම ද මෙහිදි වැදගත් කාරණයකි. රුස්වීමට එරෙහිව නිළ ශී‍්‍රලනීපය වෙනුවෙන් තනිවම රණ්ඩු ඇල්ලූ දුමින්ද දිසානායක මහතා හෝ එස් බී දිසානායක මහතා රුස්වීමෙන් ‘පසුවිකන්බීරි කරවන’ තරමේ නිශ්ශබ්දතාවයක යෙදි සිටීමෙන් පෙනී යන්නේද රුස්වීමෙන් ශ‍්‍රීලනීපය වෙතට බරපතළ බලපෑමක් සිදුකර තිබෙන බවය. එයට අමතරව සංධානයේ නව ලේකම් අමරවීර මහතාගේ ප‍්‍රකාශ කීපයකින්ම මතු කර තිබූ ආකාරයට දිසානායකලාගේ රුස්වීම් විරෝධය වැරදි සහගත බවත් එමගින් මෛත‍්‍රී ජනාධිපතිතුමන්ගේ මතය නියෝජනය නොවන බවත් පෙන්වා තිබීම මෙහිදි තවත් වැදගත් කාරණයක්ය.

එහෙත් මෙම ප‍්‍රතිචාර සියල්ල මැද අප බැලිය යුත්තේ හයිඩ් පාර්ක් රුස්වීමේ බලපෑම හරහා පක්ෂයේ ශක්තිය ගොඩනගා ගැනීමට හැකියාවක් තිබේද නැතහොත් එමගින් පක්ෂය තවත් හෝදපාලූවකට ගමන් කරන්නේද යන කාරණය ගැනය. මේ පිළිබදව මැදිහත් ව තේරුම් ගැනීමක් සිදු කිරීම ඉතාමත් වැදගත්ය. එසේම මෙම බලවේගයන්ගේ හැසිරීම් මේ ආකාරයටම තිබීම හේතුවෙන් ශී‍්‍රලනීපයේ ඉදිරි පැවැත්මට සිදුවිය හැකි බලපෑම කුමක්ද යන්න තේරුම් ගැනීමත් පක්ෂයේ (ආණ්ඩුවේ සහ විපක්ෂයේ) සිටින හැමෝගේම ප‍්‍රමුඛ කාරණයක් විය යුතුය. මෙහිදි කනගාටුවෙන් වුවද පැවසිය යුතු සත්‍යයක් වන්නේ අදශී‍්‍රලනීපයේ දෙපැත්තේම සිටින මන්තී‍්‍රවරුන් හැසිරෙන්නේ තමන්ගේ ප‍්‍රධානියාගේ තෙල්වලින් යැපෙන පරපුටු තත්වයක බවයි. මෛතී‍්‍ර පසුපස සිටින මන්ත‍්‍රීවරුන් උත්සාහ ගන්නේ මෛත‍්‍රීගේ පහනින් එළිය බැලීමටත් සහ තමන්ගේ පහන එයින් දල්වා ගැනීමටත්ය. මහින්ද පසුපස සිටින මන්ත‍්‍රීවරුන් උත්සාහ ගන්නේ මහින්දගේ පහනින් එලිය බැලීමටත් සහ තමන්ගේ පහන එයින් දල්වා ගැනීමටත්ය. මේ මන්ත‍්‍රීවරුන් කාටවත් පාර්ලිමේන්තුවෙන් පිටත පක්ෂයක් තිබෙන බව හෝ පක්ෂයේ අනුබද්ධ යාන්ත‍්‍රනයන් තිබෙන බව තේරෙන්නේ නැත. පාක්ෂිකයින්ගේ අවශ්‍යතාවය ශී‍්‍රලනීප රජයක් පිහිටුවීම මිස මීලග මැතිවරණයේදි මනාප වැඩි කර ගැනීම හෝ සංවිධායක තනතුර තමන්ගේ දරුවෙකුට ලබාදිම නොවන බව මේ සමහරුන්ට අයට තේරෙන්නේ නැත. තමන්ගේ පැත්තේ සිටින අනුගාමිකයන්ගේ මේ පහන් පූජාවේ ඇති පටු පරමාර්ථයන් මෙම නායකයින් දෙදනාම තේරුම් ගත යුතුය. එසේ කළයුතු වන්නේ පක්ෂයක් යනු මේ මන්ත‍්‍රීවරුන් කීපදෙනා නොව එයින් එපිට සිටින අතිවිශාල පාක්ෂික ජනතාව වන නිසාය. ඒ නිසා නායකයින්ගේ කාර්ය්‍ය විය යුත්තේ පාක්ෂිකයින්ගේ අපේක්ෂාවන් නිර්මාණය කිරීමත් ඒවා සංවිධානය කිරීමත් පිළිබදව මිස මන්ත‍්‍රීවරුන්ගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කිීරීමම නොවේ. මේ වන විට ශ‍්‍රීලනීපයේ රජයක් පිහිටවීම පිළිබදව වූ සාකච්ජාවට සම්බන්ධ විකල්පයන් හතරක් මුලික වශයෙන්ම මතු වී තිබේ. එයින් පළමුවැන්න වන්නේ සම්පූර්ණයෙන්ම මහින්ද නොමැති ශ‍්‍රීලනීපයක් යන විකල්පයයි. දෙවැන්න වන්නේ මහින්ද සිටින එහෙත් මෛත‍්‍රීගේ නායකත්වයෙන් යුතු ශි‍්‍රලනීපයයි. තුනවැන්න වන්නේ මෛතී‍්‍රසිටින නමුත් මහින්ද ප‍්‍රධානත්වයෙන් ගොඩ නැගෙන ශ‍්‍රීලනීපයක් පිළිබදව වු විකල්පයයි. හතරවැන්න වන්නේ සම්පූර්ණයෙන්ම මෛත‍්‍රී නොමැති ශී‍්‍රලනීපයක් පිළිබදව වූ විකල්පයයි. දැන් මෙම විකල්පයන් හතරම අද විවිධ කෝණවලින් සමාජයේ සාකච්ජාවන්ට ලක් වී ඇති බව පිළිගැනීම නිවැරිදිය. මෙවා අතරින් පළමු සහ හතරවැනි විකල්පයන් යනු ශී‍්‍රලනීපය පක්ෂය දෙකක් බවට පත් වීමේ විභවයන් සහිත බරපතල තත්වයන්ය. මේ තියෙන පරිසරය තුළ සම්පූර්ණයෙන්ම මෛත‍්‍රී නොමැති හෝ සම්පූර්ණයෙන්ම මහින්ද නොමැති ශ‍්‍රීලනීපයක් නිර්මාණය කර මේ ආසන්න අනාගතයේදි රාජ්‍ය බලය ලබා ගත හැකි යැයි මා සිතන්නේ නැත. (රාජ්‍යය බලය නොමැතිව යම්කිසි පාර්ලිමේන්තු බලයක් ගොඩ නගා ගැනීමට එමගින් හැකියාවක් ඇති බව මා ප‍්‍රතික්ෂේප කරන්නේ නැත). මෛත‍්‍රී සතු විධායක බලය සහ පක්ෂයේ සභාපති වශයෙන් එතුමන්ගේ බලය එක් අතකිනුත් පක්ෂයේ යටි තලයේ පාක්ෂිකයින්ගේ ආදරය හා ගෞරවය හිමිකාරිත්වය අතින් මහින්ද ජනාධිපතිතුමන්ගේ ජනප‍්‍රියත්වය අනෙක් අතිනුත් බරපතල සාධක ලෙසින් පවතින බව මෙහිදි පිළිගත යුතුය. ඒ අර්ථයෙන් ගත් කළ පළමු සහ හතර වැනි විකල්පයන් පිළි ගැනීමට ඉක්මන් නොවී දෙවැනි සහ තුන්වැනි විකල්පයන්ගේ වියහැකිභාවයන් (posibilities) විභාග කර බැලීම පක්ෂයේ අනාගතය පැත්තෙන් ඉතාමත් වැදගත්ය. මෙහිදි පසුගිය මහ මැතිවරණයේදි සන්ධානය උත්සාහ කර බැලූවේ මේ දෙවන සහ තුන්වන විකල්පයන්ට තරමක් සමාන දෙයක් බැවින් එම මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් පසු ඇතිවූ කනගාටුදයක තත්වය හේතුවෙන් මෙවැනි විකල්පයක් ගැන යලිත් සාකච්ජාකිරීමට පවා සමහරුන් සුදනම් නොමැති වා විය හැකිය. එහෙත් දේශපාලනයේදි පරණ විරසකයන් එතරම් වැඩක් නැති දේවල් බව අප හොදින් දන්නා කාරණයක් වන නිසාත් අනෙක් අතට මෙම විකල්පයන් දෙකින් තොරව මැරිහත්වීමේ ලක්ෂ්‍යයක් නොමැති නිසාත් මේ පිළිබදව සාකච්ජා කිරීම සුදුසු බව මගේ පිළිගැනීමයි. දැන් මෙවැනි විකල්පයක් (දෙවෙනි හා තුන්වෙනි විකල්පයන්ගේ සම්මිශ‍්‍රණයක්) ක‍්‍රියාත්මක වැඩ සටහනක් බවට පත් කරන්නේ කෙසේද? මෙම විකල්පයන් දෙක පාක්ෂිකයන්ගේ අපේක්ෂාවන් ඉටුවන පරිදි නිර්මාණාත්මක ආකෘතියකට දමන්නේ කෙසේද? යන ගැටලුව විසදිමට අප මැදිහත් විය යුත්තෙමු.

මෙවැනි වැඩ සටහනක් සදහා පළමුවෙන්ම තේරුම් ගත යුතු කාරණය වන්නේ පාක්ෂිකයින්ගේ දේශපාලන අභිපේරණයේ (political mortivation) පදනම සහ ශි‍්‍රලනීපයේ ඓතිහාසික පදනම වන එජාප ඇති විරෝධයට පක්ෂයේ නිල නායකයින් එරෙහි නොවීමය. ශී‍්‍රලනීප දේශපාලනයේ ඇති එජාප විරෝධය නම් වූ මහා පොදු සාධකය ආරක්ෂා කිරීමය. පාක්ෂිකයාගේ දේශපාලන මැදිහත්වීමේ උත්පේ‍්‍රරකත්වය මතුවන්නේ මෙම එජාප විරෝධය තුළින් බව අප තේරුම් ගත යුතුය. මෙම කාරණය විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදි සහ මහමැතිවරණයේදි මහින්ද සමග සිට දැන් ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනීප ඇමතිවරුන්ගේ පැත්තෙන් ඉටුවිය යුතු ප‍්‍රධාන කොන්දේසියකි. පාක්ෂිකයින්ගේ ජන්දයෙන් පාර්ලිමේන්තු ගොස් පාක්ෂිකයින් විපක්ෂයේ තබා තමන් ආණ්ඩුවට එක් වුයේය යන්න ඔවුන් වෙත එල්ල වන විවේචනයකි. එම විවේචනය මෛතී‍්‍ර ජනාධිපතිතුමන් වෙත පාක්ෂිකයින් එල්ල කරන්නේ නැත. මන්ත‍්‍රීවරුන් වෙත එල්ලවන මෙම විවේචනය සමග ධනාත්මකව සාකච්ජා කිරීමට තරම් දේශපාලන බුද්ධියක් හා පෞරෂයක් දෙවැනි පෙළ නායකයින්ට තිබිය යුතුය. පරාජයේදි දේශපාලනය කරන්නේ කෙසේදැයි ශ‍්‍රීලනීප මන්තී‍්‍රවරුන් නොදන්නා අතර පරාජය පාක්ෂිකයාට භාර දි ජයග‍්‍රාහකයාගේ පැත්තට ගමන් කිරීම වැනි කි‍්‍රයාවන් සිදු කරන්නනේ එහෙයිනි. මෙම විවේචනයන් ඉවසීමට පුරුදුවීම තුළින් පාක්ෂිකයින්ට අපහාස වන ආකාරයේ ප‍්‍රතික‍්‍රියාවන්ගෙන් ඈත් වීමට ආණ්ඩුවේ සිටින සංධාන මන්ත‍්‍රීවරුන්ට හැකි වනු ඇත. තවත් අවුරුදු පහක් යන කල් මේ ආණ්ඩුව හොලවන්න නොහැකි යැයි පාක්ෂිකයින්ට අභියෝග කිරීමෙන් වැලකීමද මෙහිදි ඉතාමත් වැදගත්ය. ඇත්තටම ජනාධිපතිධුරය තව අවුරුදු පහක් පවතින නමුත් රනිල්ගේ අගමැතිකමින් යුතු මේ ආණ්ඩුව ඕනෑම වෙළාවක පෙරළිය හැකි බව පාක්ෂිකයින්ට දෙපැත්තේම සිටින ශී‍්‍රලනීප මන්තී‍්‍රවරු කිව යුතුය. ඇත්ත තත්වයද එසේමය. ශී‍්‍රලනීපයේ දෙගොල්ලම එකතුවන සහ මෛත‍්‍රී ජනාධිපතිතුමන් එකගවන ඕනෑම පැයක මෙම ආණ්ඩුව වෙනුවට ශී‍්‍රලනීප ආණ්ඩුවක් සැදිය හැකිය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත‍්‍රීවරුන්ද ඒ ඒ දිස්ති‍්‍රක්කවල සියලූම ආසනවල තමන්ට මනාපයක් හද ගැනීමට මේ අවස්ථාව යොද ගැනීම වැනි පටු කි‍්‍රයාවන්ගෙන් වැලකී සිටීමද මෙහිදි අත්‍යාවශ්‍ය කාරණයකි.

දෙවනුව මෙම වැඩ සටහනේදි තේරුම් ගත යුතු කාරණය වන්නේ ශී‍්‍රලනීපයේ දේශපාලනය මේ මොහොතේ ස්ථානගත කළ යුතු තැන නිවැරිදිව වටහා ගැනීමය. මෙහිදි මා යෝජනා කරන්නනේ ආර්ථිකය සහ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලීන් දෙක මත පදනම්ව එජාපයට ප‍්‍රතිවිරුද්ධ දේශපාලනයට ගැඹුරු තැනකට ගෙනයාමටත් මේ පක්ෂ දෙකෙහි දේශපාලන පදනම්වල මායිම් ඉර හරියටම ගසා ගැනීමටත් ගත හැකි බවයි. මා මිත‍්‍ර සුමනසිරි ලියනගේ ලියා තිබූ පරිදි රාජ්‍ය පාලනයේ දිසානතිය තේරුම් කරන්නේ ආර්ථිකය වන බැවින් ආර්ථිකයේ බෙදුම් ලක්ෂ්‍යය නිවැරිදිව සලකුණූ කිරීම එජාපයෙන් වෙන් වීමේ අවධි ලක්ෂ්‍යය (turning point) කර ගත යුතු බවයි. එජාපයේ ආර්ථිකය මේ මොහොතේ පදනම් වන්නේ පරාජත නව ලිබරල්වාදි මූලධර්ම මතය. එහිදි ඔවුන් උත්සාහ ගන්නේ සමාජය සමාන තලයක් ලෙසින් උපකල්පනය කරමින් වෙළදපොළ තරගයට හැමෝම යොමු කරලීමටත් රජය හුදු නියාමකගේ (regulator) භූමිකාව දරමින් තරගයේ විනිශ්‍යකරුවා වීමටත්ය. සහනාධාර ආර්ථිකය සම්පූර්ණයෙන්ම එජාපයට වහ කදුරු වන්නේ මෙම තත්වය තුළය. පොහොර සහනාධාරය කපන්නේ මෙම තත්වය තුළය. කෘෂිකර්මාන්තය වානිජ්‍යකරණය කරන්නනේ මෙම තත්වය තුළය. කුඹුරු ගොඩකර රෝස මල් වවන්නට යෝජනා කරන්නේ මේ තත්වය තුළය. ශී‍්‍රලනීපයේ ආර්ථිකය හැමවිටම සමාජ ප‍්‍රජාත්න්ත‍්‍රවාදි (social democratic) ආකෘතියක පැවතියේ මෙම වෙළදපොළ ඌනතිවාදයට එරෙහිවන්නා ලෙසින්ය. මෙරට කෘෂිකර්මාන්තය යනු ජවිතය සමග බැදුණු වටිනාකම් පද්ධතියක් ලෙසින් තේරුම් ගන්නට ශී‍්‍රලනීපයට හැකියාව තිබුණේ ඒ නිසාය. වාපී කරමාන්තයත් වාරී කර්මාන්තයත් මිලකට විකිනීමට ශී‍්‍රලනීපය හැමදම විරුද්ධ වූයේ ඒ නිසාය. ආර්ථික සාධකයෙන් එජාපයට ප‍්‍රතිචාර දැක්වීම මගින් ශී‍්‍රලනීපයේ නව දේශපාලන වැඩ සටහනක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව බලයෙන්ම අත්පත් කරගත යුතුය. දේශපාලනය තුළට ආර්ථිකයේ ස්වභාවය පිළිබදව සාකච්ජාව රුගෙන ඒමට සහ ඒ පිළිබදව පළල් සංවාදයක් මතු කිරීම ශී‍්‍රලනීපයේ වැඩක් බවට පත් කර ගත යුතුය. එසේම යෝජත ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාදමය සමග ශී‍්‍රලනීපයේ සම්බන්ධවීම සමග එජාප විරෝධයේ පදනම වෙත නැවතත් ගමන් කළ හැකිය. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය මෙහි ඉතාමත් කේන්දිය කාරණයකි. දහතුන්වන ව්‍යවස්ථාවේ සමහර ගැටලූ ගැන ශී‍්‍රලනීපයේ මතය ප‍්‍රතිනිර්මාණය කිරීමද මෙහිදි ඉතාමත් වැදගත්ය.

තුන්වෙනුව මෙවැනි පොදු න්‍යාය පත‍්‍රයක් වෙතට පක්ෂය ගමන් කරවීම සදහා අත්‍යාවශ්‍ය තවත් කොන්දේසියක් වන්නේ පක්ෂයේ නිළ කණ්ඩායමේ දෙවැනි පෙළ නායකයින් මෙම තත්වය ගැන ධනාත්මකව සිතීමය. දේශපාලන ව්‍යාපාරයක් අර්බුදයක වැටී තිබෙන විටෙකදි දෙවැනි පෙළ නායකයින් කථා කළ යුත්තේ හොදින් සිතා බලාය. සිතන්නට බැරි අය කථා නොකළ යුතුය. පසු ගිය දිනවල පක්ෂයේ ලේකම්වරයාත් භාණ්ඩාරිකවරයාත් තැන තැන්වල කරනු ලැබූ කථාවන් ඒ ආකාරයෙන් නොකළේ නම් එය පක්ෂයටත් පක්ෂ නායකයාටත් ඉමහත් සේවයක් විය හැකිව තිබුනි. එවැනි නිශ්ණබ්දතාවක් පක්ෂයේ සමගියට ආශිර්වාදයක් විය වන්නට ඉඩ තිබුනි. භාෂාව වැරදියට යොද ගැනීම වනාහී දර්ශනික ප‍්‍රශ්නයක් බව සමකාලීන දර්ශනිකයෙනු වූ විට්ගන්ස්ෙටෙයින් කියා තිබුනි. ඔහු කීවේ where of you can not speal there of you should be silence කියාය. මෙයින් කියන්නේ ඔබට මතයක් නොමැති තැන ඔබ කළ යුත්තේ මුනිවත රුකීම බවය. ශී‍්‍රලනීපය පැත්තෙන් ගත්තොත් මෙය හරියට විට්ගන්ස්ෙටෙයින් අපේ දෙවැනි පෙළ නායකයින්ට දුන් උපදේශයක් බදුය.

මා ඉදිරිපත් කළ දෙවෙනි සහ තුන්වෙනි විකල්පයන් එකතු කර නිර්මාණය කරන විසදුමක් වෙතට යාමට නොහැකිවන වුවහොත් ඉතිරි වන්නේ පළමු සහ හතර වන විසදුමය. එනම් මහින්ද නැති ශී‍්‍රලනීපයක් මෛතී‍්‍ර හැදිමත් හා මෛත‍්‍රී නැති ශී‍්‍රලනීපයක් මහින්ද හැදිමත්ය. එනම් පක්ෂ යාන්ත‍්‍රණයන් දෙකක් එකිනෙකා නිර්මාණය කිරීමය. මෙම විකල්පය ගැන සාකච්ජා කිරීමකින් තොරවම එහි ඇති ගතිකයන් තේරුම් ගත හැති නිසා එය අත්දැකීමෙන්ම ලබා ගැනීමට ඉඩ තබන්නෙමි. එහෙත් කිව යුතුව ඇත්තේ වහින විට තෙමෙන බව තෙමීමෙන්ම දැන ගැනීම එතරම් බුද්ධිමය ක‍්‍රියාවක් නොවන බවය.

Back to Home page