24 September, 2018

Blog

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෝතටත් තෛලයද?

චරිත හේරත්

ආචාර්ය චරිත හේරත්

රටක ව්‍යවස්ථාවක් කියන්නේ සතිපතා හෝ අවුරුදු පතා හදන වාර්ෂික වාර්තාවක් නොවන බව හැමෝම දන්නා කාරණයකි. ඒත් මේ රටේ හැම ආණුඩුවක්ම පාහේ බලය ඉල්ලන්නේ රට හැදිමට නොව හොද ව්‍යවස්ථාවක් හැදිම සදහාය. නිදහසින් පසු අපේ රටේ මේ වන විට ව්‍යවස්ථා තුනක් හදා පාවිච්චි කර අවසන්ය. ඒ 1948 සෝලබරි ව්‍යවස්ථාව, 1972 ජනරජ ව්‍යවස්ථාව හා 1978 ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව යන තුනය. මේ ව්‍යවස්ථා තුනට අමතරව හතරවෙනි ව්‍යවස්ථාවක් ද 1994 පැමිනි චන්ද්‍රිකා රජය විසින් ද හැදු බව සමහරුන්ට මතක ඇත. 2000 වර්ෂයේ දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ ව්‍යවස්ථා කෙටුම්පතය. එද එජාපයේ සිටි මන්තීවරු පාරලිමේන්තුවේදීම ගිනි තියා අළු කළේ ඒ ව්‍යවස්ථා කෙටුම්පතය. චන්ද්‍රිකා රජයේ ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත නොවු නමුත් ඉතිහාසයේ වාර්තා අනුව මේ රටෙ හැදු හරවෙනි ව්‍යවස්ථාව වන්නේ ඒ කෙටුම්පතය. මගේ ගනන් බැලීම අනුව මේ ආණ්ඩුව දැන් හදන්නට යන්නේ අපේ රටේ හදන පස් වෙනි ව්‍යවස්ථාවය. යටත් විජත පාලනයෙන් රට නිදහස් වී ගත වුනේ තවම අවුරුදු 68 ක් වුනාට රට පාලනය කරන්නට ව්‍යවස්ථා ම පහක් හදන්නට අපිට බලකර සිටීම මගින් පෙන්නුම් කරන්නේ බරපතල දේශපාලන ඛේදවාචකයක් බව මෙහිදී පැවසිය යුතුමය. මෙයින් පැහැදිලි වන්නේ හැමදාම​ අපි කරන්නේ පිටිය සකස් කිරීම මිස සෙල්ලම් කිරීම නොවන බවය.

ව්‍යවස්ථාවක් කියන්නේ තරඟ​යේ නීති රීති ටික මිස තරඟ​ය නොවන බව රටක් විදියට අපි තේරුම් ගන්නේ නැති ගානය. 1965 පසුව පැවති හැම මැතිවරණයකම පාහේ ප‍්‍රධාන පොරොන්දුවක් වූයේ “අපි ආවොත් ආයිමත් සැරයක් පිටිය සකස් කරනවා” කියන කාරණයය. මේ කවුරුවත් හරියට සෙල්ලම් කරනවා කියා කිව්වේ නැත. එහෙම කියන්නේ නැත. 1970 සමගි පෙරමුණ​ ආණ්ඩු බලය ගත්තේ රුජණ​ගේ ව්‍යවස්ථාව අපි ආවොත් වෙනස් කරනවා කියාය. 1972 ව්‍යවස්ථාව කියන්නේ එහෙම වෙනස් කරපු අලුත් ව්‍යවස්ථාවටය. එහෙම කියා හදපු ව්‍යවස්ථාව අවුරුදු පහකට පසුව එනම් 1977 පැමිණි ජයවර්ධන රජය වෙනස් කළේත් මුලින් කියපු කාරණයම යලිත් වරක් කියාගෙනය. 78 ව්‍යවස්ථාව කියන්නේ එහෙම හදපු අලූත්ම අලුත් ව්‍යවස්ථාවටය. 1994 මැතිවරණයේ දි පොදු පෙරමුණ කීවේ ජෙ ආර් ගේ ව්‍යවස්ථාවට එහා ගිය එකක් හදනවා කියාය. 2000 කෙටුම්පත කියන්නේ ඒ ජෙ ආර් ට එහා ගිහින් හදපු  ව්‍යවස්ථාවටය. දැන් මේ ආණ්ඩුව කියන්නේ සිරිමා හදපු එකටත් ජෙ ආර් හදපු එකටත් චන්ද්‍රිකා හදපු එකටත් එහා ගිය අලුත් එකක් හදන බවය. අගමැතිතුමා පාර්ලිමේන්තුවට සහතික වෙන්නේ මේ අලුත් ව්‍යවස්ථාව ගැනය. 

නටන්න බැරි වුනේ පොළව ඇද නිසා යැයි කීවාක් මෙන් රටේ ආර්ථිකය හදන්නට බැරි හෝ රටේ පරිපාලන නියමාකාරයෙන් ක‍්‍රියාත්මක කරන්නට බැරි වෙන්නේ ව්‍යවස්ථාවේ පරහක් කියෙන නිසා යැයි කියමින් ආණ්ඩු බලය ගන්නා බොහෝ අය තමන්ගේ අවුරුදු පහ හෝ හය සම්පූර්ණයෙන් පාහේ වැය කරන්නේ තියෙන එකට වඩා හොද ව්‍යවස්ථාවක් හැදිමටය. එහෙම සියලු වැර යොදා හදන ව්‍යවස්ථාව ඊලගට එන ආණ්ඩුව වෙනස් කරන්නේ පොළොව ඇද නිසා නටන්නට බැරි යැයි කීවාක් මෙන්ය. මේ ආකාරයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම එකම දේශපාලනය බවට ඇද වැටීම මගින් පෙන්නුම් කරන්නේ අපේ රටේ දේශපාලනය අද මුහුන දෙන ඛේදවාචකයේ තරමය. සමහර දේශපාලකයින් සිතන්නේම රටේ ප‍්‍රශ්න වලට  හේතුව වන්නේ ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලතාවයක් මිස රට පාලනය කරන අයගේ දුර්වලතාවයක් නොවන බවය. ඒ නිසා ඒ අයට  හිතෙන්නේ දේශපාලනය යැයි කියන්නේ දිගටම ව්‍යවස්ථාව වෙනස් කිරීම කියාය. මා මෙයින් අදහස් කරන්නේ පනත් හා රෙගුලාසි හදන එක ගැන ආණ්ඩුවේ කාර්යභාර්ය නොවන බව කීමට නොවේ. පාරලිමේන්තුවක කාර්යභාරයට ඒ ඒ අවශ්‍යතාවයන්ට අනුව අණ පනත් හැදිමටත් අදළ බව හැමෝම පිළිගන්නා කාරණයකි. ඒත් මූලික​ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හැම අවුරුදු 13 වරක්ම වෙනස් කරන තැනට මේ තත්ත්වය පත් වීම මගින් පෙන්නුම් කරන්නේ රටක් විදියට අපේ ඇති නොහැකියාවය.

දැන් මෙවර පත් වූ එජාපයේ නායකයින් ආකිමිඩිස් පන්නයේ සොයා ගැනීමක් මෙන් කෑ කෝ ගසමින් මේ ව්‍යවස්ථාව හොද නැතැයි හදිසියේ කීමේ කිසිදු පදනමක් නැත්තේ ඒ කියන හොද නැති ව්‍යවස්ථාවේ නිර්මාතෘවරන් වන්නේද තමන්ම වන බැව් අමතක කරමින් ඒ කථාව කියන නිසාය. මේ අය අද නොකියා කියන්නේ තමන්ගේම නායකයින් විසින්ම  1978 හදපු ව්‍යවස්ථාව මේ වැරදිවලට මුල කියාය. තමන්ම මුළින් කළ දේ පසුකාලයේ දි වැරදියැයි කීම එකකි. තමන්ගේ වැරුද්ද අනුන්ගේ වගේ පෙන්වමින් කථා කිරීම තවත් එකකි. මේ කරමින් ඉන්නේ පළවෙනි එක නොව දෙවැනි එකය. 1978 හදපු ව්‍යවස්ථාව වැරදියි කියා ඒ දවස්වලම කීවේ එකල සිටි වාමාංෂික නායකයින්ය. ඒ අදහස් කිසිදු විමසීමකින් තොරවම නොසලකා හැරීයේ ඒ කාලයේ එජාපයේ නායකයින් මිස වෙන කවුරුවත් නොවන බව පවා ඒ අයට දැන් අමතකය. අපි විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්නට හදද්දි අනෙක් අය ඒක අල්ලගෙන ඉන්නවා යැයි එජාපය විසින් කීමේ කිසිදු තේරුමක් නැත්තේ මේ නිසාය. එජාපය අද කිව යුත්තේ තමන්ම හදපු යකෙකුට තමන්ම අහුවුනා කියාය. තමන්ගේ ගණන් බැලීම් වැර​දුනා කියාය. තමන්ගේ වැරුද්දට රටේ විශාල පිරිසක් ජීවිතවලින් වන්දි ගෙව්වා කියාය. 

දැන් අපි කැමති වුවත් නැතත් යලිත් වරක් රට හැදීම​ කියා හුගක් අය හිතන්නේ ව්‍යවස්ථාව හැදිම නිසා මේ ව්‍යාපෘතියෙන් ගැලවෙන්නට මේ මොහොතේ කාටවත් හැකියාවක් නොමැති බව පැහැදිලිය. ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවේ සිටීම නුසුදුසු යැයි මා සිතන්නේ නැත්තේ ඒ නිසාය. අනෙක් අතට එජාපයේ අතීතය පෙන්නුම් කරන්නේ ඒ අය සිතන දේ කවුරු විරුද්ධ වුනත් කරනවා වැනි අතිශයෙන්ම උද්දච්ච දේශපාලන භාවිතාවකටය. ඒ නිසාම මේ ව්‍යවස්ථාදයක සභාවේ හිදිමින්ම එය පිළිබදව මැදිහත්වීම අනෙක් අතින් ඉතාමත් වැදගත්ය.

දැන් අගමැතිතුමා ඉදිරිපත් කර ඇති වාර්තාව පෙන්නුම් කරන්නේ හදන්නට යන ව්‍යවස්ථාවේ ස්වභාවය සහ හැඩය පිළිබදව හරස් කැපුමක් යැයි පිළිගැනීමේ වරදක් නැත. මේ වාර්තාවට අනුව යෝජනාවී තිබෙන්නේ ව්‍යවස්ථාවේ කේන්ද්‍රීය​ කලාපයක් වන ප‍්‍රධාන ප‍්‍රඥපත්තීන් ගනනාවක්ම වෙනස් කිරීමටය. ඒවා ආමන්ත්‍ර​ණය කර ඇත්තේ තිබූ පදනම් වෙනස් කරන දිසාවටය. ව්‍යවස්ථාවේ පළමු හා දෙවන වගන්තිය පිළිබදව ටීඑන්ඒ එක විසින් ඉදිරිපත් කර තිබෙන අදහස මේ රටේ ඉතිහාසයට හෝ වර්තමානයට ගැලපීමේ කිසිදු හැකියාවක් මා දකින්නේ නැත. රටේ ස්වභාවය ඒකීය වන්නේද එසේත් නැතහොත් වෙනත් ආකෘතියක් වන්නේද යන ගැටලුව මතු කරන්නේම එක අන්තයකින් බෙදුම්වාදයක් නියෝජනය වන පරිදිය. සිංහලෙන් ඒකීය ලෙසින් දක්වන ගමන් දෙමළෙන් ඔරුමිත්තිතා නාඩු  (orumittitha naadu) ලෙසින් නම් කරන්නට ඒ මගින් යෝජනා වී ඇති බව දැන් කවුරුත් දන්නා කාරණයකි. දෙමළෙන් ඔරුමිත්තිතා නාඩු යැයි කියන්නේ එකතුවෙන් හැදුනු රට යන අර්ථය දෙන පදයක් බව ඒ භාෂාව පිළිබදව දන්නෝ දනිති. එය ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ දක්වා ඇත්තේ country that is formed by amalgamation කියාය. කෑලිවලින් එක්වූ රටක් හා ඒකීය රටක් කියන්නේ එකම දෙයකට යැයි කියන්නේ කාගේ හරි උවමනාවකට මිස නියම තේරුමෙන් නොවන බව කාටත් පැහැදිලි වෙන සත්‍යයක්ය. රටේ ස්වභාවය සිංහලෙන් එක විදියකටත් දෙමළෙන් තවත් විදියකටත් තේරුම් ගැනීම වැරදි බවට ඒකාබද්ධ විපක්ෂයත් ශ‍්‍රීලනීපයත් ජාතික හෙළ උරුමයත් මේ වාර්තාවට ලබා දුන් ප‍්‍රතිචාරාත්මක ඉදිරිපත් කිරීම් හරහා පැහැදිලිවම දක්වා තිබීමත් මෙහිදි ඉතාමත් වැදගත්ය. ඒ තුන්ගොල්ලම මේ සම්බන්ධයෙන් ඉන්නේ එකම ස්ථාවරයක වීම වැදගත් වන්නේ ඒ හරහා රටේ ප‍්‍රධාන ජනවර්ගයේ අදහස නියෝජනය වන බව කාටත් තේරෙන නිසාය. මේ තුන්ගොල්ලෝම කියන්නේ රටේ ස්වභාවය භාෂාවෙන් භාෂාවට වෙනස් කිරීම වැරදි බවය.

අනෙක් අතට මේ ව්‍යවස්ථා නිර්මාණයේදි විධායක ජනාධිපතිධුරය සහ පළාත් සභා අතර ඇති සම්බන්ධය නොසලකා හරිමින් ඒ දෙක දෙකක් ලෙසින් ගැනීම තවත් පැත්තක අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවක් වීමේ ඉඩක් ද පවතින බව තෙරුම් ගැනීම වැදගත්ය. පළාත් සභා ක‍්‍රමය මේ විදියටම පවත්වා ගැනීම හෝ තවත් බලතල ඒවාට පැවරීම හෝ සිදුවන්නේ නම් විධායක ජනාධිපති ක‍්‍රමය අනිවාර්යයෙන්ම පැවතිය යුතු බව පරණ ශ‍්‍රීලනීපයේ තිබූ අදහසය. මේ ස්ථාවරය අදටත් නිවැරදි බව මගේත් අදහසය. විධායක ජනාධිපතිධූරය පාරලිමේන්තුවෙන් පත් කරන විධායක අගමැති ධුරයක් බවට පත් වන්නේ නම් පළාත් සභා බලතල ගැන අලුත් කථිකාවක් ඇති කිරීම අනිවාර්යය. පළාත් සභාත් තියාගෙන විධායක ජනාධිපතිධුරයත් අහෝසි කිරීම කියන්නේ අතිශයෙන්ම බරපතල තත්වත්වයක් නිර්මාණය කිරීමක් බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

අනෙක් කාරණය වන්නේ ජන්ද ක‍්‍රමය පිළිබදව ව්‍යවස්ථාවේ කුමක් යෝජනා කරන්නේද යන්න විමසීමය. මගේ තේරුම් ගැනීම අනුව 78 ව්‍යවස්ථාවේ තිබෙන හොදම කොටස වන්නේ මේ සමානුපාතික ජන්ද ක‍්‍රමයය. අද ශී‍්‍රලනීපයේ සමහරුන් කල්පනා කරන්නේ සමානුපාතික ජන්ද ක‍්‍රමය වෙනස් කළ යුතු යැයි කියාය. මේ කාරණය ගැන සිල්ලරට සිතීම නිසා පක්ෂයක් ලෙසින් අනාගතයේ බරපතල වන්දියක් ගෙවන්නට සිදුවිය හැකි බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය. ශ‍්‍රීලනීපයේ සිටින අපේ උගත් මන්ත්‍රී මිතුරන් කල්පනා කල යුත්තේ 1989 සමානුපාතික ජන්දය නොවන්නට පක්ෂයේ පසුකාලීන ජනාධිපතිවරුන් දෙදෙනෙකු බිහිවීම වැළකී යා හැකිව තිබු බවය. හම්බන්තොට හෝ පෙළොන්නරුවේ එකම ආසනයක්වත් 89 ජන්දයෙන් ශ‍්‍රීලනීපය දිනුවේ නැතත් සමානුපාතික ක‍්‍රමය හරහා මතුවූ නායකයින් දෙදෙනෙකු පසුකාලීනව ජනාධිපතිධුරය දක්වා ගමන් කළ බව සිහි කිරීම මේ මිතුරන්ගේ අනුපාත ක‍්‍රමයට විරුද්ධවීම එරෙහිව මතු කළ හැකි එක් කාරණයක් පමණක් ය.

අද වන විට ප‍්‍රායෝගිකවම අපට පෙන්නුම් කරන්නේ මේ රටේ ව්‍යවස්ථා හැදිමේ ඉතිහාසය යනු රටේ ප්‍රශ්ණය​ ව්‍යවස්ථාවේ ප්‍රශ්ණය​ක් බවට පත් කර ගැනීමේත් ඒ ප්‍රශ්ණය​ විසදිමට කියා අලුත් ප‍්‍රශ්න ඇතිකරගැනීමේත් ඉතිහාසයක් බවය. මේ වතාවේ කරන්නේත් ඒ නාටකයේම තවත් එපිසෝඩ් එකක් දැයි විමසීම වටිනා ප‍්‍රශ්නයක් බව මගේ හැගීමය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.