20 October, 2017

භාෂාව සහ දේශපාලනය

චරිත හේරත්

චරිත හේරත්

භාෂාව සහ දේශපාලනය අතර ඇත්තේ ආසන්න සම්බන්ධතාවයකි. එයිනුත් ප‍්‍රජාතන්ත්‍ර​වාදය සහ භාෂාව අතර ඇත්තේ ඊටත් වඩා ළග සම්බන්ධයකි. භාෂණයේ නිදහස යනුම ප‍්‍රජාතන්ත්‍ර​වාදයේ දී පිළිගනු ලබන වැදගත්ම දෙයකි. මෙහිදී “භාෂාව” සහ “භාෂණය” යනු හුදු පෞද්ගලීක දේපොළක් (private property or private activity) ලෙසින් හෝ පෞද්ගලීක කි‍්‍රයාකාරකමක් ලෙසින් සමහර විට අප විසින් අභ්‍යුපගමනය කළත් එය “පොදු අවකාශය තුළ පමණක් අර්ථවත් වන සංනිවේදන තත්ත්වයක් ” (communicative condition which gets the meaning ONLY in public space) ලෙසින් තේරුම් ගැනීම මෙහිදී අතිශයෙන්ම වැදගත්ය. එවැනි තේරුම් ගැනීමකදී භාෂාත්මක බව හෙවත් භාෂාත්මක මැදිහත්වීමකට ඇති හිමිකාරීත්වය යනුම නිශ්චිත සත්භාවාත්මක ප‍්‍රාග්ධනයක් ලෙසින් සැළකිය හැකිය. මේ පා‍්‍රග්ධනය හැමෝටම තිබෙන බැවින් එය “සතුවීම” හෝ “සතුනොවීම” යන අර්ථයෙන් ධුරාවලීගත කළ නොහැකිය. එහි ධුරාවලීගතභාවය ඇතිවන්නේ භාෂාවක් භාවිතා කිරීමේ සංස්කෘතික අවකාශය තුළය. උදාහරණයක් ලෙසින් ගතහොත් තමන් භාෂාවක් කථා කරනවාද යන්න ප‍්‍රශ්නයක් හෝ ධුරාවලීගත තත්ත්වයක් නොවුනත් තමන් කථා කරන්නේ තුමන භාෂාවද යන්න වැදගත් දේශපාලනමය ප‍්‍රශ්නයක වන්නේ එනිසාය. තමාගේ පැවැත්මේ ධුරාවලීගතභාවයට කථා කරන භාෂාව සම්බන්ධ වේ. තමන් කථා කරන භාෂාවට ලෝක දේශපාලන සිතියමේ ලැබෙන තත්ත්වය කුමක්ද සහ එම භාෂාවට බල දේශපාලනික ස්ථානගතවීම තුළ සහ ඓ තිහාසික සන්දර්භයන් තුළ ලැබෙන තත්ත්වයන් කවරේද යනු මෙයටම අදාළ ප‍්‍රශ්නයන් ය. එසේම තමන්ගේ භාෂා භාවිතය ස්ථානගත වන සමාජ කථිකාව කුමක්ද යන්නද එවැනිම වැදගත් වූ ප‍්‍රශ්නයක්ය.

මීලග වැදගත්ම කාරණය වන්නේ මේ භාෂාත්මක භාවය භාෂාත්මක පැවැත්මක් බවට පත්වීමේ කි‍්‍රයාවලියට සාපේක්ෂකව එය පා‍්‍රග්ධනයක් බවට පත් වන ආකාරයය. එයට භාෂා පා‍්‍රග්ධනය ලෙසින් නම් කළ හැකි ය. (පියරේ බෝඩියෝ මෙම කාරණය ගැන විශේෂ වශයෙන් සාකච්ජා කර තිබේ ) දැන් දේශපාලනයේ මේ භාෂා පා‍්‍රග්ධනය යෙදෙන ආකාරය සමග උපරි ව්‍යුහයේ දේශපාලනය ඝෘජුවම සම්බන්ධ වේ. අධෝ ව්‍යුහයේ දේශපාලනයට හෙවත් ආර්ථිකයට හුවමාරු මාධ්‍ය ලෙසින් මුදල් දරන ප‍්‍රධානත්වය උපරි ව්‍යුහයේ දේශපාලනයේ දී දරන්නේ භාෂාව යැයි කී මේ වැරුද්දක් නැත. මෙය ඉතාමත් වැදගත් කාරණයකි.

“මුදල්” සහ “භාෂාව” අධෝ ව්‍යුහයේ සහ උපරි ව්‍ය්හයේ දේශපාලනයේ හුවමාරු ඒකක බවට පත් වීම හරහා සිදු වන්නේ රටක බලය වෙනස් කරන සාධකයන් දෙකක් ලෙසින් මුදල් හිමි පංතිය සහ මුදල් නොමැති නමුත් අදහස් හා භාෂාත්මක නිපයුම් ඇති අයගේ ගැටුමක් ලෙසින් මතු වීමය. ඒ අය අතර ගැටුමක් නොවේ. උදාහරණයක් ලෙසින් ආසියාතික සමාජයේ ජන්දදායකයින්ගේ මැදිහත්වීම් (මැතිවරණයකින් ආණ්ඩු වෙනනස් කිරීම) තීරණය කරන සාධකය වන්නේ ඒ ඒ රජයන් විසින් සිදු කළ භෞතිකමය වූ සංවර්ධන ජයග‍්‍රණ​යන් නොවන බව තේරුම් ගත හැක්කේ ඒ අර්ථයෙනි. ආසියාතික රටවල ජන්දදායකියන් හැසිරෙන්නේ යම් රජයක් විසින් සිදු කළ දේශපාලන කි‍්‍රයාකාරීත්වයන් “භෞතිකව” විමර්ෂකය කිරීමෙන් නොව අනාගතය පිළිබදව වූ උපකල්පනාත්මක හෝ අභ්‍යුපගමය අලංකාරිකයන් මත බැලීමෙනි. 1965 සිට මෙරට දේශපාලනය හැසිරෙන ආකාරය බැලුවහොත් මේ තත්ත්වය ඉතාමත් හොඳින් පෙනී යන කාරණයකි. 1970 මැතිවරණයෙන් එදා සිටි ඩඩ්ලිගේ ආණ්ඩුව පැරදුනේ එම රජය අධෝ ව්‍යුහයේ (ආර්ථික කළාපයේ) වැඩ නොකළ නිසා නොව අනාගත රජයක් පිළිබදව සමගි පෙරමුණ ඉදිරිපත් කළ “අලංකාරිකය” නිශ්චිත වූ නිසාය. 1977 දී සමගි පෙරමුණ බරපතල ආකාරයෙන් පරාජයට පත් වූයේ එම රජය “බිම වැඩ” නොකළ නිසා නොව ‘කථා අවකාශය’ තුළ අනාගතවාදී අලංකාරිකයක් ලෙසින් එජාපය ගෙන ආ දේශපාලනමය ආතතියට (political stress) සහ අනාගතවාදී අලංකාරිකයට ප‍්‍රතිචාරයක් ඒ ආණ්ඩුවට නොතිබූ නිසාය. 1994 මැතිවරණයෙන් එජාපය පරාජයට පත් වීමට ඒ පක්ෂය ඇතුළේ තිබූ ගැටලුව හේතුවක් වුවත් ‘වැඩ’ පැත්තෙන් බැලූ විට එජාපය බරපතල භෞතිකමය වූ වෙනසක් රට තුළ කර තිබූ බව අපට මතකය. එහෙත් ඊට පෙර රජයේ ප‍්‍රධාන තැනක් නොතිබූ චන්ද්‍රිකා මැතිණියගෙන් ඉදිරිපත් වූ එජාපයේ දේශපාලනයට එරෙහි ආතතිය සහ “සාමයේ උදාවයි දුක් ගිනි නිමාවයි” වැනි අලංකාරිකයන්ගෙන් දේශපාලනමය වු භාෂා විශ්වය මගින් එජාපයේ “බිම වැඩ” ජන්දයේ දී මකා දැමු බව අපට පිළි ගත හැකිය. අනෙක් අතට 2015 මහින්දගේ පරාජය වුවත් තේරුම් ගත හැකි ඉතාමත් පැහැදිලි පදනමක් වන්නේ මේ උපරි ව්‍යුහයේ භාෂාත්මක අලංකාරික දේශපාලනයේ තත්ත්වයයි. අධිවේගී මාර්ගය “බිම වැඩක්” ලෙසින් දෑහින් දකිද්දී “රත්තරන් අශ්වයන්” වැනි අලංකාරිකයන් භාෂා විශ්වයක අධිපති ධුරාවලියක් බවට පත් වූයේ එවැනි උපරි ව්‍යුහයක දේශපාලනයක ස්වභාවය පෙන්නුම් කරම්න් ය.

දැන් මේ සටහනින් මා මතු කරන තර්කය වන්නේ ආසියාතික සමාජවල විශේෂයෙන් ශී‍්‍රලංකාවේ මැතිවරණ දේශපාලනය තුළ රාජ්‍ය​ බලය ජන්දයෙන් වෙනස් කිරීම සම්බන්ධයෙන් මූලික හා ආසන්න හේතුන් වශයෙන් බලපාන්නේ උපරි ව්‍යුහයේ අලංකාරිමය තර්කනයන් මිස අධො ව්‍යුහයේ වැඩ දේශපාලනය නොවන බවයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    Ane Charitha Oya genanang apita hari dukai ane. Mehemath kunu appulanavada [Edited out]!!!!!! hi…hi…hi..?

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.