20 April, 2024

Blog

අවුරුදු සතුට, සෞභාග්‍ය මතට කුණු කඳු

ක්‍රිෂ්මාල් වර්ණසුරිය

ක්‍රිෂ්මාල් වර්ණසුරිය

කට මුඛවාඩම් දමාගෙන සිටීම්ටට බැරිම කල්හි – නැගෙන අදෝනා

2015 ජනවාරි 08 නිහඬ විප්ලවයේ මෙහෙයුමට සහභාගී වූ බව නොභියව ඕනෑම තැනක ප්‍රකාශ කිරීමට මැලි නොවෙනවා සේම, එදා මෙදා තුර එම “යහපාලන රසය” බිඳ වැටුණු හෝ බිඳ වැටීමේ අවකාශයක්, අවදාමක් දුටු සෑම විටකම ඒ වෙනුවෙන් හඬනැගීමෙටද, ජනතා මතය අවදි කිරීමටද අප සමහරෙක් එසේම ඉදිරිපත් වුනෙමු; වෙර දරුවෙමු. එහෙත් වටිනා කාලය මිඩංගු කරමින් දරන එම ප්‍රයත්න වල ආවස්ථික පිරිවැය (opportunity cost) මැනබලා, එසේ නඟන හඬ කොතෙක් කීවත් නෑසෙන කල්හි හෝ එයට සවන් දීමට / එය ජනතාව අතරට ගෙනයාමට වඩා වැදගත් කාර්යන් මහජනයාට හෝ ජනමාද්‍යට ඇති බව තේරුම් ගත් කල්හි, අපද “අපේ වැඩක් බලාගෙන කට වහගෙන සිටීම” මැනවයි හිත හදා ගැනීමට පුරුදු වී සිටින්නෙමු.

එසේ ස්වයාතයෙන්ම කටමුඛවාඩම් දමාගෙන සිටින කල්හිද තම සහුර්ද ජනයා මත කඩා වටෙන හෙනගෙඩි දිහා බලබලා කිසියම් හෝ දෙයක් නොපවසා සිටීම ඉවසිය නොහැකි කල්හි, මෙසේ අදහස් ස්වල්පයක් ප්‍රකාශ කිරීමට ඔබේ අවසර පතමි! ඊයේ රාත්‍රියේ කුනුකඳු ඛේදවාචකයට හසුවූ සියලු ජනතාවටද ඔබ සෑම දෙනාගේම පවුල් වලටද ශෝකය ප්‍රකාශ කරමි!

මෙම වදන් වල අරුත දැන් පවතින ආණ්ඩුව මාරු කර තිබූ ආණ්ඩුව නැවත ගෙන ඒමක් නොවන බව ඉතාම පැහැදිලිව සඳහන් කල යුතුය; මෙය එසේ “දේශපාලන බල මාරුවක්” ගැන කෙරෙන සාකච්චාවක් නොවන බවත්, ඉන් ඔබ්බට ගිය බුධ්ධීමය සංවාදයකට ඇරයුමක් බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි.

“මෙගාපොලිස්” තියා හොරා පොලිස් හරියට කරගන්න බැරි කල්හි – නැගෙන අදෝනා

ව්‍යවස්ථාවෙන්ම ජනතාව සතු රාජ්‍ය බලය අප පොදු භාරයක් මත, ආණ්ඩුකරණ කාර්ය කිරීම සඳහා ආයතන ත්‍රිත්වයකට කලින් කලට පවරන්නෙමු; එනම් අපගේ විධායක බලය ජනාධිපති කෙනෙක් ප්‍රමුක කැබිනෙට් මණ්ඩලයක් මතද, ඒ වෙනුවෙන් නීති රීති සැදීමේ බලය අගමැති කෙනෙක්, විපක්ෂයක් සහිත පාර්ලිමෙන්තුවකටද, එම නීති සහ විධානයන් ක්‍රියාත්මක වීමත් නීතියේ ආධිපත්‍යට යටත්ව ආණ්ඩුකරණය වන බවට වගබලාගැනීමට විනිශ්චයකරුවන් සහ නීතීඥයින්ගෙන් සැදුම් ලත් අධිකරණ පද්ධතියකටය. මෙසේ අප විසින් භාරදී ඇති රාජ්‍යබලය ආණ්ඩුකරන කාරයේ යෙදවීමේදී ජනතා සුභසිද්ධිය පසෙකලා තම සුඛවිහරණය ප්‍රමාණවත්යයි සිතමින්, එදිනදා මහජනයා මත කඩා වැටෙන දුක්-කඳු සහ එම දුක මත මාලිගා තනාගෙන රාජතේජසින් වැජබෙන්නන් අතලොස්සක් සහ ඔවුන් වටා රැස්වූ සහචරයින් අතර පමණක් රැඳේ නම්, එවන් ආණ්ඩුකරණයක් පලවා හැර නව මාවතක් සෙවීම ජනතා අයිතියක් සහ වගකීමක් බව දේශපාලන විද්‍යාව අවධාරණය කරයි. වසර දෙසිය පනහකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය බිහිවීමෙදීද, ඊට මෑත ඉතිහාසයේදී කියුබානු විප්ලවයේදීද සිදුවුයේ එයයි; 2015 ජනවාරියේදී ශ්‍රී ලාංකික අප කලේද එයයි.

එක්සත් ජනපදය බිහිකිරීමට මූලික වූවන් එය මෙසේ ඉතා ආකර්ශනීය ලෙස ඔවුන්ගේ “නිදහස් ප්‍රකාශනයේ” (1776 – US Declaration of Independence) කෙටුම්පත්කොට ඇත –

“ … We hold these truths to be self-evident, that all men are created equal … they are endowed … with certain unalienable Rights … Life, Liberty and the pursuit of Happiness…to secure these rights, Governments are instituted … deriving their just powers from the consent of the governed, That whenever any … Government becomes destructive of these ends, it is the Right of the People to alter or to abolish it, and to institute new Government … when a long train of abuses and usurpations, pursuing invariably the same Object evinces a design to reduce them under absolute Despotism, it is their right, it is their duty, to throw off such Government …”

එය සංක්ෂිප්ත ලෙස පරිවර්තනය කළහොත් – “… මූලික වූ සත්‍යයන් නම් සියලු ජනයා සමානව බිහිවී ඇති බවත්, ඔවුන් වෙත අන්සතුකල නොහැකි අයිතීන් සමුදායක් ජන්ම උරුමයෙන්ම දායාද වී ඇති බවත්, එනම් … ජීවත්වීමට, නිදහසට සහ ආත්ම තෘප්තිය සෙවීමට ඇති අයිතිය … ආණ්ඩුකරන ක්‍රියාවලියේ අරමුණද, එසේ ආන්ඩුකිරීමට ඇති අයිතියද බිහිවන්නේ මෙම අයිතීන් මුදුන්පත්කරගැනීම මත පමණක් බවත්, එය එසේ නොවන්නේනම් … දීර්ඝ කාලීනව පෙනී යන්නේ මෙම මූලික අයිතීන් පසෙකලා හිතුමතේට ක්‍රියාකිරීමක් නම්, එවන් ආණ්ඩුවක් පලවාහැර තම හිමිකම් උකහාගැනීමට ක්‍රමයක් සෙවීම තම අයිතිය සහ යුතුකම …” වන බවයි.

“දුක සහ දුකට හේතුව” පමණක් සෑමදාම සොයන කල්හි – නැගෙන අදෝනා

මෙම කුනුකන්ද අද ඊයේ ඇතිවූවක් නොවේ, වසර ගනනාවක් තිස්සේ මෙම දුක මේ මිනිසුන් කී දෙනෙක්ට නම් කියා ඇත්ද? ඔය කුනුකන්දේ ආනුභාවයෙන් නාගරීක, පළාත් හා රාජ්‍ය නියෝජිතයින් කී දෙනෙක් නම් පත්වී ඇත්ද? මෙවන් දුක් කඳු කී දාහක්, කී වතාවක් අප මහජයනා මතට එදිනදා කඩා වැටෙනවාද?

ඉතිහාසයේ සිටම, මහා බලසම්පන්න රජ කෙනෙක් සහ විහාරය මුල් කොටගත් චතුරාර්ය සත්‍යය සහ එහි අවභෝධය සොයා යන, ඒ වටා ගොඩනැඟුණු අපේ ජීවන අර්ථ ක්‍රමය නිසාම අප “දුක” යන්න සහජයෙන්ම හිමිවන යමක් සහ අපේ ජීවිතය වනාහි එම “දුක” නැති කරගැනීමේ මාර්ගය වටා නිර්මාණය වූවක් කියා සිතනාවාදැයි විටක හැඟෙන්නේද මේ නිසාමය. ලොව්තුරා බුදුදහම ආරක්ෂාකරමින්, එය පෝෂණය කරමින්, එහි ආනුභාවය තුලින් අපගේ ආත්මීක අභිවුර්ධිය සකසා ගන්නා සේම, මේ සියලු “දේශපාලන දුක්” වලට හේතු කාරක වූ මෙම විෂම චක්‍රය, අපට අවශ්‍ය දේ ලබා නොදෙන මෙම පවතින “දේශපාලන ක්‍රමය” වෙනස් කිරීමේ ප්‍රයත්නයට එළඹීමට අපි ප්‍රමාද වන්නෙමු. අප වෙනුවෙන් තීරණ ගන්නා ආයතන වලට, එය විධායක, ව්‍යවස්ථාදායක හෝ අධිකරණ වේවා, අපට අනුමත කල හැකි, ඒ සඳහා නිපුනත්වයක්, අධ්‍යාපනයක් සහ සුදුසුකමක් සපුරා ඇති, අපට ඍජුව වගකියන (එසේ වගනොකියන්නේ නම් ලෙහෙසියෙන් පන්නා දමා වෙනකෙකු පත් කල හැකි) ක්‍රමයක් සෙවීමේ කාලය අප ඉදිරියේ ඇත; එය උපනූපන් ශ්‍රී ලාංකේය ජාතිය වෙත අපගෙන් ඉටුවිය යුතු වගකීමකි.

මෙය ආණ්ඩුවක් මාරු කිරීමෙන් පමණක් වන්නේයයි සිතීම “ඉසියම්මට කෝට්ටේ මාරු කරා” වගේ වැඩක් බව 2015 ජනවාරි 8න් පසු අප සැමදෙනාටම අවබෝධ වියයුතු සත්‍යයකි; එසේ අවබෝධ වී නැත්නම් තවත් කඳු ගණනාවක් කඩා වැටනකම් අපි බලා සිටිමු!

ස්වෛරී ජනතාවක් ගොන් හරක් රැලක්යයි පාලකයන් සිතන කල්හි – නැගෙන අදෝනා

1948 දේශපාලන නිදහස ලබා ස්වෛරී රාජ්‍යක් වූ අපි, 1972 දී ව්‍යවස්ථාවක් මගින් ජනරජයක් නිදහස්ව බිහි කරගත් අපි, 2009 දී වසර 30ක ත්‍රස්තවාදී පිළිකාවෙන් නිදහස් වූ අපි, 2015 ජනවාරි මස කෘර, ඒකාධිපති පවුල් පාලනයකින් මහජන බලය තුලින් නිදහස් වූ අපි, අද සැබවින්ම නිදහස්, නිවහල් ජාතියක්ද?

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී…” යයි වචනයෙන් කියූ පමණින් එම අයිතීන් අපට ලැබී ඇත්ද? හෙට මැතිවරණයක් පැවැත්වුවහොත් (එය පළාත් පාලන, ප්‍රාදේශීය හෝ පළාත් සභා, මහා මැතිවරණයක් හෝ ජනපතිවරණයක් වේවා), ඔබටයි මටයි කැමති නියෝජිතයෙක්ව අපගේ දේශපාලන පක්ෂ ලැයිස්තුවට ඇතුලත් කල හැකිද? එසේ නැත්නම් අප ගොස් කතිරය ගසන්නේ පක්ෂ නායකත්වය විසින් අප ඉදිරියේ තබන අයවලුන්ටද? එසේ නම් පත් වන්නේ ඔබ කැමති කෙනාද, නැතිනම් පක්ෂ නායකයා කැමති කෙනාද? හෙට රාජ්‍ය දෙපර්තමෙන්තුවකට ගොස් එහි ප්‍රධානියෙක්ගෙන් ප්‍රශ්නයක් ඇසීමට, පිළිතුරක් නොලැබෙන්නේ නම් ඒ සඳහා ක්ෂණික පිලියමක් ලබා ගැනීමට ඔබට හැකියාවක් ඇත්ද? ජනතාවාදී නීති, රීති කීයක් පසුගිය වසර පහ තුල අප ව්‍යවස්ථාදායකයෙන් ඔබට ලැබී ඇත්ද? මිලියන ගණනාවක් වියදම් කොට පවත්වන පාර්ලිමේන්තු සැසිවාර වලට ඔබ පත්කර යැවු කී දෙනෙක් සහභාගී වන්නේද? ඔබට ප්‍රශ්නයක්, ඔබේ අයිතියක් උල්ලංගනය වූ වහාම ඔබගෙන් කී දෙනෙක් මූලික පිලියමක් වශයෙන් අධිකරණයේ පිහිට පතන්නේද? ශ්‍රී ලංකා රාජ්‍ය සහ ඔබවත් මාවත් දේශ දේශාන්තර වල නියෝජනය කරන තානාපති සේවයේ කී දෙනෙක් ඒ සඳහා සුදුසුකම් දරන්නේද?

2018 දී වසර 70ක අධිරාජ්‍යවාදීන්ගෙන් පුර්ණ නිදහස ලැබීම සැමරීමට නියම මගේ ආදර මව්බිමට, මගේ ජන්ම උරුමයක් වූ සහෝදර සිංහල, දෙමල, මුස්ලිම්, භරගර් එකතු ඒකීය ලාංකික ජාතියට සැබෑ නිදහසේ මල් පිපේවා! මින් මතුවත් අප සහුර්දයන් මත කඳු පතිත වන තුරු අපි අඩ නින්දේ පසු නොවේවා! මනසින් සහ චින්තනයෙන් නිදහස්ව සිතීමට, තීරණ ගැනීමට ප්‍රඥාව පහල වේවා! දුගී බැවින් සහ වැඩවසම් “master/sir” ආකල්පයෙන් මිදී, සැබෑවූ නිවහල් විඥානයෙන් බල සම්පන්න වී, ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩනැගීමට මගේ මව්රටට දේව කරුණාව ඒවා, තුනුරුවන්ගේ බලය උදා වේවා!

දිනෙන් දින “ජීවිතයේ කඳු” තරණය කරන්නාවුද, තම හිස මත පතිත වන්නාවූද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලංකාවාසී සහුර්ධ සිංහල/දෙමල මහජනතාවටද, උපේක්ෂාවෙන් මැඩලගත් සතුට හිමි සෞභාග්‍යමත් නව වසරක් පතමි!!!

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    කෘර එකාදිපති පාලනයක් මහජන චන්දෙයෙන් පෙරලුවනම්, එක කෘර එකාදිපති පාලනයක්ද…..මොලෙ කලදක් නෑති ජනවාරි 8 සුරන්ගන කතාවලට රෑවටි, මුලු රටම යහපාලනය නම්වු කුනුගොඩට යටකර විනාශකල ගොන් තක්කඩින්ගෙ හිත නිවන ක්තා

  • 0
    0

    මීතොටමුල්ල කුණු කන්දෙ ඛේදවාචකය පිටින් අරින මේ මොන බයිලාවක්ද?

    බොරු පොරොන්දු දීල බලය ගත් රනිල/සිරා දැන් අවුරැදු දෙකහමාරක් ‘යහපාලනයක්’ කියල මහ දවල් මහබැංකුවට විදල රාජපක්ෂලගෙ හොර සල්ලි අැල්ලුවා කියල බොරැ කියන එක මේ මිනිහට පෙනෙන්නෙ නැහැ. පංච විධ ක්‍රමයට කාර් දෙනව කියල ත්‍රිවීලයේ මිලත් වැඩි කරල හැම බද්දක්ම වැඩි කරල දඩත් වැඩි කරල අගමැටියට ජඩපතියට මැත්තන්ට අැමැත්තන්ට ෆොනියට කෝටි ගනන් වියදම් කොරල සැප කාර් තොග පිටින් ගෙනෙන එක පෙනෙන්නෙ නැහැ.

    ඒ් අස්සෙ මරික්කාරය බොරැ උද්ඝෝෂණ කොරන හැම දවසෙම කුණු කන්ද තව තවත් ලොකු උනා කියල පෙනෙන්නෙත් නැහැ. අන්තිමට කුණු කන්දෙ බර වැඩි වෙලා ගෙවල් යට කරගෙන මිනිස්සු පන පිටින් වලල ගෙන නාය ගියහම ‘ජඩපාලන’ හැත්ත බුරුත්තම කියනවා වැරැද්ද රාජපක්ෂලගෙලු.

    මේ හතර බීරි කතා අහල අපි අඬමුද, හිනා වෙමුද, නැත්නම් හැතිකරේට විරුද්ධව පෙල ගැසෙමුද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.