24 September, 2023

Blog

බොදුබල සේනා සහ සිංහල මනෝ විකාරය

චාර්ල්ස් සර්වාන්

චාර්ල්ස් සර්වාන්

‘සිංහල මනෝ විකාරය’ යැයි මා කියන විට එයින් සියලූ සිංහලයන් අදහස් නොවන බව පැහැදිළිවම කිව යුතුය: එය, නූලටම නිවැරදි නැතත්, වඩාත් උචිත, කෙටි යෙදුමකි. සිංහල පුද්ගලයන් සහ කණ්ඩායම් ගණනාවක්, මේ කියන සිංහල මනෝ විකාරය, එහි අතාර්කිකත්වය, වෛරය සහ ඒවා ගමන් කළ හැකි දිසාව කල්තියා හඳුනාගෙන, තමන්ට සහ තම පවුල්වලට එල්ලවිය හැකි බරපතල අවදානම් පවා නොසළකමින්, ඊට එරෙහිව නැගී සිටිත්. ඔවුන් එසේ කරන්නේ, ප‍්‍රතිපත්තිමය සහ ආචාරධාර්මික පදනමක් මත යි: සියලූ මිනිස් ජීවීන් මුලික වශයෙන් එක සමාන බවත්, ඒ නිසාම, සමානයන් වශයෙන් සැලකීමට ඔවුන් සියල්ලන් සුදුස්සන් වන බවටත් ඇති තිරසාර විශ්වාසය ඒ පදනමයි. මේ ස්ථාවරය, අනිකා කෙරෙහි ගෞරවය ජනිත කරයි.

මනෝ විකාරය නැමැති අනිත් යෙදුම, යථාර්ථය සමග ඇති සම්බන්ධය හෙවත් සැබෑව සමග ඇති සම්බන්ධය බිඳ හෙලන මනෝගතයක් වශයෙන් හැඳින්විය හැකිය.

සිංහල ‘ජාතිය’* සහ බුද්ධාගම මත හදිසියේ කඩාපාත්වීමට යන මරාලයක් ගැන බොදුබල සේනාව හඩතලයි. ‘‘ගේ ගිනි අරං’’, ‘‘හතුරා ඇවිල්ලා ගේට්ටුව කඩනවා’’, ‘‘නැව ගිලෙනවා’’ ආදී වශයෙනි. දැනට මේ අනතුර මූලිකව එල්ල වන්නේ මුස්ලිම් ප‍්‍රජාවෙනි. ඔවුන්ගේ ප‍්‍රමාණය රටේ ජනගහනයෙන් සියයට 8 ක් පමණි. ලංකාව පාලනය වන්නේ, (සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් වෙනස්ව* බහුතරයේ ක‍්‍රමයකින් නිසා, බලය තුළ මුළුමණින්ම වැජඹෙන්නේ සිංහල බෞද්ධයා ය. එබැවින් මේ කුලප්පුව, අත්‍යන්තයෙන්ම මුග්ධ ය. එය භීතියක් නොව, භීතිකාවකි. ‘ජාතිය’ සහ ආගමට එල්ල වෙතැ යි කියන හදිසි ආපදාව පිළිබඳ හැඟීම, ඒ නිසා බරසාරව ගැනේ. (වොල්තෙයාර් කී පරිදි, අභූතය ඇදහීමට මෙහෙයවෙන තැනැත්තාව දාමරිකත්වයට මෙහෙයැවීම ද කළ හැකිය*. පුංචි නරියෙක් දෙන්නෙක් තමන්ව මැඩපැවැත්වීමට යන්නේ යැයි බියෙන් ඇතෙක් කුංචනාද කරයි. ටිකක් හිතා බලන්න. පාකිස්ථානයේ යම් දේශපාලන වේදිකාවක, තමන්ගේ ඉස්ලාම් ආගම වෙනත් ආගමකට බිළිවන්නට යන්නේ යැයි යම් පක්ෂයක් මරලතෝනි දුන්නොත් එය මොන තරම් විකාරයක් වනු ඇත් දැ යි සිතාගන්න. බොදුබල සේනා නායකයන් ඇත්තෙන්ම තමන් කියන දැ විශ්වාස කරන්නන් ද? නැතහොත්, ‘ජාතියේ’ සහ ආගමේ ආරක්ෂකයන් වශයෙන් තුමූම පත්ව, ඒ මත පදනම් වෙමින් බලයට අතවැනීමේ අවසරයක් එමගින් සපයා ගන්නන් ද? එසේත් නැතහොත්, ආගම සහ ‘ජාතිය’ පාවිච්චි කොට, මුස්ලිම් වෙළඳ ව්‍යාපාර සියතට ගැනීමේ ප‍්‍රයත්නයක කොටස්කරුවන් ද? (හිට්ලර්ගේ නට්සිවාදී පාලන කාලයේ ජර්මනියේ ඉතා සුළු ප‍්‍රජාවක් වූ යුදෙව්වන් අති බලවත්ව සිටි බවට එදා පැවති සමාජ ආකල්ප, මේ සමග සන්සන්දනය කොට බලන්න.*

බොදුබල සේනා යනු, වැදගම්මකට නැති විකාර පතුරක් පමණකැ යි සිතා නොතකා හැරීම අපහසු නැත. එහෙත්, පරිහාසයෙන් ඉවතලූ සහ අවතක්සේරු කොට නොතකා හල ඇතැම් බලවේග, රටක බලය අල්ලා ගැනීමට නොවේ නම් රටක සිදුවීම් පෙළගැස්ම කෙරෙහි බරපතල බලපෑම් ඇති කිරීමට සමත්ව ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. එනිසා, අතාර්කිකත්වය තාර්කිකව වටහා ගැනීමට උත්සාහ කළ යුතුව තිබේ. දේශීය මෙන්ම විදේශීය ලේඛකයන් ගණනාවක් විසින් පෙන්වා දී ඇති පරිදි, ශ‍්‍රී ලංකාවේ අතිබහුතරයක් හීනමාන සංකීර්ණයෙන් පෙළෙත්. එය, අනාරක්ෂාව පිළිබඳ හැඟීමක් සහ ඒ මගින් උත්පාදනය කෙරෙන බියක් හේතුකොටගෙන ඇති වන්නකි.

ජීවන සහජාසය ඕනෑම ජීවියෙකුට මූලික වැදගත්කමකින් යුක්ත වෙයි. ජීවිතය අවසන් වේ දෝ යන බිය, ඉතා බලවත්, ප‍්‍රධාන සහ පුරාතන (නිෂේධනීය අරුතකින් නොව* චිත්තවේගයක් වන්නේ එබැවිනි. නොනැසී පැවැත්ම සඳහා වන පේ‍්‍රරණය, ක්ෂය වීම හෝ අහවර වීම අරභයා ඇති වන බිය සමග එකට ඈඳෙයි. බිය හටගැනීම හේතු කොටගෙන, සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ද හැසිරීම් රටා, අන්තගාමී සහ නාස්තික ආකාරයකින් විපර්යාසයට ලක්විය හැකි ආකාරය විද්‍යාඥයන් අධ්‍යයනය කොට තිබේ. මෙය වටහාගෙන ඇති දේශපාලඥයෝ, අතීතය වෙත ආපසු දිවීමේ කුලප්පුව වෙත අපව දක්කති. නොනැසී පැවැත්මට එල්ල වන තර්ජනයක් පිළිබඳ බියක් කෙනෙකු තුළ ජනිත කරන්න, එවිට කෲර ආකාරයෙනුත්, සාහසික ආකාරයෙනුත් ප‍්‍රතිප‍්‍රහාරයට එළැඹීම මානව රංචුවේ ස්වභාවය බව ඔබට වැටහෙනු ඇත. අවාසනාවකට මෙන්, දේශපාලනයේ දී දයාව සහ පරාර්ථකාමීත්වය කෙරෙහි වන ආයාචනයන්ට වඩා සාර්ථකව, මිනිසුන්ව උසිගස්වා පෙළගස්වනු ලබන්නේ, භීතිය විසිනි. ආලයට වඩා භීතිය බොහෝ සෙයින් කාර්යක්ෂම අවියකි. හේතු බුද්ධියට ආමන්ත‍්‍රණය කිරීමට වඩා, සාධාරණත්වය, සමානාත්මතාව සහ විනීත භාවයේ සංකල්පයන්ට ආමන්ත‍්‍රණය කිරීමට වඩා ප‍්‍රබල ආකාරයකින් භීතියට ආමන්ත‍්‍රණය කළ හැකිය. කණ්ඩායමක් තුළ ඇති වෙන අනාරක්ෂාව සහ බියට පිළිතුරක් වශයෙන්, බලය, අධිකාරීත්වය සහ පාලනය තමන් සතු කරගෙන, ඒ හරහා ආරක්ෂාව සහ උන්නතිය අත්පත් කරගැනීම කෙරෙහි මිනිස් රංචුව යොමු වෙත්. පවතින සමාජ තත්ත්වයන් කෙරෙහි වන අතෘප්තිය නිසා ද අන්‍යදෝෂධාරීන් සෙවීමට වෙහෙසෙත්. තව ද, පවතින තත්ත්වයේ සැබෑ හේතුකාරකයන් සහ අසාර්ථකතා වෙතින් අවධානය වෙනතකට හැරවීමට ද, අන්‍යදෝෂධාරීන් වෙතට ඇඟිල්ල දිගු කිරීම හරහා හැකි වන්නේය.

මා සිතන පරිදි, බොදුබල සේනාවෙන් කෙරෙන්නේ, මනෝ විකාරයක් නිර්මාණය කිරීමට වඩා, සාමූහික විඥානය තුළ නිද්‍රාගතව ඇති මනෝ විකාරයක් උද්දීපනය කොට ඇහැරවීම යි. බොහෝ විට වැදගත්කම රැුඳෙන්නේ අක‍්‍රමවත්, හාස්‍යාකාර සහ බැලූ බැල්මට නොවැදගත් දේවල්වල නිසා, මම කුඩා නිදසුනක් දක්වමි. මීට අවුරුදු ගණනාවකට පෙර, දෙහිවල සිටි මගේ මව මගේ මිතුරෙකුට ඔහුගේ කාරුණික භාවය සහ සැලකිල්ල ගැන ස්තුති කොට ලිපියක් ලීවාය. ඒ වන විට, ඔවුන් දෙන්නා අතර පුරුක වූ මා සිටියේ විප‍්‍රවාසයේ ය. ඉන් පසු, ලන්ඩන් නුවර සිටි මට අර මිතුරා ලිපියක් එව්වේය. යම් දවසක දෙමළ කොටි ඔහුගේ නිවසට කඩාවැදුණොත් ඔවුන්ගෙන් තමන්ට කරදරයක් නොවනු පිණිස සහතිකයක් වශයෙන් මගේ අම්මා ලියූ ලියුම තමා රාමු කර තබාගන්නා බව ඔහු මට දන්වා තිබුණි. දැනට ජීවතුන් අතර නැති මගේ මිතුරා එදා ජීවත් වුණේ, දෙමළ බහුතරයක් වෙසෙන වැල්ලවත්ත වැනි ප‍්‍රදේශයක නොව, දෙමළ ජාතිකයන් සමග අවම සම්බන්ධයක් ඇති බලපිටියේ කුඩා ගමක ය. මගේ මිතුරාගේ මේ විහිළුව, එදා පැවති භීතිකාව නිරූපණය කරයි: කොටි සංවිධානයේ දියුණුම අවධියේ පවා 20,000 ක සාමාජිකත්වයක් නොඉක්මවූව ද, මුළු රටම ඔවුන් අත්පත් කරගන්නට යන්නේ ය යන භීතිකාවක්. (මගේ මිතුරාගේ පුතුන් දෙන්නාම හමුදාවේ සේවය කරමින් තමන්ගේ ජීවිත පරදුවට තබා සිටීම, මෙය තවදුරටත් අවබෝධ කර ගැනීමට උපකාරී විය හැකිය*.

භීතියට වෙනස්ව භීතිකාව පදනම් විරහිත වුවත්, අතාර්කික වුවත්, ඊට ගොදුරු වූ තැනැත්තාට (නැත්නම් එයින් ‘ආවේශ’ වු තැනැත්තාට* එය සත්‍යයක්ම, සැබෑවක්ම වන්නේය. ඇත්ත වශයෙන්ම, සැබෑ පදනමක් මත ගොඩනැගෙන බියට වඩා, අපැහැදිළි සහ අසංගත භීතිකාවක් වඩාත් සත්‍යයකැ යි එවැන්නෙකුට පෙනෙන්නට පිළිවන. බොදුබල සේනාව තුළ ඇති අනතුර එය යි. නොසළකා හල යුතු නොවැදගත් දෙයක් වශයෙන් එය පසෙකට දැමීම භයානක අත්වැරැුද්දක් විය හැක්කේ එබැවිනි.

වසර ගණනාවක් තිස්සේ මුල් ඇද ගනිමින්, සරුවට වැඩෙන්නට මේ භීතිකාවට හැකි වීමේ සංකීර්ණ ප‍්‍රපංචය විස්තර කිරීමට ඉතිහාසඥයන් සහ සමාජ විද්‍යාඥයන් මහන්සි ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ නිගමන සහ සොයා ගැනීම් සාමාන්‍ය ජන මනස තුළට කාවැදී නැත. (මේ කතිකාව පැවතියේ ඉංග‍්‍රීසි භාෂාවෙන් වීම ඊට එක හේතුවකි*. කණ්ඩායම්ගත ස්වයං=අවබෝධය, තාර්කිකත්වය සහ සබුද්ධිකත්වය විසින් භීතිකාව උදුරා දැමිය හැකිය. වර්තමාන අගතිගාමී චින්තාවන් පලවා හැරිය හැකිය. එවිට, සැබෑ ප‍්‍රශ්න සහ ගැටළු ගැන අවධානය යොමු කිරීමට ජනතාවට හැකි වෙනු ඇතැ යි, අපේක්ෂා කළ හැකිය.

පසු සටහන:

‘ජාතිය’ යන්න මා පෙරළු කොමා යටතේ තබන්නේ, ජාතිය විස්තර කළ හැකි කිසි විද්‍යාත්මක පදනමක් නැති බව බොහෝ කලක සිට සනාථ කොට ඇති බැවිනි. මිනිස් වර්ගයාගේ ජානමය උරුමය තනි සන්තතියක් බව මානව ජෙනෝමය පිළිබඳ අධ්‍යයනයන් මගින් ඕනෑවටත් වඩා ඔප්පු කොට තිබේ. ජාතිය යනු ප‍්‍රබන්ධයකි.

*2013 පෙබරවාරි 23 වැනි දා පළවූ The BoduBala Sena & The Sinhala Pscychosis නැමති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.