ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා වන නිලවරණයේ දී, ආණ්ඩුවේ සහාය ලද අපේක්ෂකයාව දෝෂාභියෝග=විරෝධයේ පෙරමුණේ සිටි අපේක්ෂකයෙකු විසින් අන්ත පරාජයට පත්කිරීම, ශ‍්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරියව විධායකය මගින් අශෝභන ආකාරයෙන් නෙරපා දැමීමට එරෙහිව රටේ නීති ප‍්‍රජාවේ බහුතරය අතරේ කැකෑරෙමින් තිබූ කෝපයේ තාර්කික ප‍්‍රකාශනයක් විය.
දේශපාලන නායකත්වය වෙත නිකුත්වන පණිවිඩයක්
මේ නිලවරණය මගින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය වෙත නිකුත් කෙරුණු පැහැදිළි අනතුරු ඇඟවීම අප තුළ ධෛර්ය දනවයි. අළුත්කඬේ අධිකරණය මැද්දටම ආණ්ඩුව තම හමුදාව සහ පොලීසිය එවන්නට ඇති. නීතිඥ සංගමයේ එදා නායකත්වය ඇතුළු තවත් අයවළුන්ව ආණ්ඩුව බියවද්දන්නට ඇති. නැත්නම්, පොළඹවන්නට ඇති. නිර්ලජ්ජිත ආකාරයෙන් අගවිනිසුරුවරියව දේශපාලනික දඩයමට ලක්කළ විධායකයට තීරණාත්මක අභියෝගයක් එල්ල කරමින් සිටි ව්‍යාපාරයක ශක්තිය, වඩාත් තීරණාත්මක මොහොතක දී, ඔවුන්ගේ ඒ මහා පාවාදීම මගින් දුර්වල කරන්නට ඇති. එහෙත් විසම්මුතිය එසේ නිර්දය ලෙස පාගා දමද්දී පවා, නීති ප‍්‍රජාවේ සාධාරණ කෝපයේ අරටුව බිඳී තිබුණේ නැති බව මේ නිලවරණය පෙන්නුම් කෙළේය.
මීට පෙර කිහිප වතාවකදීම මේ තීරුවේ පෙන්වා දී ඇති පරිදි, පසු ගිය මාස කිහිපයේ විධායකයෙන් අධිකරණයට එල්ල වු ප‍්‍රහාරයන් කෙරෙහි වන වඩාත් ප‍්‍රබල කෝපය ප‍්‍රකාශයට පත්වුණේ ප‍්‍රාදේශීය නීතිඥ සංගම් තුළිනි. දකුණු පළාතේ සමස්ත නීති ප‍්‍රජාවම පාහේ ඒවාට එරෙහිව නැගී සිටියහ. ඊට අමතරව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්බද නීතිඥ සංගම් ද පෙරමුණ ගත්තේය. මේ සාධාරණ කෝපය, දේශපාලන පක්ෂපාතීත්වයන් ඉක්මවා ගිය, එක්සත් භාවයේ දුර්ලභ නිරූපණයකි. එක දිගටම පවත්වාගත යුත්තේ, මේ නිලවරණයේ දී නැවත වරක් ප‍්‍රකාශයට පත්වුණු, අන්න ඒ එක්සත් භාවය යි.
හුදෙක් ආණ්ඩුවට විරෝධය පෑමට වඩා, පවතින අභියෝග ගැඹුරු ය.
අභියෝගය වන්නේ, හුදෙක් ආණ්ඩුවට විරුද්ධ වීමම නොවේ. නීති වෘත්තිය සහ බාහිර සමාජය අතර පවතින දුරස්ථ බෙදීම ඉවත් කිරීම ඊට වඩා සංකීර්ණ ගැටළුවකි. ශ‍්‍රී ලංකාවේ නීතිඥයන්ව සැළකෙන්නේ, සමාජ සාධාරණත්වය සඳහා වන හැඟීමකට වඩා තමන්ගේ පෞද්ගලික වෘත්තීය අවශ්‍යතා පිළිබඳ හැඟීමකින් යුත් පිරිසක් වශයෙනි. වඩාත් පුළුල් සමාජ වගවිමක් ගැන යෙදීමට වෙලාවක්වත්, කැමැත්තක්වත් නූතන ලෝකයේ නීතිඥයන්ට නැත. එය ඔවුන්මත් පිළිගනී. ඉතිං, නීතිය කෙරෙහි වන ආදරයක් ගැන කතා කරනුම කවරේ ද? එහෙත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීති ප‍්‍රජාවේ ස්වාධීනත්වය වැනි යෙදුම්, ප‍්‍රභූ පැලැන්තියකට පමණක් අදාළ වියුක්ත මනෝගතයන් වශයෙන් හඳුනා ගැනෙන තාක් කල්, මොන අරගල පටන් ගත්තත්, ඒවා ඊටම සුවිශේෂ වූ නෛසර්ගික සීමාවන් අතරේ සිරවෙයි. ඒ නිසා, දෝෂාභියෝගය අරභයා මතුවූ මහා උද්‍යෝගය තුළ, නීතිඥ සංගමයේ හිටපු නායකත්වය පිටකොන්ද කෙලින් තියාගෙන අවසානය දක්වා විධායකයට මුහුණදුන්නත්, එය නීතිඥයන්ට පමණක් අදාළ වන දෙයක් වශයෙන් අවසානයේ දී වැහැරී යන්නට තිබුණි.
මීට වෙනස් සාධනීය අත්හදාබැලීම් කළ අවස්ථාවන් මේ උප=මහද්වීපයේම නැතුවා නොවේ. අප කාටත් උරුම වී ඇත්තේ එකම යටත්විජිත සම්ප‍්‍රදායකින් එන එක සමාන නඩු ව්‍යවහාරයන් නම්, දකුණු ආසියාවේ වෙනත් අධිකරණ පද්ධති අප තරම් ආලාපාළු වී නැත්තේ මන්දැ යි අපෙන්ම ප‍්‍රශ්න කරගත යුතුව තිබේ. ඉන්දියාවේ, පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ නීති වෘත්තිය එම රටවල දේශපාලනයේ ප‍්‍රබල බලයක් වන අතර කිසි ආණ්ඩුවක් යම් සීමාවකින් එහා එම වෘත්තිකයන් සමග අරියාදුවකට යන්නේ නැත. එවැනි අරියාදුවක් ඇති කර ගැනීමෙන් විය හැකි අනතුර, පාකිස්ථානයේ දී මොනවට පෙන්නුම් කෙරුණි. එරටේ නීති ප‍්‍රජාව, පාරම්බාන දේශපාලන බලවේගවලට එරෙහිව මහජන මතය මෙහෙයවන දීප්තිමත් බල කුලකයක් බවට පරිවර්තනය වී අද දක්වාමත් ක‍්‍රියාත්මක වෙයි. ගතානුගතික නීති පද්ධතීන් මෙයාකාරයෙන් ‘ජීවමාන නීතිය’ බවට පත්කළ ප‍්‍රබෝධමත් සමාජ ක‍්‍රියාකාරී පන්නරය ඔවුන් ලැබූයේ, පොදු යහපත තකා ක‍්‍රියාත්මක වෙන ජනබැඳියා කණ්ඩායම් සහ විමර්ශනාත්මක මාධ්‍යයක සහභාගීත්වයෙනි. මීට මාස කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවේ දී අප දුටු ආකාරයෙන් අගවිනිසුරුවරියක් ප‍්‍රසිද්ධියේ අපහාසයට පත්කිරීම මෙවැනි රටක විණි නම්, එය විශාල සමාජ කලබැගෑනියකට තුඩුදෙනු ඇත. එම අර්ථයෙන්, අප තනිකරම හුදෙකලා ජාතියකි.
මේ අකර්මණ්‍යතාව හැම දාම තිබුණු දෙයක් නොවේ
උදාහරණයක් වශයෙන්, 1989=90 ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්තාව එම යුගයේ සිදුවීම් ගැන මෙසේ සඳහන් කරයි: ‘‘රටේ කටයුතු සම්බන්ධයෙනුත්, අපේ වෘත්තිය සම්බන්ධයෙනුත් මෙවැනි කැළැඹිලිකාරී වසරක් අවසානයේ දී අපේ වෘත්තිය පෙරට වඩා ජවසම්පන්නව තිබීම, එහි ස්වාධීනත්වය පෙරට වඩා ශක්තිමත්ව තිබීම සහ අයිතිවාසිකම් රැුකදීමේ පවුරක් වශයෙන් එය සතු ස්ථානය වඩාත් පිළිගැනීමකට ලක්ව තිබීම අපගේ සතුටට හේතුවකි. පුරවැසියන්ගේ අයිතිවාසිකම් ද, නීතියේ ආධිපත්‍යය ද පෝෂණය කොට ආරක්ෂා කර ගැනීමත්, නීති වෘත්තියේ ගෞරවය සහ අභිමානය ඉහළින්ම දරා සිටීමත්, ශ‍්‍රී ලංකාවේ නීතිඥ සංගමයට පැවරෙන වගකීමක් වන බව මේ වාර්තාව සටහන් කරයි. නීති වෘත්තියේ සෑම සාමාජිකයෙකුටම සර්ව සාධාරණ වෙමින්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කෙරෙන සහ නීතිඥ සේවාවේ උපරිම ගරුත්වයට අනුගත වෙමින් සිය වෘත්තියේ යෙදීමට ඔවුන්ට ඇති නිදහස සහතික කෙරෙන පියවර ගැනීම අපගේ අරමුණයි.’’
මේ වකවානුවේ නීති ප‍්‍රජාව ප‍්‍රදර්ශනය කළ ප‍්‍රශංසනීය ජවය, දේශපාලනික තලයේ ද වැදගත් ප‍්‍රතිචාරවලට තුඩු දුනි. එදා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ එක් ඇමතිවරයෙකු, නීතිඥ සංගමය ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් වශයෙන් හැඳින්නූ අවස්ථාවේ, එම ඇමතිවරයා නීතිඥ සංගමයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නා බවට ජනාධිපතිවරයා වගබලාගත්තේය. -1998 ජුලි 5 වැනි දා, ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත බලන්න.
දේශපාලනීයකරණයෙන් මලකඩකෑ නීතිඥ සංගමයක නිෂේධාත්මක බලපෑම
කෙසේ වෙතත්, මෑත දශක ගණනාව තුළ දේශපාලනීකරණයේ මලකඩකෑමට ලක්වූ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, එන්න එන්නම මහජන ජීවිතයෙන් ඈත් විය. 1999 -2009 කාලයේ බලය හෙබැවූ අගවිනිසුරුවරයෙකුගේ කසිලිබිසිලි (ඉතා මෘදු හැඳින්වීමක්* හැසිරීමෙන් සංත‍්‍රස්ත වූ නීති ප‍්‍රජාව නිවට නිශ්ශබ්දතාවක ගැලී උන්හ. ආණ්ඩුවේ මැරයන් සිය සාමාජිකයන්ට පහර දුන් විට, නිෂ්ඵල විරෝධතාවන් සහ මෘදු ප‍්‍රකාශන නිකුත් කිරීමකින් එහාට ඔවුන් ගියේ නැත. අධිකරණ පද්ධතිය ඇතුළතිනුත් පිටතිනුත් ඛාදනය කර දැමෙන අවස්ථාවේ ඊට එරෙහිව නැගී නොසිටි ඔවුන්, නිදහස් අයිතීන් අහුරන ව්‍යවස්ථා සංශෝධන කරලියට එන අවස්ථාවේ නිරර්ථක කමිටු පත්කිරීමෙන් පමණක් සෑහීමකට පත්වුණි.
මෙවැනි සැහැසි අසාධාරණකම් අභියෝගයට ලක්කරනු වෙනුවට නීතිඥ සංගමයේ ප‍්‍රධාන ප‍්‍රයත්නය වුණේ සමාජ සුභසාධන සංගමයක් වශයෙන් කටයුතු කිරීමත්, තෝරාගත් සුළු පිරිසකට වැඩි පහසුකම් සහ වරදාන සැපයෙන් විධායකය සැනසීමත් ය. මේ හේතුවෙන්, නීති ප‍්‍රජාව කෙරෙහි පැවති මහජන ගරුත්වය හීන වීම පුදුමයක් නොවේ. කලක් උත්තරීතර පිළිගැනීමකට ලක්ව තිබූ නෛතික ආයතනවලට කෙලින්ම පහර දීමට දේශපාලඥයන්ට අවකාශ සැලසුණේ ඒ හිඩැස තුළිනි. නීති ප‍්‍රජාවට හෝ විනිසුරුවරයෙකුට අපහාස වන අන්දමේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අද දේශපාලඥයෙකු කිසි විටෙක සමාව භජනය කරති යි සිතා ගැනීමටවත් පුලූවන් කමක් නැත. ඇත්ත වශයෙන්ම, 43 වැනි අගවිනිසුරුවරියට එරෙහිව දියත් කෙරුණු මායිනී දඩයමේ දී, මේ ආණ්ඩුවේ හෙංචයියන් නීති ප‍්‍රජාවට සේම අධිකරණයේ විනිශ්චයාසනයටත් පරිභව කළ ආකාරය අපි දුටුවෙමු.
නීති ප‍්‍රජාව එහි සභාපතිත්වයට මේ දක්වා පත්කරගත් අයවළුන් අතරමැද එකඟතාවන්ට ගොස් දණින් වැටී, අවසානයේ දී නග්න අපකීර්තියට ලක්වූ බව සැබෑව. මේවා හොඳින්ම උගත් පාඩම් ය. දැන් ඇත්තේ ඉදිරිය බැලීමටයි. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ඉදිරියේ අද ඇති ප‍්‍රමුඛ කර්තව්‍යය වන්නේ, මේ නිලවරණයේ දී නීති ප‍්‍රජාව ප‍්‍රදර්ශනය කරන ලද දැවැන්ත සහයෝගය ඵලදායී අන්දමින් උපයෝගී කරගන්නේ කෙසේද යන්නත්, මේ රටේ දේශපාලනික=නෛතික අදාළත්වයක් ඇති සාමූහික ව්‍යාපාරයක් බවට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පත්කරගන්නේ කෙසේද යන්නත් සැලකිල්ලට ගැනීමය. මෙය, පැහැදිළිවම, තිරසාර විශ්වාසයෙන් යුතුව, අතරමැද සම්මුතිවලින් තොරව, පෙරට රැුගෙන යා යුතු අරගලයක් වන්නේය.
*2013 පෙබරවාරි 23 වැනි දා පළවූ Restoring The Relevancy Of The Bar ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’