24 April, 2024

Blog

ජනතාවගේ පොදු නිතිය මහජනයාට සේවය කරන්නේද?

ක්‍රිෂ්මාල් වර්ණසූරිය සහ මයුරි පෙරමුණේ –

“කුමට එවන්  අධිකරණය, නිතිය සහ විනිසුරන්…”

ජනතාවගේ අධිකරණ බලය

නන්දා මාලනියන්ගේ ජනප්‍රිය ගීයේ ඉහත වදන් වලින් අරුත් ගැන්වෙන අදහස් නිතර නිතර කනට ගැටෙන මෙවන් අවධියක ශ්‍රී ලාංකික පුරවැසියා සතු ව්‍යස්තාපිත අධිකරණ බලය, මහජන සුභ සිද්ධිය සදහාම ක්‍රියාත්මක වනවාද යන්න සාකච්ඡාවට බදුන් කල යුතුව ඇත. ශ්‍රී ලංකාවේ පරම අධිපති බලය පුරවැසියා සතු බවත්, එම ස්වාධිපති බලය තෙවැදෑරුම් ලෙස නිතිය ඉදිරියෙහි සහ රාජ්‍යකරන ක්‍රියාවලියෙහි භාවිතා වන බවත් ව්‍යවස්ථාවේ 3, 4, වගන්ති වල කියැවේ. එකී වගන්ති නිර්වචනය කල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාශියකින් පිළිගෙන ඇත්තේ එකී ජනතාවගේ විධායක බලය ජනාධිපති (සහ 43 ව්‍යවස්ථාව සමග කියවෙන කැබිනට් මණ්ඩලයක්) තුලින්ද, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව තුලින්ද, ජනතාවගේ අධිකරණ බලය අධිකරණ පද්ධති, විනිශ්චය අධිකාර සහ ආයතන මගින්ද ක්‍රියාත්මක වන බව 4 (අ), (ආ), (ඇ) යන ව්‍යවස්ථාවන් වලින් අරුත් ගැන්වෙන බවයි. එසේ නම්, මේ පුරවසියාම සතු අන්සතු කල නොහැකි සම විටම අපගේ යහපත සදහාම ක්‍රියාත්මක විය යුතු, පොදු භාරයක් මගින් (Public Trust) මෙම ආයතන වෙත තාවකාලිකව ලබා දී ඇති මෙම බලය එකී අයුරින් අපගේ අභිවුර්ධිය සඳහාම ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලිය යුතුව ඇත.

මේ බල ත්‍රිත්වය අතරින් අප නිතරම විධායකය සහ ව්‍යවස්ථාදායකය සහ එහි කාර්ය භාර්යයන් පිළිබද නොයෙක් විට සාකච්චා කල නමුත්, විශේෂයෙන්ම අධිකරණයට ඇති ගරු ඝාම්භිරත්වය හේතුකොටගෙන ඒ පිලිබදව සාකච්චා කරන අවස්තාවන් සාපේක්ෂව අඩුය. එහෙත් විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යයේ යම්කිසි බිදවැටීමක් හෝ හිස්තැනක් පිළිබද සමාජ කතිකාවක් ඇති වී ඇති මෙවන් අවස්ථාවක ජනතාවගේ පරම අධිපති අධිකරන බලය නිසි ආකාරව ජනතාවගේ යහපත සදහාම ක්‍රියාත්මක වනවාද යන්න සාකච්චා කිරීම, එම අධිපති බලය හිමි ශ්‍රී ලාංකිකයාගේ යුතුකමකි, වගකීමකි. නමුත් එය කල යුත්තේ දැලි පිහියෙන් කිරි කන්නාක් මෙන්, ඉතාම තර්කානුකූල පදනමකින් පමණක්, හුදෙක්ම නීතියේ ආධිපත්‍ය නැවත ස්ථිර  කිරීමට විනා, අන්ශුමාත්‍රිකයකින්වත් එහි ප්‍රෞඩත්වයට සහ ගෞරවයට අගතියක් නොවන පරිදිය.

අධිකරණයන් විසින් ප්‍රකාශ කොට ඇති නඩු තීන්දු පිළිබද හෝ එහි නිරවද්‍යභාවය පිළිබද තර්කානුකූල සාකච්චාවක් හෝ විග්‍රහයක් අධිකරණයට කරන අපහාසයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ  පමණක් නොව, ලොව පුරාම එදිනෙදා වන කාර්යයකි. උදාහරණයක් වශයෙන්, මහා බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලය (House of Lords) මගින්ද පිළිගෙන ඇති ආකාරයට ජනතාවට නිතිය ක්‍රියාත්මක වන ආකාරය සහ අධිකරණය තීන්දු වලට එලබීමට වූ හේතු සාධක, කාරනා විනිශ්ය කරුවන් තුලින්ම මාධ්‍ය මගින් සෘජුව පැහැදිලි කෙරෙන අවස්ථාද අද දින බහුලව පෙනෙන්නට ඇත. තවද නොයෙක් අධිකරණ මගින් දෙන තීන්දු ඇපෑල මාර්ගයෙන් හෝ ප්‍රතිශෝදන පෙත්සම් මාර්ගයෙන් එම තීන්දු වලින් අතෘප්තියට පත් පාර්ශව විසින් දෛනිකව  අභියෝගයට ලක්කරයි, ඒවායේ ඇති වැරදි පෙන්වා දෙමින් තර්ක ඉදිරපත් කරයි; මෙය පුරවැසි අයිතියක් වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමකි. මෙවන් පසුබිමක පොදු භාරයක් මගින් අධිකරණමය ආයතන වෙත පවරා ඇති අපගේ නිතිය සහ අධිකරණ බලය මහජනතාව වන අපගේ අභිවෘධිය තකා පමණක් ක්‍රියාත්මක වන්නේද, එසේ නැත්නම් එය එවන් තත්වයකට ගෙන යා  හැක්කේ කෙසේද යන්න සාකච්චා කිරීම කාලාවෝචිතයයි අප සිතන්නෙමු.

පොදු නිතිය – එහි මුලික කාර්ය භාරය

පුද්ගලයන් හා පුද්ගලයන් අතර  තම අයිතීන්  හා වගකීම් සදහා බලපාන පුද්ගලික නීති පද්ධතීන් හෝ අධිකරණ ක්‍රියාවලින්, එනම් දිසා අධිකරණ, කම්කරු විනිශ්චය සභා හෝ වාණිජ අධිකරණ වැනි ආයතන තුල හබ කරන නඩු කටයුතු ඒ ඒ පාර්ශවයන්ට පුද්ගලික වූ එම පාර්ශවයන් අතර අයිතීන් සදහා වන්නා සේම පොදු ආයතන, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය නිලධාරින් මහජනතාව සමග වන එදිනෙදා ක්‍රියාවලින් පිළිබද හබ කිරීමට පොදු නිතිය නම් විශේෂිත වූ නීති පධතියක් බලපායි. ශ්‍රී ලංකා ජනරජයේ මෙම පොදු හා පරිපාලනමය නිතිය (Public & Administrative Law) බොහෝවිට තීරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරනයේද, අභියාචනාධිකරනයේ ද  නඩු කටයුතු මාර්ගයෙන්ය. මෑතකදී සමාජ සාකච්චාවට බදුන් වූ SAITM නඩුව, දැනට අධිකරණය ඉදිරියේ පවතින හම්බන්තොට මාගම්පුර වරාය පිළිබද නඩුව, කෝප් කමිටුවේ මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව කාලින උදාහරණ වශයෙන් සැලකිය හැකිය.

මහ ජනතාවට සේවය කිරීමට බැදී ඇති පොදු ආයතන, රාජ්‍ය, ව්‍යවස්ථාපිත, සංගම් හෝ ආයතන සහ රාජ්‍ය සේවකයින් නිතිය ඉදිරියෙහි හරි ආකාරව ක්‍රියා කරනවාද? ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් හෝ සේවය පැහැර හැරිම තුලින් ජනතාවගේ හිමිකම් හා අයිතීන් වලට අගතියක් වී ඇති දැයි පරික්ෂා කර බලා ඒ පිළිබද සුදුසු නියෝග නිකුත් කිරීම පොදු නීතියෙහි ප්‍රධාන කාර්ය භාරයයි. එය ශ්‍රේෂ්ඨාධිකරනයේ පනවන මානව හිමිකම් නඩුකරයක හෝ අභියාචනාධිකරණයේ හෝ ඇතැම් විටක (එම කාර්යයන් පළාත් සභා වලට ලයිස්තුගත කොට ඇත්නම් ) පළාත්බද මහාධිකරණයක් ඉදිරියෙහි රිට් ආඥාවක් සදහා කරන ඉල්ලිමක මුහුණුවර ගත හැක. මෙවන් නඩුකර  විශේෂයෙන්ම මහා බල සම්පන්නවූ රාජ්‍ය ඉදිරියෙහි සාපේක්ෂව බෙලහීන වූ පුරවසියාව සම තලයකට ගෙන ඒමට, එනම් යුක්තිය සහ නිතිය නමැති තරාදියේ නිසි සමතුලිත භාවයක් මත මැන බැලීමට මහජනතාව වන අප විසින්ම ව්‍යවස්ථානුගත කොටගෙන ඇති ඉතාම බල සම්පන්න ආයුධයකි. මෙම පොදු නීති කෘති නිසි ආකාරයෙන් නිසි අවස්ථාවන්වල භාවිත කිරීම තුලින්, විශේෂයෙන් මහජන සුභ සාධක නඩු කෘතින් (public interest litigation) තුලින් රාජ්‍යයේ සහ එහි සේවකයන්ගේ අත්තනෝමතික සහ බලාතික්‍රමණ ක්‍රියා මනා ලෙස පාලනය කරගත හැක.

නිතිය ක්‍රියාත්මක වන්නේ අන් කිසිවක් නැති රික්තයක් (Vacuum) තුල නොව, රටක එදිනෙදා ජිවනාලියෙහි සහ ක්‍රියාකාරකම් වලම කොටසක් වශයෙන් බවත්, ඒ නිසාම නිතිය සහ අහිකරන ක්‍රියාත්මක වන විට, විශේෂයෙන් පොදු නීතියේ තීන්දු තීරණ ගන්නා විට එය ආවේශ වූ කරුණුද සැලකිල්ලට ගනිමින්, එවන් තීන්දු තීරණ තුලින් රට සහ රාජ්‍යකරණයට වන සාපේෂ බලපෑම් ද සිහියේ තබා ගනිමින් කල යුතු බැරෑරුම් කාර්ය භාරයක් බව, වසර ගණනාවක නීති පධතියකින් පෝෂණය වූ අපගේ නීති සම්ප්‍රදායේ මනාව පැහැදිලි වේ. අධිකරණ සහ එහි හබ කරන්නාවූ නඩු කෘතීන් නිතිය පිළිබද හදාරන්නාවූ විශ්ව විද්‍යාල නොවන බවත්, ඒ නිසාම පොත පතේ නීතියට වඩා මහජනතාවට එම තීරණ බලපාන අන්දම පිලිබඳ සැලකීමෙන් අධිකරණ ක්‍රියාවලින් සිදු විය යුතු බවටද අනෙක වරක් තීරණය වූ නඩු තීන්දුවල කියවේ.

හෙන ගැසිමට හෝ කන පැලිමට විකල්පයක් ලෙස පොදු නිතිය

මෑතකදී අප දුටු තවත් ක්‍රියාකාරකමක් නම් එක් මහජන සේවකයෙක් ජනතාවගේ අභිවුර්ධිය සදහා යයි කියමින් තවත් මහජන සේවකයකුට හෙන ගැසීමට මාධ්‍ය ඉදිරියේ කල කන්නලව්වකි! කන පැලිම පිලිබඳ සාකච්ඡාවකි. රජයේ සේවකයන් ගස් බැන්දවූ, විගනකධිපතිගේ සේවකයන්ට ඇසිඩ් ගසුවාවූ, ඊයේ පෙරේදා SAITM සේවකයෙකුටද, වසර ගණනාවකට පෙර මහාධිකරණ විනිසුරුවන්ටද වෙඩි තැබූ මෙවන් ධර්මිෂ්ට රජයක විසි එක වන ශතවර්ශයෙදීත් මෙවන් කතා ඇසෙන විට අපගේ නීතියට මොනවා වී ඇද්දියි පොදු මහජනයා අතර කතා ඇති වීම පුදුමයට කරුණක් නොවේ. දැන් සතියකට පමණ පෙර කළුතර ප්‍රදේශයේ තවත් මන්ත්‍රීවරයෙක් අධිවේගී මාර්ගයේ නවාතන්පලක් පරික්ෂා කරමින්, ජනතාව සහ මාධ්‍යවේදීන් ඉදිරියේ තබාගෙන එම නිසි බලධාරියාට ජංගම දුරකතනයෙන් බැන වදිමින් මහජන කටයුතු කරන ආකාරය කියා දුන් දසුන් අපට සංදර්ශනය කරන ලදී.

දැන් දැන් ඉතාම ප්‍රචලිත දසුන් නම් මහජයා එකතුවී පොදු සේවකයන් හෝ ඔවුන්ගේ කාර්යාල ඉදිරියේ උද්ඝෝෂණ පැවැත්වීම, අමාත්‍යංශ තුලට කඩාවැදී හසුන් භාරදීම හෝ ඒ තුල පදිංචි වීමට තැත්කිරීම, පොලිස් ප්‍රහාර මගින් ඒවා පාලනය හෝ සමනය කිරීම සහ මේ සියලු දේම වගකීම් බරව ජනමාධ්‍ය තුලින් අපට සංදර්ශනය කිරීමයි. එහෙත් අප විශ්වාශ කරන්නේ මේවා මෙසේ බහුලව සිදුවන්නේ අපේ අයිතීන් මොනවාදැයි හරි හැටි නොදැනගෙන, ඒ අයිතීන් ක්‍රියාත්මක කර ගැනීමට අපට නෛතික අයිතියක් ඇති බවද එය කරන්නේ නීතිය ඉදිරියේ කුමන ආකාරයෙන්ද යන්න වටහා නොගෙන, ඒ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට දේශපාලන චන්ඩියෙක් අවශ්‍යයි වැරදි අවබෝධයක් ඇතිකරගෙන ඇති නිසා බවය. තවත් සමහරුන් නීතිය ඉදිරයට යාමට යම් භියක් හෝ පැකිලීමක් නිසා හෝ පුරාණ ජන වහරට කියන “කොටි වලිගයක් අල්ල ගත්ත වගේ” කියා එසේ නිහඬව සිටී.

නමුත් මේ සියලු දෙයට පිළිතුරු පොදු නිති කෘතීන්හි මනාවට අඩංගු වේ. අවශ්‍ය වන්නේ ඒ අයිතීන් නිසි ආකාරයෙන් අධිකරණය වෙත ගෙන යාම පමණකි. ඒ සදහා “කොටි වල්ග අල්ල ගැනීම්” කිරීම අවශ්‍ය වන්නේද නැත! මෙසේ මහජනයා සදහා වූ පොදු නිතිය හරි ආකාරව ක්‍රියාත්මක වනවානම් මෙවන් මාධ්‍ය සංදර්ශන සහ දේශපාලන ගුණ්ඩු තුලින් මහජනයා මුලා කොට කාඩ්බෝඩ් සැන්ඩෝලා සර්වජනජ්න්දබලය වංචා කිරීම නවතිනවා මෙන්ම, 1940 සිට 1960 දක්වා වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ස්වර්ණමය යුගය අපට නැවත උදාකර ගත හැක. එනම් නිත්‍යානුකුලව තමන්ගේ කාර්ය භාර්යයන් සහ වගකීම් නිසි ආකාරව අවබෝධ​ කර ගත් මහජන සේවයක් මෙන්ම දේශපාලන අධිකාරයට කොන්ද නොනමා කෙලින් හිටගෙන තමන්ගේ වගකීම ඉටු කිරීමට බිය නොවන පොදු සේවකයෙක් බිහිකිරීම තුලින්, රටේ ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති වල අඛණ්ඩ පැවැත්ම අපට ලගා කර ගත හැක. මෑතකදී සිට දේශපාලන අතගැසිම් වලට නොබියව මුහුණ දෙන විගනකාධිපතිවරයා මෙයට අනර්ග නිදසුනකි. එවන් රාජ්‍ය සේවකයන් තව තවත් බිහි වේවා යයි අපගේ ප්‍රාර්ථනයයි.

පොදු නිතිය ඉටු කිරීමේදී අධිකරණයේ කාර්යභාරය – එය ප්‍රතික්ෂේප කල හැකිද?

අපගේ පොදු හා පරිපාලන (Public & Administrative Law) නිතිය අපට උරුම වන්නේ ඉංග්‍රීසි නීති සම්ප්‍රදායෙන්ය. ඉංග්‍රීසි නීතිය අනුව රාජ්‍යයේ ප්‍රධානියා සහ ස්වෛරි  බව හොබවන්නේ මහා රැජිනක්ය. එවිට එම රජුගේ ආණ්ඩුවේ නිලධාරින් රජුගේ නිලධාරින් වන්නෝය. මේ නිසාම එම නිලධාරීන්ට විරුද්දව පොදු හා පරිපාලනමය නිතිය යටතේ නඩුවක් ගොනු කරන්නේද එම රැජින විසින් අගතියට පත් වූ පාර්ශවය වෙනුවෙන්ය. උදාහරණ වශයෙන් Rex v Port of London Authority Ex parte Kynoch Ltd නඩුකරයේ මේලෙස පාර්ශවයන් නම් කොට, “රෙක්ස්” (හෝ රැජින) විසින් “කෛනොක්” යන සමගම වෙනුවෙන් “ලන්ඩන් වරාය අධිකාරියට” විරුද්දව නඩු ගොනු කරයි. එවන් අවස්තාවක සමහර නඩු කෘතීන් පවරනවාද නැද්ද යන තිරනය හෝ නොපවරා සිටීමට රාජ්‍ය තීන්දු ගැනීමේ බලයක්ද (Royal Prerogative) මහරැජින සතුව ඇත; ඒ මන්ද යත් එම රටේ ස්වෛරී බලය රැඳී ඇත්තේ අ කෙරෙහි නිසාය. එහෙත් දැන් මහා බ්‍රිතාන්‍යයේ ද මෙම සිද්ධාන්තයට වඩා සලකන්නේ මහජන සුභ සිද්ධිය නිසාම එවන් අවස්ථා ඉතාම අල්පය. නමුත් ශ්‍රී ලංකාවේ ස්වෛරී බලය එවන් රජු කෙනෙක් මත පිහිටා නැති නිසාත් පොදු හා පරිපාලන නිතිය ඉදිරියෙහි ලබා ගත හැකි සහන ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමෙන්ම පුරවැසියන් වන අප විසින්ම, අප සදහාම ස්ථාපිත කරගෙන ඇති නිසාත් එවන් නිශේධ බලයක් (Prerogative) තුලින් අපට අධිකරණය වෙත යාමේ අවස්තාව අහිමි කිරීමට අපගේ අධිකරණ පද්ධතිවලට බලයක් නොමැති බව තර්කානුකුලව පිළිගත යුතුව ඇත. මේ නිසා ශ්‍රී ලංකාව තුල එවන් නඩුකරයක් නිත්‍යානුකුලව පෙත්සමක් මගින් නිසි රීති වලට අනුකුලව පුරවැසියෙක් විසින් ගොනු කොට ඇත්නම්, එවන් අවස්ථාවක යම් අභිමතානුසාරී නිශේද බලයක් (discretionary power) අධිකරණය වෙත ඇත්නම්, ඒ නඩුකර පිලි නොගෙන සිටීමට නොව, ඒවායින් ඉල්ලා ඇති සහන ලබා දීම කෙරෙහි පමණක් බව අපගේ නිර්වචනයි.

විශේෂයෙන්ම අපගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූ මෑත කාලින මහජන සුභ සාධක නඩු කෘතින් (public interest litigation) තුලින් මහජනතාවට මහා ජයග්‍රහණ හිමි වී ඇති බව අප කවුරුත් දනිමු. අප විසින් සම්මත කරගත් 19 වෙනි සංශෝදනය තුලින් දැන් අතිගරු ජනාධිපතිතුමන්ට එරෙහිවද මානව හිමිකම් නඩුකරයක් පවත්වාගෙන යාමට සාමාන්‍ය පුරවෙසියෙකුට අයිතියක් හිමිවේ. මෙසේ මැති ඇමතිවරුන්, පොදු ආයතන, රාජ්‍ය ව්‍යවස්ථාපිත සංගම් හෝ ආයතන සහ රාජ්‍ය සේවකයින් නිතිය ඉදිරියෙහි හරි ආකාරව ක්‍රියා කරනවාද යන්න මෙන බැලීමෙන් ඔවුන්ද තම ක්‍රියාකාරකම් නීතියේ අධිකාරිය තුල කිරීමට පෙලම්වීමකි. එසේනම්, ලබන වසරේ පෙබරවාරි මස 4 වන දා අධිරාජ්‍යවාධින්ගෙන් පුර්ණ නිදහස සැමරීමට සුදානම් වන ශ්‍රී ලාංකික පුරවැසියන් කල යුතුවන්නේ බොරු පොරොන්දු දෙන, මාධ්‍ය සංදර්ශන වලින් ජනතාව මුලා කරන තමන්ගේ සුඛවිහරණය ගැන පමණක් සිතන දේශපාලුවන් පසු පස්සේ දිවීම නොව, අපට අප විසින්ම  කෙටුම්පත් කරගෙන ඇති පොදු හා පරිපාලනමය නිතිය ශක්තිමත් අවියක් ලෙස භාවිතා කරමින්, මහජන පොදු සේවය සහ රාජ්‍ය සේවකයා නැවත ශක්තිමත් කොට මේ පින්බර මවුබිමේ අභිවුර්ධිය, අඛණ්ඩ ප්‍රතිපත්ති සංවර්ධනය තුලින් උදා කරගැනීම නොවේද?

ජනතාවට ජයෙන් ජය!!!

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.