21 October, 2017

නිදහස් අධ්‍යාපනය රටේ ප්‍රශ්න වලට විසදුම් සෙව්වාද ?

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය ගිනියම් කළ සිදුවීම වන්නේ, සයිටම් ආයතනය පිළිබද දුන් අභියාචනාධිකරණයේ නඩු තීන්දුවයි. එම නඩු තීන්දුව අනුව එම ආයතනයේ අධ්යායපනය ලැබූ සිසුන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීමට අවසර ලබා දෙන ලදි.

2015 ජනවාරි 08 වන දින ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන පෙරමුණ සයිටම් විශ්ව විද්‍යාලය ස්ථාපිත ක්‍රියාවලිය, එහි තත්ත්වය හා මට්ටම පිළිබද බරපතල විවේචන එල්ල කරනු ලැබුවා. ප්‍රතිපත්තියක් ලෙස එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමට එකග වන අතරම පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමටද පක්ෂය. C.W.W. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය ලබා දීමේදී එවකට තිබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කල්පනා කරනු ලැබුවේ නිදහස් අධ්‍යාපනය මගින් බිහිවන දරුවන් අනාගතයේ මේ රට මුහුණ දෙමින් තිබෙන ගැටළු වලට විසදුම් සොයාවි යන්නයි. එය අදටත් එක්සත් ජාතික පක්ෂයේ නිදහස් අධ්‍යාපනය පිළිබද අධිපතිවාදී මතයයි. එනම් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාම තුළින්, එමගින් බිහිවන දරුවන් මේ රටේ අනාගත ප්‍රශ්න වලට විසදුම් සොයාවි යන්නයි.

නමුත් අපි 69 වන නිදහස සමරන මේ මොහොතේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවු දරුවන් මේ රටේ ප්‍රශ්න වලට විසදුම් සෙව්වාද? යන්න ගැටළුවකි. අධ්‍යාපනය හා සෞඛ්‍ය , ජලය මෙන් සුලභ විය යුතු අතර එය නොමිලේ රජයෙන්ද ලබා ගත හැකි අතර මුදල් ගෙවා හෝ ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. නමුත් අද නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනය සදහා වරම් ලබන සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන අධිපතිවාදී බලපෑම පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් සදහා මාරාන්තික ප්‍රහාරයක් වී තිබේ.

හෝඩියේ පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් 10% ටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකියාව ඇතත්, ඉතිරි 80% කට වඩා වැඩි පිරිසක් අ.පො.ස. උසස් පෙළින් පසු තරගකාරී විභාග වලින් පරාජයට පත් වී එළියට විසි වේ. එසේනම් මේ රටේ සියලු ප්‍රශ්න වලට විසදුම් සෙවීමට මූලිකත්වය ගත යුත්තේ මේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරමින් උසස් අධ්‍යාපන වරප්‍රසාදය ලබන එම වරප්‍රසාධිත 10% කට ආසන්න ශිෂ්‍ය කණ්ඩායමයි. සැබවින්ම විශ්ව විද්‍යාල​ අධ්‍යාපනය නොලබන ඉතිරි ශිෂ්‍ය කණ්ඩායමට රැකියා උත්පාදනය වැනි කටයුතුවලට ඔවුන්ගේ මැදිහත්වීම තිබිය යුතුයි. නිදහස් අධ්‍යාපනය පවතින සියලුම රටවල තත්ත්වය එයයි.

නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එළියට එන ශිෂ්‍යයින් රජය විසින් ඔවුන්ට රැකියා හා අනෙකුත් වරප්‍රසාද ලබා දිය යුතු බවට ආණ්ඩුවට තර්ජනය කරයි. එපමණකින් නොනැවති අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට එරෙහි වෙමින් රට ගිනි ජාලාවක් බවට පත් කරයි. මාගේ පෞද්ගලික අදහසනම් නිදහස් උසස් අධ්‍යාපන අයිතිය නොලැබු සිසුන් විසින් රජයෙන් තව දුරටත් රැකියා ඉල්ලන වරප්‍රසාධිත සිසුන්ට දැඩි විරෝධයක් එල්ල කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයත් C.W.W. කන්නන්ගරත් අපේක්ෂා කළ පරිදි නිදහස් අධ්‍යාපන‍යෙන් බිහිවන දරුවන් මේ රටේ ගැටලු වලට විසදුම් සොයනවා වෙනුවට ඔවුන් ගැටලුවක් බවට පත් වී ඇත්නම් ආණ්ඩුව විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මාගේ පෞද්ගලික අදහසනම් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන අතරම ඊට සමගාමීව පෞද්ගලික අධ්‍යාපනය දැඩි රාජ්‍ය නියාමනයක් සහිතව පවත්වාගෙන යා යුතුය.

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, මැලේසියාව, ඇමෙරිකාව, නේපාලය, බංගලාදේශය වැනි රටවල්වල අධ්‍යාපනය අලෙවි කිරීම එම රටවලට ඩොලර් බිලියන ගණන් ලබාදෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරයි. ලංකාව තුළත් විධිමත් පෞද්ගලික විශ්ව විද්‍යාල හා පාසල් ආරම්භකොට ක්‍රියාත්මක කරන්නේ නම්, අපට රටෙන් එළියට යන විශාල ධනයක් ඉතුරු කරගත හැකි සේම මාලදිවයින හා දකුණු ඉන්දියාව, චීනය හා අනෙකුත් බෞද්ධ පදනමක් ඇති රටවල ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපනය ලබා දී විශාල මුදලක් උපයා ගත හැකිය.

එබැවින් උසස් අධ්‍යාපනය ඉන්දියානු සාගර කලාපයට අලෙවි කිරීමට හැකිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි අතර ඒ මත පදනම්ව විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ගෙන්වා ගත හැකිය. එසේම ඒ මත පදනම්ව වෘත්තීය මට්ටමේ රැකියාවන් ලක්ෂ ගණනක් බිහිකළ හැකිය. දෙමාපියන්ට තම උසස් අධ්‍යාපනය ලබන දරුවන් තවදුරටත් විදෙස් රටවලට නොයවා තම සෙවනේම තබාගත හැකිය. බටහිර රටවල පෙට්‍රල් ෂෙඩ් වල වැඩකරන තුන්වන පංතියේ රැකියාවල යෙදෙමින් දුකසේ ශිල්ප කරන ශ්‍රී ලාංකික දරුවන් තවදුරටත් නොපවතිනු ඇත. එබැවින් සියලුම විෂයන් ශ්‍රී ලංකාවේදී මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි, එම ලබා ගන්නා අධ්‍යාපනය පිළිගන්න ක්‍රමවේදයක් හැකිතාක් වේගයෙන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කළ යුතුය. ඒ සදහා ප්‍රමාණවත් ජනතා සහයෝගයක් ඇති බව මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි නීරීක්ෂණය කිරීමෙන් අවබෝධ කරගත හැකි වේ.

එසේම සයිටම් විරෝධයේ මා නිරීක්ෂනය කරනු ලැබු කණ්ඩායම් දෙකක් තිබේ. එක් කණ්ඩායමක් සයිටම් ආයතනයෙන් අධ්‍යාපන ප්‍රමිතිය ප්‍රශ්න කරන හා එය නියාමනය කොට පවත්වාගෙන යා යුතු බවට බලපෑම් කරනු ලබන ලංකාවේ සිවිල් බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමයි. මෙම කණ්ඩායමට නිර්මාල් රංජිත්, ප්‍රදීප් කලංසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ වැනි කොළඹ කේන්ද්‍රීය සිවිල් බුද්ධිමතුන් මෙන්ම, මධ්‍යම පාන්තික උගත් බුද්ධිමතුන් බොහෝ දෙනෙකු ඇතුළත් වේ. ඔවුන් සැකසංකා සහිතව රජයේ අභිමතය දෙස බලන අතරම සයිටම් ආයතනය හා රජය අතර සැක කටයුතු ඩීල් ඇතැයි සිතයි. එය ප්‍රශ්න කරයි. එසේම සයිටම් ආයතනයේ පාලන අධිකාරියේ අතීතයේදී පසුගිය රෙජීමය සමග තිබු සම්බන්ධය පිළිබද අවබෝධයක් ඇත්තෙකුට එවැනි සැකයක් තිබීම සාධාරණය. එබැවින් රජය විසින් සලකා බැලිය යුතු මට්ටමේ විරෝධයක් එම කණ්ඩායම විසින් එල්ල කරනු ලබයි.

සයිටම් විරෝධී අනෙක් කණ්ඩායම වන්නේ, රජයේ වෛද්‍ය නිළධාරී සංගමයප්‍රමුඛ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, පෙරටුගාමී පක්ෂය හා සයිටම් සමග පසුගිය කාලයේ ගණුදෙනු කළ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමයි. මාගේ මතය නම් මෙම කණ්ඩායමේ ජනතා විරෝධී අගතිගාමී උද්ඝෝෂණ විසින් මෙම ගැටලුව විසදීමට කිසිදු සහයක් නොලැබෙන අතර මා ඉහතින් සදහන් කළ කණ්ඩායමේ අභිලාෂයන්ට බාධා කරන හා ඔවුනුත් පරාජය කරනු ලබන ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරයි. එම දෙවනි කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය තුළ සැගවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති අතර 2015 ජනවාරි 08 වෙනිදාට පෙර සයිටම් ආයතනය ලංකාවට හදුන්වාදීමට පියවර ගත්තේද ඔවුන්ය. මේ රටේ ජනතාව ප්‍රවේසම් විය යුත්තේ ඔවුන්ගෙනි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙරට නිදහස් අධ්‍යාපනයෙන් හා පෞද්ගලික අධ්‍යාපනයෙන් බිහිවන සියලුම දරුවන් මේ රට අනාගතයේදී මුහුණදෙන ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතු බවයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.