12 December, 2017

Blog

ජී. ඇල්. සහ ‘ඒකාබද්ධ විපක්ෂය’ ජනතාව නොමග යවති: ‘බලහත්කාරී අතුරුදහන් කරවීම් පිළිබඳ පනතේ’ අඩංගු උදර්පණය පිළිබඳ වගන්තිය ‘වධ හිංසාව පිළිබඳ පනතේ’ අඩංගු වගන්තියම ය

ජී. ඇල්. පීරිස් සහ ‘ඒකාබද්ධ විපක්ෂය’ ජනතාව නොමග යවති:  ‘බලහත්කාරී අතුරුදහන් කැරවීම් පිළිබඳ පනතේ’ අඩංගු උදර්පණය පිළිබඳ වගන්තිය ‘වධ හිංසාව පිළිබඳ පනතේ’ අඩංගු වගන්තියම ය.

අද මහත් කතාබහට ලක්ව ඇති ‘බලහත්කාරී අතුරුදහන් කැරැුවීම් පිළිබඳ පනත’ ගැන පවතින ව්‍යකූලත්වය දෙස බලන විට, වර්තමාන ‘බලහත්කාරී අතුරුදහන් කැරැුවීම් පිළිබඳ පනතේ’ අඩංගු උදර්පණය හෙවත් සැකකරුවෙකුව වෙනත් රටකට භාර දීම පිළිබඳ කාරණය, 1994 දී සම්මත කර ගත් ‘වධ හිංසා පනත’ තුළත් එයාකාරයෙන්ම ගැබ්ව ඇති බව කිව යුතුය. මේ කියන ‘වධහිංසා පිළිබඳ පනත’ සම්මත කෙරුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුව සමයේ ජී. ඇල්. පීරිස් අධිකරණ ඇමතිවරයා වශයෙන් සිටියදී ය.

පීරිස්

උදර්පණය යනු, යම් කිසි අපරාධයක් සම්බන්ධයෙන් සැකයට භාජනය වී සිටින හෝ වැරදිකරුවෙකු කර සිටින පුද්ගලයෙකු වෙනත් රාජ්‍යයක් විසින් කරනු ලබන ඉල්ලීමක් මත, එකී රාජ්‍යයේදී අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම හෝ දඬුවම් පැමිණවීම සඳහා, භාර දීමයි. උදර්පණයට අවසර ඇත්තේ ඒ පිළිබඳ විශේෂිත නීතියක් පවතින රාජ්‍යයකට පමණි.

ශ‍්‍රී ලංකා රාජ්‍යය පාර්ශ්වකරුවෙකු වී සිටින, ‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ’ 8 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි: ‘‘මේ ප‍්‍රඥප්තියේ 3 හෝ 4 වගන්ති යටතේ වන වරදක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු හෝ සැකකරුවෙකු වන පුද්ගලයෙකු තමන්ගේ රටට භාර දෙන්නැයි මේ ප‍්‍රඥප්තියේ පාර්ශ්වකාර රටක් විසින් හෝ ආණ්ඩුවක් ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන් ඉල්ලීමක් කරනු ලැබුවහොත්, එම පුද්ගලයාට නඩු පැවරීම හෝ ඉල්ලනු ලබන රාජ්‍යයට එම පුද්ගලයාව භාර දීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රාජ්‍යය ගෙන ඇති හෝ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳව ශ‍්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් අදාළ ඇමතිවරයා ඉල්ලනු ලබන රාජ්‍යයට නොපමාව දන්වා සිටිය යුත්තේය’’.

1994 සම්මත කර ගත් අංක 22 දරණ ‘වධ හිංසාවෙන් සහ වෙනත් කෲර, අමානුෂික හෝ නොහොබිනා සැළකීම්වලින් ආරක්ෂා කිරීමේ හෝ දඬුවම් කිරීමේ ප‍්‍රඥප්තියේ’ 7(2) වගන්තිය යටතේ මෙසේ කියැවේ: ‘‘වධ හිංසාව පිළිබඳ වරදක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු හෝ සැකකරුවෙකු වන පුද්ගලයෙකු තමන්ගේ රටට භාර දෙන්නැයි ඕනෑම රටක් හෝ රටක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන් ඉල්ලීමක් කරනු ලැබුවහොත්, ශ‍්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම හෝ එම පුද්ගලයාව භාර දීම සම්බන්ධයෙන් ගෙන ඇති හෝ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳව ඉල්ලීම කරනු ලබන රාජ්‍යයට නොපමාව දන්වා සිටිය යුත්තේය’’.

මෙය, මීට කලින් සඳහන් කළ ඡේදයට මුළුමණින්ම පාහේ සමාන ය.

එසේ තිබියදී, ‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන පනතින්’ උදර්පණය හෙවත් පුද්ගලයෙකු වෙනත් රටකට භාර දීම පිළිබඳ නීතිය වෙනස් කොට ඇතැ යි ‘ඒකාබද්ධ විපක්ෂය’ කෑගසයි. එහෙත් ඒ පිළිබඳ මේ ප‍්‍රඥප්තියේ සඳහන් ඡේදය, 1994 දී ජී. ඇල්. පීරිස් අධිකරණ ඇමතිවරයා වශයෙන් සිටියදී ඇති කර ගත් නීතියක හෙවත් දැනටමත් රටේ නීතියක් වශයෙන් පිළිගෙන ඇති කාරණයක අනුපිටපතක් පමණක් වන බව ඉහත සඳහන් ඡේද දෙක සන්සන්දනය කිරීමෙන් කෙනෙකුට වැටහේ.

මේ පනතේ 13 වැනි වගන්තිය අනුව, 1977 උදර්පණ නීතිය යටතේ රටේ පුරවැසියෙකුට ලැබුණු ආරක්ෂාව දුර්වල කර ඇති බවත් ජී. ඇල්. පීරිස් කියයි. 1977 උදර්පණ නීතිය තුළ, ‘දේශපාලනික වැරදි’ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු වෙනත් රටකට භාර දීමට අවසර නැත. එසේම ‘බලහත්කාරී අතුරුදහන් කරවීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතේ’ 13 වැනි වගන්තිය අනුව, ‘දේශපාලනික වැරදි’ මේ කියන ‘අතුරුදහන් කිරීමේ වරදට’ ඇතුළත් නොවන බව පැහැදිළිව කියැවෙයි. කෙසේ වෙතත්, පීරිස්ගේ තර්කය ජනතාව නොමග යවන සුළු ය. මන්ද යත්, 1999 දී තවත් සංශෝධනයක් ඒ සඳහා ගෙනැවිත් ඇති නිසා ය. 1999 අංක 48 දරණ උදර්පණ (සංශෝධිත) පනතේ 2 වැනි වගන්තිය මෙසේ කියයි: ‘‘ශ‍්‍රී ලංකාව සහ උදර්පණය ඉල්ලා සිටින දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය පාර්ශ්වකරුවන් වන සහ එවැනි වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීමට හෝ උදර්පණය කිරීමට බැඳී සිටින, ජාත්‍යන්තර අපරාධ මර්දනය කිරීමට අදාළ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක පරිමාව තුළ වරදක් වන දෙයක්, දේශපාලනික වරදක් යන්න තුළට නොගැනේ’’.

මෙයින් පැහැදිළි වන්නේ, වධ හිංසාව සහ බලහත්කාරී අතුරුදහන් කරවීම ඇතුළු ඕනෑම ජාත්‍යන්තර ප‍්‍රඥප්තියකින් ආවරණය කෙරෙන ජාත්‍යන්තර අපරාධයක්, 1999 සංශෝධනය මගින් ආවරණය කෙරෙන බව ය. එයින් පෙනී යන්නේ, බලහත්කාරී අතුරුදහන් කරවීම් පිළිබඳ වර්තමාන පනත මගින්, 1999 ජී. ඇල්. පීරිස් අධිකරණ ඇමති වශයෙන් සිටියදී ඇති කර ගත් උදර්පණ නීතිය මොන ආකාරයකින්වත් වෙනස් නොකෙරෙන බව ය. එසේ හෙයින්, වර්තමාන පනත යටතේ ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු වෙනත් රාජ්‍යයකට භාර දීම, 1994 දී සහ 1999 දී ජී. ඇල්. පිරිස් විසින් ඇති කරන ලද උදර්පණ නීතිය යටතේ තිබුණාට වඩා පහසු කරන්නේය යන්න සාවද්‍ය කතාවකි.

*2017 සැප්තැම්බර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “GL And JO Mislead Public: Extradition Clause In Enforced Disappearance Bill And Torture Act Is A Copy-Paste” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    To hell with the Joint Opposition, their double standards, lackadaisical attitude and selective opposition.

    පහුගිය කාලේ එක දිගට රනිල්ට කිසිම විරුද්ධ චන්දයක් නැතුව පනත් පාස් කරගන්න ඉඩ දීල දැන් කියවනවා. OMP එකට විරුද්ධව එක චන්දයක් නොදී ICPPED ගැන කතා කරනවා දැන්. OMP එකට විරුද්ධව චන්දෙ දුන්න නම් රනිල්ට ICPPED Bill එක මෙච්ච්චර ලේසියෙන් ගෙන්න හයියක් එන්නේ නැහැ.

    රනිල් පනත් ගේන්නේ එක පිටුවයි සංශෝධන පිටු සීයයි පලවෙනි අයවැයේ හිටන්ම කරපු දෙයක්.

    අගෝස්තු මැතිවරණෙන් පස්සේ කොඳු ඇට පණ තිබුනේ නැහැ විපක්ෂ නායකකම ගන්න. ඒ වෙලාවේ හොඳට ඉඩ තිබුන demand කරන්න.

    අදටත් පනතකට විරුද්ධ චන්දෙ දෙන්නේ මුළු සංඛ්‍යාවෙන් තිහකට අඩුවෙන්. පාර්ලිමේන්තුව ඇතුලේ චන්දෙ දීපු මිනිස්සු වෙනුවෙන් යුතුකම කලේ නැහැ. චන්ද ගැන කියන එකට විතරක් විරුද්ධව චන්දෙ දෙනවා. අනිත්වට කට වහන හිටිය. ඒකාබද්ධ විපක්ෂේ පළාත් සභා සහ පළාත් පාලන චන්ද නොතියෙන එක ගැන කතා කරන සැරට ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ නැහැ. ඒ මොකොද ඕනේ කම තියෙන්නේ රට බෙදලා හරි කමක් නැහැ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා සිරිසේනගෙන් පලි ගන්න. රට බල්ලට. ඊළඟ චන්දෙදි හිතන්න එපා චන්ද වේදිකා හදන්නේ දේශපාලකයෝ විතරයි කියලා.

  • 0
    0

    විමල් මට මතකයි මේ විදියට රනිල් පනතක් ගෙනල්ල පස්සේ එකේදී අලුත් සංශෝධන සීයක් විතර එකතු කරන එක ගැන කාලෙකට ඉස්සෙල්ලත් කිව්ව. දැන් මේ ළඟදිත් කිව්වා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ගැන කරන්න දෙයක් ඇත්තෙම නැත්ද? විමල් විතරයි මේ ගැන කැපී පෙනෙන විරෝධයක් දක්වන්නේ.

    විමල් තනියම වුනත් ආණ්ඩුවට විරුද්ධව හුඟක් ප්‍රබල ජන මතයක් මේ වෙනකොට රටේ ගොඩ නඟලා තියෙනවා. ආණ්ඩුවට තියෙන ලොකුම හිසරදය විමල්. හැබැයි විමල්ම හැමදේම කරන කම් බලා ඉන්න එක වැරදියි.

    පාර්ලිමේන්තුව ඇතුලේ රනිල් මේ කරන දරුණු ආඥාදායක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව
    මහා සංඝ රත්නයේ සහ ජනතාවගේ තදබල විරෝධයක් එන්න ඕනේ.

    චන්ද කල් දමමින්, ව්‍යවස්ථාව හිතු මතේට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයකට වෙනස් කරමින්, හැම ක්ෂේත්‍රයකටම මහා පරිමානයෙන් බදු වැඩි කරමින්, ආයෝජන නාමයෙන් සහ ණය බරින් මිදීම වැනි බොරු හේතු දෙමින් රටේ සම්පත් විකුණමින් රනිල් ගෙනියන මේ ආඥාදායක රාජ්‍ය පාලනයට විරුද්ධව මහජනතාව ප්‍රබලව නැගී හිටින්න ඕනේ.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.