24 April, 2024

Blog

අලුත් ඡන්ද ක්‍රමය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ පළාත් පාලන හා පළාත් සභා සඳහා දැනටමත් හඳුන්වාදී ඇති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හඳුන්වාදීමට නියමිත මැතිවරණ ක්‍රමය වන්නේ අර්ධ සමානුපාතික ක්‍රමයයි. එම ක්‍රමය හඳුන්වන්නේ “MMP” (Mixed Member Proportional) යනුවෙනි. මෙම මැතිවරණ ක්‍රමය ගොඩනැගීමේ දී මූලික වශයෙන් නවසීලන්තයේ දැනට පවතින මැතිවරණ ක්‍රමය අනුගමනය කර තිබේ. “MMP” මැතිවරණ ක්‍රමය දැනට ලෝකයේ පවතින ඉතා සාර්ථක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස සලකනු ලැබේ. මෙම ක්‍රමය මගින් රටේ සිටින සෑම පුරවැසියකුටම තම ඡන්දයට නියෝජනයක් ලැබේ. එනම් සමානුපාතික ක්‍රමයේ දී මෙන්ම තමන් භාවිතා කරන ඡන්දයට පාර්ලිමේන්තු නියෝජනයක් අනිවාර්යයෙන් ලැබෙන අතර, පක්ෂය හෝ අපේක්ෂකයා විසින් වැය කළ යුතු විශාල ධනයක් මෙම ක්‍රමයේදී යෙදිය යුතු නොවේ. මෙය තවදුරටත් පැහැදිළි කළහොත් මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසී වී සමානුපාතික ක්‍රමය තවදුරටත් පවතිනු ඇත.

එමෙන්ම “MMP” ක්‍රමය තුළ කේවල මැතිවරණ ක්‍රමයද ක්‍රියාත්මක වේ. නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක තරග කරනු ලබන අපේක්ෂකයා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් එක ඡන්දයක් හෝ වැඩිපුර දෙවැනි අපේක්ෂකයාට වඩා ලබා ගතහොත්, ඔහු තේරී පත්විය හැකි අතර, පරාජිත අපේක්ෂකයන්ගේ ඡන්ද සඳහාද පක්ෂ ලැයිස්තුවෙන් නියෝජනයක් ලැබේ. මෙම ක්‍රමය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වේ.

අපි මේ සඳහා උදාහරණයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය ගනිමු. ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 18 පැරණි සමානුපාතික ක්‍රමය අනුව තිබේ. නව ක්‍රමය අනුව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 18 ක් ගම්පහ දිස්ත්‍රික්කයට යෝජිත යැයි කියා (නව ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 223 බැවින් එය බොහෝ දුරට සිදුවිය හැකිය.) අපි සිතමු. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ක්‍රමය සීමා නිර්ණය අනුව මැතිවරණ කොට්ඨාස 13 ක් තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයා විසින් තම ඡන්ද පත්‍රිකාවේ ඡන්ද දෙකක් භාවිතා කරනු ලබයි. ඉන් එක් ඡන්දයක් තමන් කැමති දේශපාලන පක්ෂයට භාවිත කරන අතර, අනෙක් ඡන්දය තම මැතිවරණ කොට්ඨාසයේ තරග වදින අපේක්ෂකයන් අතරින් තමන් කැමති අපේක්ෂකයාට භාවිතා කරනු ලැබේ.

උදාහරණයක් ලෙස ගම්පහ ආසනයේ ඡන්ද දායක‍යෙකු ගනිමු. ඔහු ඡන්ද පොළට ගිය විට ඔහුට ඡන්දය භාවිත කිරීමට ඡන්ද පත්‍රිකාව ලබාදෙන විට එහි එක පැත්තක එම ආසනයේ තරග කරනු ලබන දේශපාලන පක්ෂ වල නම් සහ ලාංඡන තිබේ. ඡන්ද දායකයාට එම දේශපාලන පක්ෂ අතරින් තමන් කැමති පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කළ හැකිය. එම ඡන්ද පත්‍රිකාවේ අනෙක් පස එම ආසනයේ තරගවදිනු ලබන අපේක්ෂකයන්ගේ නම, දේශපාලන පක්ෂය හා ලාංඡනය සඳහන් වේ. ඡන්ද දායකයාට එම අපේක්ෂකයන් අතරින් කැමති අපේක්ෂක‍යෙකුට ඡන්දය භාවිත කළ හැකිය. මේ අනුව ගම්පහ ආසනයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ හැකිය. ගම්පහ ආසනයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ප්‍රථමයෙන් එම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වේ. ඉන් පසුව මුළු දිස්ත්‍රික්කයේම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඉතිරි ආසන පහෙන් බෙදා ලැබෙන අගයට එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අදාලව ගණනය කර එක් එක් පක්ෂ ලබාගත් ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය කරනු ලබයි. උදාහරණයක් ලෙස පක්ෂ වලට භාවිතා කරන මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 100 ක් නම් ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් සියය බෙදූ විට ලැබෙන අගය විස්ස යැයි සිතමු. ඒ අනුව ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට දේශපාලන පක්ෂයේ ඡන්ද විස්සක් ලබා ගෙන තිබිය යුතුය.

මෙම උදාහරණය තවදුරටත් පැහැදිලි කළහොත් A නැමති දේශපාලන පක්ෂය ඡන්ද 45 ක්ද, B නැමති දේශපාලන පක්ෂය ඡන්ද 30 ක්ද, C නැමති දේශපාලන පක්ෂය ඡන්ද 20 ක්ද, D නැමති දේශපාලන පක්ෂය ඡන්ද 5 ක්ද ගෙන ඇතැයි සිතමු. මෙහිදී A නැමති දේශපාලන පක්ෂයට ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවන අතර, ඒ සඳහා හේතූ වන්නේ ඔවුන් 20 දෙගුණයක් ලබාගෙන ඇති බැවිනි. එමෙන්ම B නැමති දේශපාලන පක්ෂයට ද ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් ලැබේ. C නැමති දේශපාලන පක්ෂයට එක් ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවන අතර, D නැමති දේශපාලන පක්ෂයට රට පුරාම 5%  සංඛ්‍යාවේ පවත්වාගෙන ගියහොත් ඔවුන්ටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වේ.

මෙම මැතිවරණ ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලටම නියෝජනයක් ලැබෙන අතර, එය තමන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වේ. පැරණි ක්‍රමය සහ මෙම ක්‍රමයේ ප්‍රධානතම වෙනස වන්නේ, නව ක්‍රමය මගින් ධනවත් අපේක්ෂකයන්ට පමණක් තිබූ අවස්ථාව අහෝසි වී යෑමය. මනාප ක්‍රමය අහෝසි වන බැවින් ධනවතුන් පමණක් දේශපාලනයට පිවිසීම අවසන් වනු ඇත. එසේම මෙම මැතිවරණ ක්‍රමය ලංකාවට උචිත අයුරින් තවදුරටත් සකස් වෙමින් පවතින අතර ශ්‍රී ලාංකික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂවල පැවැත්වෙයි. මෙම ක්‍රමය මගින් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ස්ථාවරත්වය තහවුරු වන බව මාගේ හැඟීමයි.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    චන්ද ක්‍රමය ගැන කියන්න ඉස්සෙල්ල කියන්න දෙයක් තියෙනවා.

    පළාත් සභා චන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම් පත සම්මත කර ගත්ත තක්කඩි කූඨ උපක්‍රමය (විමල්ගේ වචන) සම්පූර්නයෙන්ම හෙලා දකිනවා.

    මම හිතන්නේ රටේ ජනතාව සහ මහා සංඝ රත්නය මේකේ භයානක කම හරියට අවබෝධ කරගෙන නැහැ. මම දැක්ක අස්ගිරි පාර්ශවයේ අනුනායක හාමුදුරු නමක් ඒකට ජනමත විචාරණයක් ඉල්ලනවා. හිතන්නවත් එපා. ජනමත විචාරණයක් කියන්නේ අපිට ලැබෙන අන්තිම අවස්ථාව. එතනට යන්න ඉස්සෙල්ල මේක නවත්ත ගන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් ජන මත විචාරණයේ ප්‍රතිඵල අපි හිතනවට වඩා වෙනස් දේවලට පාවිච්චි කරන්න පුළුවන් නිසා.

    විමල් කලේ භයානක හෙළිදරව්වක්. වෙන කතා පැත්තක දාල මුළු රටම මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. විමල් කියපු කූඨ ක්‍රමයට රනිල්ට පුළුවන් ෆෙඩරල් ව්‍යවස්ථාවට අවශ්‍ය කරුණු ටික කාරක සභා අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධන වලට ඇතුල් කරන්න. ඒ විතරක් නෙමෙයි ඊට වඩා භයානක දේ විධායක ජනාධිපති බලතල කප්පාදු කරන යෝජනාත් හීන් නූලෙන් ව්‍යවස්ථා සංශෝධන වලටම ඇතුල් කරගන්න පුළුවන් කාරක සභා අවස්ථාවේදී.

    මම හිතනවා අස්ගිරි, මල්වතු මහා නායක හාමුදුරුවරු විමල් කියපු දේ තියෙන භයානක කම හරියට අවබෝධ කරගන්න ඕනේ කියලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවුනත් බලතල ඔක්කොම කප්පාදු කරලා බෙලහීන කලොත් රටේ බලය යන්නේ රනිල් අතට. බලය නැතුවත් මෙහෙම නම් බලය ලැබුනොත් කොහොමට හිටීවිද? ජනාධිපති ගැන විශ්වාසය තියාගෙන හිටියට වැඩක් නැහැ. රනිල් කරන කූඨ වැඩ නවත්තන්න එයාට බැරි වෙන්නත් පුළුවන්. ඒ හින්දා මහා සංඝ රත්නය ජනතාව එක්ක එකතු වෙලා ඊට විරුද්ධව ප්‍රබල හඬක් නගන්න ඕනේ.

    කෙනෙක් කිව්වා මේ ඉන්නේ ලංකාවේ අන්තිම විධායක ජනාධිපති වෙන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ රනිල් රටට කරන විනාශේ ගැන අලුතින් කියන්න ඕනේ නැහැ. ලංකාව සම්පූරනයෙන්ම බෙදලා විතරක් නෙමෙයි රනිල්ගේ පාලන කාලෙදිම උතුර විතරක් නෙමෙයි නැගෙනහිර පළාතත් තමිල්නාඩුවට ඈඳෙනවා. රනිල්ට තව අවුරුදු දෙකකින් වයස 70ක්. UNP දේශපාලකයන්ට මේ රට තිබුනත් එකයි නැතත් එකයි. ඒ නිසා රනිල්ව නවත්තන්න ඕනේ මීට එහා යන්න ඉඩ නොදී.

    අනුර කුමාරයි JVP එකයි මීට වඩා රට ගැන හිතන්න ඕනේ. JVP එක රනිල් කරන මහා අපරාදෙට හවුල් වෙන එක දේශද්‍රෝහී කමක්. JVP එකේ ඉස්සර නම් හිටියේ රටට පණ දෙන්න වුනත් ඉදිරිපත් වෙච්ච මිනිස්සු. අඩු ගානේ JVP සාමාජිකත්වය හරි තමන්ගේ නායකත්වයට බලපෑම් කරන්න ඕනේ රනිල්ගේ පාවාදීමට එකතු වෙන්න එපා කියලා.

    රනිල් පනත් සම්මත කරගන්න විදිය සම්පූරනයෙන්ම නීති විරෝධියි. මිනිස්සු මන්ත්‍රීවරු පත් කලේ තමන්ව නියෝජනය කරන්න මිසක් මුදලට විකිණෙන්න නෙමෙයි.

    නිර්විදනයට ලක්වෙලා වගේ ඉන්නේ නැතුව බුද්ධිමත්, සමාජයේ යමක් කමක් තේරෙන පුද්ගලයන් සහ සංවිධාන සහ ජාතික පුවත්පත් සහ මාධ්‍ය රනිල් කරන දේට විරුද්ධව මීට වඩා ප්‍රබල හඬක් නඟන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ රනිල්ගේ තනි ආඥාදායක බලයක්. එළියේ ප්‍රබල හඬක් නඟන්නේ නැතුව ඒක නවත්තන්න් බැහැ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.