13 January, 2025

Blog

පොලීසියේ ගෞරවය යළි ස්ථාපිත කරන්න

පොලීසියේ අශෝභන ක‍්‍රියා ගැන එක දිගටම පෙන්වා දීමට සිදුවීම නීරස කටයුත්තක් බවට පත්ව ඇත. මෑතක දීම ඇති වූ සිද්ධිය වන්නේ, පෙනෙන්ට ඇති පැහැදිළි හේතුවකින් තොරව 24 වියැති තරුණයෙකුව වෙඩි තබා ඝාතනය කිරීමයි. පොලීසිය කියන අන්දමට වෙඩි තැබීමට හේතුව, යතුරුපැදිය අධිකතර වේගයෙන් පැදවීමත්, නතර කරන්නැ යි අණ ලැබුණු විට නතර නොකිරීමත් ය.

 එහෙත් යතුරුපැදියේ පසුපස ආසනයේ ගමන් ගත්, දැනට තුවාල ලබා සිටින 18 වියැති තරුණයා කියන්නේ වෙනම කතාවකි. ඔහු කියන අන්දමට, පොලීසිය නතර කරන්නැ යි කී විට බයිිසිකලය පැදගෙන යමින් සිටි ඔහුගේ මිතුරා නතර කොට තිබේ. දෙන්නාම බයිසිකලයෙන් බැස තිබේ. එවිට, වෙරි මතින් සිටි බවක් පෙනුණු පොලිස් කොස්තාපල්වරයා පිස්තෝලය ඇද ඔහුගේ මිතුරාට එක එල්ලේම වෙඩි තබා තිබේ.

ඔහුගේ ප‍්‍රකාශයේ විශ්වාස කටහැකි බවක් තිබේ. මන්ද යත්, මියගිය පුද්ගලයාගේ සිරුරේ වෙඩි පහරින් ලද තුවාලය හැරුණු කොට වෙන කිසි සීරීමක්වත් නොවීමත්, බයිසිකලයට කිසි අලාභහානියක් සිදුවී නොතිබීමත් නිසා ය. පොලීසිය වෙඩි තිබ්වේ වේගයෙන් බයිසිකලය පැද යන පුද්ගලයෙකුට නම්, එම බයිිසිකලයේ පසුපස ආසනයේ තවත් පුද්ගලයෙකු සිටි නිසා, බයිසිකල් ධාවකයාට වෙඩි වැදීමට ඇති ඉඩකඩ ඉතා අල්ප ය. එවැන්නකට බිංදුවක තරම්වත් ඉඩක් නැතැ යි කීම, ශ‍්‍රි ලංකාවේ පොලීසිය ලබන වෙඩි තැබීමේ පුහුණුව ගැන සළකා බලන විට, අතිශයෝක්තියක් නොවේ. කෙසේ වෙතත්, පොලීසියේ මාධ්‍ය ප‍්‍රකාශකයාට අනුව, පොලිසියේ වෙඩික්කාර පරිචය කියාපාමින් දෝ, සිතාගත නොහැකි දෙයක් සිදුව ඇත.

අපට පොලීසියෙන් ඇසීමට ඇති එකම ප‍්‍රශ්නය වන්නේ, පොලිස්කාරයන්ට ගහන, නින්දා කරන සහ පොලිසිය විහිළුවකට ලක් කරන දේශපාලඥයන්ගෙනුත් ඔය ආකාරයෙන්ම පොලීසිය පළිගන්නේ ද යන්නයි. පවතින ක‍්‍රමය ගැන පොලීසියේ ඇති කලකිරීම සහ ආතතිය ඔවුන් පිට කරගන්නේ, අහිංසක සිවිල් වැසියන්ට තඩිබෑමෙන් සහ මරා දැමීමෙන් ද?

මෑතක දී එක් පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී ඔහුගේ වාහනයත් ගිනි තිබ්බේය. හේතුව, ඊට දින කිහිපයකට පෙර දකුණු අධිවේගී මාර්ගයේ දී එක් නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වාහනයක් නියමිත වේගය ඉක්මවා පැදවීම හේතුවෙන් එම රියැදුරාට මේ කොස්තාපල්වරයා විසින් දඩ කොලයක් දී තිබීම ය. තවත් අවස්ථාවක දී, නීති විරෝධීව හෑරූ වැලි තොගයක් ප‍්‍රවාහණය කරමින් තිබූ ලෑන්ඞ්-මාස්ටර් වාහනයක් අත්අඩංගුවට ගැනීම ගැන තවත් පොලිස් නිලධාරියෙකුට ගුටිකන්නට සිදුවිය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ආණ්ඩුවේ බලගතු නියෝජ්‍ය ඇමතිවරයෙක් ඒ සැකකරුවාව නිදහස් කරන ලෙස ඉල්ලා එම පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් දැක්වීය.

මෑතකදී පළ වූ තවත් මාධ්‍ය වාර්තාවකට අනුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට අනුයුක්ත කොට සිටි පොලිස් නිලධාරීන් දෙන්නෙකුට එම නිවසේ වැඩපළ ද කිරීමට බල කෙරී ඇති බව හෙළි විය.

එසේ හෙයින් ශ‍්‍රී ලංකා පොලීසියේ විනයත්, ගෞරවයත් යළි ස්ථාපිත කිරීමට කාලය පැමිණ තිබේ. එය කළ හැක්කේ පොලීසිය ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමෙනි. එවිට එය දේශපාලන බලපෑම්වලින් නිදහස් වන නිසා, නීතිය හා සාමය රැුකීමටත්, ජනතා අයිතීන් සුරැුකීමටත් ඊට හැකි වනු ඇත.

*2014 ජුනි 16 වැනි දා “Restore Police Honour”නමින් පළවූ ‘ඬේලි මිරර්’ පුවත්පතේ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.