
‘ඬේලි මිරර්’ කතුවැකිය –
ඊයේ ‘ඬේලි මිරර්’ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය වශයෙන් මුල් පිටුවේ පළවූ ‘හිටපු පළාත් සභා මන්ත‍්‍රීන්ට තීරුබදු රහිත වාහන’ නැමැති ප‍්‍රවෘත්තිය ගැන අදහස් පළ කළ එක් පාඨකයෙක් ප‍්‍රකට නරුමයෙකු කළ සඳහනක් උපුටා දක්වා තිබුණි: ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු, ගොබ්බ බහුතරයක් විසින් අමන රැලක් සිය පාලකයන් වශයෙන් පත්කර ගැනීමකි.’’
එය නරුමවාදී අදහසක් විය හැකි වෙතත්, අද ශ‍්‍රී ලංකාවේ බහුතරය තමන්ව ගොනාට අන්දවා ගන්නා බවත්, කෙල ප‍්‍රකෝටි ගණනින් නොවේ නම් කෝටි ගණනින්වත් මහජන මුදල් කාබාසිනියා කෙරෙන පාලකයන්ගේ ඕනෑම තකතිරු තීරණයක්, එම ජනතාවගෙන් බහුතරය අමු සොහොනක පට්ට නිශ්ශබ්දතාවකින් ඉවසා වදාරන බවත් සත්‍යයකි. වාර්තා වන අන්දමට, පලාත් සභා මන්ත‍්‍රීවරුන් සඳහා පමණක් නොව, ජනතාව ප‍්‍රතික්ෂේප කළ පලාත් සභා අපේක්ෂකයන් සඳහා ද තීරුබදු රහිත වාහන සැපයෙන පරිද්දෙන් පලාත් පාලන සහ පලාත් සභා අමාත්‍ය ඒ. එල්. එම්. අතවුල්ලා ගෙනෙන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය මගින් අනුමත කොට ඇත. මීට කලින් මේ වරප‍්‍රසාදය, මාස 30 ක් වැනි කෙටි කාලයක් සඳහා පලාත් සභා මන්ත‍්‍රීවරුන් වශයෙන් සිටි අයවළුන් වෙනුවෙන් ද අනුමත කොට තිබුණි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ පලාත් සභා ක‍්‍රමය ගැන හෝ පවතින හොඳ නරක කෙසේ වෙතත්, එක දෙයක් පැහැදිළි ය. දුප්පත් බදු ගෙවන්නන්ගෙන් යැපෙන සහ සැප විඳින දේශපාලඥයන් නඩයක් මේ පලාත් සභා ක‍්‍රමය යටතේ බිහි කොට ඇත.
මොවුන්ට වඩා වරප‍්‍රසාදිත පිරිසක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සෑම අවුරුදු 5 කට වරක්ම, තීරුබදු රහිත වාහන බලපත‍්‍ර දෙනු ලැබේ. ඒ සමගම, ඇමරිකානු ඩොලර් 50,000 ක ණයක්, ඒ වාහන ගෙන්වීම සඳහා රජයෙන් සපයනු ලැබේ. එහෙත් බොහෝ අවස්ථාවල මේ මන්ත‍්‍රීවරුන් රුපියල් මිලියන 12 සිට 15 දක්වා වන මිල ගණන්වලට එසේ ලබාගන්නා බලපත‍්‍ර විකුණන බව අපි දනිමු. එය, අපචාරයක් තුළ සිදුවන තවත් අපචාරයකි. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම අස්සේ ජීවිකාව ගැටගසා ගැනීමට දඟලන දසලක්ෂ ගණන් අහිංසක මිනිසුන්ට එරෙහිව කරන අපරාධයකි.
දේශපාලඥයන්ව නඩත්තු කරන මේ ජනතාවට, නැත්නම් සූක්ෂම ආකාරයෙන් කොල්ලකනු ලැබීමට භාජනය වන මේ ජනතාවට, මෙකී දේශපාලඥයන්ගෙන් ලැබෙන සෙතක් තිබේ ද? මේ සුපිරි පංතික දේශපාලන නඩය බිහි කොට ඇත්තෝ කවරහු ද? දුක් විඳින, අසරණ සහ බොහෝ විට යනඑන මං නැති ජනතාවගේ වියදමින් මෙවැනි වරප‍්‍රසාද භුක්ති විඳීමට තරම් දේශපාලඥයෝ සුදුස්සෝ ද?
තුන්වන ලෝකයේ දේශපාලනයේ සහ දේශපාලඥයන්ගේ තත්වය මෙසේ තිබියදී, අපේ පැරණි බි‍්‍රතාන්‍ය ජාතික යටත්විජිත හාම්පුතුන්ගෙන් අපට උගෙනීමට බොහෝ පාඩම් තිබේ. බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් කිසි ආරක්ෂක නිලධාරියෙකු නැතිව පොදු ප‍්‍රවාහණ සේවයට අයත් කෝච්චියක තනියෙන් ගමන් ගන්නා දර්ශනයක් මෑතක දී අපි දුටුවෙමු. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ, සෙනග සිටි කෝච්චි පෙට්ටියේ ආසනයක් නොමැති කම නිසා ඔහුට මුල්ලකට වී හිටගෙන යාමට සිදුවීමයි.
ඞී. එස්. සේනානායක සහ ඩඞ්ලි සේනානායක වැනි ජාතික දේශපාලඥයන්, ජනතාවගෙන් ඩැහැගනු වෙනුවට තමන්ගේ තිබුණු ධනයත් රටට වැය කිරීමට ඉදිරිපත් වූ කාලයක් තිබුණි. එවැනි තවත් දේශපාලඥයෝ එදා සිටියහ. එහෙත් රටෙන් ඩැහැගනු වෙනුවට තමන්ගේ දෙයක් රටට දෙන, රට්ටුන්ව යටපත් කොට ඔවුන්ව කොල්ලකනු වෙනුවට, රටට සහ ඔවුන්ට අවංකව සේවය කරන දේශපාලඥයන් සහිත යුගය අද වන විට මියගොස් භූමදානය ද කොට ඇති බවකි, පෙනෙන්ට ඇත්තේ.
*2013 මැයි 11 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Dump This Bunch Of Super Class Citizens නැමති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ – AP Photo/Eranga Jayawardena
Namal / May 17, 2013
For Information . Senanayaka owned the business ” Frudenburg “, which had the sole authority to bring down agricultural vehicles . And the great Senanayaka declared an agricultural war . For which all equipment was brought through ” Freudenburg Company ” . This company was minting money on agriculture war . There was no clean leader………………….
/
Kapila / May 21, 2013
අද තියෙන නිදහස අපිට ලබාදුන්නෙ කවුද කියල ගොඩක් අයට දෑන් අමතකයි.
/