27 September, 2020

Blog

කැමරන් දෙමළ ඩයස්පෝරාවේ දාසයකු නොවන්නේ කෙසේද යත්..

ඬේව් රෂ්

ඬේව් රෂ්

ඬේව් රෂ්

ශ‍්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ තුන්වැනි යෝජනාවක් සැලකිල්ලට ගැනීමට නියමිත, මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය කෙරෙහි හතර වටින් පීඩනය වැඩෙද්දී, ඒ ගැන ලියැවෙන දේවල් ද බහුලව කියවන්නට, අසන්නට ලැබෙයි.

ඒ ගැන ආණ්ඩුවේ ප‍්‍රතිචාරය තුළ දකින්ට ලැබෙන වඩාත් කැපී පෙනෙන කාරණාවන් වන්නේ, ඔවුන් කවදත් ඇදබාන තර්කත්, දේශීය වශයෙන් ඔවුන්ගේ ප‍්‍රයෝජනයට ඉවහල් වන මුත් ජාත්‍යන්තර තලයේ දී ඔවුන්ගේ අසාර්ථකත්වයට හේතුවන උප්පරවැට්ටිත් ය.

ඬේවිඞ් කැමරන් සහ බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ චර්යාව කෙරෙහි ලංකාවේ ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය, ශ‍්‍රී ලංකාවේ ජීවත් වන බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු වශයෙන් මගේ උනන්දුව අවුස්සන එක් උප-කතාංගයක් වී තිබේ. එහෙත් ඒ දෙස වඩාත් සවිස්තරාත්මකව බැලීමට මත්තෙන්, ලෝකයාගෙන් එන විවේචන ඉදිරියේ ශ‍්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉදිරිපත් වන පොදු ප‍්‍රති-තර්ක සමහරක් ගැන විමසා බැලීම වටී.

දුමාරය සහ දර්පණ

ඒ අතරින් වඩාත් බහුලව පාවිච්චි වන්නේ, ලෝකය පුරා තිබෙන ආණ්ඩු, රාජ්‍ය නොවන සංවිධාන, පුණ්‍යායතන සහ පර්යේෂණ ආයතන, සකල බලධාරී දෙමළ ඩයස්පෝරාවක් මගින් අනියම් ආකාරයෙන් නටවනු ලබන්නේය යන තර්කයයි. මේ තර්කය විවිධ මුහුණුවර ගනී. එහෙත්, සංක්ෂිප්තව ගතහොත් ඉන් කියැවෙන්නේ, ශ‍්‍රී ලංකාවේ කීර්තිය පළුදු කිරීමට කැසකවන දෙමළ කුමන්ත‍්‍රණයක් හරහා ලංකාවට එරෙහි ජගත් මඩ ප‍්‍රචාරයක් දියත්ව ඇති බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව කාලයේ, බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ක‍්‍රිස් නෝනිස්, සී.එන්.එන්. ප‍්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින්, ලංකාවේ මානව හිමිකම් ක‍්‍රියාකලාපය ගැන එල්ල වන විවේචනය හැඳින්නුවේ, රටේ ‘ත‍්‍රස්තවාදී ගැටුමට’ මුදලින් ආධාර කළ අයවළුන් විසින් ගෙන යන ‘පෙරකලාසි ප‍්‍රචාරක යුද්ධයක්’ වශයෙනි. මේ අතර, ගෝඨාභය රාජපක්ෂ ද, තැන් තැන්වල හොල්මන් කරන ‘එල්.ටී.ටී.ඊ. වලිග’ ගැන නිතර කතා කරයි.

එහෙත්, සැබෑ ප‍්‍රචාරක යුද්ධයක් කරගෙන යාම සඳහා ආණ්ඩුව විසින්ම මහජන සම්බන්ධතා ප‍්‍රචාරක ආයතන දෙකකට අතිවිශාල ගෙවීමක් කොට තිබීමේ තත්වය තුළ, මේ කතාව විශේෂයෙන්ම සරදමක් වන්නේය. එයින් එක් ආයතනයක් වන ‘තොම්ප්සන් ඇඞ්වයිසරි ගෲප්’’ සමාගමට ආණ්ඩුව වෙනුවෙන් කරන ප‍්‍රචාරක කටයුතු සඳහා මසකට ඩොලර් 66,000 ක් ගෙවනු ලැබේ. ඒ වෙනුවෙන් එම සමාගම, ශ‍්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව සහ පශ්චාත්-යුද්ධකාලීන වර්ධනය ගැන මිනිත්තු 30 ක වාර්තා වැඩ සටහනක් නිපදවා එක් ඇමරිකානු නාලිකාවක් හරහා ප‍්‍රචාරය කෙරුණු අතර, එය ඇමරිකානු දේශපාලඥයන්ට ද පෙන්වන ලදි.

එසේම, ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය නංවාලනු වස්, එංගලන්තයේ නරක නාමයක් ඇති ප‍්‍රචාරක ආයතනයක් වන ‘බෙල් පොටින්ගර්’ සමාගමේ සේවය ද ලංකා ආණ්ඩුව ලබා ගනී. මීට පෙර මේ සමාගමේ සේවාදායකත්වය ලබා ඇති අය අතරේ ගඩාෆි, මුගාබේ සහ මොන්සන්තෝ වැන්නන් ද සිටීම, අපට බොහෝ දේවල් කියාපායි.

දෙමළ කුමන්ත‍්‍රණයක් ගැන කෙලින්ම නොකියන අවස්ථාවල, එය අනියමාර්ථයෙන් අඟවනු ලැබේ. නැතහොත්, වෙනත් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ගැන කියනු ලැබේ. යුද්ධයේ අවසාන කාලයේ දී ශ‍්‍රී ලංකා හමුදාවන් මගින් ‘විශාල වශයෙන්’ යුද අපරාධ සිදුකොට ඇති බවටත්, එවක් පටන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඒ පිළිබඳව ඇති සාක්ෂි විධිමත්ව විනාශ කිරීමේ යෙදී තිබිය හැකි බවටත් කරුණු දක්වමින් ‘පී.අයි.ඒ.සී’ ආයතනය මගින් නිකුත් කළ වාර්තාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘සාමාජික රටවල් නොමග යැවීම සඳහා’ සැලසුම් කළ ‘රහස් න්‍යාය පත‍්‍රයක’ ප‍්‍රතිඵලයක් යැයි කියමින්, ලංකාවේ හමුදාව පසුගිය දා ප‍්‍රතික්ෂේප කෙළේය.

ලෝකය පුරා වෙසෙන දෙමළ ප‍්‍රජාවේ දේශපාලනික පීඩනය, ඔවුනොවුන් වෙසෙන ඒ ඒ රටවල්වල ආණ්ඩු කෙරෙහි යම් බලපෑමක් ඇති නොකෙරෙතියි මෙයින් අදහස් නොකෙරේ. ලංකා ආණ්ඩුවෙන් සිදුකරන ලදැ යි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් තමන් වෙසෙන විවිධ රටවල ආණ්ඩු තන්ත‍්‍රයන් කෙරෙහි තමන්ට හැකි පමණින් දේශපාලනික පීඩනය ඇති කරවන තරමට ශක්තිමත් සහ බලගතු කණ්ඩායම් බොහොමයක් විදේශික දෙමළ ප‍්‍රජාව අතරේ සිටිති. එහෙත් ආණ්ඩුව කියනවාට වඩා මේ කණ්ඩායම්වල බලය බෙහෙවින් අඩු ය. කොහොමත්, ආණ්ඩුවේ බලයට වඩා බෙහෙවින් අඩු ය.

(ක‍්‍රිස් නෝනිස්ගේ සිට රාජපක්ෂ සහෝදරයන් සහ ලලිත් වීරතුංග දක්වා) වන ලංකාවේ දේශපාලඥයන්ගේ තවත් ප‍්‍රියතම තර්කයක් වන්නේ, 2500 වසරක පැරණි ශිෂ්ටාචාරයක් ඇති ලංකාවට වෙනත් රටවල්වල මැදිහත් වීමක් අවශ්‍ය නොකරන බවත්, අපේ දේවල්වලට ඇඟිලි ගැසීමට කලින් ඔවුන් තමන්ගේ වත්ත පිටිය සුද්ද කරගත යුතු බවත් ය.

ඬේවිඞ් කැමරන් කවුරු වුවත් දෙමළ පන්දමෙකු නොවේ

අවසානයේ කී කරුණු දෙක, ඬේවිඞ් කැමරන් ගැන සාකච්ඡුාවට හොඳ ප‍්‍රවේශයකි.

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව තුළ ඔහු බොහෝ මාධ්‍ය සිරස්තලවලට නිමිති වුණි. ඒ, යාපනයට ගිය ගමන නිසාත්, 2014 මාර්තු මාසයට පෙර ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි පියවර නොගතහොත් ජාත්‍යන්තර ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට ලංකාණ්ඩුවට සිදුවිය හැකි බවත් ඔහු ප‍්‍රකාශ කොට සිටීම නිසා ය.

මෙයින් පසු, ඬේවිඞ් කැමරන්ට ලංකා ආණ්ඩුව පලා නොකියා පලා බෙදුවේය. ලංකාව ගැන කතා කිරීමට පෙර, බි‍්‍රතාන්‍ය රජය විසින් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ කළ අපරාධ ගැන සොයා බැලිය යුතු බවත්, ඊළඟ මැතිවරණයේ ජයග‍්‍රහණය සඳහා ලන්ඩන් නුවර වෙසෙන දෙමළ ප‍්‍රජාවගේ හොඳ හිත දිනා ගැනීමට ඇති කැමැත්ත නිසා ඔහු මෙසේ ප‍්‍රකාශ කරන බවත් ඇතැම් මාධ්‍යය මගින් ඔහුට චෝදනා කෙරුණි. එසේම, බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ප‍්‍රභූ අමුත්තන්ගේ පොතේ අත්සන් නොකිරීමෙන් ‘රාජ්‍ය තාන්ත‍්‍රික සම්ප‍්‍රදායක් කඩ කිරීම’ ගැනත්, ලංකාවේ බලධාරීන් විසින් සංවිධානය කළ පිළිගැනීමේ සංස්කෘතික උත්සවයකට කළ ආරාධනාවක් ප‍්‍රතික්ෂේප කිරීම ගැනත් ඔහුව විවේචනයට ලක්වුණි. ‘ඬේලි නිව්ස්’ පුවත්පත, ‘හැකර ගොඩයෙකු’ වශයෙන් ඔහුව නම් කොට, කොන්දේසි විරහිත පූර්ණ සමාවක් ද ඔහුගෙන් ඉල්ලා සිටියේය.

මේ චෝදනා, අමුතු දේවල් නොවේ. එසේ වුවත්, ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචනයන්ට ලංකා ආණ්ඩුව දක්වන පොදු ප‍්‍රතිචාරයේ ස්වභාවය ද ඒ මගින් පෙන්නුම් කෙරේ. පිළිතුරු දීමටවත් අවශ්‍යතාවක් නැති තරමට මේ චෝදනා ළාමක වුවත්, ඒවා එකිනෙක ගැන යම් අවබෝධයක් ලබා ගැනීම වටී.

මුලින්ම, ‘‘වීදුරු ගෙවල්වල සිටින අය අනිත් අයට ගල් නොගැසිය යුතුය’’ යන තර්කයේ යම් බරක් ඇතත්, එය අර්ථවත් වන්නේ මේ අය එය ඉදිරිපත් කරන ආකාරයෙන් නොවේ. ලෝකය පුරා සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාර තුළ සාධාරණත්වයක් සහ සමානාත්මතාවක් නැති බවත්, අනිත් අයට බණ කියන අතරේ ඇමරිකාව, එංගලන්තය සහ චීනය වැනි රටවල් ඔවුන් කරන ඇතැම් අපරාධවලින් පහසුවෙන් ගැලවී යන බවක් දක්නට ලැබෙන බවත් සත්‍යයකි. එම තත්වය පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතු බවට විවාදයක් නැත.

එහෙත්, ඔබ කරන අපරාධ ඒ මගින් සාධාරණීකරණය වන බව පැවසීම, එක පැත්තකින් මුග්ධ ය. අනිත් පැත්තෙන්, ඔබේ වරදකාරීත්වය ව්‍යංගයෙන් පිළිගැනීමක් වන්නේය.

දෙවැනුව, ඬේවිඞ් කැමරන් ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය ගැන කතා කෙළේ, ඔහුගේ ඊළඟ මැතිවරණය දිනා ගැනීමේ ශක්‍යතාව මුවහත් කර ගැනීමට යැයි කීම බොරුවකි. 66.000.000 (හය කෝටි හැට ලක්ෂයක) ජනගහනයක් සිටින බි‍්‍රතාන්‍යයේ දෙමළ සම්භවයෙන් යුත් ප‍්‍රජාවගේ ප‍්‍රමාණය, 110,000-150.000 අතර ගණනකි. එසේ වෙතත්, තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ නියෝජනාත්මක බලයක් ඔවුන්ට තිබේ. මෑතකාලීන වාර්තා පෙන්වා දෙන පරිදි, ශ‍්‍රී ලංකාවට පැමිණීමට මත්තෙන්, මේ ජන ප‍්‍රජාවේ නියෝජිතයන්ව ඬේවිඞ් කැමරන් මුණගැසී තිබේ.

එහෙත්, බි‍්‍රතාන්‍ය දේශපාලන සිතියමේ මේ පිරිස අභ්‍යාස කරන බලපෑම, නොවැදගත් වන තරමට, සීමිත ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට ඡුන්ද අයිතිය පවා නැත. කැමරන්ව නටවන දෙමළ කුමන්ත‍්‍රණයක් ඇතැ යි පැවසීම විහිළුවක් වන්නේ, ශ‍්‍රී ලංකාව ගැන ඇමරිකානු සෙනේට් සභාවට ගිය සතියේ ඉදිරිපත් කළ යෝජනාව මෙන්ම බි‍්‍රතාන්‍යයත්, එක පාර්ශ්වයක නොව, දෙපාර්ශ්වයේම අපරාධ සොයා බැලිය යුතු බවට හැමදාමත් අවධාරණය කොට ඇති නිසා ය. බි‍්‍රතාන්‍ය අගමැතිවරයා එක දෙමළ බලපෑම් කණ්ඩායමක් එක වරක් හමුවීම මොන තරම් නොවැදගත් ද යන්න, පසුගිය මාස දොළහක කාලය තුළ කැමරන් මුණගැසී ඇති මහ පරිමාණ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් ප‍්‍රමාණය සමග සැසඳීමෙන් වටහාගත හැක.

මම, 2006-2009 කාලය තුළ බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයක ලාංකීය සාහිත්‍යය ඉගැන්වීමි. දේශපාලනික වශයෙන් ක‍්‍රියාකාරී සහ ඉතා උද්‍යෝගීමත් මගේ ශිෂ්‍යයන්ගෙන් බහුතරයක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නය ගැන කිසිවක්ම දැන නොසිටි ගානයි. එහෙත් එය, ගැටුමේ උච්චතම කාලය විය. එසේම, වැඩිම මාධ්‍ය ආවරණයක් ද ඒ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් යොමු වී පැවති අවස්ථාවක් විය. මගේ තර්කයට සාක්ෂියක් වශයෙන් සළකන්නේ නම්, මෙය හුදෙක් තනි සිද්ධියක් වීමට පිළිවන. එහෙත්, වඩා පුළුල් බි‍්‍රතාන්‍ය සන්දර්භය ඊට බෙහෙවින් වෙනස් නැත.

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව කාලයේ විශාල මාධ්‍ය ආවරණයක් ලංකාවට ලැබුණි. එහෙත්, සමස්තයක් වශයෙන් ගත් විට, සිවිල් යුද්ධය පිළිබඳ මාතෘකාව බි‍්‍රතාන්‍ය මැතිවරණ ප‍්‍රජාවට අදාළත්වයක් ඇති ප‍්‍රශ්නයක් නොවුණි. ආදර්ශමත් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රිකයාගේ සහ ‘වීරයාගේ’ චරිතය රඟපාන්නට එම නායක සමුළුව කැමරන් අවස්ථාවක කරගත් බව ඇත්ත. එහෙත් එවැනි අවස්ථාවන්, කිසි දේශපාලඥයෙකු අතහරින අවස්ථාවන් නොවේ.

කෙසේ වෙතත්, ලංකාවෙන් පැමිණ දින ගණනක් ඇතුළත, කැමරන්ගේ කුහකත්වය ගැන බි‍්‍රතාන්‍ය මාධ්‍ය කෑගැසුවේය. ඔහු ශ‍්‍රී ලංකාවෙන් පසු කෙලින්ම ගියේ, අවි ආයුධ වෙළඳ සල්පිලකටයි. ඒ අතරේ ඔහු චීනය සමග ද කූට්ටාලි කම් කෙළේය. එළැඹෙන මානව හිමිකම් සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාව නැවතත් බි‍්‍රතාන්‍ය මාධ්‍යය තුළ (විශේෂයෙන් චැනල් 4) සාකච්ඡුාවට ලක්වේවි. එහෙත් එය, එරට පුවත්පත්වල මුල් පිටු සරසවන එකක් නැත.

නග්න සත්‍යය වන්නේ, ශ‍්‍රී ලංකාව ද ඇතුළු වෙනත් රටක් ගැන හිස අවුල් කරගැනීමට බැරි තරමට බි‍්‍රතාන්‍ය වැසියාට තමන්ගේම වන ප‍්‍රශ්න මල්ලක්ම තිබීමයි. ඊළඟ මැතිවරණයේ කැමරන්ගේ ජයග‍්‍රහණය තීන්දු වන්නේ, එම ප‍්‍රශ්නවලට කැමරන් ආමන්ත‍්‍රණය කෙරෙන ආකාරය සහ ඒවාට දෙන පොරොන්දු කවරේද යන්න මතම පමණි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නයට මැදිහත් වීමට කැමරන්ව මෙහෙයවනු ලැබුවේ, එක පැත්තකින් බාල දේශපාලනය විසිනි. තවත් පැත්තකින්, අවස්ථාවාදය සහ රාජ්‍ය තාන්ත‍්‍රිකව තමා මුදුනා වීමට ඇති අවශ්‍යතාව විසිනි. එහෙත්, එම මැදිහත් වීම තුළ, සදාචාරමය පැත්තකුත් තිබේ. මා මෙහි දී කතා කරන්නේ, ඔහු හෝ ඔහුගේ පක්ෂයේ දේශපාලනයට උදක්ම පසමිතුරු සහ එය නොඉවසන කෙනෙකු වශයෙනි. එසේ වතුදු, පසුගිය මාස කිහිපය තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ක‍්‍රියාකලාපය කෙරෙහි කුඩුකේඩු ගෞරවයක් ද මා තුළ තිබේ.

අප මේ සාකච්ඡුාවට ගන්නා ප‍්‍රස්තුතය හොඳින් සිහියේ තබාගත යුතුය. පසුගිය මාස කිහිපයේ පමණක් හෙළිදරව් කෙරුණු ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා සහ ඒවාට ගැනෙන සාක්ෂි අතරට මේ කරුණු ද ඇතුළත් ය: ලෝකයෙන් වධහිංසා වැඩියෙන්ම වාර්තා වන රට ලංකාවයි. නොවිසඳුණු අතුරුදහන්වීම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට, ඉරාකය හැරුණු කොට, ලංකාවයි. 2013 දී පමණක්, මානව හිමිකම් උල්ලංඝනයන් 7000 ක් ලංකාවෙන් වාර්තා වී ඇත. දවසින් දවස, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සහ ඒකාධිපති ප‍්‍රවණතාවට බර රටක් වශයෙන්, දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්වන රට ලංකාවයි. මේ සියල්ල, යුද අපරාධ, ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර සහ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය යනාදියට අමතරව ය.

බි‍්‍රතාන්‍යයේ ස්ථාවරය තුළ කුහකත්වයක් තිබේ. ලංකාව ගැන කතා කරන තවත් බොහෝ රටවල තත්වයත් එයයි. එය පෙන්වා දීම සාධාරණ ය. එහෙත්, එල්ල වන චෝදනාවන් නිෂේධ කිරීමට පමණක් නොව, ජාත්‍යන්තර ප‍්‍රජාවේ මානසිකත්වය වෙනස් කිරීමට වුව, ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ මාධ්‍ය ජාලයේ ප‍්‍රතිචාරය කොහෙත්ම නොසෑහෙයි. නොගැලපෙයි.

මේ සාකච්ඡුා කළ තර්කවලට අමතරව, නවී පිල්ලේ, නිෂා බිස්වාල්, ස්ටෙෆන් රැුප්, ස්ටෙෆන් හාර්පර්, මන්මෝහන් සිං, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච්, ජාත්‍යන්තර මාධ්‍ය සහ මානව හිමිකම් කවුන්සිලය වැනි, පුද්ගලයන් සහ ආයතන, දුෂ්ට පුද්ගල න්‍යාය පත‍්‍ර සහිත පුද්ගලයන් විසින් ලෙහෙසියෙන්ම අන්දවනු ලැබ ඇතැ යි, නොයෙක් වර කියනු ලැබේ.

ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයන්ගේ බුද්ධියට මෙසේ නිගා කිරීම කොහොමත් නොහොබී. ඊටත් වඩා, රාජපක්ෂ ආණ්ඩුව තම ජනතාවගේ බුද්ධියට නිරතුරුව නිගා කෙරෙන ආකාරයත් ඒ මගින් පෙන්නුම් කෙරේ.

ශ‍්‍රී ලංකාව තුළ මාධ්‍ය හැසිරවීමට ආණ්ඩුවේ බලධාරීන්ට ඇති හැකියාවේ ස්වභාවය කෙසේද යත්, දේශීය වශයෙන් වැඩ කරන උපක‍්‍රම සහ තර්ක, ඒ ආකාරයෙන්ම, ජාත්‍යන්තරයට ද වැඩ කරති යි ඔවුහූ සිතති. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළු සැසිවාරය කාලයේ පෙනෙන්ට තිබුණු පරිදි, මාධ්‍යවේදීන් බිය ගැන්වීම, විපක්ෂයේ විරෝධතා තහනම් කිරීම, තමන් එකඟ නොවන ඕනෑම කෙනෙකුට අඩන්තේට්ටම් කිරීම ආදිය, එක්තරා දුරටක රට ඇතුළේ වැඩ කරයි. එහෙත්, රටින් පිට එය කොහෙත්ම වලංගු වන්නේ නැත. බි‍්‍රතාන්‍යයේ වඩාත් ජනප‍්‍රිය ටැබ්ලොයිඞ් මාධ්‍ය ජාලයක් වන අයි.ටී.වී. ආයතනය එකල කී පරිදි, ‘‘ශ‍්‍රී ලංකාවේ නායකයන්, ජනතා මතය නැමැති අධිකරණය තුළ තමන්වම අමාරුවේ දාගෙන ඇත.’’ එය, එකඟ නොවීමට අසීරු නිරීක්ෂණයකි.

වෙනත් තැනක මා පෙන්වා දී ඇති පරිදි, ‘‘වටලෑ මානසිකත්වයක්’’ (කවුරුවත් අපිට කැමති නැහැ, ඒත් අපිට මොකෝ?) ඇති කර ගැනීම, දේශීය සහයෝගය සඳහා ප‍්‍රයෝජනවත් විය හැකිය. එහෙත් එය, ජාත්‍යන්තර සම්බන්ධතාවලදී, දේශපාලනික අර්ථයෙන් මෙන්ම, සමාජ සම්බන්ධතා අර්ථයෙන් ද, බෙහෙවින් අනර්ථකාරී ය. මේ සඳහා යොදාගන්නා භාෂාවත් ගෙන දෙන්නේ, ඉෂ්ටාර්ථය නොව, එහි ප‍්‍රතිපක්ෂයයි. ‘‘ප‍්‍රචාරණය’’, ‘‘බළල් අත්’’ සහ ‘‘කුඩා සුළුතරයන් මගින් ලෝකයා නැටවීම’’ ආදිය සිහියට නංවන්නේ, සීතල යුද්ධ කාලයේ ඇමරිකානු සහ සෝවියට් කඳවුරු තුළ පැවති භීතිකා මානසිකත්වයක් මිස, විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලක්ෂණයක් නොවේ.

බුද්ධිමත් කතාවක් මෑතක දී අසන්ට ලැබුණේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙනි: ’’ශ‍්‍රී ලංකාව, ජාත්‍යන්තර ප‍්‍රජාවේ කොටසක්. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්වලට අපි ගරු කරන්න ඕනේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ කියනවා නං, ඒකට මගේ විරුද්ධත්වයක් නැහැ. අපි වරදක් කරලා නැත්නම්, ජාත්‍යන්තරය ඉදිරියට ගිහිල්ලා අපේ නිර්දෝෂි බව ඔප්පු කරන්න අපිට පුලූවන් වෙන්න ඕනේ.’’

රටේ ගෞරවයට පාත‍්‍ර, ප‍්‍රධාන පෙළේ සිංහල බෞද්ධ නායක භික්ෂූන් වහන්සේ නමකගෙන් නැගෙන එම අභියෝගයට ආණ්ඩුව කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇත් දැ යි බලා සිටීම වටී. අවාසනාවකට මෙන්, එම ප‍්‍රතිචාරය වනු ඇත්තේ, මෙහි දී සාකච්ඡුාවට නොගැනුණු තවත් ක‍්‍රමවේදයකි: එනම්, ටික දවසකින් එය අමතක වී යනු ඇතැ යි සිතා නොතකා හැරීම ය.

*2014 පෙබරවාරි 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Why David Cameron Is Not In Thrall To The Tamil Diaspora නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.