20 April, 2024

Blog

බලාගෙනයි; භාණ්ඩ හා සේවා වෙළෙඳපළ තුළ ඔබත් විකිණී යාහැක

මහාචාර්ය දයා අමරසේකර –

මහාචාර්ය දයා අමරසේකර

මහාචාර්ය දයා අමරසේකර

පසුගිය දිනයෙක ගවේෂණ කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරුමැද පළාත්වල ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක සංචාරයක යෙදීමට මට සිදු විය. එහිදී මා හට එම ප්‍රදේශවල ප්‍රධාන නොවූ උප නගර කිහිපයක මග දෙපස වෙළෙඳ ආයතනය ඉදිරියේ නතර කොට ඇති විවිධ වර්ණවල කොඩිවැල්වලින් සරසා තිබූ මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, සැහැල්ලු ට්‍රක් සහ ට්‍රැක්ටර් සෑහෙන ප්‍රමාණයක් දැකගත හැකි විය. එමෙන්ම ඒ බොහෝ වාහනවල ඒවායේ වටිනාකමින් පහෙන් එකක් පමණ මුදලක් සඳහන් කොට එම මුදල ගෙවා ඒවා රැගෙන යන ලෙස සඳහන් පුවරු සවි කොට තිබිණ. ඉන් පැවසුණේ පහසු ගෙවීමේ ක්‍රම, කල්බදු (Leasing) යටතේ පාරිභෝගිකයන්ට ඒවා ලබා දිය හැකි බවකි. එහෙත් මෙම ‘ගෙවීමේ පහසුව’ පිළිබඳව පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු ලබා නොදීම මත සිදුවන්නේ ඒවාට නතුවන පාරිභෝගිකයන් තමන්ද නොදැනුවත්වම ‘මරු කටකට’ ඇද වැටීමය. අතීතයේ නගරබදට පමණක් සීමා වී තිබූ මෙම සූක්ෂම 
වෙළෙඳ උපක්‍රම අද වන විට ශ්‍රී ලංකාවේ දුරබැහැර කෘෂිකාර්මික කලාප දක්වා පැතිර තිබිම ඛිෙදවාචකයකි.

වෙළෙඳපළ තුළ අතරමං වීම 
භාණ්ඩ සහ සේවා වෙළෙඳපළේ පාරිභෝගිකයන් වන අපට එදිනෙදා අපගේ අවශ්‍යතා සහ අරමුණු (Wants & Needs) සාධනය කර ගැනීම සඳහා කරන උත්සාහයන් වලදී විවිධ අකරතැබ්බ වලට මුහුණ පාමින් මඟ වරද්දා ගන්නට සිදුවන වාර අනන්තය, අප්‍රමාණය. 
විශේෂයෙන්ම ජීවිතයේ, පවු‍ලේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කාන්තාවන් වෙත පැවරී තිබෙන වගකීම සුළුපටු නැත. වෙළෙඳ ලෝකය තුළ අටවා ඇති අනේක උගුල් වර මදු වලට හසුනොවී අපගේ අවශ්‍යතා නිවැරදිව තේරුම්ගෙන ඒවා සපුරා ගැනීමට විශේෂයෙන් මෙරට කාන්තාවන් පෙරට පැමිණිය යුතුය. මක්නිසාද ලෝක වෙළඳ ප්‍රජාව තම ව්‍යාපාරික දැල් වැඩිපුරම අටවනුයේ කාන්තාවන් අරමුණු කර ගනිමිනි. ඊට හේතුව පාරිභෝගිකත්වයෙහිලා කාන්තාව පිරිමියා අභිභවා සක්‍රිය වන බවට ලෝකය පුරා පැතිරගත් මතයක් ඇති බැවිනි.

නීත්‍යානුකූල අකටයුතුකම් 
මෙහිදී නූතන වෙළෙඳ ලෝකය පුරා පැතිරී ඇති පහසුගෙවීමේ ක්‍රම සහ කල්බදු සහන සිද්ධාන්තමය වශයෙන් විවේචනය කිරීමට අපට නොපුළුවන. 
ඒ ඒවා නීත්‍යනුකූල වෙළෙඳ ගිවිසුම් මත පදනම් වන බැවිනි. එහෙත් නූතන වෙළෙඳ ප්‍රජාව මේවායේ නීත්‍යානුකූල පසුබිම 
පිළිබඳව මිස සදාචාරාත්මක පසුබිම පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරනු නොපෙනේ. ඊට හේතුව නූතන ආර්ථික විද්‍යා සිද්ධාන්ත කිසිවක් තුළ සදාචාරාත්මක ඇගැයුම්වලට කිසිදු ඇගැයුමක් ලැබි නොමැති බැවිනි. 
අද සියලුම දේවල් මුදල මතම පදනම් වූ ඉතා අහිතකර තත්ත්වයක් ලෝකය පුරා නිර්මාණය වී තිබේ. මිනිස් ජීවිතයේ සෑම සියලු දෙයක්ම ආර්ථිකය මතම රඳා පැවතීම විශාල ගැටලු රැසක් මවාදීමටද හේතුවී හමාරය. අතීයේදී ජීවිතයට ආර්ථිකය සම්බන්ධ වූයේ යම් යම් අවස්ථාවල සීමිත කාර්යයන්වලදී පමණි. එදා මිනිස් සමාජය තුළ මුදලට ලැබුණේ දෙවන තැන බව “සල්ලි දෙවියන්ගෙ මල්ලි” යන අපගේ පැරණි ජනවහරින්ද ප්‍රකට වෙයි. මෙහි දෙවියන් ලෙස අර්ථදැක්වන ආධ්‍යාත්මික සහ සදාචාරාත්මික වටිනාකම්වලට දෙවන ස්ථානයක් අතීතයේ මුදලක් හිමිවිය. 
නමුත් මේ වන විට මිනිසාගේ ආධ්‍යාත්මික සදාචාරාත්මක හර පද්ධතිය විසිරී බිඳීගොස් ඒ අබිබවා ගිය මුදල, දෙවියන්ගේ අයියාටත් එහාට ගොස් තිබේ. 
දෙවියන් සඳහා පෙළගැසී සිටින ලොකු ලොකු වටිනාකම් සහිත මුදල් නෝට්ටු සහිත පූජා වට්ටිවලට ‍පෝලිමෙන් පිටපැන ඉක්මනින් දෙවියන් බැහැ දැකීමේ අවස්ථා උදාවන්නේ ද මේ තත්ත්වය නිසාය. මුදල ආර්ථිකය, මිනිසා මේ තරමට බිලිගෙන තිබෙන නිසාම නූතන මිනිසා ආර්ථික මානවයා (Homo Economics) ලෙස නිර්වචනය කිරීමට පවා නූතන සමාජ විද්‍යාඥයෝ පෙළැඹී සිටිති.

හුදකලා පාරිභෝගිකයාට වටකොට පහරදීම 
පාරිභෝගිකයන් ලෙස සංවිධාන මට්ටමකින් තොරව එකතැන හුදකලා වශයෙන් රැඳී සිටියද අද නිෂ්පාදනය, වෙළෙඳාම අලෙවිය යන අංශ අති විශාල යාන්ත්‍රණයක් තුළ සිදු කෙරෙන, සංවිධානාත්මක ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වන්නකි. 
නොයෙකුත් වෙළෙඳ උප්පරවැට්ටි යොදමින් තම භාණ්ඩ සහ සේවා අලෙවි කර ගැනීම සඳහා පාරිභෝගිකයන් බිලිබා ගැනීමේ මනෝ විද්‍යාත්මක ක්‍රියාදාමයන් ලොව පුරා නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙයි. තම නිෂ්පාදන සම්භාරයන් කෙරෙහි පාරිභෝගිකයන් ආසක්ත කරගනිමින් ඔවුන් අධික ලෙස භාණ්ඩ හා සේවා පරිභෝජනයට යොමුකර ගැනීමට ඒ අයගේ අභ්‍යන්තර මනෝභාවයන් වෙනස් කිරීමේ සැලසුම් පවා ඒ අතරවෙයි. අධිපරිභෝජනවාදය (Over Consumerism) නූතන සමාජය තුළ දැවැන්ත බලවේගයක් බවට පත් වීමටද මේවා හේතුවී තිබේ. තමන්ගේ අවශ්‍යතා සහ අරමුණු අනිසි ලෙස පමණ ඉක්මවා සපුරා ගන්නට පාරිභෝගිකයන් ‍පොළඹවා ගැනීමට අවශ්‍යතා ඉක්මවා ගොස් ආශාව මත පදනම් වන නාස්තිකාර අධි පරිභෝජනයකට (Hyper-consumerism) ජනතාව පෙළඹවීම ලෝක වාණිජ ප්‍රජාවේ අවශ්‍යතාව වී තිබේ. දැන් අපි මෙහි මුලින්ම සඳහන් කළ සිදුවීම පිළිබඳව විමසා බලමු. රුපියල් ලක්ෂ දහයක් වටිනා යම් කිසි භාණ්ඩයක් රුපියල් ලක්ෂ එකහමාරක් දී රැගෙන යන ලෙස ඔබට කවුරුන් හෝ දැනුම් දුනහොත් ඔබට පළමුව එය පෙනෙනුයේ රුපියල් ලක්ෂ අට හමාරක ලාභයක් ලෙසිනි. එහෙත්, එය රැගෙන යන්නා හට ඇතැම් විට පැවසෙනුයේ ඉතිරි මුදල රුපියල් තිස් දහසේ මාසික වාරික ලෙස වසර හතරකින් ගෙවා නිම කළ හැකි බවය. එවිට වසර හතර අවසානයේ ඒ තැනැත්තා රුපියල් මාසික වාරික වශයෙන් රුපියල් දාහහතර ලක්ෂ හතළිස් දහසක මුදලක් ගෙවිය යුතුය. එමෙන්ම ඒ වනවිට රුපියල් ලක්ෂ දහයක වෙළෙඳපළ වටිනාකමක් සහිත භාණ්ඩය සඳහා එය කොටස් වශයෙන් ගෙවන්නා විසින් වැය කළ යුතු මුළු මුදල රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසකි. එසේම කිසියම් අයුරකින් මෙම එක් වාරිකයක් හෝ ගෙවීම අතපසු වුවහොත් එම මුදලට හිඟ ‍පොලී සහ දඩ ද එක්වී එම ගෙවිය යුතු මුදල තවත් වැඩිවනු ඇත. (මෙම සංඛ්‍යා ‍ලේඛන හුදු ආදර්ශනයක් පමණක් බව විශේෂයෙන් සලකන්න) එය සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙනුයේ ‘‍පොලිය පැටව් ගැසීම’ යනුවෙනි නමුදු එම ගිවිසුම යටතේ එම භාණ්ඩය ගෙවා නිමවන තුරු ඒ භාණ්ඩයේ නීතිමය අයිතිය මූල්‍ය සමාගම සතුවන අතර වාරික දෙක තුනක් ගෙවීමට අ‍පොහොසත් වූ විට ඒ තැනැත්තාට භාණ්ඩය පමණක් නොව තමන් එතෙක් ගෙවූ සියලු මුදල්ද අහිමි වෙයි. ඒවාට යළි හිමිකම් කිව හැක්කේ අධිකරණ මාර්ගයෙන් පමණි. එසේම මෙය දේශීය භාණ්ඩ හා සේවා වෙළඳපළට පමණක් නොව විවෘත ආර්ථිකයක් සහිත ලොව සෑම රටකටම ‍පොදු තත්ත්වයක් බවද අප වටහා ගත යුතුය. එසේම මෙම ගෙවීමේ පහසුක්‍රම කල්බදු පහසුකම් ප්‍රතික්ෂේප කරන ලෙස මම කෙසේවත් නොකියමි. මෙහිදී කළ යුත්තේ එම පහසුකම් ලබා ගැනීමට පෙර තම ආර්ථිකය අනුව සැබැවින්ම එය පහසු ගෙවීමක්ද යන්න බුද්ධිමත්ව සිතා බැලීමය.

අවශ්‍යතා ඉක්මවා පාරිභෝගිකත්වයේ යෙදෙනු එපා 
එසේම තමන්ගේ අවශ්‍යතාවයන් ඉක්මවා යන එහෙත් මතුපිටින් වාසි සහගත යැයි පෙනෙන ඇතැම් දේවල් සතු කරගෙන ගැනීමට මාන බැලීම බොහෝ පාරිභෝගිකයන් තුළ දක්නට ලැබෙන අඩුපාඩුවකි. 
උදාහරණයක් ලෙස සහල් කිලෝග්‍රෑම් 20ක් පමණ ඉදෙන විශාල භාජනයක් වෙළෙඳ‍පොළේ නියමිත මිලට වඩා රුපියල් 1000 – 1500 ක් පමණ අඩුවෙන් දෙනවායැයි කියා එය අඩු මුදලට රැගෙන යාම විශාල වාසියක් ලෙස යම් ගෘහණියකට පෙනී යා හැක. එමගින් ඇයට මුහුණ පාන්නට සිදුවන ගැටලු රාශියකි. නමුත් මෙවැනි භාජනයක් භාවිතා කිරීමට සිදුවන්නේ මඟුල් උත්සව දානමාන වැනි ආහාර ඉතා විශාල ප්‍රමාණයක් පිළියෙළ කරන අවස්ථාවකදී පමණය. මෙවැනි බඳුනක් සාමාන්‍ය නිවසක භාවිතා කෙරෙන්නේ පුද්ගලයකුගේ ජීවිත කාලය තුළ වරක් හෝ දෙකක් පමණක් විය හැක. එසේම නිවසක ඉඩකඩ ගැන සලකා බලන විට එය ගබඩාකර තැබිමේදී විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුවීම නොසිතන ගැටලු මතුකරන්නක් විය හැකිය. එවිට ගෘහණියගෙන් දොස් පරොස් අසන්නේ එම භාණ්ඩයමය. ඒ එය බලහත්කාරයෙන් තම නිවස තුළට කඩා වැදුණාක් මෙනි. එනිසා එවැන්නක් මිලට ගනු වෙනුවට අවශ්‍යතාව මත කුලියට ගැනීම වඩාත් යෝග්‍යය. මේ ඉතා සුළු උදාහරණයක් පමණි.

වැඩිපුර සහ නොමි‍ලේ 
මේ අතර යමක් මිලට ගත්විට තවත් යමක් වැඩිපුර හෝ නොමි‍ලේ ලැබෙන්නේත් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල්, භාණ්ඩ ත්‍යාග සහ වෙනත් වරප්‍රසාද හිමිකර දෙන බව පවසන්නේත් නූතනයේ පවසන වෙළෙඳ තරගය නිසාය. එමෙන්ම මෙයද වර්තමාන ලෝක ප්‍රවණතාවයක දේශීය තත්ත්වයක් මිස අප රටේ භාණ්ඩ සහ සේවා වෙළෙඳපළ මෙහෙයවන ආයතන සහ සමාගම් විසින් නිර්මාණය කරන ලද තත්ත්වයක් නොවන බවද කිව යුතුය. එමෙන්ම ඔවුන් ද මේ අතීරණාත්මක තරගයේ තරග කරුවන් සේම එක්තරා අන්දමක සිරකරුවන් බවද නොසඟවා කිව යුතුය. කෙසේ හෝ මෙම කුළුගැන්වීම් හමුවේ මේවාට රැවටෙන බහුතරයක් තමන් තුළ පුබුදුවා ගන්නා ආශාවන් මුල් කොට තමන්ට අවශ්‍ය භාණ්ඩ හා නොමසුරුව ලබා ගන්නට පෙළඹෙන්නේ තමන් සතු ප්‍රඥාව පළවා හරිමිනි. නූතන සමාජ විද්‍යාඥයන් මෙම තත්ත්වය හැඳින්වනුයේ ප්‍රදර්ශන පරිභෝජනය (Conspicuous consumption) යනුවෙනි. විශේෂයෙන් මෙවැනි කුළුගැන්වීම් හමුවේ කාන්තාවන් මුලාවන වේගය අතිශයින් ඉහළ අගයක් ගනී. එහෙත් මෙබඳු වෙළඳ මගඩිවල පටලැවී අමාරුවේ වැටුණු පසු පැන නගින බැරෑරුම් ආර්ථික ගැටළු නිසා පෞරුෂ අර්බුද, හට ගැනීමට සේම පවු‍ලේ සාමය බිඳවැටී, පුද්ගලයන් කයින් හා මනැසින් රෝගී වීමටද පැහැදිලි ඉඩක් තිබේ. මෙය හැඳින්වෙනුයේ භාණ්ඩ හා සේවා වෙළඳපළ තුළ ‘පාරිභෝගිකයන් විකිණීයාම’ ලෙසිනි. එමෙන්ම සමාජයේ හොර මැර, වංචා, දූෂණ, අපරාධ සහ සදාචාර විරෝධී ක්‍රියා බහුලවීම සම්බන්ධයෙන් මෙම අධිපරිභෝජන වාදයේ අහිතකර ප්‍රතිඵල මුල්වී ක්‍රියා කරනු ඒකාන්තය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.