12 December, 2017

Blog

ශ‍්‍රී ලංකාව දැනටමත් ‘අර්ධ ඒකීයයි’

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක‍්‍රියාවලිය පිළිබඳ වාද විවාද, ‘ෆෙඩරල්’ සහ ‘ඒකීය’ යන අන්තයන් වෙත ද්‍රැවීකරණය වීමේ ඉඩක් පවතී. එය අවාසනාවන්ත තත්වයකි. මන්ද යත්, මේ දෙක අතරේ පවතින ‘පැරණි සුවිශේෂී වෙනස්කම්’ තවදුරටත් නොපවතින බැවිනි. වෙනස්කම් හෝ සුවිශේෂීතා පවතින්නේ, රාජ්‍ය හෝ ව්‍යවස්ථාමය මාදිලිවල පුළුල් වර්ණාවලියක් තුළ මිස, මේ කියන ද්වි-විධ ප‍්‍රවර්ග අතර නොවේ. ‘පූර්ණ ඒකීය’ හෝ ‘පූර්ණ ෆෙඩරල්’ රාජ්‍යයන් පැවතිය හැක්කේ එකිනෙකට සපුරා ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකක පමණි. එය පවා, න්‍යායික වශයෙන් මිස, ප‍්‍රයෝගිකව නොවේ.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තත්, අපට ඇත්තේ ‘අර්ධ-ඒකීය’ ආණ්ඩු ක‍්‍රමයක් මිස, ‘ඒකීය රාජ්‍යයක්’ හෝ ‘ඒකීය ආණ්ඩු ක‍්‍රමයක්’ හෝ නොවේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවෙන් ඒ බව ඕනෑවටත් වඩා පැහැදිළි විිය. එම සංශෝධනය කෙටුම්පතක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද අවස්ථාවේ 9 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිශ්චයාසනයක විභාගයෙන් පසු, එම කෙටුම්පත ‘ඒකීය රාජ්‍යයට’ පටහැනි නොවන බවට තීරණය කෙළේ 5 දෙනෙකු පමණි. ඉතිරි විනිසුරන් 4 දෙනාගේ අදහස් ඊට එකඟ නොවුණි.

ශේ‍්‍රෂ්ඨාධිකරණ තීන්දුව

කෙසේ වෙතත්, ඒ කාලයේ සහ ඉන් පසුවත් බොහෝ විනිශ්චයන්හි (දේශපාලනික) ස්වභාවය සැළකිල්ලට ගත් විට, මේ කරුණ සම්බන්ධයෙන් විනිසුරුවරුන් දැරූ විසම අදහස් පදනම් වුණේ, හුදෙක් ව්‍යවස්ථාමය හෝ නෛතික පදනම් මත නොවන බවට කෙනෙකු තර්ක කළ හැක. කෙසේ වෙතත්, පෙත්සම්කරුවන්ගේ ප‍්‍රධාන තර්ක සැලකිල්ලට ගැනීමේදී පෙනී යන කාරණය වන්නේ, අධිකරණය ඉදිරියේ මතු වූ ප‍්‍රධාන ගැටළු තැන් දෙක වශයෙන් පැවතියේ, ‘රාජ්‍යයේ ඒකීය’ ස්වභාවය සහ ‘පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයයි’. එසේ හෙයින්, අධිකරණයේ විසම අදහස්වලින් නිරූපණය කෙරෙන්නේ, මේ කාරණා අරභයා පවතින බහු-අර්ථතාවයි. එම කරුණු සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ (බහුතර) නිගමනය මෙසේ විය:

‘‘රාජ්‍යයක ඒකීය ස්වභාවය වන, මධ්‍යම පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය පැවතීම සහ අනුපූරක ස්වෛරී ආයතන නොපැවතීම යන සාධක මේ මගින් (13 වැනි සංශෝධනය) වෙනස් නොකෙරේ. පළාත් සභා මගින් ස්වෛරී ව්‍යවස්ථාමය බලයක් අභ්‍යාස නොකරන අතර, ඒවා වනාහී, පාර්ලිමේන්තුවට යටත්ව සීමිත ව්‍යවස්ථාමය බලයක් අභ්‍යාස කරන අනුපූරක ආයතන වන්නේය. එබැවින් පාර්ලිමේන්තුව සිය බලය අතහැර දමා හෝ අළුතෙන් පිහිටැවූ යම් ව්‍යවස්ථා අධිකාරයක් වෙනුවෙන් මොන ආකාරයකින්වත් ස්වකීය ව්‍යවස්ථා බලය අතහැර දමා හෝ නැත. බලය බෙදා හැරීමේ සංකල්පයෙන් අදහස් වන්නේ, මධ්‍යම ආණ්ඩුවේ පරමාධිපත්‍යය අතනොහැර, බලය පවරා දීමකි. බලය බෙදා හැරීම, ව්‍යවස්ථාමය හෝ පරිපාලනමය හෝ ඒ දෙකම හෝ විය හැකිය. එය, විමධ්‍යගතකරණයෙන් වෙනස්ව හඳුනාගත යුතුය. කෙටුම්පතේ සඳහන් වන ආකාරයේ බලය බෙදා හැරීමේ පරිපාටිය විසින් ජනතා පරමාධිපත්‍යය ඛාදනය නොකරනු ලබන අතර, ජනමත විචාරණයක් හරහා ජනතා අනුමැතිය ඒ සඳහා ලබා ගැනීමක්ද අවශ්‍ය නොකෙරේ.’’

ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර මතය වී ඇත්තේ, ‘මධ්‍යම පාර්ලිමේන්තුවක පරමාධිපත්‍ය පැවතීම’ සහ ‘අනුපූරක (එහෙත්) ස්වෛරී ආයතන නොපැවතීම’, ඒකීය රාජ්‍යයක මූලිකාංග වන බවයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ‘රාජ්‍යයේ ඒකීය ස්වභාවය වෙනසකට භාජනය නොවන’ බවට ඔවුන් දැරූ මතය, ඒ තාක් දුරට නිවැරදි ය. එහෙත් ඔවුන් නොපැවසු ‘තව දිගුවක්ද’ එහි තිබේ. එනම්, පළාත් සභාවලට බලය ලැබෙන්නේත්, මධ්‍යම පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නා සේ, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම වන බවයි. පළාත් සභා ක‍්‍රමය විසින් රාජ්‍යයේ ඒකීය ස්වභාවය ‘වෙනස්’ කොට නැති බව සැබැව. එහෙත්, ඒ මගින් එය ‘සීමාකොට’, කොන්දේසිගත කොට තිබේ.

දැන් පවතින්නේ හුදු ඒකීය රාජ්‍යයක් නොව, ‘බලය බෙදා හැරීමක් සහිත ඒකීය රාජ්‍යයක්’ හෝ ‘විස්තෘත බලය බෙදා හැරීමක් සහිත ඒකීය රාජ්‍යයකි.’ ඉන්දියානු ආණ්ඩු ක‍්‍රමය අනුව යමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අභිප‍්‍රාය වුණේ එයයි. එහෙත් එය සුසමානුකූලව සිදු නොකෙරිණ. ඒ නිසා, දැන් පනවා ගන්නා අළුත් ආණ්ඩු ක‍්‍රමයක් තුළ සිදු කෙරෙන වෙනස්කම්, පැහැදිළිව නිර්වචනය විය යුතුය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ෆෙඩරල් ක‍්‍රමයක් දක්වා හෝ අර්ධ ෆෙඩරල් ක‍්‍රමයක් දක්වා වුව ගොස් නැත. එය පවතින්නේ, ‘අර්ධ-ඒකීය රාජ්‍යයක්’ වශයෙනි.

ජාත්‍යන්තර ප‍්‍රවණතා

මේ සංකීර්ණ තත්වය, ලෝකයේ රාජ්‍යයන් හෝ ව්‍යවස්ථාවන් පරිණාමය වීමේ සන්දර්භය තුළ, අප තේරුම්ගන්නේ හෝ නිර්වචනය කරගන්නේ කෙසේද? දේශපාලන විද්‍යාඥයන් හෝ ව්‍යවස්ථා නීති විශේෂඥයන් 20 වැනි සියවස මුල් භාගයේ ‘ඒකීය’ හෝ ‘ෆෙඩරල්’ රාජ්‍යයන්හි ස්වභාවය නිර්වචනය කරන විට, රාජ්‍යයන් වශයෙන් ලෝකයේ පැවතියේ සීමිත සංඛ්‍යාවකි. එදා බොහෝ කොට තිබුණේ, රාජ්‍යයන් නොව, යටත්විජිත ප‍්‍රදේශයන් ය. ‘සහසන්ධීය’ යනුවෙන් තවත් ප‍්‍රවර්ගයක් තිබුණි. උදාහරණයක් වශයෙන්, 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා අවස්ථාවේ සාමාජික රාජ්‍යයන් තිබුණේ 51 ක් පමණි. අද 193 ක් තිබේ. මේ සෑම අළුත් රාජ්‍යයක්ම තමන්ගේම වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සකසාගෙන තිබේ. ඒවා, ‘ඒකීය’ ද, ‘ෆෙඩරල්’ ද? රාජ්‍යයන් කිහිපයක් සම්බන්ධයෙන් හැරුණු කොට, මේ කියන වෙනස පැහැදිළි නැත. පැරණි රාජ්‍යයන් පවා පරිණාමය වී ඇත්තේ මිශ‍්‍ර දිසාවන් වෙතටයි. එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය පවා, සංකීර්ණ සංයෝගයන් බවට පත්ව ඇත. පරණ සෝවියට් දේශය කවදත් අමුතු ආකාරයේ සංයුතියකි. ඉහත සඳහන්, ‘සහසන්ධීය’, ‘ඒකීය’, ‘ෆෙඩරල්’ යන ප‍්‍රවර්ග තුනෙන් එකකටවත් එම රාජ්‍යය ඇතුළත් කිරීම පහසු නැත. චීනය පවා අද වන විට, රාජ්‍යයක් වශයෙන්, මිශ‍්‍ර ලක්ෂණවලින් සමන්විත සංයුතියකි.

මේ විෂය අරභයා වන චින්තනය පැහැදිළි කිරීම සඳහා මූලාශ‍්‍ර තුනකින් සංක්ෂිප්තව කරුණු ගෙනහැර දැක්වීමට මට අවසර.

පළමුවැන්න, න්‍යායිකයි. දෙවැන්න ප‍්‍රත්‍යෙක අධ්‍යයනිකයි. තෙවැන්න තුලනාත්මකයි.

‘‘ඒකීය හෝ ෆෙඩරල් අතර සහසුද්ද තේරීමක් භාරගත යුතු යැයි තවදුරටත් රාජ්‍යයන් සිතන්නේ නැත. විටෙක ඒවා තමන් වෙත දෙමුහුන් සංයෝග පනවා ගනී.’’

ඉහත සඳහන එන්නේ, රොබට් ගාන(ර්), පීටර් ෆර්ඩිනන්ඞ් සහ ස්ටෙෆනී ලෝසන් ලියූ ‘‘දේශපාලනයට හැඳින්වීමක්’’ (පිටුව 193) නැමැති කෘතියේ ය.

ෆෙඩරල් ක‍්‍රමයක් වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඒකීය ක‍්‍රමයක් වශයෙන් හැඳින්වෙන එක්සත් රාජධානියේ ආණ්ඩුක‍්‍රමය සහ දේශපාලනය ගැන විවරණය කිරීමට තැත් කරන ඩන්කන් වොට්ස් මෙසේ කියයි:

‘‘ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතර පවතින ආකෘතික වෙනස්කම් අනවශ්‍ය පරිදි අවධාරණය නොකිරීම වැදගත් ය. මන්ද යත්, එම වෙනස්කම්, බැලූ බැල්මට පෙනෙන තරම්, ප‍්‍රායෝගික තලයේදී පැහැදිළි නැති බැවිනි.’’ (‘‘ඇමරිකා එක්සත් ජනපද/එක්සත් රාජධානි ආණ්ඩුක‍්‍රම සහ දේශපාලනය වටහා ගැනීම’’- පිටුව 169).

සමහර විට, රටවල් කිහිපයක් සහ න්‍යායන් කිහිපයක් විග‍්‍රහ කිරීමේදී එළැඹෙන නිගමන වඩාත් වැදගත් ය. ඩැනියෙල් කැරමානිගේ සංස්කාරකත්වයෙන් රචිත ‘සමකාලීන දේශපාලනය’ නැමැති කෘතියේ එක් සම්පාදකයෙකු වන ජෝන් ලවුෆ්ලින්, සමකාලීන ජාතික රාජ්‍යයේ වැදගත් ලක්ෂණ තුනක් අවධාරණය කරයි. (පිටුව: 182)

1. ජාතික රාජ්‍යය යනු, භෞමික සංයුතියක සුවිශේෂී ලක්ෂණ අඩංගු කරගත් දේශපාලනික සංවිධානයක පරමසාර නූතන ආකෘතියයි.
2. එම තත්වය දැනට වඳ වී යන්නේය යන්න අතිශයෝක්තියකි.
3. ‘ෆෙඩරල්’ සහ ‘ඒකීය‘ යනුවෙන් වන සම්භාවිත වෙනස, දැන් ජාතික රාජ්‍යයේ වඩාත් සංකීර්ණ ආකෘතීන්ට යට වෙමින් තිබේ.

චතුස්කෝටි තර්කණය

කෙනෙකු, ඉහත කී නිගමන හෝ නිරීක්ෂණ බටහිර න්‍යායන් සේ සළකා ප‍්‍රතික්ෂේප කිරීමට පිළිවන. මේ නිසා, ‘ඒකීය එරෙහිව ෆෙඩරල්’ න්‍යාය සම්බන්ධයෙන් වන ද්වි-විධ තර්ක විතර්කවලට යනවාට වඩා, බුද්ධාගමේ එන චතුස්කෝටික ධර්මතාව, ජාතික රාජ්‍යයේ වර්තමාන සංකීර්ණ පරිණාමය වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් විය හැකිය. ‘‘භාවනාවේ ගිමන සහ වෙනත් ලියවිලි’’ නැමැති කෘතියේ 74 වැනි පිටුවේ, ඥානපොනික තෙරුන් වහන්සේ මෙසේ කියයි:

‘‘අද බහු-විධ හරයෙන් යුත් තර්ක ශාස්ත‍්‍රයක් සොයාගෙන ඇති තත්වය තුළ සහ ඒ හේතුවෙන් ඇරිස්ටෝටලියානු තර්කය යනු තර්ක සිද්ධාන්ත බොහෝ ගණනකින් එකක් පමණක් බව අවබෝධ කර ගැනීමේ තත්වය තුළ, බුද්ධාගමේ චතුස්කෝටියේ වැදගත්කම පැහැදිළි වෙයි. කෙටියෙන් ගතහොත්, මෙයින් කියැවෙන්නේ, ඇරිස්ටෝටල්ගේ විකල්ප දෙකක ද්වි-හරයාත්මක තර්කණයකට වඩා, විකල්ප හතරක (චතුස්කෝටි) ද්වි-හරයාත්මක තර්කණයක් ගැනයි.’’

අප දැන් කතා කරන රාජ්‍යයේ හෝ ව්‍යවස්ථාවේ ස්වභාවය සම්බන්ධයෙන් ගත් විට ඉහත කී ප‍්‍රකාශයේ අරුත කුමක් ද? එහි අරුත වන්නේ, ‘ඒකීය සහ ෆෙඩරල්’ අතර වන ‘කළු සහ සුදු’ විෂමතා දැන් යල්පැන ගොස් ඇති බවයි. නැතහොත්, මුල සිටම වැරදියට වටහාගෙන ඇති බවයි. යථාර්ථය ඊට වඩා සංකීර්ණ ය. ඥානපොනික තෙරුන් වහන්සේ සපයන උදාහරණවලින් එකක්, අපේ වර්තමාන සාකච්ඡුාව සඳහා අදාළ කර ගත්තොත් ඒ මෙසේ ය: ඇරිස්ටෝටලියානු තර්කණයට අනුව, යම් ව්‍යවස්ථා පද්ධතියක් ‘ඒකීය’ නොවේ නම්, එය ‘ෆෙඩරල්’ ය. එහෙත්, චතුස්කෝටික ක‍්‍රමය අනුව ගත් විට, එක්කෝ එය (1) ප‍්‍රධාන මානයන්ගෙන් ඒකීය විය හැකිය (2) ඒ ආකාරයෙන්ම ෆෙඩරල්ද විය හැකිය. නැතහොත්, සමහර අංගයන්ගෙන් ඒකීය විය හැකිය, තවත් සමහර අංගයන්ගෙන් ෆෙඩරල් විය හැකිය. එසේත් නැතහොත්, (4) රාජ්‍යයක් ඒකීයද ෆෙඩරල්ද නොවිය හැකිය. මේ කරුණු අනුව පෙනී යන තවත් දෙයක් වන්නේ, මේ කියන ප‍්‍රභේදයන්ටත් අමතරව, ඒ අතරමැදි තවත් ප‍්‍රභේදයන්ද තිබිය හැකි බවයි.

‘ඒකීයද, ෆෙඩරල්ද‘ යන සරළ ප‍්‍රභේදයෙන් එහාට යමින් ද්වන්දාත්මක තර්කණය අපව රැුගෙන යන්නේද මෙවැනිම නිගමනයන් වෙතටයි.

නිගමනය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපේ රාජ්‍ය ක‍්‍රමය, සාපේක්ෂ වශයෙන් නව ආකෘතියකට පෙරැුලී ඇති බව, සමහර අනුභූතික සාක්ෂිවලින් පෙන්නුම් කෙරේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිශ්චය මගින් කියා සිටියේද, ‘බලය බෙදා හැරීම, බලය විමධ්‍යගත කිරීමෙන් වෙන් කොට හඳුනාගත යුතු’ බවයි. විමධ්‍යගත භාවය යනු, මූලික වශයෙන් ගත් විට, ඒකීය රාජ්‍ය පද්ධතියක් තුළ ඇති කර ගන්නා තත්වයකි. එහෙත් බලය බෙදා හැරීම, එම පරාමිතීන් ඉක්මවා ගමන් කරයි. කෙසේ වෙතත්, ‘බලය බෙදා හැරීම ව්‍යවස්ථාදායක හෝ පරිපාලනමය හෝ ඒ දෙකම විය හැකි’ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටීම, ඌන ප‍්‍රකාශයකි. වඩාත් නිවැරදි වන්නේ, එය ‘ව්‍යවස්ථාදායක හෝ විධායක හෝ ඒ දෙකම විය හැකිය’ යන්නයි.

ශ්‍රේෂ්ඨාධිකරණය එක කාරණයක් පැහැදිළි කෙළේ නැත. එනම්, පළාත් සභා පවා තම බලය සහ සුජාත භාවය ලබා ගන්නේ, පාර්ලිමේන්තුවේ පරමාධිත්‍යයේ වෙනසක් නොකොට, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම වන බවයි. ජාතික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුව සතුව පවතින අතර, ඒවා අනුව කටයුතු කිරීමට පළාත් සභා බැඳී සිටී. සම්මුතිය සහ එකඟතාව මත මෙම අතිප‍්‍රසාරී ප‍්‍රතිපත්ති නිර්ණයනය සිදුවීම, ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රටකට වැදගත් ය. හොඳම ක‍්‍රමය වන්නේ, සහකාරී ෆෙඩරල්වාදයකට සමාන සහකාරී බලය බෙදා හැරීමකි.

ශ‍්‍රී ලංකාවේ බලය බෙදා හැරීම සකස් කිරීමට අදහස් කෙරුණේ, ‘අර්ධ-ෆෙඩරල්වාදය’ නමින් හැඳින්වෙන ඉන්දියානු ක‍්‍රමය ඔස්සේ බව ප‍්‍රකට ය. එසේ වෙතත්, ජනාධිපති ක‍්‍රමයක් යටතේ එම ප‍්‍රයත්නය පූර්ණ සාර්ථකත්වයක් නොලැබීය. ඊට තවත් හේතුද තිබුණි. ඉන්දියාව ඒකීය රාජ්‍යයක් නොව, ඒකාබද්ධ රාජ්‍යයකි. ශ‍්‍රී ලංකාව ඒ තාක් දුර ගොස් නැත. අඩු වශයෙන්, නාමික වශයෙන්වත්, ශ‍්‍රී ලංකාව ‘ඒකීය’ ස්වරූපය අත්නෑර තබාගෙන තිබේ. සමහරු ආවේශ වී සිටින බව පෙනෙන්නේ ඒ ස්වරූපයට වශී වෙමිනි.

වර්තමාන ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තිය මෙසේ කියයි: ‘‘ශ‍්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි.’’

එහෙත් වඩාත් නිවැරදිව නම්, එය, ‘‘ශ‍්‍රී ලංකා ජනරජය, විස්තීරණ බල බෙදීමක් සහිත ඒකීය රාජ්‍යයක්’’ විය යුතුය.

*2016 ජනවාරි 06 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ‘Sri Lanka Is Already ‘Quasi Unitary’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.