25 April, 2024

Blog

අප්‍රේල් 5: එක් දින සිහින රාජ්‍යයේ බිඳ වැටීම

දයාපාල තිරාණගම –

දයාපාල තිරාණගම

ජවිපෙ 1971 කැරැල්ලේ අනුස්මරණය වෙනුවෙන් ලියන මේ සටහන ආත්මීය වූ ප්‍රවේශයකින් පටන් ගතයුතු යයි මම විශ්වාස කරමි.

අදට හරියටම වසර 50 ක් පිරෙන අප්‍රේල් කැරැල්ල 1967 සිටම එහි දේශපාලන ගමන්මග ගැන නොයෙක් ආකාරයේ වාද විවාද පෞද්ගලිකව මෙන්ම ප්‍රසිද්ධියේදී ද එවකට විශ්වවිද්‍යාල තුල මෙන්ම මහජන රැස්විමවලද බන්ධනාගාරය තුලද පවත්වා ඇත්තෙමි. නමුත් මා කිසිදා ජවිපෙ සාමාජිකයෙකු වුයේ නැත. එයට පැහැදිලි දේශපාලන හේතු පැවතින. මෙනිසාම මට ජිවිත තර්ජන පැවතිනි. මේ නිසාම ආත්මීය හේතු දේශපාලන හේතුවලින් ඔබ්බට ගමන් කිරීමක් පවා සිදු විය. ජවිපෙ කැරැල්ලට වසර 50 පිරෙන දින අද මට ලියන මේ සටහන මට කල හැකි වන්නේ 1971 දී මෙන්ම 1987-89 කාලය තුල මට දිවි ගලවා ගැනීමට හැකි වූ බැවිනි. 1970 දී අවසානයේ පමණ මා සහ තවත් සහෝදරයෙක් ඉඳි කටුවලින් ඇන මරණයට පත් කරන බව කැළණි විශ්වවිද්‍යාලයේ ජවිපෙ කණ්ඩායම ප්‍රකාශයට පත් කරන ලද්දේ ජවිපෙ සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් බෙදා හැරීම නිසාය. ලංකාවේ සන්නද්ධ අරගලවල ඉතිහාසය තුල අපට බොහෝ දේ නැතිවිය. නමුත් ජීවිතය බේරා ගැනීම මුලු මනින්ම අහම්බයකි. එය ලොතරැයියක් ජය ගැනීම තරම්ම විරල ඇදහිය නොහැකි දෙයකි.

ජවිපෙ ප්‍රභවය

ජවිපෙ ප්‍රභවය හුදු දේශීය ව පැන නැගී දේශපාලන වයාපරයක්ම හෝ ප්‍රපංචයක් නොවේ. එය බිහිවීම සඳහා එවකට ආධිපත්‍යධාරී ලෙස පැවතුන ජාත්‍යන්තර ප්‍රභවයන් තුනක් හේතු විය. මේ ප්‍රභවයන් වන්නේ;

(1) ලෙනින්වාදී පෙරටු බල ඇණි න්‍යාය.මෙයින් අදහස් කලේ වුර්තිමය විප්ලවදින්ගෙන් සමන්විත මධ්‍යගත පක්ෂ සංවිධානයක් විසින් පක්ෂයක් ගොඩ නගමින් සුදුසු අවස්ථාවේදී පවතින රාජ්‍ය තන්ත්‍රය ට එල්ල කරන සන්නද්ධ ප්‍රහාරයකින් රාජ්‍ය බලය අල්වා ගැනීමයි.

(2) ‘දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කුවේ කඳ තුලින්ය’ යන මාවෝ වාදී ප්‍රස්තුතය. මෙයින් අදහස් කලේ දේශපාලන බලය අල්වා ගැනීමට අවශ්‍ය නම් එය අතවශ්‍ය ලෙස ම සන්නද්ධ ක්‍රියාමාර්ගයක් අනුමැත කල යුතු බවයි. සමාජ පෙරලිය සහ සමාජ සංවර්ධනය උදානය ප්‍රචණ්ඩත්වය සමග එයින් බැඳ තබනු ලැබිය.

(3) කියුබානු විප්ලවයේ ජයග්‍රහණයත් සමග මිහිතලයේ අසරණයන්ගේ ඇතිවූ නව පිබිදීම සංකේතවත් කල චේ ගුවේරාගේ අතිශය පරිත්‍යාගශීලි ජාත්‍යන්තරවාදය.

මේ ප්‍රභවයන් තුන ජවිපෙ න්‍යායික, දේශපාලන,සංස්කෘතික සහ බුද්ධිමය පසුබිම නිර්මාණය කලද එක්තරා ආකාරයකට ලංකාවේ එවකට පැවැති සමාජ ආර්ථික නිර්මිතයේ සාරයේ දේශපාලන ප්‍රකාශය වුයේ විජේවීර විසින් සූත්‍ර ගත කල පන්ති පහයි.  බහුතරයක ග්‍රාමීය මෙන්ම නාගරික ජීවිතවල දරිද්‍රතාවය, දුපත්කම අපේ ජීවිතවල එවකට දෛනික පැවැත්ම පවා අඩාල කල බලා පොරොත්තු රහිත බව සනිටුහන් කල සෝචනීය දෙයක් බවට පත්ව තිබුනත් එයට විසඳුම තිබුනේ කොතනදැයි කිසිවෙක් දන සිටියේ නැත. ඒ පන්ති පහ ඇත්තටම කොක්ක(කොක්ක ගැසීම යනු යමෙකු සමග පන්ති පහට පෙර පවත්වන ලැබූ මුල්ම සාකච්ඡාවයි) ගැසීමෙන් පසුව ජවිපෙ ක්‍රියාධරයා භෞතිස්ම කල දේශපාලන ක්‍රියාව වන්නේය. මේ පන්ති පහ තුලින් කරනු ලැබුවේ මුළුමනින්ම අලුත් වූ පැරණි ධනපති සමාජ ක්‍රමය සමග කිසිම සමාදානයක් නැති බලය ඇල්ලීමේදී ජීවිතය අනතුරට පත්විය විය හැකිය යන යථාර්තය පිලි ගන්නා, ජීවිතය අනාගත පරම්පරාවේ වුවමනාවන් සඳහා කැප කරන්නෙකු නිර්මාණය කිරීමයිමේ ක්‍රියාවලිය මගින් බිහි කල විප්ලවදියා ආදර සම්බන්ධයන් නොපවත්වන, ප්‍රේම නොකළ යුතු, දුම් නොබොන, මත් පැන් පානය නොකරන, රහසිගත, නිර්නාමික සහ දැඩි විනයක් සහිත ආත්මයක් ඇත්තෙකි. බොරු කීම සහ කරුණු වසන් කිරීම අවශ්‍ය සෑම තැනකම ව්‍යාපාරයේ ආරක්ෂාව සහ අභිවුර්ධිය සඳහා වලංගුය. මේවා ආරක්ෂා නොකරන, පිලි නොපදින ඕනෑම කෙනක් පලමු අවස්ථාවේදීම කපා හරිනු ලැබේ. එයට හේතුව මෙය නොපිලිපදින්නා ට විප්ලවාදී ජීව ගුණයක් නොමැත. ඔවුන් ව්‍යයාපරයට භයානකය. අපේ පරම්පරාවේ තරුණයන් බොහෝ දෙනෙකු මෙයට එකගතාවය පල කළහ. මෙයට සුදානම් දහස් ගානක් සාමාජිකයන් ජවිපෙ විසින් සොයා ගැනීමට අවරුදු 5ක් හෝ හයක කාලයක් ඇතුලත ජවිපෙට හැකි විය. එසේ හැකියාව ලැබුනේ ඇයි? එවකට එනම් 1965 පමණ කාලය වනවිට මා මුලින් සඳහන් කල ප්‍රස්තුතයන් ජාත්‍යන්තර දේශපාලනයේ තවමත් වලංගු බව පෙනී ගියයේය. එම කාලය වන විට ලංකාවේ සන්නද්ධ කල්ලි කණ්ඩායම් ගණනාවක් පහල තිබුණි. වමේ පක්ෂවලින් පරි බාහිරව බිහි වූ මෙම කල්ලි කණ්ඩායම් වලින් වඩාත් පිලි ගැනීමක් ලැබුනේ රෝහණ විජේවීරට ය. ඔහු අනෙක් සෑම කණ්ඩයමක නායකයන් අතරින් වඩා ප්‍රබල දේශපාලන පෞරුශයක් හිමි කර ගත් ප්‍රයෝගික විප්ලවාදියෙක් වශයෙන් පෙනී සිටියේය. ඔහුගේ පංති පහ එකල ඉමහත් විශ්වාසයක් ලබාගෙන තිබුණි. මා මෙහිදී මුලින්ම සඳහන් කල ජවිපෙ ප්‍රභවයන් තුන රෝහණ විජේවීරගේ දේශපාලන පෞරුෂය සංකේතවත් කරනු ලැබිය.

දේශපාලනයේ නව සවි ඥානකත්වය පංති පහ හඳුන්වාදීමත් සමග ලාංකීය දේශපාලනයේ තරුණ කේන්ද්‍රීය නව සවිඥාකත්වයක් නිර්මාණය වන්නට පටන් ගති. ලංකාවේ තරුණයන් දහස් ගණනින් සටනට කැඳ වීමට සමත් වූ පන්ති පහ දෘෂ්ටිමය දේශපාලන සහ යුද්ධමය වැදගත් කමකින් යුක්ත විය. මේ පන්ති පහ සමන්විත වුයේ පහත සඳහන් මාතෘකා යටතේය.

(1) ආර්ථික අර්බුදය. මෙයින් ඉදිරිපත් කරන ලද්දේ එවකට ලංකාව මුහුණ පාමින් සිටින නව විජිතවාදී ආර්ථික ප්‍රශ්නයේ බැරෑරුම් කම පිලිබඳවය. සමාජවාදය පිහිටුවීම මෙයට පිළිතුර වශයෙන් එයින් ඉදිරිපත් කරනු ලැබිණ.

(2) දෙවැනි පන්තිය ලෙස සලකනු ලැබුවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කරා මෝරමින් සිටින ආකාරයයි.

(3) තුන්වැනි පන්තිය ලංකවේ වාමාංශික ව්‍යයපාරය විය. මෙහිදී පැරණි වම විප්ලවය අත හැර දමා ඇති ද්‍රෝහී දේශපාලන ක්‍රියා මාර්ගය විස්තර කරනු ලැබිණ.

(4) ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්තවාදය යටතේ උතුරු නැගෙනහිර මෙන්ම ලංකාවේ විශේෂයෙන්ම ඉන්දියානු වතු කම්කරුවන් ලංකාවට වඩා ඉන්දියාවට ආදරය කරන නිසා ලාංකීය විප්ලවයේ බලවේගයන් නොවන්නේ ඇයිදැයි විස්තර කරනු ලැබිණ. මෙයින් අතිශයින්ම ප්‍රශ්න සහගත සිංහල බෞද්ධ ජාතිවාදයේ දෘෂ්ටිය සමග පෑහෙන කතිකාවක් ඉදිරි පත් කරනු ලැබිය. මෙය සත්තකින්ම ලංකාවේ ද්‍රවිඩ ජනතාව විමුක්තිකාමී දේශපාලන ප්‍රවාහයෙන් තීරණාත්මක ලෙස බැහැර කිරීමට මුල් වූ එකක් මෙන්ම වඩාත් භයානක සහ හානිකර ලෙස සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ සමග අනුගත වීමක් ද විය. එමනිසා ම එවකට ජවිපෙ කෙරෙහි ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණ කොටස් වලට දැඩි ආකර්ෂණයක් ඇති කිරීමට සමත් විය. මේ බල පෑමෙන් නැත්නම් පවතින්නා වූ නෂ්ටවශේශයන්ගෙන් අද පවා ජවිපෙ කෙතරම් දුරට නිදහස් දැයි සහතික ලෙස කිව නොහැකි වන්නේය.

(5)අවසාන පන්තිය වුයේ ‘ලාංකීය විප්ලවය ගත යුතු මග’ ය.එක් දින බලය අල්ල ගැනීමේ සැලසුම ඉදිරිපත් කලේ මේ පන්තියෙනි. එක් දවසක පැය ගණනක් ඇතුලත් ලංකාවේ පොලිසිවලට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීම මගින් රාජ්‍ය පොඩි පට්ටම් කිරීම මගින් බලය අල්ල ගන්න බව මෙයි කියා සිටියේය. මේ සත්තකින්ම ඉතා බොලඳ බලය අල්ල ගැනීමේ සැලසුමක් බව පෙනී ගියද මෙයට සහභාගී වූ අය එහි හැකියාව පිළිබද දැඩි විශ්වාසයක් දැරිය. ඔවුන්ගේ අධි විශ්වාසය ඔවුන්ගේ දුර්වල කම විය.

ඉතිහාසයට තල්ලුවක් දීම

1971 වන විට ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරයක් වශයෙන් වැඩෙන්නට පටන් ගති. කියුබානු විප්ලවයෙන් ආස්වාදය ලැබූ සටන් පාඨ ‘මව්බිම නැත්නම් මරණය’ සහ ‘දනින් වැටි ජීවත්වීමට වඩා දෙපයින් සිට මිය යාම උතුම්ය’යනාදී අතිශය විප්ලවාදී සටන් පාඨ වලින් ලංකාව පුරා (උතුරු නැගෙනහිර සහ මාධ්‍ය කඳුකර දෙමල ජනතාව විසු ප්‍රදේශ හැර) තාප්ප පිරි ගියේ ඔවුන්ගේ සංවිධානාත්මක හැකියාව උත්කෘෂ්ටයට නංවමිනි. එසේම පොදු ජනතාව තුල ජවිපෙ හඳුන්වන ලද්දේ ‘චේගුවේරා කල්ලිය’ වශයෙනි. 1971 අප්‍රේල් කැරැල්ල දියත් කරන විට ලංකාව පසු කරමින් සිටියේ කුමන දේශපාලන සන්ධිස්තනයක්ද? ලෙනින්වාදී ඉගැන්වීම් අනුව රටක විප්ලවීය ලෙස බලය ඇල්ලීම සඳහා විවෘත වන අවකාශය තුල පාලක පන්තියට තවදුරටත් පැරණි ආකාරයට පාලනය කිරීමට මෙන්ම පාලිතයන්ට(ජනතාවට) පැරණි ආකාරයට ජිවත් විය නොහැකි වන විට සමාජ විප්ලවයට පැන නැගීමට අවශ්‍ය වන කොන්න්දේසිය බිහි වෙයි. මෙය විප්ලවයේ ප්‍රධාන මුල ධර්මය වන බව ලෙනින් ‘වාම කොමියුනිස්ට් වාදය ළදරු වලිප්පුවකි'(p 86) නම් පොත් පිංචේ සදහන් කරයි. රටක් දීප ව්‍යාප්ත අරුබුදයකින් ගොඩ විය නොහැකි ලෙස වෙලි යන බව ඔහු තවදුරටත් සඳහන් කරයි. ලුවී අල්තුසර් For Marx නම් කෘතියේ මේ ගැන වැඩි දුරටත් කියා සිටින්නේ පාලක පන්තිය තවදුරටත් මුහුණ දිය නොහැකි සහ මග හැරිය නොහැකි දේශපාලන අර්බුදයකට මුහුණ දෙන බවයි. කොටින්ම කියතොත් ‘දනින් වැටී ජිවත් වීමට වඩා දෙපයින් සිට මිය යාම උතුමා බව’සලකන දේශපාලන සන්ධර්භයක් තුල ලංකාවේ දුක්විඳින ජනතාව වැටි සිටියේ නැත. එවැනි තත්වයක් තුල අප්‍රේල් කැරැල්ල ජය ගැනීමට අවශ්‍ය වූ මනොමුලික හෝ විෂය මුලික තත්වයන් නිර්මාණය වී නොතිබුණි. ජවිපෙ පුපුරා යන තරමට බලය ඇල්ලීමේ ප්‍රචණ්ඩ මානසිකත්වයක් සාමාජිකයන් අතර අප්‍රේල් මාසය වන විට නිර්මාණය කොට ගෙන තිබුණි. විජේවීර සිටියේ බන්ධනාගාරය තුලය. බලය ඇල්ලීමේ සැලසුම පිළිබඳව ඒකමතිකතවයක් නායකත්වය තුල නොතිබුණි. නමුත් එය තව දුරටත් කල් දැමීමට නොහැකි විය. මේ අවුල සමාජිකත්වය තුලට කිඳා බසිමින් පැවතිනි. පහර නොදී විනාශ​ වනවාද පහර දී රාජ්‍ය බලය අල්වා ගැනීමට උත්සාහ ගන්නවාද යන ප්‍රශන්යේදී පහරදීම වඩාත් වාසිදායක බව ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් සිතුවා විය හැකිය. ඉදිරියේ සිදු විය හැකි මහා ප්‍රහාරයේ ප්‍රතිපල ගැන ඔවුන්ට සවිඥානක වැටහීමක් තිබුනේ නැත. නමුත් සමාජවාදය ගොඩ නැගීමේ උත්තුංග ලෙස සැලකු ව්‍යායාමය ඔවුන් බැඳ තබන දම්වැල විය. එය මා විසින් කලින් සඳහන් කල නව සවින්ඥානයේ ප්‍රතිපලයයි. හෙගල් විසින් ‘ආත්මය’ (spirit)රූපකය ලෙස යොදා ගනිමින් කල විශ්ලේෂණයක් මේ තත්වය තව දුරටත් විස්තර කිරීමට යොදා ගත හැකිය. ‘දැන් ආත්මය වඩාත්ම අදෘශ්‍යමාන වෙමින් සහ අසන්ජානනිය වෙමින් අවින්ඥානක ප්‍රතිමාව සියලුම ප්‍රභූ කොටස් සහ සාමාජිකයන් තුලට මුළුමනින්ම කාන්දු වෙමින් එය සම්පුර්ණයෙන්ම අයිති කරගෙන ඇත. අනතුරුව එක් සුන්දර හිමි දිරියක (ආත්මයේ ) සහෝදරයා එයට වැලමිටි පහරක් එල්ල කරයි. මහා සද්ධයක් දා ගෙන ප්‍රතිමාව කඩා වැටී බිම වැතිර පවති’ (Hegel,Phenonomenology of Spirit,P .332 ) ප්‍රහාරය පිලිබදව දැරූ අවිනිශ්චිත තත්වය මෙයින් පැහැදිලි වෙයි. නමුත් ඔවුන්ට පහර දීම හැර වෙන යමක් ඉතිරිව නොතිබුණි. අපේල් 5 දා ප්‍රහාරය සිදු වුයේ ඒ ආකාරයෙනි. ජවිපෙ ඉතිහාසය පුරා අනාගතයේ පවා පහර දීමේ තීරණය පිලිබඳ විවාදය පවතිනු ඇත.’ හෙගල් තව දුරටත් පෙන්වා දෙන පරදී, අතුරුදහන් වුයේ කෙසේ දැයි කවුරුවත් නොදන්නා ආත්මයේ අතුරුදහන් වූ ඉතිහාසයක් ලෙස මැරිගිය ගිය ආකාරය දැන් ආරක්ෂා කරන්නේ මතකය පමණකි’. එමෙන්ම මේ සියල්ලෙන්ම පසුව ‘ප්‍රඥාවේ අලුත් නාග රාජයෙක් වන්දනාමාන කිරීම පිණිස ඉහලට එසවුනේ හුදෙක්ම මලානික වූ හැව වේදනාවක් නොමැතිව බැහැර කිරිම පිණිසය'( Hegel,p. 332). මේ ප්‍රඥාවේ නාගරාජයා, නැත්නම් ප්‍රචණ්ඩත්වය අතහැර දැමීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බලවත් ලෙස අර්බුදයට නොගිය කලක ජවිපෙට 1987 තෙක් රැක බලා ගත් නමුත් නැවත ප්‍රචණ්ඩකාරිත්වයට අවතීරණය වීමක් කෙරුණි. මේ සඳහා ගෙවුණු මිල 1971 මෙන් ඉතාමත් අධිකය.

නිගමනය

1971 කැරැල්ල ලංකාවේ දේශපාලනයේ අතිශයිනම වැදගත් සන්ධිස්ථානයක් වන්නේ එය ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කල බැවිනි. ලංකාවේ දේශපාලන පන්ති හිතුවක්කාර අත්තනෝමතික දේශපාලන ක්‍රියාමාර්ගයන්ට එළඹීම ගැන දෙවරක් සිතිය යුතු බව පිළිබඳව සඥාවක් එය නිකුත් කොට ඇත. කැරැල්ල වෙනුවෙන් දිවි පිදු සියලුම සහෝදරයන් මෙන්ම සහෝදරියන් සමාජවාදය පිහිටුවීම ඒකායන බලාපොරොත්තුවක් ඇතිව එසේ දිවි පිදුහ .ඔවුන් පාර්ථනය කල පැරණි සමාජවාදී ක්‍රමය වෙනුවට අලුත් සමාජවාදී ක්‍රමයක් ගොඩ නැගීම ඔවුන්ට කරන ප්‍රණාමයක් වන බව මෙහි ලා සඳහන් කල යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.