19 April, 2024

Blog

රනිල් ජනාධිපති වීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද? (අවසාන කොටස)

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

දෙපිටකාට්ටු කතාව

එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ කටයුතුවල යෙදෙන අතරේ ඔවුන් විසින් තමන්ව පාවා දී ඇතැ යි වික‍්‍රමසිංහ පිළ වටහාගන්නා විට පෙරහැර ගොස් අවසන් ය. ඒ ගැන කිලිනොච්චියේ පිරිස් සමග කඩිමුඩියේ සාකච්ඡුා කිරීමට ගත් ප‍්‍රයත්නයන් ද අසාර්ථක විය. සිය දෙපිටකාට්ටු කම නැවත වරක් පෙන්වමින්, තමන් මෙම මැතිවරණය කෙරෙහි බලපෑම් නොකරන බව එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවතත් කියා සිටියේය. තමිල් සෙල්වම් සිය සුපුරුදු ගිරා පෝතක භූමිකාවට පිවිසෙමින්, මේ වර්ජනය දෙමළ ජනතාව කරන්නේ ඔවුන්ගේම ඕනෑකමට යැයි ද කීය.

එල්.ටී.ටී.ඊ. ඡන්ද වර්ජනය උතුරු-නැගෙනහිර පළාත්වලින් පිටස්තර පළාත්වල වෙසෙන දෙමළ ජනයා විසින් ද අනුගමනය කරන ලදැ යි ඇතැම් පිරිස් හුවාදැක්වීමට තැත් කළත් එහි කිසිදු සත්‍යතාවක් නැත. කොළඹ නගරයේ ඡන්ද පොළවල් සහ දෙමළ සහ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන කොළඹට තදාසන්නයේ පිහිටි වත්තල සහ දෙහිවල වැනි පෙදෙස්වලින් වික‍්‍රමසිංහ ඉහළින්ම දින්නේය. බටහිර කොළඹ, මැද කොළඹ, උතුරු කොළඹ සහ නැගෙනහිර කොළඹින් ඔහු ලැබූ ඡන්ද ප‍්‍රමාණය අතිවිශාලයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අණ පරිදි මේ මිනිසුන් ක‍්‍රියා කෙළේ නම් එවැනි විශිෂ්ට ජයක් ලබා ගැනීමට වික‍්‍රමසිංහට නොහැකි වනු ඇත.

එසේම කඳුරට දෙමළ ඡන්ද බහුතරය වැටුණේ ද වික‍්‍රමසිංහටයි. නුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර සහ බදුල්ල වැනි දිස්ත‍්‍රික්කවල ඡන්ද පොළවල්වලින් ඒ බව තහවුරු විය. වික‍්‍රමසිංහට රටේ විශාලතම ඡන්ද බහුතරය ලැබුණේ, විශාල දෙමළ සංකේන්ද්‍රණයක් සහිත නුවරඑළිය-මස්කෙළිය ඡුන්ද කොට්ඨාශයෙනි.

නැගෙනහිර පළාතේ පවා, මඩකලපුව, කල්කුඩා සහ පදිරිප්පු වැනි ඡන්ද කොට්ඨාශ ඔහු ජයගත්තේය. මඩකලපුවෙන් බටහිර පදුවාන්කරෙයි පළාතේ ඡන්දදායකයන්ව එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් වළක්වනු ලැබූවත්, එයින් නැගෙනහිර ඊලවාන්කෙරෙයි පළාතේ ජනතාව විශාල වශයෙන් ඡන්ද පොළවල්වලට ආහ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ඊළඟට එය අර්ථ ගැන්නුවේ මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද වශයෙනි. එම මතයත් වැරදියි. උදාහරණයක් වශයෙන්, පදිරිප්පු කොට්ඨාශය සියයට 99 ක් දෙමළ ය. කල්කුඩා සියයට 65 ක් දෙමළ ය. මඩකලපුව සියයට 75 ක් දෙමළ ය. නැගෙනහිර පළාතේ මෙකී ඡන්ද කොට්ඨාශවලින් 2005 දී වික‍්‍රමසිංහට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය, 1999 ජනාධිපතිවරණයේ දී එම පක්ෂයට වැටුණු ඡන්ද ප‍්‍රමාණයට වඩා වැඩි ය. දෙමළ බහුතරයක් වෙසෙන ත‍්‍රිකුණාමල ඡන්ද කොට්ඨාශයේ තත්වයත් එයමයි.

මුස්ලිම් ඡන්දය

නැගෙනහිර දෙමළ ජනතාව වික‍්‍රමසිංහ සඳහා එසේ ඡන්දය පාවිච්චි කරද්දී, එක්තරා දුරකට මුස්ලිම් ඡන්ද නම් දෙපාර්ශ්වය අතර බෙදී ගියේය. වික‍්‍රමසිංහ සඳහා මුස්ලිම් ඡන්ද බහුතරයක් ගෙන දීමට මුස්ලිම් කොන්ග‍්‍රසය සමත් වුවත්, අතවුල්ලා, ෆේරියල් අෂ්රෆ්, සේගු ඉසදීන්, අන්වර් ඉස්මයිල්, අමීර් අලී සහ නජීබ් අබ්දුල් මජීඞ් වැන්නන්ගේ බලපෑම් හරහා මුස්ලිම් ඡන්ද සෑහෙන සංඛ්‍යාවක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂත් සමත් විය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ පැවති වන්නියේ ප‍්‍රදේශවල වෙසෙන දෙමළ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට කොටි සංවිධානය ඉඩ හැරියේ නැත. එහෙත් ආණ්ඩුවේ පාලනය යටත් වන්නි ප‍්‍රදේශ වන වව්නියාව සහ මන්නාරම ඡන්ද කොට්ඨාශවල දෙමළ ජනයා විශාල වශයෙන් ඡන්ද පොළට ආහ. එම ප‍්‍රදේශවල බහුතරයක් ඡන්ද වැටුණේ වික‍්‍රමසිංහටයි.

එල්.ටී.ටී.ඊ, සංවිධානය කෙරෙහි එල්ල වූ තියුණුම සරදම වුණේ, මහින්ද රාජපක්ෂ සඳහා වැඩි ඡන්දයක් ප‍්‍රකාශයට පත්වූ උතුරේ එකම ඡුන්ද කොට්ඨාශය, කොටි සංවිධානයේ බලකොටුව වන මුලතිව් ඡන්ද කොට්ඨාශය වීමයි. එම ප‍්‍රදේශයේ දෙමළ ජනතාව ඡන්දය දැමීමෙන් වැළැක්වූවද, හමුදා පාලනය යටතේ පැවති වැලිඔය ප‍්‍රදේශයේ පදිංචි කරවා සිටි සිංහල ඡන්දදායකයන්ව වැළැක්වීමට කොටින්ට නොහැකි විය. ඉතිං, මුලතිව් දිස්ත‍්‍රික්කයේ දී වික‍්‍රමසිංහට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් විය.

මැතිවරණ දිස්ත‍්‍රික්ක

2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළ මැතිවරණ දිස්ත‍්‍රික්කවලින් වැඩි හරියක් සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස් වීමත්, වික‍්‍රමසිංහ ජයග‍්‍රහණය කළ මැතිවරණ දිස්ත‍්‍රික්ක, එක්කෝ සුළුජනතාව බහුතරයක් වෙසෙන හෝ සෑහෙන ප‍්‍රමාණයක් සුළු ජනතාව වෙසෙන දිස්ත‍්‍රික්ක වීමත් කැපී පෙනෙන ලක්ෂණයකි.

ඉන් පෙනී යන්නේ, බාධාවකින් තොරව ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් දෙමළ ජනයාට තිබුණේ නම් ඔවුන්ගෙන් අතිබහුතරයක් වික‍්‍රමසිංහ සඳහා ඡන්දය පාවිච්චි කරනු ඇති බවයි. උතුරේ තැපැල් ඡන්දවලින් ද, වෙනත් පළාත්වල ඡන්දය පාවිච්චි වී ඇති මාදිලියෙන් ද පෙනෙන්නේ එම කාරණයයි. ඒ තත්වය යටතේ, උතුරේ ඡන්ද වර්ජනයක් මගින් ඒකාන්ත වාසියක් මහින්ද රාජපක්ෂට අත්වීම ස්වාභාවික ය. ඉතිං, ඡන්ද වර්ජනය කිරීමක් තුළ අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ, මහින්ද රාජපක්ෂගේ ඕනෑඑපාකම් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඕනෑඑපාකම් අතර සමපාත වීමකි. එවිට එම දෙපාර්ශ්වය තකට තක මෙනි.

මහින්ද රාජපක්ෂ එම ජනාධිපතිවරණයේදී ලබාගත් මුළු බහුතරය වුණේ ඡන්ද 186,000 කි. යාපනේ, වන්නියේ සහ නැගෙනහිර දෙමළ ජනයා නිදහසේ ඡන්දය පාවිච්චි කෙළේ නම් තව අමතර ඡන්ද 250,000-300,000 ක් අතර ප‍්‍රමාණයක් ලබා ගැනීමේ හැම හැකියාවක්ම වික‍්‍රමසිංහට තිබුණි. එයම, ජනාධිපතිවරණයේ සමස්ත ප‍්‍රතිඵලය ඉඳුරා වෙනස් කරනු ඇත. එහෙත් වික‍්‍රමසිංහගේ එම ජයග‍්‍රහණය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ද්‍රෝහී පිළිවෙත විසින් පරාජය කරවන ලදි.

එදා කොටි සංවිධානය සහ එහි ගැත්තන් තමන්ගේ සාර්ථකත්වය ගැන උදම්ඇනුව ද, අවසාන විග‍්‍රහයේ දී ඔවුන්ට දරන්ට වූ දේශපාලන වියදම කොපමණ ද යන්න ඉතා වැදගත් ය. ඒ දක්වා, 1982, 1988, 1994 සහ 1999 යන සෑම ජනාධිපතිවරණයකදීම, සුළුජාතික ඡන්ද තීරණාත්මක සාධකයක් වී තිබුණි. ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා සුළුජාතික ඡන්ද අත්‍යාවශ්‍ය බවට එදා විශ්වාසයක් තිබුණි. ඒ සම්මත මැතිවරණ රීතිය එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 දී දියත් කළ ඡන්ද වර්ජනය හරහා ආපස්සට හැරෙව්වේය.

තමන්ගේ සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කළ පුද්ගලයාව, තමන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ පුද්ගලයාව කොටි සංවිධානය අන්තිමේදී පාවා දුන්නේය. සටන් විරාමය හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට යාපනය තුළ ඔහුම සපයා දුන් ගැම්ම, එල්.ටී.ටී.ඊ. සංවිධානය අවසානයේ පාවිච්චි කෙළේ ඔහුවම පරාජය කැරැුවීමට වීම, වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් වන කුරිරු සරදමකි.

වංක කැපවීම

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් ද මෙහි සිටින අවස්ථාවේ ඡන්ද වර්ජනයක් දියත් කිරීම එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ අමනෝඥ ක‍්‍රියාවකි. තම අණසක සමස්ත දෙමළ ප‍්‍රජාව කෙරෙහි බලනොපවත්වන බව, ඒ මගින් මුලින්ම ඔවුන් ලෝකයාට හෙළදරව් කළ කාරණයයි. උතුරේ ඡන්ද වර්ජනයක් තමන්ට සාර්ථක කරගත හැකි වුණේ, ප‍්‍රචණ්ඩත්වය සහ භීෂණය හරහා පමණක්ම බව, ඊළඟට ඔවුන් ලෝකයාට පෙන්නුම් කළ කාරණයයි. ඒ අනුව, සාකච්ඡුාමය විසඳුමකට ඇති ඉඩකඩ අහුරමින් රනිල්ව පරාජය කොට මහින්දව ජයග‍්‍රහණය කැරැුවීම හරහා තමන්ගේ වංචනිකත්වය ලෝකයාට දැක ගැනීමට ඔවුහූ සැලැස්සූහ.

දෙමළ ඡන්දදායකයාගේ ඡන්ද අයිතිය අහිමි කැරැුවීම එල්.ටී.ටී.ඊ. සංවිධානයට මොනම විදිහකවත් සාධනීය වාසියක් ගෙන දුන්නේ නැත. 1949 දී සිංහල ආණ්ඩුවක් විසින් උඩරට දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කැරැුවීම ගැන කෝන්තරයක් උතුරේ දෙමළ ජනතාව තුළ බොහෝ කාලයක් තිස්සේ පැවතුණි. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයන් වශයෙන් තමන්වම පත්කරගෙන සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැන් නැවත වරක්, බලහත්කාරය සහ බියගැන්වීම මගින් කෙළේ, ඊට වෙනස් දෙයක් නොවේ.

*2014 ඔක්තෝබර් 24 වැනි දා How the LTTE Enforced a Boycott in 2005 To Prevent Ranil Becoming President” නමින් පළ වූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.