5 December, 2024

Blog

සමරිසි අයිතීන් සුරක්ෂිත කරනු ! ගෝත්‍රික නීති ඉවත් කරනු !

ඩයනා ගමගේ

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීරගේ නිවසට පැන  මත්පැන් බෝතල් කිහිපයක් හා ලැප්ටොප් පරිගණකයක් සොරාගත් බවට සැකය මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ සැකකරු පොලිස් මූලස්ථානය වෙත කල පැමිණිල්ලක් මුල්කොටගෙන, සම්මත නොවන ලිංගික ඇසුර සම්බන්ධයෙන්  මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ  සැළසුමක්  මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

ඩයනා ගමගේ -සභාපති - එක්සත් කාන්තා පෙරමුණ

ඩයනා ගමගේ -සභාපති
– එක්සත් කාන්තා පෙරමුණ

මෙය  දේශපාලන පළිගැනීමක් සඳහා සංවිධානාත්මකව කරන ලද කුමන්ත‍්‍රණයක් බව පැහැදිලිව පෙනෙන්නට අතර, එමගින් ශ්‍රී ලංකාවේ වෙසෙන කවරහෝ  ‘සමරිසි’ ‍යෙකුට  එරෙහිව ඕනෑම අවස්ථාවක මෙම යල්පැනගිය නීතිය ක්‍රියාත්මක කිරීමේ අවධානමක් පැනනගී.

එහෙයින්, කාන්තා අයිතිවාසිකම් සහ සුභ සිද්ධීන් වෙනුවෙන් ක්‍රියාකාරී වන අප සංවිධානය මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ  මිනිසුන් සතු ලිංගිකත්වය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම ඉතා නිර්ල්ජ්ජිත හා ගෝත්‍රික මානසිකත්වයෙන් යුතුව උල්ලංඝනය කිරීමට  වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ හිතමිතුරන් මේ මොහොතේ කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුලය.

මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ජීවිතය  මූලික කොට ඔහුට එරෙහිව  නීතිය ක්‍රියාත්මක කරවන්න කැස කවන්නේ පැරණි වික්ටෝරියානු සදාචාරවාදයේ යල්පැන ගිය නීති නැවත කරළියට ගෙන එමිනි. වික්ටෝරියානු සදාචාරවාදය උපන් එංගලන්තයේද මේ මානව විරෝධී නීති ඉවත් කර දැන් බොහෝ කල්ය. එහෙත් අතිශය පසුගාමී රටක ඇතැම් නූගත් පිරිසකගේ  පාලන සමය මූර්තිමත් කරමින් අද වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ මිතුරන් මේ නීති ක්‍රියාත්මක තලයට ගෙන ඇත.

රටක නීති පැවැතිය යුත්තේ කිසිවකුගේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව ඒ සු‍රැකීමටය. අද ශ්‍රී ලංකාවේ පවත්නා නීති පද්ධතිය  මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස විද්‍යාත්මක සමාජ භාවිතයට ගැලපෙන ලෙස  ප‍්‍රථිසංස්කරණය කොට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ජනතාව වෙත ලබාදිය යුතුව තිබෙන තත්තවයක් තුළ මේ සිදුවීම ඉතා කණගා‍ටු දායකය

ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසියන් 1886 සිට  පනවන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 365A පරිච්ඡේදය ප්‍රකාරව  මානසික පීඩනයට යටත්ව ජීවත්වේ .

එමෙන්ම පසුගිය වසර 50කට අධික කාලයක් මෙම යල්පැනගිය නීති ක‍්‍රියාත්මක වී නැති අතර සමරිසියන්ගේ අයිතිය දියුණු  රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහ තුන්වෙනි ලෝකයේ රටවල් පවා  පිළිගෙන නීත්‍යානුකූල කර ඇති හා ඒ සලකා බැලෙමින් පවතින පසුබිමක  නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයකට හා  ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යනවාය කියන ගමනේදී හුදු දේශපාලන  පළිගැනීම උදෙසා මංගල සමරවීර මහතාගේ  මානව හිමිකම් උල්ලංගනන  කිරීමක් පමණක් නොව සමස්ත සමරිසි ජනතාවගේ  අවමාන කොට චරිත ඝාතනයක් ද මේ තුළින් සිදුකරන්නට සැරසෙන බව පැහැදිලිය.

රාජ්‍යක් මෙහෙයවන පාලකයන්ට ඒ සමස්ත රට වැසියාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හැකියාව සහිත විය යුතුය. ඒ නොහැකියාවන් නිසා අපි රටක් ලෙස පසුගිය දශක ගණනාවක් පුරා ලේ වැකි යුද්ධයක්ද සමඟින් පීඩාවට පත්ව සිටිමු. ඒ තවදුරටත් මේ රටට අවශ්‍ය තත්ත්වයක් නොවේ.

එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් මෙන්ම එහි වත්මන් සභාපතිධුරය හිමිව තිබෙන රටක් ලෙස මෙම යල් පැන ගිය නීති පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය ඍජුවම උල්ලංඝනය කිරීමක් බව පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපති  රාජපක්ෂ ජනාධිපතිවරයාට යළි මතක් කිරීම කළයුතු නොවනු ඇතැයි අපි කල්පනා කරමු.

අනෙකාට අමානුෂික ලෙස සලකන යල් පැන ගිය ගෝත්‍රික නීති ඉවත් කර යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරවන යුගයක් අපට අවශ්‍ය වී තිබේ. විවිධ ජාතීන්ට, ආගමිකයන්ට මෙන්ම සමරිසි ජනතාවද අපෙක්ෂා කරන්නේ එයයි. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු. ඒ වෙනුවෙන් සටන් කරමු.

Latest comment

  • 2
    0

    diana, [Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.