21 September, 2020

Blog

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගය

දිනේෂ් දොඩම්ගොඩ –

දිනේෂ් දොඩම්ගොඩ

1 වන කොටසපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය

“පාස්කු ඉරිදා ප්‍රහාරය ඔත්තු සේවාවල අඩුපාඩුවක් නිසා සිදුවූවක් නොව, නායකත්වයේ අඩුපාඩුවක් යැ”යි මහාචාර්ය රොහාන් ගුණරත්න, මහින්ද රාජපක්ෂ මධ්‍යස්ථානයේ කළ දේශනයක දී සදහන් කළේය. ඔහු එයින් අදහස් කළේ ජනාධිපතිවරයා සම්බන්ධව නොව, ‘යහ පාලන ආණ්ඩුව’ බලයට පත්වීමෙන් පසු පශ්චාත් යුධ ශ්‍රී ලාංකික සමාජය නිර්හමුදාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ආරක්ෂක අංශ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළෙහි සමස්ත ප්‍රතිඵලය සහ එයට විශේෂයෙන් පදනම් වූ එක්සත් ජාතික පක්ෂය වටා ගොනු වූ බුද්ධි මණ්ඩලවල අදහස් හා මතවාද ආරක්ෂක අංශ දුර්වලවීම සම්බන්ධයෙන් බලපෑ ආකාරය පිළිබඳව බව පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවක දී රොහාන් ගුණරත්න පැහැදිලි කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරැදි බුද්ධි තොරතුරු ආරක්ෂක අංශ වෙත රාජ්‍ය බුද්ධි සේවාව මගින් ලබා දුන්නද, එම ප්‍රහාරය වළක්වා ගන්නට පොලිසියට නොහැකි විය. රටේ හදිසි නීතිය නොපැවති අවස්ථාවක, ප්‍රති-ත්‍රස්ත ක්‍රියාවලිය සහ අවශ්‍ය අත් අඩංගුවට ගැනීම් සිදු කිරීමට බලය ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවටය. එහෙත්, අවශ්‍ය බුද්ධි තොරතුරු පමණක් නොව, පූර්ව සිහි කැඳවීම් ගණනාවක් සිදු කළද, එකී ප්‍රහාරය වළක්වා ගන්නට හෝ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට පොලිස්පතිවරයා ක්‍රියා කර නොමැති බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව වාර්තා විය. එකී අසමර්ථතාව සම්බන්ධයෙන් මේ වන විට පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇත.

මේ ලිපියෙහි අරමුණ වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුද යන්න පිළිබඳ දේශපාලනික තීන්දුවකට එළඹීම නොවේ. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයට ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවට වඩා දියුණු අන් රටවල් මුහුණ දුන්නේ කෙසේද යන්න පිළිබඳව සංසන්දනාත්මක විග්‍රහයක් ප්‍රති-ත්‍රස්ත උපාය මාර්ගික රාමුවක් තුළ සිදු කිරීමයි. එමගින්, පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එයට ශ්‍රී ලංකාව මුහුණ දුන් ආකාරය පිළිබඳ දේශපාලන නිගමන සහ ශාස්ත්‍රීය නිගමන අතර වෙනසක් ඇත්දැයි වටහා ගත හැකි වනු ඇත.

ප්‍රහාර වළක්වා නොගැනීම

ඔත්තු සේවා මගින් අවශ්‍ය තොරතුරු ප්‍රහාරයට කලින් ලබා දී තිබියදී, එකී ප්‍රහාරය වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය. ඉස්ලාමීය ත්‍රස්තවාදී අවදානමට මුහුණ දෙන රටවල් සමග සංසන්දනාත්මකව සලකා බැලීමේදී මුල් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අවබෝධ කර ගත හැක්කේ කුමක්ද?

විසි එක්වන ශත වර්ෂය ආරම්භ වන්නේ 2001 සැප්තැම්බර් 11 වනදා අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ අල්-ඛයිඩා ප්‍රහාරයත් සමගය. එම ප්‍රහාරය උපාය මාර්ගික වශයෙන් කෙතරම් වැදගත්ද යත්, එය අමෙරිකාව සහ සෝවියට් රුසියාව අතර පැවති සීතල යුද්ධය නිම වීමෙන් පසු ලෝකයේ ආරක්ෂක සංවාදය ත්‍රස්තවාදයට මුහුණ දීම පදනම් කරගනිමින් ආරම්භ වීමට මූලික අඩිතාලම සැකසීය.

අමෙරිකාවට එල්ල කළ අල්-ඛයිඩා ප්‍රහාරය අමෙරිකානු ආණ්ඩුව සහ අමෙරිකානුවන් පමණක් නොව, මුළු ලෝකයම මවිතයට පත් කළේය. එයට හේතුව ලෝකයේ දියුණුම තාක්ෂණය සහ සම්පත් සහිත ප්‍රබල ඔත්තු සේවාවන් තිබියදී, පුද්ගලයන් කිහිප දෙනෙකුට අමෙරිකානු ජාතික ආරක්ෂාවට අභියෝග කළ හැකි වූයේ කෙසේදැයි වටහා ගත නොහැකි වූ බැවිනි. මේ සම්බන්ධයෙන් සෙවීමට අමෙරිකානු රජය පත් කළ 9/11 කොමිෂන් සභාවේ මූලික නිගමනය වූයේ අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාව (CIA) සහ FBI යන ආයතන දෙකේ අසමර්ථතාව නිසා මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බවයි. ඊට අමතරව කොමිසමේ සභාපති තෝමස් කීන් ප්‍රකාශ කළේ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා සහ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා යන දෙදෙනාවම CIA සහ FBI ආයතන විසින් ප්‍රමණවත් පරිදි අවශ්‍ය බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කර නොතිබූ බවයි.

අමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය ‘ත්‍රස්තවාදයට එරෙහිව බටහිර රටවල්’ ඒකරාශි කිරීමට සමත් විය. ඒ අනුව අමෙරිකාව සහ යුරෝපය අතර ත්‍රස්තවාදයට එරෙහිව අන්‍යෝන්‍ය සහාය ලබාදීමට එකගතා ඇතිවූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඒ හරහා සාමාජික රටවල් ත්‍රස්තවාදයට එරෙහිව බුද්ධි තොරතුරු හුවමාරුව ඇතුළු අවශ්‍ය පියවර ගැනීම සඳහා තල්ලු කිරීමට අමෙරිකාව සමත් විය.

ඒ සියලු පියවර ගැනුණ ද 2001 වසරේදී අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයට වසර හතරකට පසුව, එනම් 2005 ජූලි මස 7 වන දින පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් කරමින් සහ 700 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් පාකිස්තාන ත්‍රස්ත කඳවුරුවලට සම්බන්ධ වූ බ්‍රිතාන්‍යයේ ඉස්ලාමික අන්තවාදී පිරිසක් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගන්නට බ්‍රිතාන්‍යයට නොහැකි විය. එසේම 2001 වසරේ අවසානයේ ඉන්දියාව ද පාකිස්තාන මූලික ජායිෂ්මොහම්මද් සහ ලෂ්කාර්ටෝබියා ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන ඉන්දීය පාර්ලිමේන්තුව ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයකට ගොදුරු විය. එසේම, 2001 9/11 ප්‍රහාරයට පසුව මේ දක්වා අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්පාඤ්ඤය, චීනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, බොස්නියා සහ හර්සගොවීනියාව, ඊශ්‍රායලය, සවුදි අරාබිය, රුසියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ඉන්දියාව, පාකිස්තානය, නයිජීරියාව, තුර්කිය, කුවේටය, මොරොක්කෝව, ලෙබනනය, ජෝර්දානය, තජිකිස්ථානය, ඉරාකය, සිරියාව, යේමනය, සෝමාලියාව, කැමරූන්, ඇෆ්ගනිස්තානය, ටියුනීසියාව, ලිබියාව, කෙන්යාව, බංගලාදේශය, චැඩ්, පිලිපීනය, මාලි, බුර්කිනා ෆාසෝ, අයිවරි කෝස්ට් සහ ශ්‍රී ලංකාව වරක් හෝ කීප වතාවක්ම ඉස්ලාමික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු විය.

අමෙරිකාවට 2001 දී එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාමික අන්තවාදී ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගෙන, ප්‍රහාර වළක්වා ගන්නට ලෝකය කෙතෙක් උත්සාහ කළද, එකී ප්‍රහාර වළක්වා ගන්නට ලොව ප්‍රති-ත්‍රස්ත හැකියාව අතින් දියුණු රටවල සිට සාපේක්ෂව අඩු දියුණුවක් ඇති රටවල් අපොහොසත් විය. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ ප්‍රති-ත්‍රස්ත පර්යේෂකයන් මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතු ලෙස මූලික වශයෙන් පහත කරුණු පෙන්වා දී ඇත.

ප්‍රහාර වළක්වා නොගැනීමට හේතු

ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට නොහැකිවීමට බලපාන සියලු හේතු සම්බන්ධයෙන් ප්‍රති-ත්‍රස්ත පර්යේෂකයන් අතර පොදු එකඟතාවයක් නැතත්, එක් එක් රටවල ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තිය ත්‍රස්ත ප්‍රහාරවලට මුහුණ දීමේ විවිධත්වයක් ඇති වීමට මූලික හේතුවක් බව ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව විවිධ රටවල් ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් විවිධ ප්‍රති-ත්‍රස්ත ප්‍රවේශයන් අනුගමනය කිරීම කෙරෙහි ප්‍රති-ත්‍රස්ත පර්යේෂකයන්ගේ අවධානය යොමුව තිබේ.

ඇතැම් ප්‍රති-ත්‍රස්ත පර්යේෂකයන් පෙන්වා දෙන්නේ රටවල්වල ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තිය එකී රට මුහුණ දෙන තර්ජනයේ ස්වභාවය අනුව වෙනස් වන බවයි. නිදසුනක් ලෙස ජෙරමි ෂපීරෝ සහ ඩැනියෙල් බයිමන් පෙන්වා දෙන්නේ අමෙරිකාව මුහුණ දෙන ඉස්ලාමික අන්තවාදී ත්‍රස්ත තර්ජනය අමෙරිකාව තුළින් නොව ලොව වෙනත් කලාපවලින් පැමිණෙන බැවින්, එම රටවල් සොයා යන හමුදා ශක්තිය පදනම් කර ගත් ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තියක් අමෙරිකාව අනුගමනය කරන බවයි. එහෙත්, යුරෝපීය රටවලට එල්ල වන ත්‍රස්ත තර්ජනය එකී රටවල් තුළින්ම  පැන නඟින බැවින් එකී රටවල් හමුදා ශක්තිය මත නොව ඔත්තු සේවා සහ නීතිය බලාත්මක කරන ආයතන පදනම් කරගත් ප්‍රති-ත්‍රස්ත ප්‍රවේශයක් අනුගමනය කරන බව ඔවුහු පෙන්වා දෙති.

එසේම, ෂපීරෝ සහ බයිමන් තවත් ද්විතීක හේතුවක් ද ගෙන දක්වති. එනම්, එක් එක් රටවල ප්‍රති-ත්‍රස්ත ශක්තිය අනුව ද එකී රටවල ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තිය වෙනස් වන බවයි. උදාහරණයක් ලෙස අසම-සම යුධ ශක්තියක් ඇති අමෙරිකාව, හමුදා ශක්තිය පදනම් කරගත් ප්‍රවේශයක් කෙරෙහිද, අමෙරිකාව තරම් හමුදා ශක්තියක් නැති යුරෝපා රටවල් වෙනත් රටවලට හමුදාව යවා ත්‍රස්ත මුල් සිඳලීම වෙනුවට, ඔත්තු සේවා සහ නීතිය බලාත්මක කරන ආයතන පදනම් කරගනිමින් ප්‍රති-ත්‍රස්ත කටයුතු කරන බව එකී පර්යේෂකයෝ පෙන්වා දෙති.

එසේම වෙනත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එක් එක් රටවල සංස්කෘතික කාරණ එම රටවල ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්ති තීරණය කිරීමට බලපාන බවයි. වින් රීස් සහ රිචඩ් ඔල්ඩ්‍රිච් අමෙරිකානු සහ යුරෝපා ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තීන් අතර වෙනස පැහැදිලි කරමින් දක්වන්නේ, එකී රටවල් ද්විත්වයේ ඇති ‘උපායමාර්ගික සංස්කෘතිය’ එම වෙනසට පදනම් වන බවයි. ‘සුපිරි අමෙරිකානු මානසිකත්වය’ සහ අමෙරිකානු ජාතික ආරක්ෂාව එකී සංස්කෘතියේ ප්‍රබල මානසික සාධකය වීම අමෙරිකාවට යුධ ශක්තිය පදනම් කරගත් ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හේතු සාධක වී ඇති බවත්, ඊට වෙනස් ලෙස යුරෝපීය රටවල් නීතියේ ආධිපත්‍යය සහ ආයතන දැඩි පාලිත තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක කිරීම පදනම් කරගත් ‘රෙගුලාසි ගරු කරන’ උපාය මාර්ගික සංස්කෘතියක් මත පදනම්ව ක්‍රියාත්මක වන උපායමාර්ගික සංස්කෘතියක පිහිටා තිබීම නිසා අපරාධ යුක්ති මූලධර්මයට අනුව යමින්, හමුදා ශක්තියට වඩා ජාත්‍යන්තර නීති මූලධර්මයන් මත පදනම්ව, බුද්ධි අංශ සහ නීතිය බලාත්මක කරන පොලිසිය වැනි ආයතන මූලික කරගෙන සිය ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තිය සකස් කර ගෙන ඇති බවත් රීස් සහ ඔල්ඩ්‍රිච් පෙන්වා දෙති. පීටර් කට්සෙන්ස්ටයින් මෙම සංස්කෘතික වෙනස නිශ්චිත උදාහරණයක් ගෙන දක්වමින් පෙන්වා දෙන්නේ, ‘සමාජ නියමයන් සහ යෝග්‍ය හැසිරීම’ පිළිබඳ විවිධ සමාජයන්හි පවතින සම්මුතීන් ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික සංස්කෘතීන්හි වෙනස්කම්වලට බලපාන බවයි.  නිදසුනක් ලෙස ජර්මනිය සහ ජපානය ගෙන හැර දක්වන කට්සෙන්ස්ටයින්, ජපානයට වඩා ජර්මනිය වඩා ක්‍රියාශීලී ප්‍රතිචාරයක් ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් රට තුළ සහ රටින් පිට දක්වන්නේ ජර්මානු සමාජය තුළ ඇති ‘සමාජ නියමයන් සහ යෝග්‍ය හැසිරීම’ පිළිබඳ සමාජ සම්මුතීන් පදනම්ව බව පෙන්වා දෙයි.

එසේම, අනෙකුත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඉහත කී හේතූන්ට අමතරව එක් එක් රටවල ‘ආයතනික ව්‍යුහයන් සහ ආයතනික සංස්කෘතීන්’ වෙනස් ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික ප්‍රවේශයන්ට හේතු වී ඇති බවයි. මාර්තා ක්‍රෙන්ෂෝ, ජියොවානි කැපෝෂියා සහ ඇමි සෙගාර්ට් පෙන්වා දෙන්නේ, අමෙරිකානු ප්‍රති-ත්‍රස්ත ආයතන, විශේෂයෙන් බුද්ධි සේවා, නම්‍යශීලී නොවන ආයතනික සංස්කෘතියකට උරුමකම් කියන බැවින්, සම්ප්‍රදායික ‍යුධ උපායමාර්ග මත පදනම් වූ සීතල යුද්ධයෙන් සම්ප්‍රදායික නොවන උපායමාර්ග මත පදනම් වන ප්‍රති-ත්‍රස්ත සන්දර්භයනට අනුගත වීමට ප්‍රතිරෝධතා ඇති කර ගත් බවයි. එබැවින්, ත්‍රස්ත තර්ජනයට මුහුණ දීමට අමෙරිකාව අසමත් වූ බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, ඉහත දැක්වූ පර්යේෂකයන්ගේ නිගමන වැදගත් බව පිළිගනිමින්, එහෙත් ඒවායේ අසම්පූර්ණතා ඇති බව පෙන්වා දෙන ෆ්‍රෑන්ක් ෆොලී, ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තීන්වල වෙනසට බලපාන හේතු ලෙස රටවල ඓතිහාසික කරුණු මත පදනම් වූ දේශීය සමාජ නියමයන්, ආයතනික ව්‍යුහයන් හා සංස්කෘතීන් සහ ත්‍රස්ත තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීමේ දී රජයේ සම්මත ක්‍රමවේදයන් ගෙන හැර දක්වයි.

ඉහත ගෙන හැර දැක්වූ කරුණු ඇසුරින් පැහැදිලි වන්නේ එක් එක් රටවල් විවිධ ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තීන් විවිධ හේතු නිසා අනුගමනය කරන බවත්, ත්‍රස්ත තර්ජනයට මුහුණ දීමට ලොව පුරා පිළිගත් පොදු ප්‍රතිපත්තියක් නොමැති බවත්ය. මෙහිදී අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණ වන්නේ, විවිධ ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්ති අනුගමනය කළද එකී කිසිදු රටක්, දියුණු රටක් වේවා, දියුණු වෙමින් පවතින රටක් වේවා, 2001 වසරට පසුව ලෝක අවධානය යොමු වුවද, ත්‍රස්ත ප්‍රහාරයන්ට වරක් හෝ කීප වරක් ගොදුරු වූ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම

ඉහත කී සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ 2019 වසරේ පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා නොගැනීම දේශපාලන වේදිකාවේ පෙන්වා දෙන එක් නිශ්චිත හේතුවක් හෝ දෙකක් නිසා නොව, ඊට වඩා සංකීර්ණ හේතු රාශියක් මුල් කරගෙන සිදු වන බවයි. දැනට අනාවරණය වී ඇති කරුණු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත පිරිස සහ එකී ප්‍රහාරය පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාව මගින් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු නීතිය බලාත්මක කිරීමේ ආයතන වෙත, එනම් පොලිස්පතිවරයා, ජාතික බුද්ධි අංශ ප්‍රධානයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත සති දෙකකට වැඩි කාලයක සිට ලබා දී තිබිණි. ඊටත් එහා යමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරකටත් වැඩි කාලයක දී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් ඔවුන් වෙත ලද බුද්ධි තොරතුරු සහ ඒ මත විමර්ශනය කිරීමෙන් ලද තොරතුරු මත ප්‍රහාරයේ මූලිකත්වය ගත් ‘සහරාන්’ පිළිබඳ යම් තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරමින්, සහරාන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇත්දැයි විමසා ඇත.

එහෙත්, ඒ කිසිදු බුද්ධි තොරතුරක් හෝ විමර්ශන කරුණු පදනම් කරගෙන සහරාන් සහ ඔහුගේ පිරිස අත්අඩංගුවට ගැනීමට හෝ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නීතිය බලාත්මක කරන ආයතන අසමත් විය. ඊට හේතුව ජනාධිපතිවරයා ද? වෙනත් සංකීර්ණ හේතු රාශියක්ද?

අමෙරිකාවේ 9/11 ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සහා වාර්තාවේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සදහන් මූලික හේතුව වූ බුද්ධි සේවාවන්හි අසමර්ථතාව, රාජ්‍ය බුද්ධි සේවාවේ ශක්‍යතාව හේතුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වලංගු නොවේ. එහෙත්, එම තොරතුරු අමෙරිකාවේ සිදුවූවාක් මෙන්, රාජ්‍ය නායකයා වෙත සන්නිවේදනය කිරීමේ අසමර්ථතාව ජාතික බුද්ධි අංශ ප්‍රධානයා මෙන්ම, ආරක්ෂක ලේකම්වරයා වෙතින් ද දිස්වූ බව මෙතෙක් අනාවරණය වී ඇති කරුණුවලින් පෙනී යයි.

රාජ්‍ය බුද්ධි සේවාව කරුණු නිල වශයෙන් වාර්තා කරන ප්‍රමුඛයන් වන්නේ ජාතික බුද්ධි අංශ ප්‍රධානයා සහ ආරක්ෂක ලේකම්වරයාය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ලංකාව, සිය පරිපාලන සේවය සහ රෙගුලාසි බ්‍රිතාන්‍යයෙන් උරුම කරගත් අතර, එකී ආයතනික සංස්කෘතිය ද, නිලබල ක්‍රමය මත පදනම් වූ බලාධිකාරී සංස්කෘතිය ද ලංකාවට බ්‍රිතාන්‍යයෙන් උරුම විය. ඒ අනුව ආයතනික රෙගුලාසි මත පදනම් වූ නිලබල ක්‍රමයෙන් පාලිත ආයතනික සංස්කෘතියක් ලංකාවට හිමි විය. එහි ප්‍රතිපලය වූයේ බුද්ධි තොරතුරු පවා වාර්තා කිරීම එකී නිලබල ක්‍රමයට ගොදුරු වීමයි. නිලබල ක්‍රමය අනුව ජාතික බුද්ධි ප්‍රධානයාට සහ ආරක්ෂක ලේකම්වරයාට පහළින් සිටින රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානයාට බුද්ධි තොරතුරු සෘජුවම රාජ්‍ය නායකයාට වාර්තා කිරීමේ ආයතනික සංස්කෘතියක් හෝ ව්‍යුහයක් රාජ්‍ය ආරක්ෂක බලාධිකාරය තුළ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානයා ලබා දුන් සාක්ෂි විශ්ලේෂණයෙන් අනාවරණය වන්නේ ආයතනික සංස්කෘතිය සහ බලාධිකාරී ව්‍යුහය එකී බුද්ධි තොරතුරු රාජ්‍ය නායකයා වෙත සෘජුව සන්නිවේදනය කිරීම වළකා ලූ බවයි.

අනෙක් අතට එකී බුද්ධි තොරතුරු සෘජුව රාජ්‍ය නායකයා වෙත දැනුම් දීමට ජාතික බුද්ධි ප්‍රධානියා හෝ ආරක්ෂක ලේකම්වරයා අසමර්ථ විය. ජාතික බුද්ධි ප්‍රධානියා ‘පෞද්ගලික හේතු’ මත ප්‍රහාරයට පසුව ඉල්ලා අස්වූ අතර, ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වන විට අපරාධ නඩුවක් ගොනුවී, මෙම ලිපිය ලියන අවස්ථාවේ ඔහු මහාධිකරණ ප්‍රතිශෝධන නියෝගයක් මත යළි රිමාන්ඩ්භාරයට පත් කර ඇත.

මේ අනුව බලන විට වින් රීස්, රිචඩ් ඔල්ඩ්‍රිච්, පීටර් කට්සෙන්ස්ටයින්, මාර්තා ක්‍රෙන්ෂෝ, ජියොවානි කැපෝෂිය, ඇමි සෙගාර්ට් සහ ෆ්‍රෑන්ක් ෆොලී දක්වන සමාජ සහ ආයතනික සංස්කෘතිය සහ ව්‍යුහය ශ්‍රී ලංකාවේ ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික ප්‍රවේශයට ද බලපා ඇති බව පෙනී යයි. එසේම, අමෙරිකාවේ 9/11 ප්‍රහාරයේ වැදගත් මූලික හේතුවක් වූ රාජ්‍ය නායකයා වෙත (අමෙරිකාවේ නම් රාජ්‍ය නායකත්වය දැරූ බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් යන දෙදෙනාම) සන්නිවේදනය නොවීම ශ්‍රී ලාංකික සන්දර්භය තුළ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානයාගෙන් සිදු නොවූයේද බ්‍රිතාන්‍යයෙන් උරුම වූ නිලබල ක්‍රමය මත පදනම් වූ රෙගුලාසි මගින් පාලිත ආයතනික සංස්කෘතිය සහ ව්‍යුහය නිසා බව ද පෙනී යයි.

එහෙත් ශ්‍රී ලංකාවේ, මෙකී සම්ප්‍රදායික නිලබල සංස්කෘතිය සහ රෙගුලාසි මගින් පාලිත ක්‍රමවේදයෙන් බැහැරව, යම් අත්තනෝමතිකභාවයකින් ක්‍රියා කිරීමේ ආයතනික සංස්කෘතියක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිපාලන සමයේදී දක්නට ලැබිණි. එය අවසානයේ දේශීය රෙගුලාසි සහ නීති පමණක් නොව, ජාත්‍යන්තර නීති නියමයන් ද කඩ කරමින් සිදු වූ අත්තනෝමතික ක්‍රමයක් බවට ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් දැඩි විවේචනයන්ට ලක්විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා රාජපක්ෂ මහතාගේ ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික ප්‍රවේශයට එරෙහිව දැඩි ස්ථාවරයක සිට කටයුතු කළ අතර, 2015 දී පත් වූ ‘යහපාලන ආණ්ඩුවට’ යළි සම්ප්‍රදායික ආයතනික සංස්කෘතිය වෙත නැඹුරු වීමට එකී ජාතික සහ ජාත්‍යන්තර ප්‍රතිරෝධයන් සහ විවේචන හේතු සාධක විය.

අනෙක් අතට, රොහාන් ගුණරත්න පෙන්වා දෙන්නාක් මෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වටා සිටින නූතන-ලිබරල් මත දරන්නවුන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද වඩා ලිබරල් පදනමක පිහිටා කටයුතු කළ බව පෙනෙන අතර, පුද්ගල නිදහස සහ නීතියේ ආධිපත්‍යය මූලික කරගත් සමාජ-දේශපාලන සහ ආයතනික පරිපාලන රාමුවක් ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ද අනුගමනය කිරීමට ඔවුන් යුහුසුලු වූ බව පෙනේ. විශේෂයෙන්ම, පශ්චාත් ‍යුධ ශ්‍රී ලංකාවේ නිර්හමුදාකරණය අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩපිළිවෙළ තුළ ජාතික ආරක්ෂාවට වඩා නූතන-ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කර ගත් පෞද්ගලික නිදහසට වැඩි වටිනාකමක් ආරෝපණය විය. කෙසේවෙතත්, මෙය ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ තත්ත්වයක් නොවේ. ෆ්‍රෑන්ක් ෆොලී පෙන්වා දෙන ආකාරයට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපීය රටවල් සිය ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්ති නීතියේ රාමුව සහ ආයතනික රෙගුලාසි මත පදනම්ව වඩා ලිහිල් මූල ධර්ම මත සකස් කරයි.

එසේම, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම්ව සිය ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්ති සකස් කරන රටවල් මෙන්ම, එසේ නොකරන චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් ද 2001 වසරෙන් පසුව පවා ත්‍රස්ත ප්‍රහාරවලට වරක් හෝ කීපවරක් ගොදුරු වූ බව පෙනී යයි. ඒ අනුව බලන විට පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම දේශපාලන වේදිකාවේ ගෙනහැර දක්වන ජනාධිපතිවරයා හෝ අනෙක් හේතු නිසා නොව, ඊට වඩා සංකීර්ණ හේතු මත සිදුවූවක් බව නිගමනය කළ හැකිය.

2 වන කොටසපාස්කු ප්‍රහාරයට පසු ආණ්ඩුවේ ප්‍රතිචාරය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමස්ත ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු ලෝකයම කම්පනයටත්, වික්ෂිප්තභාවයටත් පත් කළේය. විශේෂයෙන් වසර 30 කට අධික කාලයක් පුරා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් පීඩා විදි ශ්‍රී ලාංකිකයන් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ සංවිධානයේ දිග-පළල පිළිබඳ පැහැදිලි බවක් වාර්තා නොවීම නිසා යළිත් දිග්ගැස්සෙන සිවිල් යුද්ධයක් පිළිබඳ භීතියෙන් ඇළලී ගියේය. තත්ත්වය තවත් සංකීර්ණ කරමින් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේම ඇතැම් කොටස් දේශපාලන වාසි ලබාගැනීමට බොර දියේ මාළු බාමින් අනියත බියක් සමාජ මනෝභාවයන් තුළ පැළපදියම් කළහ. මෙවැනි ප්‍රතිවාදී පසුබිමක් තුළ පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ අභියෝගයට ජනාධිපතිවරයාට, රජයට සහ ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදු විය.

ලිපියෙහි මේ කොටසින් උත්සාහ කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ ආකාරයේ සාර්ථක හෝ අසාර්ථක බව ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමුවක් තුළ විශ්ලේෂණය කිරීමයි.

ප්‍රතිත්‍රස්ත අරමුණු

ඩේවිඩ් ෆ්‍රොම්කින් පවසන ආකාරයට “ඔබ ත්‍රස්තවාදියාට උවමනා ලෙස ප්‍රතිචාර දැක්වුවහොත්, ත්‍රස්තවාදය ජයග්‍රහණය කරයි. එනම්, ත්‍රස්තවාදයේ ඉරණම රදා පවතින්නේ ඔබ අත මිස ත්‍රස්තවාදියා අත නොවේ.” ෆ්‍රොම්කින් ගේ ප්‍රකාශය අනුව සලකා බලන විට ත්‍රස්තවාදියාට අවශ්‍ය කුමක්ද ‍යන්න වටහා ගෙන, එය ඔහුට ලබා නොදීම සාර්ථක ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගයක පදනමයි. ත්‍රස්තවාදියාට අවශ්‍ය කුමක්ද?

ප්‍රති-ත්‍රස්ත මනෝ විශ්ලේෂක ඇන්ඩෲ සිල්කේ පෙන්වා දෙන පරිදි ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවක් භෞතික පීඩාවක් සිදු කිරීම නොව, මානසික බලපෑමක් ඇති කිරීම අරමුණු කරයි. එක් අතකින් එය, සමාජය පුරා පැතිර යන භීතියක් ජනනය කිරීම අරමුණු කරන අතර, අනෙක් අතින් ජනතා හදවත් සහ මනස් දිනා ගැනීම සදහා කරන සටනකි.

ඒ අනුව, ත්‍රස්තවාදය මානසික අරමුණු ඉෂ්ට කර ගැනීම මඟින් දේශපාලන හෝ වෙනත් පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස යොදා ගන්නා මෙහෙයුම් මාදිලියක් බව සැලකිය හැකිය. ත්‍රස්තවාදීන්ගේ මානසික උපායමාර්ග මොනවාද යන්න පිළිබඳ දක්වන රොබින් පී. ජේ. එම්. ජෙරිට්ස්, එකී උපායමාර්ග පහක් පෙන්වා දෙයි.

1. ආණ්ඩුවේ අවදානම් සහගත බව සහ නොහැකියාව පෙන්වීම.

2. සිතා මතා තෝරා ගත් ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම සාධාරණීකරනය කරමින් පුළුල් මහජන කැමැත්තක් දිනා ගැනීම.

3. සමාජය තුළ බෙදීමක් ජනිත කර, පිරිස් රැඩිකල්භාවයට පත් කිරීම.

4.ආණ්ඩුව විවේචනයට ලක් වන ආකාරයේ මර්දනකාරී පිළිවෙතක් සදහා ආණ්ඩුව තල්ලු කරවීම.

5.වීරක්‍රියා ලෙස දිස්වන ආකාරයට ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරිපත් කිරීම.

එසේනම්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීමේදී ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වන ඉහත කී මානසික උපායමාර්ගික අරමුණු ඉටු නොවන ලෙස ප්‍රති-ත්‍රස්ත උපාය මාර්ග දියත් කිරීමේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ ක්‍රියා කළේද?

ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ගයක සාර්ථක අසාර්ථක බව මැනීමේදී යොදා ගත හැකි එක් නිර්ණායකයක් වන්නේ, ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආණ්ඩුවේ ප්‍රති-ත්‍රස්ත ක්‍රියා මාර්ග වල ප්‍රතිඵලය ලෙස පවතින තත්ත්වයෙන් ඉහළට වර්ධනය වුණාද? නැද්ද? ‍යන්න නිගමනය කිරීමයි. ත්‍රස්තවාදීන්ගේ දෘෂ්ටි කෝණයෙන් සලකා බලා ඇන්ඩෲ සිල්කේ ත්‍රස්ත ව්‍යාපාරයක් පහළ සිට ඉහළට වර්ධනය වීමේ මට්ටම් හතරක් නිරීක්ෂණය කරයි.

කුපිත කරවීම – අනපේක්ෂිත පළමු ප්‍රහාරය හමුවේ ආණ්ඩුව සහ ආරක්ෂක අංශ කුපිත කරවීම ත්‍රස්තවාදී ව්‍යාපාරයක පළමු මට්ටමයි. මෙසේ කුපිත කරවීමේ අරමුණ ආණ්ඩුව සාමාන්‍ය නීති පසෙකට ලා දැඩි මර්දනකාරී ක්‍රියා මාර්ගයක්  සඳහා තල්ලු කරවීමයි. ආණ්ඩුව මෙසේ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ලෙස ප්‍රතිචාර දැක්වුවහොත්, ඔවුන් බලාපොරොත්තු වන දෙවන මට්ටමට ගමන් කිරීමේ අවස්ථාව ත්‍රස්තවාදීන්ට උදා වේ.

උත්සන්න කිරීම – ආණ්ඩුව සාමාන්‍ය නීති මූලධර්ම පසෙකලා මර්දනකාරී පිළිවෙතකින් ත්‍රස්තවාදීන්ගේ කුපිත කරවීමට ප්‍රතිචාර දැක්වුවහොත්, ත්‍රස්ත ප්‍රහාර උත්සන්න කර, දැඩි මර්දනකාරී ප්‍රතිචාරයක් සදහා ආණ්ඩුව තල්ලු කරවීම ත්‍රස්තවාදීන්ගේ අපේක්ෂාවයි. මෙහිදී මානව හිමිකම් කඩ කරමින්, යුධ නීති උල්ලංඝනය කරමින්, මහජන නිදහස දැඩි ලෙස සීමා කරමින් මහජනතාවට විශාල පීඩාවක් ඇති කරන තත්ත්වයක් නිර්මාණය කරනු පිණිස  ආණ්ඩුව තල්ලු කරවීමට ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වෙති. එම තත්ත්වය ඊළඟ මට්ටමට ත්‍රස්ත ව්‍යාපාරය වර්ධනය කරවීමට අවශ්‍ය අඩිතාලම සපයයි.

දොස් පැවරීම – ඇතිවී තිබෙන මහජන පීඩාකාරී තත්ත්වය සහ ආණ්ඩුවේ දැඩි මර්දනකාරී ස්වභාවය සම්බන්ධයෙන් දෝෂාරෝපණය ආණ්ඩුව වෙත යොමු කරවීම ත්‍රස්ත ව්‍යාපාරයක තෙවන වර්ධනීය අවස්ථාවයි. ත්‍රස්ත ප්‍රහාර ඇති වීමේ හේතු නිර්මාණය කිරීමේ වගකීමත්, මර්දනයේ වගකීමත් යන දෙකම ආණ්ඩුව පිට පැටවීම ත්‍රස්තවාදීන්ගේ අරමුණයි. මෙම තත්ත්වය හතරවන මට්ටමට ත්‍රස්ත ව්‍යාපාරයක් වර්ධනය කරවීමට පදනම සකස් කරයි.

පැවැත්ම – මුල් වර්ධනීය අවස්ථා තුන මගින් ජනිත කරන තත්ත්වය තුළ ත්‍රස්ත ව්‍යාපාරයක් දීර්ඝකාලීනව පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ලෙස ආණ්ඩුවේ චිත්ත ශක්තිය දුර්වල කිරීම සහ දිගටම සටන් කිරීමට ආණ්ඩුවට ඇති උවමනාව දුර්වල කිරීම අවසාන වර්ධනීය අදියරේ ත්‍රස්තවාදීන්ගේ අපේක්ෂාව වේ. මේ වන විට නිර්මාණය කර ඇති වාතාවරණය හමුවේ මහජනතාවගෙන් සහ විරුද්ධ දේශපාලන බලවේගවලින් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල වේ. එය සටන අතහැර දමා, ත්‍රස්තවාදීන්ගේ අරමුණු ලබා දීම හෝ විසඳුමක් සදහා සාකච්ඡා මේසය වෙත ආණ්ඩුව තල්ලු කරවීමට ආණ්ඩුව යොමු කරවයි.

ඉහත දැක්වූ ත්‍රස්ත ව්‍යාපාරයක වර්ධනීය අවස්ථා හතර අනුව, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ‘කුපිත කරවීම’ යන මුල් මට්ටමේ ලා සැලකේ. මෙම කුපිත කරවීමට ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ නිවැරදි ලෙස ප්‍රතිචාර දැක්වූයේද? නැද්ද? ‍යන්න මත ත්‍රස්තවාදීන්ට දෙවන වර්ධනීය අවස්ථාව වන ‘උත්සන්න කිරීම’ ට දියුණු වීමේ අවස්ථාව ලැබේ. ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ ‘කුපිත කරවීමට’ ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත ක්‍රියාමාර්ග

පෝල් විල්කින්සන් සහ ඇන්ඩෲ සිල්කේ පෙන්වා දෙන පරිදි ආණ්ඩුව ප්‍රති-ත්‍රස්ත වැඩපිළිවෙලකදී ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ග සදහා අවශ්‍ය නීති වහාම ගෙන ඒම, ප්‍රති-ත්‍රස්ත වගකීම නිශ්චිත ආරක්ෂක අංශ කණ්ඩායම් වෙත භාර දීම, ආරක්ෂක අංශ යොදවා අවශ්‍ය මට්ටම නොඉක්මවන ලෙස පාලිත තත්ත්වයක් යටතේ ත්‍රස්ත මර්දනය දියත් කිරීම (ත්‍රස්තවාදීන් මරා දැමීම, අත්අඩංගුවට ගැනීම, ත්‍රස්තවාදීන්ගේ සම්පත් සහ දේපල අත්පත් කර ගැනීම), අත්අඩංගුවට පත් ත්‍රස්ත සැකකරුවන් ‍රඳවා තබා ගැනීමට විශේෂ නීති සහ ප්‍රතිපත්ති ගෙන ඒම, මාධ්‍ය කළමනාකරණය, අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබා ගැනීම, සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම යනාදී ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ග වහා ගත යුතුය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා වහා ක්‍රියාත්මක වූ අතර, එවක හමුදාපති මහේෂ් සේනානායක ප්‍රසිද්ධියේ කියා සිටියේ කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකට යටත් නොවී, වහාම තත්ත්වය සාමාන්‍ය අතට හැරවීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත බලය, වගකීම සහ නිදහස ලබා දුන් බවයි. එහෙත්, මුල් අවස්ථාවේදී මෙම ලබා දුන් නිදහස නිසා ඇතැම් අඩුපාඩු සිදු නොවූවා නොවේ. නිදසුනක් ලෙස, ආරක්ෂක අංශ සිදු කළ ඇතැම් සෝදිසි මෙහෙයුම් මාධ්‍යවල විකාශය වීම නිසා නිවෙස් හිමියන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වූ අවස්ථා කීපයක් පිළිබඳ පැමිණිලි ලැබුණු අතර, වහාම එම තත්ත්වය නිවැරැදි කිරීමට ජනාධිපතිවරයා විසින් අවශ්‍ය නියෝග ආරක්ෂක අංශ වෙත නිකුත් කෙරිණි. එමගින් මුස්ලිම් වැසියන් ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් මෙහෙයුම් දෙස සතුරු මානසිකත්වයකින් බැලීමට තිබූ විශාල ඉඩකඩක් අහුරා දැමුණු අතර, අවශ්‍ය සහයෝගය මුස්ලිම් ප්‍රජාවගෙන් දිනා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් ආණ්ඩුවේ අවදානම් සහගත බව සහ නොහැකියාව පෙන්වීමේ ත්‍රස්තවාදීන්ගේ මානසික අරමුණ මූලික වශයෙන් ඔවුහු ඉටු කර ගත්හ. එහෙත් එය ප්‍රබල ලෙස සමාජ ගත කරනු ලැබුයේ විපක්ෂයේ දේශපාලන ප්‍රකාශ සහ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දේශපාලනයට එක්වූ හිටපු හමුදා ප්‍රධානීන් වගකීමක් නැතිව, ද්වේශයෙන් සිදු කළ ප්‍රකාශ හේතුවෙනි. එසේම, හොදින් සිතා මතා තෝරා ගත් ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම සාධාරණය කරමින් පුළුල් මහජන කැමැත්තක් දිනා ගැනීම ද ත්‍රස්තවාදීන්ගේ අරමුණක් විය. විශේෂයෙන් කතෝලික පල්ලි ඉලක්ක කිරීමෙන් මේ අරමුණ සෑහෙන තරම් සාර්ථකව ඉටු විය. එය නරක අතට පත් කරමින් ඇතැම් කතෝලික නායකයන් ත්‍රස්තවාදීන්ට නොව, ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ වෙත දිගින් දිගටම දොස් පැවරීය. එමගින් ආණ්ඩුවේ නොහැකියාව පෙන්වීමේ ත්‍රස්තවාදීන්ගේ මානසික අරමුණ ප්‍රබල ලෙස ඉටු වූවා පමණක් නොව, ආරක්ෂක අංශවල චිත්ත ධෛර්‍යයට ද මෙය යම් බලපෑමක් එල්ල කෙරෙනු නිරීක්ෂණය කළ හැකි විය.

ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ මුහුණ දුන් සංකීර්ණතම තත්ත්වය උදා වූයේ සමාජය තුළ බෙදීමක් ජනිත කර, මුස්ලිම් පිරිස් රැඩිකල්භාවයට පත් කිරීමේ ත්‍රස්ත අරමුණ ඉටු කර ගැනීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ නායකයන් ගෙන ගිය සංවිධානාත්මක වැඩපිළිවෙළිනි. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් බව ප්‍රකාශ වූ වහාම, සමාජය මුස්ලිම් සහ මුස්ලිම් නොවන ලෙස බෙදා වෙන් කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශ විපක්ෂයේ දේශපාලන නායකයන් සහ කණ්ඩායම් වෙතින් නිකුත් කෙරිණි. විශේෂයෙන්ම 2019 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පවත්වන වසර වීමත්, සිංහල ඡන්ද වලින් සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නට මාන බලමින් සිටි කණ්ඩායම්වලට ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටීමත් නිසා මුස්ලිම් සහ මුස්ලිම් නොවන ලෙස සමාජය බෙදීම දේශපාලන වශයෙන් වාසි ලබා දෙන අවස්ථාවක් විය.

එපමණක් නොව, කතෝලික පල්ලි ද ඉලක්ක කර එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය නිසා ජනාධිපතිවරයා කෙරෙහි කතෝලික ප්‍රජා. බිඳ දැමීම අරමුණු කරමින් විපක්ෂයේ නායකයන් සහ දේශපාලන කණ්ඩායම් ද, ඇතැම් කතෝලික නායකයෝ ද ප්‍රකාශ නිකුත් කළහ. සිංහල ඡන්ද බහුතර පදනමක් සහිත දේශපාලන පක්ෂයක නායකයා වූ ජනාධිපතිවරයාට සමාජ-දේශපාලන දේහයේ සෑම දෙසකින්ම පාහේ ජාති-ආගම්වාදය පදනම් කර ගෙනගිය ප්‍රචාරක වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ඉතා හානිකර විය. එමගින් ජනාධිපතිවරයා යම් අන්තවාදී ස්ථාවරයකට තල්ලු වීමේ විශාල අවදානමක් ඇති බව පෙනිණි. එහෙත්, එවැනි අන්තවාදී ස්ථාවරයකට ජනාධිපතිවරයා තල්ලු වුවහොත්, එයින් දේශපාලන වාසියක් ලබා ගත හැකිව තිබුණද, ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් අවුල් වී සමාජය තුළ මුස්ලිම් සහ මුස්ලිම් නොවන ලෙස තීරණාත්මක බෙදීමක් ජනිත වී, මුස්ලිම් පිරිස් රැඩිකල්භාවයට පත්වීමට විශාල අවදානමක් තිබිණි.

විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්, ඇතැම් කතෝලික නායකයන් සහ ඇතැම් මාධ්‍ය ආයතන විසින් තීව්‍ර කරනු ලැබූ අහිතකර තත්ත්වය කෙතරම් දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයාට අවාසිදායක වුවද, එම පීඩනයට ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් සාර්ථකව මුහුණ දෙනු පෞද්ගලිකවම නිරීක්ෂණය කළ හැකි විය. යම් හෙයකින් ජනාධිපතිවරයා ඇති වූ පීඩනට ගොදුරු වූවා නම්, සමාජය තුළ බෙදීමක් ජනිත කර, මුස්ලිම් පිරිස් රැඩිකල්භාවයට පත් කිරීමට ත්‍රස්තවාදීන් දැරූ උත්සාහය සාර්ථක වනු ඇත. එවිට, ආරක්ෂක අංශ මුස්ලිම් විරෝධී ස්ථාවරයක පිහිටා දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ග ගැනීමට තල්ලු කෙරෙනු ඇති අතර, ත්‍රස්තවාදීන්ගේ ඊළඟ වර්ධනීය අවස්ථාවන් වෙත ඉතා පහසුවෙන් ගමන් කිරීමට ඔවුන්ට අවස්ථාව උදා වනු ඇත.

පීඩනයට ඔරොත්තු දුන් ජනාධිපතිවරයා කළේ මධ්‍යස්ථ මුස්ලිම් කණ්ඩායම් හමුවී ප්‍රති-ත්‍රස්ත ව්‍යාපාරය සදහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමයි. ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ වෙතින් ප්‍රදර්ශනය වුණු අන්තවාදී නොවන ස්ථාවරය හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් පිළිබඳ බුද්ධි තොරතුරු රාශියක් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත ලබා දුන්නේය. එහි ප්‍රතිපලය වූයේ සති දෙකක පමණ කාලයකින් ප්‍රහාර උත්සන්න කිරීමට (දෙවන වර්ධනීය අවස්ථාව) සිටි ත්‍රස්තවාදීන් වටකර මරා දමන්නටත්, සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගන්නටත් ආරක්ෂක අංශ සමත් වීමයි. ඒ සමගම ත්‍රස්ත ජාලයේ කොදු නාරටිය අකර්මණ්‍ය වූ අතර, දිගින් දිගටම විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු තොරතුරු හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ ජාලය බිඳ දමන්නට ඉතා කෙටි කලකින් ආරක්ෂක අංශවලට හැකි විය.

ආණ්ඩුවේ ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ග‍ය දෙස බැලීමේදී  යුධ න්‍යායාචාර්ය කාල් වොන් කලව්සෙවිට්ස් දක්වන ‘ගුරුත්ව කේන්ද්‍රය’ වන්නේ ජනාධිපතිවරයා දේශපාලන පීඩනයට ගොදුරු නොවී, අන්තවාදී නොවන ස්ථාවරයක පිහිටා ප්‍රති-ත්‍රස්ත වැඩපිළිවෙළට ලබා දුන් ශක්තියයි. යම් හෙයකින් එය වෙනස් වූවා නම් සමස්ත ප්‍රතිඵලයම ඉතා තීරණාත්මක ලෙස වෙනස් අයහපත් දිශාවකට හැරෙනු ඇත.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා අන්තවාදී ස්ථාවරයකට තල්ලු කර ගන්නට අසමර්ථ වූ විපක්ෂයේ අන්තවාදී කණ්ඩායම් තවත් උපක්‍රමයක් අත්හදා බැලුවේය. ඒ සාර්ථක ආකාරයට ත්‍රස්ත අවදානම ආරක්ෂක අංශ විසින් මූලික වශයෙන් ඉවත් කර තිබුණු අවස්ථාවක, මිනුවන්ගොඩ, හෙට්ටිපොළ යනාදී ප්‍රදේශවලට සංවිධානාත්මකව අන්තවාදී කණ්ඩායම් යවා මුස්ලිම් කඩ වලට පහර දී සිංහල – මුස්ලිම් ජනවාර්ගික ගැටුමක් ඇති කිරීමට උත්සාහ කිරීමයි. එහිදී ද ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී තත්ත්වය පාලනය කර, අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරනු ලැබීය. එසේ නොවුණා නම් 1983 ජූලි මාසයේ සිදුවූවාක් මෙන් (එවකට ද්‍රවිඩ ජාතිකයන්ට එරෙහිව) මෙවර ද මුස්ලිම් සංහාරයක් දියත් වූවා නම් තත්ත්වය ඉතා සංකීර්ණ සහ බරපතළ වනු ඇත.

ප්‍රතිත්‍රස්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල

ප්‍රති-ත්‍රස්ත උපායමාර්ග පිළිබඳ නිවැරැදි දෘෂ්ටියක පිහිටා දියත් වූ ආණ්ඩුවේ ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ග නිසා කිසිවෙකු බලාපොරොත්තු නොවූ කෙටි කාලයකින් මූලික ත්‍රස්ත තර්ජනය පහ කරන්නට ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ සමත් විය. එය එක්සත් ජාතීන්ගේ පැසසුමට පවා ලක් විය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රථම ත්‍රස්ත තර්ජනය මෙය නොවේ. 1983 දී ද්‍රවිඩ ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් විය. ඒ හමුදා භටයන් පිරිසක් උතුරේ දී ඝාතනනය කිරීමෙනි. එකී ‘කුපිත කිරීමේ’ ක්‍රියාවට එවකට තිබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ අහිංසක ද්‍රවිඩ වැසියන් අමු අමුවේ ඝාතනනය කළ ‘කළු ජූලිය’ට ඉඩ හැරීම හරහාය. එම අදූරදර්ශි ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ගය කෙළවර වූයේ වසර 30 කට වැඩි කාලයක් දිග ඇදුණු සිවිල් යුද්ධයකට පාර කපමිනි.

එල්.ටී.ටී.ඊ.යට විරුද්ධ ‍යුද්ධය 2009 දී ශ්‍රී ලංකා ආණ්ඩුව ජයග්‍රහණය කළේය. එහෙත්, එම ජයග්‍රහණය සිදු කළ ක්‍රමවේදය ජාත්‍යන්තර ප්‍රජාවගේ සහ මානව හිමිකම් ක්‍රියාධාරීන්ගේ දැඩි විවේචනය ලක් වූවා පමණක් නොව, ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වාම දුර දිග ගියේය. ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා පිළිබඳ එමගින් ජාත්‍යන්තර වශයෙන් අහිතකර ප්‍රතිරූපයක් ගොඩනැගුණු අතර, අද ද එහි අහිතකර ප්‍රතිවිපාක භුක්ති විදීමට සිදුව තිබේ. එසේම, 1971 සහ 1989 ඇතිවූ කැරලි මර්දනය කිරීමට එවකට සිටි ආණ්ඩු ගත් ක්‍රියාමාර්ග ද මානව හිමිකම් ක්‍රියාධාරීන්ගේ දැඩි විවේචනයට ලක් විය.

එහෙත්, ඒ කිසිදු අහිතකර ප්‍රතිවිපාකයක් නොමැතිව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ ප්‍රතිචාර දැක්වීය. පිළිගත් ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමු තුළ, දැඩි පීඩනයක් තුළ වුව සමාජය අන්තවාදී ස්ථාවරයකට තල්ලු කිරීමට ඉඩ නොදී, සියලු ආකාරයේ යුධ නීති සහ මානව හිමිකම් ප්‍රමිතීන් කඩ නොකරමින් ශ්‍රී ලංකාවේ අයි.එස්. ත්‍රස්තවාදය කුපිත කිරීමේ ප්‍රහාරයකට පමණක් සීමා කරන්නට එකී ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ගය සමත් විය. එය පැසසුමට ලක් විය යුතු කරුණකි.

3 වන කොටසනිර්දේශ 

අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සිරියාවේ සහ ඉරාකයේ තිබූ භූමිය ශීඝ්‍රයෙන් අහිමි වීම නිසා ඔවුන් දකුණු සහ අග්නිදිග ආසියාව කෙරෙහි අවධානය යොමු කර ඇත. මැලේසියානු බුද්ධි අංශයේ අයුබ් ඛාන් මෑතකදී පැවති ප්‍රති-ත්‍රස්ත සමුළුවකදී කර්තෘ සමග පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ අග්නිදිග ආසියානු කලාපයේ ද භූමිය අත්පත් කර ගැනීම අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අරමුණ වී ඇති බවයි. එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අදාළ නොවේ යැයි නිශ්චිතවම කිව නොහැකිය. එබැවින් ඉස්ලාමික අන්තවාදී ත්‍රස්ත තර්ජනය සම්පූර්ණයෙන් පහව ගියායැයි උදම් ඇනීමට කිසිවෙකුට නොපුළුවන. 

ඇන්ඩෲ සිල්කේ පෙන්වා දෙන ආකාරයට ත්‍රස්තවාදීන් ද සටන් අත් හරින්නේ පහත මානසික කොන්දේසි දෙකකින් එකක් හෝ ත්‍රස්තවාදීන්ගේ මනස් තුළ ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ග මගින් ගොඩ නැගුණු විටය.

1. ජයග්‍රහණය ලැබිය නොහැකිය.

2. සටන දිගටම ගෙනයෑමේ මානව හා භෞතික පිරිවැය දැරිය නොහැකිය..

ඉහත මතය අනුව කල්පනා කිරීමේදී අවධානයට යොමු විය යුතු කරුණක් ඇත. අයි.එස්. නායක අල්-බග්ඩාඩි විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර සයින්දමර්දු සිය දිවි නසා ගැනීමේ ප්‍රහාරය හා ඊට සම්බන්ධව ශ්‍රී ලාංකික ත්‍රස්තයන් නිකුත් කළ වීඩියෝවෙන් අනතුරුව, අල් – බග්ඩාඩි එළි දැක්වූ වීඩියෝ පටයේ ප්‍රකාශ කරන්නේ, “දෙවියන් අපට නියෝග කළේ ජිහාඩ් යුද්ධය පටන් ගන්න කියා මිස, ජයග්‍රහණය කරන්න නොවේ කියා”යි. මෙම පණිවුඩය විශ්ලේෂණය කළහොත් පෙනී යන්නේ ඉතා පරෙස්සමින් සකස් කර ඇති මෙම පණිවුඩය මගින් අල් – බග්ඩාඩි සිය සටන්කරුවන් තුළ ස්ථාපිත කරන්නට උත්සාහ කරන මනෝභාවය නම් “ජයග්‍රහණය ගැන නොසලකා දිගටම සටන් කරන්න, එය දෙවියන්ගේ නියෝගය”යි යන්නයි. ඒ අනුව, අප හමුවේ ඇති තත්ත්වය මත අප මුහුණ දෙන ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ පළමු මානසික කොන්දේසිය සම්පූර්ණ කිරීමෙන් නොව, දෙවන මානසික කොන්දේසිය සම්පූර්ණ කිරීමෙන් පමණක් බව පැහැදිලි වේ. එයට හේතුව, ‘ජයග්‍රහණය ලැබිය නොහැකිය’ යන පළමු මානසික කොන්දේසිය අල්-බග්ඩාඩි ගේ ‘ජයග්‍රහණය ගැන නොසිතා දිගටම සටන් කරන්න’ යන දෙවියන්ගේ නියෝගය හේතුවෙන් අහෝසි වී යන බැවිනි. එබැවින්, දෙවැනි මානසික කොන්දේසිය වූ ‘අරගලය දිගටම ගෙනයෑමේ මානව හා භෞතික පිරිවැය දැරීමට නොහැකිය’ යන මානසික තත්ත්වය සතුරා ගේ මනස තුළ නිර්මාණය කිරීමෙන් පමණක් සතුරාට එරෙහි ජයග්‍රහණය ලබා ගත හැකි බව දැන් පෙනී යයි.

එබැවින්, අප වටහා ගත යුතුව ඇත්තේ සිය ප්‍රහාරක ශක්තිය පෙට්‍රල් පිරවූ වාහනයකින් පවා සතුරාට ලබා ගත හැකි මොහොතක, ත්‍රස්තවාදීන්ගේ ඉවත් කළ යුත්තේ හෝ බලවත් ලෙස දුර්වල කළ යුත්තේ භෞතික හැකියාවට වඩා මානව හැකියාව බවයි. ඔවුන්ගේ මානව හැකියාව ලබා දෙන සාධක පහත දක්වන මානව සාධකවලට වඩා අඩු නොවේ.

1. සිය දිවි නසා ගන්නා ත්‍රස්තවාදීන්

2. තාක්ෂණික හා උපායමාර්ගික උපදේශකයන්

3. ප්‍රචාරකයන්

4. භෞතික සම්පත්, සැගවීමේ පහසුකම්, තොරතුරු ලබාදෙන්නන්

5. පහර දී පළා යන ප්‍රහාරකයන්

6. ආගම්වාදී ගැටුම් ඇවිලවීමට සමාජය තුළ සිටිමින් ක්‍රියා කරන්නවුන්

7. නීති උපදෙස් ලබා දෙන්නන්

8. දේශපාලන සහාය ලබාදෙන්නන්

9. ජාත්‍යන්ත්තර සහයෝගය ලබා දෙන්නවුන් සහ සම්බන්ධීකරණය කරන්නවුන්

10. ආරක්ෂක රහස් හෝ වැදගත් තොරතුරු ලබා දෙන්නන්

11. ත්‍රස්තවාදයෙහි ඇති ප්‍රවෘත්ති වටිනාකම මත වෙළඳ පල තරගයක යෙදෙන මාධ්‍ය හා මාධ්‍යවේදීන් 

12. ත්‍රස්තවාදීන්ට හිතවාදී මත පළ කරන්නන් – (ආරක්ෂක වැඩ පිළිවෙල ගැන අවිශ්වාසයක් ඇති කරන්නවුන් ඇතුළුව)

13. ත්‍රස්තවාදීන්ට වක්‍රාකාරයෙන් (දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් හෝ) කැමැත්ත දක්වන්නන්

14. රටේ ආර්ථිකයට බලපාන අහිතකර මතවාද ගොඩනගන්නවුන්.

මේ ආකාරායට ත්‍රස්තවාදීන්ට සෘජුව හෝ වක්‍රව හෝ අවශ්‍ය මානව සහාය හා ශ්‍රමය ලබා දෙන්නවුන් වර්ගීකරණයකට ලක් කළහොත් ලැයිස්තුව තවත් දීර්ඝ වනු ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ත්‍රස්තවාදීන්ගේ මූලික ප්‍රහාරක ශක්තිය මැඩලුවද, නැවත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම සහ පරිසරය සම්පූර්ණයෙන්ම පහව නොයනු ඇති බවයි.

එසේම, ත්‍රස්තවාදී ව්‍යාපාරයක පැවැත්ම අවසන් වන අවස්ථා හයක් ඓතිහාසික කරුණු ඇසුරින් ඕඩ්‍රි ක්‍රෝනින් දක්වා ඇත. එනම්,

1. ප්‍රධාන ත්‍රස්ත නායකයන් සියල්ල අත් අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම.

2. ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත මෙහෙයුම් ජාලා සියල්ල විනාශ කිරීම.

3. ත්‍රස්තවාදීන් ජයග්‍රහණය කිරීම (6% ක් ත්‍රස්ත ව්‍යාපාර අවසන් වී ඇත්තේ ජයග්‍රහණය කිරීමෙන් බව මහාචාර්යවරිය පෙන්වා දෙයි.)

4. ත්‍රස්තවාදීන් දේශපාලන අරමුණු අත්හැර, අපරාධ අරමුණු පෙරදැරි කරගෙන සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සිය ව්‍යාපාරය දිගටම ගෙනයාම.

5. දේශපාලන එකගතාවන් ඇති කර ගැනීමෙන් ත්‍රස්ත ව්‍යාපාරය අත් හැර දැමීම.

6. ත්‍රස්තවාදී ව්‍යාපාරයක් දිගටම පවත්වා ගෙන යෑමට අවශ්‍ය ජනතා සහයෝගය අවසන් වීම.

ඉහත කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ නිදහසින් පසු භුක්ති විදින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන රාමුව සහ නිදහස් සමාජ පරිසරයට යෝග්‍ය දීර්ඝ කාලීන ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමුවක් සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඉදිරිපත් කළ හැකි යෝජනාව වන්නේ බ්‍රිතාන්‍ය ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමුව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට ගැළපෙන ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමුවක් සකස් කර ගත යුතු බවයි. CONTEST නමින් හැදින්වෙන එම බ්‍රිතාන්‍ය ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමුව, ඉහත දැක්වූ මහාචාර්ය ක්‍රෝනින් ගේ මතයෙහි අංක 2 සහ 6 පදනම් කර ගනිමින්, එකී තත්ත්වයන් නිර්මාණය කිරීම මත පදනම් වී ඇත.

බ්‍රිතාන්‍ය ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමුව 2003 වසරේදී සකස් කර ක්‍රියාත්මක කරන ලද අතර, ලබා ගත් අත්දැකීම් පදනම් කර ගනිමින් එය 2009, 2011 සහ 2018 වසර වලදී වර්ධනය කරන ලදී. එකී රාමුව මූලික අංග හතරක් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ. එවා නම්,

1. Pursue – සතුරා සොයා යෑම

2. Prevent – වළක්වා ගැනීම

3. Protect – ආරක්ෂා කිරීම

4. Prepare – සූදානම යනාදියයි.

1. Pursue – සතුරා සොයා යෑම: මෙමගින් බුද්ධි අංශ මගින් සතුරා පිළිබඳ තොරතුරු සොයා සතුරා සහ ඔහුගේ මෙහෙයුම් ජාල විනාශ කිරීම අදහස් කෙරේ.

2. Prevent – වළක්වා ගැනීම: මෙමගින් අදහස් කෙරෙන්නේ රැඩිකල්භාවයට පත් වූවන් හෝ රැඩිකල්භාවයට පත්වීමේ අවදානම ඇති පුද්ගලයන් හඳුනා ගෙන, ඔවුන් රැඩිකල්භාවයෙන් මුදවා ගැනීම හෝ රැඩිකල්භාවයට පත්වීම වළක්වා ගැනීමයි. එය මුළු සමාජය තුළ අවදානමට ලක් වූ කණ්ඩායම් ඉලක්ක කරගෙන සිදු කළ යුතුය.

3. Protect – ආරක්ෂා කිරීම: මෙයින් අදහස් කෙරෙන්නේ තර්ජනයට ලක් විය හැකි ස්ථාන සහ පුද්ගලයන් ආරක්ෂා කිරීමයි. එමගින් එකී ඉලක්ක කරා ළගා වීමට සතුරාට ඇති හැකියාව සහ අවකාශය සීමා කෙරේ.

4. Prepare – සූදානම: ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවූ විට හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කර, හානිය උපරිම ලෙස සීමා කිරීම මෙයින් අදහස් කෙරේ.

ඉහත දැක්වූ මූලික උපායමාර්ගික අංග හතර සහිත රාමුව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට ගැළපෙන දීර්ඝ කාලීන ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික රාමුවක් සකස් කළ යුතු බව අවසාන වශයෙන් යෝජනා කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.