24 April, 2024

Blog

13 වන සංශෝධනය: බලය බෙදීමේ හොඳම විසඳුමද?

දිනේෂ් දොඩම්ගොඩ

දිනේෂ් දොඩම්ගොඩ

දිනේෂ් දොඩම්ගොඩ

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ වහාම ද්‍රවිඩ ජාතික සන්ධානය සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය නිවේදන නිකුත් කරමින් කියා සිටියේ “වහාම” දෙමළ ජනතාවට බලපාන ගැටළු සම්බන්ධයෙන් නව ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි. බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සඳහන් කළේ ද්‍රවිඩ ජාතිකයන්ට ස්වයං පාලන අයිතිය ලබා දෙන දේශපාලන විසඳුමකින් පමණක් ඔවුනට බලපාන කාරණා වන ස්වයං පාලනය, නිර්-හමුදාකරණය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කොමිසමේ නිර්දේශ අනුව කටයතු කිරීම සාර්ථකව ඉටු කළ හැකිවන බවයි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ යෝජනා වලින් මතුකර දක්වන්නේ “ප්‍රාදේශීය” වශයෙන් (territoriality) බලය බෙදීමේ මූලධර්මය මත පදනම් වූ දේශපාලන විසදුමකි. ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ මූලධර්මයට (territorial power sharing) අනුව රටක භූගෝලීය ඒකක බලය බෙදීමේ හෝ එක්ව භුක්ති විඳීමේ පදනම වශයෙන් යොදා ගැනේ. ශ්‍රී ලංකාව තුළ එසේ මධ්‍යම ආණ්ඩුවට සමගාමීව ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ සංකල්පය 1928 දී ඩොනමෝර් කොමසාරිස්වරු නිර්දේශ කළහ. එහෙත්, එය දෙමළ ජාතිකයන්ට ප්‍රාදේශීය වශයෙන් බලය ලබා දීම සඳහා කළ නිර්දේශයක් නොවූ අතර එයින් කොමසාරිස්වරු බලාපොරොත්තු වූයේ අධිරාජ්‍යවාදී බලය වඩා ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණය ලිහිල් කිරීමයි.

ප්‍රාදේශීය බලය බෙදීම

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට “දෙමළ ජාතිකයන්ගේ සම්ප්‍රදායික නිජ බිම යළි ලබා දීම සඳහා යැ” යි යෝජනා කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීම සුදුසු බව ෆෙඩරල් පක්ෂය 1950 ගණන්වල මැද භාගයේ සිටම කියා සිටියේය. 1957, 1960 සහ 1964-65 වසර වල අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුව 1981 දී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ ෆෙඩරල් පක්ෂයේ අනුප්‍රාප්තිකයා වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) අතර පැවති සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ ඒකකය ලෙස දිස්ත්‍රික් සභා ක්‍රමය ලංකාවේ ස්ථාපිත කෙරිණ.

එහෙත් 1983 ඇතිවූ ජාතිවාදී කෝලාහල වලින් පසුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ එවකට පැවති ඉන්දියානු ආණ්ඩුව දිස්ත්‍රික් සභා ක්‍රමය අසාර්ථක බවත්, ඒ වෙනුවට ඊට වඩා පුළුල් පරිපාලන ඒකකයක් සහිත පළාත් සභා ක්‍රමයක් ඇති කළ යුතු බවත් ක්‍රියා සිටියේය. ඒ අනුව 1987 දී පළාත් සභා ක්‍රමය ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ ක්‍රමවේදය ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ලෙස ලංකාවේ පාලන ක්‍රමයට එක් විය. පළාත් සභා ක්‍රමය ඉන්දියාවේ ප්‍රාන්ත ක්‍රමයට සමාන වුවත්, ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය සංකල්පය ආරක්ෂා කරමින් හඳුන්වා දුන් ක්‍රමයක් විය.

වැරදි මූලධර්මයක්

ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ මූල ධර්මය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමට ඇති හොඳම ක්‍රමය නොවන බව පෙනෙන්නට තිබේ. එක් අතකින්, එය දෙමළ ජාතිකයන්ට බලය දීමට යොදා ගැනුණද, එහි බලපෑම අදාළ ප්‍රදේශයේ වාසය කරන සෑම ජනවර්ගයකටම අදාලත්වයක් නැතිවම බලපැවැත්වෙයි. 2001 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේතුවේ ජන සංගණන දත්තයන්ට අනුව උතුරු-නැගෙනහිර පළාත් වල ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් සියයට 70.7ක් ද, මුස්ලිම් (මුවර්) ජාතිකයන් සියයට 16.9ක් ද, සිංහල ජාතිකයන් සියයට 11.2ක් සහ අනෙකුත් ජාතිකයන් සියයට 1.2ක් ද වාසය කරයි. ඒ අනුව දෙමළ ජාතිකයන් සියයට 70.7කට අදාළ ක්‍රමවේදයක් දෙමළ නොවන අනෙකුත් ජාතිකයන් සියයට 29.3කට ද බලපැවැත්වීම සාර්ථක ක්‍රමයක් නොවන බව පැහැදිලිය.

එසේම ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමට සිංහල සහ මුස්ලිම් බහුතරය බලවත් ලෙස විරුද්ධ විය. විශේෂයෙන්ම, ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීම උතුරු නැගෙනහිර ප්‍රදේශ බෙදී, වෙන්වී යාමේ මූලික පියවරක් ලෙස සිංහලයන් බහුතරය සැක කරයි. එබැවින් එය රටේ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් ලෙස සිංහල බහුතරය සලකන අතර මේ වන තෙක් මධ්‍යම ආණ්ඩුව ද පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදීම මෙම ක්‍රමය සියළු දෙනා අතර එකඟතාවක් ඇතිකර ගතහැකි ක්‍රමයක් නොවන බවට ඇති සාක්ෂියකි.

පළාත් සභා ක්‍රමය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට එම ක්‍රමය ඇතිකර අවුරුදු 28කට පසුවවත් නොහැකි වී ඇත. එබැවින්, මෙම ක්‍රමය ජනවාර්ගික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ක්‍රමයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේම තවත් වැදගත් කරුණක් වන්නේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා බලය බෙදීමට ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ ක්‍රමය හැරුණු කොට තවත් ක්‍රම රාශියක් පැවතීමයි. අවාසනාවන්ත කරුණ වන්නේ ශ්‍රී ලංකාවට බලය බෙදීම සඳහා යෝජනා ඉදිරිපත් කළ සැලසුම්කරුවන් එවැනි වෙනත් ක්‍රම අත්හදා නොබලාම, ප්‍රාදේශීය බලය බෙදීමේ මූලධර්මය කිසිදු ප්‍රශ්න කිරීමක් නොමැතිවම, අන්ධ ලෙස කරපින්නා ගැනීමයි.

බලය බෙදීමේ ක්‍රමවේද

සිවිල් යුද්ධයකට පසුව රටක දිගු කල් පවත්නා සාමය ගොඩනැගීමට ජනවර්ගයන් අතර බලය බෙදීමට විවිධ ක්‍රමවේදයන් ඇත. මධ්‍යගත බලය බෙදීම (central power sharing), ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීම (territorial power sharing), හමුදා බලය බෙදීම (military power sharing) සහ ආර්ථික බලය බෙදීම (economic power sharing) ඒ අතර ප්‍රධාන වේ.

මධ්‍යගත බලය බෙදීමේ ක්‍රමවේදයට අනුව රාජ්‍යයේ විධායක දේශපාලන බලය මධ්‍යම ආණ්ඩුවේ නොයෙක් පාලන අධිකාර සහ ආයතන අතර බෙදා හැරේ. අප කලින් සාකච්ඡා කලාක් මෙන් ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ ක්‍රමවේදයට අනුව භූගෝලීය ඒකක අතර දේශපාලන බලය බෙදා හැරේ. හමුදා බලය බෙදීමේ ක්‍රමවේදය හමුදා බලය ජනවර්ග අතර යම් අනුපාතයකට අනුව බෙදීමත්, ආර්ථික බලය බෙදීමේ ක්‍රමවේදයට අනුව සම්පත් බෙදාහැරීමේ යුක්තිසහගත බව පිලිබඳ මූලධර්මය (distributive justice) අනුව සේම, රාජ්‍යයේ ආර්ථික සම්පත් පාලනය කිරීමේ බලය ජනවර්ග අතර බෙදා ගැනීමත් සිදු කෙරේ.

මධ්‍යගත බලය බෙදීම

මැතිව් හොඩී (ටෙක්සාස් A & M සරසවිය) සහ කැරලයින් හාර්ට්සෙල් (ගෙටිස්බ්ර්ග් විද්‍යාලය) යන විද්‍යාර්ථීන් විසින් 1945 සිට 1998 දක්වා සිවිල් යුධ පැවති රටවල් 38 ක සාමය ගොඩ නැගීම පිලිබඳ කරන ලද අධ්‍යයනයකට අනුව, එම රටවලින් 30 කම, එනම් මුළු ගණනින් සියයට 79 කම, මධ්‍යගත බලය බෙදීමේ ක්‍රමවේදය සහිතව බලය බෙදීමේ ගිවිසුම් ඇතිකරගෙන ඇති කරගෙන තිබෙන බව අනාවරණය කරගන්නා ලදී. ඒ අනුව ඒවායේ අඩුම තරමේ ආකාර තුනකට මධ්‍යගත බලය බෙදීම සිදුකර ඇත. එනම්,

පළමුව, සමානුපාතික ඡන්ද ක්‍රමයකට අනුව සියළු ජනවර්ගයන්ට සාධාරණ වූ සමානුපාතික නියෝජනයක් මධ්‍යම ව්‍යවස්ථාදායකය තුළ තහවුරු කිරීමේ මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම. දෙවනුව, ජනවාර්ගික අනුපාතයට අනුව අධිකරණ, කොමිෂන් සභා, පරිපාලන සහ විදේශ සේවාවන් සඳහා පත්වීම් සිදු කිරීම, තුන්වනුව, ජනවාර්ගික අනුපාතයට අනුව රාජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ කැබිනට් අමාත්‍ය ධුර සඳහා පත්වීම් සිදු කිරීම.

යෝග්‍ය ක්‍රමවේදය

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැවති අත්දැකීම් අනුසාරයෙන් පෙනී යන්නේ ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීම සඳහා සියළු ජනවර්ගයන් අතර සාමූහික එකඟතාවක් ස්වේච්ඡාවෙන් ලබා ගැනීම අසාර්ථක වී ඇති බවයි. එහෙත්, මධ්‍යගත බලය බෙදීමේ ක්‍රමවේදය රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් නොවන බැවින්, එය ප්‍රාදේශීය බලය බෙදීමේ ක්‍රමවේදයට වඩා සිංහල බහුතරයටත්, අනෙකුත් ජනවර්ගයන්ටත් පිළිගත හැකි ක්‍රමවේදයක් වනු ඇත. එමගින් ජනවාර්ගික ප්‍රශ්නයට බලය බෙදීම මගින් විසඳුමක් සෙවීමට එරෙහිව ඇති සිංහල බහුතරයේ විරෝධය අඩු කරනු ඇති අතර, රට බෙදී, වෙන්වී යාම පිලිබඳ ඔවුන් තුළ ඇති බිය ද තුනී කරනු ඇත.

එසේම මධ්‍යගත බලය බෙදීමේ ක්‍රමවේදය මගින් සියළු ජන කොටස්වල අයිතීන් සමානුපාතික පදනම යටතේ ආරක්ෂා කර දෙනු ඇත. තවදුරටත් සලකතොත්, මෙම ක්‍රමවේදය ෆෙඩරල් ක්‍රමවේදයට වඩා ලොව පුරා මෙතෙක් බහුලවම භාවිතා කර ඇති ක්‍රමවේදය වන අතර, එහි සාර්ථකත්වය පිලිබඳ නිදසුන් ද එමටය. එමෙන්ම මෙහි ඇති සාර්ථකත්වය නම් එය අනෙකුත් ක්‍රමවේදයන් සමග, එනම් හමුදා බලය බෙදීම සහ ආර්ථික බලය බෙදීම සමග, මිශ්‍රව යොදාගත් කල වඩා සම්පූර්ණ විසදුමක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

මේ සියළු කරුණු සලකා බැලූ විට, මධ්‍යගත බලය බෙදීම ශ්‍රී ලංකාවට වඩා යෝග්‍ය බලය බෙදීමේ ක්‍රමවේදය බව පෙනී යයි. කෙසේවතත්, මධ්‍යගත බලය බෙදීමේ ක්‍රමවේදය යොදා ගැනීමේදී එක් එක් ජනවර්ගයට ආවේනික වූ කරුණු වලට අදාලව තීරණ ගැනීමට එකී ජනවර්ගයන්ට පමණක් අදාළ වන ලෙස බලය බෙදීමේ ක්‍රමවේදයක් ද යොදා ගත යුතුව ඇත. වාර්ගික-සමූපාකාරවාදී මූලධර්මය (Ethnocorporatism) මේ අරමුණ ඉෂ්ඨ කරගැනීම සඳහා වඩාත් යෝග්‍ය මූලධර්මයකි.

ජනවාර්ගික සමූපාකාරවාදී මූලධර්මය මගින් අදාළ ජනවර්ගයට පමණක් බලපාන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන ව්‍යවස්ථාදායක සභාවන්, පරිපාලන ව්‍යුහයන්, නිදසුනක් ලෙස ජනවාර්ගික කොට්ටාශයන්ට අයත් පාසල් පද්ධතියන්, එකම දිස්ත්‍රික්කය හෝ පළාත තුළ ඇති කළ හැකිය. එබැවින් එක් එක් ජනවර්ගයේ සමාජ-සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කරන මෙම මූලධර්මය මත පදනම් වූ ක්‍රමවේදයට ශ්‍රී ලංකික දෙමළ ජනතාව පමණක් නොව, සිංහලයන් ද, මුස්ලිම්වරුන්ද, ඉන්දියානු දෙමළ ජාතිකයන් සහ අනෙකුත් ජාතිකයන් ද වඩා කැමති වනු ඇත.

සංකල්පයක් ලෙස ජනවාර්ගික සමූපකාරවාදී මූලධර්මය ‘ඔටෝමාන් අධිරාජ්‍යයේ’ පවා මුස්ලිම්වරුන් නොවන ජනවර්ගයන්ගේ සමාජ-සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ලදී. මෙම ක්‍රමය ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමේ ක්‍රමවේදය මෙන් නොව, රටක භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් ඇති නොකරම, එක් එක් ජනවර්ගයන්ගේ අයිතීන් ආරක්ෂා කරයි. එසේම එමගින් අනෙකුත් ජනවර්ගයන් වෙත තවත් ජනවර්ගයකට පමණක් බලපාන කරුණු බලෙන් පැටවීම වළක්වාලයි.

ඉදිරි මග

එබැවින්, ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා ප්‍රාදේශීය වශයෙන් බලය බෙදිය යුතුය යන සම්ප්‍රදායික ඥානය ඉවත දැමීමට දැන් කාලය පැමිණ ඇත. කෙසේවතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා ඇති සියළුම ක්‍රමවේදයන් සහ මූලධර්මයන් පිලිබඳ පුළුල් කථිකාවක් ආරම්භ කළ යුතු අතර, එසේ නොකොට යම් යම් කණ්ඩායම්වල බලකිරීම් වලට යටත් වී ‘ප්‍රාදේශීය වශෙයන් බලය බෙදා ස්වයං තීරණ ගැනීමේ අයිතිය’ “වහාම” ලබාදීම ප්‍රඥා ගෝචර නොවනු ඇත.

*ෆුල්බ්‍රයිට් විද්‍යාර්ථීයෙකු සහ නීතීඥයෙකු වන දිනේෂ් දොඩම්ගොඩ, මහා බ්‍රිතාන්‍යයේ රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් සරසවිය) ආරක්ෂක අංශ කළමනාකරණය සහ ගෝලීය ආරක්ෂාව පිලිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වේ

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.