30 November, 2020

Blog

වාර්ගික පටලැවිල්ල ගැන නැවත සිතා බැලීමක්

ඉසේත් හුසේන්

ඉසේත් හුසේන්

ඉසේත් හුසේන්

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පරාජය අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යම් තිරිහන් වීමක් පෙන්නුම් කෙරෙතැ යි පොදුවේ විශ්වාස කෙරේ. එහෙත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන වූත්, තීරණාත්මක වූත් ජයග‍්‍රහණයක් වන බව ඉන් නොකියැවේ. නුගේගොඩ සහ ඉන් අනතුරුව මහනුවර පවත්වන ලද රාජපක්ෂවාදී විශාල මහජන රැුළිවලින් පෙනෙන්නේ, ශ‍්‍රී ලංකාවේ වර්ගවාදී නව-ෆැසිස්ට්වාදය කෙරෙහි එක දිගටම පවතින ආකර්ෂණයයි. කෙසේ වෙතත්, අපේ ජාතික ඌරුවට ඔරොත්තු දීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොහැකිය යන පහසු නිගමනයට, ඒ හේතුව මත අප පැමිණිය යුතු නැත. ලෝකයේ වෙනත් තැන්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩිවිය පත්වීමට කලින් මුහුණදී ඇති දුෂ්කරතා අප සිහියේ තබා ගත යුතුව තිබේ. බි‍්‍රතාන්‍ය උදාහරණයකට ගතහොත්, මැග්නා කාර්ටා ගිවිසුමේ සිට එය ශතවර්ෂ ගණනාවක් දිග් ගැස්සුණු ක‍්‍රියාවලියක් විය. වැදගත් කාරණය වන්නේ, ලංකාවේ සිවිල් සමාජයේ නව ගතිකත්වයක් මෑතක සිට පෙනෙන්ට තිබීමයි. එයින් තොරව, කතා කිරීමට තරම් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අපට නොලැබෙනු ඇත.

අවාසනාවකට, පසුගිය ජනාධිපතිවරණයේ ඉතා වැදගත් අංගයක් වන වාර්ගික පැත්ත ගැන ඇත්තේ බරපතල අනවබෝධයකි. එම ජයග‍්‍රහණය, සිංහල බහුතරය පරදා රටේ සුළුතරය ලැබූ ජයග‍්‍රහණයක් වශයෙන් අර්ථ දක්වනු ලැබ තිබේ. තමා පරාජයට පත්ව නැති බවත්, කුමන්ත‍්‍රණයකින් තමාව ඉවත් කෙරුණු බවත් හිටපු ජනාධිපතිවරයා කියන්නේ එම තර්කය මත පිහිටා සිටිමිනි. පැහැදිළිවම එය විකාර තර්කයකි. රටේ මුළු ජනගහනයෙන් උපරිම වශයෙන් සියයට 30 ක් පමණ වන ජනකායකට පමණක් එවැන්නක් කළ නොහැක. එවැනි පරාජය කැරැුවීමක් සඳහා ඔවුන් සමග සිංහල සමාජයෙන් සෑහෙන කොටසක්- සියයට 45 ක්- අත්වැල් බැඳ ගත යුතු විය. තවද, ඔහුට එරෙහිව සැබෑ නිල් පාට සිංහල ප‍්‍රදේශ ගණනාවක ඡන්දය පාවිච්චි වූ බවත් පිළිගත යුතුය. අමතක නොකළ යුතු වඩාත් වැදගත් කාරණයක් වන්නේ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ වෙනත් එවැනි සුළු ජාතික පක්ෂ සිංහල අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට ඡන්දය පාවිච්චි කෙළේ, සිංහල වර්ගවාදී නව-ෆැසිස්ට්වාදීන් විසින් තමන්ව පත්කොට තිබූ අගාධයෙන් ගොඩගනිති ය යන විශ්වාසය මත බවයි. ඡන්දය සමස්තයක් වශයෙන්, වාර්ගික වෙනස්කම් අභිබවා ගියේය. මේ නිසා එම විජයග‍්‍රහණයේ නිවැරදි අර්ථය වන්නේ, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ වාර්ගික ගැටළු සඳහා විසඳුමක් අපේක්ෂා කළ බලවේගවල ජයග‍්‍රහණයක් වූ බව ය. වෙනත් වචනවලින් කිවහොත් එය, සැබෑ බහු-වාර්ගික ජාතියක් ඉල්ලා සිටින බලවේගවල ජයග‍්‍රහණයකි. එහි ගර්භාවස්ථාව දැන් අපි අත්දකිමින් සිටිමු.

Kandy Mahindaඑහෙත් ඒ ක‍්‍රියාවලිය කඩාකප්පල් කළ හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ ජාතික සම්මුතියක් ඇති කර ගැනීම විශාල ප‍්‍රශ්නයක් නොවේ. එහෙත්, දෙමළ ජාතික ප‍්‍රශ්නය සඳහා වන දේශපාලනික විසඳුමක් සම්බන්ධයෙන් දුෂ්කරතා පැන නැගිය හැකිය. අප බොහෝ දෙනෙකුට පෙනී ගිය පරිදි, මෑතක පැවති මැතිවරණ හරහා සිංහල දෙමළ වාර්ගික සහයෝගීතාවයේ නව යුගයක් ආරම්භ කෙරුණි. එහෙත් යුද අපරාධ වාර්තාව මාස හයකින් කල් දැමීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගත් තීරණය දෙමළ ජනතාව සැළකුවේ තමන් ලද පරාජයක් වශයෙනි. ශ‍්‍රී ලංකාවේ මෙන්ම ශ‍්‍රී ලංකාවෙන් පිටත ද වාසය කරන මුළු මහත් දෙමළ ජනතාවම පාහේ එම තීරණය ගැන අප‍්‍රසාදය පළ කිරීම තේරුම්ගත හැකිය. එතරම් පහසුවෙන් නොතේරෙන කාරණය වන්නේ, 1948 පටන් සිංහලයන් විසින් දෙමළ ජනතාවට එරෙහිව දියත් කොට ඇතැ යි කියන ජන සංහාරයක් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් මේ මොහොතේ ඉල්ලා සිටියේ මන්ද යන්නයි. ජන සංහාර චෝදනාවේ හරි වැරැුද්ද ගැන මේ අවස්ථාවේ මම කිසිවක් නොකියමි. ඒ වෙනුවට, එක කාරණයකට පමණක් සීමා වෙමි. මේ ලිපියේ තර්කයට එම කාරණය ඉතා වැදගත් ය: ජන සංහාරයක් පිළිබඳ පරීක්ෂණයක් මේ අවස්ථාවේ ඉල්ලා සිටීම, දේශපාලන විසඳුමක් සකසා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන සිංහල දෙමළ අන්‍යොන්‍ය සහයෝගීතාව ගොඩනගා ගැනීමට යාදෙන්නක් නොවේ.

ජනාධිපතිවරණයෙන් පසුව, වාර්ගික තලය අරා පැවතියේ සෞම්‍ය සෝබාවකි. එබැවින් විග්නේෂ්වරන්ගේ ඉල්ලීම, නොසිතූ මොහොතක ගැසූ අකුණු සැරක් සේ විය. එහෙත් එවැන්නක් අප අපේක්ෂා නොකළ යුතුව තිබුණි ද? දේශපාලන විසඳුමක් සඳහා ගත් ව්‍යර්ථ වූ ප‍්‍රයත්නයන් අනන්තවත් බව අපි දනිමු. මේ යන්නේ ඉතිහාසය ආපසු කැරකීමට ද? වාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගත් විට ශ‍්‍රී ලාංකිකයන්ට උගත හැකි එකම පාඩම වන්නේ, ඉතිහාසයෙන් ඔවුන් කවදාවත් පාඩම් ඉගෙන නොගන්නේය යන්නද? මගේ මේ ප‍්‍රශ්න එල්ල වන්නේ, වාර්ගික ප‍්‍රශ්නය ගැන වෙනස් ආකාරයේ නැවත සිතා බැලීමක් අවශ්‍ය කරන්නේය යන කාරණයටයි. ඒ අර්ථයෙන් ගත් විට සියල්ලට වඩා අද වැදගත් වන්නේ, වාර්ගික ප‍්‍රශ්නය අවුලක් කිරීමට කරන ලද දායකත්වයේදී සිංහල සහ දෙමළ යන දෙපාර්ශ්වයම තමන් සම්බන්ධයෙන් වන නීරස සත්‍යයන් පිළිගත යුතුව තිබීමයි.

සිංහල දෙමළ සම්බන්ධතාවන්හි සමස්ත ඉතිහාසයට ආපසු යාමක් මෙහිදී අවශ්‍ය නොකෙරේ. සුළු ජාතීන්ට උඩින් සිංහල අධිකාරය තීරණාත්මකව ස්ථාපිත කෙරුණු 1970-77 කාලයෙන් අපට පටන්ගත හැක. රාජ්‍ය අංශය තුළ පැවති දෙමළ අධි-නියෝජනය නිවැරදි කෙරුණි. ඊළඟට කළ යුතුව තිබුණේ, පොරොන්දු වූ සර්ව-පාක්ෂික සමුළුව කැඳවා දේශපාලන විසඳුමක් සකසා ගැනීමයි. එය දුෂ්කර වුවද, කළ හැකිව තිබුණි. ඒ වෙනුවට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන කෙළේ, රාජ්‍ය ත‍්‍රස්තවාදය දෙමළ ජනතාව මත මුදාහැරීමයි. 1983 එහි මස්තකප‍්‍රාප්තියයි. 1983 දී ඇති වූ නව-නට්සිවාදී ජන සංහාරය මොනම පදනමකින්වත් සාධාරණීකරණය කළ හැක්කක් නොවේ. ඒ වනාහී, දෙමළ ජනතාව මත මුදා හල අසීමිත ජාතිවාදී ද්වේෂයක පුපුරා යාමකි.

මෙහිදී යම් පැහැදිළි කිරීමක් අවශ්‍ය කෙරේ. නීතිය කියා දෙයක් තිබේ. සදාචාරය කියා දෙයක් තිබේ. මේ දෙක සමපාත නොවිය හැකිය. නීතියට එරෙහි වුවද, සදාචාරමය පදනම් මත අවසර දිය හැකි සහ සමහර විට අනුමත කිරීමට පවා හැකි වන දේවල් තිබේ. එසේම ජාත්‍යන්තර ප‍්‍රජාවේ සදාචාරමය සංකල්පත් අප සැලකිල්ලට ගත යුතුය. 1983 න් පසු දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීම ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ බරපතල විරෝධයක් නොතිබුණු බව නොරහසකි. ඒ තරමට, දෙමළ ජනතාව මිනිස් කමට තරම් නොවන නිගරුවකට පත්කොට තිබුණි. සිංහල පාර්ශ්වයෙන් පිළිසරණක හෝඩුවාවක්වත් ඔවුන්ට අපේක්ෂා කළ නොහැකි විය. ස්වකීය මිනිස් ගර්වය ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කුවේ පිහිට මිස වෙන සරණක් නැතැ යි දෙමළ ජනතාවට එදා සිතුණි. අනතුරුව, සන්නද්ධ කැරලිකාරී තරුණ කණ්ඩායම්වලට ඉන්දියාවෙන් පුහුණුව ලැබුණි. එසේ නොවුණි නම්, තමිල්නාඩුව පැත්තෙන් ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන ඉන්දියාව සළකන්ට ඇත. පැහැදිළිවම ඉන්දියාව කළ දේ ජාත්‍යන්තර නීතියට පටහැනි ය. එහෙත් සදාචාරමය සාධකය අප අමතක නොකළ යුතුය. ඉන්දියාවේ එම හැසිරීම ගැන එදා හරිහමන් ජාත්‍යන්තර හෙලාදැකීමක් ඇති නොවුණේ එබැවිනි.

ඉහත ෙඡ්ද දෙකේ මා ලියූ දේවල් ඇතැම් සිංහලයන්ව ප‍්‍රකෝප කරවන සුළු විය හැකිය. සිංහලයන් සමස්තයක් වශයෙන් ජාතිවාදී වන බවක් මා නොකියන බව කිව යුතුය. මෙහිදී මගේ ඉලක්කය වන්නේ, දෙමළ ජනයාට එරෙහි මහා විනාශයට සිංහලයන්ව නීතියෙන් මුදා හල, 1977 ප‍්‍රභූ තන්ත‍්‍රය තුළ සිටි වර්ගවාදීන් ය. තිස් අවුරුදු සිවිල් යුද්ධයක් ආරම්භ කිරීමට හේතු වුණේ එම ජාතිවාදීන් මිස දෙමළ ජනතාව නොවන බව සිංහලයන් පිළිගත යුතුව තිබේ. තමන්ගේ විසි දහසක් හෝ හතළිස් දහසක් සගයන් යුද්ධය තුළ ජීවිතක්ෂයට පත්වීමේ වගකීම සිංහල වර්ගවාදීන්ට පැවරෙන බව සිංහලයන් අවබෝධ කර ගත යුතුය. මේ දේවල් තමන් විසින් වාර්ගික අර්බුදයට කරන ලද සම්මාදම් වශයෙන් සිංහල ජනතාව පිළිගන්නා තාක් කල් වාර්ගික සංහිඳියාවක් ලංකාවේ ඇති නොවෙනු ඇත.

සිංහල ජාතිවාදීන් එසේ පටන් ගත් යුද්ධය 1994 න් පසුවත් දිග් ගැස්සීම ගැන වගකීම පැවරෙන්නේ දෙමළ ජාතිවාදීන්ට ය. ඒ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පමණක් මෙහිදී සඳහන් කරමි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග දේශපාලන විසඳුමක් කෙරෙහි අව්‍යාජව සංවේදී වූ බව කිසිවෙකුට බැහැර කළ නොහේ. අවුරුදු දහයක කාලයකට ප‍්‍රභාකරන්ට උතුරේ පාලනය භාර දීමට පවා ඈ එකඟ වූවාය. එම ආයාසය ඇයට අවසානයකට පත්කර ගත නොහැකි වූ බව සැබවි. එහෙත්, 1994-2000 කාලය අතරතුර දෙමළ පැත්තෙන් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණි නම් තත්වය වෙනස් වන්නට තිබුණි. දෙමළ ජනතාවගේ දෛනික ප‍්‍රශ්න විසඳන තාක් කල් දේශපාලනික කරුණූ ගැන සාකච්ඡුා කළ නොහැකි බවට එල්.ටී.ටී.ඊ. සංවිධානය ගත් ස්ථාවරය විසින් නෝර්වීජියානු සාම ප‍්‍රයත්නය අඩාල කෙරුණි. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට රනිල් වික‍්‍රමසිංහට තිබූ අවස්ථාව 2005 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කඩාකප්පල් කරන ලද්දේ ඇයි? රනිල් වික‍්‍රමසිංහ මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි මතධාරියෙකු නොවන නිසා ඔහුගේ ජයග‍්‍රහණයක් තුළ සාමකාමී විසඳුමකට එළැඹෙන්නැයි ජාත්‍යන්තරයෙන් තමන් වෙත එල්ල විය හැකි පීඩනය තීව‍්‍ර වෙතැයි එල්.ටී.ටී.ඊ. සංවිධානය සිතූ නිසා ය. සැබෑව වන්නේ, සාමකාමී විසඳුමක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට කිසි දවසක අවශ්‍ය නොකළ බවයි. මන්ද යත්, හමුදාමය විසඳුමක් කෙරෙහි ඔවුන් විශ්වාසය තබා සිටි බැවිනි. එම විශ්වාසය පසුපස තිබුණේ සිංහලයන්ගේ වාර්ගික පහත් භාවයක් පිළිබඳ ඔවුන් තුළ පැවති යම් හැඟීමකි. එබැවින්, මේ වාර්ගික අවුලට තමන්ගෙන් සැපයී ඇති දායකත්වය දෙමළ ජනතාව ද පිළිගත යුතුව තිබේ.

*2015 මාර්තු 14 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Rethinking The Ethnic Imbroglio නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.