රටේ සංහිදියාව ගොඩනගන්නට කාර්යාලයක් පිහිටුවා ඇත. එහි මූලිකයා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇය මීට වසර දෙකකට ආසන්න කාලයකට පෙර ඉන්දියාවට ගොස් ලංකාවේ සංහිදියාව ගොඩනගන හැටි ඉන්දියානු මාධ්‍යවේදීන්ට පැහැදිලි කළාය. ඊට අමතරව ආණ්ඩුවේ ඇතැම් අයෙක් සිංහලකම හෝ බුද්ධාගම ගැන කතා කරන අයට ‘ජාතීවාදීන්’කියා හංවඩු ගසමින් වෛරී කතාවට බාධා කළේය. ඒ හැරුණු විට ආණ්ඩුව සමග හාද වී වැඩකරමින් ජිනීවා වල හොරගල් අහුලන රාජ්‍ය නොවන සංවිධාන කීපයක් චිත්‍ර ප්‍රදර්ශන කීපයක් වැනි දෑ පවත්වා සංහිදියාව ගොඩනගා ඇත. එයට අමතරව ගොඩ නැගෙන සංහිදියාවක් ගැන අපේ ඇඟට දැනෙන්නේ නැත.
කරුමයක මහත!
රටේ මොන කරුමයකටදෝ සිංහලයා සහ දෙමළා මරා ගනිති. එසේ මරා ගන්නා සිංහලයා සහ දෙමළා පෙන්වා ඒ ජාතීන් දෙකේම බමුණු කුලයේ දේශපාලන ඇත්තෝ රටේ පාලනයෙන් කෑලි කෑලි ඉල්ලති. දිගුකල් පවත්නා සාමයක් ගොඩ නො නඟා මේ මරා ගැනිල්ල නවත්වන්නට බැරිය කියා නියෝ ලිබරල්වාදියෝ ෆෙඩරල් ලංකාවට ගේන්නයි කෑ මොර ගසති. මරා ගන්නන්ට නායකත්වය දෙන්නෙත්, මරා ගැනිල්ල නවතා දමන්න කියා රටේ පාලන බලයෙන් කෑලි ඉල්ලන්නෙත් එකම කණ්ඩායමකි. එතැනින් එහාට කතා කරන සංහිදියාවක් ගැන සංහිදියා කාර්යාලයද නොදන්නා සෙයකි. එය අපේම කරුමය කියා නොසිතෙනවා නොවේ.
සංහිදියාව ගැන මෙ වන විට ලෝකය පුරාම නොයෙක් අත්හදා බැලීම් කර ඇත. ඒවායින් බොහොමයක් කෙළෙවර වුයේ අත පුච්චා ගැනීමෙනි. එහෙත් ඒවායින් උගත් පාඩම් ඉතා වටිනේය. ඒ මත පදනම්ව සංහිඳියාව වෙනම ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් ලෙස විශ්ව විද්‍යාලවල ආචාර්ය උපාධි මට්ටම දක්වා ව්‍යාප්ත වී ඇත.
මෙවැනි වටපිටාවක් තුළ අපේ සංහිදියා කාර්යාලය විසින් ජාත්‍යන්තරය මෑත කාලයේ එක්රැස් කර ගත් එම දැනුම හෝ ආගමික මත පදනම්ව ගොඩනැගුනු සංහිදියා වැඩ පිළිවෙලක් හෝ ක්‍රියාත්මක කරනු ඇඟට නොදැනේ. ඇසට නොපෙනේ. එක්කෝ එය ඔවුන්ගේ ප්‍රචාරණයේ වරදක් විය හැකිය. නො එසේනම් ප්‍රචාරය කරන්නට ඇත්තෙන්ම දෙයක් නැති නිසා සිදු වූ දෙයක් විය හැකිය.
ඇඟට නොදැනෙන සංහිදියාව
රටේ සංහිදියාව ගොඩ නැගෙන ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් ඇත්නම් එය මේ සමාජය තුළ අපට දැක ගත හැකි විය යුතුය. එක්කෝ ඉහළ මට්ටමේ නායකයන් අතර හෝ නැතිනම් මතවාද සංවිධානය කරන මැද මට්ටමේ නායකයන් අතර හෝ එසේත් නැතිනම් බිම් මට්ටමේ හෝ එවැනි ක්‍රියාකාරී සහ දෘශ්‍යමාන වැඩපිළිවෙලක් දැකිය හැකි විය යුතුය. එවැන්නක් නොපෙනේ. ඉහළ මට්ටමේ නායකයන් සිතන්නේ සංහිදියාව ගොඩනැගිය හැක්කේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එමෙන් පමණක් බවය. බිම් මට්ටමේ බහුතරයට ෆෙඩරල් නයාට ආණ්ඩු කොළ මෙන්ය. බිම් මට්ටමෙන් සිදුවන්නේ රටේ වෙන්නේ මොනවාදැයි බලාගෙන හිඳිම පමණකි.
එහෙත් අපේ සංහිදියා කාර්යාලයට නොවැටහෙන දේ නම් සංහිඳියා වැඩ පිළිවෙලක වැදගත්ම කාර්යභාරය ඉෂ්ඨ කරන්නේ මැද මට්ටමේ නායකයන් බවය. ඔවුන් මැද පෙළ ආගමික නායකයන්, වෘත්තීයවේදීන්, උගතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් යනාදී සමාජයේ මත සංවිධානය කරන කණ්ඩායමෙන් සැදුම් ලත් පිරිසකි. ඔවුන්ගේ මතවලට අනුගාමිකයන් ඇත. ඔවුන් ඒ මත දරන්නවුන්ගේ මතවාදීමය වීරයන්ය. අනෙක් අතට මෙම කණ්ඩායම සමාජයේ ඉහළ පෙළ නායකත්වත්, පහළ මට්ටමත් හොඳින් ඇසුරු කරයි. එබැවින් ඒ දෙපැත්තේම කතාව ඔවුනට වැටහේ. ඊට අමතරව ඔවුන් තම වෘත්තියේ අනෙකුත් ජනවර්ග කණ්ඩායම්වලට අයත් වෘත්තීය සාමාජිකයන් සමගද උරෙනුර ගැටී කටයුතු කරයි. එබැවින් සමාජයේ ඉහළ සිට පහළට පමණක් නොව, හරස් අතට දිවෙන සමාජ සම්බන්ධකම් ජාලයකට මෙම මැද පෙළ නායකයන් හිමිකම් දක්වයි. එය සමාජය තුළ මතවාදයක් රෝපණය කොට, පෝෂණය කිරීමේ ලා ඉතා වැදගත් සම්පතකි.
මේ සම්පත කාර්යක්ෂමව යොදාගන්නට සංහිදියා කාර්යාලයට වැඩපිළිවෙලක් ඇත්දැයි නොතේරේ. එසේ නම් මේ වන විටත් විවිධ වෘත්තියවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, ආගමික නායකයන් අතර පැතුරුණු සංහිඳියා වැඩපිළිවෙලක් දැකගත හැකිවිය යුතුය. එහෙත් එවැන්නක් නැත.
නටපු නැටුම කුමක්ද?
ඒ ආකාරයෙන් සමාජයේ වැදගත්ම ස්තරය සංහිදියා වැඩපිළිවෙළේ කොටස්කරුවන් කර නොගන්නේ නම්, සංහිදියා කාර්යාලය කරන්නේ කුමක්ද? වෙබ් අඩවිවල දිස්වන තොරතුරු වැදගත් නැත. ඇඟට දැනෙන සංහිදියාවක් ගොඩනැගෙමින් පැවතිය යුතුමය.
මේ වන විටත් මෙම කාර්යාලයට කෙතරම් දේශීය සහ විදේශීය මුදල් ආධාර ලැබී ඇත්දැයි අපි නොදනිමු. ඒවා කෙසේ වියදම් කර ඇත්දැයි අපි නොදනිමු. කුමක් ලැබුනත්, කෙසේ වියදම් කළත්, ඇඟට දැනෙන සංහිදියාවක් ඇත්තෙම නැත. ඒ වෙනුවට ඇත්තේ ඊළඟ වටයේ මරා ගැනීමට සිදුවන දේශපාලන හෙට්ටු කිරීමේ ක්‍රියාදාමයක් පමණකි.
එබැවින් සංහිඳියා කාර්යාලය නටපු නැටුම දැනගන්නට අපි කැමැත්තෙමු. එය බෙරේ පලුවකුත් නැතිකර ගත නැටුමක් නොවෙනවා දැකීම අපේ ප්‍රාර්ථනයයි.
