20 October, 2017

කැබිනට් සංශෝධනය ජනතා ප‍්‍රශ්නවලට පිළියමක් වේද?

කැබිනට් සංශෝධනය පිළිබඳ කාරණය පසුගිය සති කිහිපය තිස්සේ මාධ්‍ය තුළ සාකච්ඡාවට ගැනුණු ප‍්‍රධාන මාතෘකාවක් විය. දේශපාලනික වශයෙන් සවිඥානක පිරිස් ඒ සංශෝධනය කවරකාර වේදැ යි විමසිල්ලෙන් බලා සිටියහ. අවසානයේ ඊයේ එය යථාර්ථයක් බවට පත්විය. කෙසේ වෙතත්, එක අමාත්‍යාංශයකින් තවත් අමාත්‍යාංශයකට මාරු කරනු ලැබීමේ සැබෑ අරමුණ විය හැක්කේ කුමක්ද යන්න ගැන තවමත් බොහෝ මැතිඇමතිවරුන් සිටින්නේ ආතක්පාතක් නැතිවයි.

කැබිනට් සංශෝධනය සඳහා වන විවිධ හේතු කාරණා ඉදිරිපත් කෙරුණි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් අතර විවිධ ගැටුම් තිබේ. එසේම වෙන් කෙරෙන විෂයයන් සම්බන්ධයෙන් එක පක්ෂයක ඇමතිවරුන් සහ වෙනත් පක්ෂයක නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිවරුන් අතර මතභේද තිබේ. තමාගේ ඇමති පදවිය කාර්යාල කාර්ය සහායකයෙකුගේ තත්වයටත් වඩා පහත් එකකැ යි, 2015 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කැබිනට් සංශෝධනයට දින කිහිපයකට පෙර පවසා තිබුණි. සමහර විට කැබිනට් සංශෝධනය ගෙනාවේ මෙවැනි ප‍්‍රශ්නවල සැර බාල කිරීම සඳහා විය හැකිය.

2015 ජනවාරියට කලින් යහපාලන සංකල්පය පෙරදැරිව සිටි නායකයන් එදා ඡන්දදායකයාට සහතික කොට කී පරිදි, ඇමති මණ්ඩල පත්කරනු ලැබිය යුත්තේ විද්‍යාත්මක පදනමක් මත පිහිටමිනි. එහිදී ඇමතිවරුන්ට පැවරෙනු ඇත්තේ, එකිනෙකට සහසම්බන්ධතාවන් සහිත අගක් මුලක් ඇති අමාත්‍යාංශයන් සහ විෂය පථයන් ය. එහෙත් එම මැතිවරණවලින් පසුව, දේශපාලනයේ කරවටක් ගිලුණු පසු, මේ කාරණය ඇතුළු ජනතාවට දෙන ලද තවත් නොයෙක් පොරොන්දු හැරෙන තැපෑලෙන්ම නායකයන්ට අමතක වුණි.

ඒ කෙතෙක්ද යත්, ජාතික ඒකාග‍්‍රතාව පිළිබඳ අමාත්‍යාංශය එක් ඇමතිවරයෙකුටත්, ජාතික සහජීවනය පිළිබඳ අමාත්‍යාංශය වෙනත් ඇමතිවරයෙකුටත් පැවරුණි. අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය වෙනස් ඇමතිවරුන් දෙපළකට පැවරුණි. එසේ තිබියදී, ඊයේ සිදු කළ කැබිනට් සංශෝධනය තුළ පවා, අර කී විද්‍යාත්මක පදනමක ඡායාවක්වත් ගෑවී නැති බව කිව යුතුය.

අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් වීමේදී, කෙනෙකුට කලින් තිබුණු අමාත්‍යාංශය තරමේම ප‍්‍රබල අමාත්‍යාංශයක් අලුතෙන් ද ලැබෙනු ඇති බව මීට සතියකට පෙර ගයන්ත කරුණාතිලක මාධ්‍යයට පවසා තිබුණි. ‘ප‍්‍රබල’ යනුවෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද? ඇමතිවරුන් වැඩියත්ම ආශා කරන්නේ රුපියල් බිලියන ගණන් වෙන් වන අමාත්‍යාංශවලට බව කියැවේ. නැතහොත් තමන්ගේ පාක්ෂිකයන් අතර බෙදා දිය හැකි තරමේ රැුකියා සැපයිය හැකි අමාත්‍යාංශවලට ලු. ගයන්ත කරුණාතිලක අදහස් කෙළේ එවැන්නක් ද? එසේම, එක්සත් ජාතික පක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් තම තමන්ගේ අමාත්‍යාංශ අලුත් සංශෝධනයේ දී හුවමාරු කර ගැනෙනු ඇති බවත් ඔහු කීය. කරුණු එසේ නම්, විද්‍යාත්මක පදනමක් මත කෙසේ නම් කැබිනට් සංශෝධනයක් කරන්න ද?

කෙසේ වෙතත්, කැබිනට් සංශෝධනය ජනතාව ඉල්ලා සිටි දෙයක් නොවේ. මන්ද යත්, මේ අමාත්‍යාංශවලින් බහුතර ජනතාවකට වැඩක් නැති බැවිනි. ඔවුන් බොහොමයක් දෙනා මෙවැනි අමාත්‍යාංශ ඇති බවක්වත් නොදනිති. උදාහරණයක් වශයෙන් ගතහොත්, පළාත් නවයේ ප‍්‍රවාහණය ඇතුළු රටේ සමස්ත ප‍්‍රවාහණය භාරව අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ දහයක් තිබේ. එහෙත් රටේ පොදු ප‍්‍රවාහණයේ තරම කවුරුත් දනිති. පසුගිය දශක ගණනාව තිස්සේ වැජඹුණු කිසි ප‍්‍රවාහණ ඇමතිවරයෙකුට මේ දක්වා කෝච්චියක් වෙලාවට ධාවනය කර ගැනීමට හැකි වී නැත. ප‍්‍රායෝගික කාල සටහනක් ඇති කර ගැනීමට හැකි වී නැත. බස් සේවය ගතහොත්, විශේෂයෙන් පෞද්ගලික බස් සේවාව, අද මෙහෙයවනු ලබන්නේ, බසයට ඇතුළු වූ සැණින් බස් මගියාව ප‍්‍රාණ ඇපකරුවෙකු බවට පත්කර ගන්නා බස් මාෆියාවක් මගිනි. 1980 සිට බලයට පත්වූ කිසි ප‍්‍රවාහණ ඇමතිවරයෙකුට මේ දක්වා බස් මගීන්ට ටිකට් පතක් නිකුත් කෙරෙන බවට වගබලාගත නොහැකි වී තිබේ. බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මගීන් කෙරෙහි ඉතා අවිනීත අන්දමින් හැසිරෙන තත්ත්වයක් තුළ. යම් අනතුරක් සිදුවුවහොත් ඉතා වැදගත් විය හැකි බස් ටිකට් පත පවා මගියාට අද නොලැබෙයි. විනීත කම මේ අංශයෙන් මුළුමණින් අද පළා ගොස් ඇත.

මේ අතර උද්ධමනය දශක ගණනාවක් තිස්සේ නොවෙනස්ව පාරිභෝගිකයාව පෙලයි. එහෙත් හැම දාමත් විවිධ වරදාන භුක්ති විඳිමින්, විවිධ මුදල් ඇමතිවරුන් සහ විවිධ වෙළඳ ඇමතිවරුන් එම තනතුරු හොබවා තිබේ. මෙය ජනතාවට තේරුම් ගත නොහැකි ප‍්‍රහේලිකාවකි. මෑතකදී පළවූ පුවත්පත් වාර්තාවකට අනුව, එක ඇමතිවරයෙකු නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 7.5 ක් මසකට වැය කෙරේ.

මහින්ද රාජපක්ෂගේ අවසාන වසර තුනේදී මෙන්ම දැනුත් මතුවෙමින් ඇති ආගමික නොසන්සුන්තාවන් ඉදිරියේ, ජාතික ඒකාග‍්‍රතාව පිළිබඳ ඇමතිවරු, නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරු, ආගමික කටයුතු පිළිබඳ ඇමතිවරු ඇස්කන් පියාගෙන සිටිති.

මේ තත්වය, කැබිනට් සංශෝධනයකින් නිවැරදි වෙතැයි සාමාන්‍ය ජනතාව විශ්වාස නොකරති. සිදුවිය හැක්කේ අලූතෙන් පත්වෙන ඇමතිවරුන්ගේ ආශාවන් සහ ලෝලයන් පරිදි නැවත වරක් අමාත්‍යාංශ ගොඩනැගිලි පිළිසකර කිරීම සඳහා තවත් රුපියල් මිලියන ගණනක් නිරපරාදේ වැය වීම පමණි. කෙසේ වෙතත්, මේ තත්වය තුළ, කැබිනට් සංශෝධනය පසුපස ඇතැයි පුන පුනා කියනු ලබන උත්තම කාරණා ඉෂ්ට සිද්ධ වෙන බවට වගබලා ගැනීමේ වගකීම, ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැවරෙන බව සිහි තබා ගත යුතුය.

*2017 මැයි 23 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Will Cabinet Reshuffle Answer People’s Woes” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.