පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව රාජ්‍ය අනුග්‍රහය නොලැබී යෑම තුළ පසුපසට තල්ලු වී, 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයට තරග කර ‘හොට බිම ඇනගත්’ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රධාන බොදුබල සේනා නඩය සති කිහිපයක සිට තම සුපුරුදු සෙල්ලම කරා යළි අවතීර්ණ වී ඇති බවක් පෙනෙන්නට ඇත. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන උස් හඬින් කථා කරමින් සුළු ආගමික කණ්ඩායම්, ප්‍රධාන ප්‍රවාහයට යටත් විය යුතු බව කියමින් “සිංහ නාද” පැවැත්වීමට බොදුබල සේනාවට ඇති අයිතිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රිය පරිසරයක් තුළ ඒ හැටි ගැටලුවක් නොමැති වුත් ගැටලුව වනුයේ එම “වීර කථා” රට ගෙනියමින් ඇති තැන පිළිබඳවය. සැබැවින්ම ඥානසාර හිමි ප්‍රමුඛ කණ්ඩායමේ මේ මොහොතේ ක්‍රියාකාරිත්වය තුළ යළි රට 2014 ජුනි තුන්වැනි සතියේදී අලුත්ගම දර්ගා නගරයේ සිදුවූ අන්දමේ ඛේදජනක අවසානයක් කරා ය යන්න ප්‍රශ්න විරහිතය. එබැවින් මේ කාරණය පිළිබඳව සැහැල්ලුවෙන් හුස්ම ගැනීමේ හැකියාවක් වගකිවයුතු කිසිවෙකුට හෝ නොමැත. දීර්ඝ පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට මැයි 24 දක්වා වූ කාලය තුළ මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් දේපළ අලාභ කිරීම්, ගිනි තැබීම්, තර්ජනය කිරීම්, වෛරය පැතිරවීම් පිළිබඳ සිදුවීම් පහළොවකට වඩා වැඩි ගණනක් සිදුව තිබේ.
රටේ විවිධ ප්‍රදේශවල තැන තැන ඇතිව ඇති මෙබඳු සිදුවීම් කිසිසේත්ම හුදෙකලා සිද්ධි නොවන අතර, ඒ සියල්ල තුළ මනා සංවිධානාත්මක බවක් පෙනෙන්නට ඇත. මෙහිදී අප අමතක නොකළ යුතු වඩාත් වැදගත්ම කාරණය වනුයේ එදා අලුත්ගම දර්ගා නගරය තෙක් ව්‍යාප්ත වූයේ රටේ තැන තැන ඇතිවූ මෙවැනි තනි තනි “මතුවීම්” බවය. ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එක්කළ රටක් ලෙස ජාත්‍යන්තරය තුළ අප අවමානයට පත්කළ දර්ගා නගරය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ එම “ජාතිවාදි වියරුව” නිසාවෙන්, අවම තරමින් සිවු දෙනකු මියගිය අතර 80කට වඩා වැඩි පිරිසක් තුවාලකරුවන් බවට පත්විය. සිදුවූ දේපළ විනාශය අතිමහත් වූ අතර මුස්ලිම් වැසියන් අටදහසක් සහ 2000කට වඩා වැඩි සිංහලයන් පිරිසක් දින ගණනක් අවතැන් භාවයට පත්කිරීමට එම සිදුවීම ප්‍රමාණවත් විණි. එබැවින් එබඳු විනාශයක් යළි සිහිනෙකින් හෝ අප අපේක්ෂා නොකළ යුතු තරම්ය.
සිංහල බෞද්ධ ජාතිවාදීන්, මුස්ලිම් සමාජය දෙස මෙතරම් සැකයෙන් බලන්නේ ඇයි? මෙය විවේක බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතු තත්ත්වයකි. එවැනි සොයා බැලුමකදී කරුණු කාරණා ගණනාවක්ම අපට හමුවන මුත් මූලිකවම මෙම “වෛරය” නොඑසේනම් සැකය නිර්මාණය වී ඇත්තේ කාරණා දෙකක් නිසා බව පෙනෙන්නට ඇත. ඉන් පළමුවැන්න මුස්ලිම්වරුන්ගේ ජනගහන වර්ධනයයි. දෙවැන්න ඔවුන් සතු ආර්ථික ශක්තියයි. මේ කාරණා දෙකම පහසුවෙන් කුළුගැන්විය හැකි භාවෝත්වාදී සටන් පාඨ දෙකකි. ඒ නිසාම මේ කාරණා අවධාරණය කරමින් සිංහල ජාතිය අබිබවමින් මුස්ලිම්වරුන් රටේ මහ ජාතිය වන දිනය වැඩි ඈතක නොවන බව කියමින් ජාතිවාදීහු දශක ගණනාවක් තිස්සේ මත පතුරුවමින් සිටිති. සිංහල ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව මෙරට මුස්ලිම් ජනගහනයේ යම් වර්ධනයක් පැවැතීම යනු පැහැදිලිවම සංස්කෘතික ගැටලුවකි. අනෙක් අතට මේ ගැන ඇතැමුන් මතු කරන කාරණා ද කිසිදු තාර්කික පදනමක් නොමැති ආචීර්ණ කල්පිත කාරණාය. එය වෙනම කථා කළ යුතු මාතෘකාවකි. වෙළෙඳාම ගත් විට එය මුස්ලිම්වරුන්ට අමුතු දෙයක් නොවේ. සුපැහැදිලිව ඔවුන් වෙළෙඳ ප්‍රජාවකි. එබැවින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය නොඑසේනම් වෙළෙඳාමට ඇති හැකියාව දෙස බලමින් ඇස් රතු කරගැන්ම තවදුරටත් අප නොකළ යුතු තරම් දෙයකි. තවත් අටුවාටීකා ටිප්පනි පැවැසීම අවශ්‍ය නොවේ. අදටත් මේ රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන ව්‍යාපාරිකයන්ගෙන් සාතිශය බහුතරය සිංහල බෞද්ධ නොවන ජනකොටස්වලින් පැමිණි අයය. එසේ වූවා ය කියා ඒ කිසිවෙකුගෙන් මෙරටට අවැඩක් වූවා ය කියා අප නම් අසා නොමැත. රටේ දැනඋගත් සමාජයට මේ පිළිබඳ මනා අවබෝධයක් ඇතත් ක්ෂුද්‍ර තලයේ දී පහසුවෙන් මෙවැනි කාරණා “අලෙවි” කළ හැකි ය. නැති රාක්ෂයකු මවමින් බොදුබල සේනාව ප්‍රයෝජනයට ගනිමින් සිටිනුයේ එයය.
කෙසේ වෙතත් මෑතක සිට සිංහල සමාජය හා මුස්ලිම් සමාජය අතර ගොඩනැඟෙමින් ඇති නොසන්සුන්තාව බොදුබල සේනාවේම නිර්මාණයක් යැයි කියන පටු තැනක අප නොමැත. සිංහල ජාතිවාදීන් මෙන්ම මුස්ලිම් ජාතිවාදිහු ද එය තරගයට මෙන් පෝෂණය කළෝය. විශේෂයෙන්ම 80 දශකයේ සිට බිහි වූ මුස්ලිම් ජාතිවාදී දේශපාලන පක්ෂ ද සිංහල ජාතිවාදයට තරගයට මෙන් ප්‍රතිචාර දැක්වීමට යෑම තත්ත්වය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් කළේය. මෙම ජනවර්ග දෙක අතර, එකිනෙකා නුරුස්සන ගතියක් නිර්මාණය වීම විෂයයෙහි නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟුණු ජාතිවාදී මුහුණුවරින් ක්‍රියාත්මක මුස්ලිම් දේශපාලන පක්ෂ ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
කකුලේ තුවාලය පෙන්නමින් හිඟා කන පුද්ගලයා තුවාලය සුව වෙනවාට කැමැති නැත. ඒ එසේ වුවහොත් එදා සිට තම රැකියාව අහිමි වී යන බැවිනි. ඒ නිසාම දේශපාලන බලය ලබාගැන්මේ පටු මාවතක් ලෙස ඇතැම්හු මෙම කුණු ගොඩම අවුස්සන්නට විය. ඔවුනට එය රසවත් ආහාරයක්ම විය.
ජාතිවාදයේ එම නැඟීම රටක් ලෙස අප බිහි කර ගත යුතුව තිබූ ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳ පරමාදර්ශය වසර ගණනාවක් පසුපසට රැගෙන යන ලදී. සිංහල හා මුස්ලිම් ජනකොටස් අතර විශාල බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීමට මෑතක සිට ජාතිවාදී උමතුවෙන් පෙළෙන්නන් කටයුතු කළ ද චිරාත් කාලයක සිට මෙම දෙපාර්ශ්වය අතර සෑහෙන සුහද සම්බන්ධතා පැවැති බවට ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයති.
ඉස්ලාමය පහළ වීමට පෙර සිටම අරාබි ලේඛනවල ලංකාව ගැන සඳහන්ව තිබීම ගැන “ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය” මැයෙන් වූ ග්‍රන්ථයේ බොහෝ කරුණු දැක්වේ. මෙම ග්‍රන්ථයේ සංස්කරණ මණ්ඩලයේ සභාපතිත්වය දරා ඇත්තේ උපකුලපති සර් නිකලස් ආටිගල මහතා වන අතර එහි සංස්කරණ මණ්ඩලයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන, එස්. නඩේසන්, ඩබ්ලිව්. ජේ. එෆ්. ලබ්රෝයි, සහ සී. ඩබ්ලිව්. නිකලස් යන මහතුන් කටයුතු කර ඇත. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පළ කළ එහි සිංහල පරිවර්තනයේ හැට දෙවන පිටුව ඒ පිළිබඳව මේ අයුරින් කරුණු දක්වා තිබේ:
“(ආ) අරාබි මූලාශ්‍රයයෝ,
ඉස්ලාම් ආගම පහළ වීමට බොහෝ කලකට පෙර පටන් අරාබි සංචාරකයෝ ලංකාව ගැන දැන සිටියහ. ග්‍රීකයන්ට සහ රෝමන්වරුන්ට ද මේ රටේ තොරතුරු දැනගන්නට ලැබුණේ මේ අභීත අරාබි නාවිකයන්ගෙනි. එහෙත් අරාබිවරුන් විසින් ද, පසුව ඔවුන් ඇතුළු පොදු මුස්ලිම්වරුන් විසින් ද ලියන ලද පොත්වලට මෙරට තොරතුරු ඇතුළත් කරන ලද්දේ ඉස්ලාම් ආගම ඇතිවූ පසුය. පළමුවෙන්ම මෙබඳු දේශාටනවර්ණනයක් ලියන ලද්දේ සුලයීමාන් නමැත්තෙකු විසිනි. සියවසකට පමණ පසු (ක්‍රි. ව. 950) අබු සයියද් නමැත්තා ලියු සිල්සිලන්- අල් – තවාරිබ් නම් පොතට මේ විස්තරය ඇතුළත් කරන ලදී. ඉබ්න් බුර්දාද්බේ නමැත්තා තවත් පැරැණි ලේඛකයෙකි. 10 වැනි සියවසේ මැද හරියේදී මේ ප්‍රදේශවල සංචාරය කළ මසුදි නම් ලේඛකයා කලින් සිටි ලේඛකයන් ලියූ විස්තර ද, තම අත්දැකීම් ද ඇතුළත් කර පොතක් ලිවීය. ඊට නොබෝ කලකට පසු ඉග්තබ්රි, ඉබ්න් හව්කල්, මක්දිසී යන අය ද ලංකාව ගැන ලුහුඬින් සඳහන් කර ඇත. අල් බිරූති විසින් ඉන්දියාව ගැන ලියන ලද පොතේ ඇතැම් තැන්වල ලංකාව ගැන ද සඳහන් වෙයි. දොළොස් වන සියවසේ මැද හරියේදී ඉද්රීසී නම් සුප්‍රකට අරාබි ජාතික භූගෝල විද්‍යාඥයා පෙරදිග රටවල් පිළිබඳව එතෙක් හෙළි වී තිබුණු සියලුම කරුණු එකතු කළේය. ඔහු ලියූ පොතෙහි ලංකාව ගැන ද සඳහන් වෙයි. පසු කලෙක විසූ යාකූත්, කස්විනී, අබුල් පීඩා ආදි භූගෝල විද්‍යාඥයෝ ද ලංකාව ගැන සඳහන් කළහ. එහෙත් ලංකාව ගැන ලියූ සියලුම මුස්ලිම් ලේඛකයන් අතර ඉතා වැදගත් වනුයේ 14 වන සියවසේ මැද හරියේදී මේ දිවයිනට පැමිණි ඉබන් බතූතාය.”
මේ හැරෙන්නට ශ්‍රී ලංකාවට අරාබි ලෝකය සමඟ පැවැති ඉපැරණි සබඳතා ගැන මෙම ග්‍රන්ථය කරුණු රැසක් හෙළි කර සිටී. මේ ග්‍රන්ථයේ 668 සහ 669 පිටුවල එන එක් සඳහනක් තුළින් පෙනී යන්නේ අප රටේ ආර්ථිකය ජාත්‍යන්තර සබඳතා තුළින් ශක්තිමත් කර ගැනීමට එදා යුගයේත් අප රටේ පාලකයන් වෑයම් කර ඇති ආකාරයයි. යාපහුවේ පළමු බුවනෙකබාහු රජතුමා වෙනුවෙන් අල්හාජ් අබු උඒමන් නමැති දූතයා ක්‍රි. ව. 1283 වැන්නේදී ඊජිප්තුවේ රජ වාසලට යවන ලද්දේය. සිංහල රජතුමා ඔහු අත යැවූ සන්දේශයේ මෙසේ සඳහන් වෙයි. “ලංකාව ඊජිප්තුවයි. ඊජිප්තුව ලංකාවයි. මගේ දූතයා ආපසු එන විට ඊජිප්තුවේ දූතයෙකු ඔහු සමඟ එනු ඇතැයි කියාත් මම බලාපොරොත්තු වෙමි. හැම වර්ගයකම මැණික් සහ මුතු අතිවිශාල ප්‍රමාණයක් මා සතුව තිබේ. නැව්, ඇතුන්, මුස්ලින් ආදී රෙදි අගිල් (බකම්) සහ කුරුඳු වැනි සියලු වාණිජ වස්තු හින්දු වෙළෙඳුන් විසින් ඔබ වෙත ගෙනෙනු ලැබේ. තෝමර තැනීමට සුදුසු ලී ඇති ගස් මගේ රාජ්‍යයේ වැවෙයි. අවුරුදු පතා නැව් විස්සක් එවන්නැයි සුල්තාන් තුමා මට කියතොත් ඒවා සැපයීමට මට පුළුවන. තවද එතුමාගේ විජිතවල වෙළෙන්දන්ට මගේ රාජ්‍යයේ වෙළෙඳාම් කිරීමට පැමිණීමට සම්පූර්ණ නිදහස තිබේ. යේමනයේ කුමාරයාගේ දූතයෙක් මා බැහැදැකීමට පැමිණියේය. ඔහු පැමිණියේ තම ස්වාමියා වෙනුවෙන් සුහද සබඳකම් යෝජනා කිරීමටය. එහෙත් සුල්තාන් තුමා කෙරෙහි මා තුළ පවත්නා ආදරය නිසා මම ඔහු පිටත් කර යැවිමී. මට අයිති මාලිගා විසිහතක් තිබේ. ඒවායේ භාණ්ඩාගාර හැම වර්ගවලම මැණික්වලින් පිරී තිබේ. මුතුපර මගේ විජිතවලට අයත්ය. එයින් ගනු ලබන සියලු මුතු මා සතුය.”
බටහිර ජාතීන් මෙරට පැමිණි පසු ද එම තත්ත්වයේ වෙනසක් නොවීය. 1626 වසරේදී කොන්ස්ටන්ටයින් ඩී සා නමැති පෘතුගීසි ආණ්ඩුකාරවරයා මුහුදුබඩ පළාත්වල සිටි මුස්ලිම්වරු එළවද්දී පලවා හැරීමට කටයුතු කළ අවස්ථාවේ ඔවුනට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වූයේ කන්ද උඩරට සිටි සෙනරත් රජතුමාය. ඒ අවස්ථාව මේ ජාතින් දෙක අතර තිබු ශක්තිමත් සහයෝගය පෙන්වන කැඩපතක් බඳුය. එපමණක් නොවේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව නිදහස් අරගලය ක්‍රියාත්මක වූ අවස්ථාවේදීත් ප්‍රජාවක් ලෙස මුස්ලිම්වරු එවකට සිටි ප්‍රධාන සිංහල නායකයන් සමඟ අත්වැල් බැඳ ගනිමින්, තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව නොපිරිහෙළා දශමයකින් හෝ අඩු නොකර සිදුකරන ලදී. ටි. බී. ජයා, ශ්‍රීමත් රසීක් ෆරිඩ් වැනි අනාගතය විහිදුවා ගිය පැහැදිලි ගැඹුරු දැක්මක් තිබු මුස්ලිම් නායකයන්ගේ ක්‍රියාකාරිත්වය ඊට සාක්ෂි සපයයි. එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය මෙරටට ඩොමිනීයන් තත්ත්වය ප්‍රදානය කිරීමට කටයුතු කළ අවස්ථාවේ ජී. ජී. පොන්නම්බලම්, වැනි ද්‍රවිඩ නායකයින් 50 : 50 ඉල්ලීම ඉදිරිපත් කරමින් එය දියාරු කිරීමට උත්සාහ කළ අතර තවදුරටත් ජාතින් අතර බෙදීම් සිදු කරමින් මෙරටට නිදහස ලබාදීම ප්‍රමාද කිරීම වෙනුවෙන් වූ යටත්විජිත පාලකයන්ගේ අවශ්‍යතාව සමඟ ද එය කදිමට පෑහුණි. සැබැවින්ම එය තීරණාත්මක මොහොතක් ම විය. පොන්නම්බලම්ගේ යෝජනාවට මුස්ලිම්වරුන් දක්වන ප්‍රතිචාරය දෙස අධිරාජ්‍යවාදීන් පමණක් නොව නිදහස් අරගලයේ සිටි සිංහල නායකයෝ ද දෑස් දල්වාගෙන බලා සිටියෝය. එක් පසෙකින් සුළු ජන කොටසක් ලෙස තම අනාගත ආරක්ෂාව පිළිබඳ ගැටලුවටත් අනෙක් පසින් තම මවුබිමේ නිදහස පිළිබඳ ගැටලුවටත් මැදිව සිටින මොහොතක සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ නායකයා ලෙස ටී. බී. ජායා මහතා ඩොමිනියන් තත්ත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ 1945 නොවැම්බර් 09 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව අමතමින් ඓතිහාසික දේශනයේ උපුටා ගැනුමකි මේ.
“මුස්ලිම්වරු හැටියට අපේ අනාගත ආරක්ෂාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නිදහස පිළිබඳ ප්‍රශ්නයේදී කොන්දේසි පනවා නිදහස ලබාගැනීම ප්‍රමාද කරන්නට මේ රටේ මුස්ලිම් ජනතාව සූදානම් නැහැ. කොන්දේසි විරහිතව අප්‍රමාදව ශ්‍රී ලංකාවට නිදහස දිය යුතුයි කියන ස්ථාවරයේ මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා.”
නිදහස දිනා ගැනීමෙන් අනතුරුව ද යම් යම් හුදෙකලා සිදුවීම් මධ්‍යයේ වුවද සිංහල, මුස්ලිම් දෙපාර්ශ්වය සහජීවනයෙන් යුතුව කටයුතු කළේය. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය පැවැති අවස්ථාවේදී ද මුස්ලිම්වරු “දකුණේ” පාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කළෝය. ශ්‍රී ලංකා යුද හමුදාව සතු ආරක්ෂක සංකීර්ණ බිඳ දමමින් ත්‍රස්තවාදය, 2000 වසරේදී පිම්මේ හිස ඔසවද්දී “මල්ටිබැරල්” අවි ලබා දෙමින් අපේ පිහිටට පැමිණියේ මුස්ලිම් රටක් වන පාකිස්තානයයි. ශ්‍රී ලංකාවේ හිතවතුන් ලෙස පෙනී සිටීම් කරන බොහෝ රටවල් පසුබසිද්දී පාකිස්තානය ඍජුව එම අඳුරු පැයේදී අප සමඟ සිටගත්තේය. යුද්ධය නිම වීමෙන් පසුවද ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ කාරණා සාකච්ඡා වෙද්දී ඉස්ලාමීය සහයෝගීතාවට අයත් බොහෝ රටවල් අප සමඟ එක පෙළට සිටගත්තේය. අප ඒ සියලු විස්තර සඳහන් කළේ මුස්ලිම්වරු යනු අපගේ සතුරෙකුට වඩා මිතුරෙකු බව පෙන්වීමටය.
අපේම රටේ ජීවත්වන සහෝදර ජනකොටසක් තමන්ගේ අනෙකා බවට පත්කරගනිමින් සිදුවන්නා වූ බොදුබල සේනාවේ මෙම ඊනියා මැදිහත් වීම අනුමත කරනුයේ රටේ මුළු ජනගහනයෙන් අතිශය සුළුතරයක් පමණි. සිංහල බෞද්ධ ස්වොත්තමවාදය ප්‍රවර්ධනය කරන බොදුබල සේනාවට ඇති පිළිගැන්ම පසුගිය මහා මැතිවරණ අවස්ථාවේදී රටට දැකගත හැකි විණි. එම මැතිවරණයේදී කළුතරින් තරග කළ බොදුබල සේනාවේ හිස හා හදවත බඳු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මුළු දිස්ත්‍රික්කයෙන්ම ලබාගත හැකි වූයේ ඡන්ද පන්දහස් ගණනක් පමණි. රට තුළ ඒ හැටි පිළිගැනුමක් නොමැති මුත්, මෙරටින් පිට සිටින ඇතැම් සිංහල බෞද්ධයන්ට නම් බොදුබල සේනාවට වඩා ඉටු දෙවියකු තවත් නොමැත. තමන් දැන් ජීවත්වන රටවලදී සුළු ජාතීන් බවට පත්ව ඇති මේ ශ්‍රී ලාංකිකයන්ට ඊළඟ පරම්පරාව සඳහා තම අක්මුල් පෙන්වීම වෙනුවෙන් අතීත කාමය සංරක්ෂණය කර තැබීමේ තදබල අවශ්‍යතාවක් වුවමනාවක් පවතී. යානවාහන, වාසය කිරීමට අසපු ඇතුව සෙසු ආමීස පූජා පිරිනමමින් තම අරමුණු වෙනුවෙන් පෙනී සිටින භික්ෂුන් නඩත්තු කිරීම භාරගෙන ඇත්තේ ඔවුන්ය. ඒ අර්ථයෙන් බලන විට බොදුබල සේනා භික්ෂුන්ගේ හැසිරීම කිසිසේත්ම අහිංසක නොමැත. ඔවුන් සිදු කරනුයේ ඉල්ලුමට අනුව සැපයුම සිදු කෙරුම පමණකි.
යුද්ධය නිම වීමෙන් අනතුරුව රටේ සියලු ජන කොටස් අතර සංහිඳියාව නිර්මාණය කරලීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවක් උදා විණි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවීම තත්ත්වය තවත් සුබවාදී බවට පත් කළේය. එවන් පසුබිමක් මැද බොදුබල සේනාවේ මෙම හැසිරීම කිසිසේත්ම රටේ අවශ්‍යතාව හා නොගැළපෙයි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනුමට යුරෝපා කොමිසම බ්‍රසල්ස්හිදී රැස්වීමට නියමිතය. බොදුබල සේනාවේ මෙම හැසිරීම තවදුරටත් උත්සන්න වුවහොත් එය බ්‍රසල්ස්හිදී ශ්‍රී ලංකාවට ගෙන එනුයේ වාසියකට වඩා අවාසියකි. එබැවින් මේ ප්‍රචණ්ඩත්වය පළමු අවස්ථාවේදීම පරාද කෙරුම වැදගත්ය. අනෙක් අතට බොදුබල සේනාවේ භික්ෂුන්ගේ මේ ප්‍රචණ්ඩ හැසිරීම, ඉමහත් අවිහිංසාවාදී දර්ශනයක් වන බුදුදහමේ ප්‍රතිරූපයට ගෙනෙන හානිය ද සුළුපටු නොවේ. බොදුබල සේනාවේ භික්ෂුන් මෙලෙස හැසිරෙනුයේ යුරෝපය ඇතුළු ලෝකය පුරා ආගමික දර්ශනයක් ලෙස බුදුදහම ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් ඇති සන්දර්භයකය. එය ද අමතක නොකළ යුතුය.