25 April, 2024

Blog

බැඳුම්කර කොමිසමේ වාර්තාව: දේශපාලඥයන්ට යස පාඩමක්

හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ්‍ර​හස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා සිදුව ඇති මහ බැංකු බැඳුම්කර ගනුදෙනු ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සඳහන් බරපතල චෝදනාවන්ට ලක්ව සිටින සියල්ලන්ට එරෙහිව ඵලදායී සහ කඩිනම් නීතිමය පියවර ගන්නා බව ය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ චර්යාව ආචාර්ධර්ම විරෝධී වන බවට කොමිසම චෝදනා කොට තිබේ. එසේම ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් සම්බන්ධ ‘පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස්’ සමාගම මේ බැඳුම්කර ගනුදෙනු හරහා රුපියල් බිලියන 11.1 ක අධික ලාභයක් ලබා ඇති බවත් එම කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි. එසේ හෙයින්, ඔවුන් විසින් කොල්ලකන ලද මහජන මුදල් ආපසු අය කර ගැනීම සඳහාත්, ඔවුන්ට දඬුවම් පැමිණවීම සඳහාත්, සිවිල් සහ අපරාධ නඩු පැවරිය යුතු බවට කොමිසම නිර්දේශ කරයි. පිටු 1257 කින් යුත් මේ වාර්තාවට තවත් ඇමිණුම් සහ නිර්දේශ ඇතුළත් ය. මේ අතර, අවශ්‍ය පියවර ගැනීම සඳහා එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

එසේම, මීට පෙර මෙවැනි කොමිෂන් වාර්තා කොහේ හෝ ලාච්චුවක හෝ රාක්කයක පුස්කෑ අතීතයට වෙනස්ව, මෙවර එම වාර්තාව තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඒ හේතුවෙන් එය ජනතාවගේ දැන ගැනීම සඳහා වන වාර්තාවක් වනු ඇති බවත් කී ඔහු, කොල්ලකෑ ධනය ආපසු ලබා ගැනීම ක‍්‍රමවත් සහ වේගවත් කරන නව නීති ගෙනෙන බවත් කීය.

මේ අතර, 2008 සහ 2014 කාලය තුළදීත් මහ බැංකුවේ මෙවැනි නීති විරෝධී බැඳුම්කර ගනුදෙනු සිදුව ඇති බවට සාක්ෂි ඇතැ යි කොමිසම කියා සිටී. එම සිදුවීම් විභාග කර බැලීමට සහ එසේ කොල්ලකෑ ධනයත් ආපසු අය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇතැ යි කොමිසම නිර්දේශ කරයි.

මේ කොමිසමට අමතරව, බරපතල වංචා සහ දූෂණ මෙන්ම බලය, රාජ්‍ය සම්පත් සහ වරප‍්‍රසාද අපයෝජනය පිළිබඳ සිදුවීම් ගැන සොයා බැලීමටත් කොමිසමක් (ප්‍රෙසිෆැක්) තමා විසින් පත් කොට ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අවුරුදු දෙක හමාරක කාලයක් තිස්සේ විමර්ශන කටයුතු කරගෙන ගිය එම කොමිසම ඊට අදාළ වාර්තා 34 ක් මේ වන විට ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ. එයින් වාර්තා 14 ක්, අදාළ ආයතන හරහා අවශ්‍ය පියවර ගැනීම සඳහා, නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ.

එම වාර්තාවල සඳහන් කරුණු පදනම් කරගෙන, වංචා සහ දූෂණ කොමිසමත්, වෙනත් ආයතන, දෙපාර්තමේන්තු සහ පොලීසියත්, අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා පියවර ගෙන ඇත. එයාකාරයෙන්, බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රකාරව අවශ්‍ය කටයුතු කිරීමට සහතික වන බවට ජනාධිපතිවරයා ප‍්‍රතිඥා දුන්නේය. බැඳුම්කර කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනත් කරුණුවලට අමතරව, හිටපු අමාත්‍ය රවී කරුණානායක ගැනත් කරුණු එහි සඳහන් වෙයි. ඇලෝසියස් පවුලට සහ ඔවුන්ගේ ‘වෝල්ට් ඇන්ඞ් රෝව්’ සමාගමට අයත් සුඛෝපභෝගී නිවෙසක, රවි කරුණානායක සහ ඔහුගේ පවුල, ඇලෝසියස්ගේ කුලී මුදලින් පදිංචිව සිටීම පිළිබඳ සිද්ධියත් එම කරුණුවලට ඇතුළත් ය. එසේ පදිංචිව සිටීම ගැන රවි කරුණානායක වගකිව යුතු බවට චෝදනා කරන කොමිසම, අල්ලස් සහ දූෂණ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවටත්, කොමිසම ඉදිරියේ බොරු සාක්ෂි දීම පිළිබඳව, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවටත් නිර්දේශ කරයි.

2015 ජනවාරි මාසයේදී මහබැංකු අධිපතිවරයා වශයෙන් අර්ජුන මහේන්ද්‍රන්ව පත්කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් වන නිසා, මේ සමස්ත සිදුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ වගකිව යුතු බවට විපක්ෂ නායකයෝ චෝදනා කරති. එහෙත් කොමිසම සිය වාර්තාවේ සඳහන් කරන්නේ ඊට වෙනස් මතයකි. එනම්, අගමැතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන්ව එම තනතුරට පත් කිරීම නීති විරෝධී හෝ ක‍්‍රම විරෝධී හෝ නොවන බවයි. මහේන්ද්‍රන්ව පත් කිරීමට අදාළව මහේන්ද්‍රන් විසින් දෙන ලද තොරතුරු සහ පොරොන්දු තමා විශ්වාස කළ බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. එය අගමැතිවරයා නොකළ යුතුව තිබුණු ප‍්‍රකාශයකැයි කොමිසම කියයි. තවද, එකී කරුණු ඒ වන විට කෝප් කමිටුව ඉදිරියේ පරීක්ෂාවට ලක්වෙමින් පැවති නිසා මහේන්ද්‍රන්ට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍යතාවක් නොවුණු බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කොට ඇති බවත් කොමිසම පෙන්වා දෙයි.

අවසාන වශයෙන් ජනාධිපතිවරයා සිය කතාවේදී මෙසේ ද කීවේය: ‘‘මේ කොමිෂන් සභා පත් කිරීම ගැන සමහර දේශපාලන පක්ෂ මට විරුද්ධව එල්ල කරන චෝදනා ගැනත් මං වචනයක් කියන්න ඕනේ. මං මේ කොමිෂන් සභා පත්කළේ කිසි පක්ෂයක් ඉලක්ක කරගෙන නෙවෙයි. ඒ වගේම, මේ කොමිෂන් සභාවලින් ඉදිරිපත් කරලා තියෙන කරුණු සහ නිර්දේශ උඩ අනාගතයේදි පවරන නඩු විභාගවල, ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම පුද්ගලයන් විත්තිකරුවන් වශයෙන් ඉන්න බවත්, මේ අවස්ථාවේ මං විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන්, ස්වාධීන සහ අපක්ෂපාතී අධිකරණයක් අපට තිබීම ගැන අපි සතුටු වෙනවා. එම ක‍්‍රියාවලිය සඳහා අපි කවුරුත් අපේ උපරිම සහයෝගය දෙන බවත් මම කියන්න ඕනේ.’’

දූෂණය, අල්ලස සහ මහ පරිමාණ වංචා සම්බන්ධයෙන් ඉදිරි මාස කිහිපය තුළදී ගැනීමට බලාපොරොත්තු වන දැඩි පියවර, අපේ දේශපාලනය තුළ අද පවතින දූෂණය ක‍්‍රම ක‍්‍රමයෙන් අවසන් කිරීමට හේතුකාරක වෙතැයි අපි විශ්වාස කරමු. ඒ අනුව, රටෙන් දෙයක් කොල්ලකනවා වෙනුවට, තමන්ගෙන් රටට දෙයක් දිය යුතු යැයි විශ්වාස කරන පුද්ගලයන් දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

2018 ජනවාරි 5 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Bond Commission Report: A Tough Lesson for Politicians” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Bond Game එක ගැන ඇත්තටම කතා කරන්න පටන් ගන්න ඕනේ කොමිසමේ වාර්තාවෙන්වත් අපිට 2015 ඉඳන් හැමදාම ඔක්කාරෙට එන ජනාධිපතිගෙ සහ අගමැතිගෙ විශේෂ ප්‍රකාශ වලින්වත් නෙමෙයි.
    1. ඉස්සෙල්ලම කරන්න ඕනේ නීතිපතිව අස් කරලා දාන එක.
    නිදහසට කාරනා අහන්න අවශ්‍ය නැහැ ඒ මොකොද කිව්වා නම් රටේ අගමැති 2016 දෙසැම්බර් කියල තියනවනේ නීතිපතිට බැඳුම්කර වංචාව ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියල. අගමැතිතුමා තමන් ගැන නීතිමය පියවර ගන්න කියත්දිත් නීතිපති එහෙම නොකළ එක බරපතල වරදක්. මේ තරම් විශාල වංචාවක් ගැන කිසි පියවරක් නොගැනීම සැකසහිතයි. ඒ හින්දා නීතිපති ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ.
    දෙවෙනි කාරණේ අගමැති බැඳුම්කර කොමිසම ඉදිරියේ “කතාවක්” කරන්න ගිහාම, නීතියනකූල විදියට අගමැතිගෙන් ප්‍රශ්න අහන්න තියෙන ඉඩකඩ අහුරන්න නීතිපති ගියා එතැනට. නීතිපති අනවශ්‍ය විදියට බැඳුම්කර කොමිසමේ කරයුතු වලට ඇඟිලි ගහල තියෙනවා. ඒ හින්දා නීතිපතිව අස් කරලා ඊළඟට ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියාව ඉස්සෙල්ලම ඒ තනතුරට පත් කරන්න ඕනේ. නීතිය කාටත් සාධාරණ නම්, උස පහත් භේදයක් නැත්නම්, පක්ෂග්‍රාහී නැත්නම්, පටන් ගන්න ඕනේ එතැනින්. ඉස්සෙල්ල කරන්න ඕනේ නීති හදන තැන, නීති ක්‍රියාත්මක කරන තැන පිරිසිදු කරන එක.
    .
    2. අසම්පූරණ, අවිධිමත් බැඳුම්කර කොමිසමේ වාර්තාව කොහොමවත් පිළිගන්න බැහැ. කලින් සැලසුම් කරපු තීරණයකට ගැලපෙන ව්දියට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන බව පැහැදිලිවම පේනවා. බැඳුම්කර කොමිසම සාක්කි අහන කාලේ ඉස්සෙල්ලම රවී කරුණානායකව බේරුවා. දෙවැනියට ඇලෝසියස්ව බේරුවා. තුන්වෙනියට අගමැතිව බේරුවා. බැඳුම්කර කොමිසමේ විනිසුරුවො මේ තුන්දෙනාගෙන්ම අවශ්‍ය ප්‍රකාශ ගන්න ඉඩ දුන්නේ නැහැ උවමනාවෙන්ම. හරස් ප්‍රශ්න අහන්න ඉඩ දුන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් එහෙම කලාම අගමැතිව කර මුලටම අහු වෙන නිසා.
    .
    3. මහේන්ද්‍රන් කිව්වා රටේ නීතියට අනුව දිව්රුම් දීම කලේ නැහැ කියල. බැඳුම්කර කොමිසම මේ කාරණාව සහමුලින්ම මඟ ඇරලා තියෙනවා උවමනාවෙන්ම. මහෙන්ද්‍රන්ගේ පත්වීම නීති විරෝධී නැහැ කියල බැඳුම්කර කොමිසම කියනව නම් එහෙම නැත්තේ මොකොද කියන එක බැඳුම්කර කොමිසම සාධාරණීය කරන්න ඕනේ මේ කාරනාව උඩ. මහේන්ද්‍රන් කිව්වා තමන් එහෙම දිව්රුම් දීමක් ගැන දැනන් හිටියෙ නැහැ කියල. කවුරුවත් කිව්වෙත් නැහැලු.
    .
    Contd’ 2/3

  • 0
    0

    4. අගමැතිගෙන් කොමිසම ඇහැව්වද රජයේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වගන්තිය අනුව දිවුරුම් දෙන්න ඕනේ බව දන්නවද නැත්ද කියල? නැහැ. එහෙම නොකලේ උවමනාවෙන්ම. ඊළඟට අගමැති ලේකම් ගෙන්නලා අහන්න තිබුන පත්වීමේ ලිපිය එක්ක 165 වගන්තියේ කියවෙන 4 වෙනි Schedule එක යැව්වේ නැත්තේ මොකොද කියල,මහේන්ද්‍රන් මාසයක් ඇතුලත ඒ දිව්රුම් දීම කලේ නැත්නම් ඒ ගැන follow up කලේ නැත්තේ මොකොද කියල සහ එහෙම නොකරන්න කියල අගමැති බලපෑමක් කලාද කියල. මේවා මුකුත් ඇහැව්වේ නැහැ. ඊළඟට රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් නිදහසට කාරණා අහන්න තිබුණ මහේන්ද්‍රන්ගෙන් දිව්රුම් දීම ගත්තේ නැත්තේ ඇයි කියල. බැඳුම්කර කොමිසම උවමනාවෙන්ම මේ ඔක්කොම steps skip කළා.
    .
    5. ඊළඟ එක ලියන්න ඉස්සෙල්ල මට දැන ගන්න ඕනේ තමන්ගෙ බලතල පාවිච්චි කරලා ජනාධිපතිතුමා අර්ජුන් මහේන්ද්‍රන්ව 165 වෙනි වගන්තියේ 4 වෙනි Schedule එක අනුව දිව්රුම් දීමෙන් නිදහස් කලාද කියල. එච්චර කරයි කියලා මට හිතන්න බැහැ.
    .
    6. බැඳුම්කර වාර්තාව වීසි කරන්න ඕනේ කුණු කූඩෙට. මේකෙන් ඇති වැඩක් නැහැ. අන්තිමට රටට කරපු පාඩුවට අර්ජුන් මහේන්ද්‍රන්ව වැරදිකාරය කරල. මම නම් නීතිඥයෙක් නෙමෙයි. ඒ හින්ද බැඳුම්කර කොමිසමේ උගත් විනිශ්චයකරවරු තුන්දෙනා මට කියල දෙනවද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වෙනි වගන්තිය අනුව;
    “I, ARJUN MAHENDRAN do solemnly declare and affirm/swear that I will faithfully perform the duties and discharge the functions of the office of GOVERNOR OF THE CENTRAL BANK in accordance with the Constitution of the DSR of Sri Lanka and the law, and that I will be faithful to the Republic of Sri Lanka and …… blah blah blah… කියල දිව්රුම් දීපු නැති අර්ජුන් මහේන්ද්‍රන්ව උසාවියේ වැරදිකාරයෙක් කරන්නේ කොහොමද කියලා? වැරැදිකාරයෙක් කරනවා තියා අඩු ගානේ නඩුවක්වත් දාන්න පුලුවන්ද රටට පාඩු කළා කියලා, ඇතුලේ රහස් පිට කළා කියල ඇලෝසියස්ගෙ සමාගමට වාසි වෙන විදියට, අගමැතිට කියල ඒ සමාගමට ලංකා බැංකුවෙන් ණයක් අරන් දීල ඒ සල්ලි වලින් බැඳුම්කර අරන් ඇති විශාල ලාභයක් ගන්න උදව් කළා කියල. මේ දිව්රුම් දීම කලේ නැති නිසා මහේන්ද්‍රන් බැඳිලා නැහැ රටට විශ්වාසවන්තව වැඩ කරන්න.
    .
    Contd’ 3/3

  • 0
    0

    මේ යකාට නඩු දැම්මොත් අන්තිමට අපිට ගෙවන්න වෙයි. මහේන්ද්‍රන්ව වැරදිකරයෙක් නොකර ඉදිරි පියවරට යන්න බැහැ.
    .
    කරන්න මුකුත්ම නැත්ද? තියෙනවා, ඇයි, නඩුවක් දාන්න පුළුවන් බැඳුම්කර කොමිසමේ විනිශ්චයකාරයන් තුන්දෙනාට විරුද්ධව අවුරුද්දක් තිස්සෙ මහජන මුදල් නාස්ති කරමින්, රටේ ජනතාව නොමඟ යවමින්, මඟ හොඳට පෙනී පෙනි කැලේ පැනල බොරු වාර්තාවක් සහ කිසි පලක් නැති නිර්දේශයක් ඉදිරිපත් කලාට. කැකිල්ලේ තීන්දු දෙන යහපාලන ආණ්ඩුවකුයි ඊටම හරියන නීතිපති දෙපාර්තුමේන්තුවකුයි අධිකරණයකුයි තියෙන රටේ, වැරදිකාරයෙක් නැති බැඳුම්කර වංචාවට විරුද්ධ නඩුව දාන්න ඕනේ වාර්තාව ඉදිරිපත් කරපු බැඳුම්කර කොමිසමේ විනිශයකාරවරු තුන්දෙනාට විරුද්ධව.
    .
    යුද්ධෙ කාලේ බෝම්බ කිලෝ 1008ක්ද කොහෙද ලොරියක පටව ගෙන මුළු කොලොඹම පුපුරවන්න ආපු කොටි ත්‍රස්තවාදියාව නිදහස් කරලා අධිකරණය පෙන්නුවා බෝම්බ ලොරි වලට තනියම වුනත් බෝම්බ පටවාගෙන ඇවිදගෙන එන්න පුළුවන් කියලා.
    හිටපු පකිස්ථාන් මහකොමසාරිස්ව මරන්න ආපු කොටි ත්‍රස්තවාදියව නිදහස් කරලා අධිකරණය පෙන්නලා තියෙනව ගහපු බෝම්බෙ තනියම ඇවිදන් ඇවිල්ල පුපුරව ගෙන ආරක්ෂාවට හිටපු හමුදාවේ හත් දෙනාව මැරුව කියල.
    අන්තිමට බැඳුම්කර වංචාවටත් අයිතිකාරයෙක් නැහැ, කරපු කෙනෙක් නැහැ.

    මේ ගැන කරන්න කිසිම දෙයක් නැත්ද? ඇයි නැත්තෙ තියෙනවා.

    • 0
      0

      බැඳුම්කර කොමිසම ඇලෝසියස්ගේ නීති තර්කෙ පිළිගත්තේ එහෙම නොකළ නම් ඇලෝසියස් writ ආඥාවක් ගෙනල්ල කොමිසම අක්‍රිය කරන නිසාලු. අනේ මොකොට කියනවද? ඇලෝසියස්ව ලිස්සල යැව්වට පස්සේ කොමිසම writ ආඥාවක් “නැතුවම” අක්‍රිය වුනා. හොඳට බැලුවොත් ඕනේ කෙනෙකුට තේරෙනව ඊට පස්සේ තමයි කොමිසම හොර ගල් අහුලන්න පටන් ගත්තේ. ඇලෝසියස් ගේ වැඩෙන් පස්සේ තමයි මිනිස්සු එතෙක් කල් කොමිසම ගැන තිබුන විශ්වාසේ නැතිවෙලා ගියේ. ඊට පස්සේ වෙච්ච ඔක්කොම දිහා බලපුවම ඕනේ කෙනෙක්ට තේරුණා කොමිසමේ නියම පරමාර්ථය පීලි පැනපු බව. වෙන දෙයක් මොකොටද, අගමැති කොමිසම ඉස්සරහට ගියපු වෙලාවේ අගමැතිට විශේෂයක් කළා, protocol ගැන කියල නීතිපති එතන හිටිය. මේක සම්පූරණ වැරදියි. නීති ඉදිරියේ කවුරුත් සමාන නම්, අගමැතිට විශේෂයක් කරන්න බැහැ. අගමැති කොමිසම ඉස්සරහට එන්න ඕනේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. අගමැතිට විශේෂයක් කලේ ඔහු වැරදි කාරයෙක් නිසා ඒක එලි නොවෙන්න කියල මිනිස්සුන්ට හිතන්න වෙනවා.

  • 0
    0

    President, Attorney General, Prime minister and Justice minister all are responsible for what is going. AG should be replaced by some one who has the initive and good conscience. It is President and PM who allowed Arjun Mahendran and another accused to escape.
    PM accused President saying It is I who beat president to the AG’s office. that should have a meaning
    Why PResident is talking a lot and doing nothing should have some meaning.
    PM is bound to only colombo voters. PResident is not like that. He got the votes from whole Sri lanka.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.