Colombo Telegraph

ඇමති මණ්ඩලය: පමණට වඩා ලොකු වීම යනු කොපමණ ලොකු වීමද?

1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු වූ අවස්ථාද ඒ අතර තිබුණි. මේ තත්වය කෙරෙහි පැනනැගුණු ප‍්‍රථම විරෝධය ප‍්‍රකාශයට පත්වුණේ, ජනතා විමුක්ති පෙරමුණේ දැඩි බලපෑම මත, 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පරිවාස ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය, අගමැතිවරයාද ඇතුළුව 25 දෙනෙකුට සීමා කර ගන්නට සිදුවීමෙනි. කෙසේ වෙතත්, එම ආණ්ඩුව වැඩි කල් පැවතියේ නැත.

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලය තුළ ඇමති තනතුරු පාවිච්චි කෙරුණේ විපක්ෂයේ පක්ෂ කඩා විසුරුවා හැර, පාලකයන්ට රිසි පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ කෘත‍්‍රීම බලයක් පාර්ලිමේන්තුව තුළ ගොඩනගා ගැනීමට ය. රටේ සැබෑ අවශ්‍යතා නොතකමින් යෝධ ඇමති මණ්ඩල පත්කිරීමට එරෙහිව එම අවස්ථාවේ නැවතත් විරෝධතා මතු විය. ඉතා මෑතකදී එම විරෝධතාව නැවතත් මතු කෙළේ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙටක් සංවිධානය සහ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ මගිනි.

පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ, 2014 ඔක්තෝබර් 19 වැනි දා පැවැත්වූ ජාතික හෙළ උරුමයේ වාර්ෂික සම්මේලනයේදී, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් උපරිම වශයෙන් 25 දෙනෙකුට සීමා විය යුතු බවට සහ නියෝජ්‍ය ඇමති ධුර සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා විය යුතු බවට සම්මත කර ගැනුණු අතර, ඇමති ධුර පිරිනැමීම විද්‍යාත්මක පදනමකින් සිදුවිය යුතු බවද කියා සිටියේය. ‘පිවිතුරු හෙටක්’ ව්‍යාපාරයත් එවැනිම ප‍්‍රමාණයක ඇමති මණ්ඩලයක් ගැන කතා කළ අතර ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ අතීත ආදර්ශයම පවත්වා ගත්තේය. මේ ස්ථාවරය, එදා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනත්, එදා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් පිළිගත් අතර, එම ජනාධිපතිවරණයේ ‘යහපාලන’ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනය තුළ රට ඉදිරියේ තැබුණු ප‍්‍රධාන පොරොන්දුවලින් එකක් වුණේද එයයි.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් ‘ජාතික ආණ්ඩුවක්’ පිළිබඳ අදහස ඉස්මත්තට පැමිණීමත් සමගම, කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව ඉහත කී උපරිමය ඉක්මවා යාම වැළැක්විය නොහැකි විය. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ කැබිනට් ඇමති සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වතාවට නීතියෙන්ම 30 කට සීමා කළත්, ‘ජාතික ආණ්ඩුව’ පිළිබඳ සඳහන් ඊළඟ වගන්තියෙන් එම සීමාව ඉවත් කෙරුණු තරම් ය. එය, අනාගතයේ බිහි වන ආණ්ඩුවලට දුන් ‘ලැයිසමක්’ වැන්නකි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පරිදි, ‘ජාතික ආණ්ඩුවක්’ යනු, පාරිලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම, වෙනත් පිළිගත් පක්ෂ හෝ කණ්ඩායම් සමග ඇති කරගන්නා සන්ධානයකි. මේ අනුව, ප‍්‍රධාන පක්ෂ දෙක සභාගයකට පැමිණීමට තීරණය කරන ඕනෑම අවස්ථාවක, මේ අවසරය පාවිච්චි කරමින් යෝධ ඇමති මණ්ඩල පත්කර ගැනීමට පාලකයන්ට අවස්ථාව ලැබෙන්නේය. අවාසනාවන්තම කාරණය වන්නේ, මේ අවසරය දැන් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා දී තිබීමයි.

නව ආණ්ඩුව තමන්ගේ කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිත මේ අවස්ථාවේ, පසුගිය කාලය තිස්සේ ඔවුන් වෙතින් ප‍්‍රකාශිත පරමාදර්ශය හෙවත් යහපාලන ප‍්‍රතිපදාව ගැන ඔවුන්ට මතක් කර දිය යුතුව තිබේ. ඇමතිවරුන් 30 දෙනෙකුගෙන් ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකි බව, රටේ මහජනතාවට අමතරව, ප‍්‍රධාන පක්ෂ සියල්ලක්මත් පිළිගෙන තිබේ. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටද මෙවර ඇතුළත් කෙළේ එබැවිනි. දැන් ආණ්ඩුව එම සංඛ්‍යාව ඉක්මවා යන්නේ නම්, එය හුදෙක් දේශපාලනික පක්ෂ සහ ඒවායේ නායකකාරකාදීන්ගේ අවශ්‍යතා සඳහා මිස, රට ආණ්ඩු කිරීමේ අවශ්‍යතාවක් මත සිදු කෙරෙන වැඩි කර ගැනීමක් නොවන බව කාටත් වැටහෙන කාරණයකි.

එසේ වීම, යහපාලන ප‍්‍රතිපත්තියෙන් පීලි පැනීමකි. කෙසේ වෙතත්, වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත්, රටේ පවතින භ‍්‍රෂ්ට දේශපාලනික සංස්කෘතියත් නිසා, මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවට ඉහත කී සංඛ්‍යාත්මක සීමාව ඉක්මවා යාමට සිදු වී ඇති බව කෙනෙකු පිළිගත යුතුව තිබේ. එසේ වෙතත්, එය රට හිනස්සන සුළු සංඛ්‍යාවක් දක්වා වැඩි විය යුතු නැත.

විද්‍යාත්මක පදනමක් මත ඇමති ධුර සකස් විය යුතුය යන ජාතික හෙළ උරුමයේ යෝජනාවද ඉතා වැදගත් ය. ඒ මගින්ද ඇමති සංඛ්‍යාව සීමා කරගත හැකි වන්නේය. මන්ද යත්, අතීතයේ පැවති අපේ ආණ්ඩු තම පක්ෂයේත් විපක්ෂයේත් සාමාජිකයන්ට ඇමති ධුර පිරිනැමීම සඳහාම, බොහෝ ප‍්‍රධාන අමාත්‍යාංශ අතාර්කික අන්දමින් විවිධ කෑලිවලට කඩා ඒ ඒ අයට පිරිනැමූ අවස්ථා අප අත්දැක ඇති බැවිනි.

*2015 සැප්තැම්බර් 1 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Cabinet: How Big is Too Big?” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’.

Back to Home page