ගම්පොල විදානලාගේ දොන් සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ නැමැති කුඩු රජාට මරණීය දණ්ඩනය නියම කිරීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ශ‍්‍රී ලාංකීය සංග‍්‍රාමය ලැබූ වැදගත් ජයග‍්‍රහණයකි. පසුගිය ජනවාරියේ පාකිස්ථානයේදී අත්අඩංගුවට ගැනුණු ඔහුව පසුව ශ‍්‍රී ලංකාවට ගෙනෙන ලදි. ‘වෙලේ සුදාගේ’ තවත් ලාංකීය සහ විදේශීය අපසාහයකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධ නඩු ඉදිරියේදී ඇසීමට නියමිතයි.
කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් ගත් කළ මේ වනාහී, අපේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු, මත්ද්‍රව්‍යවලින් රට ආක‍්‍රමණය කෙරුණු සැටි පෙන්වන එක් අවස්ථාවක් පමණි. ගත වූ වසර කිහිපය මුළුල්ලේ, කිහිප වතාවකදීම කොළඹ වරාය සහ බණ්ඩාරනායක ගුවන් තොටපොළ ඇතුළු ලංකාවට ඇතුළු වන විවිධ ස්ථානවලදී හෙරොයින් සහ වෙනත් භයානක මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ නිසා, ලංකාව නීති විරෝධී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ සංක‍්‍රාන්ත ස්ථානයක්ය යන අපකීර්තිමත් නාමයට ලක්ව තිබුණි. රටට නිදහසේ ගලාගෙන එන මේ මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස දේශපාලඥයන් ඇතුළු බලගතු පුද්ගලයන් සිටි බව රහසක් නොවේ. ඊට අමතරව, නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලධාරී කොටස් සේම, ආදායම් එකතු කරගන්නා ආයතනත් ඒ පසුපස අහක බලාගෙන සිටියහ.
ඊයේ අප පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කොට තිබූ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ‍්‍රී ලංකාවේ වසරකට හෙරොයින් කිලෝ 763 ක් පරිභෝජනය කෙරේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ශ‍්‍රී ලාංකිකයන් 45,000 ක්, දවසකට හෙරොයින් කිලෝ දෙකකට වැඩි ප‍්‍රමාණයක් පාවිච්චි කරන බව, ‘භයානක ඖෂධ පාලක ජාතික මණ්ඩලය’ පවසයි. හෙරොයින් ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් 350 දෙනෙකු කොළඹ නගරයේ ක‍්‍රියාත්මක වන බවත්, ඉන් 45 දෙනෙකු දෛනිකව මිලියන සිය ගණන් උපයන මහ පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් වන බවත් පැවසේ. ගංජා සහ කොකේන් වැනි වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කෙරෙන අනුපාතිකයන් මේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් නොකරන නිසා, මත්ද්‍රව්‍ය උවදුර මීට වඩා බෙහෙවින් බරපතල විය යුතුය. සමස්තයක් වශයෙන් ගත් විට, (නීතියෙන් ඉඩ ලැබී ඇති දුම්කොළ සහ මත්පැන් ඇතුළු) මත්ද්‍රව්‍ය අවභාවිතය, අප සිතනවාට වඩා විශාල සමාජ ව්‍යසනයක් බව පෙනේ.
ග‍්‍රෑම් කිහිපයක් ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනයට උචිත වරදක් වන රටක, කිලෝ 700 ක් යනු සුළුපටු කාරණයක් නොවේ. මෙයින් පෙනෙන්නේ, නාවුක හමුදාව, වෙරළාරක්ෂක අංශය, රේගුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ වෙනත් විවිධ ආයතනවල ප‍්‍රශස්ථ ප‍්‍රයත්නයන් තිබියදීත් විශාල වශයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළට නිදහසේ ගලා එන බවයි. මේ කපොල්ල වැසීම සඳහා සෑම උත්සාහයක්ම ගත යුතුව තිබේ. ඕනෑම රටක් තුළට හොරෙන් ගෙනෙන මුළු මත්ද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් අත්අඩංගුවට ගත හැක්කේ සියයට 10 ක පමණ ප‍්‍රමාණයක් යැයි සාමාන්‍යයෙන් කියැවේ. මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ලංකාවේ ඉහළ යමින් තිබෙන බව නාවුක හමුදාව කියයි. රට තුළදී වැඩියෙන්ම අල්ලාගන්නා මත්ද්‍රව්‍ය වන්නේ, හෙරොයින් සහ (දේශීය වශයෙන්ද වගා කෙරෙන) ගංජා ය. මේවායින් සියයට 80 ක් රට තුළට එන්නේ මුහුදු මාර්ගයෙනි.
ලෝකයේ හෙරොයින් සැපයුමෙන් විශාල ප‍්‍රමාණයක් දැන් සිදුවන්නේ දැවැන්ත ඉන්දියන් සාගරය හරහා ය. එහෙත් සම්පත් අඩු කමින් පෙළෙන ලංකාවේ නාවුක හමුදාවට මේ පැමිණීම නතර කිරීමට පුලූවන් කමක් නැත. ඉන්දීය සාගර කලාපයේ රටවල මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෑතක පැවති සමුළුවකදී ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පෙන්වා දුන් පරිදි, කලාපයේ සියලූ රටවල් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ බුද්ධි දත්ත හුවමාරු කරගත යුතුව ඇති අතර ඒ මත පිහිටා කටයුතු කළ යුතුව ඇත. ‘වෙලේ සුදාගේ’ සිද්ධිය එවැනි අන්තර් සාර්ක් කලාපීය සහයෝගීතාවට හොඳ උදාහරණයකි. හැකි හැම අවස්ථාවකදීම නාවුක හමුදාව සහ වෙනත් හමුදා මගිනුත් ඒකාබද්ධ ක‍්‍රියාන්විතයන් දියත් කොට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව මැඩලිය යුතුව තිබේ. මෑතකදී ශ‍්‍රී ලංකාවේ නාවුක හමුදාව මහ මුහුදේදී ‘‘යාත‍්‍රාවලට ගොඩ වී පරීක්ෂා කොට අල්ලා ගැනීමේ’’ විශේෂ මෙහෙයුමක් දියත් කෙළේය. මේ ක‍්‍රියාකාරකම් සඳහා තව තවත් පුහුණුව අවශ්‍යයි. මත්ද්‍රව්‍ය අල්ලා ගන්නා විවිධ ක‍්‍රියාන්විතයන් පිළිබඳ ජාත්‍යන්තර දැනුම අවශ්‍යයි. මත්ද්‍රව්‍ය වගාවන් විනාශ කෙරෙන ඒකාබද්ධ මෙහෙයුම් සෑම රටක්ම දියත් කළ යුතුව තිබේ. වරාය සහ ගුවන් තොටුපොළ වැනි වැදගත් ප‍්‍රවේශ කේන්ද්‍රයන්හි සුපරීක්ෂාව තවත් තර කළ යුතුව තිබේ. ඒ සඳහා තව තවත් පුහුණු නිලධාරීන්, ඉව අල්ලන බල්ලන් සහ දියුණු අභික්ෂණ උපකරණ අත්‍යාවශ්‍ය කෙරේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ, ස්වකීය ආණ්ඩුවේ වැඩපිළිවෙලේ ප‍්‍රධාන අංගයක් වශයෙන්, මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට ප‍්‍රතිඥා දී තිබේ. ඒ සඳහා වන ඇතැම් පියවරද මේ වන විට ගෙන ඇත. දේශපාලනික සම්බන්ධතා සහ සමාජ තත්වය නොසළකා මත්ද්‍රව්‍ය මුදලාලිලාට එරෙහිව කටයුතු කිරීමට අත්‍යාවශ්‍ය කෙරෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතන, සුරාබදු සහ රේගු ආයතන මෙන්ම, අධිකරණයත් මේ වන විට ශක්තිමත් කොට තිබීම ඒ අතරින් ප‍්‍රධානයි. පාරේ කුඩු විකුණන හාල්මැස්සන් නොව, අල්ලා ගැනීම වැදගත් වන්නේ, මහ මෝරුන් ය.
මේ අතරේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමත් වැදගත් ය. එම නරා වළට වැටීමෙන්, විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණයන්ව බේරා ගැනීම ඊටත් වඩා වැදගත් ය. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ප‍්‍රධාන ආරක්ෂ වළල්ල විය යුත්තේ දෙමාපියන් ය. එහෙත්, මත්ද්‍රව්‍ය, දුම්කොළ සහ මත්පැන්වලින් ළමුන් ගලවා ගැනීමේ වැඩි කාර්ය භාරයක් පාසල්වලට පැවරේ. පාඨකයන් සහ පේ‍්‍රක්ෂකයන්ගේ සිත්සතන් තුළ නිෂේධනීය ආකල්පයක් ඇති වන ආකාරයෙන් මත්ද්‍රව්‍ය උවදුරේ මාරක ආදීනව සමාජයට පෙන්වා දීම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල වගකීමයි. මත්ද්‍රව්‍ය වනසාලීම ආණ්ඩුවට සහ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට පමණක් පැවරෙන වගකීමක් නොව. ඒ අත්‍යුත්තම රාජකාරියට මුළු සමාජයම අත ගැසිය යුතුය.
*2015 ඔක්තෝබර් 17 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Eradicating Drugs” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’