25 July, 2021

Blog

සාධනීය පියවරක්

2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමේ සිටම එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශන පිළිබඳ තර්ජනය, මාරක කඩුවක් සේ අපේ හිසට උඩින් එල්ලී තිබුණි. යුද්ධයේ අවසාන දින කිහිපයේදී සාමාන්‍ය ජීවිත 40,000 ක් පමණ විනාශ වන්නට ඇතැයි යන අඩමානය මුල් කරගෙන, රජයේ හමුදා මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසිනුත් කරන්ට ඇතැයි සැක කෙරෙන යුද අපරාධ ගැන සොයා බැලෙන විශ්වසනීය දේශීය පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් දිගින් දිගට අපෙන් කරන ලද ඉල්ලීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එක දිගටම නොතකා හැරියේය.

එයින් සිදුවුණේ, දේශීය යාන්ත‍්‍රණයක් ඇති නොවීම හේතුකොට ගෙන, එකී කාරණා පිළිබඳ සොයා බැලෙන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි ජාත්‍යන්තර ප‍්‍රජාවේ හඬ එන්න එන්නම වැඩි වීමයි. ඒ ජාත්‍යන්තර පීඩනය හමුවේ ලංකාවේ එදා පැවති ආණ්ඩුව ගත් එකම ප‍්‍රශංසනීය පියවර වුණේ, ‘උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමක්’ පිහිටුවීමයි. එහෙත් එම කොමිසම විසින් නිර්දේශ කළ යෝජනා, එදා රජයේ සිටි ඇතැම් අන්තවාදී කොටස්වල නිර්දය විවේචනයට ලක්විය. එබැවින් ඒ කිසි නිර්දේශයක්, ක‍්‍රියාත්මක වුණේම නැති තරම් ය.

 ඒ වෙනුවට එම ආණ්ඩුව කෙළේ, ‘ගැලරියට’ ගැලපෙන විවිධ කයිවාරු ගසමින්, යුද විරුවන්ට හානියක් විය හැකි කිසිවකට තමන් ඉඩ නොදෙන බවට දිගින් දිගට පාරම්බෑමයි. ඊටත් වඩා, යුද්ධයෙන් ඇති වු තුවාල සුව කරමින් ජාතීන් එක්සත් කිරීම සඳහා යුද්ධාවසානයේ ලද ස්වර්ණමය අවස්ථාවද ජනාධිපති මහින්ද රාජපක්ෂ නිරපරාදේ නාස්ති කර ගත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් තැන්වල ශ‍්‍රී ලංකා-විරෝධී ස්ථාවරයක සිටිතැයි පෙනී ගිය රටවල් සමග අර්ථවත් සංවාදයකට එළැඹීමටද රාජපක්ෂ රජය අසමත් විය. එහි ප‍්‍රතිඵලය වුණේ, තව තවත් අපේ රට ජාත්‍යන්තරයෙන් කොන් වීමයි. හුදෙකලා වීමයි. ඒ කෙතෙක්ද යත්, ඇතැම් ප‍්‍රකාශකයන් එදා ලංකාව හැඳින්නුවේ, ‘පාහර රටක්’ හෙවත් අසමත් රාජ්‍යයක් වශයෙනි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වශයෙන් පත්කර ගනිමින් 2015 ජනවාරි 8 වැනි දා බලයට පත් නව ආණ්ඩුව, යුද අපරාධ සම්බන්ධයෙන් එතෙක් අනුගමනය කෙරෙමින් පැවති ප‍්‍රවේශය මුළුමණින් වෙනස් කෙළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පසමිතුරු යෝජනා ගෙන ඒමට සහ සම්මත කර ගැනීමට සහාය දුන් ඇමරිකාව ප‍්‍රමුඛ රටවල්වලට එරෙහි හතුරු ආකල්පයක එල්බ සිටිනවා වෙනුවට, අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ ඇමති මංගල සමරවීර, නිවැරදිවම, එකී රටවල් සමග සාධනීය සංවාදයකට මුල පුරමින් අපේ විදේශ සම්බන්ධතා නව මානයකට යොමු කළහ.

ඒ මූලෝපායේ එක ප‍්‍රධාන කුළුණක් වුණේ, අධිකරණය ඇතුළු නීතිය ක‍්‍රියාත්මක කිරීමේ යාන්ත‍්‍රණය සහ රාජ්‍ය සේවය සමන්විත වන අපේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනික ව්‍යුහයේ තිබිය යුතු ස්වාධීනත්වය සහ අභිමානය යළි ස්ථාපිත කිරීමයි. ඊටත් වඩා, විදේශ සම්බන්ධතා ක්ෂේත‍්‍රය පැත්තෙන් ගත් විට, විදේශ සේවය නිර්-දේශපාලනීකරණය කොට ප‍්‍රතිසංස්කරණය කිරීමටත්, විදේශ සේවය සඳහා සුදුස්සන් පත්කිරීමටත් ඔවුහූ පියවර ගත්හ. අපේ ප‍්‍රශ්න දේශීය වශයෙන් විසඳා ගැනීමේ පූර්ණ හැකියාව අපට ඇති බව ජාත්‍යන්තරය වෙත සන්නිවේදනය කෙරුණේ එකී ක‍්‍රියාකලාපය හරහා ය. ඇත්ත වශයෙන්ම, යුද්ධයේ අවසාන දින කිහිපයේ සිදුවීම් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර පරීක්ෂණයකට තමන් ඉඩ නොතබන බව, මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡවකදී පෙන්වා දුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඒ සඳහා විශ්වසනීය දේශීය වගවීමේ යාන්ත‍්‍රණයක් හොඳටම ප‍්‍රමාණවත් බවත් කීය.

යෝජිත දේශීය යාන්ත‍්‍රණයක් පිළිබඳ එම යෝජනාව, පසුගිය දා ලංකාවට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියාතික කටයුතු භාර ඇමරිකානු සහාය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ට ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද්දේ එවැනි පසුබිමක් තුළ ය. ඊයේ මෙම පුවත්පත මගින් පෙන්වා දුන් පරිදි, ලංකාවේ නව ආණ්ඩුව විසින් සකසාගෙන ඇති වගවීමේ සහ යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රණය කෙරෙහි බිස්වාල් විසින් සතුට ප‍්‍රකාශ කරනු ලැබ තිබීම සාධනීය ලක්ෂණයකි. පවතින දේශීය යාන්ත‍්‍රණයන් තුළ සන්නද්ධ සේවා සාමාජිකයන්ට පූර්ණ දණ්ඩමුක්තියක් ලැබෙතැයි යන බිය දැනටමත් තුරන්ව තිබේ. යුද කලාපය තුළ කරන ලද අපරාධයක් වෙනුවෙන් සොල්දාදුවෙකුට මෑතකදී දඬුවම් පැමිණවීමත්, මාධ්‍යවේදියෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් තවත් හමුදා නිලධාරීන් හතර දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබීමත්, ඊට උදාහරණ දෙකකි.

ඇත්ත වශයෙන්ම, ශ‍්‍රී ලංකාවේ දේශීය වගවීමේ පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළත් සහාය පළ කිරීමට ඇමරිකාව සූදානම් බව මීට කලින් වාර්තා විය. එහි ඇති වැදගත් කාරණය වන්නේ, එම යාන්ත‍්‍රණය, (වැරදිකරුවන්ට) විපාක සලසන යුක්තිය පසිඳලීමකට වඩා, (වින්දිතයන්ට) ප‍්‍රතිසාධනීය යුක්තිය පසිඳලීමක් මත පදනම් වීමයි. එය, 90 දශකයේ දකුණු අප‍්‍රිකාව අනුගමනය කළ ක‍්‍රියා මාදිලියට සමාන වනු ඇත. දකුණු අප‍්‍රිකාවේ සහ ලංකාවේ අත්දුටු තත්වයන් සමාන නොවන බව සැබෑව. එහෙත්, ඒ තත්වයන් දෙකේ අත්දැකීම් අතර ඇතැම් සමානත්වයන් සේම, උගත හැකි පාඩම්ද තිබේ. මේ ක‍්‍රියාවලියේ ඇතැම් අංශවලට අදාළව යම් සහායක් ලබා දීමට දකුණු අප‍්‍රිකානු රජය එකඟ වී තිබීමත් මෙහිදී වැදගත් ය.

අතීතය දෙස ආපසු හැරී බැලීම, අනාගතයේ එවැනි ගැටුම් වළක්වා ගැනීම සඳහා ප‍්‍රයෝජනවත් වෙනවා සේම, විවිධ ජන කොටස් වශයෙන් අප අතර තිබෙන වෙනස්කම් පසෙක ලා ජාතියක් වශයෙන් ඉදිරියට යාමටත් ප‍්‍රයෝජනවත් වනු ඇත. ජාතික ඒකාග‍්‍රතා අමාත්‍යාංශයක් තිබුණද, පසුගිය ආණ්ඩුව ඒ අංශයත් මුළුමණින්ම නොතකා හැරියේය. ජාතික සංහිඳියාව පැත්තකින් තිබුණා වේ. දෙමළ භාෂාව කතා කරන ජනතාවට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම පවා එදා ආණ්ඩුව තහනම් කෙළේය.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ නව ආණ්ඩුව ජාතික සංහිඳියාව ඉතා බරසාරව භාරගෙන ඇත. එසේම, ‘ඒකාග‍්‍රතා සහ ප‍්‍රතිසන්ධාන’ සඳහා වන නව අමාත්‍යාංශයක් පිහිටුවීමටත් දැනට සැලසුම් කෙරෙමින් තිබේ. එසේම ජනාධිපතිවරයා, ජනතා දුක්ගැනවිලිවලට සවන්දීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වලටත් ගියේය. එය, හිටපු ජනාධිපතිවරයාගේ අධිකාරීවාදී සහ බහුතරවාදී උද්ධච්ච ආකල්පයෙන් සපුරා වෙනස්, තවත් මාවතකි. යුද්ධයෙන් විනාශ වූ ප‍්‍රදේශවල, හිටපු ජනාධිපතිවරයා විසින් යෝධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ බව ඇත්ත. එහෙත්, එම පළාත්වල ජීවත් වන වැසියන්ගේ හදවත් සහ සිත්සතන් දිනා ගැනීමට ඔහු මුළුමණින් අසමත් විය. එක ජනතාවක් සහ එක ජාතියක් වශයෙන් අප ඉදිරියට යා යුතුව ඇත්නම්, යුද්ධයෙන් බැටකෑ හදවත් සහ සිත්සතන් සුවපත් කිරීම සහ ජය ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය.

*2015 අගෝස්තු 29 වැනි දා ‘ඩේ නිව්ස්’ පුවත්පතේ පළවූ“A Positive Step” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.