18 September, 2020

Blog

විපක්ෂ නායක ප්‍රශ්නය හා ජාතිවාදී විකටරූප

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

මැතිවරණයෙන් පසුව රැස් වූ පාර්ලිමේන්තුව සඳහා විපක්ෂ නායකයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් මතභේදකාරී තත්ත්වයක් තිබුණද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඒ සඳහා තෝරාපත් කරනු ලැබීමෙන් එම ප්‍රශ්නය විසඳුනි. එහෙත් සිංහල සමාජයේ ඇතැම් පාර්ශ්ව තවදුරටත් මෙය ‘ප්‍රශ්නයක්’ කරගෙන සුපුරුදු ජාතිවාදී මැසිවිලිම නගමින් සිටින බවක් පෙනේ. ඔවුන් බොහෝ දෙනාට ‘දෙමළෙකු’ විපක්ෂ නායක වීම දරාගත නොහැකි සැටියකි. විපක්ෂ නායකකම දිය යුතුව තිබුණේ සම්බන්ධන් නමැති දෙමළාට නොව වෙල්ගම නමැති සිංහලයාට නොවේදැයි මගෙන් ප්‍රශ්න කළ එක් අයෙකුගෙන් මම පෙරළා මෙසේ ඇසුවෙමි: “රටේ ප්‍රශ්න කථා කළ යුතු උත්තරීතර පාර්ලිමේන්තුවේදී ගෑනු හුටපට ඇදබාමින් වලත්ත කතා කියන්නට ඉඩ ඇති වෙල්ගමට වඩා සම්බන්ධන් නරකද?” “නෑ ඉතිං, කොච්චර වුණත් සිංහලයෙක්නේ”. මා ලද ප්‍රතිචාරය එය විය. මේ තනි සිදුවීම, ‘කොච්චර වුණත් සිංහල’ පොදු දෘෂ්ටිවාදයේ කදිම සම්පණයකි. මෙවැනි මැසිවිලිවලින් පෙනී යන්නේ සිංහල-බෞද්ධ-පමණයි දෘෂ්ටිවාදය සැලකිය යුතු සිංහලයින් පිරිසකගේ ලේ මස් තුළටම කා වැදී ඇති බව නොවේද?

දළ වශයෙන්, ‘කොච්චර වුණත් සිංහල’ ජාතිවාදීන් කාණ්ඩ දෙකක් හඳුනාගත හැකිය. මෙය හුදෙක්ම මෙම ලිපියේ තර්කනය වෙනුවෙන් සිදු කෙරෙන දළ වර්ගීකරණයකි. මූලික වශයෙන්ම මෙහි ඉහළින්ම සිටින්නේ සිවිල් සමාජ මතය කෙරෙහි බලපෑම් එල්ල කිරීමේ හැකියාව ඇති දේශපාලඥයන් හා විවිධ පෞද්ගලික වරප්‍රසාද වෙනුවෙන් ජාතිවාදය මාර්කට් කරන පිරිස්ය. අන්තෝනියෝ ග්‍රම්ෂිගේ වචනවලින් කියනවා නම් අධිපති හෙජමනිය සඳහා අවශ්‍ය සමාජ අවනතිය සංවිධානය කිරීමේ සමාජ කාර්යභාරයක් ඉටු කළ හැකි පිරිසයි. තවමත් ඇතැම් අය රටේ දේශපාලනය හඳුනා ගන්නේ මාධ්‍ය හරහා මෙවැනි පුද්ගලයන් මවන ප්‍රවාදවලින් නිසා ඇතැම් සුවිශේෂි සිද්ධීන් ජනතාව වටහා ගත යුත්තේ කෙසේද යන්නට බලපාන මතවාද පතුරුවා හැරීම සිදු වන්නේ මේ අය අතිනි. විමල් වීරවංස, ගම්මන්පිල ආදීන් හුදෙක්ම කිසිම දේශපාලනික හරයකින් තොර ප්‍රෝඩාකාරයින් බව දැන දැනම වුණත් දෙමළාට එරෙහිව හඬ නගන විට ඔවුන්ගේ පැත්තේ සිට තර්ක කරන පුරවැසියන් පිරිසක් බිහි වී තිබෙන්නේද මේ අයගේ ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙනි.

Sampanthan - Mahinda - Colombo Telegraphඋග්‍රතර මහින්දවාදියෙකු හා සුළුතර විරෝධී සිංහල-බෞද්ධ මූලධර්මවාදී පිස්සෙකු වන මධුමාධව අරවින්ද නමැති ව්‍යාජ කලාකරුවා ඊයේ සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහනකද අරමුණ ලෙස පෙනෙන්නේ සිංහලයා අතර කේන්තිය හා වෛරය ඇවිස්සීම තුළින් දෙමළාට පහර ගැසීම බව බැලූ බැල්මටම පෙනී යයි (සාමාන්‍යයෙන් සැබෑ කලාකරුවා උත්සාහ කරන්නේ සමාජයේ ගිනි නිවීමට මිස නැති ගිනි ඇවිළුවීමට නොවන නිසා මෙවැනි ගොබ්බයින් ව්‍යාජ කලාකරුවන් ලෙස හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත. ගායනා හැකියාව තිබූ පමණින් කෙනෙකු කලාකරුවෙකු වන්නේද නැත. ඒ සඳහා හරවත් දෘෂ්ටිවාදයක්ද අවශ්‍යය). ඔහුගේ හිත හරියට රිදිලාලු! පවු! කෙසේවෙතත්, ”රට, ජාතිය, ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට” වුවද සූදානම් බව කියන මේ පළමු ගණයේ ජාතිවාදියෝ කිසිදු ලෙසකින් සිය රට හෝ ජාතිය හෝ ආගම තුට්ටුවකට මායිම් නොකරති. ඇත්ත තත්ත්වය නම්, මේ හැම දෙනාගේම අරමුණු ජාතිකවාදයෙන් ඔබ්බට ගිය පෞද්ගලිකවාදී ඒවා බවයි. මේ අයට අවශ්‍ය සිංහල-බෞද්ධකම ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිත පූජා කිරීම නොව, අන් අයට එසේ කරන්නට කියා තමන්ගේ මඩිය තර කර ගැනීමයි.

සිංහල ජාතිවාදීන් අතරින් තවත් පිරිසක් වන්නේ ගතානුගතික සංස්කෘතික-දෘෂ්ටිවාදීමය වහල්භාවය මත ජාතිවාදීන් බවට පත් වූ අයයි. වසර දහස් ගණනක ඉතිහාසය, බුද්ධාගම අභිබවා අන් ආගම් ඉස්මතු වීමට ඉඩ ඇත යන ප්‍රවාදය, ලංකාව කැබලිවලට කැඩීමට ඇති අවදානම ආදී මෙකී නොකී මායාවන්හි ගොදුරු බවට පත්ව සිටින පිරිසක් ලෙසද මේ අය හැඳින්විය හැකිය. මොවුන් බොහෝ කරුණුවලදී ‘හොඳ’ ගතිලක්ෂණ පෙන්නුම් කළද ‘කොච්චර වුණත් සිංහල’ දෘෂ්ටිවාදය ඔවුන්ගේ චින්තනයේ මූලික වටිනාකමක් බවට පත් කරනු ලැබ ඇත. මෙවැනි සිංහලයන් බොහෝ දෙනෙකුට ඇත්තේ තමාගේ පැවැත්ම පිළිබඳ නිරන්තර අවිනිශ්චිත හැඟීමකි. වෙල්ගම වැන්නෙකු විපක්ෂ නායක වැනි වගකීම්සහගත තනතුරකට පත් කිරීමට තබා ඒ ගැන කතා කිරීම පවා නොවැදගත් බව දැන දැනම වුවද එය ලබා දෙන්නේ දෙමළෙකුට නම්, ඊට වඩා වෙල්ගම තෝරාගත්තාට කමක් නැතැයි සිතන තැනට ඔවුන් පහත් වන්නේද මෙකී දෘෂ්ටිවාදීමය වහල්කමේ ප්‍රතිඵලයක් ලෙසය.

වත්මන් තත්ත්වය දෙස බලන කල මේ දෙවන කාණ්ඩයේ සිංහල ජාතිවාදීන්ට යුද්ධය නමැති සංසිද්ධිය සමග පුදුමාකාර මානසික බැඳීමක් තිබේ. ඔවුන්ට එයින් සහමුළින්ම ගැලවී සිටින්නට ආත්ම ශක්තියක් නැති තරම්ය. සෑම දෙමළ වැසියෙකුම කොටියෙකැයි කීමට අවශ්‍ය නැති වුවද ඕනෑම දෙමළ ජාතිකයෙකු ස්වභාවයෙන්ම කොටි හිතවාදී (බෙදුම්වාදී?) අදහස් වෙත ආශක්ත වීමට ඉඩ ඇතැයි සිතන්නට ඔවුහු පෙළඹෙති. එහෙත්, ඇත්ත වශයෙන්ම රට, ජාතිය, ආගම ගැන ඔවුන් තුළ ඇති ‘ඇල්ම’ ද අවංක එකක් නොව තම පෞද්ගලික පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්ම බව මේ අයට වැටහෙන්නේ නැත. මොවුන්ට යුද්ධය සමග ඇති ගනුදෙනුව ‘බෝම්බ බියකින් තොරව බස් රථයක ගමන් කිරීමට නොහැකි වීම, පාසල් හෝ ටියුෂන් පන්ති ගිය දරුවා පෙරළා ගෙදර එනතුරු හිතේ පවතින දෙගිඩියාව, හමුදා සොල්දාදුවන් මරණයට පත් වීම, සිංහල දේශපාලඥයින්ව ඝාතනය කරනු ලැබීම’ ආදී ප්‍රශ්නමය-රාමුවක් මත සිර වූවක් මිස මානව හිතවාදය ගරු කරන යුධ විරෝධයක් මත පදනම් වූවක් නොවීය. බොහෝ දෙනෙකුට යුද්ධය ත්‍රාස චිත්‍රපටයකින් එහාට ගිය දෙයක් නොවූ බව පිළිගන්නටද මොවුන් කැමති නොවන්නට ඉඩ ඇත. රැකියාවට ගොස් නිවසට පැමිණ සිය පවුලේ උදවිය සමග සතුටින් කල් ගත කරන අතර රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නරඹින් ‘යුධ ජවනිකා’ දෙස ඇස් ලොකු කරගෙන බලා සිටි බොහෝ අය එසේ කළේ බත් පිඟානද අතේ තබාගෙන බව අමතක නොකිරීම තුළම ගැඹුරු අරුතක් දැනවෙන බව අමතක නොකරන්න!

මේ ජාතිවාදය සමග ඉතාම කිට්ටු සම්බන්ධයක් තිස් වසරක යුද්ධයට තිබුණද යුද්ධයේ සැබෑම ගොදුරු ලෙස ගිණිය හැකි සිංහල, දෙමළ, මුස්ලිම් වැසියන්ට ඇත්තෙන්ම තිබුණේ මේ අයට තිබුණා මෙන් දරුවා පාසලට හෝ ටියුෂන් පන්තියට යැවීම, කරදරයකින් තොරව ගමන් කිරීම ආදී ‘මධ්‍යම පාන්තික’ අවශ්‍යතා ඉක්මවා ගිය, ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න බව පිළිගැනීමට බොහෝ දෙනෙකුට අසීරු විය හැක. එහෙත්, භෞතික වශයෙන් යුද්ධයෙන් පීඩා විඳි බොහෝ දෙනා රෑ එළි වන තුරු බංකරවල සැඟවී දරු දැරියන් සමග ජීවිතය යැදූ පිරිසක් බවත්, ඊළඟ තත්පරයේදී සිදු වන්නේ කුමක්ද යන්න ගැන කිසි හැඟීමකින් තොරව සිටි ඒ බොහෝ දෙනාගේ ජීවිතවල බලාපොරොත්තුව මේ දැන් ගත කරමින් සිටින තත්පරයටම සීමා වූවක් වූ බවත් බහුතරය නියෝජනය කරන, ඒ නිසාම දෘෂ්ටිවාදීමය ‘අධි ආරක්ෂිත කලාපවල’ සැඟවී සිටින දකුණේ සිංහල මනසට ගෝචර නොවීම ඛේදයකි. මේ අයද යුද්ධයේ බලපෑමට ලක් නොවූ බව මින් අදහස නොවේ. එහෙත්, එහි ඍජු පීඩනයට ලක් වූ වැසියන් සමග සසඳන කල මා ද අයත් දකුණේ සිංහල බහුතරයට තිබුණේ සිය පෞද්ගලික සුඛවිහරණයට ඇති වූ බාධාවන් රැසකි. ඔවුන්ට එය මහමෙරක් සේ පෙනෙන්නට පුළුවන. එහෙත්, දකුණේ එකම සිංහලයෙකුවත් යුද්ධය නිසා සිය දරුමල්ලද ඇදගෙන ගෙවල් දොරවල් යකාට ගියාවේයි සිතා රාත්‍රී කාලයේ බංකරවල ලගින්නට ගියේ නැති බව පිළිගන්නට සංස්කෘතිකමය මැදහත්කමක් හා බරපතල ආත්ම ශක්තියක් ඔබේ සිතේ කොතනින් හෝ ඇහිඳ ගන්නා තුරුම ඔබේ ඉරණම මෙම වහල්භාවය තුළම ගිලී පවතිනු ඇත!

අනෙක් අතට, යුද්ධය අවසන් වූ සැණින් දකුණේ සිංහලයාගේ ‘යුද බිය’ තුරන් වුවද උතුරේ දමිළ ජනයාගේ ජීවිත සාමාන්‍ය මිනිස් ජීවිත තත්ත්වයට අද වන තුරුම පරිවර්තනය වී තිබේද? යුද්ධය අවසන් වූ සැණින් වාහන කුලියට ගෙන, නැතහොත් තම පෞද්ගලික වාහනවලින් ‘තිස් වසරක රණබිම නරඹන්නට ආතල් සවාරි’ ගිය අයුරු දකුණේ සිංහල බහුතරයට අමතකද? මෙවැනි පසුබිමක් තුළ යුද්ධයේ අයුතු ප්‍රතිඵල වාසිදායක ලෙස නෙළා ගන්නට තැත් කිරීමම මානුෂීය සීමා ඉක්මවන්නේ නැතිද?

ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව බිහි වූ දුෂ්ටතම පාලකයා පමණක් නොව සමස්ථ ලෝක ඉතිහාසයම තුළ මේ තරම් බාල්දු වූ එකම හිටපු රාජ්‍ය නායකයාද ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂ සිය දේශපාලනික ව්‍යාපාරයෙහි වැදගත්ම කොටසක් වූ ජාතිවාදය වැපිරවීම තුළින් සිංහල-බෞද්ධ මනසට ආමන්ත්‍රණය කිරීම සඳහා සිය ශ්‍රාවකයා ලෙස තෝරා ගත්තේද ගතානුගතික දෘෂ්ටිවාදීමය වහල්කමයි. නැතහොත්, දෙමළාට හෝ මුසල්මානුවාට සම තැන් දීමෙන් සිංහල ජාතිය වඳ වීම පිළිබඳ අනියත භීතිකාවයි. ලෝක ඉතිහිසායේ බොහෝ ඒකාධිපතියෝ මෙවැනි භීතිකා පතුරුවා හැරීම සුලභ දේශපාලනික උපක්‍රමයක් ලෙස භාවිත කර ඇත්තාහ!

බොහෝ අය සම්බන්ධන් විපක්ෂ නායක වීම පිළිබඳ අදහස් දක්වන්නේ මෙම කුහක දෘෂ්ටිවාදීමය පදනම මත පිහිටාය. එහෙත්, තමන් දමිළ වැසියන්ගේ මතු නොව සිංහලයන්ගේද ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බව සිංහලෙන්ම කීමට සම්බන්ධන් කටයුතු කර තිබේ. දැන් දකුණේ සිංහල බහුතරයට තවදුරටත් මේ ගැන ඇති භීතිකාව කුමක්ද? මොවුන්ගේ තර්කය දමිළයෙකු විපක්ෂ නායක වීම තුළ සිංහලයාගේ පැවැත්මටත්, රටේ ස්වෛරීභාවයටත්, තම දරුවන්ගේ ආනගතයටත් තර්ජනයක් එල්ල වන බව ඔවුන් පළ කරන අදහස් විමසීමෙන් පෙනේ. එහෙත්, මෙතුවක් කාලයක් මෙරට දමිළ වැසියාටද මේ බියම, දෙගිඩියාවම, අසරණකමම තිබෙන්නට ඇත යන්න මේ අය සිතා බැලීම වැදගත්ය. සිංහල දේශපාලනික ආධිපත්‍යයක පාලනයට නතු රටක විපක්ෂ නායකයා වශයෙන් දෙමළෙකු පත් වීම ගැන මොවුනට මේ තරම් බය නම්, දෙමළාගේ බිය කොතරම්දැයි අනුමාන කළ හැකි විය යුතුය.

මේ දක්වා නියෝජනය කළ වාර්ගික පදනමෙන් මිදී සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය මත පිහිටන දේශපාලනයක් වෙනුවෙන් කැප වීම තුළින් දමිළ ජනයා වෙතද කිසියම් ජාතික වටිනාකමක් ලබා දෙන්නට අවස්ථාවක් සම්බන්ධන්ටද උදා වී තිබේ. දැන් ඔහුගේ භූමිකාව අතිශය තීරණාත්මක එකකි. ලංකාවේ සිංහල හා දමිළ යන ජනවර්ග දෙකම සඳහා එය වැදගත්ය. අපි ඔහුගේ හැසිරීම දෙස බලා සිටින අතරම මේ ඓතිහාසික අවස්ථාවෙහි ජාතිවාදයට එරෙහි දෘෂ්ටිවාදය මහත්මා සමාජ විලාසිතාවක් බවට පත් කිරීමට කැප වෙමු. ‘මම ජාතිවාදයට විරුද්ධ වන අතර බහුවාර්ගික ප්‍රජාතන්තය ගරු කරමි’ යැයි කීම ආඩම්බරයටත්, අභිමානයටත් හේතුවකි යන හැඟීම සමාජගත කළ දිනෙක ප්‍රජාතන්ත්‍ර-විරෝධී ජාතිවාදී පිස්සන්ගේ කටවල් වැසී යනු ඇත. මන්ද, එවිට ජාතිවාදී අදහස් දැරීම සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත් වීම හේතුවක් යැයි බොහෝ දෙනා සිතන නිසාය!

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    [Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.