18 June, 2026

Blog

බෞද්ධ භික්ෂුව ප්‍රශ්න කල නොහැකිද?

ඊ.එම්. තිස්සකුමාර –

ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුව ප්‍රශ්න කල නොහැකිය; විචාරයට, විවේචනයට බදුන් කල නොහැකිය; එසේ කිරීම නුසුදුසුය යන අදහසක් පසුගිය කාලයේ භික්ෂු සමාජය අතරින්ම වරින්වර මතුවිය. සෘජුවම දේශපාලන පක්ෂයකට සම්බන්ධ එක් භික්ෂුවක් කීවේ චීවරයට අත තැබීමට කිසිවෙකුට හෝ නොහැකි බවයි. මේ අදහස් මතුවෙන්නේ ද සමහර භික්ෂූන් ගේ ආගමික හා සමාජ දේශපාලන චර්යාවන්, මතවාද තියුණු ලෙසින් ප්‍රශ්න කරන විටදීය.

එසේ විවේචනයෙන් මුක්තිය ලැබිය යුතු යැයි ඉල්ලා සිටින්නේ ඔවුන් බෞද්ධ භික්ෂූන් වීම නිසාය. බුද්ධ චීවරය දරා සිටින්නේය අදහස් කරන නිසාය. එසේ වුවද විවේචනය මතුවන්නේ ද බුද්ධ චීවරය දරා සිටින භික්ෂු කෙරෙහි වීම වැදගත්ය. ප්‍රශ්න කල නොහැකි හා රටේ සුවිශේෂ සමාජ ආගමික ප්‍රජාවක් ලෙස තමන්ට සලකන මෙන් ඉල්ලන්නේ සමාජ සංස්කෘතික බල ධූරාවලියේ ඉහලම තැනක තමන් සිටින බව; බෞද්ධ ජනතාව ගේ, ආණ්ඩුවේ අනුශාසකයන්, මගපෙන්වන්නන් තමන් බව විශ්වාස කරන හෙයිනි. පසුගිය දිනෙක එක් භික්ෂුවක් ප්‍රකාශ කළේ රජවරුන් සිහසුනට පත්කලෙත් ඉවත්කලෙත් භික්ෂූන් බව ආණ්‌ඩුව සිහි තබාගත යුතු බවයි. මහාවංශය කියවන විට ඒ භික්ෂුව කියූ ආකාරයේ සිදුවීම් කිහිපයක් හමුවෙන අතරම ඒවාට එරෙහිව ලැබුණු ප්‍රතිචාර ද අමිහිරි බව සොයාගත හැකිය. එසේම රජවරු විසින් තත්කාලීන භික්ෂු සමාජය ප්‍රතිශෝධනයට ලක්කල අවස්ථා ද පවතී. වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තුල ආණ්ඩුව පත්කරන්නේ රටේ බහුතර මහජනතාව මිස භික්ෂූන් පමණක් නොවේ. එහෙත් මහජනයා තුල අදහස්මය වශයෙන් භික්ෂු ප්‍රජාවේ බලපෑමේ හැකියාව නොසලකා හැරිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය නිදසුනකි.

බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේදී වුව භික්ෂූන් අරභයා එවක සමාජය තුලින් විවේචන නැගුණේය. බුද්ධකාලීන භික්ෂූන් ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිටින නමුත් එයින් යැපීම සම්බන්ධව සමාජය තුල යම් ආකාරයක විවේචනයක් පැවතියේය. එපරිද්දෙන්ම ධර්මය, භික්ෂු චර්යාව, කෙරෙහි නොසතුටට පත්වූවන් ගේ දෝෂාරෝපණ ද වූයේය. බුදුන් වහන්සේට දෝෂාරෝපණය කල අවස්ථා පිළිබඳ තොරතුරු සූත්‍ර පිටකයෙන් අනාවරණය වේ. එසේම තත්කාලීන රාජ්‍ය නීතියට එපිටින් භික්ෂුව සිටින බව බුදුන් වහන්සේ දේශනා කළේ නැත. රාජ ධර්මය සහ පුද්ගල විමුක්තියේ අභිලාෂ වෙන් වෙන්ව තබා ගැනීමට කටයුතු කළේය.

බුදුන් වහන්සේ ගෙන් ආරම්භ වූ ධර්ම ප්‍රතිපදාව පස්වග මහණුන් සමග සංඝ සමාජය ක්‍රමයෙන් ගොඩනැගුනේ නිර්වාණය අවබෝධය සාක්ෂාත් කරගැනීම අරමුණු කරගෙනය. උන්වහන්සේ ජීවමානව සිටි මුල් කාලයේදී එයට වඩා අරමුණක් වූයේ යැයි කිව නොහැකිය. එවන් පිරිසක් වෙනුවෙන් විශේෂ වූ විනය ශික්ෂා පැනවීමට අවශ්‍ය නොවීය. නමුත් ක්‍රමයෙන් භික්ෂු ප්‍රජාව වැඩිවත්ම අවශ්‍යතාවයන් අනුව යථානුරූපීව විනය ශික්ෂා පැනවීමට බුදුන් වහන්සේට සිදුවිය. බුද්ධකාලීන සංඝයා සමාජ ජීවිතයෙන් බැහැරව හුදෙකලාව වනගතව මුලු ජීවිත කාලයම ගත කළේ නැති අතර සමාජය තුල සිටිමින්ම ගිහියන් හට ධර්මාවබෝධය ලබාදුන්නේය. එහෙත් තම නිර්වාණගාමී අරමුණෙන් බැහැරව නොගියේය. බුදුරදුන් දේශනා කලේ බහුජනතාවගේ හිත සුව පිණිස සැරිසරමින් දහම් දෙසන ලෙසය. නිවන් මග අවබෝධය පිණිසය. එනම් පුද්ගල විමුක්තිය සාධනය කිරීම පිණිස වුවත් එය සමාජමය කාර්යයක් විය. සමාජය සමග අන්තර් සබඳතා ඇතිවීම සිදුවිය.

ක්‍රි. පූ. හයවන සියවස බුදුරදුන් ජීවත්ව සිටි කාලය යැයි සැලකූ විට එතැන් සිට වසර දෙදහස් හයසීය පුරා සංඝ ශාසනයේ සිදුවූ වෙනස්වීම් විපර්යාසයන් නිසා නිවන් අරමුණට වඩා වෙනස් ලෞකික අරමුණු ද ඇතිවිය. ලංකාවේ මහාවංශය ඇතුළු වංශකතාවලිය පිරික්සන විට භික්ෂූන් රාජ්‍ය කටයුතුවලට මැදිහත්වීම, රජුන් සිහසුනට පත්කිරීමට මැදිහත්වීම පමණක් නොව ලංකාව ආක්‍රමණය කල විදේශ බලවේග වලට එරෙහිව කල සටන් ව්‍යාපාර වලට විවිධාකාර ලෙසින් සම්බන්ධ වීම, දේපළ පරිපාලනය වැනි අවස්ථා බොහෝමයක්ම සොයාගත හැකිය. අනෙක් අතට රජු, රාජ්‍ය තන්ත්‍රය තත්කාලීන භික්ෂු සමාජය හා එහි චර්යාවන් කෙරෙහි දැක්වූ ප්‍රතිරෝධාත්මක, විවේචනාත්මක ප්‍රතිචාර ද එහි දැක්වේ. මහාවිහාර ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට වෙනස් බෞද්ධ සම්ප්‍රදායන් වෙත රාජනුග්‍රහය ද ලැබී සියවස් ගණනක් මෙරට පැවතියේය.

19 වන සියවසේදී සියම් නිකායේ රදළ ගොවිගම කුල ආධිපත්‍යයට එරෙහිව අමරපුර නිකාය බිහිකිරීමේ නායකත්වය ගත්තේද භික්ෂුන් (සහ පහතරට ධනවත් ව්‍යාපාරිකයන්) විසිනි. සියම් නිකායික ආගමික ක්‍රියා පිළිවෙත් පිළිබඳව සිංහල බෞද්ධ ගිහි ජනතාව පමණක් නොව බෞද්ධ භික්ෂූන් ද බලවත් විවේචන එල්ල කළෝය. මහාචාර්ය උයන්ගොඩ මෙම ප්‍රයත්නය සිංහල සමාජයේ සිදුවූ පළමුවැනි සමාජ විප්ලවය ලෙස හඳුන්වයි. ඒ සියවසේදීම ඇතිවූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර, බ්‍රිතාන්‍ය යටත්විජිත විරෝධී සමාජ දේශපාලන සංස්කෘතික ව්‍යාපාර තුල බෞද්ධ භික්ෂුව ගේ පුරෝගාමීත්වය හා බලපෑම අතිමහත් වූ බවද එයින් පසුකාලීනව මෙරට සමාජ දේශපාලන ව්‍යාපාර ගොඩනැඟීමේ අනුබලය ලබාදුන් බවද සඳහන් කල යුතුය.

1948 නිදහසින් පසුව ගෙවුණු දශක හත තුළද ලංකාවේ සමාජ දේශපාලන සංස්කෘතික ක්ෂේත්‍ර තුල සෑම සිදුවීමක් තුල බෞද්ධ භික්ෂුව මැදිහත්කාරකයෝ වූහ. එයින් ලද ප්‍රතිඵල හොද හෝ නරක වූවත් ඒ මැදිහත්වීම තත්කාලීන සමාජ සන්දර්භය තුල තබා විනිශ්චය කල යුතුය. වාමාංශික , දක්ෂිණාංශික කවර දේශපාලන ප්‍රතිපදාවන් වුව ලංකාවේ ඉරණම තීරණය වන අවස්ථාවල භික්ෂුව ගේ සමාජ දේශපාලනමය මැදිහත්වීම තීරණාත්මක විය. ඒ සෑම අවස්ථාවකම බුදුන්ගේ නිර්වාණගාමී මාර්ගය වෙනුවට/සමඟම භික්ෂුව තෝරාගත්තේ සමාජ දේශපාලන මාවත්ය. භික්ෂු දේශපාලනය පිළිබඳව නිදහසින් පසු අවධියට අවධානය යොමුකළ හොත් විද්‍යාලංකාර විශ්ව විද්‍යාල විශේෂයෙන්ම වල්පොල රාහුල, යක්කඩුවේ ප්‍රඥාරාම, උඩකැන්දවල සරණංකර වැනි භික්ෂූන් ප්‍රධාන කරගත් මතවාදීමය මැදිහත්වීම භික්ෂූ දේශපාලනය පරමාදර්ශයක් බවට පත්විය. ඒ භික්ෂූ දේශපාලනය එදා ද විවේචනයට භාජනය විය.

ක්‍රමයෙන් විහාරස්ථාන තුල ගොඩනැගුණ අදටත් පවතින ලෞකික ජීවනාදර්ශයක් සහිත භික්ෂූ ජීවිතය ගිහි සමාජයට රහසක් නොවේ. එය ඉවසන, එම ජීවිතයට වුවමනා පහසුකම් නොමදව සපයන, ධනවත් බෞද්ධ ගිහි ප්‍රජාවක් ද සිටිති. අනෙක් අතට නිර්වාණගාමී මාවතෙන් බැහැරව ගතකරන සුඛෝපභෝගී කාමසුඛල්ලිකානු භික්ෂු ජීවිතය සමහර ගිහියන්ගේ දැඩිතර විවේචනයට භාජනය වෙයි. බාහිර සමාජයේ ගිහියන්ට අල්පේච්ඡතාව, අත්හැරීමේ කුසලය දේශනා කරන විට ඒ සංකල්ප පමණක් නොව භික්ෂුව ද සෝපාහාසයට ලක්වන්නේ එහෙයිනි.

බොහෝ භික්ෂූන් කවර දේශපාලන පක්ෂයේ නායකයාගේ අනුගාමිකයෙක් ද අන්තේවාසිකයෙක් ද යන්න සමාජයේ සම්මත වී ඇත්තේ නම කියූ පමණින් ඒ භික්ෂූන් හඳුනාගැනීමට හැකිවන ලෙසය. එක් ප්‍රචණ්ඩකාරී හැසිරීම් දක්වන භික්ෂුවක් ප්‍රසිද්ධියේ කීවේ තමන් පැවිදිව ඇත්තේ රාජපක්ෂ නිකායේ බවය. රාජපක්ෂ විරෝධී දේශපාලනයේ යෙදෙන්නන් ගේ දරුණු ප්‍රහාරයකට අපහාසයකට ලක්වූ ඒ භික්ෂුව කවදත් දේශපාලනිකව රාජපක්ෂවාදය පිළිපැද සිටින්නෙකි.

භික්ෂුව යැපෙන්නේ ගිහියන්ගේ දානයෙන්, ඇප උපස්ථානයෙන් නිසා භික්ෂුව ගේ චර්යාවන් විවේචනය කිරීමේ අයිතිය ගිහියන්ට තිබෙන බව එක් අදහසකි. වර්තමානයේ සමහර විහාරස්ථාන ගිහියන්ගෙන් යැපෙන්නේ නැති ධනයෙන් හා දේපල හිමිකමෙන් යුතුය; භවභෝග නිෂ්පාදනය කරන ස්වයංපෝෂිත ඒවාය; රජයේ ගුරුවෘත්තියේ යෙදෙන වැටුප් හා විශ්‍රාම වැටුප් හිමිකම ඇත්තේය; තැන්පත් ධනයක් හා එයින් උපදනා පොලියෙන් දෛනික අවශ්‍යතා සියල්ල ඉටුකර ගැනීමට සමත්ය; සමාජ දේශපාලන සබඳතා ජාලයකින් යුතුය; මූල්‍ය, සමාජ, දේශපාලන බලය සහිත දේශීය හා විදේශීය ධනවතුන්ගේ සබඳතා සහිතය; එනිසා තමන්ගේ චර්යාවන් ගැන ගිහියන් ගේ විවේචනය තමන්ට අදාළ නොවන බව ඒ භික්ෂූන් ගේ අදහස බව පැහැදිළිය. එසේවුවද මෙවන් භික්ෂූන් අදහස් හා චර්යාවෙන් සමාජය තුල ප්‍රබල බලපෑමක් ඇතිකරන හෙයින් ගිහියන්ගේ විවේචනයෙන් ගැලවීමට නොහැකිය. තේරුම්ගත යුත්තේ ගිහියන්ගෙන් යැපුනේ වුනත් නැති වුවත් භික්ෂූන් තමන් ජීවත්වන සමාජයට යම් බලපෑමක් කරන්නේ නම් ඒ පිළිබඳව නැගෙන විවේචන ස්වාභාවික බවය. යුක්ති යුක්ත බවය. ඒ විවේචන වලින් මිදීමට නොහැකි බවය.

භික්ෂුව සම්බන්ධ සමාජ විවේචනය ආගමික, සමාජ දේශපාලන සංස්කෘතික චර්යාව මූලික කරගෙන ඇත. නිර්වාණගාමී ප්‍රතිපත්ති වලින් බැහැරවීම ගැන නැගෙන විවේචන එල්ල වන්නේ බාහිර ගිහි සමාජයේ අධ්‍යාත්මික පිරිහීමට වගකිව යුතු පාර්ශ්වය වන්නේ භික්ෂු ප්‍රජාව යැයි යන අදහස මතය. එනම් අධ්‍යාත්මික විමුක්තිය සඳහා ගිහි සමාජයට මඟපෙන්වීමට අසමත්වීම; බුදුන් වහන්සේ අනුදැන වදාළ සමාජ සමාජ කාර්යයෙහි අසමත්වීම පිළිබඳවය. විශම හා සම ලිංගික සේවනය සම්බන්ධව භික්ෂූන් වෙත එල්ලවූ බලවත් සමාජ විරෝධය විවේචනය කෙතරම් බලවත් ද යත් සමහර අවස්ථාවල දී භික්ෂූන්ට පහරදී විහාරස්ථාන වලින් පලවා හැරීම් සිදුවූ අතර ඒවාද, වංචා සහගත ව්‍යාපාර වල යෙදීම, නිදන් හෑරීම ආදී සමාජ විරෝධී කටයුතුවල යෙදීම හේතුකොට ගෙන බොහෝ භික්ෂූහූ බන්ධනාගාර ගතවී සිටිති. මේ සමස්ථ සමාජ විරෝධී කටයුතු නිසා මුළුමහත් භික්ෂූ ප්‍රජාවම විවේචනයට ලක්ව ඇත. එපමණක්ද නොව අධර්මය බැබලී ධර්මය යටපත් වන්නට පෙර, අවිනය බැබලී විනය යටපත් වන්නට පෙර ධර්මය හා විනය සංගායනාවක අවශ්‍යතාවය මතුකරන්නේ ද සමාජය වෙතිනි. එයින් ප්‍රකට වන්නේ සමස්ථ භික්ෂු සමාජය වෙත දක්වන නොසතුට බව තේරුම්ගත හැකිය.

ජාතිවාදී, ජාතිකවාදී, වාමාංශික, දක්ෂිණාංශික ආදී විවිධ දේශපාලන මතවාද අදහස් දරන හා සෘජුවම විවිධ දේශපාලන පක්ෂ සාමාජිකත්වය දරන භික්ෂූහු බොහෝ වෙති. 2004 වසරේ මහමැතිවරණයේදී ජාතික හෙළ උරුමය පක්ෂයෙන් භික්ෂු මන්ත්‍රීවරුන් අටදෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්විය. මෑතකදී වාර්තා වූයේ එක් භික්ෂුවක් විසින් එක් දේශපාලන පක්ෂයක ආසන සංවිධායක ධුරයක් ලබාගත් බවය. බුද්ධ වචනය පරයා දේශපාලන මතවාද හිස දරාගැනීම ගැන සමාජ විවේචනයක් සැදැහැවන්ත බෞද්ධයන් වෙතින් තිබෙන්නේය. ඒ විවේචනයට එක් හේතුවක් වන්නේ නිර්වාණගාමී මාර්ගයෙන් විතැන්වීමය. අනෙක ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දැරීමය; දේශපාලන පක්ෂ සාමාජිකයන් වීමය. නමුත් භික්ෂුව යනු මේ සමාජයේම කොටසක් බැවින් සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් හුදෙකලාව සිටිය නොහැකිය.

මේ කවර භික්ෂුවක් වුවද සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයේ, ආගමික ක්‍රියාකාරීත්වයේ යෙදෙන තාක් ඔවුන්ගේ චර්යාවන්, අදහස්, මතවාද සමස්ථ සමාජයටම බලපාන්නේය. එනිසාම භික්ෂුව දෙස විචාරක්ෂියෙන් යුතු විවේචනයෙන් යුතු ගිහියන් ගෙන් යුතු සමාජයක් පවතින්නේය. ඒ සමාජ විචාරයෙන් ගැලවීමට ආරණ්‍ය වාසී වුවත් ග්‍රාම වාසී වුවත් භික්ෂු ප්‍රජාවට නොහැකිය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.