19 May, 2026

Blog

රජය සහ ප්‍රකාශනයේ නිදහස

ඊ.එම්. තිස්සකුමාර –

දෙමළ භාෂාවෙන් ලියනා ශ්‍රීලංකාවේ සාහිත්‍යධරයෙකු වු, දීපචෙල්වන් ගේ කෘති හතරක පිටපත් තුන්සිය හැටක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවට ලක්කිරීම උදෙසා රදවා ගැනීම මහත් උණුසුම් හා මතභේදාත්මක මාතෘකාවක් බවට පත්විය.

ඔහුගේ නාඩුගල් නැමැති දෙමළ නවකතාව, ස්මාරක ශිලාවත නමින් ජී.ජී. ආනන්ද සරත් විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.

ලංකාවට බැහැරින් ගෙන්වන පොතපත රදවාගෙන, රේගුව වෙත ලබාදී ඇති නීතිමය බලතල ප්‍රකාරව, පරීක්‍ෂාවට ලක්කිරීම සාමාන්‍ය තත්ත්වයක් බව පැවසේ. ආණ්ඩුවේ සහ එහි ආරක්ෂකයන් ගේ මූලික අදහස ද එයවේ. එහි සත්‍යයක් පවතින අතර එම නීති ජාජබ ආණ්ඩුව පැනවූ ඒවා නොව දශක කීපයක සිට ක්‍රියාත්මක වන ඒවා වන අතරම පෙර රජයන් හා ජාජබ රජය ද එම නීති පද්ධතිය වෙනසක් නොකර අනුගමනය කරයි.

මේ ආකාරයෙන් බැහැරින් ගෙන්වන පොතපත රේගු පරීක්‍ෂාවට ලක්කිරීම ලොව බොහෝ රටවල විවිධ ආකාරයට සිදුවේ. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන, වාර්ගික ආගමික ගැටුම් අවුළුවන ආකාරයේ කෘති පමණක් නොව පවතින රාජ්‍ය මතවාදයන්ට අභියෝගයක් වන කෘති ද ඇතුලත් කර නොගන්නා බොහෝ රටවල් පවතී. එසේම එවැනි දැඩි පාලනයකින් තොරව නමුත් යම් ආකාරයක පරීක්‍ෂාවට භාජනය කරන රටවල් කිහිපයක්ද ඇත. පැහැදිළිවම ලොව බහුතර රටවල් සංඛ්‍යාවක් දැඩි රේගු නීතිමය රාමුව තුල පොතපත පරීක්‍ෂාවට ලක්කරයි , තහනම් කරයි.

දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රදවා ගැනීම ගැන ජාජබ රජයට සහ සංස්කෘතික ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත බලවත් විරෝධයක් ඇතිවූයේය. එහි මූලිකත්වය ගත්තේ වාමාංශික පක්ෂ හා ඒවායේ ක්‍රියාකාරීන්, සාහිත්‍යධරයන් ඇතුළු සංස්කෘතික ක්‍රියාධරයන්, සමාජ මාධ්‍යකරුවන්, මාධ්‍යවේදීන්, මතවාදීමය මැදිහත්වීම් සිදුකරන බුද්ධිමතුන්ය. ඔවුන්ගේ විරෝධයේ සහ විවේචනයේ සාරය වන්නේ ජාජබ ආණ්ඩුව වැන්නක් වෙතින් එවැන්නක් සිදු නොවිය යුතු බවත්, එනම් අදහස් ප්‍රකාශනයේ අයිතිය නිර්බාධිතව ආරක්ෂා කිරීම ආණ්ඩුව කල යුතු බවත්ය. පෙර පැවති ආණ්ඩු මේ ආකාරයට අදහස් ප්‍රකාශනයේ නිදහස අවහිර කල සැමවිටම එවකට විපක්ෂයේ සිටි ජවිපෙ/ජාජබ පක්ෂයද එහි නායකත්වයද ඒ මර්දනයට එරෙහිව නැගී සිටිය හෙයින් වර්තමානයේ ආණ්ඩු බලය හොබවන ඔවුන් ඒ මර්ධනීය ආකාරයට කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත්ය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් ක්‍රියාකරන බවට පොරොන්දුවී, එයට සුවිසල් මහජන අනුමැතියක් ලද ජාජබ ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කිරීම ඒ අනුමැතිය නොසලකා හැරීමක් බවය. ඒ අනුව චෙල්වන් ගේ රදවාගෙන ඇති කෘති සියල්ල පරීක්‍ෂාවකින් හෝ අවහිරයකින් තොරව නිදහස් කිරීමට ඇමතිවරයා හා ආණ්ඩුව මැදිහත් විය යුතු බවය.

එසේම රේගුව විසින් චෙල්වන් ගේ කෘති රදවාගැනීම මත ආණ්ඩුවට එරෙහිව නැගෙන චෝදනා නිෂ්ප්‍රභා කරමින් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සහ එහි ස්ථාවරය සාධාරණීකරණය කිරීමට සමාජ දේශපාලන විචාරකයන්, සාහිත්‍යධරයන්, සමාජ බුද්ධිමතුන් බොහෝමයක් ද අදහස්මය මැදිහත්වීම් කරන ලදී.

දෙපාර්ශ්වයම තවමත් සටන් බිම අත්හැර ගොස් නොමැත.

පරමවූ, නිරපේක්ෂ ප්‍රකාශනයේ නිදහසක් ජාජබ ආණ්ඩුව වෙතින් විරෝධතාකරුවන් අපේක්ෂා කලද එමගින් චෙල්වන් ගේ කෘති සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට ඉල්ලීම් කලද ඒ අනුව ආණ්ඩුව කටයුතු නොකළේය. සංස්කෘතික ඇමතිවරයා සමඟ චෙල්වන් හා ඔහු වෙනුවෙන් පෙනී සිටින්නන් ගේ හමුව නිමාවූයේ ද විසඳුමක් රහිතවය. ජාජබ ආණ්ඩුව චෙල්වන් ගේ ගැටලුව ඇතුලත සිරවී සිටින බව සැබෑය. රේගුවට අදාළ නීතිමය අයිතිය හා පරිචයන් අභිබවා ගොස් පොත් සියල්ල නිදහස් කිරීමට නියෝග කිරීමට ආණ්‌ඩුව හා ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නැත. කොටින්ම රේගුවේ ක්‍රියා පිළිවෙත වෙනස් කිරීමට දේශපාලන බලය යොදවන්නේ නැති බව පෙනෙයි. එසේ කළහොත් නීතියේ විධානය ආරක්ෂා කිරීම ගැන ආණ්ඩුව කියන කතා සියල්ල බොරු වන්නේය. එය පාරාවළල්ලක් වීමේ අනතුරද ඇත්තේය. මන්ද රේගුව කටයුතු කර ඇත්තේ ඔවුන්ට ලැබී ඇති නීතිමය රාමුව තුලය; බලතල ප්‍රකාරවය. ඒවාට පිටින් ගොස් සාහිත්‍යකරු වෙනුවෙන් කටයුතු කිරීමට ආණ්‌ඩුව පියවර ගන්නේ නැත.

රේගුව විසින් රදවාගෙන තිබූ පොත් අතරින් දෙකක පිටපත් නිදහස් කල බව ආනයනකරු ආමන්ත්‍රණය කරමින්, චෙල්වන් හට පිටපතක් ද සහිතව, රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා නිකුත්කල 2026.04.20 දිනැති ලිපියෙන් දන්වා තිබිණ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතනවල නිර්දේශය මත මෙම කෘතින් දෙක නිදහස් කර ඇත. එහි තුන්වන වගන්තියෙන් දැක්වෙන්නේ ඉහත සඳහන් ආයතනවල නිර්දේශය අනුව, රේගු ආඥාපනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි කාරණා පවතින හෙයින් අනෙක් කෘති දෙකට අදාළ පිටපත් නිදහස් කල නොහැකි බවය. මෙම ලිපිය අනුව, නීතිමය පදනම මත එම පොත් නිදහස් නොකිරීමට රේගුව තීරණය කරන්නේ පෙරකී කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනු මණ්ඩලය එක්ව කර ඇති නිර්දේශය මතය. එසේ නැතිව රේගුව විසින් එම පොත්වල අන්තර්ගතය පරීක්ෂා කර තීරණය ගත් බවක් සඳහන් නොවේ.

අනතුරුව ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් නිකුත්කළ 2026 .04.23 දිනැති මාධ්‍ය නිවේදනය අනුව පැහැදිළි වන්නේ පොත් දෙකක් නිදහස් කළේ ඔවුන් හා සාහිත්‍ය අනු මණ්ඩලය ලබාදුන් නිර්දේශය අනුව බවය. ඒවා නවකතා දෙකක් බව මණ්ඩලය කියයි. “නිර් ප්‍රබන්ධ” පොත් දෙක රේගුව විසින් රදවාගැනීමට තමන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව සඳහන් කරයි.

එසේ නම් මණ්ඩල දෙක නිර්දේශ ලබාදී ඇත්තේ නවකතා දෙක සම්බන්ධව පමණි. නමුත් ඒ නිර් ප්‍රබන්ධ කෘති දෙක ගැන මණ්ඩලය නිර්දේශයන් දුන් හෝ නොදුන් බව කියන්නේ ද නැත; නැතිනම් රේගුව විසින් ඒ කෘති දෙක ගැන නිර්දේශ ලබාදෙන මෙන් මණ්ඩල දෙකෙන් ඉල්ලා නැත. එනම් නිර් ප්‍රබන්ධ පොත්, කලාවට හෝ සාහිත්‍යයට අයත් නොවන බව මණ්ඩල දෙකෙහි තීරණය වී ඇත. කොටින්ම රේගුව තමන් ගේ අදහස් අනුව ඒ පොත් දෙක රදවාගෙන ඇත. ඒ නිර් ප්‍රබන්ධ පොත් දෙක තුල නීතිමය වශයෙන් රදවා ගත යුතු කරුණු ඇතැයි තීරණය කළේ කෙසේද? මණ්ඩල දෙක එසේ කීවත් රේගුව නිකුත්කළ 2026.04.20 දරණ ලිපියේ දෙවන වගන්තිය අනුව අනෙක් පොත් දෙක (නිර් ප්‍රබන්ධ) රදවාගෙන ඇත්තේ මණ්ඩල දෙක ලබාදුන් නිර්දේශය අනුව බව පැහැදිළිවම තහවුරුවේ. නමුත් කලා මණ්ඩලයේ ඉහත ලිපියේ සඳහන් වන්නේ, ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය අනුව රේගු ආඥාපනතට අනුකූලව නිර් ප්‍රබන්ධ පොත් රදවාගෙන ඇති බව රේගුව විසින් නිකුත්කල 2026.04.22 දිනැති ලිපියෙන් පැහැදිළි කරන බවය. එනම් ඒ පොත් සම්බන්ධව තමන් නිර්දේශ ලබාදුන්නේ නැති බව කලා මණ්ඩලය තහවුරු කරයි. එසේ නම් 2026.04.20 දිනැතිව රේගුව නිකුත්කල ලිපියේ දෙවන වගන්තියෙන් කියා ඇති කරුණක් වැරදිය. රේගුව එසේ බොරුවක් කීවේ ඇයි? අත්වැරදීමක් ද? මණ්ඩල දෙක විසින් නවකතා දෙක සම්බන්ධව පමණක් නිර්දේශ ලබාදී නිර් ප්‍රබන්ධ දෙක සඳහා නොදුන්නේ ද? එසේ වූයේ ඇයි? නවකතා දෙක පමණක් මණ්ඩල දෙකට ලබාදී නිර් ප්‍රබන්ධ පොත් දෙක ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ ලබාගැනීමට යොමුකලේ ඇයි? නැතිනම් පොත් හතරම මණ්ඩල දෙකට ලබාදුන්න ද නවකතා දෙකට පමණක් ඔවුන් තම නිර්දේශ ලබා දුන්නේ ද? එසේ කළේ නම් එයට හේතු මොනවාද? “වෙන ආණ්ඩුවක් තිබුණා නම් චෙල්වන් අත්අඩංගුවට ගන්නට තිබුණා” යන අදහස කලා මණ්ඩල සාමාජිකයෙකු වෙතින් කියැවුනේ නිර් ප්‍රබන්ධ පොත් දෙකෙහි අන්තර්ගතය ප්‍රශ්ණකාරී බව පෙරදී දැන සිටි නිසාද?

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිර් ප්‍රබන්ධ පොත් දෙක රදවාගැනීමට තරම් හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි මට්ටමක පවතින බවත් තීරණය කළේ ඔවුන්ගේම තක්සේරුව මත වන්නට පුළුවන. ඔවුන්ගේ නිර්ණායක සාහිත්‍ය විචාරයක ස්වරූපයෙන් නොතිබීම අරුමයක් නොවේ. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ඇගයීම අනුව පොත් දෙක රදවාගැනීම රේගුව විසින් සිදුකරන්නට ඇත. එහි නිරවද්‍යතාවය පරීක්‍ෂා කර බැලීමට මණ්ඩල දෙකට හෝ සංස්කෘතික ඇමතිවරයාට හෝ හැකියාවක් නැති බව පෙනෙයි.

ඇමතිවරයා විසින් 2026.04.26 සතිඅග අරුණ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවට අනුව රදවාගෙන ඇති පොත් දෙකෙහි අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය හැකි තත්ත්වයක පවති. එක් පොතක පිටකවරයේ ඇත්තේ බෙදුම්වාදී සිතියම (එනම් ඊලාම් දේශය යනුවෙන් වෙන්කල භූමි ප්‍රදේශය දක්වන ශ්‍රී ලංකාවේ සිතියම) බව ඔහු කියයි. චෙල්වන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇති හෙයින් එමගින් රදවාගෙන ඇති පොත්වල අන්තර්ගතය හා තත්ත්වය ගැන තීරණයක් ලැබෙනු ඇතැයි ඇමතිවරයා පවසයි.

මේ සාකච්ඡාවට සම්බන්ධ වන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දක්වන අදහස් වැදගත්ය. ජාජබ ආණ්ඩුව සහ රාජ්‍ය ආයතනික ව්‍යුහය අතර පවතින සම්බන්ධයේ ස්වරූපය ගැන අදහස් දක්වන්නේය. සියළුම පොත් නිදහස් කිරීම තම කැමැත්ත වුවත්, එක් පොතක පවතින පිටකවරයේ ඇති “සිතියම දැක්කොත් ජාතිවාදී බලවේග කෑගහන්න පටන්ගනියි මේ ආණ්ඩුව ඊළාම් වාදයට උඩගෙඩි දෙනවා…දීපචෙල්වන් අත්අඩංගුවට ගන්න කියලා” යනුවෙන් විජේසිරිවර්ධන පවසන්නේය.

යම් හෙයකින් මෙම නිර් ප්‍රබන්ධ පොත් දෙක නිදහස් කළහොත් ආණ්ඩුව පත්වන්නේ වෙනත් අර්බුදයකට බව මේ අදහස් අනුව සිතාගත හැකිය. දීප චෙල්වන් දෙමළ ජාතිකයෙකි. රදවාගෙන ඇත්තේ ඔහු විසින් දෙමළ භාෂාවෙන් රචිත පොත්ය. එයින් නවකතා දෙක නිදහස් කලද නිර් ප්‍රබන්ධ පොත් දෙකෙහි අන්තර්ගතය දෙමළ ජාතිකවාදී බෙදුම්වාදය ප්‍රවර්ධනය කරන්නේ නම්, සිංහල ජාතිකවාදී දේශපාලන බලවේග විසින් රට තුළ විශාල කැළඹීමක් ඇතිකරනවා නොඅනුමානය. විජේසිරිවර්ධන අනතුරු හඟවන්නේ එනිසාය. තමන් වෙත සාහිත්‍ය පර්ශද් වෙතින් එල්ල වී ඇති විරෝධය, විවේචනය නොසලකා හැරිය හැකි මුත් රදවාගෙන ඇති පොත් නිදහස් කිරීමට මැදිහත්වීම මගින් සිංහල ජාතිකවාදී දේශපාලන බලවේගවල නැගිටීමකට උත්තේජනය සැපයීමට සහ තවමත් ආකර්ෂණය පවත්වාගෙන යන සිංහල බෞද්ධ ඡන්ද පදනම කඩා බිඳ දැමීමට ජාජබ ආණ්ඩුව සුදානම් නැත. අනාගතයේදී ද එසේ වන්නේ නැත.

විජේසිරිවර්ධන කියන එක් කාරණයක් නම් ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ප්‍රකාශන නිදහස එකිනෙකට සම්බන්ධව පවතින නමුත් ඒවා එකිනෙකින් ස්වාධීනව පැවතිය යුතු කලාප විය යුතු බවයි. ඒ සඳහා පවතින නීතිමය රාමුව වෙනස් කිරීම අවශ්‍යම සාධකය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් භාෂණයේ, අදහස් ප්‍රකාශනයේ නිදහස රටේ පුරවැසියන්ට ලබාදී ඇතත් එය විවිධ සීමාකාරී තත්ත්වයන්ට, ව්‍යතිරේඛයන්ට යටත්ය. මේ පිළිබඳ අවබෝධය කවර හෝ සාහිත්‍යධරයෙකුට මේ මොහොතේ වර්තමාන යුගයේ අවශ්‍යය. ඒ සාකච්ඡාවේදී රංජිත් පෙරේරා පළකල අදහසක හරය වන්නේ එයයි.

දීපචෙල්වන් ගේ නවකතා දෙකක පිටපත් නිදහස් කලද , ඔහුගේ නිර් ප්‍රබන්ධ කෘති දෙකෙහි පිටපත් රේගුව විසින් නිදහස් කරන්නේ නැත. අදහස් පළකිරීමේ අයිතිය හෝ සාහිත්‍යධරයෙකු ගේ පරිකල්පනීය නිදහස යන කාරණා රේගුවේ නීතිමය රාමුවට හා පරිචයට අදාළ නැත. ආරක්ෂක අමාත්‍යාංශය ඒ කිසිවක් තම ජාතික රාජ්‍යයේ ආරක්ෂාව යටතට ගෙන තක්සේරු කරන්නේය. එම නිර් ප්‍රබන්ධ පොත් දෙකෙහි අන්තර්ගතයේ පවතින්නේ යැයි ඇමතිවරයා (රජය) කියන මතභේදාත්මක කරුණු කවරක් දැයි නිරාවරණය වන්නේ මානව හිමිකම් කොමිසමේ විමර්ශන හා තීරණ මතය. නීතිරීති මගින් කෙනෙකුගේ සිතීම, පරිකල්පනය නවතාලිය නොහැකිය. නමුත් ඒවා සමාජයට ප්‍රකාශ කරන විට ඒ නිදහස අහිමි වී යන්නේය. සමාජ සම්මුතීන් සහ රාජ්‍යයේ නීතිමය හා ආයතනික ව්‍යුහ ඒ නිදහස සීමාකරයි. එසේ නම් කල යුත්තේ කුමක්ද?

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.