ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමුවන කතානායක වරයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලය. ඔහුගේ නම සමග ඈඳුණු “ආචාර්ය” උපාධි නාමය ප්‍රශ්ණ කිරීමට ලක්වූයේ එවැන්නක් ඔහුට විශ්වවිද්‍යාලයකින් ලැබී නොමැති බව ප්‍රකාශ වෙමිනි. ඔහු සහ ජවිපෙ/ජාජබ සගයින් , ඇමතිවරුන් ප්‍රකාශ කළේ ජපන් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබා ඇති බවය. යථා කාලයේදී ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන්නෙමි කියා රන්වල කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය. මෙතෙක් ඒ සහතිකය නම් ඉදිරිපත්ව නැත. මේ සිදුවීම සමඟම ආචාර්ය සහ වෙනත් උපාධි ඇතැයි කියා සඳහන් වූ ජාජබ ආණ්ඩුවේ ඇමතිවරුන් , දේශපාලකයන් හා මහ මැතිවරණ අපේක්ෂකයන් ගැන ප්‍රශ්ණ කෙරෙන්නට පටන් ගත්තේය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් සමහර අධ්‍යාපන සුදුසුකම් ඉවත් කෙරුණ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් ද කෙරිණි. ඒ කවරක් වුවත් ජාජබ ආණ්ඩුවට අපකීර්තියක් පමණක් ඉතිරි විය.
රජයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරා 2026.03.26 දින අධිචෝදනා පත්‍ර ජාජබ ආණ්ඩුවේ වර්තමාන බලශක්ති ඇමති කුමාර ජයකොඩිට භාරදෙන ලදී. අනතුරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇමතිවරයා මුදා හැරිය අතර ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට නියම කර තිබේ. මෙම නඩුව මැයි 6 වනදා යළි කැඳවීමට යෝජිතය.
ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සම්බන්ධයෙන් පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පෞද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් 2016 වසරේදී රජයට රුපියල් 8,859,708.00ක පාඩුවක් සිදුකිරීම ඇමති ජයකොඩිට එරෙහිව ඇති චෝදනාවය. ආණ්ඩුව බලයට පත්වු පසුව පැවති පුද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකදී ජයකොඩි ප්‍රකාශ කළේ එම ප්‍රසම්පාදන කාර්යය තුල පොදු රාජකාරී පටිපාටියේදී අත්වැරැද්දක් සිදුවු නමුත් එහි වගකීමක් නොමැති බව නොකියන බවයි. එසේම තමන්ට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් පැවති බවත් දේශපාලන පලිගැනීමකට ලක්වූ බවත් කියූ අතරම තමන් සපුරාම නිවැරැදිකරුවෙක් බව ඔහු කීවේ නැත.
විදුලි ඉංජිනේරුවෙකු වන ජයකොඩි ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකාරවරයා ලෙස පත් කරන ලද්දේ, 2005 වසරේදී අනුර කුමාර දිසානායක කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුය. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ ජනතා විමුක්ති පෙරමුණ කැබිනට් අමාත්‍ය ධූර හතරක් දරනු ලැබූ අතර මාස කිහිපයකට පසුව සුනාමි සහන මණ්‌ඩලය සම්බන්ධ ගැටලුව මත ඔවුන් ඇමති තනතුරු වලින් ඉවත්විය.
මේ අතරේම බලශක්ති ඇමති ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් කතානායකවරයාට භාරදී ඇත්තේ පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ ගල්අඟුරු සැපයුමේ ප්‍රසම්පාදන කාර්යය හා ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවලට , ගුණාත්මක නොවන ගල්අඟුරු භාවිතය නිසා ඇතිවන/ඇතිවිය හැකි රාජ්‍ය මුදල් අවභාවිතාව, විදුලි උත්පාදන හා බෙදාහැරීම් පද්ධතියට හානිය සම්බන්ධව ඇමතිවරයා ලෙස වගකීමට බැඳෙන හෙයින්ය. එම විශ්වාසභංග යෝජනාව තුල ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ ඉහත කී අධිකරණ ක්‍රියාමාර්ගය ගැන ද සඳහන්ව ඇත.
බලයට ඒමට පෙර හා පසුව ද ජාජබ ප්‍රධානතම සටන්පාඨයක් වූයේ දූෂණයෙන් වංචාවෙන් අක්‍රමිකතාවන් ගෙන් තොර ආණ්ඩුකරණයක් මේ රට දියුණු කිරීමට අවශ්‍ය බවය. නිදහසින් පසු අන්ත දූෂිත ප්‍රභූ පවුල් කණ්ඩායම් අතර තඉබූ රාජ්‍ය පාලනය සමස්ථයක් ලෙස ජනතාවගේ පාලනයක් බවට පත්වනු ඇතැයි තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේය.
ජාජබ ආණ්ඩුව පත්ව මාස පහකට පසුව 2025.05.06 දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ජාජබ නායක , වත්මන් ජනාධිපති දිසානායක ලද ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 1,130,985 ක් හා මහ මැතිවරණයේදී ලද ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 2,359,256 ක් ජාජබ අහිමි කරගත්තේය. කතානායක රන්වල ගේ සිදුවීම මත ජාජබ ආණ්ඩුව කෙරෙහි වූ අප්‍රසාදය මේ අහිමි වූ ඡන්ද අතර තිබෙන බව නිසැකය. එසේම මහ මැතිවරණයට වඩා ඡන්ද දායකයන් 1,215,143 ක් තම ඡන්දය දීමට පැමිණියේ නැත.
ජනාධිපතිවරණයට සාපේක්ෂව ගත්විට එම ප්‍රමාණය මිලියන 3.0 කි. කොටින්ම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 6,540,251 ක් (38.1 %) ඡන්දය ප්‍රකාශ නොකළේය. සමස්ථ දේශපාලන ක්‍රමය , පක්ෂ , දේශපාලනඥයන් කෙරෙහි වන අප්‍රසාදය හා ප්‍රතික්ෂේප කිරීම සහ සමස්ථයක් ලෙස සමාජ දේශපාලන පද්ධතියේ වෙනසක අපේක්ෂාව සිදුනොවේය යන බලාපොරොත්තු බිඳවැටීම මේ සංඛ්‍යා තුල ගැබ්ව ඇති බව සිතීමට පුළුවන. එනිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මේ ප්‍රවණතාවය තවත් වැඩිවිය හැකිය. එහි බලපෑම ආණ්ඩුවට මෙන්ම සෑම දේශපාලන පක්ෂයකටම දැනෙනු නිසැකය.
රන්වල සිදුවීමෙන් පසු , කන්ටේනර් 323 ක ගැටළුව, ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු ගැටළුව , ජාජබ ආණ්ඩුවට එරෙහිව නැගෙන ප්‍රබලම චෝදනා වී ඇත. කන්ටේනර සිදුවීම සම්බන්ධව විමර්ශන කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානයක්කාර ගේ සභාපතිත්වයෙන් පත්කර දැනට සාක්ෂි විමසීම සිදුකරමින් පවතී. බලශක්ති ඇමතිවරයා සම්බන්ධව මාධ්‍ය විමසුමකදී ජනාධිපතිවරයා පැවසුවේ , ඇමති ධූරයෙහි කටයුතු කරද්දී යම් ඇමතිවරයෙකුට දූෂණ වංචා සිදුකළේ යැයි චෝදනා කර අධිකරණයේ නඩු පැවරුවහොත් එම ඇමතිවරයා ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවය. ඒ ප්‍රකාශය අනුව වත්මන් බලශක්ති ඇමති ජයකොඩි ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇත. මන්ද අල්ලස් කොමිසම විසින් ජයකොඩිට එරෙහිව නඩු පවරා ඇත්තේ 2024 වසරේදී බලශක්ති ඇමතිවරයා වීමටත් පෙර රජයේ නිලධාරියෙකු ලෙස 2015 වසරේදී සිදුකළ ක්‍රියාවක් සම්බන්ධව වීම නිසාය.
නමුත් වංචා ,දූෂණ , අක්‍රමිකතා තොර රටක් සමාජයක් , දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමේ අරමුණෙන් බලයට පැමිණි ජාජබ ආණ්ඩුවේ ඇමති ජයකොඩිට එරෙහිව අධි චෝදනා භාරදීම අතීතයට බලපෑ කරුණක් ලෙස සලකා නොසලකා හැරීමට නොහැකිය. වඩාත් සුදුසු වන්නේ ඇමතිවරයා තනතුරෙන් ඉවත්වී අධිකරණ කටයුත්තට මුහුණදීමය. අධිකරණ ක්‍රියාමාර්ගය තුලින් ඔහු නිවැරැදිකරු වී නිදහස් වුවහොත් එක් අතකට ආණ්ඩුවට යහපතක් වන අතර පිරිසිදු දේශපාලනඥයෙක් ලෙස ජයකොඩි යලි ඇමති ධූරයට පත්විය හැකිය. ආණ්ඩුවේ සේම ඔහුගේද නිවැරැදි , පිරිසිදු බව රටේ මහජනතාව ඉදිරියේ ඔප්පුකල හැකිය. සියල්ල රැඳී පවතින්නේ අධිකරණ තීන්දුව මතය. එතෙක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලා සිටින බව පෙනේ. ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුවට හිතැති පාර්ශ්ව වෙතින් ඉල්ලීම් හා යෝජනා තිබුණත් ආණ්ඩුව සිටින්නේ ඇමතිවරයා පිළිබඳ බලවත් විශ්වාසයකිනි. ඒ අතරේම ආණ්ඩුව කෙරෙහි ඇති මහජන විශ්වාසයේ පරිමාව ගැන තක්සේරුවක් තිබෙනවා යැයිද සිතිය හැකිය. මින් පෙර පැවති කිසිම ආණ්ඩුවකට වඩා මේ ආණ්ඩුවේ හැසිරීම බලවත් මහජන අවධානයකට ලක්ව ඇත. එනිසා ඔවුන් යම් ආකාරයක හිරවීමකට ද , ප්‍රවේශම්කාරී වීමකට ද ලක්ව සිටින බව පෙනේ.
ගල්අඟුරු ගැටළුව මත ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වෙනු ඇත. ජනාධිපතිවරයා අවධාරණයෙන් කීවේ ගල්අඟුරු ප්‍රසම්පාදන කාර්යයේදී වංචාවක් සිදුව ඇත්නම් අධිකරණයට යන ලෙසය. අල්ලස් කොමිසම වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව වාර්තා වන නමුත් ඉදිරි පියවර කවරේදැයි නොදනිමු. අධිකරණයට යන ලෙස ජනාධිපතිවරයා කියන්නේ තදබල විශ්වාසයකින් යුතුවය. එයට අභියෝග කිරීමට පාර්ලිමේන්තු විපක්ෂය සේම සමාජ මාධ්‍ය විපක්ෂය ශක්තිමත්ව නැතිවා සේම රූපවාහිනි හා සමාජ මාධ්‍ය සංවාද දේශපාලනය තුල ඔවුහු සිරවී සිටිති. එයින් මිදී මහජනයා සංවිධානය කිරීමේ මහපොලොවේ දේශපාලනයට ඔවුන් තවමත් අසමත්ය. ආණ්ඩුවේ පැවැත්ම හා ක්‍රියාමාර්ග වලට විරුද්ධව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැඟීමට විපක්ෂය අසමත්ය. රනිල් වික්‍රමසිංහ , නාමල් රාජපක්‍ෂ ඇතුළු බොහෝ දේශපාලනඥයන් සිටින්නේ අධිකරණ නඩුහබ වලට ද සිරවීගෙනය. ඒවායේ ප්‍රතිඵල මත විපක්ෂ දේශපාලන මාවතේ ස්වරූපය තීරණය වීමට බොහෝ ඉඩ ඇත.
Jit / April 7, 2026
ඔබේ ලිපියේ අන්තර්ගතයට මා සම්පූර්ණයෙන්ම එකඟයි. මේ රජයේ බොහෝ කටයුතු විනිවිද භාවයෙන් කෙරෙන බව දේශපාලන විරුද්ධවාදීන් පවා පිළිගන්නා කාරණයක්. විශේෂයෙන් AKD ගැන මට නම් කිසිම විචිකිච්චාවක් නෑ ඔහුගේ දූෂණ විරෝධාකල්ප ගැන සහ ඔහුගේ දේශපාලන භාවිතය ගැනවත්. නමුත් ජයකොඩි නම් වහාම නෙවෙයි පෙරේදා අස්වෙලා තියෙන්න ඕනා. ඔහු මේ වංචාවලට ගෑවිලාද නැද්ද කියන එක AKD තීරණය කරන්නේ කොහොමද – එය ඉතා වැරදි ආදර්ශයක්! එය අධිකරණය විසින් විසඳිය යුතු දෙයක් නේ? NPP රජය මහින්දලා ගෝටලා රනිල්ලාගේ ට වඩා දහස් වතාවකින් පිරිසිදු බව පෙනෙනවා, නමුත් අධිකරණය හමුවේ චෝදිත ජයකොඩි තව දුරටත් අමාත්‍ය පදවියේ තබා ගැනීම NPP ප්‍රතිපත්ති වලට හාත්පසින්ම විරුද්ධ දෙයක් බව AKD ට තේරෙන්නේ නැද්ද?? ගල් අඟුරු ‘වංචා’ කතාව නම් විපක්ෂය විසින් පුම්බන ලද අතේ රෝලක්. මෙතෙක් කල් මහින්දලාගේ ඉත්තෝ ටෙන්ඩර් නැතිව කරපු මේ ජාවාරම NPP විසින් නියම ටෙන්ඩර් පටිපාටියකට ගෙනල්ල තියෙනවනේ? ඉතිං ඒකෙන් තෝරා ගත් සප්ලයර් ගෙනාපු සමහර තොග ප්‍රමිතියට නැති එක ගැන රජයට චෝදනා කරන්න බෑනේ. ඒවාට අදාළ නීතිමය ආවරණයන් හා වන්දි ගැනීම් ගිවිසුමට අනුව දැනටමත් කෙරෙනවනේ? අල්ලස් කොමිසමෙන් ඒකට ජයකොඩි හෝ වෙනත් රජයේ කෙනෙක් පටලවන්නේ නෑනේ? නමුත් දැනට චෝදනා ගොනුකර ඇති කාරණය මත ජයකොඩි රජයේ සියලු ධූර වලින් ඉවත් විය යුතුමයි. නැතිනම් එය මේ රජයට එකතු කරන විශාල කළු පැල්ලමක්.
/
leelagemalli / April 7, 2026
අද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කියා සිටින්නේ තමන් “ගල් අඟුරු” මිලදී ගැනීමට පෙර කිසිදා පරිභෝජනය නොකළ බවයි.
–
https://www.youtube.com/watch?v=UYCHJeBa3s8
–
කෙසේ වෙතත්, මෙම පුද්ගලයින් JVP සහ ඔවුන්ගේ පදනම් විරහිත ප්‍රකාශ අනුමත කිරීමට දිගටම උත්සාහ කරයි. අවශ්‍ය අවබෝධයකින් තොරව මේ රට ආධිපත්‍යය දැරීමට පැමිණි ශ්‍රී ලංකාවේ ජෙප්පෝවරුන්ට පමණක් එවැනි තර්ක ඉදිරිපත් කළ හැකිය. මේ රටේ පුරවැසියන් සැබෑ මෝඩයන් බව මම විශ්වාස කරමි. මේ රජයට කොපමණ දුර යා හැකිද, මට කල්පනා වෙනවා? ඔවුන් දින දහයකට පෙර ප්‍රතික්ෂේප කළ එම කරුණුම පිළිගනී.
/