24 April, 2024

Blog

පාඨලී චම්පික ද, සජිත්ද, අනුරද? නැතහොත් අප​ ඊලඟට තේරිය යුත්තේ කාවද?

අර්නස්ට් කිත්සිරි

අර්නස්ට් කිත්සිරි

* සිංහල කථාකරණ චීන ළඳුන්…
* ලිබරල් සමාජය මුහුණ දෙන හතරවන අභියෝගය
* චීනය ගැන නොදැනුවත් ලංකාවේ සමාජය

රටක් එක්තරා ආර්ථික දියුණුවක් ලඟා කරගත් පසුව එනම් ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 පමණ වූ පසුව), තව දුරටත් ඉහලට යෑමට නම් ලෝක දේශපාළනයේද තරමක් හෝ බලවතෙකු විය යුතුය. තමුංට යම්තාක් දුරට හෝ අවැසි පරිදි වෙලඳ නීති, ආරක්ෂන නීති, වාසිදායකව ලියා ගැනීමේ හැකියාව තිබිය යුතුය. තමුංට කැමති කුළුපග මිත්‍රශීලී ලෝක නායකයන් සමග කණ්ඩායමක් (Gang එකක්) සාදාගත හැකිවිය යුතුය.

ලංකාව අද ඉන්නේ මේ අවශ්‍යතාවය දැඩි ලෙස දැනෙන අවධියකය. අද අපි අන්ත ආගාධයකට තල්ලුවෙමින් ඇති අවධියක ගොඩ යා හැකි එකම ක්‍රමය දකුණු ආසියාතික කළාපීය සහයෝගීතාවය වෙනුවෙන් වැඩ කිරීමයි. අපගේ කලාපය ජනගහනය බිලියන 2.5 ක එනම් ලෝක ජනගහණයෙන් 1/3කි. බොහෝ බලගතු රටවල් අල්ලේ නැටවිය හැකි ජනගහනයක් ඇති කලාපයකි.

අපි එය අමතක කර චීනය පිටුපස යමින් සිටිමු. අපට මොන වාසියක් නැතුවත් අපි ඔවුන් පසුපස යමින් සිටින්නේ එකම එක රාජපක්ෂ පවුලක අවශ්‍යතාවය සඳහාමද?

චීනය ලෝක පොළිස් කාරයා වේවිද?

අපි චීනය පිටුපස යනවානම් චීනය ලෝක පොළිස් කාරයා වීමට හෝ චීන අධිකාරීවාදී දේශපාළනයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල්වාදී සමාජය අවනත කරගත හැකිද යන ප්‍රශ්ණය ලංකාව තුල දැඩිලෙස කථාකලයුතුම දෙයකි. මොකද එය අපේ අනාගතය මුළුමනින්ම තීරණය කරණ බැවිනි. ඒ වගේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය හතරවන වතාවටත් උරගාන සටනකටයි ලෝකය මේ පිවිසෙමින් තියෙන්නෙ. Meiji යුගයේ ජපාන තර්ජනය, දෙවෙනි ලෝක යුද්ධයේ හිට්ලර් ගේ තර්ජනය, සෝවියට් සමූහාන්ඩුවේ කොමියුනිස්ට් තර්ජනය යන තුනම ජයගත් ඇමරිකා ප්‍රමුඛ බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මේ මුහුණ දෙමින් සිටින්නේ බටහිරින්ම උකහාගත් ධනේශ්වර ක්‍රමයත් හා අධිකාරීවාදී දේශපාළනය ගුරු කොටගත් චීන ක්‍රමයෙන් නැගෙන තර්ජනයටයි.

කොමියුනිස්ට් ක්‍රමය සමග ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හැප්පෙනවිටද ලංකාවෙ අපි සිටියේ වැරදි පැත්තේය. ලී ක්වාන් යූ ලා හරි පැත්ත තෝරාගත්තේය. එමනිසා ඔහු එයින් විශාල වාසි තොගයක් අත්කර ගත්තේය.

1960 ගනන්වල සිට 1980 ගනන්වන තුරු අප සහ ඉංදියාවද සිටියේ සමාජවාදය දිනාවි කියා සිතා ලෝක වාමාංශික කොමියුනිස්ට්-සමාජවාදී කඳවුරේය. යූ ඇන්පිය පමණක් දක්ෂිනාංශික වගේ සිටියද වාමාංශික කඳවුර ප්‍රභලවීම නිසා ලෝක දේශපාළනයේ දී ලංකාව තවමත් දකින්නේ සමාජවාදී රටක් ලෙසය. 1980 රුසියානු කොමියුනිස්ට්වාදය බිමට සමතලාවනතුරු එය වැටෙන බව අප දුටුවේ නැත. මොකද රුසියානු අභ්‍යන්තර සමාජය හෝ එහි කොමියුනිස්ට් පක්ෂ ව්‍යුහය පිළිබඳ අපි අබමල් රේණුවක හැදෑරීමක් කර තිබුණේ නැත.

මේ අතර ලී ක්වාන් යු දක්ෂිනාංශික කඳවුර මුළු ඇඟෙන්ම බදාගෙන කළාපයේ එකම දක්ෂිනාංශික කඳවුරේ සගයා තමා බව පෙන්වමින්, කොමියුනිස්ට් හා සමාජවාදය නිර්ධය ලෙස විවේචනය කරමින් ඇමරිකාව ප්‍රමුඛ දක්ෂිනාංශික රටවලින් අතිශය වාසි ගත්තේය. ලංකාවට වඩා සිය දහස් ගුණයක ආයෝජන ගෙන්වා ගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කළේය.

එහිදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර අවු 20 ට වැඩි කාළයක් කට්ට කාගෙන කොමියුනිස්ට් හා ලෝක සමාජවාදී කඳවුරු සමග සීතල යුද්ධයක කරෙන් කර ගැටී නියැලිනි. ඔවුන් රුසියානු හා චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රමුඛ සමාජවාදයට පවතින්නට බැරිබවත් එහි ඇති , න්‍යායාත්මක , ව්‍යුහාත්මක ප්‍රායෝගීක විපරීතයන් හොඳටම හදාරා තිබිණි.

අද පැමිණ ඇත්තේද එවැනිම අවස්ථාවකි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර තව අවු 15 පමණවත් චීනයත් එක්ක කට්ට කාගෙන උරෙන්උර ගැටෙමින් ඉදිරියට යනු ඇත. ඔවුන් චීනයට ලෝක පොළිස් කාරයා වීමේ හැකියාව ගැන නිතැනින් විමසා බලති. නමුත් ඒ ගැන මහා ලොකුවට කළබලයක් නම් නැත. චීන නැගිටීම පාළනය කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක්ද තවම නැත. හරියට රුසියානු කොමියුනිස්ට්වාදය පැතිරීම පාළනය කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් නොතිබුණාසේමය. ඔවුන් බලනුයේ චීන ක්‍රමයේ ව්‍යුහාත්මක (Structural )විපරීතයන් ගැනය. ඒවායේ බලපෑම මත චීනයට ලෝක පොළිස් කාරයාවීමේ හැකියාව ගැනය.

එසේ බලන බොහෝ ඇමරිකානු විද්වත් මණ්ඩල (Think Tanks ) මහා ලොකුවට බියවී නැත. ඒ වගේම හෙන්රි කිසිංජර් වැනි අයවළුන්ද පවසන්නේ ජපානයේ දියුණුවට ඇමරිකාව විශාල වශයෙන් අත දුන්නත් (ලෝක යුද්ධය නිසා වැටුනු සම්භාධක ඉවත්කර) ජපාන දියුණුවේදීද ඇමරිකා හා බටහිර කඳවුර සමහරවිට බිය වූවද ජපානය කවදාවත් ලෝක පොළිස් කරුවෙකු නොවන බවත් ඔවුන් ධනවාදී ආර්ථික ක්‍රමය පදනම් කරගෙන දියුණුවන නිසා කවදාවත් ලෝක පොළිස්කාරයාවීමේ හැකියාව නැති බව කිසිංජර් හොඳින්ම දුටු බවත්ය. අවසානයේ ජපානයට සිදුවී ඇත්තේ කුමක්ද? තම ආර්ථික පැවැත්ම සඳහා බටහිර ලිබරල් රටවල් නැතිවම බැරිවී ඇත. විශාලතම වයස්ගත ජනගහනය නිසා ඔවුන්ව නඩත්තු කිරීමට අතිවිශාල බදු ප්‍රමාණයක් අවැසි නිසා ආර්ථික වර්ධන වේගය සිදුවන්නේ ඉබි ගමනින්ය. ජපානය ලෝක ආර්ථිකය හසුරවාවී කියා එදා බිය වූ අයට අද කට උත්තර නැත. අද ජපානය ගැන බටහිර ලෝකයේ කව්රුවත් බියට පත්වී නැත.

ශිෂ්ඨාචාර දෙකක ඝට්ඨනය

චීනයට ලෝක පොළිස්කාරයා වීමවත් තමාට අවැසි පරිදි නීති ලියා ගැනීමේ හැකියාවවත් අවශ්‍ය නැතිබව චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කළද එම පක්ෂය ක්‍රියාත්මක වෙන්නේ ඉහත කියමනට හාත්පසින්ම විරුද්ධවය. එයට හේතුව ලෝක දේශපාළනය හසුරවන්නේ නැතිව ඔවුන්ට මෙතනින් එහාට නැගිටිය නොහැකිබව චීන කොමියුනිස්ට් පක්ෂය හොඳාකාරවම දන්නා බැවිනි.

ඒ නිසා ඉතාම සූක්ෂමව ඔවුන් රටවල් අල්ලාගනිමින් සිටී. රටවල්වල ආණ්ඩු බලය හසුරවන පාළක පක්ෂයන්, ආගමීක නායකයින් නඩත්තු කරමින් සිටී ( මූලාශ්‍ර පහල). මෙයට හොඳම උදාහරණය ලංකාවේ ප්‍රභූ භික්ෂූන් සඳහා මුදල්වලින් කරණ දායකත්වය, චීන ළඳුන්ට ඒ ඒ රටවල භාෂා උගන්වා චීනයේ සිටම ඒ රටවල්වලට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ( FB, Twitter, Instagram) සම්බන්ධවෙමින් සිටී. සයිබර් අවකාශයේ සැරිසරන්නන්ට අද සිංහල හා ද්‍රවිඩ භාෂාවලින් කථා කරණ චීන ළඳුන් සොයාගත හැකිය. අතිවිශාල චරපුරුෂ සේවාවක් ඉහත රටවලට යොදවා ඇත. ඒ ඒ රටවල ඇති චීන කොන්ෆියුසියස් ආයතන මෙම චර පුරුෂ සේවාව කරණ බවට චෝදනා නැගේ.

මේ සියල්ල කළත් චීන කොමියුනිස්ට් පක්ෂයට බටහිර ලිබරල් සමාජය හෝ ඉංදියානු නිදහස් ප්‍රජාතාන්ත්‍රීය සමාජය පාළනය කළ හැකිද යන්නයි අපි විමසා බැලිය යුතු කරුණ. එසේ කරගත නොහැකිනම් අපි ඉංදියාව ප්‍රමුඛ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතාවය වෙනුවෙන් වැඩ කිරීම පසෙකලා චීනය පිටුපස යෑම රුසියානු කඳවුර පිටුපස ගොස් අතරමං වූවා සේම රෑ වැටුන වලේ දවල්ද වැටීමකි.

නමුත් අද එය වැලැක්විය නොහැකිව ඇත්තේ එකම එක පවුලක් නිසාය. මුළු රටේම අනාගතය උගසට තබා ඇත්තේ එම පවුලය.

පහත සටහනේ කථාවෙන්නේ චීනයට ලෝක බලවතාවීමට බැරි ඇයි යන ව්‍යුහාත්මක විපරීතයන් ( Structural Anomalies)සමහරක්ය.

මෙම විපරීතයන් බටහිර විශ්ලේෂකයන් වන Prof. John J Mearsheimer, Prof. Francis Fukuyama, Prof Joseph Nye වැනි විශ්ලේෂකයන් හා චීනය ලෝක බලවතා වෙන බවට තර්ක කරණ Prof. Kishore Mahbubhani වැනි අයගේ හැදෑරීම් වලින් ගත් ඒවාය. අදද චීනයේ විරෝධතා වසරකට 160,000 පමණ සිදුවේ. ඒවා අධිපතිකාරී ස්වරූපයෙන් නිශේධනය කෙරේ. ඒ වුනත් බහුතර චීන සමාජය එම රජයට කැමතිය. එයට හේතුව අනිකුත් චීන ශිෂ්ඨාචාර අවධීන්ට සාපේක්ෂව කොමියුනිස්ට් පක්ෂය ධනවාදී වෙමින් මිනිසුන්ව දරිද්‍රතාවයෙන් මුදවාගත් නිසාය.

එසේ වුවද පෙර කී ව්‍යුහාත්මක විපරීත අප හැදෑරිය යුතුමය.2040 පමණවනවිට චීනයේ මහළු ජනගහනය වැඩකරණ ජනගහනය අභිභවා යයි. බටහිරින් ස්වායත්ත කරගත නොහැකි ආර්ථිකයක් බිහිවී ඇත. චීන සම්භවයක් ඇති අනෙකුත් (ජපානය, ද. කොරියාව, වියට්නාමය, තායිවානය වැනි) රටවල්වලින්වත් සහයෝගිතාවක් ලබාගත නොහැකිව ඇත. ඒ ඔක්කෝටම වැඩියෙ චීන රාජ්‍ය ධනවාදී ආර්ථිකය පවත්වා ගැනීමටනම් ලෝකය උඩු යටිකුරු කරණ නව උත්පාදන බිහිවිය යුතුය. තවමත් චීනයෙන් එසේ බිහිවන බවට ඉඟියක්වත් නැත. තවමත් බිහිවන්නේ copy cat ය. ජපානය සහ චීනයේ නිර්මානාත්මක නව උත්පාදන හැකියාවන් සැලකූ චීනයේම Think Tank ගණනාවක් හා ළඟදී අලිබබා කොම්පැණියේ ජැක් මා ද පැවසුවේ නව උත්පාදන අතින් චීනය තවමත් ජපානයේ 1980 කාළයටවත් පැමිණ නැති බවයි. එය ධනේශ්වර ආර්ථිකයක පැවැත්මට උවමනා පළමුවන සාධකයයි. චීනය තවමත් පවතින්නේ Innovation Index එකේ පහලොස්වන ස්ථානයේය. පේටන්ට් බල පත්‍ර ප්‍රමාණය වැඩි වුවද එය ලෝකය උඩු යටිකුරු කරණ බටහිර ලිබරල් සමාජයෙන් බිහිවන ඒවා මෙන් නොවේ. මේ දක්වා එසේ තර්ජනයක් එල්ල කරණ මට්ටමකට පැමිනුනේ Huawei කොම්පැණියේ 5G තාක්ෂණයයි. නමුත් එයට රටවල් වලට ව්‍යාප්තවීමට බැරිවුණි. බටහිර රටවල පමණක් නොව ආසියාතික රටවලද Huawei උපකරණ තහනම් කෙරිණි. Huawei සේවකයන් විශාල සංඛ්‍යාවකින් කප්පාදු කළේය. අද ඇමරිකාව හා ජර්මනිය 5G තාක්ෂනයෙන් චීනය මට්ටමටම පැමිණ ඇත.

සේද මාවත යටතේ ඉදිකරණ ව්‍යාපෘති සාර්ථකද?

2020 දී නිකුත්වූ චීන රජයේ දත්ත වලට අනුව, චීනය විදේශයන්හි කරණ ආයෝජනයන්හි ( Foreign Direct Investments) වර්ධනය ක්‍රමිකව පහත වැටෙමින් පවතී. එය 2016 දී 49.3% ක වාර්ෂික වර්ධන වේගයක් දක්වා ඉහළ ගොස් තිබූ අතර පසුව 2017 දී 23% කින් සහ 2018 දී තවත් 13.6% කින් පසුබැස්සේය. 2019 මුල් භාගයේදී චීන ආයෝජන ( Foreign Direct Investments) ඉහල ගියේ 0.1% කින් පමණි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වන මූඩීස් අනාවැකි පළ කරන්නේ මෙම පහත වැටීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇති බවයි. එසේ පහත වැටීමට ප්‍රධාන හේතුව OBOR හෙවත් සේද මාවත ව්‍යාපෘථි විශාල ප්‍රමාණයක් නැවතීම හා අසාර්ථක වීමයි. ලංකාව මැලේසියාව ජිබූති (Djibouti) මුලදී මේ ව්‍යාපෘති වලට එක පයින් කැමතිවිය. නමුත් එම ව්‍යාපෘති බොහොමයක් අසාර්ථකය. විවිධ මාධ්‍යයන්හි මෙම අසාර්ථක ව්‍යාපෘති හා එමනිසා එම රටවල ඇතිවී ඇති ආර්ථික හා දේශපාළන ව්‍යාකූලතා පලවීමත් සමග අනික් රටවල් මේ ව්‍යාපෘති සඳහා අනුමතය දීමෙන් වැලකිනි.

2019 මුල් භාගයේදී පාකිස්තානය ඩොලර් බිලියන දෙකක ගල් අඟුරු බලාගාරයක් අවලංගු කළ අතර නව දුම්රිය මාර්ග සඳහා චීනයෙන් ලබාගත් ණය තවත් ඩොලර් බිලියන 2 කින් කපා හැරීමට පොරොන්දු විය. අධික ණය බරට ඇති බිය නිසා මියන්මාර අවුන්සාන් සුකී රජය ඔවුන්ගේ චීන ආධාර යටතේ ඉදිවෙමින් තිබූ කියුක් පියු ගැඹුරු ජල වරාය ව්‍යාපෘතිය (Kyauk- Pyu Deep Water Project) ඩොලර් බිලියන 7.3 සිට ඩොලර් බිලියන 1.3 දක්වා සීඝ්‍ර ලෙස අඩු කළේය. සියෙරා ලියොන් චීන සමාගමක් සමඟ ආරම්භ කළ ඩොලර් මිලියන 400 ගුවන් තොටුපල ව්‍යාපෘතිය මුළුමනින් අවලංගු කළේය. ඩොලර් බිලියන 10 ක චීන-ඕමාන් කාර්මික නගරය වර්ග කිලෝමීටර් 11 ක් පමණ පාළු හා පාළුම කාන්තාරයකි. 49% චීන හිමිකාරිත්වය තිබියදීත්, කලක් සේද මාවතේ ආර්ථික කලාපයේ නැගී එන මධ්‍යම දුම්රිය ස්ථානය වූ කෝර්ගෝස් ගේට්වේ. ( Khorgos Gateway), හෙක්ටයාර 550 ක හිස් බිම් මැද තවමත් ක්‍රියාත්මක නොවන වියළි වරායකි. ජාත්‍යන්තර සහයෝගීතාවයේ ආශ්චර්යයක් වෙතැයි හැඳින්වූ චීනය සිට යුරෝපය දක්වා දිවෙන දුම්රිය ජාලය රටවල්වල සහයෝගය ලබාගැනීමට නොහැකිව හා මූල්‍යමය ශක්‍යතාව ලබා ගැනීමට පවා නොහැකි වී තිබේ. ඕස්ට්‍රෙලියාවද ව්‍යාපෘථි අවලංගු කළේය.

එසේනම් ඇයි බටහිර ව්‍යාපාර තොග ගනණින් චීනයට ගියේ?

එම ප්‍රශ්ණය කාටත් සිතට නැගෙන පැණයකි. එය ධනවාදී ආර්ථිකයේ ස්වභාවයයි. අඩුම පිරිවැය, අනාගතයේ පැවැත්ම වැනි කාරණා ගනනාවක් මේ ව්‍යාපාරවිසින් සලකා බලනු ලබයි. නමුත් බටහිර බහුතර ලිබරල් සමාජය චීනය දෙස බලන්නේ මෙතෙක් දුරක් ගොඩනැගූ චීනය විනශ කිරීමටය යන පුහු තර්කයෙන් අප මිදිය යුතුය. ඔවුන් බලනුයේ ආර්ත්ථිකව දියුණු වූ නමුත් බටහිර ලිබරල් සංස්කෘතියට තර්ජනයක් ද නොවන සේ චීනය තවත් ජපානයක් කර ගැනීමය.

මේ බව හොඳටම පැහැදිලි වෙන්නේ ඇමරිකානු නව ජනපති ජෝ බයිඩන් ගේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පසුගියදා CNN මාධ්‍යවේදියා චීනය ඔහු දකින විධිය විස්තර කරන්න යැයි කීවේය. ඇන්තනි බ්ලින්කන් කීවේ පහත අවස්ථා හා විභවයන් පවතින බවයි.

– 50% ක් ඉතාම තරඟකාරී රටක් (50% fierce competitor)
– 40% ක් ඇමරිකාවට ඉතා වාසිදායක දියුණු චීනයක් (40% opportunity of cooperation)
– 10% සතුරු රටක් (enemy) ලෙස ඔහු සලකන බවයි.

එයින් පෙනී යන්නේ චීනය විනාශ කිරීම හැකි හෝ නොහැකි වුවද අරමුණ නොවේ. එසේ කිරීමෙන් ඔවුන් ලබන කිසිදු වාසියක් නැත. අවාසි ගොඩක් ඇත. නමුත් ලිබරල් සංස්කෘතියට හා ආරක්ශණයන්ට තර්ජනයක් නොවන තවත් ජපානයක් හෝ දකුණු කොරියාවක් වගේ කරගැනීමයි.

ශිෂ්ඨාචාර තර්ජනය.

බටහිර ලිබරල් සමාජය මුහුණ දෙන හතරවන තර්ජනය චීන නැගිටීම හා ශිෂ්ඨාචාර පෙරළීමේ අවදානමයි. නමුත් බටහිර ලිබරල් විද්වත් මණ්ඩල විශාල ලෙස ඒ ගැන කලබලයට පත්වී නැත්තේ චීනයේ අපට නොපෙනෙන යටින් දිවයන ක්‍රමයේ ඇති විපරීතයන්ය (Structural anomalies). ඒ වා කවදා හෝ මතුවෙන බව ඔවුන් හොඳාකාරවම දනී.

බටහිර ලිබරල් සමාජය ක්‍රියාත්මක වෙන්නේ ලෝකයේ ඇති හොඳම බුද්ධිමතුන් පාවිච්චි කරමින්ය. එමනිසාම බටහිර ලිබරල් සමාජයද පුළුල් වෙමින් විකාශය වේ. එනම් අසූ ගණන්වල සමලිංගික Gay, LGBT අයිතිවාසිකම් කථා කරන්නවත් බැරිව තිබූ සමාජය අද ඒවා කථාකලහැකි සාමාන්‍ය දේවල් වී ඇත. හමුදාවන්ටද ඔවුන්ට බැඳිය හැක.

චීනය තව දුරටත් නිෂ්පාදන ආර්ථිකයක් පවත්වා ගැනීමටනම් මිළියන ගනනින් ග්‍රාමීය ජනයා නගරයට කැඳවිය යුතුබවත් නමුත් එසේ කිරීමේදී ගෙවල් මිළ ඉහල යෑම නිසා වැඩි පඩි ගෙවිය යුතුය. ඒ වගේම අනිත් දියුණුවෙමින් පවතින රටවල කම්කරු පඩිය මෙන් අඩු පඩියක රඳවා ගත යුතුය.

ඒ ඔක්කෝටම වැඩිය ව්‍යුහාත්මක විපරීතයන් ප්‍රභලය. චීන දේශපාලනික ව්‍යුහය (polity) බටහිර ලිබරල් සමාජයට තර්ජනයක් වගේ පෙණුනද යටින් දිවෙන විපරීතයන් අපි හදාරන්නේ නැතුව එක පවුලක අවශ්‍යතාවය වෙනුවෙන් අන්ධව චීනය පසුපස යෑම කරුමයකි.

එළඹෙන ලෝකය

ලෝක ජනගහනය උපරිමය බිලියන 13-14 පමණය. එයින් එහා ලෝක ජනගහනය වැඩිවෙන්නේ නැති බවට ශ්‍රාස්ත්‍රඥයෝ ( statisticians) පෙන්වා දී ඇත. ජනගහණ වර්ධනය ධනවාදී ආර්ථිකයේ පැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. එනම් 2050 වනවිට ධනවාදී අර්ථ ක්‍රමයේ තාවකාලික බිඳවැටීමක් විය හැකිබව ආර්ථික විද්වතුන් ගේ මතයයි. නමුත් එය තාවකාලික වෙන්නේ ඒ වනවිට මිනිසුන් මේ ග්‍රහලෝකය පමණක් නොව එයින් පිටතට යෑම අරඹා ඇති හෙයින් වෙනත්ම ආකාරයක සමාජ ආර්ථික ව්‍යුහයන් ඇතිවිය හැකි බව ප්‍රකාශ කරණ නිසාය. එය හරියට කාල් මාක්ස් නොදුටු ඩිජිටල් ආර්ථිකය, සේවා ආර්ථිකය, Space Technology නිසා ඇතිවූ නව ආර්ථිකය වැනි දැනට දක්නට නොලැබෙන ආර්ථිකයන්ය.

පාඨලී, අනුර, සජිත්

එම ලෝකයට ලංකාව වැනි රටක් සූදානම් කළ හැක්කේ තව දුරටත් ජාතිකවාදය තුල හිරකර අනිත් ලෝකය සමග බද්ධවීමට සැක බිය උපදවන සුළු වශයෙන් හෝ බොරු ජාතිකවාදීන්ගෙන් එන ප්‍රෙෂර් එකකදී නැවත ජාතිකවාදී මඩගොහොරුවට දුවගෙනයන පාඨලී චම්පිකටවත්, සජිත්ටවත්…

1980 දී අහෝසි වී ගිය ආර්ථික න්‍යායාන් කරපින්නාගත් අනුරටවත්

මිනිසුන්ව රැවටීමම දේශපාළනය කරගත් රාජපක්ෂවරුන්ටවත් නම් නොවේ.

ලෝකය පුරෝකථනය කරගත හැකි, ඔවුන් සමග සම්බන්ධවීමට පෞරුෂයක්, වාග් විලාශයක්, ඇති ඉංදියාව ඇහැරවා තරමක් දුරට මෙහෙයවාගත හැකිවන සේ අනෙකුත් කලාපීය රටවල් සමග සාකච්චා කළ හැකි කණ්ඩායමක් ගෙන ඒමෙනි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.