31 October, 2020

Blog

‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්: විදුලි ආ‍ලෝක යට නිරුවත් සෝදිසි පරික්‍ෂාවන්!

ෆ්‍රාන්සස් හැරිසන්

ෆ්‍රාන්සස් හැරිසන්

වාර්තාකරුවෙකුගේ කතාව – 2 වන පරිච්ඡේදය | තෙවන කොටස

විදුලි ආ‍ලෝක යට නිරුවත් සෝදිසි පරික්‍ෂාවන්!

උරස්තලය සහ ගෙළ පෙදෙසට බරපතල තුවාල සිදුව ඇති නමුත් සිහි කල්පනාව රැඳි මවක් සිය දරුවා ඉල්ලා මොරදෙනු, දිනක් රෝහලේ මළ සිරුරු සහ තුවාල ලැබූවන් ගණන් කරමින් සිටි ලෝකීසන් දුටුවේය. මිත්තණිය යැයි සිතිය හැකි වියපත් කාන්තාවක්, හය මසක් පමණ වියැති සුළු තුවාල සිදු වූ දරුවෙක් රැගෙන ආවාය. බිළිඳා අතට ගත් මව සිඟිති නළලත මෘදුව සිඹ පියොයුරකට ළංකොට ගත්තාය. බොහෝ විට ඇය දින ගණනාවක් තිස්සේ කුසට අහරක් නොගෙන සිටියා විය හැකි වුවද, කිරි පිටි මිල රන් වලට වඩා වටිනාකමින් වැඩි වූ ලෝකයක ගැළවීමේ යම් හෝ අවස්ථාවක් ලබන්නට නම් සිය දරුවාගේ කුස පිරවිය යුතු බව ඈ දැන සිටියාය.  මොහොතක් ගතව ගිය තැන, දරුවා කිරි උරා බොමින් සිටි අතරතුරදීම, කාන්තාව මියගොස් ඇති බව ලෝකීසන් දුටුවේය. වෙන්ව යනු පෙරාතුව මව සිය දරුවාට දුන් අවසාන තිළිණය ඒ මව් කිරයි. තමන් මිය යන බව මව දැන සිටි අතර, ඉක්මණින් සිය දරුවා ගෙනෙන්නැයි ඉල්ලා ඇය මොර දුන්නේ ඒ හේතුවෙනි.

තවත් අවස්ථාවක, රෝහලට පිටුපසින් ඇති භූමියට මෙන්ම රෝහල් අංගනයටත් ෂෙල් ප්‍රහාර එල්ලවනු ලෝකීසන් දුටුවේය. ප්‍රහාරය නිමා වූ සැණින්, විලාප නගන, මොරදෙන ජනයා පුරවාගත් ට්‍රැක්ටරයක් එහි ළඟා වූ අතර ඔවුන් සියල්ලෝ තුවාල ලැබ සිටියහ. එහි වූ ගැබිණි මව්වරුන් සත් දෙනෙක් වෛද්‍ය සේවකයින් විසින් ඔසවාගෙන ගියහ. උදරයෙන් ලේ ගලන මුත් එය රෙද්දකින් වසා ලූ තවත් ස්ත්‍රියක් ලෝකීසන් දුටුවේය. ප්‍රතිකාර ලබා දිය යුතු බොහෝවුන් සිටි හෙයින් ඇය ගැබිණියකැයි කිසිවෙක් පසක් කොට නොගත්තේය. ‘එක්වරම මම ඇගේ කුස දිහා බලනකොට මොකක් හරි පොඩි සුදු පාට දෙයක් පිටතට මතුව තියෙනවා මම දැක්කා. ඒ එළියට ඇවිත් තිබුණේ දරුවෙක්ගේ අතක්. මුළු ඉස්පිරිතාලයම ඒකෙන් කම්පනය වුණා.’ මවත්, දරුවාත් දෙදෙනාම පසුව මිය යන්නට ඇතැයි ලෝකීසන් සිතයි.

එක් සන්‍ධ්‍යාවක ලෝකීසන් සිය කූඩාරම තුළ මව්පියන් හා වාඩි වී සිටින අතරවාරයේ යුද ටැංකියකින් එල්ල වී යැයි සිතිය හැකි මිසයිලයක් යාබද කූඩාරම විනිවිද ආවේය. තිරස්ව ගමන් කළ මිසයිලය වයෝවෘද්ධ අයෙකුගේ උදරය පාසාරු කරගෙන තවත් කූඩාරමක් සහ වාහනයක් විනිවිද ගොස් අවසානයේ නිවසකට වැදී පුපුරා ගියේය. මියගිය තැනැත්තා ප්‍රහාර මධ්‍යයේ වළලා දැමීම අවදානම් සහගත වූ හෙයින්, කූඩාරම තුළ ඔවුන් විසින් කණින ලද අගලෙහිම ඔහු තැන්පත් කොට වැලි වලින් වසා දැමූ ඔහුගේ පවුලේ සෙස්සෝ, ලැගුම් ගනු පිණිස අන් තැනක් සොයා ගියහ. කූඩාරමක් අටවාගනු පිණිස මීටර් කිහිපයක් පවා සොයාගැනීම අතිශයින් දුෂ්කර වූ අතර අඩ හෝරාවකින් එහි පැමිණි පවුලක්, මොහොතකට පෙරාතුව මළ සිරුරක් එහි වළ දැමීයැයි නොදැන එහිම ලැගුම් ගත්හ.  කලින් එහි විසූ අයගේ මිනී වළ මත දෙවනුව පැමිණියෝ රෑ කල නිදා ගත්තෝය.

අප්‍රේල් මාසයේ තුන්වෙනි සතියේදී කොටි ආරක්‍ෂණ වැට බිඳ ලූ ශ්‍රී ලංකා යුද හමුදාවෝ, සිය දහස් සංඛ්‍යාත දෙමළ ජනයා විසූ වාලුකා තුඩුවෙන් කොටසක් අල්ලා ගන්නට සමත් වූහ. තමන් විසින්ම වැලි මළු යොදා තැනූ බන්කරය තුළ හෝරා දහයක් තිස්සේ කොටු වී සිටින්නට ලෝකීසන්ට සිදුවිය. ජනාකීර්ණ ප්‍රදේශ මත මිටි ප්‍රහාර මෙන් වැරෙන් පතිත වූ බහු බැරල් රොකට් වෙඩි බිහිසුණු මරණ සිදුකොට රූස්ස රුක් කඳන් බිම හෙලමින් ඔවුන්ගේ හිස්වලට ඉහළින් ඇදී ගියේය. බහු බැරල් රොකට් විදිනයන් වූ කලී තත්පර විස්සක් ඇතුළත එක් මුරයකට අධි පිපිරුම් ෂෙල් උණ්ඩ හතළිහක වෙඩි වටයක් මුදාලිය හැකි බර අවි ඇට වූ ජංගම ට්‍රක්රථ වර්ගයකි. හෙක්ටෙයාර කීපයකින් සංකේන්‍ද්‍රිත ප්‍රදේශයක් තුළ ඇති සියළු දෙය ඉවක් බවක් නොමැතිව විසුණු කොට දමන කිලෝ ග්‍රෑම් සිය ගණනක පිපිරුම් ද්‍රව්‍ය මෙකී අවියෙන් නිකුත් කෙරිණ. තොරක් නැති කාලතුවක්කු ප්‍රහාර නැගෙනහිරෙන් ද, බටහිරෙන් ද, උතුරින්ද එල්ල විය. මේ වනවිටත් වෙරළ තීරය පිහිටියේ හමුදා ස්ථානගතවීම් කිහිපයකම ප්‍රහාරක පරාසය තුළ ය. දකුණු දෙසට පසුබසින්නට පටන්ගෙන සිටි කොටින්ගේ සේයා මාත්‍රයකුදු දක්නට නොවීය. උසින් වැඩි ලෝකීසන් බන්කරය තුළ වාඩි වූ විට ඔහුගේ හිස ඉන් පිටතට මතුව පෙනෙන නිසා හිස බාගෙන සිටින්නට ඔහුට සිදු විය. මූනිස්සම් වැලි මළු විනිවිද එල්ල වෙමින් තිබුණි.

ලැප්ටොප් පරිඝණක දෙකක්ද, කැමරාවක් ද, සරහුරු චන්‍ද්‍රිකා අන්තර්ජාල පර්යන්තයක් සහ ජංගම චන්‍ද්‍රිකා දුරකථනයක්ද යන සිය ප්‍රවෘත්ති වාර්තාකරණ මෙවලම් ලෝකීසන් සන්තකයේ තිබිණ. ඒ වනවිටත් අඩක් ගිනිගෙන විනාශ වූ රෝහල බැලීමට ඔහු ගියේය. ‘මිනිස්සු උදව් ඉල්ලලා කෑ ගහගෙන හමුදාව හිටි පැතිවලට දුවගෙන ගියේ ෂෙල් නොවැටුණේ ඒ පැත්තට විතරක් නිසායි. ඒ අය තමන්ගේ සාරි වලින් කෑලි ඉරාගෙන සුදු කොඩි විදියට පාවිච්චි කළා. මම එතැනට යනකොට ඒ හැමෝම මැරිලා. ගණන ගැන මට කිසිම අදහසක් නැහැ – මිනී ගොඩාක් තිබුණා. හමුදාව හිටියේ, ඒ අය සිවිල් වැසියන් කියලා හඳුනාගන්න පුළුවන් තරම් ආසන්නයේ යි.’

රෝහල පසුකොට දිවෙන මාර්ගය මධ්‍යයේ ෂෙල් වෙඩි වලින් තැනුණු දැවැන්ත ආවා‍ට බහුල විය. ඒ වනවිටත් ශ්‍රී ලංකා හමුදාව සිටියේ යාන්තම් මීටර් 100ක් පමණ මෑතිනි. ලෝකීසන් කොටින්ගෙන් පාලිත බිම්කඩින් වෙන්කොට දමනු ලැබ තිබිණ. ‘කරන්න ඕනි මොකක්ද – නොකරන්න ඕනි මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ’යි ඔහු පිළිගනියි. ‘රැඳීලා  හිටියත්, පිටවෙලා ගියත් මම මැරෙනවා කියලා තේරුම් අරගෙනයි මං හිටියේ. කොයි පැත්තට ගියත් මම මැරෙන්න නියමිත වෙලා තිබුණේ.’

අප්‍රේල් 20 වෙනිදා සවස හතරට සිය අවසාන ප්‍රවෘත්ති වාර්තාව යවමින් ඔස්ලෝ හී සිය ප්‍රධානියා වූ ජෙයා ට ලෝකීසන් අන්තිම වරට කතා කළේය. ‘ඒ මගේ අන්තිම වචන කියලායි මම හිතාගෙන හිටියේ’ ඔහු කියයි.  ඒ අවසන් දුරකථන ඇමතුම ජෙයා ගේ මතකයේද තිබේ: කවර හෝ මිලක් ගෙවා ලෝකීසන්ගේත්, ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේත් ජීවිත බේරාගන්නා ලෙස ලෝකීසන්ට කී ජෙයා සියළු මෙවලම් විනාශ කරන්නැයි ඔහුට උපදෙස් දුන්නේය.

පළමුව ලෝකීසන් ඔහුගේ ලැප්ටොප් පරිඝනක බිඳ ලූ අතර, ඉක්බිතිව විනාශ කිරීම අසීරු (BGAN) සරහුරු චන්‍ද්‍රිකා අන්තර්ජාල පර්යන්තයත්, දුරකථනයත් විනාශ කළේය. පරිඝනකවලින් ගැළ වූ දෘඪ තැටි බන්කරය තුළ තෙතබත් වැලි තලාව යට ඔහු වළලා දැමූයේ කරදියෙන් ඒවා විඛාදනය වනු ඇතැයි අපේක්‍ෂාවෙනි. ‘අවුරුදු ගණනාවක් මං සුරැකිව තියාගෙන හිටි උපකරණ විනාශ කරන කොට මගේම කොටසක් මරා දමනවා වගේ හැඟීමක් තමයි මට ඇති වුණේ’ ඔහු පවසයි.

ඒ අවසාන දිනයේ, ගොඩ ගැසුණු මෘත දේහ, අත්හැර දැමූ කූඩාරම් සහ බෝම්බ හෙළා විනාශ කළ ගොඩනැගිලි සහිත බිම්කඩක් අත්හළ ලෝකීසන්, සීතල කළපු දිය තලය තරණය කළේ ඇතැම් තැන්හිදී ඔහුගේ නිකට දක්වා නැගි ජලකඳ හරහා ය. හෙතෙම දියෙහි පාවෙන මෘත දේහ පසු කොට යාමෙන් ඉක්බිතිව, සමතල අළුවන් කොළ පැහැ ජල තලය තරණය කරන්නට හෝරාවක් පමණ ගත්තේය. සිය පියා ඔසවාගෙන යන අතරවාරයේ සිය විඩාපත් මව හා පෙම්වතියට ද උදව් කළ ලෝකීසන් ඇඳුම් පැළැඳුම් කිහිපයක් සහ වැදගත් ලිපි ලේඛණ පිර වූ කුඩා මල්ලක් ද රැගෙන ගියේය.

කළපු ඉවුරට ළඟාවත්ම, බර ආයුධ සහ සෙබළුන් අත රැඳි මෝටාර් අවි හේ ඈත සිටම දුටුවේය.  සතුරාට ඒ සා ආසන්න වීම භ්‍රාන්ත කරවන සුළු විය. පළමු සොල්දාදුවා සිය අනන්‍යතාව වසන් කරනු වස් කළු රෙදි කඩකින් මුව වසාගෙන හෙල්මටයක් පැළැඳ සිටි අතර පතරොම් පටියක් ඔහුගේ උරහිසෙන් පහතට එල්ලා වැටිණ.

‘එක පාරටම මට ඇතිවුණු සිතිවිල්ල තමයි, එතැනට ආවාට වඩා මං හිටි තැනම ඉඳලා මැරුණා නම් හොඳයි කියන එක. ඒ අය දැකීම විතරක්ම පවා බිහිසුණු දෙයක්.  සංහාරයන් ගැන මම වාර්තා කළ සම්පූර්ණ කාලයම මගේ මනසේ වැඩ කරපු දේ තමයිමේ වගේ දේවල් කරන්න පුළුවන් ඒ මිනිස්සු මොන වගේ ඈයින්ද කියන එක. සතුරා කොයි වගේද කියලා පරිකල්පනය කරගන්න මම වෑයම් කළා. පළමුවෙනි දසුනම මම බලාපොරොත්තු වුණු දෙයට ගැළපුණා. ඒක ඉතාම  භයානකයි.’

සියළු සිවිල් වැසියන් කැරැළිකරුවන්ගේ හිත පක්‍ෂාපතීන් වශයෙන් සැළකූ විජයග්‍රාහී සෙබළුන්ගේ අඩස්සියට පත්වන ඕනෑම දමිළයෙකු බියට පත්වෙයි. නමුත් තමන් වනාහී රජයට ‘ඕනෑකර ඇති පුද්ගලයෙකු’ බව ලෝකීසන් දැන සිටියේය.

විස්තර කළ නොහෙන මිනිස් වධ වේදනා පිළිබඳ ඔහු විසින් සැපයූ වාර්තා ‘ශුන්‍ය සිවිල් ජීවිත හානි’ ගැන ආණ්ඩුවේ මුසාවන් එළිදරව් කර තිබිණ. ඔහු කවුරුන්දැයි දැන ගතහොත් යුද හමුදාව ඔහුට කුමක් කරනු ඇතිද? ෂෙල් ප්‍රහාරයන්ගෙන් ගැළ වී, අහඹු මූනිස්සම්වලින් ඔහු දිවි බේරාගත්තේ වධ හිංසාවන්ට පාත්‍රව, නග්න කොට දෑස් බැඳ ඝාතනයට ලක් වී සළකුණු නොකළ මිනීවලක වැළලී යනු පිණිසද?

දිය බේරෙන, තෙත බත් ඇඳුම් සියොළඟට ඇළුණු ලෝකීසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එකදු වදනක් හෝ බිනීමට දිරිබල නොමැතිව, බියෙන් අවසඟව පූර්ණ මුනිවත රැක්කාහ. ඊට වෙනස්ව, ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවෝ තුටින්  සල්ලාපයේ යෙදෙමින් ඔවුන්ගේ බසින් ගී මිමිණූහ. ඔවුන් පැමිණියවුන් අත ආයුධ ඇති දැයි සෝදිසි කිරීමට පටන්ගත් නමුත් දෙමළ ස්ත්‍රීන් පරික්‍ෂා කිරීමට කාන්තා සෙබළුන් නොවූ හෙයින් පිරිමි සෙබළුන් විසින්ම ස්ත්‍රීන්ද සෝදිසි පරීක්‍ෂාවන්ට ලක් කරන ලදී. සිය මව හා පෙම්වතිය පිළිබඳ බියෙන් ලෝකීසන් ඇළලී සිටියේය.  සොල්දාදුවන්ගේ මුවින් නැගි ගී හඬ ඔහුගේ මතක ගැබ ගැඹුරෙහි නිධන්ව තිබූ තවත් හඬක් හා බද්ධ විණ. වරක් වෙල් යායක සිට උදව් ඉල්ලා මොරදෙන ස්ත්‍රියකගේ හඬක් ඇසෙන විට ඔහු සය වස් වියැති දරුවෙක් විය. ඇය විලාප දුන්නේ කවර හේතුවක් නිසාදැයි වටහාගන්නට ඔහු සිඟිති වැඩි වුවද, ඒ ස්ත්‍රිය වූ කලී කොටින් නිරායුද කරනු වස් ’80 අග භාගයේදී ශ්‍රී ලංකාවට එවන ලද ඉන්දියානු සොල්දාදුවන්ගේ අතවරයට  ලක් වූ තැනැත්තියකි. ‘අද වෙනතුරුත් ඒ ගෑණු කෙනාගේ විලාප හඬ මට මතකයැ’යි බියෙන් දැඩි ව ඔහු කියයි.

දවසේ මුල් භාගයේදී පලාගිය දස දහස් සංඛ්‍යාත ජනයාට එක්වන විටත් ඔහුගේ බිය පහව ගොස් නොතිබිණ. ගොම්මන් අඳුර වැටෙමින් තිබූ අතර ආකූල, තෙත බරිත දමිළයින්ට නැවත සෝදිසි කිරීම් සඳහා පෝළිම් ගැසෙන ලෙස සොල්දාදුවෝ දන්වා සිටියහ. පෝළිමෙහි ඉදිරියෙන් සිටගෙන මධ්‍යම රාත්‍රියට පෙර සෝදිසි පරීක්‍ෂාවන්ට පාත්‍ර වීම මැනැවයි ලෝකීසන් කල්පනා කළේය. මැදියමේදී ඕනෑම දෙයක් විය හැකියැයි ඔහු ඊට හේතු වශයෙන් සිතීය. තමන් අනාවරණය වීම වළකනු පිණිස සිය ධෛර්යය පවත්වා ගත යුතු බව හෙතෙම දැන සිටියේය. ගැළවුම පිණිස ඉමහත් වාසනා මහිමයක්ද ඔහුට ඇවැසිව තිබිණ.

ඒත් සමගම පූර්ව අනතුරු හැඟවුමකින් තොරව ඔවුන් සියල්ලෝ ප්‍රහාරයකට ඉලක්ක වූහ: මුහුදේ සිට නාවුක හමුදා යාත්‍රා ප්‍රත්‍යන්ත ගොඩබිම පෙදෙසට කාල තුවක්කු ප්‍රහාර එල්ල කළ අතර ඔවුන් සිටියේ ප්‍රහාරයන්ට තදාසන්න තැනක ය. දැල් වී තිබූ සියළු විදුලි පහන් නිවා දැමූ හමුදා නිළධාරීන්, ‘දිගා වෙයව්, දිගා වෙයව්’ යි හඬ නැගූහ. දහස් සංඛ්‍යාත ජනයා බිමා වැතිර සිටි අතර හමුදා සෙබළු බන්කර තුළට වැද ආරක්‍ෂාව සපයා ගත්හ. දෙමළ සිවිල් වැසියන් ඉකුත් මාස ගණනාව තිස්සේ කළ පරිද්දෙන්ම හමුදාවන්ද ආරක්‍ෂණ මුවාවන් සපයාගන්නා ආකාරය ලෝකීසන් දුටු පළමු වතාව එය විය. වැළපිය යුතුදැයි, සිනහ විය යුතුදැයි ඔහු දැන නොසිටියේය.

අළුයම දෙකට, සෝදිසි කිරීම් සඳහා ඔවුන් නැවතත් යවනු ලැබූ අතර ස්ත්‍රීන් සහ පුරුෂයින් වෙනස් තැන්වලට යොමු කෙරුණාහ. ලෝකීසන්ගේ මනස තුළ නිම්නාද දුන් එකම දෙය විසි වසකට පෙරාතුව වෙල් යායක මොරදුන් ගැහැණියගේ හඬ යි. ඔහුගේ පෙම්වතියට හා මවට කුමක් සිදුවනු ඇතිද? ඔවුන් වෙනුවෙන් ඔහුට කළ හැකි කිසිවක් නොවීය. ඔවුන් දෙදෙනා හා යළි එක්වනු පිණිස දෙදිනක් ගත්වනු ඇත.

යට ඇඳුම් ඇතුළු ඇඳිවත් උනා දමන මෙන් අණ ලැබෙන විට ලෝකීසන් සහ ඔහුගේ පියා සිටියේ එළිමහනේ සැදි දිගු පෝළිමක ය. නොතිත් ඝාතන දැකීමෙන් අප්‍රාණිකව සිටි ඔවුන් අත ඉතිරිව තිබූ මිනිස් ගරුත්වයේ අවසාන අංශු  මාත්‍රයද ඔවුනට අහිමි කෙරිණ. ‘මට දැනුණු විදිය පැහැදිලි කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මගේ තාත්තාට මගේ ඇස් ඉදිරිපිටම නිර්වස්ත්‍රව ඉන්න වෙනවා දකින එක! මගේ අත් දෙකින් උස්සාගෙන ආපු තාත්තාගේ පටන් පොඩි දරුවන් දක්වා හැමෝම එතැන හිටගෙන හිටියේ නිර්වස්ත්‍රවයි’ වසර කිහිපයකට පසු ඒ නින්දා සහගත මොහොත පුනරාවර්ජනය කරන ලෝකීසන්ගේ දෙනෙතට කඳුළු රොක් වී තිබේ.

– මතු සම්බන්ධයි –

*2000 සිට 2004 දක්වා කාලය තුළ BBC ආයතනයේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වශයෙන් කටයුතු කළ ෆ්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලද Still Counting the Dead: Survivors of Sri Lanka’s Civil War පළමු මුද්‍රණය 2012 ඔක්තෝබරයේදී එළි දුටුවේය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.