21 October, 2019

Blog

ආපදා අවකළමනාකරණය – අප කවුරුත් එකී අපක්‍රියාවේ කොටස්කරුවෝ ද? – දෙවැනි කොටස

ජනක සෙනෙවිරත්න –

ප්‍ර​තිචාරයට එරෙහි ප්‍ර​තික්‍රියාව

අපදාවක් සිදුවූ විට ආණ්ඩුවක් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුවා මිස ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නොවේ. ප‍්‍රතිචාරය සහ ප‍්‍රතික‍්‍රියාව අතර වෙනසක් තිබේ. ප‍්‍රතික‍්‍රියා පෑමේදී කෙනෙකු සැලසුම් කරන්නේ නැත. ඒ ප‍්‍රතික‍්‍රියාව පසුපස තාර්කිකත්වය දැක ගැනීමට ලැබෙන්නේ නැත. සාමාන්‍යයෙන් අනතුරක් ඉදිරියේ සතුන් කරන්නේ ප‍්‍රතික‍්‍රියා පෑමයි. මිනිසුන්ද තමන් තුළ ඇති සත්ව ලක්ෂණ නිසා ඇතැම් විට ප‍්‍රතික‍්‍රියා දක්වයි. වාහනයක් අප දෙසට ධාවනය වන අවස්ථාවක අප කරන්නේ කිසිවක් නොසිතා එයින් පලායාමට බැලීමයි. එහෙත් ඈතින් එන වාහනයක් පිළිබඳ සැකයක් ඇති වූ විට, එහි වේගය ආදිය සැලකිල්ලට ගෙන අපි අවශ්‍ය පමණින් ඈත් වී ප‍්‍රතිචාර දක්වමු.

නිල ආණ්ඩුවක් ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නැත. අවශ්‍ය කරන්නේ, තත්වය මනාව සැලකිල්ලට ගෙන විධිමත් පියවර ගැනීමයි. ලංකාවේ ඉහළම පෙළේ දේශපාලනික බලාධිකාරීන් අතර කඹ ඇදිල්ලක් ගැනත්, පාලනයේ අකර්මණ්‍යත්වයක් ගැනත් විදේශ මාධ්‍ය වාර්තා කොට තිබුණි. විනාශය ඇති වීමත් සමගම එකිනෙකා වෙත ඇඟිල්ල දිග් කිරීමට පටන් ගැනුණු අතර, දේශපාලඥයන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳ කතාව ඒ මගින් සැඟවීමට ප‍්‍රයත්නයන් ගැනුණි. මගේ අදහසේ හැටියට, සමාජයෙන් බහුතරයක්ම මේ විනාශයේ වින්දිතයන් වන අතරේම, මේ ප‍්‍රශ්නයේ කොටස්කරුවෝ ද වෙත්. සමාජ ජාලා හරහා ඔවුහූ ඉතා සංවේදී තොරතුරු අනවශ්‍ය ආකාරයෙන් පතුරුවා හරිති. ඒ මගින් සිදුවන්නේ, අදාළ අපරාධකරුවන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශවලට ඇති ඉඩකඩත් ඇහිරීමයි. මේ සියල්ල, අපේ ජාතික සංස්කෘතික ලක්ෂණ නිසා ඇති වන තත්වයකි.

ජාතික සංස්කෘතිය කැකෑරීම

බොහෝ විට ජාතියක සංස්කෘතිය ගැන සමාජ විද්‍යාඥයන් කතා කරන්නේ, සමාජයක පවතින සම්මතයන්, හැසිරීම් රටා, විශ්වාස, සිරිත්විරිත් සහ සමාජ සාරධර්ම අනුසාරයෙනි. සම්ප‍්‍රදායයෙන්, ආගමෙන්, වාර්ගික අනන්‍යතා සහ ඓතිහාසික සිද්ධීන් මගින් සංස්කෘතියක් සරසනු ලැබේ. මා සිතන පරිදි, ජාතික සංස්කෘතියක ඇති වඩාත් වැදගත් අංගය වන්නේ, එම සමාජය උරදෙන සමාජ සාරධර්මයන් ය. ඒ සාරධර්ම වෙනස් වන තරමට එකී සංස්කෘතියේ වෙනත් අංගත් වෙනස් වෙයි.

පසුගිය වසර පනහක කාලය තුළ අපේ ජාතියේ සංස්කෘතිය වෙනස් වුණේ කෙසේදැ යි සලකා බලමු.

මීට වසර පනහකට පෙර දූෂණය ගමට සීමා වූ දෙයක් වශයෙන් පැවතුණි. අද වන විට එය සමාජයේ සෑම මට්ටමකම, සෑම තරාතිරමකම පැතිරී ඇති වසංගතයක් බවට පත්ව ඇත. අද දරුවන්ට අනුකරණය කිරීමට පරමාදර්ශී චරිත නැත. මීට කලකට පෙර ස්වාධීන මාධ්‍යවේදය සැලකුණේ අතිශය වැදගත් වෘත්තියක් වශයෙනි. අද වන විට, මාධ්‍යවේදීන්ගෙන් බහුතරයක්, බලපුළුවන්කාර ධනපති ව්‍යාපාරිකයන්ගේ හෝ දේශපාලඥයන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල හොරණෑ බවට පත්ව සිටිති. අසල්වැසියන් සමග බෙදාහදා ගැනීම සහ අසල්වැසියන්ට උදව් උපකාර කිරීම අතීතයේ මතකයක් වශයෙන් පමණක් අපට ඉතිරිව ඇත. ජනතාවගෙන් බහුතරයක් මොන තරම් ආත්මාර්ථකාමී වී ඇත්ද යත්, ඔවුන්ගේ එකම ආරම්මණය වන්නේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ ඉහළට යාමයි. දුප්පතා සහ නූගතා මෙන්ම, ධනවතා සහ උගතා ද, විවිධ හේතූන් මත, එක සමානවම විනයෙන් තොර වී ඇත. මා කුඩා කල මගේ දෙමාපියන් කිසි විටෙක මට බොරු කීමට ඉගැන්නුවේ නැත. ආත්මාර්ථකාමී අයුරින් හැසිරෙන්ට අනුබල දුන්නේ නැත. මගේ මිතුරන්ගේ දෙමාපියන් ද එකල එසේ විය. අපට තිබුණු දෙයක්, නැති අය සමග බෙදාහදා ගැනීමට අපේ දෙමාපියෝ අපට අනුබල දුන්හ. අද දෙමාපියෝ ප‍්‍රසිද්ධියේම ගුරුවරුන්ට අභියෝග කිරීමට දරුවන්ට අනුබල දෙති. උසස් පාසල්වලට ඇතුළු වීම සඳහා බොරු කීමට දරුවන්ට උගන්වති. එපමණක් නොව, පංතියේදී ප‍්‍රශ්නයක් ඇසූ විට ඊට දෙන පිළිතුර පංතියේ අනෙක් ළමයා දැන ගනීවි යන ඊර්ෂ්‍යාව නිසා පිළිතුරු නොදී සිටීමට ළමුන් පෙළඹෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි. දෙමාපියන්ගේ පීඩනය යටතේ දරුවන් අතර තරගය පිස්සුවක් බවට අද වන විට උත්සන්න වී තිබේ. වාහන පදවන අයවළුන් මාර්ග සංඥා නොතකන අතර වේග සීමාවන් සහ පදික මගීන් ගැන තැකීමක් ඇති බවක් නොපෙන්වති. ඉවසීම අපෙන් දුරු වී ඇත. පෝලිමක ඉන්නට අපට පුරුද්දක් නැත. පොදු ඉඩම් අත්පත් කර ගැනීම, ජල නල මාර්ග අවහිර වන සේ ගොඩනැගිලි ඉදි කිරීම, කුණු මහ පාරේ දමා යාම ආදිය අද සුපුරුදු දේවල් ය.

දුබලයන් බලවන්තයන්ට වන්දනාමාන කිරීම සම්මත චාරිත‍්‍රයක් වී ඇත. ආගමික නායකයෝ ලබ්ධි ගුරුකුළ අටවා ගනිති. මිනිස්සු අන්ධයන් සේ ඔවුන්ට වඳිති පුදති. ඔවුන්ගේ දේශනාවන්ට සවන්දෙති. එහෙත් තමන්ගේ ආගමේ මූලික ප‍්‍රතිපදාවන්වත් අනුගමනය නොකරති. නූතන යුගයේ වහල් භාවය ප‍්‍රසිද්ධියේම ඉවසති. ගුරු වෘත්තිය එකල සම්භාවනීය කාර්යයකි. අද එය ව්‍යාපාරයකි. අධ්‍යාපන ක‍්‍රමය අද සැකසී ඇත්තේ න්‍යායික දැනුමක් ඇති මිනිසුන් බිහි කිරීමට මිස සමාජ නිපුණතා සහිත මිනිසුන් බිහි කිරීමට නොවේ. කඩදාසි සහතික පත්, විශේෂඥතාවක නිරූපණයක් යැයි ඔවුහූ සිතති. උගතුන්ගෙන් බහුතරයක් දෙනා, තමන් ජාත්‍යන්තර මට්ටමට කිට්ටු වීමටවත් බැරි පිරිසක් බව පිළිගැනීමට මැළිවෙති. එවැනි මිනිසුන්, ‘බටහිරයන්ට වඩා අපි දියුණුයි’, ‘අපි තමයි දන්නේ අහවල් දේවල් කරන්නේ කොහොමද කියලා’ ආදී වශයෙන් කියනු මට ඇසී තිබේ. ඒ ප‍්‍රකාශ සත්‍යය නම්, මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට නොහැකි වීමේ ආණ්ඩුවේ අසාර්ථකත්වය ගැන මෙසේ ලියන්නට මට අද සිදු නොවනු ඇත. බටහිර අධ්‍යාපනයෙන් කිසි උදව්වක් නැතිව අපේ අධ්‍යාපන ක‍්‍රමයේ අනුහසින් පමණක් නොබෙල් ත්‍යාගලාභියෙකු නිර්මාණය කෙරෙන දවස දැක ගැනීමට මම බලා සිටිමි. මා එතෙක් කල් ජීවත් වෙතැයි මම නොසිතමි.

ශ‍්‍රී ලාංකිකයන් තමන්ගේම වන සාරධර්ම පද්ධතියක් මත වර්තමානය වන විට නිර්මාණය කරගෙන ඇති සංස්කෘතිය එබඳු ය. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම පාහේ අද ජීවත් වන්නේ අවුල් සහගත, අසංවිධිත, බෙලි කපන, ආත්මාර්ථකාමී සහ නොහික්මුණු පරිසරයක ය. එවැනි පිරිසකගේ අවබෝධය අල්ප ය. ජීවිතේ අභියෝගවලට ඔවුන් මුහුණදෙන්නේ ඒ අභියෝගවලින් පලායමිනි. සුපුරුදු පරිසරයෙන් එහා සිදුවන්නේ කුමක්ද යන්න ගැන අදහසක් ඔවුන්ට නැත. ගෝලීය තත්වයන් ගැන අවබෝධය පිළිබඳව කතා කිරීමෙන් ද පලක් නැත.

මේ අඳුරු පරිසරය තුළ, කෛරාටික දේශපාලඥයන්ට, ව්‍යාපාරික මෝරුන්ට සහ පිටස්තර මහ බලවතුන්ට අපේ ජනතාව සූරාකෑමට සහ අපේ ජාතික සම්පත් ඔවුන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගැනීමට අවකාශ සැලසී ඇත. මේ පුළුල් චිත‍්‍රය සහ යථාර්ථය පෙනෙන්නේ රටෙන් පිට සිට බලන කෙනෙකුට පමණි.

මම බෞද්ධයෙක්මි. එහෙත් හැම සතියකම පන්සල් යන හෝ ධර්ම දේශනාවන්ට සවන්දෙන කෙනෙක් නොවෙමි. බුද්ධාගම මා වටහාගෙන ඇති පරිදි, බුදුන් වහන්සේ දේශනා කෙළේ ‘වර්තමානයේ’ ජීවත් වන ලෙස ය. සමහර විට, වෙනත් ආගම්වලත් එවැනි ඉගැන්වීම් තිබිය හැකිය. මට පෙනෙන විදිහට ලංකාවේ බහුතරයක් සිතින් වෙසෙන්නේ එක්කෝ අතීතයේ ය. නැත්නම් අනාගතයේ ය. අතීතයේ අසාර්ථකතා ගැන ඔවුන් විෂාදයෙන් සිතන්නේත්, අනාගතවාදී යමක් පසුපස ලූහුබඳින්නේත් එබැවිනි. එය, මේ මොහොතේ තමන් ජීවත්වන පරිසරය තුළ සිදුවන වෙනස්කම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔවුන්ව වළකාලයි. එසේ නොවිණි නම්, තමන් අතරේ වෙසෙන මිනිසුන්ගේ අසාමාන්‍ය හැසිරීම් සහ ඔවුන්ගෙන් අත්විය හැකි අවදානම් ගැන යම් අවබෝධයක් තිබිය යුතුව තිබුණි. සමාජයේ හැසිරීමත් මේ ප‍්‍රශ්නයේ කොටසක් යැයි මා කියන්නේ එබැවිනි. ඒ ප‍්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ සමාජයටම ය. ඒ සඳහා බුද්ධිමත් දේශපාලඥයන්ගේ සහ දක්ෂ නිලධාරීන්ගේ සහයෝගය තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ප‍්‍රචාරක යුද්ධය

මේ අර්බුදයේ ඒ ඒ පරදුදරන්නන් මේ සෙල්ලම කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක්, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් පුවත්පත් හරහා මට දැක ගැනීමට ලැබේ. මේ ප‍්‍රචාරක ජාල තුළ නොදැනුවත්වම මිනිස්සු සිර වී සිටිති. එසේම මාධ්‍යවේදීහු ද ඊට දායක වෙති. වරක් වින්ස්ටන් චර්චිල් කියා ඇති පරිදි, ‘සත්‍ය නිරාවරණය වීමට සැරසෙන්ටත් කලින්ම බොරුව ලෝකයෙන් අඩක්ම පැතිරී හමාර ය.’ දැන් ලංකාවේ පැවතෙමින් තිබෙන්නේ එවැනි තත්වයකි. බොරු ප‍්‍රවෘත්ති සීග‍්‍රයෙන් පතුරුවනු ලැබේ. මේ අර්බුදයේ පරදුදරන්නන් බොහොමයකි. ඉන් සමහරෙකු වන්නේ, ආණ්ඩුව, විපක්ෂ දේශපාලන පක්ෂ, ආගමික නායකයන්, ත‍්‍රිවිධ හමුදා, පොලීසිය, රාජ්‍ය නිලධාරීන්, දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්, ව්‍යාපාරික ප‍්‍රධානීන්, විදේශ මහබලවතුන්, දේශීය සහ විදේශීය රැුඩිකල් කොටස් ආදී වශයෙනි. මේ ලැයිස්තුව දිනෙන් දින වැඩෙමින් පවතී. ඒ එකිනෙක පරදුදරන්නාට තමාගේම වන න්‍යාය පත‍්‍ර සහ ඉලක්ක තිබේ. දෙන ලද යම් මොහොතක තිරය පසුපස සිට පිරිසක් වෙහෙසෙන අතරේ දෙදෙනෙකු ප‍්‍රධාන වේදිකාවට පැමිණ එකිනෙකාට පහර දෙති. කවුරු කා සමග ඉන්නේද, කාව විශ්වාස කරන්නද යන්න සාමාන්‍ය ජනතාවට ප‍්‍රහේලිකාවක් වෙයි. වෝල්ටර් ලිප්මාන් වරක් කී පරිදි, ‘යුද්ධ කාලයකදී සතුරාගේ පැත්තෙන් කියන කතා හැම විටකම ප‍්‍රචාරකවාදී කතා වන අතර, අපේ පැත්තෙන් කියන කතා හැම විටකම සත්‍යවාදී සහ සුචරිතවාදී කතා වන්නේය. මනුෂ්‍යත්වය සහ සාමය සඳහා වන කතා වන්නේය.’ මේ අනුව සියල්ලන්ම කරන්නේ, අවශ්‍ය කරන න්‍යාය පත‍්‍රයට සහ දීර්ඝ කාලීන ඉලක්කවලට අනුගතව ප‍්‍රචාරක යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමත්, සත්‍යය පවසන්නේ තමන්ම බව ප‍්‍රකාශ කර සිටීමත් ය. සමහරු මේ ප‍්‍රචාරක කතා, ශුභාරංචිය තරමට සත්‍ය සේ පිළිගනිති. අර්ධ සත්‍යයන් කීමත් කලාවකි. දේශපාලඥයෝ එහි නිපුණයෝ ය. ඇමරිකානු සෙනේට් සභික හිරාම් ජොන්සන් 1917 දී කී පරිදි, ‘යුද්ධයේ ප‍්‍රථම බිල්ල වන්නේ සත්‍යයි’. වින්ස්ටන් චර්චිල් කී පරිදි, ‘යුද්ධ කාලයකදී සත්‍යය මොන තරම් මාහැඟි දෙයක් වන්නේ ද යත්, බොරු වැළකින් එය වැසිය යුතුව තිබේ.‘

මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය

වර්තමානයේ ඇත්තේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයකි. සත්‍යය දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. එහෙත් ඒ, යුධ ප‍්‍රයත්නයන්ට අවැඩක් සිදු නොවන තරමට පමණි. මෙය කිරීමට හොඳම හැකියාව ඇත්තේ මාධ්‍යවේදියාට ය. ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇත්දැයි මම නොදනිමි. මාධ්‍ය යනු වෘත්තියක් නම්, ඊට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුය. එවැනි ආචාර ධර්ම පද්ධතියක වඩාත් වැදගත් අංගය වන්නේ, රාජකාරිය ඉටු කිරීමේදී සමාජයේ යහපැවැත්ම සුරක්ෂිත වන බවට වගබලා ගැනීමයි. එබැවින් සත්‍යය වාර්තා කිරීමේදී, පොදු සමාජ යහපතට හානියක් සිදු විය හැකි සංවේදී තොරතුරු නිරාවරණය කිරීමේදී පරිස්සම් විය යුතුව තිබේ. අන්තර්ගතය මුළුමණින්ම අපක්ෂපාතී සහ සත්‍යවාදී විය යුතු මුත්, ඊට අදාළ අවශේෂ කරුණු පොදු සමාජ යහපත වෙනුවෙන් සීමා කළ යුතුව තිබේ. සියලූ විස්තර සටහන් කළ යුතු නැති බවක් මෙයින් අදහස් නොකෙරේ. විශේෂිත තොරතුරු පරීක්ෂණ කමිටුවලට වාර්තා කළ යුතු අතර, ඇති විය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳ තක්සේරුවක් ඇති කර ගැනීම සඳහා එය උපකාරී වන්නේය. ඒ මොහොතේ සිදුවන්නේ, ආපදාවෙන් ප‍්‍රතිසාධනය කර ගත හැකි තොරතුරු සහ ආපදා වළක්වා ගැනීමට අදාළ තොරතුරු සැපයීමයි. මාධ්‍යවේදීන්ගේ මුඛ්‍ය ඉලක්කය විය යුත්තේ, ඇති විය හැකි ප‍්‍රතිවිපාකවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමයි. මාධ්‍යවේදීන් ආචාර් ධර්ම පද්ධතියකට අනුකූලව කටයුතු කරන්නේ නම්, රජයේ මාධ්‍ය වාරණයක් අවශ්‍ය නොකෙරේ. වෘත්තීය මාධ්‍යවේදීන්, පවතින තත්වය හසුරුවාගෙන, අපක්ෂපාතී සහ සත්‍ය වාර්තාකරුවන් වශයෙන් ජනතා විශ්වාසය දිනා ගත යුතුව තිබේ. සමාජ මාධ්‍ය ජාලා පැමිණීමත් සමගම අද වන විට සමාජයේ සෑම කෙනෙකුම පාහේ වාර්තාකරුවන් සහ මාධ්‍යවේදීන් බවට පත්ව තිබේ. අද ප‍්‍රවෘත්ති අන්තර්ගතය විකෘති කෙරෙන ආකාරය ඉතා බරපතල ය. ආණ්ඩුකට එය නතර කළ නොහේ. එසේ කිරීමට උත්සාහ කළ යුතු ද නැත. කළ යුත්තේ, ජනතාවට විශ්වාස කළ හැකි ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රයක් ගොඩනැගීමයි. අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැගුණු පසු, අර කියන බොරු වාර්තාවලට යට වීමෙන් සිදු විය හැකි හානිකර ප‍්‍රතිවිපාක ගැන ජනතාව දැනුවත් කළ හැකිය.

*2019 මැයි 8 වැනි දා ‘ඩේලි එෆ්.ටී.‘ පුවත්පතේ පළවූ “Disaster Mismanagement- Are We All Part of the Misdeed?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.