දහම් සිරිසේන අද දින හිල්ටන් හෝටලයේදී විවාහ වුයේය. එය හිල්ටන් හෝටලයේ පැවැත්වුයේ එම විවාහ උත්සවය ගන්නට යෙදී තිබුණු ෂන්ග්රිලා හෝටලයේ කොටසක් පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශ වූ බැවිනි. ඔවු, ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය. ජනාධිපතිට තෙවරක් දැනුම් දුන්නත් ඔහු ගණනකට නොගත් බෝම්බ ප්‍රහාරය. ඔහු ඒවා ගණන් ගන්නේ මොකටද? ඔහුගේ පවුල සහ දරු මිණිබිරියන් සුවෙන් සහ ආරක්ෂාවෙනි !
ජාතික විපතක් අතරතුර පැවැත්වූ දහම් සිරිසේනගේ විවාහ උත්සවයේ සංගීතය, උත්කර්ෂය, කෙලි සෙල්ලම් කිසිවක අඩුවක් නොවීය. මේ විවාහයට ආශීර්වාද ගැනීමට සිරිසේන සිය පවුලද සමග තිරුපති දෙවියා හමුවන්නට ඉන්දියාවට ගොස් එතැනින් තනිවම සිංගප්පූරුවට ගියේය. ඔහු එහි සිටින අතරේ පාස්කු ප්‍රහාරය සිදු විය.
දහම්ගේ මේ විවාහ උත්සවයට ආරාධනයක් නැතිව පැමිණි අමුත්තන් 250 කට අධිකය. මේ විවාහ උත්සව ශාලාවට උඩින් දෙසිය පනහකට අධික මිය ගිය ආත්මයන් අහසේ සැරිසරන්නට ඇත. මේ මියගිය, සැරිසරන ආත්මයන් අතර සමනලුන් වැනි කුඩා දරුවන් 45කගෙ ආත්මයන් ඇත. එම මිය ගිය ආත්මයන් අතර මවුවරුන්, පියවරුන්, සොයුරියන්, සොහොයුරන්, දූ දරුවන් වෙති.
ඒ මිය ගිය ආත්මයන් ඔවුන්ට කළ මේ අසාධාරණයට එරෙහිව සුසුම් හලමින් හිල්ටන් හෝටලයේ අවකාශයේ සැරිසරන්නට ඇත. තමාගේ පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන කිසිදු නොතකා තිරුපති දෙවියා ඉදිරියේ පෙරලෙන්නට ගිය මෙම නොසැලකිලිමත්, දුෂ්ට ජනාධිපතිවරයා දෙස බලමින් එම ආත්මයන් අද දින සුසම් හෙලන්නට ඇත.
තමාව ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් මාස හයක් ඉවත් කොට තිබියදී ඒ වෙනුවෙන් කිසිවක් නොකරමින්, කපටි සහ කෘර ලෙස තමාගේ දේශපාලන ස්වායත්තය සඳහා කට පියාගෙන සිටි අගමැතිවරයා දෙස බලමින් එම ආත්මයන් සුසුම් හෙලන්නට ඇත. මෙම අගමැතිවරයා ජනතාවගේ ආරක්ෂාව පාවා දෙමින් හොර ගල් අහුලමින් සිටියේ ඊළඟ ජනාධිපතිවරණය තෙක්ය. අගමැතිවරයාගේ අමන තකතීරු ඥාති පුත්‍රයා වන ආරක්ෂක රාජ්‍ය ඇමතිටද ජනාධිපතිවරයාට එරෙහිවන්නට තරම් මොලයක් හෝ චිත්ත ධෛර්යයක් නොවීය.
මේ මිය ගිය මිනිසුන්, සිය දෙවියන්ගේ දෙවොල තුල දෙවියන් විසින් ඇත හැර දමනු ලැබූවන්ය. ඔවුන් කුඩා මස් කැබලි, ඇට කැබලි, තෙල් කැබලි, අතුනුබහන් කැබලි වලට කීතු කීතු වන තුරු ඔවුන්ගේ දෙවියන් බලා සිටියේය.
මේ මිය ගිය මිනිසුන් ඔවුන්ගේ ජනාධිපතිවරයා විසින් අත හැර දමනු ලැබූවන්ය. ඒ සිත්පිත් නැති කෘර ජනාධිපතිවරයා ඔවුන්ට මේ විපත උරුම කළ ඔවුන්ගේ වක්‍ර ඝාතකයාය.
මේ මිය ගිය මිනිසුන් ඔවුන්ගේ අගමැතිවරයා විසින් අතහැර දමනු ලැබුවන්ය. ඒ සිත් පිත් නැති කෘර අගමැතිවරයා සිය කපටිකම, දේශපාලන පැවැත්ම සහ මාන්නය නිසා විපත සිදු වන්නට හැරියේය. ඔහු ඔවුන්ට මේ විපත උරුම කළ ඔවුන්ගේ වක්‍ර ඝාතකයාය.
මේ මිය ගිය මිනිසුන් රාජපක්ෂවරුන් නමැති දේශපාලන භීතකයන් සහ ඝාතකයන් විසින් අතහැර දමනු ලැබූවන්ය. රාජපක්ෂවරු ත්‍රස්තවාදය සහ වහබ්වාදය නැගෙනහිර ස්ථාපිත කළහ; සුරක්ෂා කළහ ;මුදල් සැපයුහ . ඔවුන් මිය ගිය වුන්ගේ වක්‍ර ඝාතකයෝ ය. ගෝඨාභය රාජපක්ෂ පාස්කු ඉරු දින මළමිනී මතින් සිය ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කිරීම තුලින්ම එය පෙනෙයි.
මේ මිය ගිය මිනිසුන් මුස්ලිම් ඇමතිවරුන් සහ මුස්ලිම් දේශපාලකයන් විසින් අතහැර දැමුවන්ය. ඔවුහු ත්රස්තවාදයේ සහ අන්තවාදයේ කිරිමවුවරුන්ය. ඔවුන් නම් ඔබද මමද දනිමු. මම එම ජුගුප්සාජනක නම් මෙහි නොලියමි. එම නම් ත්රස්තවාදීන්ගේ නම් වලට වඩා අප්රියජනකය. එම මුස්ලිම් දේශපාලකයන් මිය ගිය වුන්ගේ වක්‍ර ඝාතක්යෝය
මෙම මරණ වලින් අපගේ හදවත දැදුරු වුවද දැන් එම මරණ සිදුවී හමාරය.
ජීවත් වන්නන් ගැන සිතමු.
අපගේ දරුවන් පාසල් යවන ලෙස රජය මගින් මගට මතක් කරයි. මේ කරුණ පිලිබඳව පුරවැසි යන් අතර මෙන්ම සමාජ මාධ්‍ය වලද බොහෝ සාකච්ඡා සිදු වෙයි.
මම මගේ දරුවා පාසල් නොයවමි.
මම හරින් ප්‍රනාන්දුගේ දරුවන්ව ඔහු පාසලට එවන තෙක් බලා සිටිමි.
ළඟදී කල එලි බස ඇති “දේශප්‍රේමියා” දුමින්ද දිසානායක ඔහුගේ දියණියව පාසල් එවන තෙක් බලා සිටිමි.
ඒ සියල්ලන්ටම වඩා කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගනුම ලබන ජනාධිපතිගේ මිනිබිරිය පාසල් එන තෙක් මම බලා සිටිමි.
ජනාධිපතිගේ මිනිබිරිය පාස්කු ප්‍රහාරයෙන් පසු තවමත් පාසල් පැමිණ නැත.
මේ දේශපාලකයන්ගේ දරු මුණුබුරන්, මිනිබිරියන් කොහිද?
තමාගේ මිනිබිරිය පාසල් එවීමට තරම් රටේ ආරක්ෂාව ගැන ජනාධිපතිවරයා සෑහීමට පත් වූ දින මගේ දරුවා පාසල් යාම සුරක්ෂිතය.
අතීතයේ බිම් බෝම්බ වල දමා ඇති සැක කරන බිම් වලට මුලින් යවනු ලැබුවේ බැටළුවන්වය. බිම් බෝම්බ පාගන බැටළුවන් පිපිරී මිය ගිය පසු එම බිම බිම් බෝම්බ වලින් තොරය. පාබල හමුදාව එම බිමට යන්නේ “බෝම්බ බැටළුවන්” (cannon fodder) එහි ගිය පසුවය. මගේ දරුවා ජනාධිපති මිනිබිරියගේ cannon fodder බවට පත් නොකරමි. මගේ දරුවා හරින්ගේ දරුවන්ගේ, දුමින්ද ගේ දුවගේ, රුවන් විජේවර්ධනගේ දරුවන්ගේ “රණ බිමේ” බෝම්බ සුද්ධ කරන cannon fodder වන්නට මම දන් දෙන්නේ නැත. ඔවුන්ගේ ආරක්ෂක පර්යේෂණයන් වල ගිනි ඌරන්, මීයන් මෙන් මරන්නට මම මගේ දරුවා ලොවට බිහි කර හදා වඩා නැත්තෙමි.
මේ අනුකම්පා විරහිත, කෘර දේශපාලකයන සියල්ලෝම අපගේ වක්‍ර ඝාතකයෝ වෙති. ඔවුන්ගේ දරුවන් පාසල් යවන්නට ආරක්ෂාව හොඳ දැයි බලන්නට මගේ දරුවා ව මම ඔවුන්ට කලින් නොයවමි.
පුරවසියනි, හොඳින් මතක තබා ගන්න, ජනාධිපතිගේ මිනිබිරිය තවම පාසල් පැමිණ නැත!